චරිත් අබේසිංහගේ සජබ පක්ෂ සාමාජිකත්වය සහ සියලු තනතුරු අත්හිටුවයි……

අල්ලස් සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ සමගි ජන බලවේග හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.

එමෙන්ම ඒ මහතා විසින් මෙතෙක් දැරූ සියලු තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටද පක්ෂය තීරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කර ඇත්තේ 2023 වසර වන විට ඔහු පක්ෂයේ සාමාජිකයෙකු ලෙස හෝ සංවිධායකවරයෙකු ලෙස හෝ කටයුතු කර නොමැති අතර චරිත් අබේසිංහ මහතා එවකට සමගි ජනබලවේගයේ කිසිදු තනතුරක් ද නොදැරූ අයෙකු බවය.

කෙසේ නමුත් සමගි ජනබලවේගය කිසිදු විටෙක දූෂණයන්ට හෝ නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට සහ අධීකරණමය ක්‍රියාමාර්ග ගැනීමට විරුද්ධ නොවන බව අවධාරණය කරන බවද මහලේකම්වරයා අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

අගලවත්ත ප්‍රා.ස. උප සභාපති ඉල්ලා අස්වෙයි…..

අගලවත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ ඉන්දික ජයලත් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

සිය තීරණයට හේතු දක්වමින් සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව දැනුම්දී ඇත.

අගලවත්ත නාගරික සැලසුම අසාර්ථක කිරීම, අගලවත්තට අධිකරණ සංකීරණයක් ගෙන ඒම සහ නව පොලිස් ස්ථානය සඳහා අවකාශ ලබා නොදීම, යටියන ප්‍රදේශයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් පිහිටුවීම අසාර්ථකවීම, ආපදා කලමණකාකරණ ගොඩනැලිල්ල ඉවත් නොකිරීම යනාදී කරුණු රැසක් ඔහු එම ලිපියේ සඳහන් කර තිබේ.

එමෙන්ම මුදල් හා ප්‍රතිපත්ති කාරක සභාව සහ කාර්මික සේවා කාරක සභාවෙන් ඉල්ලා අස්වන බවද එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.

“ජනතා මනාපය මට ලබා දුන්නේ පෑගෙන පිඩිත පන්තිය විසිනි. ඔවුන්ගේ දහදිය කදුළු මත්තෙන් පැමිණි ගමන් මගේදී ඔවුන් වෙනුවෙන් මා හට දැනෙන වෙනසක් කළ නොහැක්කේ නම් පුටුව බදාගෙන සිටීම පාපයකි. 

මා මේ මොහොතේ සිට උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ එය ශාපයක් දක්වා දුර ගෙන යාම මගේ අභිප්‍රාය නොවන හෙයිනි. එහෙයින් අද සිට ක්‍රියාත්මක වෙන පරිදි මම, අගලවත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙමි” යනුවෙන් ඔහු එම ලිපියේ දක්වා ඇත.

යාපනයේ ඉඩම් නැවත පැවරීම කඩිනම් කෙරේ…..

යාපනය සහ පලාලි ප්‍රදේශවල ආරක්ෂක අංශ දැනට භාවිත කරනු ලබන රජයේ සහ පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන වැඩ පිළිවෙළෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වා තිබේ.

ඒ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

ඉඩම් සම්බන්ධ ගැටලු පිළිබඳ මීට පෙර පවත්වන ලද සාකච්ඡාවල අඛණ්ඩ පියවරක් ලෙස මෙම සාකච්ඡාව පවත්වා ඇති බවද සඳහන්.

මෙහිදී වත්මන් ප්‍රගතිය සමාලෝචනය කර ඇති අතර ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා රජය දරන උත්සාහයන් කඩිනම් කිරීම, සමාජීය මෙන්ම ආර්ථිකමය වර්ධනයට සහාය වීම සහ කලාපීය පරිපාලන යාන්ත්‍රණයන් සමඟ සම්බන්ධීකරණයෙන් යටිතල පහසුකම් සංවර්ධනය විධිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.

මෙම මුලපිරීම් ජාතික සංහිඳියා ක්‍රියාවලියට නැවත පදිංචි කිරීම් සඳහා වැදගත් පියවරක් ලෙස ද සැලකේ.

