ඉන්ධන මිල අඩුවන දිනය ගැන ඇමති කියන කතාව…..

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීම අනුව ඉදිරියේදී එම සහනය ජනතාවට ලබා දීමට බලාපොරොත්තු වන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

අද (26) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට රජය ඉන්ධන සඳහා රුපියල් බිලියන 57ක සහනාධාරයක් ලබා දී ඇති බවත් එම සහනාධාරය මෙම මාසයෙන් අවසන් වීමට නියමිතව ඇති බවය.

ඒ අනුව නැවත වරක් එම සහනාධාරය ලබා දිය හැකිද නැද්ද යන්න පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන දැනුම්දීමට නියමිත බවත් පැවසූ අමාත්‍යවරයා මහජනතාවට පීඩනයක් ලබා දීමට කටයුතු නොකරන බවද සඳහන් කළේය.

මැදපෙරදිග යුදමය තත්ත්වය යටතේ සීඝ්‍ර ලෙස ඉහළ ගිය ඉන්ධන මිල ගණන් අනුව මෙරට ඉන්ධන මිල එම මිල ගණන්වලට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ දැමීමට රජයට සිදුවූ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එම ඉහළ ගිය ඉන්ධන මිල ගණන් නැවත පහළ බසිමින් තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා එම ඉන්ධන මිලට ඉන්ධන ඇනවුම් කිරීමේදි එහි වාසිය මහජනතාවට ලබා දිය හැකි බවද මෙහිදී පෙන්වා දුන්නේය.

මේ වන විට මෙරට පවතින සහ ඉදිරි මාස දෙක තුළ ලැබීමට නියමිත ඉන්ධන පසුගිය මාසයේදී ඇනවුම් කළ ඉන්ධන බැවින් ඉදිරියේදී ඇනවුම් කරන ඉන්ධන මිල සඳහා එම පිරිවැය ආවරණය කරමින් එහි වාසිය ජනතාවට ලබා දීමට හැකියාව ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අනිල් ජයන්ත මහතා,

“යුදමය තත්ත්වය පවතින්න කළින් පැවැති තත්ත්වයට තාම ඇවිත් නෑ. උදාහරණයක් විදිහට බොරතෙල් බැරලයක් අපි අවසානයට ගත්තේ ඩොලර් 64-65ත් අතර ප්‍රමාණයකට. ඒක ඩොලර් 125ක් දක්වා ඉහළ ගියා. අපි ඒ වෙලාවෙත් මේක දෙගුණයකින් වෙලා තියෙනවා කියලා දෙගුණයකින් මිල වැඩි කිරීමක් කරලා ලාබ ගන්න තැනකට ගියේ නෑ. අපි එවලෙත් උත්සාහ කළේ පැවතුණ මිල ගණන්වලට තෙල් ලබා දීම තමයි කළේ. මිල වැඩි කිරීම පවා අපි අවබෝධයෙන් සුළු වශයෙන් තමයි වැඩි කළේ. නමුත් දැන් ඒ වැඩිවෙච්ච මිල 125න් පහළට ඇවිත් තිබෙනවා ඩොලර් 70 කලාපයට එමින් තිබෙනවා එහි වාසිය අපිට ලබා දෙන්න පුළුවන් කම ලැබෙන්නේ ඒ මිල ගණන් අනුව එම පිරිවැය ආවරණය වෙන තෙල් ලැබෙනවාත් එක්කම. දැන් ලබා ගන්න තෙල් විශේෂයෙන්ම ඊළඟ මාස දෙකේ විතර ලැබෙන්න තියෙන්නේ පසුගිය මාසයේදී ඇනවුම් කරපු තෙල්. අපි උපරිම වශයෙන් දැනට මේ බර දරාගන්න බැරි නිසා රුපියල් බිලියන 100 පැකේජය ඇතුළේ රුපියල් බිලියන 57ක්ම වෙන් කරලා මේ සඳහා සහනාධාරය දුන්නා. මේ ජූනි මාසයේ ඒ සහනාධාරය අවසන් වෙනවා පවතින තත්ත්වය අධ්‍යයනය කරලා මේ මිල ගැලපීම කරලා තවත් සහනාධාරයක් දෙන්න පුළුවන්ද බැරිද කියලා ප්‍රතිපත්තිමය තීන්දුවක් අරන් දැනුම්දෙනවා. කිසිදු ආකාරයට මහජනතාවට අනවශ්‍ය පීඩනයක් දෙන්න අපි සූදානම් නෑ. ඒ ලැබෙන වාසිය ඉදිරියේදී ලබා දෙන්න සූදානම් වෙනවා. 

