රු. කෝටි 3.5 කොල්ලයට සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියාගේ නිවාස පරීක්ෂා කිරීමට සෝදිසි වරෙන්තුවක්….

හොරණ රාජ්‍ය බැංකුවක පරිශ්‍රය තුළදී රුපියල් කෝටි තුනහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම බැංකුවේ සහකාර කළමනාකාරවරයාට සහ ආරක්ෂක නිලධාරියාට එරෙහිව හෙට (06) දිනයේදී රැඳවුම් නියෝග ලබා ගන්නා බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය පවසයි.

අදාළ සිදුවීම සම්බන්ධව මේ දක්වා සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සහකාර කළමනාකාරවරයා විසින් නිරූපිකාවන් ඇතුළු කාන්තාවක් රැසක් ඇසුරු කරමින් මුදල් වියදම් කර ඇති බවය.

මේ හේතුවෙන් ඔහු අධික ලෙස ණය වි ඇති බවත් එම විමර්ශනයේදී අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ.

පසුගිය 03 වැනි දින මෙම සිදුවීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධ විමර්ශන පොලිස්පතිවරයා විසින් පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය වෙත යොමු කෙරිණි.

සිදුවීම සිදුවන දින එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු කළමනාකරු හමුවට පැමිණ සහකාර කළමනාකරු සේවා මධ්‍යස්ථාන දෙකක් කරා රැගෙන යාමට බැංකුවෙන් පිටතට රැගෙන ගිය මුදල් මළු බැංකු පරිශ්‍රය තුළදී පා ගමනින් පැමිණි පුද්ගලයෙකු විසින් කොල්ල කා පලා ගොස් ඇති බවට දැනුම් දී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වී ඇති කළමනාකරු කඩිනමින් බැංකු පරිශ්‍රයෙන් පිටතට පැමිණ පරීක්ෂා කර බලා කිසිදු සැක කටයුතු පුද්ගලයෙකු හඳුනාගැනීමට නොහැකි වී ඇති බැවින් කඩිනමින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය අමතා සිද්ධිය සම්බන්ධව දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

එහිදී සහකාර කළමනාකරු විසින් බැංකුවෙන් පිටතට රැගෙන යන මුදල්වල වටිනාකම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී රුපියල් 5000 නෝට්ටුවලින් මෙම කෝටි තුනහමාරක මුදල අඩංගු එම බැංකුවේ ලාංඡනය සහිත රෙදි මළු දෙකක් කොල්ල කා ඇති බවට තහවුරු කර ගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ.

අදාළ කොල්ලය සිදුවීමෙන් අනතුරුව මුදල් මළු දෙක භාරව සිටි සහකාර කළමනාකරු පොලිසිය වෙත රැගෙන විත් දිගින් දිගටම සිදුකළ ප්‍රශ්න කිරීමෙන් කිසිදු වැදගත් හෝඩුවාවක් අනාවරණය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුරුව පොලිස්පතිවරයා විසින් මෙහි විමර්ශන කටයුතු පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය වෙත යොමු කෙරිණි.

ඒ අනුව එහි පැමිණි අදාළ කොට්ඨාසයේ නිලධාරීන් විසින් CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී සහකාර කළමනාකරු එදින පෙරවරුවේ බැංකුවේ සේප්පුවෙන් මුදල් ලබා ගන්නා අයුරු බැංකුව තුළ සවිකර තිබූ කැමරාවල සටහන් වී ඇති බවට අනාවරණය කරගෙන තිබුණි.

නමුත් ඔහු මුදල් රැගන පිටවීමට සූදානම් වන්නේ ඊටත් පැය කිහිපයකට පසු පස්වරුවේ වන අතර බැංකුව අභ්‍යන්තරයේ කැමරා සවිකර ඇතත් බැංකු පරිශයෙන් පිටවන දොර එහි පැත්තක පිහිටා ඇති බැවින් එම පෙදෙසට බැංකුවෙන් CCTV කැමරා සවිකර නොමැති බවද සැකකටයුතු පුද්ගලයෙකු මුදල් මළු දෙකක් රැගෙන යන ආකාරයක් අවට පිහිටි CCTV කැමරාවල සටහන් වී නොමැති බවද අනාවරණය වී ඇත.