එමෙන්ම සාකච්ඡාව අතරතුර, සීමා නිර්ණයන් අවසන් කිරීම, වන්දි ගෙවීමේ ක්‍රියාවලින් කඩිනම් කිරීම සහ හඳුනාගත් ඉඩම් කොටස් ඒවායේ නීත්‍යානුකූල අයිතිකරුවන්ට නැවත පැවරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් කෙරෙහි විශේෂ අවධානය යොමු ව ඇත.

එහිදී රැස්වීම ඇමතූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, පසුගිය මාසයේ යාපනය අර්ධද්වීපයේ ප්‍රධාන ස්ථාන කිහිපයක සිදු කළ ක්ෂේත්‍ර සංචාරයේදී නිරීක්ෂණය වූ කරුණු පැහැදිලි කර ඇති අතර, එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුව ඇත්තේ දැනට ආරක්ෂක අංශ භාවිතයේ පවතින ඉඩම පිළිබඳවය.

පවතින අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට සහ අදාළ සියලුම ආයතන අතර ඵලදායී සම්බන්ධීකරණයක් සහතික කරමින් මෙම ක්‍රියාවලිය තවදුරටත් කඩිනම් කිරීම සඳහා ප්‍රායෝගික පියවර හඳුනා ගැනීමට ද අදාළ රාජ්‍ය පාර්ශ්වකරුවන්ට මෙම රැස්වීමේදී අවස්ථාව ලැබී ඇත.

එමෙන්ම අදාළ ඉඩම් නීත්‍යානුකූල අයිතිකරුවන් වෙත නිදහස් කිරීම ජාතික ආරක්ෂක මණ්ඩලය මඟින් අවසන් කිරීමට ද එකඟතාවය පළ වී ඇත.

මෙම රැස්වීම සඳහා ආරක්‍ෂක ලේකම්, යුද සහ ගුවන් හමුදාපතිවරුන්, යාපනය දිස්ත්‍රික් ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද සහ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

රටේ ආරක්ෂාව වෙනුවෙන් උරදුන් සියලුදෙනා වෙනුවෙන් පෙනී සිටින බව ජනපති කියයි…..

ශ්‍රී ලංකා රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් ගනු ලැබූ කුමන හෝ පියවරක් වෙනුවෙන් රජයක් ලෙස පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා මෙරටින් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද හමුදා සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ට සුබපැතුම් එක් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

“මේ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අපේ රට වෙනුවෙන් දිගුකාලීන විශිෂ්ට සේවාවක් ඉටු කර තිබෙනවා. ඇතැම් විට එම සේවාව පිළිබඳ ජාත්‍යන්තරවත්, දේශීයවත් යම් ප්‍රමාණයකට සැක මුසු තැන් තිබෙන බව වාර්තා වී තිබෙනවා. එහෙත් මම ඔබට කියන්න කැමතියි සාමාන්‍ය හමුදා සොල්දාදුවාගේ සිට හමුදාපතිවරයා දක්වාත්, පොලිස් කොස්තාපල්වරයාගේ සිට පොලිස්පතිවරයා දක්වාත් මේ රටේ ආරක්ෂාව වෙනුවෙන්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්, රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් කුමන හෝ පියවරක් ගෙන තිබෙනවා නම් ඒ සෑම පියවරක්ම ආරක්ෂා කිරීමට අපි රජයක් ලෙස බැඳී සිටිනවා. 

කිසිවෙක්, කොතැනකදී හෝ රටේ ආරක්ෂාව වෙනුවෙන්, ජනතාවගේ නිදහස වෙනුවෙන්, රජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් කාර්යයන් ඉටු කර තිබෙනවා නම් එම කාර්යයන්ට උරදුන් ඒ සියලු දෙනා ආරක්ෂා කිරීමේ වගකීමක් අපිට තිබෙනවා. හැබැයි ඒ හා සමාන ලෙසම හමුදාවන් සතුව තිබෙන කීර්තියද පසෙකලා හමුදාව සතුව තිබෙන වගකීම්ද පසෙකලා යම් කුඩා කණ්ඩායම්වල බල වුවමනා වෙනුවෙන් හමුදාවට උචිත නොවන දේ, අපේක්ෂා නොකරන දේ සිදු කර තිබෙනවා නම් හමුදාවේ කීර්තිය, වින්දිතයන්ගේ ආරක්ෂාව සහ රටේ අභිමානය වෙනුවෙන් අපි ඔවුන් පිළිබඳ ක්‍රියා කිරීමට සූදානම්.

පුද්ගලික පළිගැනීම් හෝ පුද්ගලික හඹා යාම් නොවේ. යම් කණ්ඩායමක බල වුවමනා වෙනුවෙන් හමුදාවේ ගෞරවය, වටිනාකම සහ රාජ්‍යය සහ ජනතාව කෙරෙහි බැඳීම අත්හැර වැඩකටයුතු කර තිබෙනවා නම්, හමුදාවේ ගෞරවය සහ කීර්තිය වෙනුවෙන්ම එය පරීක්ෂණ කර විභාග කර සමාජයට හෙළිදරවු කළ යුතුයි. ඒ අනුව තමයි අපේ ගෞරවය රඳා පවතින්නේ. සිදු වී ඇති අපරාධ වැලිවලට යට ගසා වැළලීමෙන් නොවෙයි.”

පොලිසියට ගන්න ගිය SIලා 100න් 19කට අනීතිකව ලකුණු දීලා – ඇමති විජේපාල…..

උප පොලිස් පරීක්ෂකවරු ලෙස බඳවාගත් 100 දෙනෙකු මේ වනවිට පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලබමින් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, 2024 වසරේ තෝරාගත් 100 දෙනාගෙන් 19 දෙනෙකු අනීතිකව තෝරාගෙන තිබූ නිසා නැවත පරීක්ෂණ සිදු කිරීමට සිදුවූ බවය.

අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“2024 වසරේ උප පොලිස් පරීක්ෂකවරු බඳවා ගැනීම ඇමති විදියට මම නතර කළා කිව්වා. ඔව් බඳවා ගැනීමට සූදානම් කර තිබූ උප පොලිස් පරීක්ෂකවරු 100ක් බඳවා ගැනීම නතර කළා.” 

“පැමිණිලි 17ක් ආවා. ඒවා විමර්ශනය කළා. සමහරු නඩු දැම්මා.” 

“පැමිණිලි 17න් කියවුණේ අපි බලයට පත්වෙනකොට මේ තෝරාගෙන තිබූ කණ්ඩායමේ යම් ප්‍රමාණයක් අනීතික ලෙස තෝරාගෙන තිබෙන බව. සහතික නැතුව ලකුණු දීලා තියෙනවා කියලා.” 

“අපි කමිටුවක් දැම්මා. ගැඹුරින් විමර්ශනය කළා. තීන්දුවක් දුන්නා. උප පොලිස් පරීක්ෂකවරු 19ක් ඉන්නවා අනීතික ලෙස තෝරාගත් අය.. සහතික නැතුව ලකුණු දීලා තෝරාගත් අය කියලා.”

“ඒ අනුව අපි නැවත මුල සිට 2500ක් සම්මුඛ පරීක්ෂණවලට භාජනය කරලා සුදුසුකම් ලත් 100ක් තෝරා ගත්තා. මුල් 100 දෙනාගෙන් 19ක් ඉවත් වෙලා සාධාරණ ලෙස තව 19ක් එකතු වුණා.”

“ඒ 100ය බඳවාගෙන දැන් පොලිස් විද්‍යාලයේ පුහුණුව ලබමින් ඉන්නවා.”

චරිත්, රඛිත සහ අරුණ අල්ලස්වලින් දේපළ අත්පත් කරගත්තාදැයි විමර්ශන……

රැඳවුම් භාරයේ සිටි නඳුන් චින්තක නොහොත් හරක්කටා නමැත්තාට සහන සැලසීමටයැයි පවසා අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 1,200ක මුදලින් චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා සුඛෝපභෝගී වාහන සහ දේපළ මිලදීගෙන ඇත්දැයි සෙවීමට විමර්ශන ක්‍රියාත්මක බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා ඊයේ (25) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

මෙහිදී සැකකරුවන්ට දරුණු රෝගී තත්ත්ව ඇති බව පවසමින් ඔවුන්ගේ නීතිඥයින් ඇප ඉල්ලා සිටියද, එම ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ අධිකරණය සැකකරුවන් තිදෙනා ජූලි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක්කටා’ 2023 වර්ෂයේ රැඳවුම් භාරයේ සිටියදී ඔහුට සහන සැලසීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 1200ක අල්ලස් අත්තිකාරමක් ලබාගත්තේ යැයි වූ චෝදනාවක් සම්බන්ධයෙන් එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, වත්මන් හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ අරුණ වරුණහැන්දිගේ යන සැකකරුවන් ඊයේ (25) පෙරවරුවේ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්විය.

අනතුරුව සැකකරුවන් තිදෙනා ඊයේ (25) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර නීති අධ්‍යක්ෂ අනූෂා සම්බන්දප්පෙරුම මහත්මිය කරුණු දැක්වූවාය.

” ස්වාමිනි, මේ විමර්ශනය ආරම්භ කළේ අල්ලස් කොමිසමට ලද නිර්නාමික පැමිණිල්ලකට අනුවයි. මේ සිදුවීම ආරම්භ වෙන්නේ මේ පළමු සැකකාර චරිත් අබේසිංහ නැමැත්තා හරක් කටාගේ සමීප හිතවතෙකු වන ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැත්තාට ලබාදුන් දුරකථන ඇමතුමකට අනුවයි. මේ සැකකරු හර්බි නැමැත්තාට කියා තිබෙනවා රැඳවුම් භාරයේ සිටින හරක් කටාටත් මදුෂ්ට වුනදේම වෙන්න පුළුවන් එය වළක්වන්න සහ බුස්ස බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයකට මාරු කරන්න හැකියාව තිබෙනවා කියලා. ඒ නිසා හරක් කටාගේ බිරිඳ සමඟ ඩීල් එකක් දාලා දෙන්න කියලා මොහු හර්බි නැමැත්තාගෙන් ඉල්ලා තිබෙනවා. මේ කෝල් එකෙන් පසුදින ඒ කියන්නේ 2023 මාර්තු 25 චරිත්,රඛිත සහ අරුණ යන මේ සැකකරුවන් තිදෙනාම ඩුබායි රාජ්‍යට යනවා. පසුව හර්බි හරහා හරක්කටාගේ බිරිඳ වන මදුෂානි නැමැත්තියව සම්බන්ධ කරගන්නවා. පසුදින හර්බිගේ නිවසේදී මේ තිදෙනා හරක්කටාගේ බිරිඳ වන මදුෂානි නැමැත්තිය හමුවෙනවා. ඒම අවස්ථාවට මිදිගම රුවන් නැමැත්තාත් සම්බන්ධවෙලා තියෙනවා. පළමුව මොවුන් හරක් කටාගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 5000ක් ඉල්ලනවා. ඇය ළඟ එතරම් මුදලක් නැහැ කියූ නිසා එය රුපියල් ලක්ෂ 2000ට අඩුකරලා ලක්ෂ 1200ක් අත්තිකාරමක් ලෙස ඉල්ලනවා. ඩුබායි රාජ්‍යයේ මොවුන් රැඳී සිටි තුන්වන දිනයේදී තමයි හරක් කටාගේ බිරිඳ විසින් ලක්ෂ 1000ක මුදලක් හර්බිගේ නිවසේදී මොවුන්ට ලබාදී තිබෙන්නේ. මොවුන් ඉතුරු ලක්ෂ 200 ඉල්ලපුවාම හරක් කටාගේ බිරිඳ කියලා තියෙනවා රත්තරන් බඩු විකුණලා දින කිහිපයකින් එම මුදල ලබාදෙන්නම් කියලා. පස්සේ දින කිහිපයකින් මිදිගම රුවන් හර්බිට ඒ සල්ලිත් ගිහින් දීලා තියෙනවා. මේ සැකකරුවන් තිදෙනා ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි දින කිහිපයේ ඉදලා තියෙන්නේ මේ සැකකාර රඛිත නැමැත්තාගේ ඥාතී නිවසක. ඒ ඥාතියා තමයි පසුව දුන් මුදල් හර්බිගෙන් අරගෙන තියෙන්නේ. මේ සියලු ගනුදෙනු වෙලා තියෙන්නේ ඩිරාම් මුදල් ඒකකයෙන්. කොහොම නමුත් මේ මුදල් දීලා කෙටි කාලයක් ගතවෙද්දි පොරොන්දු ඉටු නොකිරීම නිසා මදුෂානි නැමැත්තිය හර්බිට කියලා තියෙනවා යළි මුදල් ඉල්ලලා දෙන්න කියලා. හර්බි චරිත්ගෙන් Call කරලා මුදල් ඉල්ලපුවාම චරිත් කියා තිබෙනවා මං ළඟ තියෙන්නේ ලක්ෂ 200යි, ලක්ෂ 1000ක් තියෙන්නේ රඛිත ළඟ. අපි සල්ලි ගත්තේ මරණය වළක්වන්න. දැනට ඒකවෙලා නැහැ. ගනුදෙනුව අවසන් කරන්න ඉතුරු ලක්ෂ 800 දෙන්න කියලා. මේ දුරකථන සංවාදය හර්බි පටිගත කර තිබී අල්ලස් කොමිසමට ලබාදුන්නා.

කොහොම නමුත් පසු අවස්ථාවක මේ චරිත් නැමැත්තා ලක්ෂ 200ක මුදලක් මෑතකදී මියගිය මිදිගම ලසන්ත මාර්ගයෙන් හර්බි හරහා හරක්කටාගේ බිරිඳට යවා තිබෙනවා. මේ සිදුවීම පිළිබඳ හරක් කටාගේ බිරිඳ මදුෂානි නැමැත්තිය ලිඛිතව පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබෙනවා. ඒ වගේම හර්බි නැමැත්තා දිවුරුම් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. විමර්ශන නිලධාරින් රැඳවුම් භාරයේ සිටින නදුන් චින්තක හෙවත් හරක් කටාගෙන් සහ මිදිගම රුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙනත් තියෙනවා. මේ මුදල්වලට කුමක්ද සිදුවූයේ කියා වැඩිදුර විමර්ශන කළ යුතුයි.

දැනට අනාවරණය ඇති ආකාරයට මේ තෙවන සැකකරු තමයි උන්ඩියල් ක්‍රමයට අදාළ මුදල් ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. අදාළ කාලයේදී පළමු සහ දෙවන සැකකරුවන් සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම් සහ නිවාස ඉදිකිරීම් සිදුකර ඇති බැවින් ඒ පිළිබඳවද විමර්ශකයින්ගේ අවධානය යොමු වී තිබෙනවා.”

මෙහිදී සහකාර නීති අධ්‍යක්ෂවරිය හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන්ද කරුණු අනාවරණයක් සිදු කළාය.

” ස්වාමිනි මේ සිදුවීම ගැන අනුප එරංජිත් නැමැත්තෙක් සයිබර් නිව්ස් කියන සමාජ මාධ්‍ය වෙබ් අඩවිය හරහා මුල්වරට අනාවරණයක් කර තිබෙනවා. නමුත් මේ සැකකාර රඛිත රාජපක්ෂගේ පියා එවකට නීතිපතිවරයාට පැමිණිල්ලක් කරලා තියෙනවා අදාළ පුද්ගලයා අසභ්‍ය වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා කියලා. පසුව ඒ පුද්ගලයාට එරෙහිව බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තාවීමකුත් වෙලා තියෙනවා. මේ හරහා ඒ පුද්ගලයාට යම් බලපෑමක් වී ඇති බවයි විමර්ශන නිලධාරින්ගේ මතය.”

අනතුරුව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටී නීතිඥයින් සිය සේවාදායකයින් වෙනුවෙන් දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාරව සුවිශේෂි කරුණු දක්වමින් ඇප ඉල්ලා සිටියහ.

එහිදී පළමුව සැකකාර රඛිත රාජපක්ෂ වෙනුවෙන් පළමුව ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු දැක්වූවේය.

” ස්වාමිනි, මගේ මේ නඩුවේ කරුණු බලපු ගමන් පේනවා මේ කරුණු බොරු කියලා. අල්ලස් කොමිසම විතරයි මේවා විශ්වාස කරන්නේ. මගේ සේවාදායකයා නිර්දෝෂයි. ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කළහොත් ඔහුගේ වෘත්තීමය කටයුතුවල නිරතවීමට නොහැකිව සේවාදායකයෝ වෙනුවෙන් නඩුවලට පෙනී සිටිමට නොහැකිවෙනවා. ඒ වගේම මොහු Sleep apnea නැමැති රෝගයෙන් පෙළෙනවා. බන්ධනාගාරය තුළ ඊට ප්‍රතිකාර නොමැති බැවින් මොහු රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළ මරණය හෝ ජීවිත අවදානමක් ඇතිවිය හැකියි. එබැවින් මෙම කරුණු සලකා බලා මගේ සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.”

මෙහිදී නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව වෙනුවෙන් යැයි පවසමින් කරුණු දැක්වීමක් සිදු කළේය.

“සාමාන්‍යයෙන් පැමිණිල්ලක් ආපුවාම ඇවිල්ලා ප්‍රකාශයක් දෙන්න කියලා දැනුම්දීමක් කරනවා. නමුත් මෙතනදී ඒ මුකුත් නැතුව හමුදාවෙන් පනිනවා වගේ පැනලා නීතිඥවරයෙකුව බෙල්ලෙන් අල්ලන් ආවා. ඒකද කළු කෝට් එකට තියෙන වටිනාකම. මේක අපේ අභිමානය පිළිබඳ ප්‍රශ්නයක්. සමස්ත නීතිඥ ප්‍රජාවේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක්. අපිට වරප්‍රසාද ඕනේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව වෙනුවෙන් මම මේ කියන්නේ. ශ්‍රී ලංකාවේ නීතිඥවරු 28,000ම මේ වෙනුවෙන් හිටගන්නවා.” 

අනතුරුව සැකකාර චරිත අබේසිංහ වෙනුවෙන්ද නීතිඥවරයෙක් ඇප අයැද සිටියේය.

” ස්වාමිනි, මගේ සේවාදායකයාට එරෙහිව සාක්ෂි ලබාදෙන සාක්ෂිකරුවන්ගේ විශ්වාසනීයභාවය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඔවුන් අපරාධවලට සම්බන්ධව රැඳවුම් භාරයේ සිටින්නන්. එක්කෝ ඔවුන් තමන්ගේ රැඳවුම් නියෝගයෙන් මිදෙන්න මෙහෙම ප්‍රකාශ කරන්න පුළුවන්, නැතිනම් පොලිසියේ වුවමනාව මත මෙවැනි ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම ස්වාමිනි මගේ සේවාදායකයා දරුණු හෘද රෝගී තත්ත්වකින් පෙලෙනවා. ඔහුට ස්ටෙන්ට් 03ක් දාලා තව 05ක් දාන්න තියෙනවා. 60 පැනපු පුද්ගලයෙකුට එන සියලු රෝග අවාසනාවන්ත ලෙස තරුණ වයසේදීම මොහුට තියෙනවා. එබැවින් මොහු රක්ෂිත බන්ධනාගාරගත කිරීම මොහුගේ ජීවිතයට අවදානමක් ඇති කළ හැකියි.”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ කරුණු දැක්වීම් ඇප ලබාදීමට තරම් සුවිශේෂි කරුණු නොවන බව දක්වමින් සැකකරුවන් ජුලි 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ මෙවැනි සිදුවීමකට අදාළව සිය සාමාජිකයෙකු අත්අඩංගුවටගෙන ඇති අවස්ථාවක සංගමයේ කාර්යභාරය වන්නේ අදාළ නෛතික ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීම හා ඉදිරි පියවර පිළිබඳ සංගමයට වාර්තා කිරීම පමණක් බවය.

මෙම ක්‍රියාමාර්ගය අතරතුර නීතිඥ සංගමය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට නීතිඥ සංගමයේ විධායක කමිටුව කිසිදු නීතිඥවරයෙකුට බලය පවරා නොමැති අතර සැකකාර නීතිඥවරයා වෙනුවෙන් කිසිඳු නියෝජනයක් කිරීමට නීතිඥ සංගමය තීරණය කර නොමැති බවද එම නිවේදනයේ සඳහන්ය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකුට මෙරටින් පලායෑම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූට ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අද (26) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාළවය.

සැකකරු වයස අවුරුදු 41ක් වන පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා වශයෙන් සේවය කරන ලද කාලය තුළ මෙම අපරාධය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අපරාධ, රථවාහන, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන දිසාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා විමර්ශනයක ප්‍රථිපලයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි

සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි අධිකරණයට…..

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් නිලධාරියෙකුට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරු වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (25) බදුල්ල අධිකරණයට හමුවට පැමිණියේය.

ඔන්ලයින් ව්‍යාපාර නියාමනය කළ යුතු බව ඇමති වසන්ත සමරසිංහ කියයි…..

මාර්ගත ක්‍රමවේදයන් ඔස්සේ සිදු කරනු ලබන ව්‍යාපාර නිසි ලෙස නියාමනය කළ යුතු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ 09 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමිනි.

අන්තර්ජාල වෙළෙඳපොළ හරහා සිදුකෙරෙන ඇතැම් ව්‍යාපාර නිසි පරිදි ලියාපදිංචි නොවීම සහ බදු නොගෙවීම නිසා, නීත්‍යානුකූලව බදු ගෙවන ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවයට පත්වන බව ද ඔහු සඳහන් කළේය.

පසුගිය කාලයේ මෙවැනි අවධිමත් ක්‍රම ඔස්සේ ඩොලර් මිලියන 780ක් වැනි විශාල මුදලක් රටින් පිටවී ඇති බව නිරීක්ෂණයවී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දැනට රටේ ලියාපදිංචිවී ඇති ව්‍යාපාර ප්‍රමාණය 65,000ක් පමණ යැයි උපකල්පනය කළ හැකි වුවත්, ඇතැම් විශාල සමාගම් සතු නියෝජිතයන් සහ බෙදාහරින්නන් ප්‍රමාණය ලක්ෂ දෙකකට වඩා අධික බව වසන්ත සමරසිංහ මහතා කීය.

ඉන් ගමේ කුඩා සිල්ලර කඩයේ සිට ජාතික මට්ටමේ B2C ව්‍යාපාර දක්වා විශාල පිරිසක් නිසි පරිදි ලියාපදිංචි වී නොමැති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

සිල්ලර වෙළෙඳාම යනු විශාල වශයෙන් සේවා හා රැකියා උත්පාදනය කරමින් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් සපයන ප්‍රධාන ක්ෂේත්‍රයකි.

එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කරන අතර, මිලියන දෙකකට ආසන්න පිරිසකට රැකියා අවස්ථා උදාකරදී ඇති බව වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනපති අනුර ප්‍රංශ සංචාරයකට සැරසෙයි…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජුලි මස 16 වනදා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

එම සංචාරය අතරතුරදී, ලෝකයේ ප්‍රමුඛ නාවික ප්‍රවාහන සමාගමක් වන CMA CGM ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රොඩොල්ෆ් සාදේ මහතා සමඟ ජනාධිපතිවරයා හමුවක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා ප්‍රකාශ කළේය.

ප්‍රංශ ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට දැඩි උනන්දුවක් පවතින බවද තානාපතිවරයා සඳහන් කළේය.

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ප්‍රංශ තානාපතිවරයා ප්‍රමුඛ ප්‍රංශ ආයෝජකයින් කණ්ඩායමක් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

ආයෝජක කණ්ඩායමේ ප්‍රධානත්වය දැරූ CMA CGM ආයතනයේ ප්‍රධාන නියෝජ්‍ය සභාපතිනි ක්‍රිස්ටීන් කැබෝ මහත්මිය සඳහන් කළේ, තම සමාගම ලෝකයේ ප්‍රධාන වරායන්හි බහාලුම් පර්යන්ත 65කට වැඩි සංඛ්‍යාවක හිමිකාරීත්වය දරන ප්‍රමුඛ පෙළේ පර්යන්ත මෙහෙයුම් සමාගමක් බවයි.

කොළඹ වරායේ උපාය මාර්ගික පිහිටීම හේතුවෙන් බහාලුම් ප්‍රතිඅපනයන කටයුතු පුළුල් කිරීමට විශාල හැකියාවක් පවතින බවත්, හවුල් ව්‍යාපාර ආයෝජන හරහා බහාලුම් ප්‍රවාහන පරිමාව වැඩි කිරීමට අවධානය යොමු කරන බවත් ඇය පැවසුවාය.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ දෙවන අදියර ව්‍යාපෘතිය පිළිබඳවද තම සමාගම අධ්‍යයනය කරමින් සිටින බව ඇය සඳහන් කළාය.

මේ වන විට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට පැමිණෙන බහාලුම්වලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් CMA CGM සමාගම සතු වන අතර, එම ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීමට හැකියාව පවතින බවද ක්‍රිස්ටීන් කැබෝ මහත්මිය ප්‍රකාශ කළාය.

එමෙන්ම තම සමාගම සතු ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශයේ හැකියාවන් භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහාය ලබාදීමට සූදානම් බවද ඇය සඳහන් කළාය.

කොළඹ වරායේ උපාය මාර්ගික වැදගත්කම හඳුනාගෙන ආයෝජන අවස්ථා පිළිබඳ අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ආයෝජක කණ්ඩායමට සිය ස්තූතිය පළ කළේය.

කොළඹ වරාය ඉන්දියානු සාගර කලාපයේ ලෝක මට්ටමේ ප්‍රධාන නාවික මධ්‍යස්ථානයක් බවට පත් කිරීම රජයේ ඉලක්කය බවත්, ඒ සඳහා සහයෝගය ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

අදාළ සාකච්ඡාව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති අතර, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.