දේශීය කර්මාන්ත ප්‍රර්වධනය කරමින් ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කයයි – ජනපති….

දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කර ඔවුන් අපනයන වෙළෙඳපොළට යොමු කිරීම මගින් ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කය බවත් ආයෝජන කිරීමට සහ වෙළෙඳපොළ ජය ගැනීමට සූදානම් පිරිසට රජයේ උපරිම සහාය ලබා දෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රබර් සහ තේ නිෂ්පාදන සහ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන් සමඟ අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

ලොව බොහෝ රටවල් ආර්ථික වශයෙන් ශක්තිමත් වූයේ දේශීය කර්මාන්ත අපනයනය සඳහා යොමු කිරීමෙන් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා දැනට පවතින විදේශ ණය පීඩනයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන මත යැපීමෙන් මිදීමට ඇති එකම මාවත දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම බවද පෙන්වා දුන්නේය.

දේශීය කර්මාන්තකරුවන් අපනයන ක්ෂේත්‍රයට පිවිසීම දිරිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු නව වැඩසටහන් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ජා කෙරුණු අතර රබර් සහ තේ කර්මාන්තය නගා සිටු වීමත්, අපනයන ආදායම ඉහළ නංවා ගැනීමත් වෙනුවෙන් 2026- 2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්මට සමගාමීව නව උපායමාර්ගික වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

එමෙන්ම නිෂ්පාදන ධාරිතාව සහ දත්තවල වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා වාර්ෂිකව නිෂ්පාදනය වැඩි කරන ප්‍රමාණය පිළිබඳවද නිවැරදි අවබෝධයක් තිබීමේ අවශ්‍යතාවයද පැහැදිලි කළේය.

නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් සරල මෙන්ම කාර්යක්ෂම විය යුතු අතර, එහිදී කර්මාන්තරුවන් මුහුණ දෙන ගැටලු හඳුනා ගැනීමට අවශ්‍ය සියලු දත්ත රජය වෙත ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

විශේෂයෙන් පොහොර සහ අනෙකුත් යෙදවුම් ලබා දීමේදී ඒවායේ ප්‍රතිඵල සහ අපනයන ආදායම අතර පවතින සබඳතාව විද්‍යාත්මකව බැලිය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

දේශීය කර්මාන්තරුවන් දිරිගැන්වීමේදී ශුද්ධ ඩොලර් ආදායම වැඩි කර ගැනීම කෙරෙහි මූලික අවධානය යොමු කළ යුතු බවත්, අපනයන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට වැයවන ඩොලර් ප්‍රමාණය සහ නිෂ්පාදන අපනයනයෙන් නැවත රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය අතර පරතරය නිවැරදිව කළමනා කරණ කළ යුතු බවත් අමුද්‍රව්‍ය ගෙන ඒම සඳහා විශාල වශයෙන් ඩොලර් එළියට යන නමුත්, අපනයන ආදායම ලෙස රටට ලැබෙන ශුද්ධ ලාභය ප්‍රමාණවත් නොවේ නම් එය ගැටලුවක් බවත් පෙන්වා දුන්නේය.

රබර් ක්ෂේත්‍රය රටට විශාල වශයෙන් ඩොලර් ගෙන ආ හැකි මාර්ගයක් වුවද, දැනට මෙරට නිෂ්පාදනය වන්නේ අවශ්‍යතාවයෙන් 50%ක් පමණක් බවද මෙහිදී අනාවරණය විය.

අගය එකතු කිරීම් සමග රබර් කර්මාන්තය තුළින් අපනයන ආදායම 2030 වසර වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 03කින් පමණ ඉහළ නංවා ගැනීමේ විභවතාවක් පවතින බවද මෙහිදී සාකච්ඡා විය.

රබර් වගාව ව්‍යාප්ත කිරීමට පවතින ප්‍රධාන බාධාව වන්නේ භූමිය සීමිත වීම සහ ශ්‍රමික හිඟය බව මෙහිදී අනාවරණය කෙරුණු අතර එයට විසඳුමක් ලෙස අඩු ආදායම්ලාභීන් මෙම වගාවන් සඳහා සම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

මෙරට ටයර් නිෂ්පාදන ධාරිතාව ඉහළ මට්ටමක පැවතිය ද, ටයර් ආනයනය හේතුවෙන් දේශීය කර්මාන්තයට එල්ල වී ඇති බලපෑම පිළිබඳවද අවධානය යොමු විය.

