2025 වසරේ මේ දක්වා පුද්ගලයින් ලක්ෂ 51ක් පොලිස් පරීක්ෂාවට….

2025 වසරේ මේ දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 955ක්, අයිස් කිලෝග්‍රෑම් 1,422 ක් පොලීසිය සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා පවසයි.

විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අද (20) ඔහු ඒ බව සඳහන් කර සිටියේය.

එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ හෂිෂ් කිලෝග්‍රෑම් 471 ක්, කොකේන් කිලෝග්‍රෑම් 29ක්, ගංජා කිලෝග්‍රෑම් 13,773 ක්, මත්ද්‍රව්‍ය පෙති මිලියන 3.5ක් ද නිලධාරීන් භාරයට ගත් බවය.

එහිදී T-56 අවි 61ක්” පිස්තෝල 62ක් සහ රිවෝල්වර් 40ක් වෙනත් ගිනිඅවි 1,721ක් සොයා ගෙන ඇත.

2025 ජනවාරි පළමු වනදා සිට මේ දක්වා වෙඩිතැබීමේ සිද්ධිවලට අදාළව වෙඩික්කරුවන් 38 දෙනෙකු, පැදිකරුවන් 27 දෙනෙකු, ආධාර අනුබල ලබාදීමේ සිද්ධිවලට අදාළව පුද්ගලයින් 263 දෙනෙකු ඇතුළුව සැකකරුවන් 328 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර දෛනික පොලිස් විශේෂ මෙහෙයුම්වලදී ජනවාරි 12 වනදා සිට මේ දක්වා පුද්ගලයින් 5,101,516ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර සැකපිට පුද්ගලයින් 104,602ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් පුද්ගලයින් 4630 දෙනෙකු අපරාධවලට ඍජුව සම්බන්ධ බවට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 46,909 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් රියදුරන් 3404 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.

2025 දෙවන කාර්තුවේ මෙරට ආර්ථිකයේ සිදු වූ වෙනස…

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව නිකුත්කළ නවතම දත්ත වාර්තාව අනුව මෙරට ධීවර අංශය, එළවළු බෝග වගාව සහ රබර් වගාකිරීම අස්ථාවර මාවතක ගමන් කරන බව අනාවරණය කර ඇත.

කෙසේ නමුත් 2025 වසරේ දෙවන කාර්තුව වන අප්‍රේල් 01 සිට ජුනි 30 දක්වා වූ කාලසීමාවට අදාළව සිදුකර ඇති මෙම කාර්තුවේ කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා ආර්ථික කටයුතුවල ධන අගයක් වාර්තා කර තිබේ.

අදාළ ජාතික ගිණුම් ඇස්තමේන්තු දත්ත අනුව එළවළු වගාව, රබර් වගාව සහ මෙරට ධීවර නිෂ්පාදනය සෘණ අගයන් වාර්තා කර ඇත.

එළවළු වගාව 3.6%ක සෘණ අගයක්ද, කරදිය මත්ස්‍ය නිෂ්පාදනය 5.2%ක සෘණ වර්ධනයක් ද, මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය 34.8%ක දැවැන්ත සෘණ අගයක් ද වාර්තා කර තිබේ.

අපනයන සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන මෙරට රබර් වගා කිරීම 10.8%ක සෘණ අගයකින් පසුබැස ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දේ.

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුව දෙවන කාර්තුවේ නිෂ්පාදන පහත වැටීමට හේතු වී ඇත්තේ මාර්තු – අප්‍රේල් කාලය රබර් වගාවේ දළු දමන කාලය වීම සහ මැයි – ජූනි කාලයේ ඇදහැලුණු අධික වර්ෂාවය.

මෙම ගණනය කිරීම අනුව මෙම කාර්තුවේ කෘෂිකාර්මික ආර්ථික කටයුතු 2%කින්, කර්මාන්ත ආර්ථික කටයුතු 5.8%කින්, සේවා ආර්ථික කටයුතු 3.9%කින් ලෙස ධන අගයන් වාර්තා කර තිබේ.