එහිදී සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සැකකාර සහකාර කළමනාකරු ආරක්ෂක නිලධාරියාද සම්බන්ධ කරගනිමින් ඉතා සැලසුම් සහගතව මෙකී මුදල් කොල්ල කෑ බවට රංගනයක් සිදුකර ඇති බවය.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියෙකු අද (05) අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් විසින් කටයුතු කළේය.

මේ අතර සැකකාර කළමනාකාරවරයා සහ ආරක්ෂක නිලධාරියාගේ දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමටත්, නිවාස පරීක්ෂා කිරීම සඳහා සෝදිසි වරෙන්තුවක් නිකුත් කිරීමටත් හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ මහත්මිය නියෝග කර තිබේ.

බස්නාහිර පලාත් උතුරු අපරාධ කොට්ඨාසය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වෑවල, ගංගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි බැංකුවේ සහකාර කළමනාකරු සහ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ආරක්ෂක නිලධාරිවරයෙකි.

සැකකරුවන් දෙදෙනා මේ වන විට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ රඳවා සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

සෙනෙහසේ කැදැල්ලේ අධ්‍යක්ෂ රිමාන්ඩ්…..

හොරණ – බටගොඩ පිහිටි සෙනෙහසේ කැදැල්ල නැමති නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂවරයා ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ඔහු අද (04) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

සෙනෙහසසේ කැදැල්ල නැමැති එම නිවාසයේ ඊයේ (03) රාත්‍රි හටගත් ගින්නෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් 6දෙනෙකු තුවාල ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මහ බැංකුවෙන් පාඩමක්……

වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිය හා ඒ හා සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධාන කර තිබේ.

ඒ, කම්කරු අමාත්‍ය  මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා සිදු කළ ඉල්ලීමට අනුවය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු  ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන මේ මස 10 වෙනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මේ සඳහා පසුගිය පළමුවෙනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

සලේ ගැන අධිකරණයට කරුණු රැසක්…..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විශේෂඥ මානසික වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර, වාර්තාවක් කැඳවන ලෙස කෙරුණු ඉල්ලීමට අදාළ නියෝගය ලබන 10 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (4) ප්‍රකාශ කළේය.

ඒ, සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසම අද කැඳවූ අවස්ථාවේදීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ මෙලෙස කැඳවනු ලැබීය.

එහිදී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු මහතා මෝසම පිළිබඳ කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසුවේ, පෙර නියෝගයකට අනුව සැකකරු අධිකරණ මානසික වෛද්‍ය, පෝෂණවේදී සහ අක්ෂි වෛද්‍ය ඇතුළු විශේෂඥයින් වෙත ඉදිරිපත් කර තිබූ බවය.

ජනාධිපති නීතීඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු, 

“වෛද්‍ය මණ්ඩලය ඉදිරිපත් කළ වාර්තාවේ වෛද්‍යවරු කර තිබෙන නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මක වී නෑ. පෝෂණවේදී වෛද්‍යවරයා ඔහුට දිය යුතු ආහාර ලැයිස්තුවක් දීලා තිබෙනවා. විනාඩි 30ක් එළියට දාන්න කියලත් තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙලා නෑ. ඔහු අත්අඩංගුවට පත්වීමට පෙර මානසික රෝගී තත්ත්වයක් තිබුණේ නෑ. ඔහු දැන් දැඩි මානසිකව පීඩනය සහ කාංසාව වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරුවෙලා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු දිවි නසා ගැනීම වැනි ප්‍රවණතාවයකට යොමුවිමේ හැකියාව තිබෙන බවත් වෛද්‍යවරු සඳහන් කර තිබෙනවා. 

ස්වාමීනි… මේ සැකකරු මානසික වෛද්‍ය පරීක්ෂණයේදී සඳහන් කරලා තිබෙනවා ”මම ඉන්නේ අඩි හයයි හතරේ කාමරයක” කියලා. ඒවගේම ඔහු කියලා තියෙනවා… ”එතැන මීයන්ගෙන් කරදර තිබෙනවා. විදුලි පංකාවක් නෑ. සුදු පාට ඇඳුම් ඇඳගත්ත පිරිසක් ඇවිල්ලා මට ඇඳුම් ඉවත් කරන්න කිව්වා.
ඊටපස්සේ සියලු රැඳවියන් ඉදිරිපිට පරීක්ෂාවට ලක්කළා. මට අත් දිගු කරන්න කිව්වා. ඉතිරි දේවල් කියන්න ලැජ්ජයි. මම සතෙක්ද? අවුරුදු 37ක් රාජ්‍ය සේවයේ හිටපු නිලධාරියෙක්. මට නෝට් බුක් එකක් දෙන්නෙ නෑ. විමර්ශන නිලධාරීන් හොඳට සලකනවා. ඒක මට සහනයක්.”

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දැක්වීම සිදුකළේය.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්,

“ස්වාමීනි… මේ සැකකරුව සෑම බදාදා දිනයකම ඔහුගේ නීතිඥවරු හමුවෙනවා. බිරිඳ සහ දරුවා මුණගැසෙනවා. ඉතින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කරන ආකාරයට මේ සැකකරුට වධ හිංසා සිදුකරලා තිබුණා නම් ඔහු ඒ බව ඔවුන්ට ප්‍රකාශ නොකළේ ඇයි? මේක කුමන්ත්‍රණකාරී ලෙස ඉදිරිපත් කළ මෝසමක්. 

අද සුරේෂ් සලේගේ රිට් පෙත්සම අභියාචනාධිකරණයේ කැඳවනවා. ඒ නිසයි මේ මෝසම ඊයේ ඉදිරිපත් කළේ. ස්වාමීනි මේ මානසික වෛද්‍ය වාර්තාව සම්පූර්ණයෙන්ම මා ප්‍රතික්ෂේප කරනවා. මේ සැකකාර සුරේෂ් සලේ මේ වෛද්‍ය පරීක්ෂණයට මුහුණදීලා තිබෙන්නේ හඬමින්. 

ස්වාමීනි මේගොල්ලෝ බුද්ධි අංශ නිලධාරීන්. එහෙම පුද්ගලයෙක් හඬයිද ස්වාමීනි? මොහු පතෝල කරලක් නෙවෙයි. මොහු හොඳ රංගන ශිල්පියෙක්. ඔහුට ඔස්කාර් සම්මානය දෙන්න ඕනේ. 

ස්වාමීනී…. මේ පුද්ගලයාට අව පීඩනය, කාංසාව වැනි රෝගී තත්ත්වයන් තිබෙන බව වෛද්‍ය වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා. මේවා සාමාන්‍යයෙන් අපරාධකරුවෙකුට තිබෙන රෝගී තත්ත්ව. මේක නිර්මාණය කරපු වෛද්‍ය වාර්තාවක්. ඔහුට කිසිම රෝගයක් නෑ. ඇතැම් අය මේ පුද්ගලයාව සියදවි නසාගැනීමේ තත්ත්වයට පත්කරන්න උත්සාහ කරනවා… අපි ඒකට ඉඩ දෙන්නේ නෑ.”

සියලු පාර්ශ්වවල කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව යළි ලබන 10 වැනිදා කැඳවීමට නියෝග කළේය.

සමුද්‍ර විජය නෞකාව අධිකාරියට පත්කෙරේ…..

අමෙරිකා රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමිවූ ‘සමුද්‍ර විජය’ නෞකාව අධිකාරියට පත්කිරීමේ නිල උත්සවය අද (04) පස්වරුවේ පැවැත්වුණි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

දිගින් මීටර් 64ක් වන ”සමුද්‍ර විජය” නෞකාව ටොන් 1160ක බරින් යුතුය.

පැයට මුහුදු සැතපුම් 17.1ක වේගයෙන් යාත්‍රා කළ හැකි මෙම නෞකාව නාවික සැතපුම් 6000ක අඛණ්ඩ මෙහෙයුමක් වෙනුවෙන් භාවිත කළ හැකිය.

එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් 2025 දෙසැම්බර් 02 වන දින මෙම නෞකාව ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් භාර දෙන ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතා අනුව නවීකරණයෙන් අනතුරුව 2026 පෙබරවාරි මස 20 වන දින එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ  බැල්ටිමෝර්හි එක්සත් ජනපද වෙරළාරක්ෂක නෞකා අංගණයේ සිට කොළඹ බලා ගමන් ආරම්භ කෙරිණි.

මෙම නෞකාව නාවික හමුදාවේ මෙහෙයුම් හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි.

සමුද්‍රීය නිරීක්ෂණ කටයුතු, සෙවීමේ හා ගලවා ගැනීමේ මෙහෙයුම්, ධීවර සම්පත් ආරක්ෂාව, පාරිසරික නිරීක්ෂණ සහ ජාත්‍යන්තර සමුද්‍රීය නීති හා සම්මුතීන් බලාත්මක කිරීම සඳහා වැදගත් දායකත්වයක් මෙම නෞකාව මගින් ලබා දෙනු ඇති අතර,  විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව සහ කලාපය මුහුණ දෙන බරපතළ අභියෝගයක් වන මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් ජාත්‍යන්තර සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා අතිශයින් වැදගත් සම්පතක් වනු ඇත.

අභිනව නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

අනතුරුව  නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කළ ජනාධිපතිවරයා නෞකාවේ නිරික්ෂණ චාරිකාවකද නිරත වූ අතර, නාවික හමුදාපතිවරයා විසින් නෞකාවේ මෙහෙයුම් සූදානම, සැකසීම කි‍්‍රයාකාරිත්වය පිළිබඳව පිරිස දැනුවත් කරන ලදී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නෞකාවේ විශේෂ අමුත්තන්ගේ සමරු ග්‍රන්ථයේ සටහනක්ද තැබූ අතර නෞකාවේ අනුරුව සහිත සමරු තිළිණයක්ද ජනාධිපතිවරයා වෙනුවෙන් පිළිගැන්විණි.

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, ආර‍ක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර,  එක්සත් ජනපද වැඩබලන තානාපතිනි Jayne Howell, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී සහ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් Matthew House,ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ,  නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය  යන මහත්වරුන්ද, හිටපු නාවික හමුදාපතිවරු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාව එක්ව සිටියහ.

ලංකාවේ වසරකට ආබාධ සහිත දරු උපත් 5000ක්…..

ලංකාව තුළ සිදුවන ළදරු මරණවලින් 40%කට හේතුවී ඇත්තේ උපත් ආබාධ බවත්, මෙරට තුළ වසරකට 4,000ත් – 5,000ත් අතර ළමයි සංඛ්‍යාවක් උපත් ආබාධ සහිතව උපදින බවත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතයේ මහාචාර්ය කපිල ජයරත්න මහතා පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ ඇතැම් උපත් ආබාධ දරු ගැබ තුළදීම සොයාගැනීමට හැකියාවක් තිබුණද, රටේ පවත්නා නීතිය අනුව අපිට ඒ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය කපිල ජයරත්න මහතා,

“අවුරුද්දකට ලංකාවේ 4000ත් – 5000ත් අතර ළමයි සංඛ්‍යාවක් උපත් ආබාධ ඇතිව උපදිනවා. ලංකාවේ ළදරු මරණවලට 40%ක් හේතුවෙන්නේ උපත් ආබාධ.

වසරකට දරුවන් 2100ක් විතර මිය යනවා. ඒ පිරිසෙන් 700කට විතර හේතුව උපත් ආබාධ.

ගොඩක් දේවල් අපිට වළක්වන්න බෑ. ඇතැම් උපත් ආබාධ දරු ගැබ තුළදීම සොයාගන්න පුළුවන්. නමුත් රටේ පවත්නා නීතිය අනුව අපිට ඒ සඳහා කිසි දෙයක් කරන්න බැහැ. 

මිය යනවා යැයි හොඳින්ම දන්නා දරුවෙකු කුස තුළ තබාගෙන…මවත්, ඒ දරුවාත්, සෞඛ්‍ය පද්ධතියත්, පවුලත්, සමාජයත් විඳවනවා. හරිම සංවේදී තත්ත්වයක්. 

අපි ඉල්ලා සිටියේ මෙවැනි තත්ත්වයක් තහවුරු වුණු අවස්ථාවක, මවට අවශ්‍ය නම්, ඒ අයට දරු ගැබ නිමා කිරීමට අවස්ථාව උදාකරන්න කියලා” යැයි පැවසීය.

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 990,000 පනී……

මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 990,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව ජනවාරි පළමු දින සිට මැයි 24 දක්වා කාලය තුළ සංචාරකයින් 990,032ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 236,916ක් වේ.

එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

මේ අතර මැයි මස පළමු දින සිට 24 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 113,755දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

උතුරේ දන්සල් පැවැත්වීම ගැන පළ වූ අසත්‍ය පුවතක්…..

දන්සල් පැවැත්වීමට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

– උපුටා ගැනීම – 

පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතින, ” මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් තහනමක් පනවා ඇත” යන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත වේ.

එවැනි කිසිදු තීරණයක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් ගනු ලැබ නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවා සිදු නොවූ බවත් මහත් වගකීමෙන් යුතුව දන්වා සිටිමි.