දේශීය කර්මාන්ත ප්‍රර්වධනය කරමින් ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කයයි – ජනපති….

දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කර ඔවුන් අපනයන වෙළෙඳපොළට යොමු කිරීම මගින් ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කය බවත් ආයෝජන කිරීමට සහ වෙළෙඳපොළ ජය ගැනීමට සූදානම් පිරිසට රජයේ උපරිම සහාය ලබා දෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රබර් සහ තේ නිෂ්පාදන සහ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන් සමඟ අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

ලොව බොහෝ රටවල් ආර්ථික වශයෙන් ශක්තිමත් වූයේ දේශීය කර්මාන්ත අපනයනය සඳහා යොමු කිරීමෙන් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා දැනට පවතින විදේශ ණය පීඩනයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන මත යැපීමෙන් මිදීමට ඇති එකම මාවත දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම බවද පෙන්වා දුන්නේය.

දේශීය කර්මාන්තකරුවන් අපනයන ක්ෂේත්‍රයට පිවිසීම දිරිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු නව වැඩසටහන් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ජා කෙරුණු අතර රබර් සහ තේ කර්මාන්තය නගා සිටු වීමත්, අපනයන ආදායම ඉහළ නංවා ගැනීමත් වෙනුවෙන් 2026- 2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්මට සමගාමීව නව උපායමාර්ගික වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

එමෙන්ම නිෂ්පාදන ධාරිතාව සහ දත්තවල වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා වාර්ෂිකව නිෂ්පාදනය වැඩි කරන ප්‍රමාණය පිළිබඳවද නිවැරදි අවබෝධයක් තිබීමේ අවශ්‍යතාවයද පැහැදිලි කළේය.

නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් සරල මෙන්ම කාර්යක්ෂම විය යුතු අතර, එහිදී කර්මාන්තරුවන් මුහුණ දෙන ගැටලු හඳුනා ගැනීමට අවශ්‍ය සියලු දත්ත රජය වෙත ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

විශේෂයෙන් පොහොර සහ අනෙකුත් යෙදවුම් ලබා දීමේදී ඒවායේ ප්‍රතිඵල සහ අපනයන ආදායම අතර පවතින සබඳතාව විද්‍යාත්මකව බැලිය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

දේශීය කර්මාන්තරුවන් දිරිගැන්වීමේදී ශුද්ධ ඩොලර් ආදායම වැඩි කර ගැනීම කෙරෙහි මූලික අවධානය යොමු කළ යුතු බවත්, අපනයන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට වැයවන ඩොලර් ප්‍රමාණය සහ නිෂ්පාදන අපනයනයෙන් නැවත රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය අතර පරතරය නිවැරදිව කළමනා කරණ කළ යුතු බවත් අමුද්‍රව්‍ය ගෙන ඒම සඳහා විශාල වශයෙන් ඩොලර් එළියට යන නමුත්, අපනයන ආදායම ලෙස රටට ලැබෙන ශුද්ධ ලාභය ප්‍රමාණවත් නොවේ නම් එය ගැටලුවක් බවත් පෙන්වා දුන්නේය.

රබර් ක්ෂේත්‍රය රටට විශාල වශයෙන් ඩොලර් ගෙන ආ හැකි මාර්ගයක් වුවද, දැනට මෙරට නිෂ්පාදනය වන්නේ අවශ්‍යතාවයෙන් 50%ක් පමණක් බවද මෙහිදී අනාවරණය විය.

අගය එකතු කිරීම් සමග රබර් කර්මාන්තය තුළින් අපනයන ආදායම 2030 වසර වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 03කින් පමණ ඉහළ නංවා ගැනීමේ විභවතාවක් පවතින බවද මෙහිදී සාකච්ඡා විය.

