ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරදා කොදෙව් කාන්තා කණ්ඩායමට කඩුලු 5ක ජයක්…..

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවති බ.ඉ. කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 5ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 99ක පහසු ඉලක්කය තරගයේ 17(16.1) වැනි පන්දුවාරයේදී පසුකර යෑමට බ.ඉ. කොදෙව් පිතිකිරිනියෝ සමත්වූහ.

තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 98ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් යම් තරමක හෝ සටනක් දියත් කිරීමට සමත් වූයේ නිලක්ෂිකා ද සිල්වා සහ කවිෂා දිල්හාරි පමණි.

එහිදී නිලක්ෂිකා ලකුණු 30ක් සහ කවිෂා ලකුණු 21ක් රැස් කළහ.

මෙම පරාජයත් සමග Group 2 කොටසේ ප්‍රසාද ලකුණු සටහනේ 5වැනි ස්ථානය දක්වා පසුබැසීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

ක්‍රීඩාකළ තරග 3ම ජයගත් බ.ඉ. කොදෙව් කාන්තා කණ්ඩායම මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය හිමිකරගෙන සිටියි.

තුන්කොන් සටනේ ජය ඉන්දීය A කණ්ඩායමට….

ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම ලකුණු 66කින් පරාජය කර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය ‘A’ කණ්ඩායම සමත්විය.

දඹුල්ලේ අද (21) පැවති අවසන් මහා තරගයේ ඉන්දීය කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 378ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 47.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 311ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සදීර සමරවික්‍රම (52) හා වනුජ සහන් (62) අර්ධ ශතක රැස්කරමින් දක්ෂතා දැක්වුවද, ඔවුන්ට ශ්‍රී ලංකා ඉනිම ජය කඩඉම කරා රැගෙන යාමට නොහැකි වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 377ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා, ඉන්දීය හා ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පැවැති අතර, එහිදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගනිමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ඉන්දියාවට එම ප්‍රසාද ලකුණු සටහනේ හිමිව තිබුණේ දෙවැනි ස්ථානයයි.

මෙම කණ්ඩායම් දෙක අවසන් වරට හමුවූ තරගයේදී සුපිරි පන්දුවාරයෙන් ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ලෝකයේ අංක එකට ආ තාවිට තවත් ජාත්‍යන්තර පදක්කම් ත්‍රිත්වයක්…..

වයස අවුරුදු 11න් පහළ ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය හිමිකරගෙන සිටින ශ්‍රී ලංකාවේ තාවි සමරවීර , ජාත්‍යන්තර තරඟාවලි ද්විත්වයකදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනිමින් සිය යුරෝපා තරඟ සංචාරය නිමා කර අද (18) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 11 හැවිරිදි තාවි සමරවීර, සිය මව සමඟ අද උදෑසන 08.45ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් QR-664 දරන ගුවන් යානයෙන් කටුනායක වෙත පැමිණ තිබුණි.

ලෝක ශ්‍රේණිගත කිරීම් තරඟාවලි 3ක් ඉලක්ක කරගනිමින් පැවැති මෙම සංචාරයේදී තාවි ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසය අලුත් කරමින් සුවිශේෂී දක්ෂතා රැසක් ප්‍රදර්ශනය කිරීමට සමත් විය.

කොසෝවෝ රාජ්‍යයේ ප්‍රිස්ටිනා හි මැයි මස 22 වනදා සිට 25 වෙනිදා දක්වා පැවැති තරඟාවලියේ දී,  ශ්‍රී ලාංකික මේස පන්දු ක්‍රීඩකයෙක ලෙස ප්‍රථම වතාවට වයස අවුරුදු 11න් පහළ සහ 13න් පහළ යන වයස් කාණ්ඩ දෙකෙහිම අවසාන මහා තරඟ සඳහා සුදුසුකම් ලැබීමට තාවි සමත් විය.

එහිදී ඔහු 11න් පහළ අංශයෙන් රන් පදක්කම සහ 13න් පහළ අංශයෙන් රිදී පදක්කම දිනා ගත්තේය.

නෝර්වේ රාජ්‍යයේ සැන්ඩිෆියුට් හි මැයි 30 වෙනිදා සිට ජුනි 02 වෙනිදා දක්වා පැවැති තරඟාවලියේදී වයස අවුරුදු 13න් පහළ අංශයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට තාවි සමත් වූ අතර, තමන්ට වඩා වයසින් වැඩි ක්‍රීඩකයන් තරඟ වැදුණු 15න් පහළ අංශයේ “හොඳම ක්‍රීඩකයන් 08 දෙනා” අතරට පැමිණීමට ද ඔහුට අවස්ථාව හිමිව තිබේ.

මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 11න් පහළ අංශයේ පෙරමුණේ පසුවන තාවි සමරවීර, දකුණු ආසියානු කලාපයේ වයස අවුරුදු 11න් පහළ සහ 13න් පහළ යන අංශ දෙකෙහිම ප්‍රථම ස්ථානය හිමිකරගෙන සිටියි.

නිපුණි වාසනා ලක්මව රනින් සරසයි…..

චීනයේ පැවැත්වෙන 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේදී මල්ලවපොර කාන්තා කි.ග්‍රෑ. 50 බර පන්තියේ රන් පදක්කම දින ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ගුවන් කාන්තා නිපුණි වාසනා සමත් වී තිබේ.

ඇය අවසන් තරගයේ දී වියට්නාම ක්‍රීඩිකාවක්වන ඩොන් ති කිම් ඕන්හ් 3-1 ක් ලෙස පරාජය කරමින් මෙම පදක්කම දිනා ගෙන ඇත.

මෙය 2026 වර්ෂයේ 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව ලබා ගත් පළමු රන් පදක්කම වේ.

ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි….

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබේ.

අද (28) පස්වරුවේ පැවැති විධායක කමිටු රැස්වීමකදී ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වෙයි.

ශම්මි සිල්වා මහතා 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට මුල්වරට තේරී පත් වූ අතර ඔහු එතැන් සිට මේ දක්වා වසර 7ක කාලයක් සභාපති ධුරයේ කටයුතු කළේය.

පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඔහු ඇතුළු ක්‍රිකට් පරිපාලනයට විවිධ චෝදනා එල්ල වූ අතර එවන් පසුබිමක වත්මන් ක්‍රිකට් පරිපාලනයට ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේ පාර්ශව දැනුම් දී ඇතැයි පසුගිය දිනක මාධ්‍ය වාර්තා පළවිය.

වර්තමානයේ දැඩි කතාබහට ලක්වන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කළමණාකරුවෙක් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඇතුළු පිරිසක් ආණ්ඩුවේ ඉහළම පාර්ශ්ව හමුවී වත්මන් ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

පැතුම්ට IPL වරම්….

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) වරම් හිමිකරගැනීමට අද (1) අවස්ථාව උදාවිය.

පැතුම්, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් තෝරාගෙන සිටියේය.

ඒ අනුව එම කණ්ඩායම මෙවර තරගාවලියේ ක්‍රීඩාකරන පළමු තරගය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ලක්නව්හිදී මේ වනවිට පැවැත්වේ.

මෙම කණ්ඩායමේද පැතුම්ට ආරම්භක පිතිකරුවාගේ ස්ථානය හිමිකර දී ඇත.

T20 ලෝක කුසලානයෙන් කමින්ස් හා ස්මිත් ඉවතට….

එළැඹෙන විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩාකරන ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් වන පැට් කමින්ස් හා ස්ටීවන් ස්මිත් ඉවත්කර තිබේ.

කමින්ස්ගේ පිටේ ආබාධ තත්ත්වය සැලකිල්ලට ගෙන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව කමින්ස් වෙනුවට ඔස්ට්‍රේලියානු අවසන් 15 දෙනා අතරට බෙන් ද්වාර්ෂුයිස් ආදේශ කර ඇත.

එමෙන්ම නිමාවූ බිග් බෑෂ් ලීග් තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ප්‍රබල ක්‍රීඩක ස්ටීවන් ස්මිත්ට ද කණ්ඩායමේ ස්ථානයක්  හිමිව නොමැත.

එම තරගාවලියේ තරග 6කට පමණක් ක්‍රීඩාකළ ස්මිත් ශතකයක් හා අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 299ක් රැස්කිරීමට සමත් විය.

එහිදී ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 167.97ක් වුවද ඔහු නම්කර නොමැතිවීම සුවිශේෂීය.

මීට අමතරව මැතිව් ෂෝර්ට් ද කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවට මැට් රෙන්ෂෝ ආදේශ කර ඇත.

T20 ලෝක කුසලානයට නම්කළ ඔස්ට්‍රේලියානු සංචිතය

මිචෙල් මාෂ් (නායක), සේවියර් බාට්ලට්, කූපර් කොනොලි, ටිම් ඩේවිඩ්, බෙන් ඩ්වාර්ෂුයිස්, කැමරන් ග්‍රීන්, නේතන් එලිස්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, මැට් කුහ්නමන්, ග්ලෙන් මැක්ස්වෙල්, මැට් රෙන්ෂෝ, මාකස් ස්ටොයිනිස්, ඇඩම් සැම්පා

කමිඳු මෙන්ඩිස් විස්සයි20 ලෝක කුසලාන සංචිතයට?

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයෙන් ධනංජය ද සිල්වා ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවට කමිඳු මෙන්ඩිස් සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඉදිරියේ දී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සංචිත නම් කිරීම සඳහා ලබාදුන් කාලය අදින් අවසන් වීමට නියමිතව ඇත.

එවන් පසුබිමක විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මේ වනවිට කණ්ඩායම් කිහිපයක් සංචිත නම් කර අවසන්ය.

කණ්ඩායම් 20ක් එක් කුසලානයක් වෙනුවෙන් උරෙන් උර ගැටෙන 2026 ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි 7වැනිදා ආරම්භ වෙයි.

එහි අවසන් මහා තරගය මාර්තු 8 වැනිදා පැවැත්වීමට නියමිතය.

10වැනි ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වේ.

තරගාවලිය සඳහා කණ්ඩායම් 20ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර කාණ්ඩ 4ක් ඔස්සේ ඔවුන් තරගබිමට පිවිසිමට නියමිතය.

ඉන්දියාවේ ක්‍රීඩාංගණ 5කඳි සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ 3කදී 2026 ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සැලසුම්කර තිබේ.

ශ්‍රී ලංකාව මෙවර තරග බිමට පිවිසෙන්නේ B කාණ්ඩයෙනි.

ජාතික බොක්සිං ශූරතාවලියේ ඇතිවූ සිද්ධිය ගැන කරුණු පැහැදිලි කිරීමක්….

2026 ජාතික බොක්සිං ශූරතාවලියේ ඉකුත් 29වනදා පැවැති තරගයක ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදකාරී තත්ත්වය ගැන ජාතික බොක්සිං සංගමය කරුණු පැහැදිලි කර තිබේ.

ඉහත තරගයේ ප්‍රතිඵලයෙන් තමන්ට අසාධාරණයක් වූ බව පවසමින්, එම ප්‍රතිඵලයට එරෙහිව එදින පිරිසක් විරෝධය දැක්වීම හේතුවෙන් මෙම අර්බුදකාරී තත්ත්වය ඇතිව තිබුණි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා බොක්සිං සංගමයෙන් ප්‍රකාශ කර සිටියේ, අදාළ 114වැනි තරගයේ දී විනිසුරුවන් පස් දෙනෙකු කටයුතු කළ බවත්, ඔවුන්ගේ ලකුණු ලබාදීමේ ක්‍රමවේදය මත අදාළ තරගයෙන් ලකුණු 4-1ක බෙදුණු තීරණයක් ලබාදුන් බවත්ය.

එම තීරණය ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩාවේ නීත්‍යානුකූල සහ සම්මත ක්‍රමවේද මත, විවිධ වූ තාක්ෂණික ඇගයීම් පදනම් කරගනිමින් ලබාදුන් තීරණයක් බව අදාළ නිවේදනයේ දැක්වේ.

ජාතික ශූරතාවලියේදී තරග 150කට අධික සංඛ්‍යාවක් පැවැත්වූ බවත්, ඉන් පැමිණිල්ලක් යොමුවූයේ මෙම 114වන තරගයට බවද මෙහි සඳහන්.

කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා බොක්සිං සංගමය විසින් ආර්.සී. ඉන්ද්‍රසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ස්වාධීන විමර්ශන මණ්ඩලයක් කර ඇත.

එහි සෙසු සාමාජිකයන් ලෙස ඩබ්. එම්. ආර්. වෑකඩපොල (ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරී), ටී.එස්. වීරසේන ( තරු 3 තරග තීරක සහ විනිසුරු) යන අය කටයුතු කරයි.

ඒ අනුව ජාත්‍යන්තර බොක්සිං තාක්ෂණික සහ තරග නීති මත පදනම්ව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට අදාළ නිලධාරීන්ට අවසර ලබාදී තිබේ.

ඔවුන් විසින් ලබාදෙන අවසාන විමර්ශන වාර්තාව සහ නිර්දේශ එළැඹෙන 4 වනදා හෝ ඊට බොක්සිං සංගමයේ සභාපතිවරයා වෙත භාරදීමට නියමිතය.

IPL විකාශනය බංග්ලාදේශය තුළ තහනම්….

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය බංග්ලාදේශය තුළ විකාශනය කිරීම තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු ක්‍රීඩකයෙකු වන මුස්තාෆිසුර් රහ්මාන් IPL තරගාවලියෙන් ඉවත් කිරීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් තීරණයට ප්‍රතිචාර ලෙස මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

BCCI ගත් මෙම තීරණය බංග්ලාදේශ ජනතාව අතර දැඩි කනස්සල්ලක් ඇති කර ඇති අතර, මුස්තාෆිසුර් රහ්මාන් IPL තරගාවලියෙන් ඉවත් කිරීමට හේතුවක් මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බවද සඳහන් වේ.

මෙම සිදුවීම බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ක්‍රීඩා සබඳතා තුළ නව උණුසුම් තත්ත්වයක් උද්ගත කළ හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙති.

මේ අතර, එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත තරග සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කර ඇති බව ‘Cricinfo’ වෙබ් අඩවිය වාර්තා කරයි.

දෙරට අතර පවතින දේශපාලනික නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ, බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද සඳහන් වේ.

ඒ අනුව, එම තරගාවලියේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත බංග්ලාදේශ තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය යටතේ ලබන මාසයේ ආරම්භ වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී, බංග්ලාදේශ කණ්ඩායම කොල්කටාහිදී තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.

එම අතර, ඉදිරියේදී පැවැත්වෙන IPL තරගාවලියේදී කොල්කටා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව සිටි මුස්තාෆිසුර් රහ්මාන් හදිසියේම කණ්ඩායමෙන් නිදහස් කිරීම මෙම නොසන්සුන්තාවට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව සඳහන්ය.

බංග්ලාදේශයේ වෙසෙන සුළු ජාතීන්ට සිදුවන බවට වාර්තා වන හිරිහැරවලට විරෝධය පළ කිරීමක් ලෙස මුස්තාෆිසුර් රහ්මාන් එලෙස ඉවත් කර ඇති බවටද වාර්තා පළවෙයි.