දැඩි ආරක්ෂාවක් මැද අධිකරණයට රැගෙන ආ පිල්ලෙයාන්ට ලැබුණු තීන්දුව……

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන පහක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ පසුවන හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ජුලි 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මඩකලපුව මහේස්‍රාත් අධිකරණය හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණි.

2008 වසරේදී සිදුවූ මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන පිළිබඳ කරුණු පසුගිය 15 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදී මඩකලපුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ, අදාළ නඩුව කැඳවන ඊළඟ අවස්ථාවේදී මෙම ඝාතනවල තෙවන සැකකරු ලෙස නම් කර සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසට වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළ බව සඳහන්ය.

ඒ අනුව ඔහු අද (30) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළ අතර ඒ අවට ආරක්ෂාව තර කිරීමට ද කටයුතු කර තිබුණි.

නියමිත බස් ගාස්තුව නොලැබුණොත් ජාතික ප්‍රතිපත්තියෙන් ඉවත් වෙනවා – ගැමුණු…..

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය හෙට (01) දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබියදී ඊයේ (29) දින ඩීසල් මිල අඩු කරමින් ආණ්ඩුව බස් හිමියන්ට වංචාවක් සිදුකර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව ජුලි 01 වනදාට සිට 20%ක බස් ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කළද දැන් එය 15%ක් හෝ 17% වනු ඇති බවද ගැමුණු විජේරත්න පැවසීය.

කෙසේවෙතත් බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව ප්‍රමාණවත් ගාස්තු වැඩිවීමක් නොලැබුණොත් අධිකරණ ක්‍රියාමාර්ග හරහා ජාතික ප්‍රතිපත්තියෙන් ඉවත්වීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

“ඊයේ රෑ ඩීසල් මිල අඩු කළා. හරි නම් ඩීසල් මිල අඩු කරන්න ඕනේ අද රාත්‍රියේ. “

“අපි සාකච්ඡාවක් ඉල්ලුවා මේ ගාස්තුව කොහොමද හදන්නේ කියලා දැනගන්න. නමුත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සාකච්ඡාවක් දුන්නේ නැහැ. අපිත් දන්නවා ආණ්ඩුව වැඩි මිලට තමයි ඩීසල් ගත්තේ. හරි නම් ඩීසල් 510ට විකුණන්න ඕනේ. වැඩි මිලට ගත්තේ බයට. ඒ පාඩුව දිගටම තියෙනවා. එවන් පසුබිමක අපි දිගින් දිගටම ඉල්ලීම් කළා සංශෝධය ගැන තීරණ අපිට දැනුම්දෙන්න කියලා. නමුත් මේ අය ජුලි 01 සිට තියෙන බස් ගාස්තු කිව්වේ නැහැ.”

“ආණ්ඩුවට ලොකු ගැටලුවක් තියෙනවා..ආණ්ඩුව බය වුණා ප්‍රතිශතය වැඩි වෙයි කියලා. වැඩි පරාසයකින් බස් ගාස්තුව වැඩි වෙයි කියලා අද (30) කරන්න ඕන තෙල් මිල සූත්‍රය ඊයේ (29) කරලා..ඒ ප්‍රතිශතයත් අනිවාර්යයෙන්ම අඩු කරලා තමයි බස් ගාස්තුව ප්‍රකාශයට පත්කරන්න හදන්නේ.”

“මේ කරපු වංචාව ගැන අපි ලිඛිත දැනුම්දීම් කරලා තියෙනවා. අපිව මගහැරලා බස් ගාස්තුව ප්‍රකාශ කරන්න කටයුතු කරනවා. දැන් මෙතනදී 2.8%ක ප්‍රතිශතයක් අඩු වෙනවා.”

“20%ක බස් ගාස්තුවක් එන්න තිබුණේ…ආණ්ඩුව ගන්නකොටත් වංචාව කළේ..බස්හිමියටත් වංචාව කළේ.. හැම මනුස්සයාවම රවට්ටනවා..අපිට අඩුම තරමින් 15%ක්වත් ඕනේ. අවම බස් ගාස්තුව 35ත් 40ත් අතර වෙන්න ඕනේ. ඩීසල්වලින් විතරක් නෙමෙයි බස් දුවන්නේ. ගහලා බැන්ඳත් එකයි..බැඳලා ගැහුවත් එකයි වගේ තමයි ආණ්ඩුව කරන්නේ. මේ ආණ්ඩුව ගෙනියන්න මිනිස්සුන්ට ප්‍රෝඩාවක් කරන්නේ.”

