මැලේසියාවෙන් පිටුවහල් කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු කටුනායකදී අත්අඩංගුවට…..

රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බවට සැක කෙරෙන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් “මාටියා” නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මැලේසියාවේ රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ (25) රාත්‍රියේ ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පොලීසිය සඳහන් කළේ සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර දුන් බවය.

වයස අවුරුදු 41/42ක් වන සැකකරු කොටුගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක්ද නිකුත් කර තිබී ඇත.

2022 ජූලි මස ගම්පහ අධිකරණ පරිශ්‍රය ආසන්නයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “පස්පොඩ්ඩා” ඇතුළු පිරිසකට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයින්ට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී තිබේ.

මෙම සැකකරුට පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

චරිත් අබේසිංහගේ සජබ පක්ෂ සාමාජිකත්වය සහ සියලු තනතුරු අත්හිටුවයි……

අල්ලස් සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ සමගි ජන බලවේග හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.

එමෙන්ම ඒ මහතා විසින් මෙතෙක් දැරූ සියලු තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටද පක්ෂය තීරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කර ඇත්තේ 2023 වසර වන විට ඔහු පක්ෂයේ සාමාජිකයෙකු ලෙස හෝ සංවිධායකවරයෙකු ලෙස හෝ කටයුතු කර නොමැති අතර චරිත් අබේසිංහ මහතා එවකට සමගි ජනබලවේගයේ කිසිදු තනතුරක් ද නොදැරූ අයෙකු බවය.

කෙසේ නමුත් සමගි ජනබලවේගය කිසිදු විටෙක දූෂණයන්ට හෝ නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට සහ අධීකරණමය ක්‍රියාමාර්ග ගැනීමට විරුද්ධ නොවන බව අවධාරණය කරන බවද මහලේකම්වරයා අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඉන්ධන මිල අඩුවන දිනය ගැන ඇමති කියන කතාව…..

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීම අනුව ඉදිරියේදී එම සහනය ජනතාවට ලබා දීමට බලාපොරොත්තු වන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

අද (26) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට රජය ඉන්ධන සඳහා රුපියල් බිලියන 57ක සහනාධාරයක් ලබා දී ඇති බවත් එම සහනාධාරය මෙම මාසයෙන් අවසන් වීමට නියමිතව ඇති බවය.

ඒ අනුව නැවත වරක් එම සහනාධාරය ලබා දිය හැකිද නැද්ද යන්න පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන දැනුම්දීමට නියමිත බවත් පැවසූ අමාත්‍යවරයා මහජනතාවට පීඩනයක් ලබා දීමට කටයුතු නොකරන බවද සඳහන් කළේය.

මැදපෙරදිග යුදමය තත්ත්වය යටතේ සීඝ්‍ර ලෙස ඉහළ ගිය ඉන්ධන මිල ගණන් අනුව මෙරට ඉන්ධන මිල එම මිල ගණන්වලට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ දැමීමට රජයට සිදුවූ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එම ඉහළ ගිය ඉන්ධන මිල ගණන් නැවත පහළ බසිමින් තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා එම ඉන්ධන මිලට ඉන්ධන ඇනවුම් කිරීමේදි එහි වාසිය මහජනතාවට ලබා දිය හැකි බවද මෙහිදී පෙන්වා දුන්නේය.

මේ වන විට මෙරට පවතින සහ ඉදිරි මාස දෙක තුළ ලැබීමට නියමිත ඉන්ධන පසුගිය මාසයේදී ඇනවුම් කළ ඉන්ධන බැවින් ඉදිරියේදී ඇනවුම් කරන ඉන්ධන මිල සඳහා එම පිරිවැය ආවරණය කරමින් එහි වාසිය ජනතාවට ලබා දීමට හැකියාව ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අනිල් ජයන්ත මහතා,

“යුදමය තත්ත්වය පවතින්න කළින් පැවැති තත්ත්වයට තාම ඇවිත් නෑ. උදාහරණයක් විදිහට බොරතෙල් බැරලයක් අපි අවසානයට ගත්තේ ඩොලර් 64-65ත් අතර ප්‍රමාණයකට. ඒක ඩොලර් 125ක් දක්වා ඉහළ ගියා. අපි ඒ වෙලාවෙත් මේක දෙගුණයකින් වෙලා තියෙනවා කියලා දෙගුණයකින් මිල වැඩි කිරීමක් කරලා ලාබ ගන්න තැනකට ගියේ නෑ. අපි එවලෙත් උත්සාහ කළේ පැවතුණ මිල ගණන්වලට තෙල් ලබා දීම තමයි කළේ. මිල වැඩි කිරීම පවා අපි අවබෝධයෙන් සුළු වශයෙන් තමයි වැඩි කළේ. නමුත් දැන් ඒ වැඩිවෙච්ච මිල 125න් පහළට ඇවිත් තිබෙනවා ඩොලර් 70 කලාපයට එමින් තිබෙනවා එහි වාසිය අපිට ලබා දෙන්න පුළුවන් කම ලැබෙන්නේ ඒ මිල ගණන් අනුව එම පිරිවැය ආවරණය වෙන තෙල් ලැබෙනවාත් එක්කම. දැන් ලබා ගන්න තෙල් විශේෂයෙන්ම ඊළඟ මාස දෙකේ විතර ලැබෙන්න තියෙන්නේ පසුගිය මාසයේදී ඇනවුම් කරපු තෙල්. අපි උපරිම වශයෙන් දැනට මේ බර දරාගන්න බැරි නිසා රුපියල් බිලියන 100 පැකේජය ඇතුළේ රුපියල් බිලියන 57ක්ම වෙන් කරලා මේ සඳහා සහනාධාරය දුන්නා. මේ ජූනි මාසයේ ඒ සහනාධාරය අවසන් වෙනවා පවතින තත්ත්වය අධ්‍යයනය කරලා මේ මිල ගැලපීම කරලා තවත් සහනාධාරයක් දෙන්න පුළුවන්ද බැරිද කියලා ප්‍රතිපත්තිමය තීන්දුවක් අරන් දැනුම්දෙනවා. කිසිදු ආකාරයට මහජනතාවට අනවශ්‍ය පීඩනයක් දෙන්න අපි සූදානම් නෑ. ඒ ලැබෙන වාසිය ඉදිරියේදී ලබා දෙන්න සූදානම් වෙනවා. 

අගලවත්ත ප්‍රා.ස. උප සභාපති ඉල්ලා අස්වෙයි…..

අගලවත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ ඉන්දික ජයලත් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

සිය තීරණයට හේතු දක්වමින් සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව දැනුම්දී ඇත.

අගලවත්ත නාගරික සැලසුම අසාර්ථක කිරීම, අගලවත්තට අධිකරණ සංකීරණයක් ගෙන ඒම සහ නව පොලිස් ස්ථානය සඳහා අවකාශ ලබා නොදීම, යටියන ප්‍රදේශයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් පිහිටුවීම අසාර්ථකවීම, ආපදා කලමණකාකරණ ගොඩනැලිල්ල ඉවත් නොකිරීම යනාදී කරුණු රැසක් ඔහු එම ලිපියේ සඳහන් කර තිබේ.

එමෙන්ම මුදල් හා ප්‍රතිපත්ති කාරක සභාව සහ කාර්මික සේවා කාරක සභාවෙන් ඉල්ලා අස්වන බවද එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.

“ජනතා මනාපය මට ලබා දුන්නේ පෑගෙන පිඩිත පන්තිය විසිනි. ඔවුන්ගේ දහදිය කදුළු මත්තෙන් පැමිණි ගමන් මගේදී ඔවුන් වෙනුවෙන් මා හට දැනෙන වෙනසක් කළ නොහැක්කේ නම් පුටුව බදාගෙන සිටීම පාපයකි. 

මා මේ මොහොතේ සිට උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ එය ශාපයක් දක්වා දුර ගෙන යාම මගේ අභිප්‍රාය නොවන හෙයිනි. එහෙයින් අද සිට ක්‍රියාත්මක වෙන පරිදි මම, අගලවත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙමි” යනුවෙන් ඔහු එම ලිපියේ දක්වා ඇත.

යාපනයේ ඉඩම් නැවත පැවරීම කඩිනම් කෙරේ…..

යාපනය සහ පලාලි ප්‍රදේශවල ආරක්ෂක අංශ දැනට භාවිත කරනු ලබන රජයේ සහ පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන වැඩ පිළිවෙළෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වා තිබේ.

ඒ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

ඉඩම් සම්බන්ධ ගැටලු පිළිබඳ මීට පෙර පවත්වන ලද සාකච්ඡාවල අඛණ්ඩ පියවරක් ලෙස මෙම සාකච්ඡාව පවත්වා ඇති බවද සඳහන්.

මෙහිදී වත්මන් ප්‍රගතිය සමාලෝචනය කර ඇති අතර ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා රජය දරන උත්සාහයන් කඩිනම් කිරීම, සමාජීය මෙන්ම ආර්ථිකමය වර්ධනයට සහාය වීම සහ කලාපීය පරිපාලන යාන්ත්‍රණයන් සමඟ සම්බන්ධීකරණයෙන් යටිතල පහසුකම් සංවර්ධනය විධිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.

මෙම මුලපිරීම් ජාතික සංහිඳියා ක්‍රියාවලියට නැවත පදිංචි කිරීම් සඳහා වැදගත් පියවරක් ලෙස ද සැලකේ.