එමෙන්ම, අමුද්‍රව්‍ය හිඟය සහ ඇතැම් නීතිමය බාධා හේතුවෙන් දේශීය කර්මාන්තකරුවන්ගෙන් උපරිම දායකත්වය නොලැබීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර ඒ සඳහා ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

කළුතර, රත්නපුර සහ කෑගල්ල වැනි සාම්ප්‍රදායික ප්‍රදේශ වලට අමතරව මොණරාගල සහ ඌව වෙල්ලස්ස වැන ප්‍රදේශ වල රබර් වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සහ හෙක්ටයාරයකට ලැබෙන ඵලදාව වැඩි කිරීම මගින් රබර් වගා කරුවන්ගේ ආදායම ඉහළ නැංවීමටත්, එමගින් ඔවුන් මෙම වගාවේ රඳවා ගැනීම පිළිබඳවත් සාකච්ඡා විය.

එමෙන්ම රබර් පර්යේෂණ ආයතන මගින් හඳුන්වා දෙන නව ක්‍රමවේද කර්මාන්තයේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි වේගවත්ව ක්‍රියාත්මක කිරීම, රබර් වගා බිම් පාම් ඔයිල් වගාවට හෝ වෙනත් කාර්යයන්ට යොදා ගැනීම වෙනුවට, විද්‍යාත්මක ක්‍රම වේද ඔස්සේ රබර් වගාව දිරිමත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

ඉරාන වෙළෙඳපොළ සහ මැද පෙරදිග පවතින තත්ත්වය හේතුවෙන් තේ අපනයන සඳහා ගතවන කාලය සහ පිරිවැය ඉහළ ගොස් ඇති බව මෙහිදී තේ අපනයනකරුවෝ පෙන්වා දුන්හ.

ලංකාවේ තේ සඳහා ඉරානය ඉතා වැදගත් වෙළෙඳපොළක් වන අතර, ඉරානය සමඟ පවතින “තේ වෙනුවට තෙල්” (Oil for Tea) බාටර් ගිවිසුම යටතේ පවතින මූල්‍ය ගැටලු විසඳීමට විදේශ අමාත්‍යාංශය මගින් මැදිහත් වන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කෙරිණි.

ලංකාවේ තේ නිෂ්පාදකයන්ගෙන් වැඩි පංගුවක් දරන කුඩා තේ වතු හිමියන්ගේ ඵලදායීතාව වර්ධනය කිරීමට පැළ සහ පොහොර සඳහා සහන ලබා දීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කෙරිණි.

එමෙන්ම අපනයනකරුවන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන වැට් බදු ප්‍රතිලාභය ලබා ගැනීමේ ප්‍රමාදය පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව පුහුණු පාඨමාලා පවත්වමින් අපනයනකරුවන් තවදුරටත් දැනුවත් කර ඔවුන්ගේ කටයුතු පහසු කර අදාළ බාධාවන් මගහරවා ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකුට මෙරටින් පලායෑම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූට ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අද (26) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාළවය.

සැකකරු වයස අවුරුදු 41ක් වන පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා වශයෙන් සේවය කරන ලද කාලය තුළ මෙම අපරාධය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අපරාධ, රථවාහන, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන දිසාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා විමර්ශනයක ප්‍රථිපලයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි

රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා ජූලි 03 දක්වා රිමාන්ඩ්….

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා ජුලි 3 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ ඔවුන් අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක්කටා’ මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝගමත රඳවා සිටියේය.

ඒ අතරතුරදී 2023 වසරේ මාර්තු මාසයේදී එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, වත්මන් හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ අරුණ වරුණහැන්දිගේ ඩුබායි රාජ්‍යවෙත ගොස් ඇති බව අල්ලස් කොමිසම පැවසීය.

එකම ගුවන් යානයක ඔවුන් ඩුබායි රාජ්‍යවෙත ගොස්  එහිදී හරක් කටාගේ බිරිඳවන මධුෂිකා මධුවන්ති හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මිදිගම රුවන් නැමැත්තා හමුවී ඇති බවද  කොමිසම සඳහන් කළේය.

එහිදී හරක් කටා පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම, රැඳවුම් නියෝග ඉවත්කිරීම, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමුකිරීම හා විමර්ශන කටයුතුවලින් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරදෙන බව පවසා රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී අනාවරණවී තිබෙනවා.

අනතුරුව එය රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් පළමුව ලබාගෙන ඇති අතර,තවත් රුපියල් කෝටි 2ක මුදලක් පසුව ලබාගෙන ඇති බව ද විමර්ශනවලදී අනාවරණ වූ බව අල්ලස් කොමිසම සඳහන් කළේය.

ආදළ මුදල උණ්ඩියල් ක්‍රමය හරහා මෙරටට ගෙන්වා ගෙන ඇති බවත් වාර්තාවී තිබේ.

රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ හා අරුණ වරුණහැන්දිගේ යළි එකම ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බව ද විමර්ශනවලදී අනාවරණ වී තිබුණි.

ඒ අනුව සැකකරුවන් තිදෙනා අද පෙරවරුවේ අල්ලස් කොමිසම මගින් සැකකරුවන්ගේ නිවෙස් වලදී අත්අඩංගුවට ගැනුණි.

පැය අටකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔවුන් අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ සහකාර නීති අධ්‍යක්ෂ අනූෂා සම්බන්දප්පෙරුම මහත්මිය කියා සිටියේ අල්ලස් කොමිසමට ලද නිර්නාමික පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කළ බවය.

2023 වර්ෂයේ නදුන් චින්තක නොහොත් හරක්කටා රැඳවුම් භාරයේ සිටියදී මෙම සැකකාර චරිත අබේසිංහ විසින් හරක්කටාගේ සමීපතමයෙකු වූ නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැත්තාට දුරකථන ඇමතුමක් ලබාදී රැඳවුම් භාරයේ සිටියදී හරක්කටා ඝාතනයට ලක්විය හැකි බවත්, ඔහුව බුස්ස බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයකට මාරු කළ හැකි බව සහ වෙනත් සහන ලබාදිය හැකි බව පවසා ඇති බව සහකාර නීති අධ්‍යක්ෂවරිය අධිකරණයට කියා සිටියේය.

එබැවින් ඒ සම්බන්ධයෙන් හරක්කටාගේ බිරිඳ සමඟ ඩීල් එක දමන ලෙස සැකකාර චරිත අබේසිංහ හර්බි නැමැත්තාට පවසා ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියේය.

අනතුරුව චරිත අබේසිංහ, නීතිඥ රඛිත රාජපක්ෂ සහ අරුණ ශ්‍රී චතුරංග යන මෙම සැකකරුවන් තිදෙනා 2023 මාර්තු 25 දින ඩුබායි රාජ්‍ය බලා ගොස් හර්බි නැමැත්තාගේ නිවසේදී හරක්කටාගේ බිරිඳගෙන් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව සහකාර නීති අධ්‍යක්ෂවරිය සඳහන් කළේය.

එහිදී පළමුව ලක්ෂ 5000ක් ඉල්ලා, පසුව එය ලක්ෂ 2000 දක්වා අඩුකර ඉන් ලක්ෂ 1200ක් අත්තිකාරම් මුදල ලෙස ලබාගෙන ඇති බව ඇය සඳහන් කළේය.

කෙසේ වෙතත් අල්ලස් මුදල ලබාගැනීමෙන් පසු පොරොන්දු ඉටු නොකිරීම නිසා හරක් කටාගේ බිරිඳ වන මදුෂානි නැමැත්තිය යළි සිය මුදල් ඉල්ලා ඇති බවත්, එවිට චරිත අබේසිංහ විසින් මෑතකදී ඝාතනයට ලක්වූ මිදිගම ලසන්ත නැමැත්තා හරහා ලක්ෂ 200ක මුදලක් ආපසු හරක් කටාගේ බිරිඳට යවා ඇති බව විමර්ශනයෙන් අනාවරණය වූ බවද සහකාර නීති අධ්‍යක්ෂවරිය පැවසීය.

ඇය වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් හරක්කටාගේ බිරිඳ වන මදුෂානි නැමැත්තිය පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර නදුන් චින්තක හෙවත් හරක් කටා විමර්ශන නිලධාරින්ට ප්‍රකාශයක්ද ලබා දී ඇති බවය.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව දූෂණ විරෝධි පනතේ 149 වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක් ඉදිරිපත් කර ඇති බැවින් සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි සහකාර නීති අධ්‍යක්ෂවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව සැකකරුවන්ට ඇප ලබාගැනීම වෙනුවෙන් නීතිඥවරුන් සුවිශේෂි කරුණු ඉදිරිපත් කළේය.

එහිදී සැකකාර රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කියා සිටියේ සිය සේවාදායකයාට ස්ලීප් ඇප්නියා නම් රෝගී තත්ත්වය ඇති බවත් රක්ෂිත බන්ධනාගාරගත කළහොත් ඔහුට ජීවිත අවධානමක් ඇතිවිය හැකි බැවින් එය සුවිශේෂි කරුණක් ලෙස සලකා ඇප ලබාදෙන ලෙසය.

එසේම චරිත් අබේසිංහ වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා සිය සේවාදායකයාට බරපතළ හෘද රෝගී තත්ත්වයක් පවතින බැවින් රක්ෂිත බන්ධනාගාරගත කිරීම හරහා ඔහුගේ ජීවිතයටද අවදානමක් ඇතිවිය හැකි බැවින් එය සුවිශේෂි කරුණක් ලෙස සලකා ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු සුවිශේෂි කරුණු නොවන බව දක්වමින් ඔවුන්ට මෙම අවස්ථාවේ ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව සැකකරුවන් තිදෙනා එළඹෙන ජුලි මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඩෙංගු මරණ 30ක් දක්වා ඉහළට…..

මාරාන්තික ඩෙංගු රෝගය හේතුවෙන් වසරේ මේ දක්වා සිදුවූ මරණ සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අංශ තහවුරු කරන පරිදි මේ වන විට දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 49,000කට ආසන්නය.

එම අංශ පෙන්වා දෙන්නේ, මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 14ක් පුරා ඩෙංගු රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය සිටියේ, සමස්ත රෝගීන්ගෙන් 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවය.

මෙම මාසය නිම වීමට තවත් සතියකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී, වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 15,000කට ආසන්න වේ.

රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් IDH (අංගොඩ බෝවන රෝග විද්‍යායතනය), කොළඹ ජාතික රෝහල, කළුබෝවිල සහ ගම්පහ ඇතුළු ප්‍රධාන රෝහල් රැසක් මේ වන විටත් සිය උපරිම ධාරිතාවට ළඟා වී ඇත.

ඒ හේතුවෙන් වත්මන් තත්ත්වය පාලනය කළ හැකි සීමාවෙන් ඔබ්බට ගොස්, රට තුළ ඩෙංගු ‘අධි වසංගත’ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ බරපතළ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

භෞත චිකිත්සකවරියගේ මරණයේ සැකකරුගේ කැරැට්ටුව……

රට තුළ ආන්දෝලනයක් මතුකළ භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලිසියට හැකිව තිබේ.

ඒ අනුව එම මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ, ගෙල සිරකිරීමෙන් එම මරණය සිදුව ඇති බවය.

ප්‍රධාන සැකකරු හා ඔහුගේ බිරිඳ පොලිසිය විසින් අද (24) යාපනයේදී අත්අඩංගුවට ගැනීමත් සමග තවත් කරුණු අනාවරණය කරගැනීමට හැකිව ඇත.

සිද්ධියේ පසුබිම සහ මළ සිරුර සොයාගැනීම

පසුගිය ජූනි 17 වැනිදා තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තාවකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගන්නා ලදී. මෙලෙස මියගොස් තිබුණේ අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියක් ලෙස සේවය කළ 34 හැවිරිදි ශම්‍යා දර්ශනී නැමැති තැනැත්තියකි.

ඇයගේ පෙම්වතා විසින් ඇගේ සිරුර මෝටර් රථය තුළ දමා පලාගොස් තිබූ අතර, ඔහු සිරුර රැගෙන යන අයුරු CCTV දර්ශනවලද සටහන්ව තිබුණි.

පොලිස් විමර්ශන සහ සැකකරුවන් කොටුකර ගැනීම

දින 7ක් පුරා සැකකරු සෙවීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කෙරුණි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) තාක්ෂණික සහාය ඇතිව සිදුකළ මෙහෙයුමකදී සැකකරු වැල්වත්ත ප්‍රදේශයේ සිට යාපනය දෙසට ගමන් කරමින් සිටින බව අනාවරණය විය.

ඒ අනුව ක්‍රියාත්මක වූ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්, සැකකරු ගමන් කරමින් සිටි බස් රථය චාවකච්චේරිය, කයිතඩි ප්‍රදේශයේදී වටලා සැකකරු, ඔහුගේ බිරිඳ සහ එක් දරුවකුව අත්අඩංගුවට ගත්තේය.

වෙස්වලාගෙන පලායාමේ උත්සාහය

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු තොප්පියක් සහ මුව ආවරණයක් පැලඳ සිටි අතර, ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක ලෙස වෙස්වලාගෙන සිට ඇත.

සැකකරු නිතර භාවිත කළ බොරු කොණ්ඩයක්ද (Wig) ඔහු සතුව තිබී පොලිසිය විසින් සොයාගන්නා ලදී. ඔවුන් යාපනය හරහා ඉන්දියාවට පලායාමට සැලසුම් කර තිබූ බවට පොලිසිය සැකකරයි.

සැකකරුගේ ප්‍රකාශය

තමා මියගිය කාන්තාව නැවතී සිටි කාමරයට යන විට ඇය ගෙල වැළලාගෙන සිටි බවත්, බියට පත්ව සිරුර මෝටර් රථයේ දමා තෙල්දෙණියට රැගෙන ආ බවත් සැකකරු පවසයි.

කෙසේ වෙතත්, වෛද්‍ය වාර්තා මගින් මෙය ගෙල සිරකර මැරීමක් බව සනාථ කර ඇත. තවද ඇයගෙන් තමා මුදල් ලබාගත්තද එය රුපියල් කෝටි එකහමාරක් නොවන බවද ඔහු කියා සිටියි.

සැකකරුගේ බිරිඳගේ ප්‍රකාශය

සැකකරු විසින් රවටනු ලබන කාන්තාවන්ට තමා ඔහුගේ “වැඩිමහල් සහෝදරිය” ලෙස හඳුන්වා දී මෙම වංචාවලට සහාය දුන් බව පවසා ඇත.

තමන්ට සිටින දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු පසුගිය 21 වැනිදා නාරම්මල පිහිටි මහගෙදරට ඇරලවූ බවද ඇය පැවසුවාය.

පලායාමට උදව් කළ අයෙක් අත්අඩංගුවට

නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ මෙහෙයවීමෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුට නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් සැපයූ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සේවකයෙකුද අත්අඩංගුවට ගැනුණි.

ඔහුගෙන් හෙළිවූ තොරතුරු

මරණය සිදුවූ 16 වැනිදා පස්වරුවේ ප්‍රධාන සැකකරු මළ සිරුර සහිත මෝටර් රථයෙන්ම කුණ්ඩසාලේ පිහිටි මෙම සේවකයාගේ නිවසට පැමිණ ඇත.

අනතුරුව සැකකරුගේ බිරිඳ සහ දරුවන් තිදෙනාද එම රථයෙන්ම කැඳවාගෙන විත් ප්‍රාදේශීය සභා සේවකයාගේ නිවසේ රැය පහන් කර තිබේ.

පසුදින සිරුර තෙල්දෙණියට රැගෙන යන විට ප්‍රාදේශීය සභා සේවකයා යතුරුපැදියකින් මෝටර් රථය පසුපසින් ගොස් ඇති අතර, සිරුර දැමීමෙන් පසු සැකකරුව නැවත යතුරුපැදියෙන් සිය නිවසට කැඳවාගෙන විත් ඇත.

පසුව මෙම පිරිස මාතලේ පිහිටි සැකකරුගේ මවගේ නිවසට ඇරලවීමටද ඔහු උදව් කර ඇත. සැකකරු මෙම සේවකයාගේ බිරිඳගෙන්ද රුපියල් ලක්ෂ 5ක මුදලක් වංචා කර තිබේ.

සැකකරුගේ ස්ත්‍රී වංචා ජාලය

පොලිස් විමර්ශනවලට අනුව ප්‍රධාන සැකකරු වයස අවුරුදු 30ට වැඩි, අවිවාහක කාන්තාවන් ඉලක්ක කර ගනිමින් විවාහ කරගන්නා බව පවසා රවටන මහා පරිමාණ වංචාකරුවෙකි.

මියගිය භෞතචිකිත්සකවරිය අම්පාර රෝහලේදී ඔහුට හමුව ඇත්තේ ඇයගෙන් ප්‍රතිකාර ලබාගැනීමට ගිය අවස්ථාවකය.

සැකකරු කාන්තාවන් රවටා ලබාගන්නා මුදල්වලින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති අතර, ඔහු විවිධ කූඨ උපක්‍රම මගින් කාන්තාවන් රැවටූ සමස්ත මුදල රුපියල් කෝටි දෙකකට අධික බව අනාවරණය වී ඇත.

ඔහු කටුගස්තොට ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසැලක්ද ආරම්භ කර ඇති අතර, එහි සේවය කළ තරුණියකගෙන්ද රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගැනීමට සූදානමින් සිට ඇත.

ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දැනට නුවරඑළිය පොලිසිය වෙත භාරදී තිබේ.

ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව…….

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමේ වැඩිදුර කරුණු දැක්වීම් ජූලි මස 06 වනදා දක්වා කල් තැබුණි.

ඒ, එම පෙත්සම දෙවැනි දිනටත් අභියාචනාධිකරණය හමුවේ අද (24) සලකා බැලුණු අවස්ථාවේදීය.

මෙම සලකා බැලුණේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේදීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් එහිදී සඳහන් කළේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ශේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසම, හිටපු මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් කොමිසම මෙන්ම ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරිපත් කර තිබෙන වාර්තාවල කිසිදු ස්ථානයක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සදහන් කර නොමැති බවය.

ඊට අමතරව පාස්කු ප්‍රහාරයේ රාජකාරි පැහැරහැරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගකළ සත් පුද්ගල ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබාදී ඇති නඩු තීන්දුවේද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එක් වචනයක් හෝ සඳහන් කර නොතිබූ බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය.

පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව 2017 වසරේ සිට බුද්ධි අංශ  දැනුවත් කිරීම් සිදුකර තිබූ අතර සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ශන ගොනුවක් පොලීසිය නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබූ බව පෙන්වා දුන් නීතිඥවරයා කියා සිටියේ ඊට අදාළව කිසිදු විමර්ශනයක් සිදු කර නොමැති බවය.

එසේ වගකීම් විරහිතව කටයුතු කළ අය වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට ඔහු චෝදනා කළේය.

එමෙන්ම පිල්ලෙයාන් සහ කරුණා යන පාර්ශ්ව සමඟ සිය සේවාදායකයා දේශපාලන කටයුතු වල නිරතවූ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා දේශපාලන රැස්වීමකදී ඔවුන් සමඟ ගත්  ඡායාරූප පෙන්වමින් එමගින් පෙත්සම්කරු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක කළ නොහැකි බව පැවසීය.

නීතිපති දෙපාර්තමේන්තුව එම ඡායාරූප ඉදිරිපත් කළේ මුළුමනින්ම ද්වේෂ සහගතව මෙන්ම වංක චේතනාවකින් බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් චෝදනාකර සිටියේය.

අසාද් මවුලානා යනු දේශපාලන රැකවරණ පතා ස්විට්සර්ලන්තයේ පලාගොස් ජීවත්වන පුද්ගලයෙකූ වන අතර ඔහු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට සිදුකළ ප්‍රකාශයෙන් මෙරට අධිකරණ පද්ධතිය පහළ සිට ඉහළටම දූෂිත බවට බරපතළ චෝදනාවක් එල්ලකර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

නීතිඥවරයා ප්‍රශ්න කළේ එම පුද්ගලයා, ලසන්ත වික්‍රමතුංග මරාදැමීම , මිනීමැරුම්, පැහැරගෙන යාම් වැනි අපරාධ සියල්ල රාජපක්ෂවරු මත පැටවිමට ක්‍රියාකර ඇති අතර එවැනි පුද්ගලයෙකු ලබාදී ඇති ප්‍රකාශ මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගන්නේ කෙසේද යන්නය.

ඉන්පසුව පෙත්සමේ වැඩිදුර කරුණු දැක්වීම් ජූලි මස 06 සහ 09 යන දිනවලට කල් තැබුණි.

මැතිවරණවලදී තීන්ත ආලේප කිරීම නවතී ?

මෙරට පැවැත්වෙන මැතිවරණවලදී ඡන්ද දායකයින්ගේ ඇඟිලිවල නොමැකෙන තීන්ත ආලේප කිරීමේ ක්‍රමවේදය නීතිමය ප්‍රතිපාදන මඟින් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.

මෙරට පවතින මැතිවරණ නීතිරීතිවලට අනුව 2004 වර්ෂයේ සිට මේ දක්වා පැවැති සෑම ඡන්ද විමසීමකදීම ඡන්ද දායකයින් වලංගු හැඳුනුම්පතක් මඟින් අනන්‍යතාව තහවුරු කිරීම සහ නොමැකෙන තීන්ත භාවිතයෙන් ඇඟිල්ල සලකුණු කිරීම අනිවාර්ය කර තිබිණි.

හොර ඡන්ද දැමීම හෝ එක් අයෙකු එක වරකට වඩා ඡන්දය භාවිත කිරීම වැළැක්වීම මෙම ක්‍රමවේද දෙකෙහිම මූලික අරමුණ වී තිබුණි.

ඒ අනුව, එකම අපේක්ෂාවක් මුදුන්පත් කර ගැනීම සඳහා එකිනෙකට වෙනස් ක්‍රමවේද දෙකක් (හැඳුනුම්පත් පරීක්ෂාව සහ තීන්ත ආලේප කිරීම) එකවර අනුගමනය කිරීම හේතුවෙන්,

ඡන්ද මධ්‍යස්ථාන තුළ සිදුවන රාජකාරි කටයුතුවල කාර්යක්ෂමතාවට බාධා පැමිණීම.

මැතිවරණ පැවැත්වීමේදී රජයට විශාල අමතර පිරිවැයක් දැරීමට සිදු වීම, යන කරුණු නිරීක්ෂණය වී ඇති බැවින්, නොමැකෙන තීන්ත භාවිතය පිළිබඳ නීතිමය ප්‍රතිපාදන මැතිවරණ පනත්වලින් ඉවත් කිරීම යෝග්‍ය බව රජය තීරණය කර ඇත.

ඒ අනුව, නොමැකෙන තීන්ත භාවිත කිරීමේ අවශ්‍යතාව ඉවත් කිරීම සඳහා පහත සඳහන් පනත් සහ ආඥාපනත්වල අදාළ වගන්ති සංශෝධනය කිරීමට නීතිමය පියවර ගනු ලබයි.

* ජනාධිපතිවරණ – 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 36 වැනි වගන්තිය.

* මහ මැතිවරණ – 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 38 වැනි වගන්තිය.

* පළාත් සභා මැතිවරණ – 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 36 වැනි වගන්තිය.

* පළාත් පාලන මැතිවරණ – (262 වැනි අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම් ආඥාපනතේ 53අ. වගන්තිය.

* ජනමත විචාරණ – 1981 අංක 7 දරන ජනමත විචාරණ පනතේ 21 වැනි වගන්තිය.

ඩෙංගු මර්දන ජාතික මෙහෙයුම පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක්…..

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු අවදානම පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක ජාතික වැඩසටහනට සමගාමීව විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ පැවැත්වීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (23) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ, ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේ දැනුවත්භාවය සහ සහභාගීත්වය අත්‍යවශ්‍ය බවය.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කෙටි කාලීන මෙන්ම දිගුකාලීන විසඳුම් සහිත වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.

නිවාස පරිශ්‍ර මෙන්ම රාජ්‍ය ආයතන, කර්මාන්තශාලා සහ වැඩබිම් ආශ්‍රිතවද ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක් පවතින බැවින් පරිසරය පිරිසිදුව තබා ගැනීමට සියලු පාර්ශ්වයන්ගේ අවධානය යොමු විය යුතු බවද අවධාරණය කෙරිණි.

ඩෙංගු ව්‍යාප්තිය, අවදානම් තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළේය.

ජනතාව දැනුවත් කිරීම සහ පරිසරය පිරිසිදුව තබා ගැනීමට පෙළඹවීම මෙම අවස්ථාවේ වැදගත්ම පියවරක් බව සඳහන් කළ ජනාධිපති ලේකම්වරයා, ඒ සඳහා සියලු මාධ්‍ය ආයතනවල සහාය අපේක්ෂා කරන බවද පැවසීය.

ඥානසාර හිමිගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි – අභියාචනය ඉවතට….

ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙළීමට ක්‍රියා කළේ යැයි චෝදනා ලබා වරදකරු කළ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ මාස 09ක සිරදඬුවම සහ රුපියල් 1500ක දඩය කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කර තිබේ.

එම සිරදඬුවමින් තමන් වහන්සේව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

2016 වසරේ කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් පොලිසිය විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණි.

නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2025 වසරේ ජනවාරි මස 09වනදා මාස 09ක සිර දඬුවමක් සහ රුපියල් 1500ක දඩයක් නියම කළේය.

ඉන් අනතුරුව ඥානසාර හිමියන් විසින් මෙම අභියාචනය කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කළේය.

එම අභියාචනයා විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ ආගමික සංහිදියාව උල්ලංඝනය වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බවය.

එවැනි ක්‍රියා වැළැක්වීම නීතියේ මෙන්ම අධිකරණ ක්‍රියාවලියේ වගකීමක් බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරු වරදකරු කරමින් දඬුවම් පැමිණවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි නොවන බවත් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරු වරදකරු කිරීමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය ඉවත දමන බවත් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ගත වූ පැය 24 තුළ ඩෙංගු රෝගීන් 1069ක්……

ගතවූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අනාවරණ කර සිටියි.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,179ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 28කි.

සාමාන්‍යයෙන් වසංගත තත්ත්වයක් නොමැති කාලසීමාවලදී මෙරටින් දෛනිකව වාර්තා වන්නේ රෝගීන් 150ත් 200ත් අතර සංඛ්‍යාවක් වන බවත් වත්මන් අවදානම් තත්ත්වයත් සමඟ මෑතකදී දෛනිකව වාර්තා වූ රෝගීන්  සංඛ්‍යාව 600ත් 650ත් දක්වා ඉහළ ගිය බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම වෛද්‍ය කපිල කන්නන්ගර මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ රෝගීන් වාර්තා වීම තවදුරටත් ඉහළ යමින් පවතින බැවින් මෙම තත්ත්වය කඩිනමින් පාලනය කරගත යුතු බවය.

රෝගීන් සංඛ්‍යාව මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරට රෝහල්වල ධාරිතාවය මේ වන විටත් ඉක්මවා ගොස් ඇති බවත් මෙය දිගින් දිගටම සිදුවුවහොත් සමස්ත රෝහල් පද්ධතියම කඩා වැටීමේ බරපතළ අවදානමක් පවතින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව, රෝගීන් රැකබලා ගැනීමේදී වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද මේ වන විට දැඩි මානසික සහ ශාරීරික පීඩනයකට පත්ව සිටින බවද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම දැඩි පීඩනකාරී වටපිටාව හේතුවෙන් ඉදිරියේදී රෝගී මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා,

”ඇත්තටම රෝගීන් වාර්තා වීම සාමාන්‍ය කාලය තුළදී එනම් අවදානමක් නැති අවස්ථාවකදී සාමාන්‍යයෙන් වාර්තා වෙන්නේ 150ක්, 200ක් අතර ප්‍රමාණයක්. නමුත් දැන් මේ, මේ අවදානම් තත්ත්වය ආවට පස්සේ සාමාන්‍යයෙන් 600ක්, 650ක් පමණ දෛනිකව රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණා. නමුත් දැන් ඊයේ බැලුවහම ඒක සාමාන්‍යයෙන් 1000 ඉක්මවලා තියෙනවා. මේ රෝගීන් වාර්තා වීම තාම වැඩිවෙමින් පවතිනවා. ඉතින් මේක අපි අඩුකරගත යුතු වෙනවා. මේක අවසානයේදී බලපාන්නේ අපේ රෝහල් පද්ධතියට. එතකොට මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවීමත් එක්ක රෝහලක තියෙන ධාරිතාව ඉක්මවා ගිහින් දරා ගැනීමට නොහැකි තත්ත්වයක් ආවොත් රෝහල් පද්ධතියේ කඩා වැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව එහි ඉන්න කාර්ය මණ්ඩලය ලොකු මානසික හා ශාරීරික පීඩාවට පත් වෙනවා රෝගීන් රැක බලා ගැනීමේදී.. ඒ නිසා ඒ තුළ අපිට යම් යම් අවස්ථාවලදී මරණ සංඛ්‍යාවත් වැඩිවෙන්න පුළුවන්. අනිත් එක තමයි ඩෙංගු රෝගය පමණක් නෙවෙයි වෙනත් රෝග තිබෙනවා ජනතාවත් රෝහල් කරා පැමිණෙනවා. ඉතින් ඒ අයටත් මේක ලොකු අසාධාරණයක්.”