රටම එකට ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය විවෘත කෙරේ…..

”රටම එකට” ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානය අද (26) විවෘත කෙරුණි.

කොළඹ 07, විජේරාම මාවතේ ස්ථාපිත කෙරුණු මෙම කාර්යාලය විවෘත කෙරුණේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ , සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ද එක්වුණි.

මෙම අවස්ථාවට එක්වෙමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පසුගිය සමයේ ජනතාවගෙන් ලැබුණු තොරතුරු 6,396 අතරින් , 3,113ක් සාර්ථක ප්‍රතිඵලදායී තොරතුරු බවය.

ඒ අනුව ඉදිරියටත් මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු 1818 අංකය ඔස්සේ ලබාදිය හැකි බවත්, සාර්ථක තොරතුරු ලබාදෙන අයට වටිනා ත්‍යාග ලබාදෙන බවත් පොලිස්පතිවරයා ජනතාවට දැනුම්දෙයි.

රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා ජූලි 03 දක්වා රිමාන්ඩ්….

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා ජුලි 3 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ ඔවුන් අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක්කටා’ මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝගමත රඳවා සිටියේය.

ඒ අතරතුරදී 2023 වසරේ මාර්තු මාසයේදී එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, වත්මන් හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ අරුණ වරුණහැන්දිගේ ඩුබායි රාජ්‍යවෙත ගොස් ඇති බව අල්ලස් කොමිසම පැවසීය.

එකම ගුවන් යානයක ඔවුන් ඩුබායි රාජ්‍යවෙත ගොස්  එහිදී හරක් කටාගේ බිරිඳවන මධුෂිකා මධුවන්ති හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මිදිගම රුවන් නැමැත්තා හමුවී ඇති බවද  කොමිසම සඳහන් කළේය.

එහිදී හරක් කටා පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම, රැඳවුම් නියෝග ඉවත්කිරීම, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමුකිරීම හා විමර්ශන කටයුතුවලින් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරදෙන බව පවසා රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී අනාවරණවී තිබෙනවා.

අනතුරුව එය රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් පළමුව ලබාගෙන ඇති අතර,තවත් රුපියල් කෝටි 2ක මුදලක් පසුව ලබාගෙන ඇති බව ද විමර්ශනවලදී අනාවරණ වූ බව අල්ලස් කොමිසම සඳහන් කළේය.

ආදළ මුදල උණ්ඩියල් ක්‍රමය හරහා මෙරටට ගෙන්වා ගෙන ඇති බවත් වාර්තාවී තිබේ.

රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ හා අරුණ වරුණහැන්දිගේ යළි එකම ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බව ද විමර්ශනවලදී අනාවරණ වී තිබුණි.

ඒ අනුව සැකකරුවන් තිදෙනා අද පෙරවරුවේ අල්ලස් කොමිසම මගින් සැකකරුවන්ගේ නිවෙස් වලදී අත්අඩංගුවට ගැනුණි.

පැය අටකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔවුන් අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ සහකාර නීති අධ්‍යක්ෂ අනූෂා සම්බන්දප්පෙරුම මහත්මිය කියා සිටියේ අල්ලස් කොමිසමට ලද නිර්නාමික පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කළ බවය.

2023 වර්ෂයේ නදුන් චින්තක නොහොත් හරක්කටා රැඳවුම් භාරයේ සිටියදී මෙම සැකකාර චරිත අබේසිංහ විසින් හරක්කටාගේ සමීපතමයෙකු වූ නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැත්තාට දුරකථන ඇමතුමක් ලබාදී රැඳවුම් භාරයේ සිටියදී හරක්කටා ඝාතනයට ලක්විය හැකි බවත්, ඔහුව බුස්ස බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයකට මාරු කළ හැකි බව සහ වෙනත් සහන ලබාදිය හැකි බව පවසා ඇති බව සහකාර නීති අධ්‍යක්ෂවරිය අධිකරණයට කියා සිටියේය.

එබැවින් ඒ සම්බන්ධයෙන් හරක්කටාගේ බිරිඳ සමඟ ඩීල් එක දමන ලෙස සැකකාර චරිත අබේසිංහ හර්බි නැමැත්තාට පවසා ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියේය.

අනතුරුව චරිත අබේසිංහ, නීතිඥ රඛිත රාජපක්ෂ සහ අරුණ ශ්‍රී චතුරංග යන මෙම සැකකරුවන් තිදෙනා 2023 මාර්තු 25 දින ඩුබායි රාජ්‍ය බලා ගොස් හර්බි නැමැත්තාගේ නිවසේදී හරක්කටාගේ බිරිඳගෙන් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව සහකාර නීති අධ්‍යක්ෂවරිය සඳහන් කළේය.

එහිදී පළමුව ලක්ෂ 5000ක් ඉල්ලා, පසුව එය ලක්ෂ 2000 දක්වා අඩුකර ඉන් ලක්ෂ 1200ක් අත්තිකාරම් මුදල ලෙස ලබාගෙන ඇති බව ඇය සඳහන් කළේය.

කෙසේ වෙතත් අල්ලස් මුදල ලබාගැනීමෙන් පසු පොරොන්දු ඉටු නොකිරීම නිසා හරක් කටාගේ බිරිඳ වන මදුෂානි නැමැත්තිය යළි සිය මුදල් ඉල්ලා ඇති බවත්, එවිට චරිත අබේසිංහ විසින් මෑතකදී ඝාතනයට ලක්වූ මිදිගම ලසන්ත නැමැත්තා හරහා ලක්ෂ 200ක මුදලක් ආපසු හරක් කටාගේ බිරිඳට යවා ඇති බව විමර්ශනයෙන් අනාවරණය වූ බවද සහකාර නීති අධ්‍යක්ෂවරිය පැවසීය.

ඇය වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් හරක්කටාගේ බිරිඳ වන මදුෂානි නැමැත්තිය පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර නදුන් චින්තක හෙවත් හරක් කටා විමර්ශන නිලධාරින්ට ප්‍රකාශයක්ද ලබා දී ඇති බවය.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව දූෂණ විරෝධි පනතේ 149 වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක් ඉදිරිපත් කර ඇති බැවින් සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි සහකාර නීති අධ්‍යක්ෂවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව සැකකරුවන්ට ඇප ලබාගැනීම වෙනුවෙන් නීතිඥවරුන් සුවිශේෂි කරුණු ඉදිරිපත් කළේය.

එහිදී සැකකාර රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කියා සිටියේ සිය සේවාදායකයාට ස්ලීප් ඇප්නියා නම් රෝගී තත්ත්වය ඇති බවත් රක්ෂිත බන්ධනාගාරගත කළහොත් ඔහුට ජීවිත අවධානමක් ඇතිවිය හැකි බැවින් එය සුවිශේෂි කරුණක් ලෙස සලකා ඇප ලබාදෙන ලෙසය.

එසේම චරිත් අබේසිංහ වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා සිය සේවාදායකයාට බරපතළ හෘද රෝගී තත්ත්වයක් පවතින බැවින් රක්ෂිත බන්ධනාගාරගත කිරීම හරහා ඔහුගේ ජීවිතයටද අවදානමක් ඇතිවිය හැකි බැවින් එය සුවිශේෂි කරුණක් ලෙස සලකා ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු සුවිශේෂි කරුණු නොවන බව දක්වමින් ඔවුන්ට මෙම අවස්ථාවේ ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව සැකකරුවන් තිදෙනා එළඹෙන ජුලි මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව…….

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමේ වැඩිදුර කරුණු දැක්වීම් ජූලි මස 06 වනදා දක්වා කල් තැබුණි.

ඒ, එම පෙත්සම දෙවැනි දිනටත් අභියාචනාධිකරණය හමුවේ අද (24) සලකා බැලුණු අවස්ථාවේදීය.

මෙම සලකා බැලුණේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේදීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් එහිදී සඳහන් කළේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ශේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසම, හිටපු මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් කොමිසම මෙන්ම ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරිපත් කර තිබෙන වාර්තාවල කිසිදු ස්ථානයක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සදහන් කර නොමැති බවය.

ඊට අමතරව පාස්කු ප්‍රහාරයේ රාජකාරි පැහැරහැරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගකළ සත් පුද්ගල ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබාදී ඇති නඩු තීන්දුවේද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එක් වචනයක් හෝ සඳහන් කර නොතිබූ බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය.

පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව 2017 වසරේ සිට බුද්ධි අංශ  දැනුවත් කිරීම් සිදුකර තිබූ අතර සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ශන ගොනුවක් පොලීසිය නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබූ බව පෙන්වා දුන් නීතිඥවරයා කියා සිටියේ ඊට අදාළව කිසිදු විමර්ශනයක් සිදු කර නොමැති බවය.

එසේ වගකීම් විරහිතව කටයුතු කළ අය වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට ඔහු චෝදනා කළේය.

එමෙන්ම පිල්ලෙයාන් සහ කරුණා යන පාර්ශ්ව සමඟ සිය සේවාදායකයා දේශපාලන කටයුතු වල නිරතවූ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා දේශපාලන රැස්වීමකදී ඔවුන් සමඟ ගත්  ඡායාරූප පෙන්වමින් එමගින් පෙත්සම්කරු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක කළ නොහැකි බව පැවසීය.

නීතිපති දෙපාර්තමේන්තුව එම ඡායාරූප ඉදිරිපත් කළේ මුළුමනින්ම ද්වේෂ සහගතව මෙන්ම වංක චේතනාවකින් බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් චෝදනාකර සිටියේය.

අසාද් මවුලානා යනු දේශපාලන රැකවරණ පතා ස්විට්සර්ලන්තයේ පලාගොස් ජීවත්වන පුද්ගලයෙකූ වන අතර ඔහු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට සිදුකළ ප්‍රකාශයෙන් මෙරට අධිකරණ පද්ධතිය පහළ සිට ඉහළටම දූෂිත බවට බරපතළ චෝදනාවක් එල්ලකර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

නීතිඥවරයා ප්‍රශ්න කළේ එම පුද්ගලයා, ලසන්ත වික්‍රමතුංග මරාදැමීම , මිනීමැරුම්, පැහැරගෙන යාම් වැනි අපරාධ සියල්ල රාජපක්ෂවරු මත පැටවිමට ක්‍රියාකර ඇති අතර එවැනි පුද්ගලයෙකු ලබාදී ඇති ප්‍රකාශ මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගන්නේ කෙසේද යන්නය.

ඉන්පසුව පෙත්සමේ වැඩිදුර කරුණු දැක්වීම් ජූලි මස 06 සහ 09 යන දිනවලට කල් තැබුණි.

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරයා ජනපති හමු වෙයි….

මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ආචාර්ය පෝල් කපූර් මහතා අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

 ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර 77 වසරක ද්විපාර්ශ්වික සබඳතා මෙහිදී සිහිපත් කෙරුණු අතර, දෙරටේ සබඳතා වෙළෙඳ, ආරක්ෂක, ආයෝජන, සංචාරක සහ අන්‍යෝන්‍ය ජන සම්බන්ධතා වැනි ක්ෂේත්‍ර ඔස්සේ විශිෂ්ට බහුවිධ සහයෝගීතාවක් දක්වා වර්ධනය වී ඇති බවද සඳහන් කෙරිණි.

 එම ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ මෙහිදී සතුට පළ කළ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා එම සහයෝගීතාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට කැපවන බවද සඳහන් කළේය.

 මැදපෙරදිග පවතින තත්ත්වය මේ වන විට සාධනීය දිශාවකට ගමන් කරමින් තිබීමද මෙහිදී අවධානයට ලක් වූ අතර,  ජූනි 19 වනදා එළැඹි සාම ගිවිසුම කලාපය තිරසර සාමය කරා ගෙන යනු ඇති බවටද දෙපාර්ශ්වයේම විශ්වාසය පළ කෙරිණි.

 එම අවස්ථාවේදී ශ්‍රී ලංකාව අනුගමනය කළ මානුෂීය  ප්‍රතිපත්තිය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ආපදාවට පත් නෞකා දෙක සඳහා නෛතික පදනම මත මානුෂීය සහන සැලසීමට කටයුතු කළ බවද සඳහන් කළේය. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ගත් පියවර මෙහිදී ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයාගේ ඇගයීමට ලක් විය.