එමෙන්ම සාකච්ඡාව අතරතුර, සීමා නිර්ණයන් අවසන් කිරීම, වන්දි ගෙවීමේ ක්‍රියාවලින් කඩිනම් කිරීම සහ හඳුනාගත් ඉඩම් කොටස් ඒවායේ නීත්‍යානුකූල අයිතිකරුවන්ට නැවත පැවරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් කෙරෙහි විශේෂ අවධානය යොමු ව ඇත.

එහිදී රැස්වීම ඇමතූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, පසුගිය මාසයේ යාපනය අර්ධද්වීපයේ ප්‍රධාන ස්ථාන කිහිපයක සිදු කළ ක්ෂේත්‍ර සංචාරයේදී නිරීක්ෂණය වූ කරුණු පැහැදිලි කර ඇති අතර, එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුව ඇත්තේ දැනට ආරක්ෂක අංශ භාවිතයේ පවතින ඉඩම පිළිබඳවය.

පවතින අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට සහ අදාළ සියලුම ආයතන අතර ඵලදායී සම්බන්ධීකරණයක් සහතික කරමින් මෙම ක්‍රියාවලිය තවදුරටත් කඩිනම් කිරීම සඳහා ප්‍රායෝගික පියවර හඳුනා ගැනීමට ද අදාළ රාජ්‍ය පාර්ශ්වකරුවන්ට මෙම රැස්වීමේදී අවස්ථාව ලැබී ඇත.

එමෙන්ම අදාළ ඉඩම් නීත්‍යානුකූල අයිතිකරුවන් වෙත නිදහස් කිරීම ජාතික ආරක්ෂක මණ්ඩලය මඟින් අවසන් කිරීමට ද එකඟතාවය පළ වී ඇත.

මෙම රැස්වීම සඳහා ආරක්‍ෂක ලේකම්, යුද සහ ගුවන් හමුදාපතිවරුන්, යාපනය දිස්ත්‍රික් ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද සහ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

රටේ ආරක්ෂාව වෙනුවෙන් උරදුන් සියලුදෙනා වෙනුවෙන් පෙනී සිටින බව ජනපති කියයි…..

ශ්‍රී ලංකා රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් ගනු ලැබූ කුමන හෝ පියවරක් වෙනුවෙන් රජයක් ලෙස පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා මෙරටින් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද හමුදා සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ට සුබපැතුම් එක් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

“මේ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අපේ රට වෙනුවෙන් දිගුකාලීන විශිෂ්ට සේවාවක් ඉටු කර තිබෙනවා. ඇතැම් විට එම සේවාව පිළිබඳ ජාත්‍යන්තරවත්, දේශීයවත් යම් ප්‍රමාණයකට සැක මුසු තැන් තිබෙන බව වාර්තා වී තිබෙනවා. එහෙත් මම ඔබට කියන්න කැමතියි සාමාන්‍ය හමුදා සොල්දාදුවාගේ සිට හමුදාපතිවරයා දක්වාත්, පොලිස් කොස්තාපල්වරයාගේ සිට පොලිස්පතිවරයා දක්වාත් මේ රටේ ආරක්ෂාව වෙනුවෙන්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්, රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් කුමන හෝ පියවරක් ගෙන තිබෙනවා නම් ඒ සෑම පියවරක්ම ආරක්ෂා කිරීමට අපි රජයක් ලෙස බැඳී සිටිනවා. 

කිසිවෙක්, කොතැනකදී හෝ රටේ ආරක්ෂාව වෙනුවෙන්, ජනතාවගේ නිදහස වෙනුවෙන්, රජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් කාර්යයන් ඉටු කර තිබෙනවා නම් එම කාර්යයන්ට උරදුන් ඒ සියලු දෙනා ආරක්ෂා කිරීමේ වගකීමක් අපිට තිබෙනවා. හැබැයි ඒ හා සමාන ලෙසම හමුදාවන් සතුව තිබෙන කීර්තියද පසෙකලා හමුදාව සතුව තිබෙන වගකීම්ද පසෙකලා යම් කුඩා කණ්ඩායම්වල බල වුවමනා වෙනුවෙන් හමුදාවට උචිත නොවන දේ, අපේක්ෂා නොකරන දේ සිදු කර තිබෙනවා නම් හමුදාවේ කීර්තිය, වින්දිතයන්ගේ ආරක්ෂාව සහ රටේ අභිමානය වෙනුවෙන් අපි ඔවුන් පිළිබඳ ක්‍රියා කිරීමට සූදානම්.

පුද්ගලික පළිගැනීම් හෝ පුද්ගලික හඹා යාම් නොවේ. යම් කණ්ඩායමක බල වුවමනා වෙනුවෙන් හමුදාවේ ගෞරවය, වටිනාකම සහ රාජ්‍යය සහ ජනතාව කෙරෙහි බැඳීම අත්හැර වැඩකටයුතු කර තිබෙනවා නම්, හමුදාවේ ගෞරවය සහ කීර්තිය වෙනුවෙන්ම එය පරීක්ෂණ කර විභාග කර සමාජයට හෙළිදරවු කළ යුතුයි. ඒ අනුව තමයි අපේ ගෞරවය රඳා පවතින්නේ. සිදු වී ඇති අපරාධ වැලිවලට යට ගසා වැළලීමෙන් නොවෙයි.”