දිගු කාලයක් තිස්සේ අපගේ ජන කොටස් අතර පවත්නා ජාතික හා ආගමික සංහිඳියාව විනාශ කිරීමටත්, ජනතාව අතර ව්‍යාකූලත්වය ඇති කිරීමටත් යන ද්වේෂ සහගත අරමුණින් ඇතැම් කොටස් විසින් මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති හිතාමතාම සෑදීමෙන් හා ව්‍යාප්ත කිරීමෙන් ක්‍රියා කරන බව පැහැදිලිය.

මෙම පහත් හා ද්වේෂ සහගත සමාජ මාධ්‍ය ව්‍යාපාරයට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එබැවින්, මෙවැනි පදනම් විරහිත ව්‍යාජ ප්‍රවෘත්ති විශ්වාස නොකරන ලෙසත්, ව්‍යාජ ප්‍රචාරයන්ට රැවටෙන්නේ නැතිව, ජාතික හා ආගමික සංහිඳියාව සහ සාමය ආරක්ෂා කරගනිමින් ජීවත් වන ලෙසත් සැමට ආදරයෙන් ඉල්ලා සිටිමි.

– උපුටා ගැනීම අවසන් – 

කොදෙව් සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිත නම් කෙරේ…..

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගවලින් සමන්විත පූර්ණ තරග සංචාරයක් සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිත අද (25) ප්‍රකාශයට පත්කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තෙරීම් කමිටුව විසින් නම්කළ මෙම සංචිතයන්හි එක්දින හා විස්සයි20 නායකත්වයට කුසල් මෙන්ඩිස් නම් කර ඇත.

එමෙන්ම නායක ධනංජය ද සිල්වා සුපුරුදු පරිදි මෙම තරගාවලියේද ටෙස්ට් නායකයා ලෙස කටයුතු කරනු ලබයි.

මෙම තරගවලියේ පළමුව එක්දින තරගාවලියත්, අනතුරුව විස්සයි-20 තරගාවලියත්, අවසාන වශයෙන් ටෙස්ට් තරගාවලියත් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම තරග සංචාරය සඳහා හෙට (26) බටහිර ඉන්දීය කොදෙව් බලා දිවයිනෙන් පිටත්ව යනු ඇත.

ප්‍රකාශයට පත් කරන ලද නිල සංචිත පහත පරිදි වේ,

ටෙස්ට් සංචිතය

ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා විසින් දරනු ලබන අතර, උපනායකයා ලෙස කමිඳු මෙන්ඩිස් කටයුතු කරයි.

පැතුම් නිස්සංක, ළහිරු උදාර, නිෂාන් මධුෂ්ක, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, කමිඳු මෙන්ඩිස් – (උපනායක), සොනාල් දිනූෂ, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා – (නායක), මිලාන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, ඉසිත විජේසුන්දර, කසුන් රාජිත
එක්දින සංචිතය 

එක්දින කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් වෙත හිමිව ඇති අතර, එහි උපනායකයා ලෙස කමිඳු මෙන්ඩිස් කටයුතු කරයි.

පැතුම් නිස්සංක, කමිල් මිෂාර, පවන් රත්නායක, කුසල් මෙන්ඩිස් – (නායක), ජනිත් ලියනගේ, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස් – (උපනායක), මිලාන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, එෂාන් මාලිංග, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්

විස්සයි20 සංචිතය

විස්සයි20 කණ්ඩායම සඳහා ද කුසල් මෙන්ඩිස් නායකත්වය ලබා දෙන අතර, කමිඳු මෙන්ඩිස් උපනායකයා ලෙස කටයුතු කරනු ඇත.

පැතුම් නිස්සංක, කමිල් මිෂාර, ලසිත් කෘස්පුල්ලේ, පවන් රත්නායක, කුසල් මෙන්ඩිස් – (නායක), කමිඳු මෙන්ඩිස් – (උපනායක), දසුන් ශානක, මිලාන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, එෂාන් මාලිංග, බිනුර ප්‍රනාන්දු,නුවන් තුෂාර.

තරග කාලසටහන

එක්දින

ජූනි 03 – පළමු තරගය සබීනා පාර්ක්
ජූනි 06 – දෙවන තරගය සබීනා පාර්ක්
ජූනි 08 – තෙවන තරගය සබීනා පාර්ක්

විස්සයි20

ජූනි 11 – පළමු තරගය සබීනා පාර්ක්
ජූනි 13 – දෙවන තරගය සබීනා පාර්ක්
ජූනි 14 – තෙවන තරගය සබීනා පාර්ක්

ටෙස්ට්

ජූනි 18 – 21 – සිව්දින තරගය CCG
ජූනි 25 – 29 – පළමු තරගය SVRS, ඇන්ටිගුවා
ජූලි 03 – 07 – දෙවන තරගය SVRS, ඇන්ටිගුවා

වාහන මිලත් හෙලවෙන ලකුණු……

වාහන ආනයනය සඳහා වූ අධිභාරය තාවකාලිකව ඉහළ නැංවීම සහ විනිමය අනුපාතයන්හි සිදුවන වෙනස්වීම් හේතුවෙන් වාහන මිල ගණන් තාවකාලිකව ඉහළ යෑමේ හැකියාවක් පවතින බව මහ බැංකුව සඳහන් කරයි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දකවමින් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් පැවසුවේ මෙවැනි තීන්දු තීරණ ගැනීමේදී අවම වශයෙන් දැනට ආනයනය කර ඇති වාහන සඳහා හෝ අවස්ථාවක් ලබා දිය යුතු බවය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උපසභාපති අරෝෂ රොද්‍රිගෝ  මහතා,

“මෙහෙම දෙයක් සාමාන්‍යයෙන් සෙන්ට්‍රල් බෑන්ක් එක කරන්නේ. දැන් මේ අවස්ථාවේ තියෙන අර්බුදය නිසා. දැන් ඇත්තටම කියනවා නම් මේ වගේ අර ලෝන් වැලිව් රේෂුව කියන එක අඩු කරපුවහම මනුස්සයෙකුට ගන්න පුළුවන් තමන්ගේ කැපෑසිටි එක අඩු වෙනවා. එහෙම නැත්නම් එයාගේ එෆෝඩබිලිටි එක අඩු වෙනවා. එතකොට ඒක අඩු වෙනවා කියන්නේ සෘජුවම ආනයනය පොඩ්ඩක් සීමා වෙනවා.”

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා,

“මනුස්සයෙක් වාහනයක් ගන්න කොට සීයට පනහ දක්වා ලීසිං ෆැසිලිටි එකක් තමයි මෙච්චර කල් දුන්නේ. ඒක එකපාරට සීයට හතළිහ කරලා. එකපාරට මෙහෙම ලෝන් ටු වැලිව් ඉරේස් එක වෙනස් කරපු ගමන් අපිට මේ වාහන විකුණගන්න බැරි වෙනවා. මේක ඇත්තට මං දන්නෑ ගවනර්ගේ අතින් වෙච්ච වැරදීමක් ද, මොකක්ද මේ කන්සෙප්ට් එක කියලා. ඇත්තටම මේවගේ ඩිෂිෂන්ස් ගන්නකොට අඩු ම තරමේ ගෙනාපු වාහන, එල්සී ඕපන් කරපු වාහන වලට මේ අවස්ථාව ලබා දෙන්න ඕන අපිට.” 

මහ බැංකුව විසින් ඊයේ (24) නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේ,  ලියාපදිංචි නොකළ වාහන සහ ප්‍රථම ලියාපදිංචියෙන් පසු මෙරට තුල වසරකට වඩා අඩු කාලයක් ලියාපදිංචි කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසීං පහසුකම් අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම ණය සහ වටිනාකම අතර අනුපාතිකයක් (LVT Ratios) පැනවීමට කටයුතු කරන බවය.

ඒ අනුව, සංශෝධිත උපරිම ණය සීමාවන් අනුව වාණිජ වාහන (Commercial Vehicles) සඳහා වාහනයේ වටිනාකමෙන් 60%ක් දක්වා පහළ දමා තිබේ.

එමෙන්ම මෝටර් රථ, SUV රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා වාහනයේ වටිනාකමෙන් 40%ක් දක්වා ඉහළ දමා ඇත.

ඒ අනුව ලියාපදිංචි නොකළ හෝ වසරකට වඩා අඩුවෙන් භාවිත කළ මෝටර් රථ, SUV සහ ත්‍රිරෝද රථ වැනි වාහන මිලදී ගැනීමේදී වාහනයේ වටිනාකමෙන් අවම වශයෙන් 60%ක මුදලක් ගැනුම්කරු විසින් දැරිය යුතුය.