නිෂ්පාදන ප්‍රවේශය යටතේ එළිදක්වා ඇති දත්ත අනුව වී, ධාන්‍ය, උක්, පළතුරු, කුළුබඩු වගාකිරීම ආදී ක්ෂේත්‍ර සැලකිය යුතු අයුරින් ධන වර්ධනයක් පෙන්නුම් කර ඇත.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබාදෙන ප්‍රධානම මූලාශ්‍රයක් වන තේ වගා කිරීම ද දෙවන කාර්තුවේදී 6%ක වර්ධනයක් වාර්තා කර තිබේ.

මස් පිණිස සතුන් ඇති කිරීම, ‘කිරි නිෂ්පාදනය සහ බිත්තර නිෂ්පාදනය’ යන උප කාණ්ඩ කිහිපයකින් සමන්විත සත්ව නිෂ්පාදනය මෙම වසරේ දී දෙවන කාර්තුවේදී කැපීපෙපන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද අදාළ වාර්තාවේ සඳහන්.

එය 2024 දෙවන කාර්තුවට සාපේක්ෂව 13.9%ක සැලකිය යුතු වර්ධනයක්ය.

ඒ අනුව මස් පිණිස කුකුළන් ඇති කිරීම 10.9%කින්, බිත්තර නිෂ්පාදනය 35.3%කින්, කිරි නිෂ්පාදනය 2.5%කින් වර්ධනය වී ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වනවිට බිත්තරයක නිෂ්පාදන මිල සැළකිය යුතු ලෙස අඩුවී ඇති බවය.

විදුලිබල සාකච්ඡාව මැද්දේ විරෝධය පා වෘත්තිය සමිති නියෝජිතයින් ඉවත්වෙයි….

විදුලි වෘත්තීය සමිති හා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් අතර අද (20) පැවති සාකච්ඡාව අතරතුරදී විදුලි වෘත්තීය සමිති සමාජිකයින් විරෝධය පලකරමින් ඉන් පිටව ගිය බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව අද (20) විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී පැවැත්වුණි.

සාකච්ඡාව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අධ්‍යක්ෂවරයාද සභාගිවී සිටි බවත් ඔහුට විරෝධය පළකරමින් විදුලි වෘත්තීය සමිති සමාජිකයින් මෙලෙස ඉවත් වී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරු 25 දෙනෙකු සහ වෘත්තීය සමති නියෝජිතයින් තිදෙනෙකු සහභාගීවී සිටි බව සඳහන්ය.

විදුලි සේවකයින් විසින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය එළැඹෙන 21 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම විදුලි වෘත්තීය සමිති සඳහන් කරන්නේ, ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් 24 වනදා තීරණයක් ගැනීමට නියමිත බවය.

එජාප 79වන සංවත්සරය අද….

එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සර උත්සවය එහි නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වේ.

ඒ මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පසු ප්‍රසිද්ධ උත්සවයකට සහභාගි වන පළමු අවස්ථාව මෙයයි.

“ඔබේ මතය ඔබ දරන්න – ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවන්න එකට සිටගමු” මැයෙන් මෙම සංවත්සරය ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකදී පැවැත්වේ.

මෙම සැමරුම් උත්සවයට විපක්ෂයේ පක්ෂ රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් එක්ව සිටීම විශේෂත්වයක්.

ඒ අනුව මෙම අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර,  ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහලේකම් සාගර කාරියවසම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් එක්ව සිටියි.

අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ ඩී.එස්.සේනානායක මහතා ඇතුළුව මෙරට දිවංගත කෘතහස්ත දේශපාලන නායකයින්ට පුෂ්පෝපහාර දැක්වීම මෙහිදී සිදු කෙරුණි.

සැමියා විසින් බිරිඳට හා පුතාට පහරදෙයි – පුතා මරුට….

දේවාලේගම පොලිස් වසමේ බටුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් ඊයේ (19) රාත්‍රියේ ඔහුගේ බිරිඳට හා පුතාට පහරදී පුත්‍රයා ඝාතනය කර තිබේ.

බිරිඳ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවට දේවාලේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කෙරුණි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ බටුවත්ත, හැලමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පවුල් ආරවුලක් හේතුවෙන් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකර ඇති විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘතශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර දේවාලේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

අන්තර්ජාල රැවටීම් ඔස්සේ ළමුන් අපයෝජනයට ලක්වීම් ඉහළ යයි….