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි….

ශීඝ්‍රයෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ ඩෙංගු රෝගයෙන් මේ වන විට පුද්ගලයින් 30දෙනෙකු මියගොස් ඇති බවය.

පෙර වසරවලට සාපේක්සව ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරමින් ඩෙංගු රෝගය රෝහල් කිහිපයක රෝගී ධාරිතාව ද ඉක්මවමින් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 14කට අහිතකර බලපෑම් එල්ලකර තිබේ.

එවන් පසුබිමක දිවයිනේ ඩෙංගු වසංගත අවදානම ඉහළ ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය කෙරෙන පරිදි ඇරඹි දින 03ක විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම අද(26) තෙවැනි දිනටත් ක්‍රියාත්මක කෙරිණි.

මේ අතර පවතින ඩෙංගු අවදානම පාලනයට මෙවර පොසොන් දන්සල් සඳහා අනුමැතිය ලබාදීමේදී කොන්දේසි පැනවීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

පොලිසියට ගන්න ගිය SIලා 100න් 19කට අනීතිකව ලකුණු දීලා – ඇමති විජේපාල…..

උප පොලිස් පරීක්ෂකවරු ලෙස බඳවාගත් 100 දෙනෙකු මේ වනවිට පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලබමින් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, 2024 වසරේ තෝරාගත් 100 දෙනාගෙන් 19 දෙනෙකු අනීතිකව තෝරාගෙන තිබූ නිසා නැවත පරීක්ෂණ සිදු කිරීමට සිදුවූ බවය.

අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“2024 වසරේ උප පොලිස් පරීක්ෂකවරු බඳවා ගැනීම ඇමති විදියට මම නතර කළා කිව්වා. ඔව් බඳවා ගැනීමට සූදානම් කර තිබූ උප පොලිස් පරීක්ෂකවරු 100ක් බඳවා ගැනීම නතර කළා.” 

“පැමිණිලි 17ක් ආවා. ඒවා විමර්ශනය කළා. සමහරු නඩු දැම්මා.” 

“පැමිණිලි 17න් කියවුණේ අපි බලයට පත්වෙනකොට මේ තෝරාගෙන තිබූ කණ්ඩායමේ යම් ප්‍රමාණයක් අනීතික ලෙස තෝරාගෙන තිබෙන බව. සහතික නැතුව ලකුණු දීලා තියෙනවා කියලා.” 

“අපි කමිටුවක් දැම්මා. ගැඹුරින් විමර්ශනය කළා. තීන්දුවක් දුන්නා. උප පොලිස් පරීක්ෂකවරු 19ක් ඉන්නවා අනීතික ලෙස තෝරාගත් අය.. සහතික නැතුව ලකුණු දීලා තෝරාගත් අය කියලා.”

“ඒ අනුව අපි නැවත මුල සිට 2500ක් සම්මුඛ පරීක්ෂණවලට භාජනය කරලා සුදුසුකම් ලත් 100ක් තෝරා ගත්තා. මුල් 100 දෙනාගෙන් 19ක් ඉවත් වෙලා සාධාරණ ලෙස තව 19ක් එකතු වුණා.”

“ඒ 100ය බඳවාගෙන දැන් පොලිස් විද්‍යාලයේ පුහුණුව ලබමින් ඉන්නවා.”

චරිත්, රඛිත සහ අරුණ අල්ලස්වලින් දේපළ අත්පත් කරගත්තාදැයි විමර්ශන……

රැඳවුම් භාරයේ සිටි නඳුන් චින්තක නොහොත් හරක්කටා නමැත්තාට සහන සැලසීමටයැයි පවසා අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 1,200ක මුදලින් චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා සුඛෝපභෝගී වාහන සහ දේපළ මිලදීගෙන ඇත්දැයි සෙවීමට විමර්ශන ක්‍රියාත්මක බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා ඊයේ (25) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

මෙහිදී සැකකරුවන්ට දරුණු රෝගී තත්ත්ව ඇති බව පවසමින් ඔවුන්ගේ නීතිඥයින් ඇප ඉල්ලා සිටියද, එම ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ අධිකරණය සැකකරුවන් තිදෙනා ජූලි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක්කටා’ 2023 වර්ෂයේ රැඳවුම් භාරයේ සිටියදී ඔහුට සහන සැලසීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 1200ක අල්ලස් අත්තිකාරමක් ලබාගත්තේ යැයි වූ චෝදනාවක් සම්බන්ධයෙන් එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, වත්මන් හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ අරුණ වරුණහැන්දිගේ යන සැකකරුවන් ඊයේ (25) පෙරවරුවේ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්විය.

අනතුරුව සැකකරුවන් තිදෙනා ඊයේ (25) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර නීති අධ්‍යක්ෂ අනූෂා සම්බන්දප්පෙරුම මහත්මිය කරුණු දැක්වූවාය.

” ස්වාමිනි, මේ විමර්ශනය ආරම්භ කළේ අල්ලස් කොමිසමට ලද නිර්නාමික පැමිණිල්ලකට අනුවයි. මේ සිදුවීම ආරම්භ වෙන්නේ මේ පළමු සැකකාර චරිත් අබේසිංහ නැමැත්තා හරක් කටාගේ සමීප හිතවතෙකු වන ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැත්තාට ලබාදුන් දුරකථන ඇමතුමකට අනුවයි. මේ සැකකරු හර්බි නැමැත්තාට කියා තිබෙනවා රැඳවුම් භාරයේ සිටින හරක් කටාටත් මදුෂ්ට වුනදේම වෙන්න පුළුවන් එය වළක්වන්න සහ බුස්ස බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයකට මාරු කරන්න හැකියාව තිබෙනවා කියලා. ඒ නිසා හරක් කටාගේ බිරිඳ සමඟ ඩීල් එකක් දාලා දෙන්න කියලා මොහු හර්බි නැමැත්තාගෙන් ඉල්ලා තිබෙනවා. මේ කෝල් එකෙන් පසුදින ඒ කියන්නේ 2023 මාර්තු 25 චරිත්,රඛිත සහ අරුණ යන මේ සැකකරුවන් තිදෙනාම ඩුබායි රාජ්‍යට යනවා. පසුව හර්බි හරහා හරක්කටාගේ බිරිඳ වන මදුෂානි නැමැත්තියව සම්බන්ධ කරගන්නවා. පසුදින හර්බිගේ නිවසේදී මේ තිදෙනා හරක්කටාගේ බිරිඳ වන මදුෂානි නැමැත්තිය හමුවෙනවා. ඒම අවස්ථාවට මිදිගම රුවන් නැමැත්තාත් සම්බන්ධවෙලා තියෙනවා. පළමුව මොවුන් හරක් කටාගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 5000ක් ඉල්ලනවා. ඇය ළඟ එතරම් මුදලක් නැහැ කියූ නිසා එය රුපියල් ලක්ෂ 2000ට අඩුකරලා ලක්ෂ 1200ක් අත්තිකාරමක් ලෙස ඉල්ලනවා. ඩුබායි රාජ්‍යයේ මොවුන් රැඳී සිටි තුන්වන දිනයේදී තමයි හරක් කටාගේ බිරිඳ විසින් ලක්ෂ 1000ක මුදලක් හර්බිගේ නිවසේදී මොවුන්ට ලබාදී තිබෙන්නේ. මොවුන් ඉතුරු ලක්ෂ 200 ඉල්ලපුවාම හරක් කටාගේ බිරිඳ කියලා තියෙනවා රත්තරන් බඩු විකුණලා දින කිහිපයකින් එම මුදල ලබාදෙන්නම් කියලා. පස්සේ දින කිහිපයකින් මිදිගම රුවන් හර්බිට ඒ සල්ලිත් ගිහින් දීලා තියෙනවා. මේ සැකකරුවන් තිදෙනා ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි දින කිහිපයේ ඉදලා තියෙන්නේ මේ සැකකාර රඛිත නැමැත්තාගේ ඥාතී නිවසක. ඒ ඥාතියා තමයි පසුව දුන් මුදල් හර්බිගෙන් අරගෙන තියෙන්නේ. මේ සියලු ගනුදෙනු වෙලා තියෙන්නේ ඩිරාම් මුදල් ඒකකයෙන්. කොහොම නමුත් මේ මුදල් දීලා කෙටි කාලයක් ගතවෙද්දි පොරොන්දු ඉටු නොකිරීම නිසා මදුෂානි නැමැත්තිය හර්බිට කියලා තියෙනවා යළි මුදල් ඉල්ලලා දෙන්න කියලා. හර්බි චරිත්ගෙන් Call කරලා මුදල් ඉල්ලපුවාම චරිත් කියා තිබෙනවා මං ළඟ තියෙන්නේ ලක්ෂ 200යි, ලක්ෂ 1000ක් තියෙන්නේ රඛිත ළඟ. අපි සල්ලි ගත්තේ මරණය වළක්වන්න. දැනට ඒකවෙලා නැහැ. ගනුදෙනුව අවසන් කරන්න ඉතුරු ලක්ෂ 800 දෙන්න කියලා. මේ දුරකථන සංවාදය හර්බි පටිගත කර තිබී අල්ලස් කොමිසමට ලබාදුන්නා.

