ආපදා දීමනා ගෙවීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කරයි…

ආපදා බලපෑම හේතුවෙන් හානි වූ නිවාස ඉදිකිරීම සහ නායයෑම් අධි අවධානම් නිවාස වෙනුවෙන් දීමනා ගෙවීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

”දිට්වා සුළි කුණාටුව” හේතුවෙන් පැන නැඟුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ වල බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා, 2025-12-05 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 සහ 2025-12-20 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 (i) මඟින් යෝජිත සවිබල ගැන්වීමේ වැඩසටහනෙහි දක්වා ඇති නිවාස හානි සඳහා දීමනා ලබාදීමේ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අදාල උපදෙස් සහ පැහැදිලි කිරීම් ලබා දීම සඳහා මෙම මාර්ගෝපදේශය නිකුත් කළ බව සඳහන් වේ.

ඒ අනුව, 2025 නොවැම්බර් මස 21 වන දින සිට පැවැති ආපදා තත්ත්වය හා පසු ආපදා තත්ත්වය හේතුවෙන් 2025 දෙසැම්බර් 31 දින දක්වා සිදු වූ නිවාස හානි මේ සඳහා අදාළ වේ.

මෙම දීමනා ගෙවීමේ දී අවශ්‍ය කරන ලේඛන ආපදාව හේතුවෙන් විනාශ වී ඇත්නම් එම ලේඛන නොමිලේ ලබාදීමට ප්‍රාදේශීය ලේකම් විසින් සුදුසු වැඩපිළිවෙලක් සකස් කළ යුතු වේ.

ලේඛන පිළිබඳ මතුවන ගැටලු වලදී, ග්‍රාමීය ආපදා කළමනාකරණ හා සහන සේවා කමිටුව නිර්දේශ මත, ප්‍රාදේශීය ආපදා කළමනා කරණ හා සහන සේවා කමිටුව මඟින් එම ලේඛනවල සහතික කළ පිටපත් හෝ වෙනත් තහවුරු කරගත හැකි ලේඛන අනුව හෝ ලේඛන පසුව ලබාදීමේ පදනම මත ගෙවීම් කළ යුතු බව එම මාර්ගෝපදේශ වල සඳහන් වේ.

ආපදා සහන සැලසීම සඳහා සම්බන්ධ වන ආයතන වල කාර්යභාරය ද විස්තරාත්මකව එහි සඳහන් කර තිබේ.

මෙම මාර්ගෝපදේශය මඟින් ආවරණය වන දීමනා හා සහන ලබාදීමේ දී 2025-01-21 දිනැති ආපදා සහන සේවා මාර්ගෝපදේශ අංක 01/2025 හි 2.1 යටතේ ග්‍රාමීය ආපදා කළමනාකරණ හා සහන සේවා කමිටුවෙහි නිලධාරීන්ට හා ප්‍රාදේශීය ලේකම් වෙත සහාය පිණිස පවතින සංයුතියට අමතරව පහතනිලධාරීන්ට ද වගකීම් පවරා ඇත.

පරිපාලන ග්‍රාම නිලධාරි
ඉඩම් නිලධාරී
ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි
නිවාස සංවර්ධන අධිකාරිය නියෝජිත
සමෘද්ධි නිලධාරි
නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිත
නිවාස නිලධාරි
අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරීන්

එජාප – සජබ ඉදිරි සාකච්ඡා ගැන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී විශේෂ තීරණයක්…..

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත දේශපාලනික සාකච්ඡා දෙපාර්ශ්වයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමග සාකච්ඡා කිරීමට තීරණය වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (07) පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

ඊට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවයද හිමිවූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

ඉදිරි දේශපාලන කටයුතු සමගි ජන බලවේගය සමග ඒකාබද්ධව කිරීම සම්බන්ධයෙන් අද දිනයේදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම ඉදිරි කටයුතු වෙනුවෙන් කමිටු දෙකක් පත් කිරීමටත් මෙහිදී තීරණය වී තිබේ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා,

“කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගොඩක් කරුණු සාකච්ඡා කළා. විශේෂයෙන්ම අද රට මුහුණදී තිබෙන තත්ත්වයත් ඒ අරාජික තත්ත්වයත්.. ඒ සඳහා රටේ ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමටත් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත් ගතයුතු ක්‍රියාමර්ග පිළිබඳව සාකච්ඡා කළා.”

