මැලේසියාවෙන් පිටුවහල් කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු කටුනායකදී අත්අඩංගුවට…..

රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බවට සැක කෙරෙන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් “මාටියා” නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මැලේසියාවේ රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ (25) රාත්‍රියේ ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පොලීසිය සඳහන් කළේ සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර දුන් බවය.

වයස අවුරුදු 41/42ක් වන සැකකරු කොටුගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක්ද නිකුත් කර තිබී ඇත.

2022 ජූලි මස ගම්පහ අධිකරණ පරිශ්‍රය ආසන්නයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “පස්පොඩ්ඩා” ඇතුළු පිරිසකට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයින්ට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී තිබේ.

මෙම සැකකරුට පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි….

ශීඝ්‍රයෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ ඩෙංගු රෝගයෙන් මේ වන විට පුද්ගලයින් 30දෙනෙකු මියගොස් ඇති බවය.

පෙර වසරවලට සාපේක්සව ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරමින් ඩෙංගු රෝගය රෝහල් කිහිපයක රෝගී ධාරිතාව ද ඉක්මවමින් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 14කට අහිතකර බලපෑම් එල්ලකර තිබේ.

එවන් පසුබිමක දිවයිනේ ඩෙංගු වසංගත අවදානම ඉහළ ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය කෙරෙන පරිදි ඇරඹි දින 03ක විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම අද(26) තෙවැනි දිනටත් ක්‍රියාත්මක කෙරිණි.

මේ අතර පවතින ඩෙංගු අවදානම පාලනයට මෙවර පොසොන් දන්සල් සඳහා අනුමැතිය ලබාදීමේදී කොන්දේසි පැනවීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

පොලිසියට ගන්න ගිය SIලා 100න් 19කට අනීතිකව ලකුණු දීලා – ඇමති විජේපාල…..

උප පොලිස් පරීක්ෂකවරු ලෙස බඳවාගත් 100 දෙනෙකු මේ වනවිට පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලබමින් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, 2024 වසරේ තෝරාගත් 100 දෙනාගෙන් 19 දෙනෙකු අනීතිකව තෝරාගෙන තිබූ නිසා නැවත පරීක්ෂණ සිදු කිරීමට සිදුවූ බවය.

අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“2024 වසරේ උප පොලිස් පරීක්ෂකවරු බඳවා ගැනීම ඇමති විදියට මම නතර කළා කිව්වා. ඔව් බඳවා ගැනීමට සූදානම් කර තිබූ උප පොලිස් පරීක්ෂකවරු 100ක් බඳවා ගැනීම නතර කළා.” 

“පැමිණිලි 17ක් ආවා. ඒවා විමර්ශනය කළා. සමහරු නඩු දැම්මා.” 

“පැමිණිලි 17න් කියවුණේ අපි බලයට පත්වෙනකොට මේ තෝරාගෙන තිබූ කණ්ඩායමේ යම් ප්‍රමාණයක් අනීතික ලෙස තෝරාගෙන තිබෙන බව. සහතික නැතුව ලකුණු දීලා තියෙනවා කියලා.” 

“අපි කමිටුවක් දැම්මා. ගැඹුරින් විමර්ශනය කළා. තීන්දුවක් දුන්නා. උප පොලිස් පරීක්ෂකවරු 19ක් ඉන්නවා අනීතික ලෙස තෝරාගත් අය.. සහතික නැතුව ලකුණු දීලා තෝරාගත් අය කියලා.”

“ඒ අනුව අපි නැවත මුල සිට 2500ක් සම්මුඛ පරීක්ෂණවලට භාජනය කරලා සුදුසුකම් ලත් 100ක් තෝරා ගත්තා. මුල් 100 දෙනාගෙන් 19ක් ඉවත් වෙලා සාධාරණ ලෙස තව 19ක් එකතු වුණා.”

“ඒ 100ය බඳවාගෙන දැන් පොලිස් විද්‍යාලයේ පුහුණුව ලබමින් ඉන්නවා.”