රබර් වගාව ව්‍යාප්ත කිරීමට පවතින ප්‍රධාන බාධාව වන්නේ භූමිය සීමිත වීම සහ ශ්‍රමික හිඟය බව මෙහිදී අනාවරණය කෙරුණු අතර එයට විසඳුමක් ලෙස අඩු ආදායම්ලාභීන් මෙම වගාවන් සඳහා සම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

මෙරට ටයර් නිෂ්පාදන ධාරිතාව ඉහළ මට්ටමක පැවතිය ද, ටයර් ආනයනය හේතුවෙන් දේශීය කර්මාන්තයට එල්ල වී ඇති බලපෑම පිළිබඳවද අවධානය යොමු විය.

එමෙන්ම, අමුද්‍රව්‍ය හිඟය සහ ඇතැම් නීතිමය බාධා හේතුවෙන් දේශීය කර්මාන්තකරුවන්ගෙන් උපරිම දායකත්වය නොලැබීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර ඒ සඳහා ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

කළුතර, රත්නපුර සහ කෑගල්ල වැනි සාම්ප්‍රදායික ප්‍රදේශ වලට අමතරව මොණරාගල සහ ඌව වෙල්ලස්ස වැන ප්‍රදේශ වල රබර් වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සහ හෙක්ටයාරයකට ලැබෙන ඵලදාව වැඩි කිරීම මගින් රබර් වගා කරුවන්ගේ ආදායම ඉහළ නැංවීමටත්, එමගින් ඔවුන් මෙම වගාවේ රඳවා ගැනීම පිළිබඳවත් සාකච්ඡා විය.

එමෙන්ම රබර් පර්යේෂණ ආයතන මගින් හඳුන්වා දෙන නව ක්‍රමවේද කර්මාන්තයේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි වේගවත්ව ක්‍රියාත්මක කිරීම, රබර් වගා බිම් පාම් ඔයිල් වගාවට හෝ වෙනත් කාර්යයන්ට යොදා ගැනීම වෙනුවට, විද්‍යාත්මක ක්‍රම වේද ඔස්සේ රබර් වගාව දිරිමත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

ඉරාන වෙළෙඳපොළ සහ මැද පෙරදිග පවතින තත්ත්වය හේතුවෙන් තේ අපනයන සඳහා ගතවන කාලය සහ පිරිවැය ඉහළ ගොස් ඇති බව මෙහිදී තේ අපනයනකරුවෝ පෙන්වා දුන්හ.

ලංකාවේ තේ සඳහා ඉරානය ඉතා වැදගත් වෙළෙඳපොළක් වන අතර, ඉරානය සමඟ පවතින “තේ වෙනුවට තෙල්” (Oil for Tea) බාටර් ගිවිසුම යටතේ පවතින මූල්‍ය ගැටලු විසඳීමට විදේශ අමාත්‍යාංශය මගින් මැදිහත් වන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කෙරිණි.

ලංකාවේ තේ නිෂ්පාදකයන්ගෙන් වැඩි පංගුවක් දරන කුඩා තේ වතු හිමියන්ගේ ඵලදායීතාව වර්ධනය කිරීමට පැළ සහ පොහොර සඳහා සහන ලබා දීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කෙරිණි.

එමෙන්ම අපනයනකරුවන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන වැට් බදු ප්‍රතිලාභය ලබා ගැනීමේ ප්‍රමාදය පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව පුහුණු පාඨමාලා පවත්වමින් අපනයනකරුවන් තවදුරටත් දැනුවත් කර ඔවුන්ගේ කටයුතු පහසු කර අදාළ බාධාවන් මගහරවා ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

බොරතෙල් බැරලයක මිල ඩොලර් 70ට ළංවෙයි…..

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (25) අමෙරිකානු ඩොලර් 70 සීමාවට ආසන්න අගයක් ගෙන ඇති බව විදෙස් වර්තා පවසයි.

ඒ අනුව WTI ඉන්ධන බැරලයක මිල අද දැක්වුණේ අමෙරිකානු ඩොලර් 70.05ක අගයක් ලෙසය.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 73.32 ලෙසය.

මේ අතර මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.45ක් දක්වා 4.57%කින් පහළ ගොස් ඇත.