“සමගි ජන බලවේගය ඒ් වගේම අනෙකුත් දේශපාලන පක්ෂ සහ සංවිධාන ඒ් හැමෝම එක්ක එකට වැඩ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව කරුණු කාරණා ගණනාවක් සාකච්ඡා කළා.”

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති නවීන් දිසානායක මහතා අදහස් දක්වමින්,

“එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එකමුතු රාමුවක් ගැන අපි අද කතා කළා. අපි කතා කළ විදියට දෙපාර්ශ්වය බොහෝ දුරට එකතුවෙලා වැඩ කරන්න රාමුවක් නායකතුමා යෝජනා කළා. මං හිතන්නේ ඒ්ක බොහෝදුරට සාර්ථක වෙයි කියලා. පක්ෂ දෙකේම අනන්‍යතාව තියාගෙන එක තැනකට එන්න යාන්ත්‍රණයක් තමයි හදාගන්න අවශ්‍ය වෙන්නේ. නායකතුමා යෝජනා කළා පක්ෂ දෙකේම කෘත්‍යාධිකාරී මණ්ඩල දෙකත් දැන් සාකච්ඡා කළ යුතුයි කියලා. ඒක ඉතාම ධනාත්මක අදහසක්. අපිට ඒ විදියට නොයෙකුත් ආකාරයේ එකමුතුව වැඩ කරන්න පුළුවන්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතාත් වෙනම සාකච්ඡා කරන්න යෝජනා වුණා.” 

එක්සත් ජාතික පක්ෂයෙන් සහ සමගි ජන බලවේගයෙන් ප්‍රකාශ වූ කරුණු සැළකිල්ලට ගනිමින් පහත යෝජනා කිහිපය ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ ජනවාරි 09වන දා සිට…..

ආපදාවෙන් පූර්ණ වශයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ මෙම ජනවාරි 09 වන දා අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දස වන පාර්ලිමේන්තුවේ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දෙවැනි රැස්වීම සඳහා අද (07) පස්වරුවේ සහභාගී වෙමිනි.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළහි වත්මන් තත්ත්වය සහ යළි පදිංචි කිරීමේ සහ වගා හානි සඳහා වන්දි ලබා දීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර නිවැරදි දත්ත රැස් කර ගනිමින්, සත්‍ය සංඛ්‍යා ලේඛන මත පදනම්ව අදාළ වන්දි ගෙවීමේ කටයුතු කඩිනම් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙන බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රමය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇති අතර, බැංකු සමඟ සාකච්ඡා කර, එම ණය මුදල ලබා ගැනීම පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, රටේ ආර්ථිකයට දායක වන සෑම ව්‍යාපාරයක්ම ලියාපදිංචි කිරීම සඳහා වූ යාන්ත්‍රණයක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහි ප්‍රතිලාභ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

එසේම, පසුගිය ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ලියාපදිංචි නොකළ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්හට සහන සැලසීම පිළිබඳවද රජය අවධානය යොමු කර ඇති බවත්, ඒ පිළිබඳ වාර්තා ලබා දීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කර තිබෙන මුදල් කාර්යක්ෂමව වැය කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, එසේ නොවුණහොත් නිසි කාලය තුළ අපේක්ෂිත සංවර්ධන අරමුණු ඉටු කර නොහැකි වනු ඇති බවද සඳහන් කළේය.

ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ගොඩනැංවීමේදී පැවති තලයට වඩා එම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ඔසවා තැබෙන අන්දමින් එම කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

ඉන්දීය යුද හමුදාධිපති යුද හමුදා මූලස්ථානයේ නිල සංචාරයක…..

දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ඇතුළු දූත පිරිස අද (7) ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූහ.

මෙහිදී ඉන්දීය යුද හමුදාධිපතිවරයාව යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් පිළිගන්නා ලද අතර, ඊට පෙර යුද හමුදා භටපිරිස් විසින් ඉන්දියානු යුද හමුදාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

ඉන් අනතුරුව දෙරට යුද හමුදාධිපතිවරු අතර සුහද හමුවක් පැවැති අතර, එය අවසන්වීමෙන් පසු ඉන්දියානු ආධාර බුත්තල  යුද හමුදා යුධ විද්‍යාලයේ ඉදි කිරීමට යෝජිත ඉන්දු – ලංකා ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් සඳහා වූ ගිවිසුම අත්සන් කරනු ලැබීය.