භෞත චිකිත්සකවරියගේ මරණය ගැන තවත් තොරතුරු හෙළිවෙයි…..

භෞත චිකිත්සකවරියගේ ඝාතනයට අදාළව, කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා නුවරඑළිය පොලිසිය විසින් ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ ඝාතනයේ ප්‍රධාන සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බවට වන චෝදනාවටය.

ඒ අනුව ප්‍රධාන සැකකරු ඇතුළු මෙතෙක් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට අද (26) ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 09වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

තෙල්දෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් තෙල්දෙණිය පොලිසිය විසින් සොයාගනු ලැබුවේ පසුගිය 17 වැනිදාය.

මියගොස් ඇත්තේ අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියක් ලෙස සේවය කළ ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි තැනැත්තියක් බව පසුව අනාවරණය විය.

ඇගේ පෙම්වතා බව සඳහන් අයෙක් පිළිබඳ ලද තොරතුරු මත විමර්ශන විමර්ශන ක්‍රියාත්මක කෙරුණු අතර එම ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ හා දරුවකු සමග යාපනයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසිනි.

ඔවුන්ට ආධර අනුබලදුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවේ විමර්ශනවලදී ලද තොරතුරු අනුවය.

පසුව පිරිස පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය.

එහිදී හෙළිවී ඇත්තේ, ප්‍රධාන සැකකරුට සැඟව සිටීම සඳහා කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා සහාය ලබාදී ඇති බවය.

ඒ අනුව සැකකරු නුවරඑළිය පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, ප්‍රාදේශිය සභා සේවකයා හරහා ප්‍රධාන සැකකරු මෙම පොලිස් නිලධාරියා හඳුනාගෙන ඇති බවය.

ඝාතනය සිදු වූ දාට පසුදින එනම් ඉකුත් අප්‍රේල් 17වනදා උදෑසන ප්‍රධාන සැකකරු හා ප්‍රාදේශිය සභා සේවකයා කුණ්ඩසාලේ පිහිටි පොලිස් පුහුණු පාසල ඉදිරිපිටදී අදාළ පොලිස් නිලධාරියා හමු වී තිබේ.

එහිදී ප්‍රාදේශිය සභා සේවකයා පොලිස් නිලධාරියාට පවසා ඇත්තේ “සර් මේ මගේ යාළුවෙක්. මෙයා ළඟ බොඩි එකක් තියෙනවා. ඒ මෙයා යාළුවෙලා හිටපු කෙල්ලගේ බොඩි එක. මේකට මොකක්ද කරන්නේ කියලා අහනවා” යනුවෙනි.

ඊට පිළිතුරු ලබාදෙමින් පොලිස් නිලධාරියා පවසා ඇත්තේ “මොකක් හරි හොස්පිට්ල් එකක් ළඟට ගිහින් දාන්න” ලෙසිනි.

ඒ අනුව ප්‍රධාන සැකකරු හා ප්‍රාදේශිය සභා සේවකයා ඇගේ සිරුර තෙල්දෙණිය රෝහලට අසල දමාගොස් ඇත.

පසුව දිගන ප්‍රදේශයේ පිහිටි ස්ථානයකට ඔවුන් දෙදෙනා පැමිණ ඇති අතර එම ස්ථානයට අදාළ පොලිස් නිලධාරියා ද පොලිස් ජීප් රථයකින් පැමිණ ඇති බව වාර්තා වේ.

එහිදී ඔහු ප්‍රධාන සැකකරුට පවසා ඇත්තේ “ලෝයර් කෙනෙක් මම හොයලා දෙන්නම්. බය නැතුව හැංගිලා ඉන්න” යනුවෙනි.