 එමෙන්ම කලාපයේ සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව උපරිම සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

 ශ්‍රී ලංකාවේ අපනයන පංගුවෙන් තනි රටක් ලෙස විශාල පංගුවක් ඇමරිකාව විසින් දරනු ලබන අතර දෙරට අතර පවතින එම වෙළෙඳ සහයෝගීතාව දෙරටටම ප්‍රතිලාභ සැලසෙන අයුරින් වර්ධනය කර ගැනීම සහ මෙරටට පනවන ලද තීරුබදු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.

 ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයකට හිමිකම් කියන රටක්, ඇමරිකාව වැනි විශාල ආර්ථිකයකට හිමිකම් කියන රටක් සමග සැසඳිය නොහැකි බවත්, දෙරටේ වෙළෙඳ පරතරය පියවීම අපහසු කාර්යයක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර වූ වෙළෙඳ ගිවිසුමේ කටයුතු හැකි ඉක්මණින් අවසන් කර ගැනීම පිළිබඳවද දෙපාර්ශ්වයෙහිම අවධානය යොමු කෙරිණි.

 කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති Jayne Howell, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික වැඩසටහන් කළමනාකරු Matthew Ridgeway, ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානි Shailaja Kim යන මහත්ම මහත්මීහු ඇතුළු නියෝජිත කණ්ඩායම මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සැක සහිත අයෙකු ගැන සලේගේ බිරිඳගෙන් පැමිණිල්ලක්……

සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී සිටින, සිවිල් ඇඳුමින් සැරසුණු, සැක සහිත නිරීක්ෂණ කටයුතුවල නියැලෙන විශේෂිත පුද්ගලයෙකු තමාව සහ දරු දෙදෙනාව නැවත නැවතත් නිරීක්ෂණය කරන බව පවසමින් ය.

ඒ අනුව, ඊයේ දින සිය 17 හැවිරිදි දියණිය සහ 22 හැවිරිදි පුත්‍රයා ඔවුන්ගේ පියාගේ සුවදුක් විමසීමට ජාතික රෝහලට ගිය අවස්ථාවේදී එම පුද්ගලයා දරුවන් පසුපස ගොස් ඔහුගේ ජංගම දුරකථනයෙන් ළමයින්ගේ ඡායාරූප ගැනීම හෝ රූගත කිරීම සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන් වෙයි.

එසේම, මීට පෙරත් ජාතික රෝහල අසළ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය අසළ ඔහු ගැවසෙන අයුරු නිරීක්ෂණය කර ඇති බවද ඇය පවසයි.

එවන් තත්ත්වයක් තුළ මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්, අදාළ පුද්ගලයා කවුරුන්ද යන්න හඳුනාගන්නා ලෙසත්, එවැනි ක්‍රියා සිදුකළේ කාගේ උපදෙස් යටතේද යන්න තහවුරු කරගන්නා ලෙසත් මනෝරි සලේ මහත්මිය අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියෙන් ඉල්ලා සිටියි.

ජනපති හමුවීමෙන් පසු ICC සභාපතිගෙන් X සටහනක්……

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී එරට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව සාකච්ඡා කිරීමට ලැබීම තමන් ලැබූ වරප්‍රසාදයක් බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජෙයි ෂා මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා සමඟ පැවැති නිල හමුවෙන් අනතුරුව සිය නිල X ගිණුමේ විශේෂ සටහනක් තබමිනි.

එහිදී ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඉතා සුවිශේෂී ස්ථානයක් බව පෙන්වා දුන් ජෙයි ෂා මහතා, ජාත්‍යන්තර තරගාවලි සඳහා සත්කාරකත්වය සැපයීමේදී සහ ක්‍රීඩාවේ ගෝලීය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ දායකත්වය ද බෙහෙවින් අගය කර තිබේ.

එමෙන්ම මෙම හමුවේදී නැගී එන ක්‍රීඩකයින් සඳහා වන අවස්ථා තවදුරටත් පුළුල් කිරීම, බිම් මට්ටමේ සහ තරුණ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීම පිළිබඳව  ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

අනාගත පරපුර වෙනුවෙන් ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙරට සියලුම පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බව පැවසූ ICC සභාපතිවරයා, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ජනාධිපතිවරයා දක්වන සහයෝගය පිළිබඳව ද සිය ස්තූතිය පුද කර තිබේ.

ඔහු  X මාධ්‍යයෙහි තැබූ සටහන පහතින්,

“අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දින හමුවීමට ලැබීම සහ ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ලැබීම මම ලැබූ සුවිශේෂී වරප්‍රසාදයක් කොට සලකමි. අපගේ සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු වූයේ නැගී එන ක්‍රීඩකයින් සඳහා වන අවස්ථා තවදුරටත් පුළුල් කිරීම, බිම් මට්ටමේ සහ තරුණ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීම මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සමාජයීය බලපෑමක් සහ ආර්ථික වර්ධනයක් ඇති කරලීමේ මෙවලමක් ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

එසේම ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි සඳහා සත්කාරකත්වය සැපයීමේදී ශ්‍රී ලංකාව දිගින් දිගටම ඉටු කරන කාර්යභාරය සහ මෙම ක්‍රීඩාවේ ගෝලීය සංවර්ධනය වෙනුවෙන් දක්වන දායකත්වය පිළිබඳවද අපි අදහස් හුවමාරු කර ගත්තෙමු. ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඉතා සුවිශේෂී ස්ථානයකි. එබැවින් ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, අනාගත පරපුර වෙනුවෙන් නව අවස්ථා නිර්මාණය කිරීමටත් ක්‍රීඩාවේ සියලුම පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා දක්වන නොසැලෙන සහයෝගය සහ ඔහුගේ වටිනා කාලය අප වෙනුවෙන් වෙන් කිරීම පිළිබඳව මගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමි.”

පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති……

පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ජීවිත සුරක්ෂිතතාව සුරැකීම රජයේ සහ ආචාර්ය මණ්ඩලයේ පමණක් නොව, සමස්ත රටේම ජනතාවගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවා ය.

මහව, වලස්වැව ගුණපාල මලලසේකර ආදර්ශ විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද (18) එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

එහිදීඋත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද පැවසුවා ය.

“මෙම පාසල දියුණු කිරීමට රජයේ මැදිහත්වීමට අමතරව ප්‍රදේශවාසීන් සහ පාසල් හිතවතුන් දක්වන කැපවීම අගය කළ යුතුයි. පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ජීවිත සුරක්ෂිතතාවය සුරැකීම රජයේ සහ ආචාර්ය මණ්ඩලයේ පමණක් නොව, සමස්ත රටේම ජනතාවගේ වගකීමක්.2026 වසර වන විට මූලික අවශ්‍යතා නොමැති පාසල් නොතිබිය යුතුයි, ඒ වෙනුවෙන් රජය කඩිනමින් මැදිහත් වනවා. දක්ෂ හෝ අදක්ෂ දරුවන් ලෙස වර්ගීකරණයක් කරන්න බැහැ.  සෑම දරුවෙකුටම යම් හැකියාවක් තියනවා. එම හැකියාවන් හඳුනාගෙන ඔවුන්ව ඉහළට ඔසවා තැබීම අධ්‍යාපන පද්ධතියේ වගකීමයි.”

රජය සිදුකරන සියලු ආයෝජනවල අවසාන අරමුණ වන්නේ ප්‍රායෝගිකව සිතන, නිර්මාණශීලී සහ ශක්තිමත් පුරවැසියන් බිහිකිරීම බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ලෝකයේ විවෘත වන නව ක්ෂේත්‍ර ජයග්‍රහණය කිරීමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බවත් අග්‍රාමිත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

රජයේ අනුමැතිය නැති බාහිර වැඩසටහන් පාසල් තුළ සංවිධානය කිරීම තහනම් – අගමැති…..

විවිධ සංවිධාන හා බාහිර පාර්ශ්ව විසින් ඉදිරිපත් කරනු ලබන, රජයේ නිල අනුමැතිය හිමි නොවන කිසිදු වැඩසටහනක් පාසල් පද්ධතිය තුළ සංවිධානය කිරීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළේ අනුරාධපුර උතුරු මැද පළාත් සභා පරිශ්‍රයේදී  අද (17) උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

එමෙන්ම රජයක් වශයෙන් අතිවිශාල කැපකිරීමක් සිදුකරන්නේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් වන බැවින්, දරුවන්ට හොඳම දේ ලබාදිය යුතුයි යන හැඟීම මත පදනම්ව බලධාරීන් තීන්දු තීරණ ගත යුතු බව ද අග්‍රාමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කළාය.