කොහොම නමුත් පසු අවස්ථාවක මේ චරිත් නැමැත්තා ලක්ෂ 200ක මුදලක් මෑතකදී මියගිය මිදිගම ලසන්ත මාර්ගයෙන් හර්බි හරහා හරක්කටාගේ බිරිඳට යවා තිබෙනවා. මේ සිදුවීම පිළිබඳ හරක් කටාගේ බිරිඳ මදුෂානි නැමැත්තිය ලිඛිතව පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබෙනවා. ඒ වගේම හර්බි නැමැත්තා දිවුරුම් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. විමර්ශන නිලධාරින් රැඳවුම් භාරයේ සිටින නදුන් චින්තක හෙවත් හරක් කටාගෙන් සහ මිදිගම රුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙනත් තියෙනවා. මේ මුදල්වලට කුමක්ද සිදුවූයේ කියා වැඩිදුර විමර්ශන කළ යුතුයි.

දැනට අනාවරණය ඇති ආකාරයට මේ තෙවන සැකකරු තමයි උන්ඩියල් ක්‍රමයට අදාළ මුදල් ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. අදාළ කාලයේදී පළමු සහ දෙවන සැකකරුවන් සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම් සහ නිවාස ඉදිකිරීම් සිදුකර ඇති බැවින් ඒ පිළිබඳවද විමර්ශකයින්ගේ අවධානය යොමු වී තිබෙනවා.”

මෙහිදී සහකාර නීති අධ්‍යක්ෂවරිය හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන්ද කරුණු අනාවරණයක් සිදු කළාය.

” ස්වාමිනි මේ සිදුවීම ගැන අනුප එරංජිත් නැමැත්තෙක් සයිබර් නිව්ස් කියන සමාජ මාධ්‍ය වෙබ් අඩවිය හරහා මුල්වරට අනාවරණයක් කර තිබෙනවා. නමුත් මේ සැකකාර රඛිත රාජපක්ෂගේ පියා එවකට නීතිපතිවරයාට පැමිණිල්ලක් කරලා තියෙනවා අදාළ පුද්ගලයා අසභ්‍ය වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා කියලා. පසුව ඒ පුද්ගලයාට එරෙහිව බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තාවීමකුත් වෙලා තියෙනවා. මේ හරහා ඒ පුද්ගලයාට යම් බලපෑමක් වී ඇති බවයි විමර්ශන නිලධාරින්ගේ මතය.”

අනතුරුව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටී නීතිඥයින් සිය සේවාදායකයින් වෙනුවෙන් දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාරව සුවිශේෂි කරුණු දක්වමින් ඇප ඉල්ලා සිටියහ.

එහිදී පළමුව සැකකාර රඛිත රාජපක්ෂ වෙනුවෙන් පළමුව ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු දැක්වූවේය.

” ස්වාමිනි, මගේ මේ නඩුවේ කරුණු බලපු ගමන් පේනවා මේ කරුණු බොරු කියලා. අල්ලස් කොමිසම විතරයි මේවා විශ්වාස කරන්නේ. මගේ සේවාදායකයා නිර්දෝෂයි. ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කළහොත් ඔහුගේ වෘත්තීමය කටයුතුවල නිරතවීමට නොහැකිව සේවාදායකයෝ වෙනුවෙන් නඩුවලට පෙනී සිටිමට නොහැකිවෙනවා. ඒ වගේම මොහු Sleep apnea නැමැති රෝගයෙන් පෙළෙනවා. බන්ධනාගාරය තුළ ඊට ප්‍රතිකාර නොමැති බැවින් මොහු රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළ මරණය හෝ ජීවිත අවදානමක් ඇතිවිය හැකියි. එබැවින් මෙම කරුණු සලකා බලා මගේ සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.”

මෙහිදී නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව වෙනුවෙන් යැයි පවසමින් කරුණු දැක්වීමක් සිදු කළේය.

“සාමාන්‍යයෙන් පැමිණිල්ලක් ආපුවාම ඇවිල්ලා ප්‍රකාශයක් දෙන්න කියලා දැනුම්දීමක් කරනවා. නමුත් මෙතනදී ඒ මුකුත් නැතුව හමුදාවෙන් පනිනවා වගේ පැනලා නීතිඥවරයෙකුව බෙල්ලෙන් අල්ලන් ආවා. ඒකද කළු කෝට් එකට තියෙන වටිනාකම. මේක අපේ අභිමානය පිළිබඳ ප්‍රශ්නයක්. සමස්ත නීතිඥ ප්‍රජාවේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක්. අපිට වරප්‍රසාද ඕනේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව වෙනුවෙන් මම මේ කියන්නේ. ශ්‍රී ලංකාවේ නීතිඥවරු 28,000ම මේ වෙනුවෙන් හිටගන්නවා.” 

අනතුරුව සැකකාර චරිත අබේසිංහ වෙනුවෙන්ද නීතිඥවරයෙක් ඇප අයැද සිටියේය.