මැදපෙරදිග යුද්ධය ආරම්භ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මිල ගණන් පැවතියේ ඩොලර් 68ත් 70ත් අතර පරාසයකයි.

ඩොලරය 342 පනී…..

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව,  මහ බැංකුව විසින් අද (25) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.3416ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 342.0372ක් ලෙස සටහන් වී ඇත.

ඊයේ (24) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව ගැනුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 330.3515ක් ලෙස වන අතර විකුණුම් මිල ලෙස රුපියල් 340.0685ක් ලෙස සටහන්ව තිබුණි.

ඔන්ලයින් ව්‍යාපාර නියාමනය කළ යුතු බව ඇමති වසන්ත සමරසිංහ කියයි…..

මාර්ගත ක්‍රමවේදයන් ඔස්සේ සිදු කරනු ලබන ව්‍යාපාර නිසි ලෙස නියාමනය කළ යුතු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ 09 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමිනි.

අන්තර්ජාල වෙළෙඳපොළ හරහා සිදුකෙරෙන ඇතැම් ව්‍යාපාර නිසි පරිදි ලියාපදිංචි නොවීම සහ බදු නොගෙවීම නිසා, නීත්‍යානුකූලව බදු ගෙවන ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවයට පත්වන බව ද ඔහු සඳහන් කළේය.

පසුගිය කාලයේ මෙවැනි අවධිමත් ක්‍රම ඔස්සේ ඩොලර් මිලියන 780ක් වැනි විශාල මුදලක් රටින් පිටවී ඇති බව නිරීක්ෂණයවී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දැනට රටේ ලියාපදිංචිවී ඇති ව්‍යාපාර ප්‍රමාණය 65,000ක් පමණ යැයි උපකල්පනය කළ හැකි වුවත්, ඇතැම් විශාල සමාගම් සතු නියෝජිතයන් සහ බෙදාහරින්නන් ප්‍රමාණය ලක්ෂ දෙකකට වඩා අධික බව වසන්ත සමරසිංහ මහතා කීය.

ඉන් ගමේ කුඩා සිල්ලර කඩයේ සිට ජාතික මට්ටමේ B2C ව්‍යාපාර දක්වා විශාල පිරිසක් නිසි පරිදි ලියාපදිංචි වී නොමැති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

සිල්ලර වෙළෙඳාම යනු විශාල වශයෙන් සේවා හා රැකියා උත්පාදනය කරමින් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් සපයන ප්‍රධාන ක්ෂේත්‍රයකි.

එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කරන අතර, මිලියන දෙකකට ආසන්න පිරිසකට රැකියා අවස්ථා උදාකරදී ඇති බව වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන අවසන් වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට…..

මහා භාණ්ඩාගාරය සතුව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කළ වාර්තා දෙකම සලකා බලා අවසන් වාර්තාවක් සකස් කර ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ, මෙම මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ලබා දුන් වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීමට පසුගිය 23 වෙනිදා එම කාරක සභාව රැස් වූ අවස්ථාවේ දීය.

මෙම සාකච්ඡාව සඳහා මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප් පෙරුම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගී වී තිබුණි.

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 11 ඉක්මවයි…..

ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 11 සීමාව ඉක්මවා තිබේ.

ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට ජුනි 21 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,104,354ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

මේ අතර ජුනි 01 වනදා සිටි  21 වනදා දක්වා පැමිණි සංචාරකයින් ගණන 82,332ක් බවද එම අධිකාරිය සඳහන් කර තිබේ.

ජුනි මාසයේදී මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් අතුරින් වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංචාරකයින් ගණන 31,158ක් වේ.

දෙවැනියට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර එම අගය 6,658ක් ලෙසද සටහන් වී තිබේ.

තෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් චීනයෙන් පැමිණ ඇති අතර එම සංචාරකයින් ගණන 5,178කි.

මේ අතර වසරේ ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේද ඉන්දියාවෙන් වන අතර එම අගය 281,418කි.

මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 104,751ක් සහ රුසියාවෙන් සංචාරකයින් 76,963ක්ද මෙරටට පැමිණ ඇත.

එමෙන්ම වසරේ ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පමිණ ඇත්තේ පෙබරවාරි මාසයේදී වන අතර එම අගය 279,328ක් ලෙසට සටහන් වී ඇත.

2026 මුල් මාස පහේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 7.3 පනී……

2026 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරමින් සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 7.3 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කළ තාවකාලික දත්ත සහ මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වූ ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන අනුව, 2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ භාණ්ඩ හා සේවා අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 7,393.39ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

එය 2025 වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව සියයට 7.56ක වර්ධනයක් බව සඳහන් වේ.

එම කාලය තුළ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 5,758.44ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 7.63ක වර්ධනයකි.

සේවා අපනයන අංශයද වර්ධනයක් පෙන්නුම් කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 1,634.95ක ආදායමක් උපයා ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 7.31ක ඉහළ යාමක් බව වාර්තා වේ.

2026 මැයි මාසයේදී පමණක් වෙ‍ෙළඳ භාණ්ඩ අපනයනය සියයට 18.25කින් සහ සේවා අපනයනය සියයට 18.67කින් වර්ධනය වී ඇති බවද සඳහන් වේ.

කොන්දේසිවලට යටත්ව VAT සංශෝධන පනත් කෙටුම්පතට COPF අනුමැතිය….

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට (VAT) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) අනුමැතිය හිමිව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ කමිටු වාරයේදී, ඇතැම් කොන්දේසිවලට යටත්ව මෙම අනුමැතිය ලබා දී ඇත.

මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර, මන්ත්‍රීවරුන් වන විජේසිරි බස්නායක, නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු සහ නිමල් පලිහේන යන මහත්වරු මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ සම්බන්ධ වූහ.

2002 අංක 14 දරන වැට් බදු පනත සංශෝධනය කිරීමේදී නිර්වාසික සැපයුම්කරුවන් විසින් ඩිජිටල් වේදිකා හරහා සපයනු ලබන සේවා සඳහා බදු පැනවීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය.

දේශීය හා විදේශීය වශයෙන් ලියාපදිංචි වී මෙරට ක්‍රියාත්මක වන ප්‍රවාහන සේවා (Ride-sharing) සමාගම් දෙකක් සංසන්දනය කරමින් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ, බදු සංශෝධනයෙන් පසුවද දේශීය හා විදේශීය සමාගම් අතර යම් අසමානතාවක් පවතින බවය.

ශ්‍රී ලංකාව මුල් කරගත් ඩිජිටල් ව්‍යවසායකයන්ට ගෝලීය වෙළෙඳපොළ තුළ මෙයින් සිදුවන බලපෑම පිළිබඳවද ඒ මහතා කණගාටුව පළ කළේය. කෙසේ වෙතත්, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ මෙම බදු ක්‍රමය ඉන්දියාව සහ පිලිපීනය වැනි රටවල ක්‍රියාත්මක වන ක්‍රමයට සමාන බවය.

වැට් බදු ගෙවීම සඳහා වන පිරිවැටුම් සීමාව කාර්තුවකට රුපියල් මිලියන 15 සිට රුපියල් මිලියන 9 දක්වා අඩු කිරීම හේතුවෙන් අලුතින් ව්‍යාපාර 10,000 ක් පමණ වැට් සඳහා ලියාපදිංචි වනු ඇතැයි නිලධාරීහු අපේක්ෂා කරති.

තොග, සිල්ලර, රූපලාවන්‍ය ඇතුළු කුඩා ව්‍යාපාරවලට POS යන්ත්‍ර (POS machines) ලබාගැනීම වෙනුවෙන් රුපියල් 200,000 ක පමණ අමතර වියදමක් දැරීමට සිදුවීම සහ නීති කඩකිරීම් සඳහා වන දඩ මුදල රුපියල් මිලියනයක් දක්වා ඉහළ දැමීම පිළිබඳව කාරක සභාව ප්‍රශ්න කළේය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට දඩ නොගසා, මෙම ක්‍රමයට අනුවර්තනය වීමට සහාය දෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සහ මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි අතර, POS යන්ත්‍ර භාවිතය දිරිගැන්වීමට රජය සලකා බලමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා මෙහිදී සඳහන් කළේය.

මෙම වැට් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අනුමත කිරීමෙන් පසු, ඊට අදාළ රෙගුලාසි සකස් කොට ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම නැවත වරක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලබාගත යුතු වේ.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ ආහාර ද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් නිකුත් කර තිබූ 2026 මාර්තු 31 දිනැති අංක 2482/09 සහ 2026 මැයි 04 දිනැති 2487/02 දරන ගැසට් නිවේදන සඳහාද කාරක සභාවේ අනුමැතිය හිමි විය.

මෙහිදී 2487/02 ගැසට් නිවේදනය මඟින් බඩ ඉරිඟු සඳහා වන බද්ද රු. 25/- සිට රු. 50/- දක්වා ඉහළ නංවා ඇති අතර, ජනතාවගේ ප්‍රෝටීන් ඌනතාවය සැලකිල්ලට ගෙන, බඩ ඉරිඟු බදු ඉහළ නැංවීම මඟින් කුකුල් මස් සහ බිත්තර මිල කෙරෙහි සිදුවන බලපෑම පිළිබඳව අවධානය යොමු කරන ලෙස කමිටුව නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

මීට අමතරව, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ 2026 මැයි 07 දිනැති අංක 2487/29 දරන ගැසට් පත්‍රයේ රෙගුලාසි සඳහා ද කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත.

VAT සහ SSCL පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමේ යෝජනාව ක්‍රියාත්මක නොවේ…..

එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා අදාළ වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමේ අයවැය යෝජනාව ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක නොකරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යව නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, VAT සහ SSCL සඳහා දැනට පවතින රුපියල් මිලියන 60ක වාර්ෂික පිරිවැටුම් සීමාව තවදුරටත් බලපැවැත්වෙනු ඇත.

මෙහිදී වැඩිදුරටත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එලෙස වැට් බදු සඳහා යටත්වන සීමාව අඩු නොකළ ද මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැට් බද්ද සඳහා ලියාපදිංචි වීම වැදගත් බවයි.

එබැවින් වැට් බද්දට යටත් සීමාවට පහළින් සිටිය ද ස්වෙච්ඡාවෙන් ඒ සඳහා ඔවුන්ට ලියාපදිංචි විය හැකි බව ඔහු පැවසීය.

ඉදිරියටත් මිලියන හැටේමයි තියෙන්නේ වැට් බදු අයකරන සීමාව. නමුත් කෙනෙකුට අවශ්‍ය නම් Threshold එකෙන් පහළ තිබුණත් තමන්ට ඇවිල්ලා වැට් බද්ද සඳහා ලියාපදිංචි වීමේ හැකියාව තියෙනවා”, යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය සඳහන් කළේ, මෙම යෝජනාව සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

රජයක් ලෙස මෙම අවස්ථාවේදී එම සීමාව රුපියල් මිලියන 36 දක්වා පහළ දැමීම සුදුසු නොවන බව තීරණය කළ බවත්, ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය සූදානම් කටයුතු සහ බදු අයකර ගැනීමේ ක්‍රමවේද සකස් කිරීමට කාලයක් අවශ්‍ය බවත් ඇය පැවසුවාය.

එම තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගත් බවත්, ඒ අනුව අදාළ සංශෝධන සඳහා ඉදිරි පියවර ගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

“අපි මුදල් කාරක සභාවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මේ මිලියන 60ක සීමාව තියෙන VAT සහ SSCL මිලියන 36ට ගෙන ඒම ගැන. ඒ ගැන සමාජයේ කතා බහකුත් තිබුණා. නමුත් අපි රජයක් ලෙස තීරණය කරලා තියෙනවා ඒක ගෙන එන්න ඕනේ මේ අවස්ථාවේදී නෙමෙයි. මොකද මේ අවස්ථාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඒ සඳහා සූදානම්වීමක් අවශයයි. අයකර ගැනීමේ ක්‍රමවේද සකස් කරන්න අවශ්‍යයි. ඒ නිසා යම් ප්‍රමාණයකට මේ අවස්ථාවේදී ඒකට සුදුසු අවස්ථාව නෙමෙයි කියන එක ඊයේ කැබිනට් එකෙන් තීරණ කළේ. ඒ අනුව, නීතිපතිවරයාගේ අනුමැතිය ලැබිලා අද දිනයේදී ඒක කාරක සභා අවස්ථාවේදී සම්මත වෙනවා.”