මෙහිදී ශ්‍රී ලංකාවට බළපෑ ආපදා තත්ත්වය තුළදී සක්‍රීයව දායකත්වය දැක්වූ යුද හමුදා ප්‍රතිචාර කණ්ඩායම්වල සාමාජිකයින්ගේ විශිෂ්ට හා කැපවූ සේවය ඇගයීම සඳහා සංවිධානය කරන ලද උත්සවයකටද ඉන්දීය යුද හමුදාපතිවරයා  සහභාගි විය.

මේ අතර මහින්ද්‍රා ස්කොර්පියෝ වර්ගයේ වාහන 20ක්, පුහුණු සමාකෘති සහ ගිලන් රථ 2ක් නිල වශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත ප්‍රදානය කිරීමද සිදුවිය.

මෙම අවස්ථාව සඳහා යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.

යුද හමුදා මූලස්ථානයේ නිල සංචාරයට පෙර ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි මහතා ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය වෙත පැමිණියේය.

එහිදී  ඉන්දියානු යුද හමුදාධිපති විසින් එම විද්‍යාලයීය පුස්තකාලයේ ‘ඉන්දියානු අංශය’ විවෘත කළ අතර, විද්‍යාලය වෙත ගිලන් රථයක් ද පරිත්‍යාග කළේය.

එමෙන්ම, ඉන්දියානු යුද හමුදාධිපති බත්තරමුල්ල ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වමින් දිවිපිදූ ඉන්දීය හමුදා සාමාජිකයන් වෙත ගෞරවාචාර පිදීමකටද එක්විය.

මුල් ළමාවියේ සිටින දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට අලුත් වැඩක්…..

ශ්‍රී ලංකාව පුරාම සිටින දරුවන් සඳහා එකම ප්‍රමිතියකින් යුතු මුල් ළමාවිය සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහතමිය පවසයි.

මුල් ළමාවියේ සිටින දරුවන්ගේ සමාජ සහ චර්යාත්මක වෙනසක් උදෙසා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන වැඩසටහ පිළිබඳ දැනුවත් කිරීම උදෙසා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්  අමාත්‍යවරිය මෙම අදහස් දැක්වීය.

එහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ නිරෝගී මනසක් සහ නිරෝගී ශරීරයක් සහිත දරුවෙකු බිහිකිරීම ජාතික ඉළක්කයක් බවය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ “මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික වැඩසටහන යටතේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මූලිකත්වයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ 12 ක එකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

ජනවාරි 10 වන දින අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන එළිදැක්වීමට සැළසුම් කර ඇත.

ඊට සමගාමීව මුල් ළමාවිය දරුවන් තුළ සහකම්පනය, චිත්තවේග කළමණාකරනය, ආචාරධර්මීය සංවර්ධනය, යහපත් සෞඛ්‍ය  පුරුදු හුරු කිරීම, සන්නිවේදන කුසලතා වර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාකාරාම් පාදක ඉගැන්වීම රටාවක් සහ ඒ සඳහා අවශ්‍ය මෙවලම් කට්ටලයක්ද හදුන්වා දීමට නියමිතය.

කාලගුණයෙන් රතු නිවේදනයක්…

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය අද (07) සවස 05.30 වන විට පොතුවිල් සිට 570 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.0°N සහ දේශාංශ 86.8°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 36 තුල දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ලගාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින අතර එහි බලපෑම හේතුවෙන් හෙට (08) දින සිට දිවයිනේ, විශේෂයෙන් උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි

මහ බැංකුවේ විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.82ක් දක්වා ඉහළට…..

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2025 දෙසැම්බර් මාසය අවසන් වනවිට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,825ක් දක්වා ඉහළ ගොස් ඇති බව නවතම මහ බැංකු දත්ත වාර්තාතා පෙන්වා දේ.

මෙය 2025 නොවැම්බර් මාසය අවසානයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 6,034ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 13.1%ක ඉහළ යාමකි.

මේ අතර සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2025 නොවැම්බර් මාසයේ පැවති ඩොලර් මිලියන 5,944 සිට ඩොලර් මිලියන 6,734ක් දක්වා 13.3%කින් පසුගිය 2025 දෙසැම්බර් මාසය තුළ දී ඉහළ ගොස් ඇත.

පඩිකාරමඩුව ගිනි තැබීමේ ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළ යයි: බිරිදත් ජීවිතක්ෂයට පත්වෙයි…..

ගලෙන්බිඳුනුවැව, පඩිකාරමඩුව ප්‍රදේශයේ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් නිවසට පෙට්‍රල් දමා ගිනි තැබීමේ අවාසනාවන්ත සිද්ධියෙන් පසු අද අලුයම අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 36 හැවිරිදි මව (ප්‍රභාෂා සදමාලී ජයවර්ධන) මියගොස් තිබේ

ඒ අනුව මෙම සිද්ධියෙන් මියගිය මුළු සංඛ්‍යාව මේ වන විට හතරක් (03) දක්වා ඉහළ ගොස් ඇත.

පසුගියදා ඇති වූ මෙම ආරවුල අතරතුර සැමියා විසින් නිවසට පෙට්‍රල් දමා ගිනි තැබීමෙන් ඔහුගේ 14 හැවිරිදි බාල දියණිය එම ස්ථානයේදීම මියගිය අතර, සිරුරට ගිනි ඇවිලීමෙන් බරපතල තුවාල ලැබූ සැමියා ද රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබුණි.

ගින්න නිවීමට උත්සාහ කිරීමේදී තුවාල ලැබූ මියගිය කාන්තාවගේ 61 හැවිරිදි මව සහ 20 හැවිරිදි පුත්‍රයා හා වැඩිමහල්  තවදුරටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති. ඔවුන් මුලින්ම යකල්ල හුරුලුවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබුණි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ එම්.ඒ. චමින්ද ගුණතිලක මහතා සිද්ධිය වූ ස්ථානය වෙත පැමිණ පරීක්ෂණ සිදු කළහ. හොරොව්පතාන සහකාර පොලිස් අධිකාරී (2) එදිරිසිංහ මහතා ද ස්ථානීය පරීක්ෂණ සඳහා එක්වූ අතර, ගලෙන්බිඳුනුවැව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

ගලෙන්බිඳුණුවැව – චින්තක  බාලසූරිය

සිස්ටම් චේන්ජ් වී කැකිරාව සති පොලේ උණුසුම් තත්වයක්. බදු මුදල අසාධාරණයි. ආණ්ඩු වෙනස් කළේ තවත් දුක් විඳින්න ද වෙළෙදුන් අසයි…