පසුව ඉකුත් 18 වැනිදා උදෑසන ප්‍රධාන සැකකරු හා ප්‍රාදේශීය සභා සේවකයා කුණ්ඩසාලේ පිහිටි පොලිස් පුහුණු පාසලට ගොස් පොලිස් නිලධාරියා හමුවී ඔහු සමග කුණ්ඩසාලේ ප්‍රදේශයට පැමිණ ඇති බව සඳහන්.

එහිදී පොලිස් නිලධාරියා ප්‍රධාන සැකකරුට පවසා ඇත්තේ, “මරණ පරීක්ෂණ වාර්තාවෙන් දිවි නසාගැනීමක් ලෙස සටහන්වෙනකල් හැංගිලා ඉන්න” යනුවෙනි.

ඒ අනුව ඔහු නුවරඑළිය පොලිසියේ අපරාධ අංශයේ පොලිස් සැරයන්වරයෙකුට දුරකථන ඇමතුමක් ලබාදී සිද්ධිය සම්බන්ධයෙන් විමසා තිබේ.

එහිදී පොලිස් සැරයන්වරයා එම පොලිස් නිලධාරියාට පවසා ඇත්තේ, මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදුන් බවය.

පසුව එම පොලිස් නිලධාරියා ප්‍රධාන සැකකරුගෙන් රුපියල් දස දහසක මුදලක් ඉල්ලාගෙන ප්‍රාදේශිය සභා සේවකයා සමග ගොස් මත්පැන් මිලදීගෙන ඇත.

ඒ අනුව පොලිස් නිලධාරියා හා ප්‍රාදේශිය සභා සේවකයා එක්ව මත්පැන් පානය කිරීමෙන් පසු ඉතිරි මුදල්වලින් පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත සුපිරි වෙළෙඳසැලකින් මී කිරි හට්ටියක් හා පැණි බෝතලයක් මිලදී ගෙන ඇති බව වාර්තා වේ.

පසුව ඔහු ප්‍රධාන සැකකරුට පවසා ඇත්තේ, “පශ්චාත් මරණ පරීක්ෂණයට සිටි වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ඔයා වෙනුවෙන් පෙනී සිටිමට සූදානම් වූ නීතීඥවරයා, බයවෙන්න එපා මම බලාගන්නම්. මගේ නෝනට ස්නායු රෝගයක් තිබෙනවා, ඒකටත් උදව් කරන්න” යනුවෙනි.

ඒ අනුව එම ස්ථානයෙන් පිටත් වූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට පත්වන තුරු එනම් දින 7ක් තුළදී අවස්ථා තුනකදී යාපනයට ගොස් ඇති බවත් තෙවැනි අවස්ථාවේදී අත්අඩංගුවට පත් වූ බවත් පොලිසිය සඳහන් කළේය.

අනතුරුව ප්‍රධාන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, තමන් කාමරයට යනවිට භෞත චිකිත්සකවරිය කමරයෙහි වූ ජනෙල් රෙදි එල්ලන යෂ්ටියක එල්ලී දිවි නසාගෙන සිටි බවය.

නමුත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඇගේ මරණය ගෙල සිරකිරීමකින් සිදුවූ බවට තහවුරු වීම සමග විමර්ශන නොමඟ යැවීමේ අරමුණින් සැකකරු අසත්‍ය ප්‍රකාශ කරන බව පොලිසිය සැක පළ කරයි.

ජනෙල් රෙදි එල්ලන එම යෂ්ටිය මිනිසෙකුගේ බර දරාගැනීමට තරම් සවිමත් එකක් නොවන බවත් පොලිසිය සඳහන් කළේය.

මේ අතර ප්‍රධාන සැකකරුගේ බිරිඳ අදාළ මරණය සැඟවීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසුවේය.

මෙහිදී ප්‍රධාන සැකකරුගේ දරුවා මව භාරයේම රක්ෂිත බන්ධනාගාරයේ තැබීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ මෙහෙයවීමෙන් නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකය.

වහාම බදු ගෙවා අවසන් කරන ලෙස මෙන්ඩිස් සමාගමට නියෝග….

නිදහසට කරුණු නොකියා, ගෙවීම පැහැරහැර තිබෙන බව කියන රුපියල් මිලියන 5800ක වැට් බදු මුදල වහාම ගෙවා අවසන් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියම කර තිබේ.

මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරු වශයෙන් නම් කර සිටින අදාළ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී විත්තිකාර සමාගමේ අධ්‍යක්ෂකවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ හිඟවී ඇති බදු මුදල්වලින් කොටසක් මේ වනවිට ගෙවා ඇති බවය.

මේ වනවිට විත්තිකාර සමාගමේ දේපළ තහනමට ගෙන අදාළ දේපොළ බැංකුවලට සින්නවී ඇති බව පෙන්වා දුන් එම නීතිඥවරයා මුදල් ගෙවූ ලේඛන සොයාගැනීමට නොහැකි වී ඇති බව කියා සිටියේය.

එහිදී දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා කියා සිටියේ අදාළ බදු මුදල් ගෙවා තිබේ නම් ඊට අදාළ ලේඛන ඉදිරිපත් කළ යුතු බවය.

අදාළ ලේඛන සොයාගැනීමට නොහැකි බවට ප්‍රකාශ කිරීම නිදහසට කරුණක් නොවන බවත් ඔහු කියා සිටියේය.

බදු ගෙවිය යුතු කාලය ඉක්මවා ගොස් ඇති නිසාත් විශාල බදු මුදල් ප්‍රමාණයක් නොගෙවා පැහැරහැර හිඟ තබා ඇති නිසාත්  විත්තිකරුට තවදුරටත් සහන සලසා දීමට හැකියාවක් නොමැති බවත් නීතිඥවරයා පැවසීය.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා  විත්තිකාර සමාගම විසින් බදු මුදල් ගෙවිය යුතු කාලය ඉක්මවා ගොස් ඇති බව පෙන්වා දුනි.

ඒ අනුව අදාළ බදු මුදල් වහාම ගෙවා අවසන් කරන ලෙස විත්තිකරුවන්ට නියෝග කල අතිරේක මහේස්ත්‍රාත්වරයා බදු මුදල් නැවතත් ප්‍රමාදයකින් තොරව ගෙවන්නේද? නැද්ද? යන්න පිළිබඳව ඉදිරි නඩු දිනයේ ස්ථිර ලෙස කරුණු දක්වන ලෙසත් නියම කළේය.

ඉන් අනතුරුව මෙම නඩුකරය සැප්තැම්බර් 30 වනදා යළි කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ක්‍රිෂ් නඩුවේ සාක්ෂිකරුවන්ට සිතාසි…..

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ ඉන්දීය සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ යටතේ විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය ප්‍රකාරව සිතාසි යැවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය.

අදාළ සාක්ෂිකරුවන් දෙදෙනා සම්බන්ධ කරගත නොහැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදි අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

නීතිවිරෝධී ලෙස ඩොලර් විදේශ ගතකළ ව්‍යාපාරිකයා රිමාන්ඩ්…..

විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රුපියල් බිලියන 190කට ආසන්න මුදලක් රටින් බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ජෙෆ්රි මොහොමඩ් නමැත්තා ජූලි 9 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන සිටි  මෙම සැකකරු අද (25) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබූ අවස්ථාවේ මෙම නියෝගය ලබාදුන්නේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රජයේ නීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම සැකකරු විදේශවලින් භාණ්ඩ ආනයනය කරන බව සඳහන් කරමින් රුපියල් බිලියන 190කට ආසන්න මුදලක් විදේශ රටවලට නීතිවිරෝධී ලෙස යවා තිබෙන බවය.

සැකකරු ටෙලිග්‍රැෆිට් ට්‍රාන්සර් ක්‍රමවේදය හරහා කොළඹ කොටුවේ පිහිටි ඒ.වයි ඉන්වෙස්ට්මන්ට් නම් ආයතනයක් හරහා එම මුදල් අමෙරිකානු ඩොලර් ලෙස විදේශවලට යවා ඇති බව සඳහන් කළේය.

