පින්නවල අලි අනාථාගාරය අලි පර්යේෂණ සහ අභිජනන මධ්‍යස්ථානයක් කිරීමට සැලසුම්…..

පින්නවල අලි අනාථාගාරය අලි පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙසත් අලි අභිජනන මධ්‍යස්ථානයක් ලෙසත් සංවර්ධනයට කිරීමට ඉදිරියේදී බලාපොරොත්තුවන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිගේ මහතා පවසා තිබේ.

අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළකළේ කොළඹදී අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

මේ අතර සංස්කෘතික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් යොදා ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී කමිටුවක් පත්කර නිසි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.

රිදියගම සෆාරි උද්‍යානයේ සමනල උද්‍යානය අලුත් වෙයි…..

හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යානයේ පැවති සමනල උද්‍යානය නවීකරණය කර එළැඹෙන ජුනි 3වැනිදා සිට යළි මහජන ප්‍රදර්ශනයට විවෘත කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.

නිසි ලෙස නඩත්තු නොවීම හේතුවෙන් මෙම උද්‍යානය කලක සිට අක්‍රීය තත්ත්වයක පැවතුණි. ඒ හේතුවෙන් පරිසර දිනය නිමිත්තෙන් එය නවීකරණය කර මෙලෙස විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

අද (25) පැවති මාධ්‍ය හමුවකදී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා මෙම කරුණු අනාවරණය කර සිටියේය.

සමනලුන්ට විශේෂිත පැළෑටි වර්ග රෝපණය කිරීමෙන් එය අලංකාරවත් ලෙස නැරඹීමට අවස්ථාව උදාකර ඇති බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

මෙරට තුළ සමනලුන් වර්ග 248ක් වාර්තා වී ඇති අතර, ඉන් ශ්‍රී ලංකාවට අවේණික සමනලුන් වර්ග 31ක් සිටින බව ඒ මහතා පැවසීය.

ඉන් හම්බන්තොට සෆාරි උද්‍යානය පිහිටි සමනල උයන ආශ්‍රිතව සමනලුන් වර්ග 60ක් පමණ වාර්තා වී ඇත.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා,

“වැඩි සමනලුන් ගණනාවක් ආකර්ෂණය කරගනිමින් ඉතා අලංකාරවත් ලෙස නරඹන්නන් වෙත හඳුන්වාදීමට සූදානම් කර තියෙන්නේ.

ඒත් එක්කම අපි ගිය මාසයේදී අලුතෙන් විවෘත කළා ‘නිදහස් පක්ෂි අරණක්. දේශීය සහ විදේශීය පක්ෂීන් ගණනාවක් මෙම පක්ෂි අරණ තුළ නිදහසේ ජීවත් වෙනවා. 

අපට කූඩුවක් තුළ ඉන්න පක්ෂීන් වෙනුවට නිදහස් පරිසරයක ඉන්න පක්ෂීන් නැරඹීමට මෙහි අවස්ථාව ලැබෙනවා. 

ඒ අනුව මෙම පක්ෂි අරණත් මෙම සමනල උද්‍යානයත් අතර මුළු කලාපයම, පාරිසරික කලාපයක් විදිහට හඳුන්වාදීම තමයි මෙවර පරිසර දිනයේදී අපි විශේෂයෙන්ම ක්‍රියා කරන්නේ” යැයි පැවසීය.

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 990,000 පනී……

මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 990,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව ජනවාරි පළමු දින සිට මැයි 24 දක්වා කාලය තුළ සංචාරකයින් 990,032ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 236,916ක් වේ.

එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

මේ අතර මැයි මස පළමු දින සිට 24 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 113,755දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

ලංකාවට එන මාලදිවයින් ජාතිකයින්ට ‘ETA’ අනිවාර්ය කරයි…..

සංචාරක අරමුණු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම මාලදිවයින් ජාතිකයින්ට එළැඹෙන මැයි 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව වීසා බලපත්‍ර රෙගුලාසියක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව මාලදිවයින් වැසියන් ශ්‍රී ලංකාව බලා පැමිණීමට පෙර ‘eta.gov.lk’යන වෙබ් අඩවිය හරහා විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ලබා ගැනීම අනිවාර්ය වේ.

මාලදිවයිනේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා සිටියේය.

කෙසේ වුවද මෙම පද්ධතිය හරහා ලියාපදිංචිවන මාලදිවයින් ජාතිකයින්ට දින 90ක සංචාරක වීසා අවසරයක් සම්පූර්ණයෙන්ම නොමිලේ හිමිවන බවද එම නිවේදනයේ දැක්වේ.

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට…..

හදිසි ජලගැලීම් හේතුවෙන් සීමා කරනු ලැබූ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ.

ඒ අනුව අද (14) පස්වරුවේ සිට පුත්තලම් මාර්ගයේ දුම්රියයන් නියමිත කාලසටහනට අනුකූලව ධාවනය කරනු ලැබේ.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගය, තිල්අඩිය ප්‍රදේශයේදී ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීම හේතුවෙන් ඊයේ (13) පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දක්වා සීමා කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

ගංවතුර බැස යාමත් සමඟ අද (14) පස්වරු 03.00 සිට පුත්තලම මාර්ගයේ ධාවනය නැවතත් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

මැයි ගෙවුණු දින 10ට සංචාරකයින් 46,606ක් මෙරටට ඇවිත්…..

මැයි මාසයේ මුල් දින 10 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 46,606ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 18,533ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 40%ක් වේ.

එමෙන්ම, චීනයෙන් 3,472ක්, එක්සත් රාජධානියෙන් 2,517ක්  සහ ඔස්ට්‍රේලියාවෙන් 2,441ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

තවද, 2026 ජනවාරි 01 සිට මැයි 10 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 922,883ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අතරින් ඉන්දියාවෙන් 208,451ක්, රුසියාවෙන් 74,628ක් සහ එක්සත් රාජධානියෙන් 91,362ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.

යාල්දේවී දුම්රිය හෙට සිට නැවත ධාවනය ආරම්භ කරයි……

කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවී දුම්රිය හෙට (11) දින සිට නැවත ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ගමන් කරනු ඇත.

කන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා යාල් දේවී දුම්රිය ධාවනය කරනුයේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනවල පමණය.

වායු සමනය කළ පළමු පංතියේ මැදිරි 04කින් මෙම දුම්රිය සමන්විත වේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් හෝ ආසන වෙන්කිරීමේ පහසුකම සලසා ඇති දුම්රිය ස්ථානයකට පැමිණීමෙන් ප්‍රවේශ පත්‍ර වෙන්කරගත හැකිය.

හෙට සිට ශ්‍රී ලංකා – වියට්නාම ඍජු ගුවන් ගමන් සේවා…….

වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් රාජ්‍ය සංචාරයක් සඳහා අද (07) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඒ, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 55වන සංවත්සරය සැමරීම සඳහා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 වසරේ සිදු කළ එරට සිදු කළ රාජ්‍ය සංචාරයේදී කළ ආරාධනාවට අනුවය.

වත්මන් රජය යටතේ ආර්ථික ස්ථාවරභාවය ළඟා කර ගනිමින් ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරමින් සිටින මොහොතක මෙම සංචාරය සිදු වීම විශේෂත්වයක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

වියට්නාම් ජනාධිපතිවරයකු මෙරට සංචාරයේ නිරත වන්නේ වසර 15කට පසුවවීමත් විශේෂත්වයකි.

ලෝකයේ ප්‍රධාන නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් වර්තමානයේ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන් අතර ඉදිරියෙන්ම සිටින රාජ්‍යයක් වන වියට්නාම්හි ශක්තිමත් දේශපාලන සහ ආර්ථික දර්ශනය හඳුනාගනිමින් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම, ශ්‍රී ලංකාවේ කාර්මීකරණ ක්‍රියාවලියට සහ විදේශ වෙළඳපොළ ජය ගැනීමට වියට්නාම් ජනාධිපතිවරයාගේ මෙම රාජ්‍ය සංචාරය වැදගත් අවස්ථාවක් වනු ඇත.

විශේෂයෙන්ම නිපැයුම් සහ අපනයන ක්ෂේත්‍රයේ වියට්නාම් රාජ්‍යය ලබා ඇති අත්දැකීම් මෙරටට ලබා ගැනීමටත්, දෙරට අතර සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත් මෙය අවස්ථාවක් වන බව සඳහන්ය.

කෘෂිකාර්මික නවීකරණය සහ සංචාරක කර්මාන්තය වැනි අංශයන්හි සහයෝගීතාව වර්ධනය කර ගැනීම හරහා නව රැකියා අවස්ථා උත්පාදනය කර ගැනීමේ හැකියාව හිමි වනු ඇත.

අග්නිදිග ආසියානු කලාපය තුළ ප්‍රබල වෙළෙඳ මධ්‍යස්ථානයක් වන වියට්නාම් රාජ්‍යය සමග පවත්වන සමීප සබඳතා මගින් ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාවට නව මාවත් විවර වන බව අදාළ නිවේදනයේ දක්වා තිබේ.

මීට අමතරව, වියට්නාමය සතු ශක්තිමත් කාර්මික පදනම සහ තාක්ෂණික දියුණුව මෙරට කුඩා සහ  මධ්‍යපරිමාණ ව්‍යවසායකයන්ට නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා වන උත්සාහයටද දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් ශක්තිමත් කිරීම මඟින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ සඳහා එරට වෙළෙඳපොළ තුළ වැඩි ඉඩකඩක් වෙන් කරවා ගැනීමටද අවස්ථාව සැලසේ.

විශේෂයෙන්ම ඩිජිටල් ආර්ථිකය සහ තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍රයන්හි දැනුම හුවමාරු කර ගැනීම මගින් මෙරට තරුණ පරපුරට ගෝලීය රැකියා වෙළෙඳපොළට පිවිසීමට දොරටු විවර කිරීම සඳහා මෙම රාජ්‍යතාන්ත්‍රික සබඳතාව වැදගත් වේ.

එබැවින් මෙය දෙරටේම ආර්ථික සමෘද්ධිය උදෙසා දිගුකාලීන උපායමාර්ගික හවුල්කාරිත්වයක් ගොඩනැගීමට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (08)  ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

ජනාධිපති ටෝ ලාම්‍ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඉන් අනතුරුව වියට්නාම් රාජ්‍ය නියෝජිතයින් සහ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් අතර ද ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම ඉහළ පෙළෙහි රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින්, අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතය.

ඉන් අනතුරුව දෙරටේ නායකයින් විසින් ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් සිදු කරනු ලැබීමට නියමිත බව ද සඳහන්ය.

අනතුරුව, වියට්නාම් ජනාධිපතිවරයා කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ ස්ථාපිත හෝ චි මිං පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමටද, කොළඹ මහජන පුස්තකාලයේ පිහිටා ඇති වියට්නාම්-හෝ චි මිං කලාපයේ ඇති ඓතිහාසික ඡායාරූප එකතුව නැරඹීමට ද සැලැසුම් කර තිබේ.

ඉන් අනතුරුව, වියට්නාම් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතා විශේෂ දේශනයක් සිදු කරනු ඇත.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ තවත් දේශපාලන නියෝජිතයන් සමග වියට්නාම් ජනාධිපතිවරයා හෙට (08) දිනයේදී සාකච්ඡා කිහිපයකටම එක්වේ.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා සහ සංස්කෘතික අනන්‍යතාව පිළිඹිබු කෙරෙන ඡායාරූප ප්‍රදර්ශනයට සහ වියට්නාමයට ආවේණික වූ නිෂ්පාදන, සාම්ප්‍රදායික අත්කම් නිර්මාණ සහ එරට නවීන කාර්මික නිපැයුම් ප්‍රදර්ශනයටද වියට්නාම් ජනාධිපතිවරයා හෙට (08) දිනයේ සහභාගි වනු ඇත.

අනතුරුව, ජනාධිපති ටෝ ලාම් මහතා ශ්‍රී ලංකා – වියට්නාම් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සංසදයේ ප්‍රධාන දේශනය සිදු කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද ශ්‍රී ලංකා – වියට්නාම් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සංසදය ඇමතීමට නියමිත අතර වියට්නාම් එයාර්ලයින්ස්  සහ වියට්ජෙට් එයාර්  මගින් ක්‍රියාත්මක කරනු ලබන කොළඹ සහ හෝ චි මිං නගරය/හැනොයි අතර සෘජු ගුවන් ගමන් සේවාව නිල වශයෙන් ආරම්භ කිරීමද ඊට අදාළ ගිවිසුම් හුවමාරු කර ගැනීමද මෙහිදී සිදු කෙරේ.

ශ්‍රී ලංකා – වියට්නාම් ව්‍යාපාරික හමුවට සහභාගී වීමෙන් අනතුරුව හෙට (08) රාත්‍රියේ දී වියට්නාම් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස රාජ්‍ය සංචාරය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

දුරගමන් යන මගීන්ට අද සිට ආසන වෙන් කිරීම ක්‍රම තුනකින්…….

දුරගමන් යන මගීන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කරවාගැනීමේදී මින් ඉදිරියට රුපියල් 30ක් වැනි සුළු මුදලක් පමණක් ගෙවීමට සිදු වන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, දුරගමන් මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීම පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා අද (05) ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“දුරගමන්වල යෙදෙන මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීමේ පහසුකම දැන් තියෙනවා. නියමු ව්‍යාපෘතියක් හැටියට අපි මේක ආරම්භ කලේ පෞද්ගලික බස් රථවලින්. මේනිසා මගීන්ට තමන්ගේ බස් එක තියෙන වෙලාව බලලා ඒ අනුව බස් නැවතුමට එන්න පුළුවන්. 

රස්තියාදු වෙන්න ඔනි නෑ. ආසන වෙන් කරන ක්‍රියාවලියේදී තිබුණු යම් යම් ගැටළු මේ නිසා නැතිවෙනවා. සමහර අවස්ථාවලදී වෙන්කල ආසනය අහිමිවීම, බස් රථයේ ගමන් වාරය හදිසියේ අවලංගු වීම වගේ දේවල් විතරක් නෙමෙයි ආසන වෙන් කරන්න අධික මුදලක් ගෙවීමට සිදුවීමත් මේ නිසා නැතිවෙනවා.”

ඇතැම් අවස්ථාවලදී ආසනයක් වෙන් කරගැනීමට රුපියල් 200ත් 300ත් අතර මුදලක් ගෙවීමට සිදුවෙයි.

නව ක්‍රමය හේතුවෙන් ආසන වෙන් කිරීමේදී රුපියල් 30ක් වැනි සුළු මුදලක් ගෙවීමට සිදුවනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ ක්‍රමය බස් රථ හිමියන්ටත් කාර්ය මණ්ඩලයටත් පහසු වගේම වාසි සහගත වන බව ද බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීම ක්‍රම තුනකින් සිදු කළ හැකිය.

www.busticket.gov.lk වෙබ් අඩවියට ජංගම දුරකථනයකින් හෝ පරිගණකයක් මගින් සම්බන්ධවීමෙන් ද 011-200 1266 ක්ෂණික දුරකථනය මගින් සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති KIOSK යන්ත්‍ර මගින් ද මෙම වෙන්කිරීම් සිදු කරගත හැකිය.

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 840,000 පනී…….

මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 840,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව ජනවාරි පළමු දින සිට අප්‍රේල් 22 දක්වා කාලය තුළ සංචාරකයින් 840,411ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 176,465ක් වේ.

එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

මේ අතර අප්‍රේල් මස පළමු දින සිට 22 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 99,777 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම දත්ත නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ පසුගිය මාසයන්ට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දෛනික සංචාරක පැමිණීම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවය.