චමරිගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්……

2026 ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

බ්‍රිස්ටල්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 130ක් රැස් කළේය.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 15.3කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 134ක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම මෙහෙයවූ නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 106ක් රැස් කරමින් විශිෂ්ට පිතිහරඹයක නිරත වූවාය.

ඇයගේ ඉනිමට හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

චමරි අතපත්තු තරගයේ වීරවරිය ලෙසද තේරී පත්වූවාය.

රුමේෂ් තරංගට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් ඉහළ පිළිගැනීමක්……

හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වෙන් ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයේ ඔසවා තැබූ රුමේෂ් තරංග පතිරගේ පිළිගැනීමේ උත්සවයක් අද (22) පස්වරුවේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව මගින් බණ්ඩාරගම ගැලනිගම අධිවේගී මාර්ග පිවිසුමේදී සිදුකර තිබුණි.

ලෝකයේ ප්‍රමුඛතම මළල ක්‍රීඩා තරඟාවලි හතරකට සහභාගි වී ලෝක ශූරයින් පරදා රන් පදක්කන් 03  ක් සහ රිදී පදක්කමක් දිනාගත් රුමේශ් තරංග පසුගිය 20 වෙනිදා පස්වරුවේ දිවයිනට පැමිණියේය.

රුමේෂ් ලොව විශිෂ්ටතමයන් සහභාගි වන ‘ඩයමන්ඩ් ලීග්’ මලල ක්‍රීඩා තරගාවලිය තුළ මෙවර සිය ඉසව් ජයගත්තේ වාර්තා පිට වාර්තා තබමිනි.

ඔහු මොරොක්කෝවේ රබාට් හි පැවැති ඩයමන්ඩ් ලීග් අදියරේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දෙවන ස්ථානය හිමිකරගත් අතර රෝමයේ පැවති ඩයමන්ඩ් ලීග් අදියරේදී මීටර 92.62 ක දක්ෂතාවක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාවක්ද සමඟින් පළමු ස්ථානය දිනා ගනු ලැබීය.

එමෙන්ම රුමේෂ් පසුගිය සතියේ පැවති ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 86.57 ක දක්ෂතාවක් දක්වමින් හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානයද දිනාගනු ලැබීය.

ඒ අනුව හෙල්ල විසිකිරීමේ ඉසව්වේ වත්මන් ශ්‍රෙණිගත කිරීම්වල දෙවැනි ස්ථානය දක්වා ඉහළට ඒමට රුමේෂ් තරංග සමත් වූ අතර එතෙක් මෙතෙක් මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලාංකිකයෙක් පැමිණි ඉහළම ස්ථානය ද මෙය වේ.

මෙලෙස දින 20ක කාලයක් තුළ ලෝකයේ ප්‍රධානම මලල ක්‍රීඩා තරගාවලි කිහිපයකදී ශ්‍රී ලංකා නාමය ඉහළින්ම ඔසවා තැබූ රුමේෂ් කටාර් රාජ්‍යයේ දෝහා හිදී පසුගිය 19 වෙනිදා රාත්‍රියේ පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 7 වැනි අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වට තරග වැදුණි.

ඒ ග්‍රෙනේඩාවේ ලෝක ශූර ඇන්ඩර්සන් පීටර්ස් , ඔලිම්පික් රන් පදක්කම් ලාභීයෙක් මෙන්ම ලෝක ශූරයෙක්ද වන ඉන්දියාවේ නීරාජ් චොප්රා ඇතුළු සුපිරි ක්‍රීඩා තරු සමඟය.

ඉසව්ව නැරඹීම සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් රැසක්ද පැමිණ සිටියේ රුමේෂ් තරංගට දිරියක් වෙමිනි.

පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ තුන්වන වටය දක්වා රුමේෂ් තරංග සිව්වන ස්ථානයේ පසුවූ අතර ඇන්ඩර්සන් පීටර්ස්, කර්ටීස් තොම්සන් සහ නීරාජ් චොප්රා රුමේෂ්ට ඉදිරියෙන් රැඳී සිටියේය.

නමුත් රුමේෂ් සිය සිව්වන උත්සාහයේදී සුපිරි විසිකිරීමක් සමගින් මීටර 88යි දශම 6යි 8ක විශිෂ්ට දක්ෂතාවක් ප්‍රදර්ශනය කළේ වත්මන් මලල ක්‍රීඩා පිටියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ තමාව අබිබවායාමට කිසිවෙකුත් නොමැති බව නැවත නැවතත් තහවුරු කරමිනි.