” ස්වාමිනි, මගේ සේවාදායකයාට එරෙහිව සාක්ෂි ලබාදෙන සාක්ෂිකරුවන්ගේ විශ්වාසනීයභාවය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඔවුන් අපරාධවලට සම්බන්ධව රැඳවුම් භාරයේ සිටින්නන්. එක්කෝ ඔවුන් තමන්ගේ රැඳවුම් නියෝගයෙන් මිදෙන්න මෙහෙම ප්‍රකාශ කරන්න පුළුවන්, නැතිනම් පොලිසියේ වුවමනාව මත මෙවැනි ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම ස්වාමිනි මගේ සේවාදායකයා දරුණු හෘද රෝගී තත්ත්වකින් පෙලෙනවා. ඔහුට ස්ටෙන්ට් 03ක් දාලා තව 05ක් දාන්න තියෙනවා. 60 පැනපු පුද්ගලයෙකුට එන සියලු රෝග අවාසනාවන්ත ලෙස තරුණ වයසේදීම මොහුට තියෙනවා. එබැවින් මොහු රක්ෂිත බන්ධනාගාරගත කිරීම මොහුගේ ජීවිතයට අවදානමක් ඇති කළ හැකියි.”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ කරුණු දැක්වීම් ඇප ලබාදීමට තරම් සුවිශේෂි කරුණු නොවන බව දක්වමින් සැකකරුවන් ජුලි 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ මෙවැනි සිදුවීමකට අදාළව සිය සාමාජිකයෙකු අත්අඩංගුවටගෙන ඇති අවස්ථාවක සංගමයේ කාර්යභාරය වන්නේ අදාළ නෛතික ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීම හා ඉදිරි පියවර පිළිබඳ සංගමයට වාර්තා කිරීම පමණක් බවය.

මෙම ක්‍රියාමාර්ගය අතරතුර නීතිඥ සංගමය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට නීතිඥ සංගමයේ විධායක කමිටුව කිසිදු නීතිඥවරයෙකුට බලය පවරා නොමැති අතර සැකකාර නීතිඥවරයා වෙනුවෙන් කිසිඳු නියෝජනයක් කිරීමට නීතිඥ සංගමය තීරණය කර නොමැති බවද එම නිවේදනයේ සඳහන්ය.

භෞත චිකිත්සකවරියගේ මරණය ගැන තවත් තොරතුරු හෙළිවෙයි…..

භෞත චිකිත්සකවරියගේ ඝාතනයට අදාළව, කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා නුවරඑළිය පොලිසිය විසින් ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ ඝාතනයේ ප්‍රධාන සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බවට වන චෝදනාවටය.

ඒ අනුව ප්‍රධාන සැකකරු ඇතුළු මෙතෙක් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට අද (26) ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 09වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

තෙල්දෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් තෙල්දෙණිය පොලිසිය විසින් සොයාගනු ලැබුවේ පසුගිය 17 වැනිදාය.

මියගොස් ඇත්තේ අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියක් ලෙස සේවය කළ ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි තැනැත්තියක් බව පසුව අනාවරණය විය.

ඇගේ පෙම්වතා බව සඳහන් අයෙක් පිළිබඳ ලද තොරතුරු මත විමර්ශන විමර්ශන ක්‍රියාත්මක කෙරුණු අතර එම ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ හා දරුවකු සමග යාපනයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසිනි.

ඔවුන්ට ආධර අනුබලදුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවේ විමර්ශනවලදී ලද තොරතුරු අනුවය.

පසුව පිරිස පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය.

එහිදී හෙළිවී ඇත්තේ, ප්‍රධාන සැකකරුට සැඟව සිටීම සඳහා කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා සහාය ලබාදී ඇති බවය.

ඒ අනුව සැකකරු නුවරඑළිය පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, ප්‍රාදේශිය සභා සේවකයා හරහා ප්‍රධාන සැකකරු මෙම පොලිස් නිලධාරියා හඳුනාගෙන ඇති බවය.

ඝාතනය සිදු වූ දාට පසුදින එනම් ඉකුත් අප්‍රේල් 17වනදා උදෑසන ප්‍රධාන සැකකරු හා ප්‍රාදේශිය සභා සේවකයා කුණ්ඩසාලේ පිහිටි පොලිස් පුහුණු පාසල ඉදිරිපිටදී අදාළ පොලිස් නිලධාරියා හමු වී තිබේ.

එහිදී ප්‍රාදේශිය සභා සේවකයා පොලිස් නිලධාරියාට පවසා ඇත්තේ “සර් මේ මගේ යාළුවෙක්. මෙයා ළඟ බොඩි එකක් තියෙනවා. ඒ මෙයා යාළුවෙලා හිටපු කෙල්ලගේ බොඩි එක. මේකට මොකක්ද කරන්නේ කියලා අහනවා” යනුවෙනි.

ඊට පිළිතුරු ලබාදෙමින් පොලිස් නිලධාරියා පවසා ඇත්තේ “මොකක් හරි හොස්පිට්ල් එකක් ළඟට ගිහින් දාන්න” ලෙසිනි.

ඒ අනුව ප්‍රධාන සැකකරු හා ප්‍රාදේශිය සභා සේවකයා ඇගේ සිරුර තෙල්දෙණිය රෝහලට අසල දමාගොස් ඇත.

පසුව දිගන ප්‍රදේශයේ පිහිටි ස්ථානයකට ඔවුන් දෙදෙනා පැමිණ ඇති අතර එම ස්ථානයට අදාළ පොලිස් නිලධාරියා ද පොලිස් ජීප් රථයකින් පැමිණ ඇති බව වාර්තා වේ.

එහිදී ඔහු ප්‍රධාන සැකකරුට පවසා ඇත්තේ “ලෝයර් කෙනෙක් මම හොයලා දෙන්නම්. බය නැතුව හැංගිලා ඉන්න” යනුවෙනි.

පසුව ඉකුත් 18 වැනිදා උදෑසන ප්‍රධාන සැකකරු හා ප්‍රාදේශීය සභා සේවකයා කුණ්ඩසාලේ පිහිටි පොලිස් පුහුණු පාසලට ගොස් පොලිස් නිලධාරියා හමුවී ඔහු සමග කුණ්ඩසාලේ ප්‍රදේශයට පැමිණ ඇති බව සඳහන්.

එහිදී පොලිස් නිලධාරියා ප්‍රධාන සැකකරුට පවසා ඇත්තේ, “මරණ පරීක්ෂණ වාර්තාවෙන් දිවි නසාගැනීමක් ලෙස සටහන්වෙනකල් හැංගිලා ඉන්න” යනුවෙනි.

ඒ අනුව ඔහු නුවරඑළිය පොලිසියේ අපරාධ අංශයේ පොලිස් සැරයන්වරයෙකුට දුරකථන ඇමතුමක් ලබාදී සිද්ධිය සම්බන්ධයෙන් විමසා තිබේ.

එහිදී පොලිස් සැරයන්වරයා එම පොලිස් නිලධාරියාට පවසා ඇත්තේ, මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදුන් බවය.

පසුව එම පොලිස් නිලධාරියා ප්‍රධාන සැකකරුගෙන් රුපියල් දස දහසක මුදලක් ඉල්ලාගෙන ප්‍රාදේශිය සභා සේවකයා සමග ගොස් මත්පැන් මිලදීගෙන ඇත.

ඒ අනුව පොලිස් නිලධාරියා හා ප්‍රාදේශිය සභා සේවකයා එක්ව මත්පැන් පානය කිරීමෙන් පසු ඉතිරි මුදල්වලින් පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත සුපිරි වෙළෙඳසැලකින් මී කිරි හට්ටියක් හා පැණි බෝතලයක් මිලදී ගෙන ඇති බව වාර්තා වේ.

පසුව ඔහු ප්‍රධාන සැකකරුට පවසා ඇත්තේ, “පශ්චාත් මරණ පරීක්ෂණයට සිටි වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ඔයා වෙනුවෙන් පෙනී සිටිමට සූදානම් වූ නීතීඥවරයා, බයවෙන්න එපා මම බලාගන්නම්. මගේ නෝනට ස්නායු රෝගයක් තිබෙනවා, ඒකටත් උදව් කරන්න” යනුවෙනි.

ඒ අනුව එම ස්ථානයෙන් පිටත් වූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට පත්වන තුරු එනම් දින 7ක් තුළදී අවස්ථා තුනකදී යාපනයට ගොස් ඇති බවත් තෙවැනි අවස්ථාවේදී අත්අඩංගුවට පත් වූ බවත් පොලිසිය සඳහන් කළේය.

අනතුරුව ප්‍රධාන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, තමන් කාමරයට යනවිට භෞත චිකිත්සකවරිය කමරයෙහි වූ ජනෙල් රෙදි එල්ලන යෂ්ටියක එල්ලී දිවි නසාගෙන සිටි බවය.

නමුත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඇගේ මරණය ගෙල සිරකිරීමකින් සිදුවූ බවට තහවුරු වීම සමග විමර්ශන නොමඟ යැවීමේ අරමුණින් සැකකරු අසත්‍ය ප්‍රකාශ කරන බව පොලිසිය සැක පළ කරයි.

ජනෙල් රෙදි එල්ලන එම යෂ්ටිය මිනිසෙකුගේ බර දරාගැනීමට තරම් සවිමත් එකක් නොවන බවත් පොලිසිය සඳහන් කළේය.

මේ අතර ප්‍රධාන සැකකරුගේ බිරිඳ අදාළ මරණය සැඟවීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසුවේය.

මෙහිදී ප්‍රධාන සැකකරුගේ දරුවා මව භාරයේම රක්ෂිත බන්ධනාගාරයේ තැබීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ මෙහෙයවීමෙන් නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකය.