පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්……

පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය පවසයි.

අද (12) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් වෛද්‍යවරිය පැවසුවේ මෙම වසරේ ඊයේ (11) දිනය වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 27,754ක් වාර්තා වූ බවත් එම රෝගීන් අතුරින් මරණ 14ක්ද සිදුව ඇති බවත්ය.

මෙම රෝගීන් අතුරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර මීට අමතර කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ නුවර දිස්ත්‍රික්කවලින්ද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබේ.

කෙසේ නමුත් දිස්ත්‍රික්ක 25න්ම රෝගීන් වාර්තා වීම සිදුවන බවත් පෙන්වා දුන් වෛද්‍යවරිය පැවසුවේ මෝසම් වැසි සක්‍රීය වීමත් සමගම රෝගීන්ගේ වර්ධනයක් සිදුවීමේ ප්‍රවණතාවයක්ද පවතින බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර ප්‍රදේශ සහ පරිශ්‍ර පිරිසිදුව පවත්වා ගැනීම සිදුකළ යුතු බවද වෛද්‍යවරිය මෙහිදි පෙන්වා දුන්නාය.

උණ සමග මස්පිඩු වේදනාව, හිසරදය, වමනය, ඔක්කාරය, ශරීරයේ රතු පැහැති ළප හටගැනීම, වැනි රෝග ලක්ෂණ හෝ මෙවැනි රෝග ලක්ෂණ අවම වශයෙන් දෙකක් හෝ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු මුණ ගැසී තමන්ගේ රෝග ලක්ෂණ සම්බන්ධව වෛද්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසත් වෛද්‍යවරිය මෙහිදී මහජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කළාය.

වෛද්‍යවරිය පැවසුවේ නිවෙස්වලට සාපේක්ෂව පාසල්, වැඩබිම්, ආගමික ස්ථාන, රාජ්‍ය සහ පෞද්ගලික ආයතවල මදුරුවන් බෝවීම ඉහළ ගොස් ඇති බැවින් ඉතා නොසැලකිමත් ලෙස මදුරුවන් බෝ විය හැකි ස්ථාන දිගින් දිගටම පවත්වාගෙන යන්නේ නම් නීතිමය පියවර ගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත අවශ්‍ය බලතල ලබා දී ඇති බවය.

මදුරුවන් බෝ වන ස්ථාන සඳහා වැඩිවශයෙන්ම බලපාන හේතුවක් බවට පත්ව ඇත්තේ නිසි පරිදි කසළ බැහැර නොකිරීම බැවින් ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කර මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර දැමීම සියලු පාර්ශවයන්ගේ වගකීමක් බවද වෛද්‍යවරිය මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළාය.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු මරණ 12ක් – ළමුන් දෙදෙනෙකුත් ඒ අතර……

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු මරණ 12ක් වාර්තා වී ඇති බවත් ඒ අතර අවුරුදු 12ට අඩු කුඩා ළමුන් දෙදෙනෙකු ද සිටින බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

අද (04) පැවති මාධ්‍ය හමුවක් අමතමින්, එහි ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේ, කුඩා ළමුන් දෙදෙනාගේ මරණ වාර්තා වුයේ කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්ක වලින් බවය.

මේ අතර මෙම වසරේ, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 25,846ක් වාර්තා වී තිබේ.

කඩින් කඩ ඇතිවන වර්ෂාපතනය සහ අවට පරිසරයේ මරුදුරවන් බෝ වීමට ඇති පහසුව හේතුවෙන් මෙම ඩෙංගු මදුරුවාගේ ව්‍යාප්තිය ඉහළ යන බවත් ඒ අනුව ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහඵ යන බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

මෙරට මත්පැන් පරිභෝජනය ඉහළට……

මෙරට මත්පැන් පරිභෝජනය ඉහළ යමින් පවතින බවට සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වන බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