“ආණ්ඩුව තාම හිතන්නේ ඒගොල්ලෝ හරි කියලා..කොකාට වාරයක් එනවා නම් තිත්තයාටත් වාරයක් එනවා කියලා දැනගන්න.”

“බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව අපිට ප්‍රමාණවත් ගාස්තු වැඩිවීමක් ලබාදීලා නැත්නම් අපි නීතිමය පියවර ගන්නවා. අපි අධිකරණයට ගිහින් ජාතික ප්‍රතිපත්තියෙන් ඉවත් වෙන්න කටයුතු කරනවා.”

වත්කම් සහ බැරකම් ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ වෙයි…..

තාක්ෂණික දෝෂ හේතුවෙන් මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට ලියාපදිංචිවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරින්ට සිය වත්කම් හා බැරකම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබේ.

ඒ අනුව එම කාලය ජූලි මස 07 වෙනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

එම කාලයේදී දඩ අයකිරීමක් සිදු නොකරන බව ද එහි සඳහන්ය.

2026.03.31 දිනට ඇති වාර්ෂික සහ පශ්චාත් විශ්‍රාම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ජුනි 30 දිනට හෝ ඊට පෙර සිදුකළ යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මීට පෙර පැවසීය.

කෙසේ වෙතත් අදාළ ප්‍රකාශ අගෝස්තු මස 31 දක්වා සිදු කළ හැකි වූවත් එවිට දඩ මුදලකට යටත් වෙන බව ද එම කොමිෂන් සභාව අවධාරණය කරයි.

මේ අතර පසුගිය 28 වෙනිදා සිට මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට දිනක් තුළ ඇතුළත් වූ අධික පරිශීලක ප්‍රවේශය හේතුවෙන් පද්ධතිය තුළ සිදුවූ තදබදය මත, ප්‍රකාශකයන් හට තාක්ෂණික දෝෂයන්ට මුහුණපෑමට සිදුවූ බවට තමන් වෙත තොරතුරු වාර්තා වූ බව අල්ලස් කොමිසම පැවසීය.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු තැනැත්තන් සඳහා වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ස්ථාපනය කර ඇති මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා පමණක් සිදුකළ යුතුය.

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳව වන මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීම සම්බන්ධව මතුවන ගැටලු පිළිබඳව, කොමිෂන් සභාවේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අංශයේ 076 70 11 954 සහ 011 25 87 287 යන දුරකථන අංකය මඟින් නිරාකරණය කරගන්නා ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරාට ඇප…..

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යමිලා පෙරේරා මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීනියන් සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව සැකකාරිය ලක්‍ෂ දහය බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුද හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළේය.

ඊට අමතරව ඇයගේ  විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කරනු ලැබීය.

ඇප තැබීමෙන් පසුව සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමෙන් වලකින ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාරියට අවවාද කළේය.

ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කෙරේ – විශේෂ දුරකතන අංකයකුත් හඳුන්වා දෙයි……

ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධ තොරතුරු හා පැමිණිලි කඩිනමින් යොමු කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ.

ඒ අනුව ඩෙංගු රෝගය සහ එහි පාලනය සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී ඇති අතර, එම අංකය 011 – 7966366 වේ.

ඩෙංගු රෝග ව්‍යාප්තියට අදාළ තොරතුරු, පැමිණිලි සහ අවශ්‍ය දැනුවත් කිරීම් සඳහා මෙම දුරකතන අංකය භාවිත කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා මහජන සහභාගීත්වය ඉතා වැදගත් බවත්, මෙම සේවාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය ආයතන හරහා පුළුල් ප්‍රචාරයක් ලබාදෙන ලෙසත් අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත් කෙරේ…..

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

සේනාධිනායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.

ඒ අනුව, මෙතෙක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කර නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපතිවරයාය.

අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දී ඇත.

මෙම පත්වීම ජූලි මස 01 වනදා සිට බලපැවැත්වෙන අතර, වත්මන් නාවික හමුදාපති අද්මිරාල් කාංචන බානගොඩ මහතා එදින ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතය.

වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඩේමියන් ප්‍රනාන්දු මහතා 1991 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන බඳවා ගැනීම යටතේ විධායක අංශයේ ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස සේවයට එක්විය.

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ මූලික නාවික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව ඔහු 1993 වසරේදී උප ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව තිබේ.

වසර 35කට ආසන්න නාවික සේවා දිවිය තුළ දෙස් විදෙස් වෘත්තීය හා විශේෂඥ පුහුණු පාඨමාලා රැසක් හදාරා ඇති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා, රණශූර සහ උත්තම සේවා පදක්කම් ඇතුළු ගෞරව සම්මාන හිමිකරගෙන ඇත.

ඔහුගේ වෘත්තීය දක්ෂතාව, කාර්යක්ෂමතාව සහ කැපීපෙනෙන සේවා දායකත්වය අගයමින් අවස්ථා හයකදී ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරුන් විසින් ප්‍රශංසාත්මක ලිපි මඟින් ද ඇගයීමට ලක් කර තිබේ.

වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති උපාධියක් සහ ලන්ඩනයේ කිංග්ස් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර ආරක්ෂාව හා උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත.

ජානක පෙරේරා ඝාතන සිද්ධියේ විත්තිකරුට පැනවූ ජීවිතාන්තය දක්වා සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි…..

2008 වසරේ අනුරාධපුරයේදී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් ජානක පෙරේරා, ඔහුගේ බිරිඳ සහ තවත් පිරිසක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවෙන් වරදකරු වූ විත්තිකරුවකුට අනුරාධපුර මහාධිකරණය විසින් පැනවූ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටි උමාර් හතාප් නමැති විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම පෙත්සම ශිරාන් ගුණරත්න සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි.

එහිදී අභියාචක විත්තිකරුගේ නීතිඥවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන්  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශණ ද සිල්වා සමඟ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාළ අභියාචනා පෙත්සම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

2008 වසරේ ඔක්තෝබර් මස 06 වනදා අනුරාධපුරයේදී එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කාර්යාලයක් විවෘත කිරීම සිදුවූ අවස්ථාවේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් ජානක පෙරේරා, ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් ඝාතනයට ලක්වී තවත් පිරිසක් තුවාල ලැබීය..

එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවී අධි චෝදනා ගොනු කළේය.

එම චෝදනාවලට වරදකරු කෙරුණු මෙම විත්තිකරුට අනුරාධපුර මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ අතර එම දඬුවම අභියෝගයට ලක් කරමින් ඔහු විසින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය.

එම ඇපෑල විභාග කළ අභියාචනාධිකරණය එය නිෂ්ප්‍රභ කරමින් විත්තිකරුට මහාධිකරණය විසින් පැනවූ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම තහවුරු කරනු ලැබීය.

තමන්ව වරදකරුකරමින් මහාධිකරණය සහ අභියාචනාදිකරණය දුන් තීන්දු ඉවත්කොට එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අදාල විත්තිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම විශේෂ අභියාචනය ඉදිරිපත් කර තිබුණි.

මාර්ග අනතුරුවලට ප්‍රධානතම හේතුව තරුණ රියදුරන්ගේ අපරික්ෂාකාරි බවයි…..

අන්තරාදායක සහ අපරික්ෂාකාරි රිය ධාවනය කරන පිරිසට එරෙහිව ඉදිරියේ දී රථ වාහන නීතිවලට පමණක් සීමා නොවී අපරාධ නීතිය යටතේද දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර මහතා පහතා පවසයි.

අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මෙරට ධාවනය වන සමස්ත වාහන සංචිතයෙන් බහුතරයක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ බවත් බොහෝ විට ඒවා පදවන්නේ අවුරුදු 18ත් 25ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බවත්ය.

සිදුව ඇති මාර්ග අනතුරුවල විමර්ශන වාර්තා අනුව මෙම පිරිස රථ වාහන නීති හෝ මහජනතාව සහ පදික ජනතාව ගැන කිසිදු තැකීමකින් තොරව ක්‍රියා කරන බවට අනාවරනය වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

“27 වෙනිදා ලංකාවෙන්ම අන්තරායකර, අපරීක්ෂාකාරී රිය ධාවන නඩු 321ක් වාර්තා වෙනවා. 28 වෙනිදා 315ක්. සුදු ඉර කපාගෙන යනවා කියන එකේ දඩ පත්‍රිකාවේ වරදක් සටහන් වෙනවා. ඒක ඒ වෙලාවෙම දඩ ගෙවලා යන්න පුළුවන්; ‘GovPay’ මඟින් ගෙවන්න පුළුවන්, හරිම පහසුයි. බරපතළ වැරදිවලටත් ඒ යටතේ තමයි අපි දඩ පත්‍රිකාව ලබා දුන්නේ. නමුත් දැන් අපි පැහැදිලිවම කියලා තියෙනවා, විශේෂයෙන්ම අන්තරායකර, අපරීක්ෂාකාරී ලෙස වාහනයක් ඉස්සර කරන්න යන අවස්ථාවල සුදු ඉර කපාගෙන යනවා නම්, එය ඉදිරියෙන් එන රථ වාහනයට අන්තරාදායක නම්, ඔහුගේ සහ මගීන්ගේ ජීවිතවලට හානියක් වෙනවා නම්, පැහැදිලිවම අපි කියලා තියෙන්නේ අන්තරාදාය සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම යටතේ ඒ අයට චෝදනා ඉදිරිපත් කරන්න කියලා. මේ යටතේ තුන් වරක් අධිකරණයකදී වැරදිකරු වුවහොත් රියදුරු බලපත්‍රය අත්හිටුවීම දක්වා නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.”

“අනිවාර්යයෙන්ම මේ වගේ වැරදි, එනම් අන්තරායකර සහ අපරීක්ෂාකාරී රිය ධාවනයට දඩ පත්‍රිකාවක් නොදී, අධිකරණයට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය දක්වා යන්න කියලයි අපි උපදෙස් දීලා තියෙන්නේ.”

“මේ වෙනකොට මාර්ග රිය අනතුරුවලින් සිදු වූ මරණ සංඛ්‍යාව ගිය අවුරුද්දට සාපේක්ෂව 100කින් වැඩි වීමක් තියෙනවා. මාර්ග රිය අනතුරුවල 99%ක වැඩිවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේවාට ගොදුරු වෙන්නේ පදිකයින්.”

“විශේෂයෙන්ම මේ වගේ මාරක අනතුරු සිදු කළහොත්; මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම, බරපතළ තුවාල සිදු කිරීම සහ අන්තරාදායක රිය පැදවීම යටතේ, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 272 වගන්තිය අනුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා.”

“විශේෂයෙන්ම වයස අවුරුදු 18, 20 සහ 22 වයස් කාණ්ඩවල අය. සමස්ත වාහන සංචිතය ගත්තොත් 51%ක් තියෙන්නේ යතුරුපැදි; 12%ක් තියෙන්නේ ත්‍රිරෝද රථ. මේවා පදවන පිරිස ගත්තොත් අවුරුදු 18 සිට 25, 30 වයස් කාණ්ඩවල පසුවන්නන්. මේ අය තමයි රථ වාහන නීති ගැන හෝ මහජනතාව සහ පදික ජනතාව ගැන කිසිම තැකීමක් නැතුව රිය පදවන්නේ. සමහර බස් රථ රියදුරනුත් මේ වගේ හැසිරෙනවා. ඒ අය සම්බන්ධයෙන් ඉතා දැඩිව රථ වාහන නීතිය ක්‍රියාත්මක කරනවා. ඊට සමගාමීව අපරාධ නීතියත් ක්‍රියාත්මක කරනවා.”

යල කන්නයේ වී සඳහා සහතික මිල ප්‍රකාශයට පත් කෙරේ…..

යල කන්නයේ වී තොග රජය මිලදී ගනු ලබන සහතික මිල ගණන් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව නාඩු සඳහා කිලෝවකට රුපියල් 120ක්, සම්බා සඳහා රුපියල් 130ක්, කීරි සම්බා සඳහා රුපියල් 140ක මිලක් යටතේ වී මිලදී ගැනීම් සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම පවතින සහල් තොග පාරිභෝගිකයා වෙත කඩිනමින් මුදා හැරීමට වැඩපිළිවෙළක් දියත් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස දුමින්ද හුලංගමුව පත් කෙරේ…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයෙකු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පත් කරනු ලැබ තිබේ.

එහි සෙසු සාමාජිකයන් ලෙස විෂ් ගෝවින්දසාමි, හර්ෂණී රන්දිලිගම, මංගල කරුණාරත්න සහ කේ. ඒ. විමලේන්තිරරාජා යන මහත්ම මහත්මීහු පත් කර ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30)  පස්වරුවේ එම මහත්ම  මහත්මීන් වෙත භාරදෙන ලදී.