ඒ අනුව දෝහා ඩයමන්ඩ් ලීග් අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනාගත් රුමේෂ් තරංගගේ දක්ෂතාව ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන්ගේ පවා ඉහළ ඇගයීමට ලක්විය.

වසර 8කට පසු මී. 4×100 සහය දිවීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක්…..

චීනයේ ෂැන්ගු නුවර පැවැත්වෙන ආසියානු සහාය දිවීමේ ශූරතාවලියේදී පිරිමි මීටර් 4×100 සහය දිවීම ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (21) සමත් විය.

තරගයේ සිව්වැනි ස්ථානය දිනාගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම දක්ෂතාව දැක්වූ අතර, ඒ සඳහා ඔවුන් වැයකළ කාලය තත්පර 38.63කි.

මෙම තරගය සඳහා දෙනෙත් වීරරත්න, චමෝද් යෝදසිංහ, චලිත් පියුමාල් හා මෙරොන් විජේසිංහ එක්වූහ.

මෙම ඉසව්වේ පෙර ශ්‍රී ලංකා වාර්තාව ලෙස සටහන්ව තිබුණේ මීට වසර 8කට පෙර, එනම් 2018 වසරේ ගෝල්ඩ් කෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී තත්පර 39.08ක කාලයකින් පිහිටුවා තිබූ වාර්තාවයි.

එවර එම වාර්තාවට ෂෙහාන් අඹේපිටිය, විනෝද් සිල්වා, හිමාෂ ඊෂාන් සහ මොහොමඩ් අෂ්රොෆ් යන ක්‍රීඩකයින් හිමිකම් කියූහ.

දෙවන වරට පැවැත්වෙන මෙම ආසියානු සහාය දිවීමේ ශූරතාමේදී ශ්‍රී ලංකා වාර්තා පිහිටවූ තරගයේ රන් පදක්කම චීනය විසින් දිනාගත්තේය.

එමෙන්ම රිදී පදක්කම තායිලන්තය දිනාගත් අතර, ලෝකඩ පදක්කම චීන තායිපේට හිමිවිය.

ලොවක් දිනූ රුමේෂ් ගේ මීළඟ බලාපොරොත්තුව…..

හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වෙන් ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයේ ඔසවා තැබූ රුමේෂ් තරංග අද (20) පස්වරුවේ දිවයිනට පැමිණියේය.

ඔහු මෙරට නාමය රන් අකුරින් සනිටුහන් කරමින් මෙවර ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා උලෙළේ දෝහා හිදී ඊයේ (19) පැවති 7 වැනි අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජයග්‍රහණ කළේය.

රුමේෂ් තරංග ගැන මෑතකාලයේ කතාබහක් නිර්මාණය වූයේ ඔහු හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් පෑ සුවිශේෂී දස්කම් නිසාය.

රුමේෂ් ලොව විශිෂ්ටතමයන් සහභාගි වන ‘ඩයමන්ඩ් ලීග්’ මලල ක්‍රීඩා තරගාවලිය තුළ මෙවර සිය ඉසව් ජයගත්තේ වාර්තා පිට වාර්තා තබමිනි.

ඔහු මොරොක්කෝවේ රබාට් හි පැවැති ඩයමන්ඩ් ලීග් අදියරේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දෙවන ස්ථානය හිමිකරගත් අතර රෝමයේ පැවති ඩයමන්ඩ් ලීග් අදියරේදී මීටර 92.62 ක දක්ෂතාවක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාවක්ද සමඟින් පළමු ස්ථානය දිනා ගනු ලැබීය.

එමෙන්ම රුමේෂ් පසුගිය සතියේ පැවති ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 86.57 ක දක්ෂතාවක් දක්වමින් හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානයද දිනාගනු ලැබීය.

ඒ අනුව හෙල්ල විසිකිරීමේ ඉසව්වේ වත්මන් ශ්‍රෙණිගත කිරීම්වල දෙවැනි ස්ථානය දක්වා ඉහළට ඒමට රුමේෂ් තරංග සමත් වූ අතර එතෙක් මෙතෙක් මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලාංකිකයෙක් පැමිණි ඉහළම ස්ථානය ද මෙය වේ.

මෙලෙස දින 20ක කාලයක් තුළ ලෝකයේ ප්‍රධානම මලල ක්‍රීඩා තරගාවලි කිහිපයකදී ශ්‍රී ලංකා නාමය ඉහළින්ම ඔසවා තැබූ රුමේෂ් කටාර් රාජ්‍යයේ දෝහා හිදී ඊයේ රාත්‍රියේ පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 7 වැනි අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වට තරග වැදුණි.

ඒ ග්‍රෙනේඩාවේ ලෝක ශූර ඇන්ඩර්සන් පීටර්ස් , ඔලිම්පික් රන් පදක්කම් ලාභීයෙක් මෙන්ම ලෝක ශූරයෙක්ද වන ඉන්දියාවේ නීරාජ් චොප්රා ඇතුළු සුපිරි ක්‍රීඩා තරු සමඟය.

ඉසව්ව නැරඹීම සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් රැසක්ද පැමිණ සිටියේ රුමේෂ් තරංගට දිරියක් වෙමිනි.

පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ තුන්වන වටය දක්වා රුමේෂ් තරංග සිව්වන ස්ථානයේ පසුවූ අතර ඇන්ඩර්සන් පීටර්ස්, කර්ටීස් තොම්සන් සහ නීරාජ් චොප්රා රුමේෂ්ට ඉදිරියෙන් රැඳී සිටියේය.

නමුත් රුමේෂ් සිය සිව්වන උත්සාහයේදී සුපිරි විසිකිරීමක් සමගින් මීටර 88යි දශම 6යි 8ක විශිෂ්ට දක්ෂතාවක් ප්‍රදර්ශනය කළේ වත්මන් මලල ක්‍රීඩා පිටියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ තමාව අබිබවායාමට කිසිවෙකුත් නොමැති බව නැවත නැවතත් තහවුරු කරමිනි.

ඒ අනුව දෝහා ඩයමන්ඩ් ලීග් අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනාගත් රුමේෂ් තරංගගේ දක්ෂතාව ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන්ගේ පවා ඉහළ ඇගයීමට ලක්විය.

අද පස්වරුවේ දිවයිනට පැමිණි රුමේෂ් තරංග සිය ඉදිරි බලාපොරොත්තු සම්බන්ධව අදහස් දැක්වීමක්ද සිදු කළේය.

එහිදී ඔහු පැවසුවේ තමාගේ මීලඟ බලාපොරොත්තුව කොමන්වෙල්ත් තරගාවලියේ පදක්කමක් කරා ගමන් ගැනීමට බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුමේෂ් තරංග

“ඇත්තටම ගොඩක් සතුටුයි ලොකු දක්ෂතාවයන් 4ක් එක්ක නැවත ලංකාවට නැවත පැමිණීම ගැන. දෝහා ඩයමන්ඩ් ලීග් එකේ ලොකු ත්‍රෝ එකකට යන්න පොඩ්ඩක් අමාරු වුණා මොකද මම කස්පෙටිෂන් 4ක් එක දිගට කරපු නිසා. බ්‍රසීලයේ තිබෙන ඊළඟ ඩයමන්ඩ් ලීග් ෆයිනල් වටයට මම සිලෙක්ට් වෙලා ඉන්නවා. මගේ ඊළඟ බලාපොරොත්තුව කොමන්වෙල්ත් එකේ මෙඩ්ල් එකකට යන්න සහ සෑහෙන ලොකු කම්පෙටිෂන් තියෙන අවුරුද්දක් මේක. ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.”

රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට…..

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයට අලුත් පිටුවක් එකතු කරමින්, ලෝක මලල ක්‍රීඩා සංගමය අද (17) ප්‍රකාශයට පත් කළ නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 02 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව තිබේ.

මීට පෙර ඔහු පසුවූයේ මෙම ලැයිස්තුවේ 03 වැනි ස්ථානයේය.

ඊයේ (16) චෙක් ජනරජයේ පැවැති සුප්‍රසිද්ධ ‘ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික්’මලල ක්‍රීඩා ශූරතාවලියේදී ප්‍රථම ස්ථානය දිනා ගනිමින් මව්බිමට අතිදැවැන්ත කීර්තියක් අත්කරදීමට රුමේෂ් සමත් විය.

එම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ ඔහුගේ ශ්‍රේණිගත කිරීම් ලකුණු ප්‍රමාණය 1,333ක් දක්වා ඉහළ ගියේය.

පෙර ශ්‍රේණිගත කිරීම්වලදී රුමේෂ් තරංග පසුවූයේ එවකට දෙවැනි ස්ථානයේ සිටි ග්‍රෙනඩා රාජ්‍යයේ ඇන්ඩර්සන් පීටර්ස්ට (ලකුණු 1,326) වඩා ලකුණු 2ක ඉතා සුළු පරතරයකින් පසුපසිනි.

නමුත් ඊයේ ලැබූ ජයග්‍රහණයත් සමග ඇන්ඩර්සන් පීටර්ස් අභිබවා යමින් දෙවැනි ස්ථානය තමන් සතු කරගැනීමට රුමේෂ්ට හැකිවිය.

මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය තවමත් ලකුණු 1,360ක් ලබා සිටින ජර්මානු ක්‍රීඩක ජූලියන් වෙබර් විසින් හිමිකරගෙන සිටියි.

පරාජයත් සමඟ දඹුල්ලේ දී නොසන්සුන් වූ සූරියවංශි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ ගැටෙයි….

15 හැවිරිදි සුපිරි ඉන්දීය යොවුන් ක්‍රීඩක වෛභව් සූරියවංශි (Vaibhav Sooryavanshi), අද (15) දඹුල්ලේදී පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සමඟ උණුසුම් වචන හුවමාරුවක සහ තල්ලු කරගැනීමක් සිදුකර ගත්තේය.

සුපිරි පන්දුවාරය දක්වා ඇදී ගිය මෙම තීරණාත්මක තරගයෙන් ඉන්දියා ‘ඒ’ කණ්ඩායම පරාජයට පත්වීමෙන් පසු මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති විය.

සුපිරි පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 17ක් අවශ්‍ය වූ අතර, ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ වේගපන්දු යවන ක්‍රීඩක කගුදාස් මතුලන් හමුවේ ඉන්දීය පිලට රැස්කරගත හැකි වූයේ ලකුණු 9ක් පමණි.

එහිදී අවසන් පන්දු තුනට මුහුණ දුන් සූරියවංශිට ලබාගත හැකි වූයේ එක් හතරේ පහරක් ඇතුළුව ලකුණු 6ක් පමණි.

තරගය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජයග්‍රහණය සැමරීමට පටන් ගත්තේය.

සූරියවංශි සහ ඔහුගේ සහායක ක්‍රීඩක සූර්යන්ශ් ෂෙඩ්ජ් යළි ක්‍රීඩාගාරය දෙසට ගමන් කරමින් සිටියදී, ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු ඔවුන් දෙසට යම් ප්‍රකාශයක් සිදුකර ඇති බව පැවසේ.

එයින් කෝපයට පත් සූරියවංශි, ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නා වූ මතුලන් දෙසට වේගයෙන් කඩා වැදුණු අතර පසුව ඇතිවූ බහින්බස්වීම දුරදිග යාමත් සමඟ සූරියවංශි විසින් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයේකුව තල්ලු කර දමන ආකාරය වීඩියේ දර්ශන වල පටිගත වී තිබේ.

තත්ත්වය වඩාත් නරක අතට හැරීමට පෙර ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වහා මැදිහත් වී ක්‍රීඩකයන්ව දෙපසට කර ගැටුම සමනය කිරීමට පියවර ගත්තේය.

මීට පෙර, තරගය අවසන් වූ අවස්ථාවේදී සුපිරි පන්දුවාරයක් පැවැත්වීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව පවසමින් ඉන්දීය නායක තිලක් වර්මා විනිසුරුවන් සමඟ විනාඩි 10ක් පමණ උණුසුම් සාකච්ඡාවක නිරත විය‍.

එහිදීද සූරියවංශි විනිසුරුවන් සමඟ වාද කිරීමට පැමිණි නමුත් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු විසින් ඔහුව මැඩපැවැත්වීමට කටයුතු කර තිබුණි.

මෙම විනය විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ට නිල දඬුවම් පනවන්නේද, නැතහොත් අවවාද කර මුදාහරින්නේද යන්න පිළිබඳව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව සඳහන් වේ.

ICC T20 කාන්තා ලෝක කුසලානය අද ඇරඹේ……

2026 ICC විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේදී අද (12) ආරම්භ වේ. තරගාවලිය ජූලි 5 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් සුදුසුකම් ලබා ඇති අතර, එය විස්සයි20 කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගි වන පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වේ.

ඒ අනුව 10වැනි වරට පැවැත්වෙන මෙවර අදියර කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පියවර ලෙස සැලකේ.

සුදුසුකම් ලැබූ කණ්ඩායම් ‘A’ සහ ‘B’ ලෙස කණ්ඩායම් 6 බැගින් වූ කාණ්ඩ 2ක් යටතේ තරග වැඳීමට නියමිතය.

එහි ‘A’ කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව හා නෙදර්ලන්තය එක්ව සිටියි.

නෙදර්ලන්ත කණ්ඩායමක් විස්සයි20 ලෝක කාන්තා කුසලාන තරගාවලියකට සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

‘B’ කාණ්ඩයට එංගලන්තය, අයර්ලන්තය, නවසීලන්තය, ස්කොට්ලන්තය, ශ්‍රී ලංකාව හා බ.ඉ. කොදෙව්වන් තරග කරනු ලබයි.

මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් 5 සමග එක් තරගය බැගින් ක්‍රීඩා කරනු ලැබේ.

දෙවන වටය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට (Knockout) පැවැත්වෙන අතර, එහි සෑම කාණ්ඩයකින්ම පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

අවසන් මහා තරගය ඇතුළුව සමස්ත තරගාවලිය තරග 33කින් සමන්විතය.

තරගාවලියේ තරග ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණය ඇතුළු එංගලන්තයේ සුප්‍රසිද්ධ ක්‍රීඩාංගණ 7කදී පැවැත්වේ.

සමාරම්භක තරගය අද (12) සත්කාරක එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර බර්මින්හැම්හැදී එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 11ට ආරම්භවීමට නියමිතය.

අවසන් වරට 2024 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති තරගාවලියේදී දකුණු අප්‍රිකාව පරදා ශූරතාව දිනාගැනීමට නවසීලන්තය සමත්විය.

එය ඔවුන් විස්සයි20 ලෝක ශූරතාව දිනූ පළමු අවස්ථාව වේ.

කෙසේ නමුත් තරග ඉතිහාසය තුළ ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන 6ක් දිනා ගනිමින් පෙරමුණේ පසුවේ.

රුමේෂ් ලෝකයෙන්ම 3වැනි ස්ථානයට…..

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් අද (10) ප්‍රකාශයට පත් කරන ලද නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන ඉදිරියක් සලකුණු කිරීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබේ. ඒ අනුව ඔහු ලෝකයේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

නවතම වර්ගීකරණයට අනුව රුමේෂ් තරංග ශ්‍රේණිගත ලකුණු 1,324ක් හිමිකරගෙන සිටියි.

මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ලකුණු 1,360ක් ලබා සිටින ජර්මානු ක්‍රීඩක ජූලියන් වෙබර් විසින් හිමිකරගෙන ඇති අතර, දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ග්‍රෙනඩා රාජ්‍යයේ ඇන්ඩර්සන් පීටර්ස්ටය.

දෙවැනි ස්ථානයේ පසුවන ඇන්ඩර්සන් පීටර්ස් (ලකුණු 1,326) සහ රුමේෂ් තරංග අතර ඇත්තේ ලකුණු 2ක ඉතා සුළු පරතරයක් වීම විශේෂත්වයකි.

ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන ඔලිම්පික් රන් පදක්කම් ලාභී ක්‍රීඩකයන් දෙදෙනෙකුම අභිබවා යාමට රුමේෂ් තරංගට මෙහිදී හැකියාව ලැබී ඇත.

ඒ අනුව ලෝක ප්‍රකට ඉන්දීය ක්‍රීඩක නීරාජ් චොප්රා මෙම ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානයේ පසුවන අතර, පාකිස්තානයේ අර්ශාද් නදීම් පසුවන්නේ 10 වැනි ස්ථානයේය.

රුමේෂ් තරංග මෙම සුවිශේෂී දක්ෂතාව කරා ළඟා වූයේ පසුගියදා ඉතාලියේ රෝම නුවර පැවති ‘ඩයමන්ඩ් ලීග්’ (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේදීය.

එහිදී මීටර් 92.62ක අතිවිශිෂ්ට දුරක් හෙල්ල විසිකරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් මෙන්ම නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවීමට ඔහු සමත් විය.

මෙම දක්ෂතාවත් සමඟින් රුමේෂ් තරංග ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළින්ම සනිටුහන් කිරීමට සමත්ව සිටියි.

කොදෙව් සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිත නම් කෙරේ…..

