නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත් කෙරේ…..

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

සේනාධිනායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.

ඒ අනුව, මෙතෙක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කර නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපතිවරයාය.

අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දී ඇත.

මෙම පත්වීම ජූලි මස 01 වනදා සිට බලපැවැත්වෙන අතර, වත්මන් නාවික හමුදාපති අද්මිරාල් කාංචන බානගොඩ මහතා එදින ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතය.

වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඩේමියන් ප්‍රනාන්දු මහතා 1991 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන බඳවා ගැනීම යටතේ විධායක අංශයේ ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස සේවයට එක්විය.

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ මූලික නාවික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව ඔහු 1993 වසරේදී උප ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව තිබේ.

වසර 35කට ආසන්න නාවික සේවා දිවිය තුළ දෙස් විදෙස් වෘත්තීය හා විශේෂඥ පුහුණු පාඨමාලා රැසක් හදාරා ඇති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා, රණශූර සහ උත්තම සේවා පදක්කම් ඇතුළු ගෞරව සම්මාන හිමිකරගෙන ඇත.

ඔහුගේ වෘත්තීය දක්ෂතාව, කාර්යක්ෂමතාව සහ කැපීපෙනෙන සේවා දායකත්වය අගයමින් අවස්ථා හයකදී ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරුන් විසින් ප්‍රශංසාත්මක ලිපි මඟින් ද ඇගයීමට ලක් කර තිබේ.

වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති උපාධියක් සහ ලන්ඩනයේ කිංග්ස් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර ආරක්ෂාව හා උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත.

ජානක පෙරේරා ඝාතන සිද්ධියේ විත්තිකරුට පැනවූ ජීවිතාන්තය දක්වා සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි…..

2008 වසරේ අනුරාධපුරයේදී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් ජානක පෙරේරා, ඔහුගේ බිරිඳ සහ තවත් පිරිසක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවෙන් වරදකරු වූ විත්තිකරුවකුට අනුරාධපුර මහාධිකරණය විසින් පැනවූ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටි උමාර් හතාප් නමැති විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම පෙත්සම ශිරාන් ගුණරත්න සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි.

එහිදී අභියාචක විත්තිකරුගේ නීතිඥවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන්  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශණ ද සිල්වා සමඟ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාළ අභියාචනා පෙත්සම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

2008 වසරේ ඔක්තෝබර් මස 06 වනදා අනුරාධපුරයේදී එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කාර්යාලයක් විවෘත කිරීම සිදුවූ අවස්ථාවේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් ජානක පෙරේරා, ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් ඝාතනයට ලක්වී තවත් පිරිසක් තුවාල ලැබීය..

එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවී අධි චෝදනා ගොනු කළේය.

එම චෝදනාවලට වරදකරු කෙරුණු මෙම විත්තිකරුට අනුරාධපුර මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ අතර එම දඬුවම අභියෝගයට ලක් කරමින් ඔහු විසින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය.

එම ඇපෑල විභාග කළ අභියාචනාධිකරණය එය නිෂ්ප්‍රභ කරමින් විත්තිකරුට මහාධිකරණය විසින් පැනවූ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම තහවුරු කරනු ලැබීය.

තමන්ව වරදකරුකරමින් මහාධිකරණය සහ අභියාචනාදිකරණය දුන් තීන්දු ඉවත්කොට එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අදාල විත්තිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම විශේෂ අභියාචනය ඉදිරිපත් කර තිබුණි.

මාර්ග අනතුරුවලට ප්‍රධානතම හේතුව තරුණ රියදුරන්ගේ අපරික්ෂාකාරි බවයි…..

අන්තරාදායක සහ අපරික්ෂාකාරි රිය ධාවනය කරන පිරිසට එරෙහිව ඉදිරියේ දී රථ වාහන නීතිවලට පමණක් සීමා නොවී අපරාධ නීතිය යටතේද දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර මහතා පහතා පවසයි.

අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මෙරට ධාවනය වන සමස්ත වාහන සංචිතයෙන් බහුතරයක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ බවත් බොහෝ විට ඒවා පදවන්නේ අවුරුදු 18ත් 25ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බවත්ය.

සිදුව ඇති මාර්ග අනතුරුවල විමර්ශන වාර්තා අනුව මෙම පිරිස රථ වාහන නීති හෝ මහජනතාව සහ පදික ජනතාව ගැන කිසිදු තැකීමකින් තොරව ක්‍රියා කරන බවට අනාවරනය වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

“27 වෙනිදා ලංකාවෙන්ම අන්තරායකර, අපරීක්ෂාකාරී රිය ධාවන නඩු 321ක් වාර්තා වෙනවා. 28 වෙනිදා 315ක්. සුදු ඉර කපාගෙන යනවා කියන එකේ දඩ පත්‍රිකාවේ වරදක් සටහන් වෙනවා. ඒක ඒ වෙලාවෙම දඩ ගෙවලා යන්න පුළුවන්; ‘GovPay’ මඟින් ගෙවන්න පුළුවන්, හරිම පහසුයි. බරපතළ වැරදිවලටත් ඒ යටතේ තමයි අපි දඩ පත්‍රිකාව ලබා දුන්නේ. නමුත් දැන් අපි පැහැදිලිවම කියලා තියෙනවා, විශේෂයෙන්ම අන්තරායකර, අපරීක්ෂාකාරී ලෙස වාහනයක් ඉස්සර කරන්න යන අවස්ථාවල සුදු ඉර කපාගෙන යනවා නම්, එය ඉදිරියෙන් එන රථ වාහනයට අන්තරාදායක නම්, ඔහුගේ සහ මගීන්ගේ ජීවිතවලට හානියක් වෙනවා නම්, පැහැදිලිවම අපි කියලා තියෙන්නේ අන්තරාදාය සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම යටතේ ඒ අයට චෝදනා ඉදිරිපත් කරන්න කියලා. මේ යටතේ තුන් වරක් අධිකරණයකදී වැරදිකරු වුවහොත් රියදුරු බලපත්‍රය අත්හිටුවීම දක්වා නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.”

“අනිවාර්යයෙන්ම මේ වගේ වැරදි, එනම් අන්තරායකර සහ අපරීක්ෂාකාරී රිය ධාවනයට දඩ පත්‍රිකාවක් නොදී, අධිකරණයට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය දක්වා යන්න කියලයි අපි උපදෙස් දීලා තියෙන්නේ.”

“මේ වෙනකොට මාර්ග රිය අනතුරුවලින් සිදු වූ මරණ සංඛ්‍යාව ගිය අවුරුද්දට සාපේක්ෂව 100කින් වැඩි වීමක් තියෙනවා. මාර්ග රිය අනතුරුවල 99%ක වැඩිවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේවාට ගොදුරු වෙන්නේ පදිකයින්.”

“විශේෂයෙන්ම මේ වගේ මාරක අනතුරු සිදු කළහොත්; මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම, බරපතළ තුවාල සිදු කිරීම සහ අන්තරාදායක රිය පැදවීම යටතේ, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 272 වගන්තිය අනුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා.”

“විශේෂයෙන්ම වයස අවුරුදු 18, 20 සහ 22 වයස් කාණ්ඩවල අය. සමස්ත වාහන සංචිතය ගත්තොත් 51%ක් තියෙන්නේ යතුරුපැදි; 12%ක් තියෙන්නේ ත්‍රිරෝද රථ. මේවා පදවන පිරිස ගත්තොත් අවුරුදු 18 සිට 25, 30 වයස් කාණ්ඩවල පසුවන්නන්. මේ අය තමයි රථ වාහන නීති ගැන හෝ මහජනතාව සහ පදික ජනතාව ගැන කිසිම තැකීමක් නැතුව රිය පදවන්නේ. සමහර බස් රථ රියදුරනුත් මේ වගේ හැසිරෙනවා. ඒ අය සම්බන්ධයෙන් ඉතා දැඩිව රථ වාහන නීතිය ක්‍රියාත්මක කරනවා. ඊට සමගාමීව අපරාධ නීතියත් ක්‍රියාත්මක කරනවා.”

යල කන්නයේ වී සඳහා සහතික මිල ප්‍රකාශයට පත් කෙරේ…..

යල කන්නයේ වී තොග රජය මිලදී ගනු ලබන සහතික මිල ගණන් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව නාඩු සඳහා කිලෝවකට රුපියල් 120ක්, සම්බා සඳහා රුපියල් 130ක්, කීරි සම්බා සඳහා රුපියල් 140ක මිලක් යටතේ වී මිලදී ගැනීම් සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම පවතින සහල් තොග පාරිභෝගිකයා වෙත කඩිනමින් මුදා හැරීමට වැඩපිළිවෙළක් දියත් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධන ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ ඇගයීමට…..

බාහිර කම්පන රැසක් මධ්‍යයේ වුවද සාර්ව ආර්ථික ස්ථායිතාව පවත්වා ගැනීම සහ විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන යටතේ වන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් රජය දක්වන කැපවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිසේ ප්‍රශංසාවට ලක් ව තිබේ.

ජූනි 24 සිට 30 දක්වා කොළඹ නිල සංචාරයක නිරත වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිස, අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡාවක නිරත විය.

එහිදී අදහස් දක්වමින් ඔහුන් පවසා ඇත්තේ, IMF සහාය ලබන අනෙකුත් බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවය.

එමෙන්ම ඉදිරි ආර්ථික පියවර සඳහා ද අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට ද සහතික වී තිබේ.

IMF ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Sonali Jain-Chandra මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම නියෝජිත පිරිස, ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ප්‍රතිසාධන ප්‍රගතිය සහ රටේ ඔරොත්තු දීමේ හැකියාව මෙහිදී බෙහෙවින් අගය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම, එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත EFF වැඩසටහනේ 7 වන සමාලෝචනයේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීත්වය නිල වශයෙන් ඇගයීමට ලක් කරන බව ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් එම පිරිස, ඊට පෙර ශ්‍රී ලංකාව සපුරාලිය යුතු සෙසු වගකීම් නිම කිරීමට අපේක්ෂිත බවද සඳහන් කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, ආර්ථික ස්ථාවරභාවය ප්‍රමුඛතාවක් වන අතරම රජයේ අවසාන අරමුණ වන්නේ එහි ප්‍රතිලාභ ජනතාවට සෘජුවම ලබා දීම බවය.

එක්සත් ජනපද තීරුබදු පැනවීම, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය සහ මැදපෙරදිග යුදමය තත්ත්වය වැනි බාහිර අභියෝග නිසා යම් බාධා ඇති වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එසේ වුවත් සාර්ව ආර්ථික සහ සමාජීය ස්ථාවරභාවය ආරක්ෂා කිරීමට රජය කඩිනම් පියවර ගත් බව පැවසීය.

EFF වැඩසටහන යටතේ තව වසරකටත් අඩු කාලයක් ඉතිරිව ඇති බැවින්, ජනතාව මත අනවශ්‍ය බරක් නොතබා එය සාර්ථකව නිම කිරීමට රජය කැපවී සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පුනරුත්ථාපනය වන තරුණ ප්‍රජාව වෘත්තිමය රැකියාවලට යොමු කිරීමට වැඩසටහනක්……

මත්ද්‍රව්‍යවලට යොමුවී පුනරුත්ථාපනය වන තරුණ ප්‍රජාව වෘත්තිමය රැකියාවලට යොමු කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය වැඩසටහනක් ආරම්භ කර තිබේ.

පුනරුත්ථාපනය වූ එම තරුණ තරුණියන් පෞද්ගලික අංශයේ ස්ථීර වෘත්තිමය රැකියා සඳහා යොමු කිරීම මෙමගින් අපේක්ෂා කරන අතර අන්ත්‍රාකාරී ඖෂධ පාලන ජාතික මණ්ඩලය,  පුනරුත්ථාපන කාර්යාංශය හා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (30) පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට පෞද්ගලික අංශයේ කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු ලක්ෂ 4කට අධික ප්‍රමාණයක් බවතින බවත් එම පුරප්පාඩු සඳහා ප්‍රමාණවත් පුහුණ හා නොපුහුණු සේවකයින් නොමැති බවය.

මේ හේතුවෙන් ඉන්දියාව, චීනය වැනි රටවලින් විදේශීය ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට දේශීය කර්මාන්තකරුවන්ට සිදුව ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

විශේෂයෙන් ඉදිකිරීම්, ටයිල් හා උපාංග, පාවහන්,  සම්භාණ්ඩ,  ඔටෝ මොබයිල් ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍ර රැසක මෙලෙස පුරප්පාඩු පවතින බව පෙන්වාදුන් හදුන්නෙත්ති අමාත්‍යවරයා කර්මාන්ත අමාත්‍යාශයේ සෘජු මැදිහත්වීම මත ක්‍රමවත් පුහුණුවක් හා වැඩපිළිවෙළක් යටතේ කර්මාන්තකරුවන් වෙත පුනරුත්ථාපනය කරන ලද ශ්‍රමික පිරිස් යොමු කිරීමට නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

මේ වනවිට විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවල වෘත්තීය පුහුණුව ලත් පුනරුප්තාපනය වූ තරුණ තරුණියන් දසදහසක් පමණ දෙනා සිටින බවත් වවුනියා, සේනපුර හා කන්දකාඩු යන පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුනෙන් වසරකට 800 ක පමණ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ පිරිසක් පුනරුත්ථාපනය කර වෘත්තීය පුහුණුව සමඟ  නැවත සමාජගත කරන බව මෙහිදී අනාවරණය විය.

මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන S.W.C. ජයමිණි, සුසන්ත ජයතිලක ඇතුළු කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරීන්,  පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපති මහාචාර්ය වසන්තා සුභසිංහ, අන්ත්‍රාකාරී  ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපති විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති J.A.K. මාර්ක් ඇතුළු අන්ත්‍රාකාරී  ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ නිලධාරීන්, වෘත්තීය පුහුණු අධිකාරීයේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එල් නිනෝ ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්…..

එල් නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි බලපෑම් පිළිබඳ අවධානය යොමු කරමින්, පවතින දත්ත මත පදනම් වූ පුරෝකථන සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ගෙන් කරුණු විමසා තිබේ.

ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එහිදී එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග, ව්‍යසන කළමනාකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ සහ ජාතික ආපදා ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කර තිබේ.

කෘෂිකර්මාන්තය, පානීය ජල සැපයුම සහ බලශක්ති උත්පාදනය යන අංශවල සූදානම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත.

මහ කන්නයේ වගා කටයුතු කල්තියා ආරම්භ කිරීම, ජල සම්පත් කළමනාකරණය සහ වනජීවි කලාපවල ජල හිඟය හේතුවෙන් වන සතුන්ට ඇති විය හැකි බලපෑම් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

වනජීවි කලාප තුළ පවතින වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම ජල විදුලි උත්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ජලාශවල ජල ධාරිතාව නිසි ලෙස කළමනාකරණය කිරීම සහ සූර්ය බලයෙන් නිපදවන විදුලිය ගබඩා කිරීම සඳහා අවශ්‍ය බැටරි ගෙන්වීම කඩිනම් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

මේ අතර ආයතන කිහිපයක් හරහා විසිරී පවතින ආපදා කළමනාකරණ කටයුතු එක් මධ්‍යස්ථානයකට ගෙන ඒම සඳහා යෝජිත ජාතික ආපදා කළමනාකරණ ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ කමිටු වාර්තාවද ඉදිරිපත් කෙරිණි.

2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනතේ පවතින ප්‍රතිචාරාත්මක ක්‍රමවේදය වෙනුවට ආපදා වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව නීතිමය රාමුවක අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ඒකාබද්ධ කර සේවා කාර්යක්ෂම කිරීමේ යෝජනාවක්ද සාකච්ඡාවට ලක් විය.

නායයෑම් අවදානම් ප්‍රදේශවල ජනතාව, විශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් නැවත පදිංචි කිරීම සඳහා වසර හතරක කාලසීමාවක් තුළ ක්‍රියාත්මක කළ හැකි සැලැස්මක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

මුදාගැනීමේ මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ හෙලිකොප්ටර් පහසුකම් වැඩිදියුණු කිරීම, ප්‍රාදේශීය මට්ටමේ ආපදා මෙවලම් නඩත්තුව ශක්තිමත් කිරීම සහ පැය 24 පුරා ක්‍රියාත්මක දිස්ත්‍රික් ආපදා මෙහෙයුම් මධ්‍යස්ථාන පිහිටුවීම පිළිබඳවද තීරණ ගෙන තිබේ.

ආබාධ සහිත පුද්ගලයන් සඳහා ප්‍රමුඛතා කාඩ්පතක් හඳුන්වා දීමට පියවර…..

රාජ්‍ය ආයතන මගින් ආබාධ සහිත පුද්ගලයන්ට සේවා සැපයීමේදී ප්‍රමුඛතාව ලබා දීම සඳහා විශේෂ ප්‍රමුඛතා කාඩ්පතක් හඳුන්වා දීමට තීරණය කර තිබේ.

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ සභාපතිත්වයෙන් අද (30) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස් වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් තීරණය කර ඇත.

ඒ අනුව, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මූලික කරගනිමින් මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම ආබාධ සහිත පුද්ගලයන්ගේ ආබාධිතභාවය පිළිබඳ වර්ගීකරණය චක්‍රලේඛයක් ලෙස නිකුත් කිරීමට ද සභාවේ එකඟතාව පළ වී තිබේ.

ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් භාවිත කළ යුතු පාරිභාෂික වචන මාලාව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සමඟ එක්ව ප්‍රකාශනයක් ලෙස නිකුත් කිරීමට ද තීරණය කර ඇත.

තවද, ආබාධ සහිත පුද්ගලයන් සඳහා සේවා සපයන පුද්ගලයන් ඇගයීම සඳහා අවශ්‍ය නිර්ණායක සකස් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී එකඟතාව පළ වී තිබේ.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාවේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, අතිරේක ලේකම් නාලිකා පියසේන මහත්මිය, සමාජ සේවා අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න මහත්මිය ඇතුළු නිලධාරීන් සහ සභාවේ සාමාජිකයෝ එක්ව සිටියහ.

භෞත චිකිත්සකවරියගේ මරණය ගැන තවත් තොරතුරු හෙළිවෙයි…..

භෞත චිකිත්සකවරියගේ ඝාතනයට අදාළව, කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා නුවරඑළිය පොලිසිය විසින් ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ ඝාතනයේ ප්‍රධාන සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බවට වන චෝදනාවටය.

ඒ අනුව ප්‍රධාන සැකකරු ඇතුළු මෙතෙක් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට අද (26) ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 09වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

තෙල්දෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් තෙල්දෙණිය පොලිසිය විසින් සොයාගනු ලැබුවේ පසුගිය 17 වැනිදාය.

මියගොස් ඇත්තේ අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියක් ලෙස සේවය කළ ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි තැනැත්තියක් බව පසුව අනාවරණය විය.

ඇගේ පෙම්වතා බව සඳහන් අයෙක් පිළිබඳ ලද තොරතුරු මත විමර්ශන විමර්ශන ක්‍රියාත්මක කෙරුණු අතර එම ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ හා දරුවකු සමග යාපනයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසිනි.

ඔවුන්ට ආධර අනුබලදුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවේ විමර්ශනවලදී ලද තොරතුරු අනුවය.

පසුව පිරිස පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය.

එහිදී හෙළිවී ඇත්තේ, ප්‍රධාන සැකකරුට සැඟව සිටීම සඳහා කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා සහාය ලබාදී ඇති බවය.

ඒ අනුව සැකකරු නුවරඑළිය පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, ප්‍රාදේශිය සභා සේවකයා හරහා ප්‍රධාන සැකකරු මෙම පොලිස් නිලධාරියා හඳුනාගෙන ඇති බවය.

ඝාතනය සිදු වූ දාට පසුදින එනම් ඉකුත් අප්‍රේල් 17වනදා උදෑසන ප්‍රධාන සැකකරු හා ප්‍රාදේශිය සභා සේවකයා කුණ්ඩසාලේ පිහිටි පොලිස් පුහුණු පාසල ඉදිරිපිටදී අදාළ පොලිස් නිලධාරියා හමු වී තිබේ.