2024 සහ 2025 වසරේ මේ දක්වා කාලය තුළ ළමුන් 43 දෙනෙකු සයිබර් අවකාශය තුළ ලිංගික අපචාරවලට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

පසුගිය වසර හා සැසඳීමේදී මෙම වසරේදී එම තත්ත්වය 50%කට ආසන්න ඉහළ යාමක් බව ඔවුන් පෙන්වා දේ.

2025 වසරේ මේ දක්වා කාලය සීමාව තුළ ළමුන් 28 දෙනෙකු සහ කාන්තාවන් 118 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්ව ඇත.

2024 වසරේදී ද වයස අවුරුදු 18ට අඩු දරුවන් 15 දෙනෙකු හා කාන්තාවන් 375ක් එලෙස සයිබර් අවකාශය හරහා ලිංගික අතවරවලට ලක්ව ඇත.

කෙසේ නමුත් මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් 114 දෙනෙක් අත්අඩංගුවට ගෙන නීතියට ක්‍රියාත්මක කිරීමට හැකිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.

මේ අතර පසුගිය දෙවසරක කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ළමුන් 488 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

තාත්තාගේ ලොකුම ආශාව සිතේ දරන් දුනිත් දිවයිනෙන් පිටව යයි….

තම පියාගේ එකම ආශාව වී තිබුණේ තමන් දක්ෂ ක්‍රීඩකයෙක් වී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම බවත්, එම ආශාව නිසැක ලෙසම ඉෂ්ට කරන බව යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පවසයි.

පියාගේ හදිසි වියෝව හේතුවෙන් ආසියානු කුසලානය අතරතුර දී දිවයිනට පැමිණි දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීම සඳහා අද (20) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට පෙර මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ දුනිත්,

“පොඩිකාලයේ ඉදන්ම තාත්තගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. එයාගේ එකම ආසාව මම හොඳ ක්‍රීඩකයෙක් වෙලා රට වෙනුවෙන් ක්‍රීඩාකරන එක. ඒ ආශාව මම අනිවාර්යයෙන් ඉෂ්ට කරනවා. 

ආසියානු කුසලානයේ අපට තව තරග තියෙනවා. මම මගේ කණ්ඩායමට 100%ක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

සනත් සර් වගේම නායක චරිත් අයියා ඇතුළු කණ්ඩායම මෙන්ම ලංකාවේ ඉන්න සියලු දෙනාගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒක මට ලොකු හයියක්. ඒ නිසා ස්තූතිවන්ත වෙනවා මේ වගේ තත්ත්වයක ඉන්න මට හයියක් වූ එක ගැන. 

පොඩි කාලයේ ඉදන් මගේ ක්‍රිකට් වෙනුවෙන් තාත්තා උදේ ඉදන් රෑ වෙනකම් මගේ පස්සෙන්ම හිටියා. ඒ කැපකිරීම නිසා තමයි මම අද රට නියෝජනය කරන්නේ. තාත්තාගේ ආශාවල් මම දන්නවා. එයා වෙනුවෙන් ඒ සියල්ල ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා”යැයි පැවසීය.

S&P Global Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නංවයි….

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන විදේශ විනිමය ස්වෛරී ණය ශ්‍රේණිය ‘SD/SD’ සිට ‘CCC+/C’ දක්වා ඉහළ නංවා තිබේ.

ස්වෛරී බැඳුම්කර ඇතුළු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය පසුගිය වකවානුවේ දී සාර්ථක ලෙස ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පසු Fitch Ratings සහ Moody’s යන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙක ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නැංවීමට කටයුතු කළද, S&P Global Ratings විසින් එසේ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීමට කටයුතු කර තිබුණේ නැත.