එමෙන්ම, ‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් හානියට පත්වූ පාසල් ප්‍රතිසංස්කරණය කිරීම සහ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු ව ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට විසඳුම් දෙමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, ලංකා ඉතිහාසයේ විශාලතම ගුරු බඳවාගැනීම 2026 වසරේදී සිදුකරන බවය.

ඒ අනුව, උපාධිධාරී ගුරුවරුන් 23,000ක්, විද්‍යාපීඨ පුහුණු ගුරුවරුන් 6,100ක් සහ අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඇතුළුව 30,000කට ආසන්න පිරිසක් මේ වසරේදී රාජ්‍ය සේවයට එක් කර ගැනීමට සැලසුම් කර ඇත.

මීට අමතරව අධ්‍යාපන පරිපාලන හා ගුරු උපදේශක පුරප්පාඩු පිරවීමට මෙන්ම ගුරු තුලනය හා දත්ත කළමනාකරණ ගැටලු විසඳීමටද පියවර ගන්නා බව ඇය පැවසා තිබේ.

දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 06කට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්…..

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) කොටුව මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.

එහිදී විමර්ශන නිලධාරින් කියා සිටියේ, රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධාවන අන්දමේ ප්‍රකාශ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නිකුත් කිරීම සම්බන්ධයෙන් එම පිරිසට චෝදනා ඉදිරිපත් කර ඇති බවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩුව අද මෝසමක් මඟින් යළි කැඳවුණි.

අදාළ මෝසම ගොනුකර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

එහිදී පිටු 14කින් යුත් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින් කියා සිටියේ, මෙම නඩුවේ තෙවන සැකකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින සුරේෂ සලේ 2026 ජුනි මස 05 වැනිදා රාත්‍රීයේ සිට ආහාර ගැනීම වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කළ අතර 2026 ජුනි මස 07 වැනිදා සිට ඔහු ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවය.

ඒ අනුව මේ වනවිට සැකකරු විශේෂඥ වෛද්‍යරුන් සිව්දෙනෙකුගේ නිරීක්ෂණය යටතේ ජාතික රෝහලේ 42 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බව විමර්ශන නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් සඳහන් කළේ දේශපාලනයට සම්බන්ධ සංවිධානාත්මක කණ්ඩායමක් මෙම විමර්ශනයට අගතිදායක වන අන්දමින් හා අධිකරණය කෙරෙහි මහජන අවිශ්වාසයක් අතිවන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බවය.

“ස්වාමිනි, දේශපාලනයට සම්බන්ධ සංවිධානාත්මක කණ්ඩායමක් මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අගතිදායක වන ආකාරයෙන්, යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලියට බාධාවන අන්දමින් සහ අධිකරණය කෙරෙහි මහජන අවිශ්වාසයක් ඇතිවන ආකාරයෙන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදුකරමින් තිබෙනවා. එම තැනැත්තන් වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අසංක නවරත්න, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මෙන්ම සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පුද්ගලයින්. ඒ අනුව ඔවුන් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනකට අපහාස කිරීමේ පනතේ 3 (1) (අ), 2 (අ), (ඇ) (1) (2) (3) සහ (ඉ) (1) (2) (3) වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කළ ඇති බවට අනාවරණ වී තිබෙනවා. එබැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා. මෙම වැඩිදුර වාර්තාව මඟින් ඔවුන් සිදුකළ ප්‍රශ්නගත ප්‍රකාශ සහ එම ප්‍රකාශ තුළ ඇති අධිකරණයට අපහාසවන ආකාරයේ වාක්‍ය කණ්ඩ උපුටා දක්වා තිබෙනවා.”

ඒ අනුව අදාළ ප්‍රකාශ ප්‍රචාරණය කළ ජාතික රූපවාහිනිය, ස්වර්ණවාහිනිය, සිරස, ශක්ති ටීවී , වසන්තම් ටීවී, හිරු ටීවී, ටීවී දෙරණ සහ ටී.එන්.එල්. යන මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමටත් එම ප්‍රචාරණයන්ට අදාළ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන ලබාගැනීමටත් අවසර ලබාදෙන ලෙස විමර්ශන නිලධාරින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එසේම අදාළ ප්‍රකාශ සිදුකළ පුද්ගලයින් 06 දෙනා 2026 ජුලි මස 01 වනදා අධිකරණයට කැඳවීමට නොතිසි නිකුත් කරන ලෙසද ඔවුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

කෙසේ වෙතත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, අදාළ පුද්ගලයන්ට නොතිසි නිකුත් කිරීම අවශ්‍ය නොවන බවය.