කැකිරාව ප්‍රාදේශිය සභාව යටතේ මෙතක් කල් පවත්වාගෙන ආ බව කියන කැකිරාව නගරයපවත්වාගෙන යනු ලබන සති පොල මෙවර ප්‍රාදේශීය සභාව මඟින් කැකිරාව ප්‍රදේශයේ පුද්ගලයකුට ටෙන්ඩර් ලබා දිමට කටයුතු කර ඇතැයි ද ටෙන්ඩර්කරු විසින් අසාධාරණ ලෙස ඉහළ බදු මුදලක් තමන්ගෙන් එකතුකරන බවද කැකිරාව සතිපොල වෙළදුන් චෝදනා කරයි.
ඒ අනුව සතිපොල බදු අය කිරිමට පැමිනි ටෙන්ඩර් කරු ඇතුලු ⁣පිරිස අධික බදු මුදලක් තමන්ගෙන් අය කල බවද එය තමනට දරා ගැනිමට නොහැකි බවද පවසන වෙළදුන් වෙනත් සති පොලවල් වල එලෙස අසාධාරණ බදු මුදල් අය නොකරන බවද පෙන්වා දෙති.
මෙහිදි අද සතිපොල මුදල් එකතු කිරිමට පැමිණි පිරිස හා වෙලෙදුන් අතර තරමකඋණුසුම් තත්වයක්ද හට ගැනින.
මෙලෙස අසාධාරණ ලෙස බදු මුදල් අය කළ ද සතිපොළ වෙලෙදුන්ට අවශ්‍ය වැසිකිළී පහසුකම්හෝ සතිපොළ භූමියේ නිසි ලෙස නොමැති බවද එම වෙළෙදුන් පෙන්වා දෙති.
මෙහි වෙලදාමේ නිරත ඇතැම් පිරිස් දැනට වසර 40ක පමණ කාලයක සිට මෙම පොලෙහි වෙලදාම් කටයුතුවල නිරත වන බවද එම ඉතිහාසයේ මෙවැනි අසාධාරන බදු මුදල් අයකිරිමක් සිදු නොවු බවද ඔවුහු පෙන්වා දෙති.
මේ අනුව සතිපොලෙන් අය කෙරෙන නව බදු මුදල් සදහා වෙලදුන්ගේ දැඩි විරෝධතාවයක් ද එල්ලවි තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ තම ව්‍යාපාරික කටයුතු වලට මෙලෙස අසාධාරන ලෙස බදු පැනවිම මගින් තමන් කබලෙන් ලිපට වැටි ඇති බවයි. එසේම මෙලෙස අසාධාරණ ලෙස අයකරන බදු මුදල සෘජුවම සභාවට හෝ රජයට නොලැබෙන බවත් එය තුන්වන පාර්ශවයක් වන ටෙන්ඩර්කරුගේ අතට පත්වන බැවින් මේ සදහා සාධාරනයක් ඉටුකරන ලෙසත්, තමන් මෙම රජයෙන් බලාපොරොත්තු වු සහනය මෙය නොවන බවත් වෙලෙ⁣දුන් පෙන්වා දෙති.
සතිපොල ටෙන්ඩරය ලබා ගත් පුද්ගලයා පවසන්නේ එම බදු මුදල් අයතිරීම ප්‍රාදේශීය සභාවේ තීරණයක් අනුව සිදුකරන බවයි.
මෙම අවස්ථාවේ කැකිරාව ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ බලය හිමි ජාතික ජනබල වේගයේ මංත්‍රීවරයකු වන නවරත්න බංඩාර මහතාද සති පොලට පැමිණී සිටි අතර ඔහුට ද මෙම අසාධාරණ බදු අයකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට වෙළෙදුන් කටයුතු කරනු ලැබීය. වෙළෙදුන් හමුවේ ඔහු කියා සිටියේ තමන්ද එම අවස්ථාවේ ගැටළුව ගැන නොදන්නා බවත් තමන්ද බඩු ගන්න පොලට ආ බවයි. කෙසේ වෙතත් මෙවළදුන් පත්ව ඇති මෙම අපහසුතාවය සම්බන්ධයෙන් ස භාව දැනුවත් කරන බවටද මංත්‍රීවරයා එහිදී වෙළෙදුන්ට පොරොන්දු විය.
කැකිරාව සතිපොල වෙළදුන් ඉල්ලා සිටින්නේ ටෙන්ඩරය අහෝසි කර පෙර පැවැති ලෙස මෙම පොල සදහා ප්‍රාෙද්ශී්‍ය සභාව යටතේම පවත්වාගෙන යමින් බදු අය කිරිම ප්‍රාදේශිය සභාව මඟින් සිදුකර එම සමස්ථ බදු මුදල සෘජුවම රජයේ පාර්ශවය වෙනුවෙන් ප්‍රාදේශීය සභාවට අයවන ලෙස කටයුතු කරන ලෙසයි.
වෙළෙදුන් පවසන්නේ මෙලෙස අසාධාරණ බදු මුදල අයකරන්නේ නම් ඉදිරියේදී සතිපොල ව්‍යාපාරිකයින් ලෙස තමන්ට ද දැඩි තීරණයක් ගැනීමට සිදුවන බවයි.

දිස්ත්‍රික්ක 3කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්…

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුන සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

එම පූර්ව අනතුරු ඇඟවීම අද රාත්‍රී 10 සිට හෙට (06) රාත්‍රී 10 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා වලංගු වේ.

ඒ අනුව පහත ස්ථානයන් වෙත විමසිලිමත් වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කය:
– උඩුදුම්බර

මාතලේ දිස්ත්‍රික්කය:
– ⁠විල්ගමුව

නුවරඑළිය දිස්ත්‍රික්කය:
– ⁠වලපනේ