2025 වසරේ දත්තවලට අනුව බීර නිෂ්පාදනය  5%න් සහ මධ්‍යසාර නිෂ්පාදනය 17%න් ඉහළ ගොස් ඇති අතර ඒ හරහා මධ්‍යසාර පරිභෝජනය ඉහළ ගොස් ඇති බවට නිරීක්ෂණය වන බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

2024 වසර ආරම්භයේ සිදුවූ සංශෝධනයෙන් පසු මේ දක්වා මධ්‍යසාර මිලෙහි සංශෝධනයක් සිදු නොවීම මෙම තත්ත්වයට බලපාන ප්‍රධානතම සාධකය වී ඇති බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

උද්ධමනය සහ පුද්ගල ආදායම් වර්ධනයට සාපේක්ෂව මධ්‍යසාර මිල ස්ථාවරව පැවතීම හේතුවෙන් මධ්‍යසාර මිලදී ගැනීමේ හැකියාවේ විශාල වර්ධනයක් සිදුව ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

මෙම කාලය තුළ සුරාබදු ආදායම යම් මට්ටමකින් වැඩි වී තිබුණ ද මෙම තත්ත්වය මගින් ඇති කරන බලපෑම බදු ආදායම් වර්ධනයට වඩා සෞඛ්‍ය හා සමාජීය වශයෙන් අහිතකර බලපෑම් එල්ල කරන බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.

2023 වසරේදී මධ්‍යසාර බදු 20%ට කින් වැඩි කිරීම හේතුවෙන් 2022 වසරට සාපේක්ෂව මධ්‍යසාර අලෙවිය ලීටර මිලියන 8.3කින් අඩු වී තිබූ අතර රජයේ බදු ආදායම රුපියල් බිලියන 11.6කින් වැඩි වී තිබුණි.

2024 ආරම්භයේ දී මත්පැන් බදු තවදුරටත් 20%ට කින් ඉහළ නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස පෙර වසරට සාපේක්ෂව මධ්‍යසාර අලෙවිය ලීටර 430,000කින් තවදුරටත් පහත වැටී තිබූ අතර බදු ආදායම රුපියල් බිලියන 42.15ක් දක්වා ඉහළ ගොස් තිබූ බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළේය.

සරම්ප රෝගීන් දෙදෙනෙක් කොළඹින් හමුවෙයි – අනිවාර්යයෙන් එන්නත් ලබාගන්නැයි උපදෙස්……

මෙරට වසර කිහිපයක් තුරන්කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවා තිබෙන බව වෛද්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ රෝගය වැළදුණු ළමුන් දෙදෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් බවය.

එබැවින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් දරුවන්ට හැකි ඉක්මනින් එම එන්නත් විධිමත්ව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය සහමුලින්ම තුරන් කළ රටක් බවට ලෝක සෞඛය සංවිධානය නිවේදනය කළේ ඉකුත් 2019 වසරේදීය.

කෙසේවෙතත්, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ 2023 වර්ෂයෙන් පසුව ඇතැම් ප්‍රදේශවලින් සරම්ප වසංගත තත්ත්වයන් වාර්තාවූ බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසුවේ රෝගය වැළඳී ඉන් සුවයක් ලැබුණද එහි සංකූලතා හේතුවෙන් වසර ගණනාවකට පසුව මරණය පවා ඇතිවී අවධානමක්ද පවතින බවය.

“2025 අවුරුද්දේ ජනවාරි මාසේ ඉදලා එක රෝගියෙක්වත් ලංකාවෙන් වාර්තා වුණේ නෑ. නමුත් අවාසනාවකට වගේ රෝගීන් දෙදෙනෙක් වාර්තා වෙලා තියෙනවා කොළඹ දිස්ත්‍රිකයෙන්. මේ වාර්තා වු ළමුන් දෙදෙනා‍ගේ රෝගී තත්ත්වය නැවතත් වසංගතයක් දක්වා වාර්තා නොවී පැවතීමට අපි සියලුම උත්සහයන් ගන්න ඕනේ. එක ළමයෙකුගේ නියැදි අපි යැව්වා ඉන්දියාවේ රසායනාගාර වෙත. එයින් තහවුරු වුණා ඒ වෛරසය පිටරටින් පැමිණ වෛරසයක් බව. “

 “මෑතකදී සොයාගෙන තියෙනවා සරම්ප රෝගය වැළඳුනාට පස්සේ ඒ වැළඳුන කෙනාට, ප්‍රතිශක්ති මතකය අමතක වෙනවා කියලා.  සරම්ප රෝගය වැළඳුනාට පස්සේ එම කෙනාට, අනික් රෝග වලට මුහුණ දීමටත් ඇති හැකියාවත් නැති වෙලා යනවා කියලා. එ් වගේම තව තත්ත්වයක් තියෙනවා SSPE මාරන්තික තත්ත්වයක්, සරම්ප රෝගය සුව වෙලා ගිහිල්ලා වසර ගණනාවකට පස්සේ වුණත් වෙන්න පුළුවන්.   ඒ නිසා සරම්ප රෝගය සුව වුණා කියලා කිසිම කෙනෙකුට, විශේෂයෙන් ළමයෙකුට. දෙමාපියන්ට සැනසිල්ලේ ඉන්න වෙන්නේ නෑ. මොකද කොයි මොහොතේ දී හෝ, වසර ගණනාවක පසුව එක සෙමින් සෙමින් මරණය ඇති කරණ මාරාන්තික තත්ත්වයක්.”

පළාත් රැසකට හෙට උණුසුම ඉහළට….

හෙට (09) දිනයේ දී පළාත් රැසකට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට සඳහා වලංගු වන පරිදි නිකුත් කළ නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු, උතුරු – මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවය.

එබැවින් එම ප්‍රදේශවල වැසියන්ට විමසිලිමත් වන්නැයි දැනුම් දී තිබේ.

පසුගිය වසරේදී ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි ගණන 10,000 ඉක්මවයි…..

පසුගිය 2025 වසරේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 10,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එම අධිකාරියේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ (සැලසුම් හා තොරතුරු) නීතිවේදී සමාජ විද්‍යාඥ ශානික මලල්ගොඩ මහත්මිය පැවසුවේ ඒ අනුව එම වසර තුළ ලැබී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 10,455ක් වන බවය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවැති ළමා අරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහත්මිය මේ බව සඳහන් කළාය.

ඒ මහත්මිය පැවසුවේ ලැබී ඇති මෙම පැමිණිලි සංඛ්‍යාවෙන් පැමිණිලි 2,099ක් ළමයින් කෘරත්වයට පත් කිරීම වෙනුවෙන් ලැබුණු බවය.

එමෙන්ම මෙම වසරේ පෙබරවාරි 28 වැනි දින වන විට කායික දණ්ඩනය සම්බන්ධව පැමිණිලි 11,409ක් වාර්තා වී ඇති බවද ඒ මහත්මිය මෙහිදී අනාවරණය කළාය.

එහිදී ඒ මහත්මිය පැවසුවේ යම් කිසි අයෙකු ළමයෙකු කායික අපයෝජනයට, කායික දණ්ඩනයට ලක් කරන බව දුටුවොත් හෝ ඒ සම්බන්ධව දැනගැනීමට ලැබුණහොත් ජාතික ළමා ආරක්ෂන අධිකාරියට වහාම පැමිණිලි කරන ලෙසය.

ඒ වෙනුවෙන් 1929යන ළමා දුරකථන අංකය නොමිලයේ ඇමතුම් ලබා ගත හැකි බවත් ඒ අනුව ඕනෑම මොහොත මෙම දුරකථන අංකයට අදාළ පැමිණිලි යොමු කරන ලෙසද ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.

අධික උණුසුම මානසික අවපීඩනයන් ඇති කරයි…..

අධික උණුසුම් තත්ත්වය මානසික අවපීඩනයන් ආතතිය, හිතට කරදරය සහ නොසන්සුන් තත්ත්වයන් ඇතිකිරීමට හේතුවන බව මනෝ වෛද්‍ය, විද්‍යා විජේබණ්ඩාර මහත්මිය පවසයි.

අධික උණුසුම සහ මානසික මට්ටම සම්බන්ධයෙන් අද (01) සෞඛ්‍ය ප්‍රවර්ධන කර්යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍යවරිය මේ බව පැහැදිලි කළාය.

ඇය පැවසුවේ අධික උණුසුම් තත්ත්වයත් සමඟ සිරුර විජලනයට පත්වීමෙන් ඇතිවන රාසායනික තත්ත්වයන්ගේ වෙනස්වීම හේතුවෙන් කෙනෙකුගේ මානසක මට්ටම පහතට වැටීමට හැකියාවක් පවතින බවය.

“අධික උණුසුම් තත්ත්වය මානසික අවපීඩනයන්, ආතති තත්ත්වයන්, හිතට කරදරය නොසන්සුන්කම වැඩිකරන තත්ත්වයන් වෙනවා. අධික උණුසුමත් එක්ක ආතතිය, ඇන්සයිටිතමතාවය, විෂාදය එකට බැදිලා තියෙන නිසා මෙම තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්.  

අධික උණුසුමත් එක්ක ඇග විජලනයට පත්වෙනවා.  ඒක නිසා ඇති වන රාසායනික තත්ත්වයන්ගේ වෙනස්වීම නිසා කෙනෙක්ගේ මානසක මට්ටම පහතට වැටෙන්න පුළුවන්. මොලේ තියෙන රාසායනික ද්‍රව්‍ය, හෝමෝන මේ සියලු දේවල බලපෑම නිසා මානසික තත්ත්වය අඩු වෙන්න පුළුවන්. රස්නය වැඩි වුණාම නින්දට බලපෑම් වෙනවා. මේකත් මානසික මට්ටම අවපීඩනයට ලක් කරන්න හේතු වෙනවා. අධික උණුසුමත් එක්ක කෙනෙකු ආතති තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන්. 

අධි අවධානම් පිරිසක් ඉන්නවා. කාලයක් පුරා රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පිරිස්, කුඩා දරුවන්, ගර්භණි මව්වරු සහ වයෝවෘධ පිරිස.

මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය කෙළිම්ම බලපෑමක් ඇති කරනවා. මානසික තත්ත්වය කඩා වැටෙන්න අධික උණූසුම් තත්ත්වයත් සමග නුසුදු දියරයක් බැවින් මත්පැන් පානය කිරීම මානසික තත්ත්වය අවපීඩනය වීම ආතති තත්ත්වයන් ඇති වීම වෙන්න පුළුවන්. විශේෂයෙන් අධික උණුසුම කල්පනාව අඩුවීම මතකය අඩුවීම වැනි තත්ත්වයන්ට ඇතිවෙන්න පුළුවන්. 

මනස හොඳින් තියා ගන්න ලිහිල් ව්‍යායාම කරන්න. භාවනාව, සංගීතයට සවන්දීම පරිසරය සමඟ බැදෙන ක්‍රියා කරන්න. මානසික තත්ත්වය යහපත්ව තබාගන්න පුළුවන් දේ කරන්න.

අධික උණුසුම රාත්‍රියේදී නින්දට බාධා වෙනවා. එකත් මානසික ආතතිය වැඩි වීමට හේතු වෙනවා. “

හෙට දින සිට නැවත දැනුම්දෙනතුරු ID ඔෆිස් එකේ සියලු වැඩ නවතියි….

හෙට (27) සිට නැවත දැනුම් දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ, එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අද (26) පස්වරු 01.30ට සිදු වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන්ය.

මෙම පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් සියලුම සේවාවන් ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

පළාත් කිහිපයක උණුසුම ”අවධානය යොමු කළ යුතු” මට්ටමක….

බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙට (27) දිනයේ ”අවධානය යොමුකළ යුතු” මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජනතාවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ ඒ අනුව සෞඛ්‍යය තත්ත්වයට විය හැකි බලපෑම් අවම කරගැනීමට සැලකිලිමත්ව කටයුතු කරන ලෙසය.

අධික රස්නය මේ දවස්වල කාටත් හිසරදයකි.

