දක්ෂිණ අධිවේගයේ වාහන 5ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්….

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර කිලෝමිටර් 31 ප්‍රදේශයේදී වාහන 5ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පැවසීය.

මාතර දෙසට ගමන් කරමින් තිබූ බස් රථ දෙකක් සහ මෝටර් රථ තුනක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් පොලීසිය සඳහන් කළේ මෙම අනතුර හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද ඇති වී ඇති බවය.

ඩෙංගු මරණ 30ක් දක්වා ඉහළට…..

මාරාන්තික ඩෙංගු රෝගය හේතුවෙන් වසරේ මේ දක්වා සිදුවූ මරණ සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අංශ තහවුරු කරන පරිදි මේ වන විට දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 49,000කට ආසන්නය.

එම අංශ පෙන්වා දෙන්නේ, මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 14ක් පුරා ඩෙංගු රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය සිටියේ, සමස්ත රෝගීන්ගෙන් 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවය.

මෙම මාසය නිම වීමට තවත් සතියකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී, වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 15,000කට ආසන්න වේ.

රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් IDH (අංගොඩ බෝවන රෝග විද්‍යායතනය), කොළඹ ජාතික රෝහල, කළුබෝවිල සහ ගම්පහ ඇතුළු ප්‍රධාන රෝහල් රැසක් මේ වන විටත් සිය උපරිම ධාරිතාවට ළඟා වී ඇත.

ඒ හේතුවෙන් වත්මන් තත්ත්වය පාලනය කළ හැකි සීමාවෙන් ඔබ්බට ගොස්, රට තුළ ඩෙංගු ‘අධි වසංගත’ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ බරපතළ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

භෞත චිකිත්සකවරියගේ මරණයේ සැකකරුගේ කැරැට්ටුව……

රට තුළ ආන්දෝලනයක් මතුකළ භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලිසියට හැකිව තිබේ.

ඒ අනුව එම මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ, ගෙල සිරකිරීමෙන් එම මරණය සිදුව ඇති බවය.

ප්‍රධාන සැකකරු හා ඔහුගේ බිරිඳ පොලිසිය විසින් අද (24) යාපනයේදී අත්අඩංගුවට ගැනීමත් සමග තවත් කරුණු අනාවරණය කරගැනීමට හැකිව ඇත.

සිද්ධියේ පසුබිම සහ මළ සිරුර සොයාගැනීම

පසුගිය ජූනි 17 වැනිදා තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තාවකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගන්නා ලදී. මෙලෙස මියගොස් තිබුණේ අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියක් ලෙස සේවය කළ 34 හැවිරිදි ශම්‍යා දර්ශනී නැමැති තැනැත්තියකි.

ඇයගේ පෙම්වතා විසින් ඇගේ සිරුර මෝටර් රථය තුළ දමා පලාගොස් තිබූ අතර, ඔහු සිරුර රැගෙන යන අයුරු CCTV දර්ශනවලද සටහන්ව තිබුණි.

පොලිස් විමර්ශන සහ සැකකරුවන් කොටුකර ගැනීම

දින 7ක් පුරා සැකකරු සෙවීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කෙරුණි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) තාක්ෂණික සහාය ඇතිව සිදුකළ මෙහෙයුමකදී සැකකරු වැල්වත්ත ප්‍රදේශයේ සිට යාපනය දෙසට ගමන් කරමින් සිටින බව අනාවරණය විය.

ඒ අනුව ක්‍රියාත්මක වූ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්, සැකකරු ගමන් කරමින් සිටි බස් රථය චාවකච්චේරිය, කයිතඩි ප්‍රදේශයේදී වටලා සැකකරු, ඔහුගේ බිරිඳ සහ එක් දරුවකුව අත්අඩංගුවට ගත්තේය.

වෙස්වලාගෙන පලායාමේ උත්සාහය

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු තොප්පියක් සහ මුව ආවරණයක් පැලඳ සිටි අතර, ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක ලෙස වෙස්වලාගෙන සිට ඇත.

සැකකරු නිතර භාවිත කළ බොරු කොණ්ඩයක්ද (Wig) ඔහු සතුව තිබී පොලිසිය විසින් සොයාගන්නා ලදී. ඔවුන් යාපනය හරහා ඉන්දියාවට පලායාමට සැලසුම් කර තිබූ බවට පොලිසිය සැකකරයි.

සැකකරුගේ ප්‍රකාශය

තමා මියගිය කාන්තාව නැවතී සිටි කාමරයට යන විට ඇය ගෙල වැළලාගෙන සිටි බවත්, බියට පත්ව සිරුර මෝටර් රථයේ දමා තෙල්දෙණියට රැගෙන ආ බවත් සැකකරු පවසයි.

කෙසේ වෙතත්, වෛද්‍ය වාර්තා මගින් මෙය ගෙල සිරකර මැරීමක් බව සනාථ කර ඇත. තවද ඇයගෙන් තමා මුදල් ලබාගත්තද එය රුපියල් කෝටි එකහමාරක් නොවන බවද ඔහු කියා සිටියි.

සැකකරුගේ බිරිඳගේ ප්‍රකාශය

සැකකරු විසින් රවටනු ලබන කාන්තාවන්ට තමා ඔහුගේ “වැඩිමහල් සහෝදරිය” ලෙස හඳුන්වා දී මෙම වංචාවලට සහාය දුන් බව පවසා ඇත.

තමන්ට සිටින දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු පසුගිය 21 වැනිදා නාරම්මල පිහිටි මහගෙදරට ඇරලවූ බවද ඇය පැවසුවාය.

පලායාමට උදව් කළ අයෙක් අත්අඩංගුවට

නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ මෙහෙයවීමෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුට නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් සැපයූ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සේවකයෙකුද අත්අඩංගුවට ගැනුණි.

ඔහුගෙන් හෙළිවූ තොරතුරු

මරණය සිදුවූ 16 වැනිදා පස්වරුවේ ප්‍රධාන සැකකරු මළ සිරුර සහිත මෝටර් රථයෙන්ම කුණ්ඩසාලේ පිහිටි මෙම සේවකයාගේ නිවසට පැමිණ ඇත.

අනතුරුව සැකකරුගේ බිරිඳ සහ දරුවන් තිදෙනාද එම රථයෙන්ම කැඳවාගෙන විත් ප්‍රාදේශීය සභා සේවකයාගේ නිවසේ රැය පහන් කර තිබේ.

පසුදින සිරුර තෙල්දෙණියට රැගෙන යන විට ප්‍රාදේශීය සභා සේවකයා යතුරුපැදියකින් මෝටර් රථය පසුපසින් ගොස් ඇති අතර, සිරුර දැමීමෙන් පසු සැකකරුව නැවත යතුරුපැදියෙන් සිය නිවසට කැඳවාගෙන විත් ඇත.

පසුව මෙම පිරිස මාතලේ පිහිටි සැකකරුගේ මවගේ නිවසට ඇරලවීමටද ඔහු උදව් කර ඇත. සැකකරු මෙම සේවකයාගේ බිරිඳගෙන්ද රුපියල් ලක්ෂ 5ක මුදලක් වංචා කර තිබේ.

සැකකරුගේ ස්ත්‍රී වංචා ජාලය

පොලිස් විමර්ශනවලට අනුව ප්‍රධාන සැකකරු වයස අවුරුදු 30ට වැඩි, අවිවාහක කාන්තාවන් ඉලක්ක කර ගනිමින් විවාහ කරගන්නා බව පවසා රවටන මහා පරිමාණ වංචාකරුවෙකි.

මියගිය භෞතචිකිත්සකවරිය අම්පාර රෝහලේදී ඔහුට හමුව ඇත්තේ ඇයගෙන් ප්‍රතිකාර ලබාගැනීමට ගිය අවස්ථාවකය.

සැකකරු කාන්තාවන් රවටා ලබාගන්නා මුදල්වලින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති අතර, ඔහු විවිධ කූඨ උපක්‍රම මගින් කාන්තාවන් රැවටූ සමස්ත මුදල රුපියල් කෝටි දෙකකට අධික බව අනාවරණය වී ඇත.

ඔහු කටුගස්තොට ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසැලක්ද ආරම්භ කර ඇති අතර, එහි සේවය කළ තරුණියකගෙන්ද රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගැනීමට සූදානමින් සිට ඇත.

ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දැනට නුවරඑළිය පොලිසිය වෙත භාරදී තිබේ.

මත්ද්‍රව්‍ය භාවිත කර පොදු ප්‍රවාහනයේ යෙදෙන්නන් අල්ලන මෙහෙයුමේදී හෙළි වූ දේ…..

පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරු හා කොන්දොස්තරවරුන් සඳහා අහඹු ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂාවක් අද (23) නාවින්න බස් නැවතුමේදී සිදුකර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කර ඇති පොදු ප්‍රවාහන සේවාව ආරක්ෂිත හා කාර්යක්ෂම කිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙය ක්‍රියාවට නැංවිණි.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේදී සංවිධානයෙන් පැවැති මෙම ජංගම පරීක්ෂාවට ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ බස්රථවල සේවාවේ යෙදෙන රියදුරු, කොන්දොස්තරවරුන්ගේ මුත්‍රා සාම්පල් ලබා ගනිමින් පරීක්ෂණයට ලක් කෙරෙිණි.

උදෑසන 9ට ආරම්භ කර දහවල් 12 වන විට රියදුරු සහ කොන්දොස්තරවරුන් 200 දෙනෙකුගේ මුත්‍රා සාම්පල මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 13 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවද මෙහිදී හෙළිවිය.

අමාත්‍යාංශය පැවසුවේ 2026 ජනවාරි සිට ජූනි 12 දක්වා කාලය තුළ රියදුරු, කොන්දොස්තරවරුන් 4,322කු ජංගම පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී 226 දෙනෙකු අයිස්, හෙරොයින්, ගංජා යන මත්ද්‍රව්‍යවලින් එක්වර්ගයක් හෝ කිහිපයක් භාවිත කර ඇතැයි අනාවරණය වී ඇති බවය.

සාර්ථක වෘත්තිකයෙකු වීම යනු මුදල් ඉපයීම පමණක් නොවෙයි – අගවිනිසුරු…..

පුද්ගලයෙකුට වෘත්තිකයෙකු වීම දුෂ්කර කටයුත්තක් බවත්, “සාර්ථක වෘත්තිකයෙකු” වීම යනු මුදල් සම්භාරයක් උපයා ගැනීම පමණක් නොවන බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (22) පැවැති නව නීතිඥවරුන් දිවුරුම් දීමේ නිල උත්සවය අමතමිනි.

නීති ක්ෂේත්‍රයට අලුතින් එක්වූ නවක සාමාජිකයින් වෙත අධිකරණයේ උණුසුම් සුබ පැතුම් පිරිනමමින් අගවිනිසුරුවරයා පෙන්වා දුන්නේ, වෘත්තිය තුළින් ලබාගන්නා දැනුම සහ සේවාදායකයින් වෙනුවෙන් ලබාදෙන ගුණාත්මක සේවය වෘත්තීය සාර්ථකත්වය මනින ප්‍රධාන නිර්ණායක වන බවයි.

අද දින දිවුරුම් දුන් සියලුම නීතිඥවරුන් අධිකරණයේ නිලධාරීන් වශයෙන් පිළිගැනෙන බවත්, ඔවුන් ඉදිරිපත් කරන කරුණු මත විශ්වාසය තබා අධිකරණය කටයුතු කරන බවත් අගවිනිසුරුවරයා සිහිපත් කළේය.

හොඳ නිපුණතාවයක් සහ කීර්තියක් සහිත පුද්ගලයන් පමණක් නීතිඥවරුන් වශයෙන් බඳවා ගත යුතු බවට පනතේ පවා පැහැදිලිව සඳහන්ව ඇති බව හෙතෙම අවධාරණය කළේය.

නීතිඥවරයෙකු ලෙස තමන්ගේ ප්‍රමිතිය උසස් මට්ටමක පවත්වාගෙන යාමට සැමට වගකීමක් ඇති බවත්, අද දින දිවුරුම් දුන් පිරිස දිගුකාලීනව මෙම උතුම් වෘත්තියේ ප්‍රමිතීන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් අගවිනිසුරුවරයා සඳහන් කළේය.

වෘත්තීය මෙන්ම වෘත්තීය නොවන බාහිර ජීවිතයේදී ද අවංකභාවය පවත්වා ගැනීම ඉතා වැදගත් බවත්, වෘත්තියේ ගරුත්වය රැඳී පවතින්නේ ඔවුන් හැසිරෙන ආකාරය මත බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

බීමත් රියදුරෙකු කළ විනාශය – වෙළෙඳසැල් හිමියා ජීවිතක්ෂයට…..