එහිදී ප්‍රාදේශිය සභා සේවකයා පොලිස් නිලධාරියාට පවසා ඇත්තේ “සර් මේ මගේ යාළුවෙක්. මෙයා ළඟ බොඩි එකක් තියෙනවා. ඒ මෙයා යාළුවෙලා හිටපු කෙල්ලගේ බොඩි එක. මේකට මොකක්ද කරන්නේ කියලා අහනවා” යනුවෙනි.

ඊට පිළිතුරු ලබාදෙමින් පොලිස් නිලධාරියා පවසා ඇත්තේ “මොකක් හරි හොස්පිට්ල් එකක් ළඟට ගිහින් දාන්න” ලෙසිනි.

ඒ අනුව ප්‍රධාන සැකකරු හා ප්‍රාදේශිය සභා සේවකයා ඇගේ සිරුර තෙල්දෙණිය රෝහලට අසල දමාගොස් ඇත.

පසුව දිගන ප්‍රදේශයේ පිහිටි ස්ථානයකට ඔවුන් දෙදෙනා පැමිණ ඇති අතර එම ස්ථානයට අදාළ පොලිස් නිලධාරියා ද පොලිස් ජීප් රථයකින් පැමිණ ඇති බව වාර්තා වේ.

එහිදී ඔහු ප්‍රධාන සැකකරුට පවසා ඇත්තේ “ලෝයර් කෙනෙක් මම හොයලා දෙන්නම්. බය නැතුව හැංගිලා ඉන්න” යනුවෙනි.

පසුව ඉකුත් 18 වැනිදා උදෑසන ප්‍රධාන සැකකරු හා ප්‍රාදේශීය සභා සේවකයා කුණ්ඩසාලේ පිහිටි පොලිස් පුහුණු පාසලට ගොස් පොලිස් නිලධාරියා හමුවී ඔහු සමග කුණ්ඩසාලේ ප්‍රදේශයට පැමිණ ඇති බව සඳහන්.

එහිදී පොලිස් නිලධාරියා ප්‍රධාන සැකකරුට පවසා ඇත්තේ, “මරණ පරීක්ෂණ වාර්තාවෙන් දිවි නසාගැනීමක් ලෙස සටහන්වෙනකල් හැංගිලා ඉන්න” යනුවෙනි.

ඒ අනුව ඔහු නුවරඑළිය පොලිසියේ අපරාධ අංශයේ පොලිස් සැරයන්වරයෙකුට දුරකථන ඇමතුමක් ලබාදී සිද්ධිය සම්බන්ධයෙන් විමසා තිබේ.

එහිදී පොලිස් සැරයන්වරයා එම පොලිස් නිලධාරියාට පවසා ඇත්තේ, මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදුන් බවය.

පසුව එම පොලිස් නිලධාරියා ප්‍රධාන සැකකරුගෙන් රුපියල් දස දහසක මුදලක් ඉල්ලාගෙන ප්‍රාදේශිය සභා සේවකයා සමග ගොස් මත්පැන් මිලදීගෙන ඇත.

ඒ අනුව පොලිස් නිලධාරියා හා ප්‍රාදේශිය සභා සේවකයා එක්ව මත්පැන් පානය කිරීමෙන් පසු ඉතිරි මුදල්වලින් පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත සුපිරි වෙළෙඳසැලකින් මී කිරි හට්ටියක් හා පැණි බෝතලයක් මිලදී ගෙන ඇති බව වාර්තා වේ.

පසුව ඔහු ප්‍රධාන සැකකරුට පවසා ඇත්තේ, “පශ්චාත් මරණ පරීක්ෂණයට සිටි වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ඔයා වෙනුවෙන් පෙනී සිටිමට සූදානම් වූ නීතීඥවරයා, බයවෙන්න එපා මම බලාගන්නම්. මගේ නෝනට ස්නායු රෝගයක් තිබෙනවා, ඒකටත් උදව් කරන්න” යනුවෙනි.

ඒ අනුව එම ස්ථානයෙන් පිටත් වූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට පත්වන තුරු එනම් දින 7ක් තුළදී අවස්ථා තුනකදී යාපනයට ගොස් ඇති බවත් තෙවැනි අවස්ථාවේදී අත්අඩංගුවට පත් වූ බවත් පොලිසිය සඳහන් කළේය.

අනතුරුව ප්‍රධාන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, තමන් කාමරයට යනවිට භෞත චිකිත්සකවරිය කමරයෙහි වූ ජනෙල් රෙදි එල්ලන යෂ්ටියක එල්ලී දිවි නසාගෙන සිටි බවය.

නමුත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඇගේ මරණය ගෙල සිරකිරීමකින් සිදුවූ බවට තහවුරු වීම සමග විමර්ශන නොමඟ යැවීමේ අරමුණින් සැකකරු අසත්‍ය ප්‍රකාශ කරන බව පොලිසිය සැක පළ කරයි.

ජනෙල් රෙදි එල්ලන එම යෂ්ටිය මිනිසෙකුගේ බර දරාගැනීමට තරම් සවිමත් එකක් නොවන බවත් පොලිසිය සඳහන් කළේය.

මේ අතර ප්‍රධාන සැකකරුගේ බිරිඳ අදාළ මරණය සැඟවීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසුවේය.

මෙහිදී ප්‍රධාන සැකකරුගේ දරුවා මව භාරයේම රක්ෂිත බන්ධනාගාරයේ තැබීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ මෙහෙයවීමෙන් නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකය.

වහාම බදු ගෙවා අවසන් කරන ලෙස මෙන්ඩිස් සමාගමට නියෝග….

නිදහසට කරුණු නොකියා, ගෙවීම පැහැරහැර තිබෙන බව කියන රුපියල් මිලියන 5800ක වැට් බදු මුදල වහාම ගෙවා අවසන් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියම කර තිබේ.

මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරු වශයෙන් නම් කර සිටින අදාළ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී විත්තිකාර සමාගමේ අධ්‍යක්ෂකවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ හිඟවී ඇති බදු මුදල්වලින් කොටසක් මේ වනවිට ගෙවා ඇති බවය.

මේ වනවිට විත්තිකාර සමාගමේ දේපළ තහනමට ගෙන අදාළ දේපොළ බැංකුවලට සින්නවී ඇති බව පෙන්වා දුන් එම නීතිඥවරයා මුදල් ගෙවූ ලේඛන සොයාගැනීමට නොහැකි වී ඇති බව කියා සිටියේය.

එහිදී දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා කියා සිටියේ අදාළ බදු මුදල් ගෙවා තිබේ නම් ඊට අදාළ ලේඛන ඉදිරිපත් කළ යුතු බවය.

අදාළ ලේඛන සොයාගැනීමට නොහැකි බවට ප්‍රකාශ කිරීම නිදහසට කරුණක් නොවන බවත් ඔහු කියා සිටියේය.

බදු ගෙවිය යුතු කාලය ඉක්මවා ගොස් ඇති නිසාත් විශාල බදු මුදල් ප්‍රමාණයක් නොගෙවා පැහැරහැර හිඟ තබා ඇති නිසාත්  විත්තිකරුට තවදුරටත් සහන සලසා දීමට හැකියාවක් නොමැති බවත් නීතිඥවරයා පැවසීය.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා  විත්තිකාර සමාගම විසින් බදු මුදල් ගෙවිය යුතු කාලය ඉක්මවා ගොස් ඇති බව පෙන්වා දුනි.

ඒ අනුව අදාළ බදු මුදල් වහාම ගෙවා අවසන් කරන ලෙස විත්තිකරුවන්ට නියෝග කල අතිරේක මහේස්ත්‍රාත්වරයා බදු මුදල් නැවතත් ප්‍රමාදයකින් තොරව ගෙවන්නේද? නැද්ද? යන්න පිළිබඳව ඉදිරි නඩු දිනයේ ස්ථිර ලෙස කරුණු දක්වන ලෙසත් නියම කළේය.

ඉන් අනතුරුව මෙම නඩුකරය සැප්තැම්බර් 30 වනදා යළි කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.