“ඇයි මේ එම තැනැත්තන් අධිකරණයට ගෙන්වන්න ඉල්ලන්නේ. ඔවුන් මේ අධිකරණයට ගෙන්වීමේ අවශ්‍යතාවයක් නැහැ. අදාළ විමර්ශනය සිදුකරලා කරුණු සලකා බැලීමකින් පසු කෙලින්ම අභියාචනාධිකරණයේ පැමිණිල්ලක් ගොනුකරන්න පුළුවන්. එවිට ඔවුන් කෙලින්ම අභියාචනාධිකරණයට හේතු දැක්විය යුතුයි.”

ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා අදාළ තැනැත්තන් ඉදිරි නඩු දිනයේ අධිකරණයට කැඳවීමට නොතිසි නිකුත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර විමර්ශනයට අදාළ සෙසු ඉල්ලිම් සඳහා නියෝග නිකුත් කළේය.

අදාළ පුද්ගලයින් 06 දෙනා අතුරින් මහින්ද පතිරණ නැමැත්තා ප්‍රශ්නගත ප්‍රකාශ සිදුකිරීම FACEBOOK ඔස්සේ සිදුකර ඇති බැවින්, ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයෙන් වාර්තාවක් කැඳවන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නඩුව වැඩිදුර විමර්ශන ප්‍රගතිය වාර්තා කිරීම සඳහා ජුලි 01 වනදා යළි කැඳවීමට නියමිතයි.

ඩෙංගු රෝගීන් වැඩිවීමට හේතුව නියෝජ්‍ය ඇමති කියයි…..

මේ වනවිට ඩෙංගු රෝගය ව්‍යාප්ත වී ඇත්තේ පැවති වෛරයේ යම් වෙනස්කම් සහිතව බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

අද (14) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම නව වෙනස්කම් සහිත වෛරසය මීට පෙර ශ්‍රී ලංකාවේ ජනතාවට වැලඳී නොමැති බැවින් වැඩි ප්‍රමාණයකට මෙම නව ඩෙංගු වෛරසය වැලඳීමේ හැකියාවක් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා රජයක් වශයෙන් ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජනතව ද ඒ සඳහා සිය උපරිමයෙන් කටයුතු කිරීමට වගා බලා ගත යුතු බවටත් අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

“සාමාන්‍යයෙන් කාලෙකට සැරයක් මෙවැනි තත්ත්වයක් ඇති වන බව අපි දැනගෙන හිටියා. කාලයකට සැරයක් රෝගීන් මෙලෙස වැඩි වන නිසා අපි මුල සිටම යම් සූදානමකින් ඉන්නවා. නමුත් මේ සැරේ තියෙන වෛරස් එකේ වෙනස්කම් කිහිපයක් තිබෙනවා. අර හැමදාම හැදෙන වෛරස් එකට වඩා වෙනස් වෛරස් එකකින් තමා මෙවර රෝගය වැළඳෙන්නේ. ඒ වෛරස් එක ලංකාවේ ගොඩක් දෙනෙකුට මීට පෙර හැදිලා නැති නිසා, වඩා වැඩි ප්‍රමාණයකට මේ සැරේ රෝගය වැළඳීමේ ප්‍රවණතාවක් තිබෙනවා.

අප දැනට කටයුතු කළ යුත්තේ මදුරුවන් ප්‍රමාණය අඩු කර ගැනීමට සහ රෝහලට පැමිණෙන රෝගීන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වීමක් නොමැතිව සුවය ලබා නිවෙස් බලා පිටත් කර හැරීමටයි. මේ සම්බන්ධයෙන් රජයටත් වඩා වැඩි වගකීමක් මහජනතාවට තිබෙනවා. අපේ පැත්තෙන් අපිට කරන්න පුළුවන් උපරිම දේ අප සිදු කරන බවට මහජනතාවට සහතික වන අතර, ඔබත් ඔබේ පැත්තෙන් කළ හැකි උපරිම දේ ඉටු කරන ලෙස මම ඉල්ලා සිටිනවා.”