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් නිකුත් කර තිබූ ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කරය ප්‍රතිව්‍යූහගත කිරීමට ඒ දක්වා ශ්‍රී ලංකාව අපොහොසත් වී තිබීම මෙලෙස ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහංළ නොදැමීමට ප්‍රධාන හේතුව වශයෙන් S&P Global Ratings එහිදී සඳහන් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අද (19) දින නිවේදනයක් නිකුත් කරමින් S&P Global Ratings පවසන්නේ, 2022 ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්ව ඇති බවත්, ඇතැම් සාර්ව ආර්ථික දර්ශක අර්බුදයට පෙර පැවති මට්ටම් ඉක්මවා යාමට මේ වන විටත් සමත්වී ඇති බවත්ය. තවද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රජයේ සහතික කළ බැඳුම්කර ඇතුළුව, තවමත් පැහැර හැර ඇති වාණිජ ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ණය හිමියන් සමඟ ක්‍රියාකාරීව සාකච්ඡා කරමින් සිටියද, කාලය ගෙවී යාම මත පදනම්ව, වත්මන් තත්වයන් යටතේ තවදුරටත් විසඳුමක් ලබා ගැනීමට නොහැකි බව S&P Global Ratings විශ්වාස කරන බව ඔවුන් වැඩිදුරටත් කියා සිටී.

මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ ණය සුදුසුකම් පිළිබඳ S&P Global Ratings ඉදිරි දැක්ම පිළිබඳ මතය වඩා හොඳින් පිළිබිඹු කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව සඳහා විදේශ මුදල් ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් ‘SD/SD’  සිට ‘CCC+/C’ දක්වා ඉහළ දැමු බවත්, ඒ සමඟම දේශීය මුදල් ශ්‍රේණිගත කිරීම් ‘CCC+/C’ ලෙස තහවුරු කර ඇති බවත් S&P Global Ratings සඳහන් කරයි.

වෙල්ලාලගේ හෙට ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වෙයි…..

සිය පියාගේ හදිසි වියෝව හේතුවෙන් ආසියානු කුසලානය අතරතුරදී දිවයිනට පැමිණි දුනිත් වෙල්ලාලගේ හෙට (20) දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් යළි එක්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය පවසා සිටියේ, සිය පියාට අවසන් ගෞරව දක්වා ඔහු අද (19) රාත්‍රියේදීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන බවය.

සිය පියාගේ අභාවය සැලවූ වහාම දුනිත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩ මහතා සමග අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

ආසියනු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (20) බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.

මෙරට ඉංජිනේරු දැනුමින් නිපදවූ තෙවැනි නැනෝ චන්ද්‍රිකාවත් කක්ෂගත කෙරේ…

ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වැනි නැනෝ චන්ද්‍රිකාව අද(19) පස්වරු 2.20ට කක්ෂගත කෙරිණි.

මොරටුව ආතර් සී. ක්ලාක් ආයතනය ප්‍රකාශ කළේ, ”බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆ්ලයි” ලෙස නම් කර ඇති මෙම පර්යේෂණ චන්ද්‍රිකාව මගින් මූලික වශයෙන් අභ්‍යවකාශ පර්යේෂණ මෙහෙයුම් තුනක් සිදුකිරීමට නියමිත බවය.

මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව කිසිදු ප්‍රාග්ධන පිරිවැයක් නොදැරීම විශේෂත්වයකි.

2019 සිට මෙරට ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නැනෝ චන්ද්‍රිකා තුනක් නිර්මාණය වී ඇති අතර තෙවැනි නැනෝ චන්ද්‍රිකාව නම් කෙරුණේ ”බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆ්ලයි” ලෙසය.

එම චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වැනිදා නාසා ආයතනය විසින් දියත් කරනු ලැබූ ස්පේස් එක්ස් – 33 රොකට් මෙහෙයුම මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත රැගෙන ගියේය.

ජපන් අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය හා ඩිජිටල් රේඩියෝ සන්නිවේදන ආයතනය යන ජාත්‍යන්තර ආයතන කිහිපයක සහයෝගීතාවය සහිතව, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සහ ජපානයේ කියුෂූ තාක්ෂණ ආයතනය මගින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි.

අද කක්ෂ ගතවූ ”බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆ්ලයි” පර්යේෂණ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන ගමන් මගෙහි තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරනු ඇති.

2019 වසරේදී මෙරට පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස “රාවණ – 1“ චන්ද්‍රිකාව නිර්මාණය වූ අතර දෙවන නැනෝ චන්ද්‍රිකාව වන්නේ 2022 වසරේදී ජාත්‍යන්තර පාර්ශ්ව පහක සහභාගීත්වයෙන් යුත් තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් තුළින් නිර්මාණය කළ “කිට්සුනේ“ චන්ද්‍රිකාවය.