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගවලින් සමන්විත පූර්ණ තරග සංචාරයක් සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිත අද (25) ප්‍රකාශයට පත්කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තෙරීම් කමිටුව විසින් නම්කළ මෙම සංචිතයන්හි එක්දින හා විස්සයි20 නායකත්වයට කුසල් මෙන්ඩිස් නම් කර ඇත.

එමෙන්ම නායක ධනංජය ද සිල්වා සුපුරුදු පරිදි මෙම තරගාවලියේද ටෙස්ට් නායකයා ලෙස කටයුතු කරනු ලබයි.

මෙම තරගවලියේ පළමුව එක්දින තරගාවලියත්, අනතුරුව විස්සයි-20 තරගාවලියත්, අවසාන වශයෙන් ටෙස්ට් තරගාවලියත් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම තරග සංචාරය සඳහා හෙට (26) බටහිර ඉන්දීය කොදෙව් බලා දිවයිනෙන් පිටත්ව යනු ඇත.

ප්‍රකාශයට පත් කරන ලද නිල සංචිත පහත පරිදි වේ,

ටෙස්ට් සංචිතය

ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා විසින් දරනු ලබන අතර, උපනායකයා ලෙස කමිඳු මෙන්ඩිස් කටයුතු කරයි.

පැතුම් නිස්සංක, ළහිරු උදාර, නිෂාන් මධුෂ්ක, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, කමිඳු මෙන්ඩිස් – (උපනායක), සොනාල් දිනූෂ, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා – (නායක), මිලාන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, ඉසිත විජේසුන්දර, කසුන් රාජිත
එක්දින සංචිතය 

එක්දින කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් වෙත හිමිව ඇති අතර, එහි උපනායකයා ලෙස කමිඳු මෙන්ඩිස් කටයුතු කරයි.

පැතුම් නිස්සංක, කමිල් මිෂාර, පවන් රත්නායක, කුසල් මෙන්ඩිස් – (නායක), ජනිත් ලියනගේ, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස් – (උපනායක), මිලාන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, එෂාන් මාලිංග, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්

විස්සයි20 සංචිතය

විස්සයි20 කණ්ඩායම සඳහා ද කුසල් මෙන්ඩිස් නායකත්වය ලබා දෙන අතර, කමිඳු මෙන්ඩිස් උපනායකයා ලෙස කටයුතු කරනු ඇත.

පැතුම් නිස්සංක, කමිල් මිෂාර, ලසිත් කෘස්පුල්ලේ, පවන් රත්නායක, කුසල් මෙන්ඩිස් – (නායක), කමිඳු මෙන්ඩිස් – (උපනායක), දසුන් ශානක, මිලාන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, එෂාන් මාලිංග, බිනුර ප්‍රනාන්දු,නුවන් තුෂාර.

තරග කාලසටහන

එක්දින

ජූනි 03 – පළමු තරගය සබීනා පාර්ක්
ජූනි 06 – දෙවන තරගය සබීනා පාර්ක්
ජූනි 08 – තෙවන තරගය සබීනා පාර්ක්

විස්සයි20

ජූනි 11 – පළමු තරගය සබීනා පාර්ක්
ජූනි 13 – දෙවන තරගය සබීනා පාර්ක්
ජූනි 14 – තෙවන තරගය සබීනා පාර්ක්

ටෙස්ට්

ජූනි 18 – 21 – සිව්දින තරගය CCG
ජූනි 25 – 29 – පළමු තරගය SVRS, ඇන්ටිගුවා
ජූලි 03 – 07 – දෙවන තරගය SVRS, ඇන්ටිගුවා

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ……

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කිරීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අනුමැතිය හිමිව තිබේ.

ඒ, 2026 මැයි 20 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කරන ලද ඉල්ලීමකට අනුවය.

සමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපතිධුරය හිමිව ඇත්තේ, කපිල විජේගුණවර්ධන මහතාටය.

අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනීසා ද සිල්වා යන මහත්ම මහත්මීන් මෙහි සෙසු සමාජිකයන් ලෙස කටයුතු කරනු ලබයි.

මෙම නව පත්වීම් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉදිරි තේරීම් කටයුතු වඩාත් විනිවිදභාවයකින් සහ විධිමත්ව සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ක්‍රීඩා සඳහන් කරයි.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39 (1) වගන්තිය සහ 2025 මැයි 21 දිනැති අංක 2437/24 දරන විශේෂ ගැසට් නිවේදනය මගින් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නව තේරීම් කමිටු සාමාජිකයින් පත් කර ඇත.