මන්නාරම ප්‍රදේශයේ සිට දන්කොටුව බලා අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අරච්චිකට්ටුව, සෙන්ගල්ඔය පාලම අසලදී පාරෙන් ඉවතට පැන වෙළෙඳසැලක ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් වෙළෙඳසැල් හිමියා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිව සිටි රාමසාමි ගෝවින්දසාමි නමැති පුද්ගලයෙකි.

අද (21) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය තුළ පුද්ගලයන් තිදෙනෙකු ගමන් කර ඇත.

ඔවුන් තිදෙනාම එම අවස්ථාවේදී අධික ලෙස බීමතින් සිටි බව අනතුර ඇසින් දුටු ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබේ.

අනතුරින් වෙළෙඳසැල් හිමියා මියයාමත්, මෝටර් රථයේ සිටි පිරිස බීමතින් සිටීමත් හේතුවෙන් එම ස්ථානයට රැස්වූ ප්‍රදේශවාසීන් මෝටර් රථයේ සිටි පුද්ගලයන් තිදෙනාට පහර දී ඇති බව වාර්තා වේ.

පහරකෑමට ලක්ව තුවාල ලැබූ මෝටර් රථයේ සිටි පුද්ගලයන් තිදෙනා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්  වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

කැලණි ග‍ඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයාගැනේ….

කඩුවෙල වැලිවිට කැලණි ගඟේ පාලම අසල තිබී මළ සිරුරක් සොයාගෙන තිබේ.

මරණකරු 38 හැවිරිදි අයෙක් බවත් ඔහු දොම්පේ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවත් පොලීසිය සඳහන් කරයි.

පාලම අසල නාදුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් දුටු ප්‍රදේශවාසීන් මේ සම්බන්ධයෙන් කඩුවෙල පොලිස් ස්ථානය දැනුවත් කර ඇත.

ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින් සිදු කළ පරීක්ෂාවකදී ඔහුගේ ජාතික හැඳුනුම්පත සොයාගෙන ඇති අතර ඉන් ඉහත තොරතුරු අනාවරණ කරගෙන තිබේ.

එම මළ සිරුරේ කැපීම් කෙටීම් තුවාල කිහිපයක්ද දැකගත හැකිවූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මහේස්ත්‍රාත් පරීක්ෂණය කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකළ අතර නුගේගොඩ සොකෝ පොලිස් කණ්ඩායමේ පරීක්ෂණයෙන් අනතුරුව දේහය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත භාරදී ඇත.

භෞත චිකිත්සකවරියගේ මරණයට හේතුව ගෙල සිරවීමක් ද? විමර්ශන නිලධාරින්ට සැකයක්…..

අම්පාර මහ රෝහලේ භෞත චිකිත්සකවරියගේ මරණය ගෙල සිරවීමකින් සිදුවූ මරණයක් බවට විමර්ශන නිලධාරින් සැක පළ කරයි.

මේ අතර මෙම ඝාතනය සිදුකළ බවට සැක කෙරෙන ඇයගේ පෙම්වතා සෙවීම සඳහා පොලිසිය මහජන සහාය පතන අතර තවමත් සැකකරු සොයාගැනීමට නොහැකිවී තිබේ.

කෙසේවෙතත් සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට විමර්ශන නිලධාරින් සමත්ව ඇත.

ඒ අනුව මෙම සැකකරු මෙම තරුණිය ඉදිරියේ දිනෙත් දිසානායක නමින් පෙනී සිට ඇතත් ජාතික හැඳුනුම්පතේ සඳහන් ඔහුගේ සත්‍ය නම ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්‍රියාන් ජයසුන්දර බවත් ඔහු නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලිසිය සඳහන් කරයි.

එසේම මෙම සැකකරු බොරු කොණ්ඩයක් පැලඳ සිය සත්‍ය පෙනුම වසන් කරගෙන සිට ඇති අතර ඔහුට තරුණියන් රැසක් සමඟ සම්බන්ධතා පැවති බවත් කාන්තාවන් රවටා මුදල් ලබාගැනීමේ සිද්ධි රැසකට මොහු සම්බන්ධ බවට ද තොරතුර වාර්තා වෙයි.

සැකකරුට එරෙහිව ගම්පහ, අලුත්කඩේ, තිස්සමහාරාමය සහ පාදුක්ක යන මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවතින බවත් ඔහු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද  කාන්තාවන් රවටා මුදල් ලබාගැනීම් සම්බන්ධව පැමිණිලි ලැබී ඇති බව පැවසේ.

43 හැවිරිදි තිදරු පියෙක් වන සැකකරුගේ මෙම අපරාධ සඳහා ඔහුගේ බිරිඳ ද අධාර අනුබල දීම් සිදුකරන බවට පොලිසිය සැක පළ කරයි.

එමෙන්ම මෙම සැකකරු සැබැවින්ම මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ද යන්නත් සැක සහිත බවත් තරුණියන් රැවටීම සඳහා එවැන්නක් පවසන්නට ඇතැයි සැකකරන බව විමර්ශන නිලධාරින් කියයි.

සැකකරු සම්බන්ධයෙන් මේවන විට නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කණ්ඩායම් තුනක් මගින් විමර්ශන ක්‍රියාත්මකය.

තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි……

තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ අම්පාර මහ රෝහලේ සේවය කරන ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි භෞත චිකිත්සකවරියක් වන අතර, ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෝටර් රථය තුළ දමා පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

සැකකාර පෙම්වතා ගන්නෝරුවේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු බවත්, ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් තිබේ. ඒ හේතුවෙන් ඔහුව සොයාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතා තිබේ.

සිය නැගණිය නුවරඑළියේ පිහිටි මහල් නිවසක නේවාසිකව රැඳී සිටින බවත්, දින ගණනක් ආහාරගෙන නොමැති බවත් එම ස්ථානය පරීක්ෂා කිරීමට සහය අවශ්‍ය බවත් පවසමින් කොටවැව, තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ (17) උදෑසන නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

ඒ අනුව නුවරඑළිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ මහල් නිවාසයට ගොස් එය පරීක්ෂාකර ඇතත් එහි කිසිවෙකුත් සිට නොමැත.

කෙසේ නමුත් සීසීටීවී දර්ශන පරීක්ෂාකිරීමේදී එහි සටහන්ව තිබී ඇත්තේ, ඉකුත් 16 වැනිදා රාත්‍රී 9.50ට පමණ එම නිවසට අදාළ තරුණියගේ පෙම්වතා පැමිණෙන ආකාරයයි.

එහි මිනිත්තු 40ක් පමණ රැඳී සිටි අදාළ පුද්ගලයා පසුව රාත්‍රී 10.30ට පමණ සිහිසුන්වී සිටි තරුණිය ඔසවාගෙන ගොස් තිබේ.

පසුව ඔහු විසින් තරුණිය මෝටර් රථයක දමා රැගෙන ගොස් ඇත.

නුවරඑළිය පොලිසිය අදාළ තරුණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති පසුබිමක, තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට නාඳුනන පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

එහිදී පවසා ඇත්තේ තෙල්දෙණිය රෝහල අසල රථගාලෙහි නවතා ඇති මෝටර් රථයක මියගිය කාන්තාවගේ මළ සිරුරක් ඇති බවය.

ඒ අනුව තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී අදාළ මෝටර් රථයේ ඉදිරිපස මගී අසුන දිගහැර කළු පැහැති රෙද්දකින් වසා දමා තිබූ මළ සිරුර හමුව තිබේ.

අගුලු දමා තිබූ දොරටුව විවෘත කළ පොලිස් නිලධාරීන් මෘත ශරීරය ඉන් පිටතට ගනු ලැබීය.

එහිදී සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ සිරුර නුවරඑළියෙන් අතුරුදන් වූ තරුණියගේ බවටය.

ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි ඇය අම්පාර මහ රෝහලේ භෞත චිකිත්සකවරියක ලෙස සේවය කළ බව පොලිසිය අනාවරණ කරගෙන තිබේ.

ඒ අනුව පොලිස්  විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෙම ස්ථානයට ගෙනැවිත් දමා තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමද ලබාදී ඇති බවය.

ඔහු මහනුවර, ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු වන අතර ඔවුන්, දෙදෙනා මීට මාස 8කට පමණ ඉහතදී ප්‍රේම සබඳතාවක් ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.

අදාළ තරුණිය සිය පෙම්වතා සමග කැනඩාවට යෑමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් බැංකුවකින් හා පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් පොලී මත ලබාගෙන පෙම්වතාට ලබාදී තිබේ.