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මේ ආකාරයට රටේ මුදල් විදේශ රටවලට බැහැර කළද සැකකරු කිසිදු අවස්ථාවක බැරකරන මුදල් මත මෙරටට ආනයනය කළ භාණ්ඩ නොමැති බවත් රජයේ නීතීඥවරයා පැවසීය.

මෙම මුදල් උපයාගත් ආකාරය හෝ කුමන අරමුණක් සඳහා විදේශ රටවලට සැකකරු විසින් මුදල් යොමු කර තිබේද යන කරුණ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන බවත් සඳහන් කළේය.

ඊට අමතරව සැකකරු විසින් මත්ද්‍රව්‍ය ඡාවාරම් කරුවන්ගේ  මුදල් ද ඔහුගේ නමින් ඇති බැංකු ගිණුම්වලට බැරකර  තිබෙන බවත් රජයේ නීතීඥවරයා පෙන්වා දුන්නේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා ඕනෑම කොන්දේසියක් සහිත ඇපයක් මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු  සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ජුලි 9 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

රුපියල් 5,000ක අල්ලසක් ගත් ගාල්ල මහ නගර සභාවේ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට…..

රුපියල් 5,000ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු සහ වැඩ ක්ෂේත්‍ර කම්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පැමිණිලිකරු සේවය කරන තීන්ත අලෙවි ආයතනයකට අදාළ වෙළෙඳ දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ගාල්ල මහ නගර සභාවට ගෙවිය යුතු බදු මුදල් ගෙවීම සඳහා අවශ්‍ය ලේඛනය ලබාදීම කඩිනම් කර දීම වෙනුවෙන් මෙම මුදල ඉල්ලා අති බව වාර්තා වෙයි.

ඒ අනුව, අල්ලස් මුදලක් ලෙස රුපියල් 5,000ක මුදලක් දෙවන සැකකරු මාර්ගයෙන් ලබාගැනීමේ චෝදනාව මත ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම පළමු සැකකරුගේ දැනුම් දීම මත අල්ලස් මුදල ඉල්ලා ලබාගැනීමේ චෝදනාව යටතේ ගාල්ල මහ නගර සභාවේ වැඩ ක්ෂේත්‍ර කම්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා අද (25) පෙරවරු 8.50ට පමණ ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂක අංශය තුළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි

හිටි හැටියේ රාවණා ඇල්ලේ ජලය වැඩිවෙයි – පවුල් 40කට අනතුරු ඇඟවීමක්

අලි කොටආර ජලාශයේ සිට කිරිඳිඔය ඔස්සේ පහළට ගලා බසින ජලයෙන් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නුග යාය ප්‍රදේශයට ජලගැලීමක් සිදුවිය හැකි බවට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

ඒ, රාවණා ඇල්ල ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණ තද වර්ෂාව හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචිව සිටින පවුල් 40ක් පමණ දැනුවත් කිරීමට මොණරාගල ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇත.

භෞත චිකිත්සකවරියගේ මරණය – සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර…..

භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබේ.

ඒ අනුව ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ ඝාතනයට සහයෝගය ලබා දුන් බව කියන කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිඳ සහ දරුවා වැල්ලවත්තේ සිට යාපනේ දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් කරමින් සිටියදී වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් යාපනේ කයිතඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

ඉන් අනතුරුව සැකකාර අඹුසැමි යුවළ නුවරඑළිය පොලිසිය වෙත ඊයේ (24) දින භාර දෙනු ලැබූහ.

මේ අතර මෙම සිද්ධියට සහයෝගය දැක්වූ බව කියන කුණඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරු නුවරඑලිය පොලිසියේ නිළධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඊට අනුබල දුන් ආරක්ෂක අංශ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නුවරඑළිය පොලිසියෙන් කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කර ඇත.