වැසි නොමැති කාලගුණ තත්ත්වය එක්ක මේ දවස්වල තියෙන පෑවිල්ල නිසා ජලාශවල ජල මට්ටම් පවා අඩුවෙමින් පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තා අනුව ප්‍රදේශ රැසක උණුසුම් දර්ශකය , එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ”අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතී.

ඒ සෙල්සියස් අංශක 39 ත් 45 ත් අතර මට්ටමය.

මෙය සෙල්සියස් අංශක 46 ත් 52 ත් අතර මට්ටමට ඉහළ ගියොත් එය ”වැඩි අවධානය යොමුකළ යුතු” තත්ත්වයක් ලෙස සැලකේ.

සෙල්සියස් අංශක 52 පසුකළොත් ”අනතුරුදායක” මට්ටමක් ලෙසයි දැක්වෙයි.

ඒ අනුව බස්නාහිර , සබරගමුව , දකුණ හා වයඹ , උතුරු හා උතුරු මැද පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයෙත් ඉදිරි පැය 24 තුළ උණුසුම ”අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බව සඳහන්ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව රත්නපුරින් සෙල්සියස් අංශක 36.5ක් කුරුණෑගල සහ පුත්තලමෙන් සෙල්සියස් අංශක 36ක්, මත්තල සෙල්සියස් අංශක 35ක් ලෙස අද ඉහළ උණුසුමක් වාර්තාවිය.

කොළඹ නගරයේ උණුසුම අද දහවල් වාර්තාවුණේ සෙල්සියස් අංශක 32.5ක් ලෙසය.

උණුසුම් කාලගුණය හමුවේ ප්‍රදේශ රැසකම ජනතාව මේ දිනවල සිය ජීවනෝපාය සහ එදිනෙදා කටයුතු සිදුකිරීමේදී අසීරුතාවට පත්ව සිටී.

ජනතාව මෙන්ම සතා සිව්පාවුන්ද උණුසුම් කාලගුණයේ බලපෑමට ලක්ව ඇති අයුරු නිරීක්ෂණය කළ හැකියි.

ඒ අතර උණුසුම් කාලගුණය හමුවේ ජලාශවල ජල මට්ටම්ද මේ වන විට පහළයමින් පවතී.

මේ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබේ.

ඒ අනුව වැඩබිම් තුළදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ සහිත ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් උපදෙස් දී තිබේ.

එමෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ වැඩි වශයෙන් සැලකිලිමත් වන ලෙසද කුඩා ළමයින් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසයි උපදෙස් දී ඇත.

ඊට අමතරව අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් මේ දිනවල භාවිත කරන ලෙසත් ජනතාවට උපදෙස් දී තිබේ.

බදුල්ල මහ රෝහලෙන් නැවතත් විශ්මිත සැත්කමක්….

යකඩ කම්බියක් උදරය පසාරු කරගෙන කොන්ද පිටුපසින් එළියට පැමිණ තිබූ ඉතා බිහිසුණු අනතුරක් සිදුවු පුද්ගලයෙකුගේ දිවි බේරාගැනීමට බදුල්ල රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත්ව තිබේ.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ, 37 හැවිරිදි අයෙකුය.

අනතුරට ලක්වූ පුද්ගලයාව බදුල්ල රෝහලට රැගෙන ඒමෙන් අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය එම යකඩ කුරේ කොටසක් කපා ඉවත් කර තුවාලකරුව ශල්‍යකර්මය සඳහා යොමුකර තිබුණි.

පසුව වෛද්‍යවරු සැත්කම සිදුකරන අතරතුර, සිරුර තුළ වූ යකඩ කොටස් ඉවත් කර ඇත.

මුරුංගා ගසක මුරුංගා කැඩීමට යාමේදී මුරුංගා අත්තක් කැඩි යෑමෙන් මෙම පුද්ගලයා කොන්ක්‍රීට් තාප්පයක් උඩට වැටී ඇති අතර, එහිදී යකඩකූරක් ඇනී තිබේ.