කෙසේවෙතත් මේ දක්වා විදේශගතවීම සිදුවී නොමැති පසුබිමක, ණයහිමියන් මුදල් නැවත ඉල්ලීම මත ඇය දැඩි මානසික පීඩනයකට ලක්ව සිට ඇති බවයි පොලිසිය පවසයි.

එවන් පසුබිමක ඇය නුවරඑළියේ පිහිටි නිවාස සංකීර්ණයට පැමිණ ඇත්තේ ඉකුත් ජූනි 3 වැනිදාය.

ඒ අතරතුර ඇය සිය සොහොයුරාට දුරකථනයෙන් අමතා තමන් දින 3ක් ආහාර ලබාගෙන නොමැති බව පවසා ඇති බවත්, අම්පාර රෝහලේ මානසික වෛද්‍යවරයෙකුට දුරකථනයෙන් අමතා තමන් දැඩි මානසික පීඩනයකින් සිටින බවත් පවසා ඇතැයි වාර්තා වේ.

එහිදී වෛද්‍යවරයා පවසා ඇත්තේ, කඩිනමින් ළඟම ඇති රෝහලට ගොස් මානසික වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගන්නා ලෙසය.

කෙසේවෙතත් ඉකුත් 16 වැනිදා සවස 4න් පමණ පසුව ඇයගේ ඡංගම දුරකථනය ක්‍රියාවිරහිතව ඇති අතර, ඒ අනුව ඇයගේ සහෝදරයා නුවරඑළිය පොලිසියට පැමිණිලි කර ඇත.

වැඩිදුර විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ තරුණියගේ දේහය රැගෙන යාමට භාවිත කළ මෝටර් රථය, ඇයගේ පෙම්වතාගේ අම්පාර ප්‍රදේශයේ පදිංචි තවත් පෙම්වතියකට අයත් එකක් බවය.

මේ අතර දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය පිළිබඳව විවෘත තීන්දුවක් ලබාදී තිබේ.

මෙය ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූ මරණයක්ද යන්න මෙතෙක් තහවුරුවී නොමැත.

ඒ අනුව පොලිසිය ඇයගේ පෙම්වතා වන දිනෙත් දිසානායක නැමැත්තා අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මකය.

ලංකාවටම ඩෙංගු බෝවෙන්නේ මදුරු වර්ග දෙකකින්…..

ලංකාව තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වන්නේ ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ දෙකෙන් පමණක් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ කීට විද්‍යාඥ සකුන්තලා ජානකී මහත්මිය පවසයි.

ඉන් ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන ප්‍රධාන වාහකයා ඊඩිස් ඊජිප්ටයි බවත්, රට තුළ ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති වීමට පෙර සෑම විටම පාහේ මෙම මදුරු විශේෂයේ වර්ධනයක් නිරීක්ෂණය වූ බවද ඇය සඳහන් කළාය.

ඊඩිස් ඊජිප්ටයි මදුරු විශේෂයට දෂ්ඨ කිරීමේ ආවේණිකත්වයක් ඇති අතර, එය බහුවාර්ය භෝජන ලෙස හඳුන්වයි.

සාමාන්‍යයෙන් ගැහැණු මදුරුවෙකු තම ජීවන චක්‍රය ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා එක් අයෙකුගේ රුධිරය උරා බොනු ලැබූවද, ඊඩිස් ඊජිප්ටයි මදුරුවාගේ තත්ත්වය මීට වෙනස්ය.

කුඩා මිනිස් කණ්ඩායම් ගැවසෙන ප්‍රදේශවලදී, තමන්ට අවශ්‍ය රුධිර වේල සම්පූර්ණ කර ගැනීම සඳහා කෙටි කාලයක් ඇතුළත පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් රුධිරය උරා බොන්න ඊඩිස් ඊජිප්ටයි මදුරුවා පෙළඹේ.

මෙම සුවිශේෂී හැසිරීම හේතුවෙන්, යම් හෙයකින් ඩෙංගු වෛරසය ආසාදනය වූ ඊඩිස් ඊජිප්ටයි මදුරුවෙකුට කෙටි කාලයක් තුළ පුද්ගලයින් කිහිප දෙනෙකුටම රෝගය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් ඇත.

ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේදී මෙම තත්ත්වය ඉතා වැදගත් වන බැවින්, ඊඩිස් ඊජිප්ටයි මදුරුවාගේ ව්‍යාප්තිය පිළිබඳ නිරන්තරයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතුවේ.