මත්ද්‍රව්‍ය භාවිත කර පොදු ප්‍රවාහනයේ යෙදෙන්නන් අල්ලන මෙහෙයුමේදී හෙළි වූ දේ…..

පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරු හා කොන්දොස්තරවරුන් සඳහා අහඹු ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂාවක් අද (23) නාවින්න බස් නැවතුමේදී සිදුකර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කර ඇති පොදු ප්‍රවාහන සේවාව ආරක්ෂිත හා කාර්යක්ෂම කිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙය ක්‍රියාවට නැංවිණි.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේදී සංවිධානයෙන් පැවැති මෙම ජංගම පරීක්ෂාවට ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ බස්රථවල සේවාවේ යෙදෙන රියදුරු, කොන්දොස්තරවරුන්ගේ මුත්‍රා සාම්පල් ලබා ගනිමින් පරීක්ෂණයට ලක් කෙරෙිණි.

උදෑසන 9ට ආරම්භ කර දහවල් 12 වන විට රියදුරු සහ කොන්දොස්තරවරුන් 200 දෙනෙකුගේ මුත්‍රා සාම්පල මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 13 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවද මෙහිදී හෙළිවිය.

අමාත්‍යාංශය පැවසුවේ 2026 ජනවාරි සිට ජූනි 12 දක්වා කාලය තුළ රියදුරු, කොන්දොස්තරවරුන් 4,322කු ජංගම පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී 226 දෙනෙකු අයිස්, හෙරොයින්, ගංජා යන මත්ද්‍රව්‍යවලින් එක්වර්ගයක් හෝ කිහිපයක් භාවිත කර ඇතැයි අනාවරණය වී ඇති බවය.

එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි……

එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරි ජෙනරාල් Kevin Schneider අද (23) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා හමුවිය.

ඒ අනුව, ජෙනරාල් Kevin Schneider වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනමා, නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් ලැබීය.

නාවික හමුදාධිපති සහ ජෙනරාල් Kevin Schneider, කලාපීය ස්ථාවරත්වය හා ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වූ ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.

වැට් බදු සීමාව අඩු කිරීමේ යෝජනාව ක්‍රියාත්මක නොකිරීමට ගත් තීරණය ගැන හර්ෂගෙන් ප්‍රසාදය…..

පාර්ලිමේන්තු පොදු මුදල් කාරක සභාවේ (CoPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, එකතු කළ අගය මත බද්ද (VAT) සඳහා ලියාපදිංචි වීමේ වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට අඩු කිරීමට ඉදිරිපත් කළ යෝජනාව රජය විසින් ක්‍රියාත්මක නොකිරීමට ගත් තීරණය පිළිබඳ ප්‍රසාදය පළ කර තිබේ.

සිය X ගිණුමෙහි සටහනක් තබමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඒ බව සඳහන් කළේය.

ව්‍යාපාරික සංවිධාන, බදු විශේෂඥයින් සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ විරෝධතා මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බවත්, එම යෝජනාව ක්‍රියාත්මක වූයේ නම් මෑත ආර්ථික අභියෝගවලින් තවමත් ගොඩ එමින් සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අමතර බරක් එල්ල විය හැකි බවත් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

බදු පදනම පුළුල් කිරීම අවශ්‍ය වුවද එය සාධාරණ හා සමාන ආකාරයකින් සිදුකළ යුතු බව ඔහු පෙන්වා දී තිබේ.

කුඩා ව්‍යාපාරිකයින් මත පමණක් වැඩි බදු බරක් පැටවීම වෙනුවට බදු කාන්දුවීම් සහ අයකර ගැනීමේ ගැටලු විසඳිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

යෝජිත සීමාව අඩු කිරීම මඟින් කුඩා වෙළෙඳුන් අනුකූල නොවීමේ දඩ හා නීතිමය අවදානම්වලට මුහුණ දිය හැකි බවත්, ඇතැම් අංශවල වැට් බදු අයකිරීම් සහ ගෙවීම් සම්බන්ධ ගැටලු පවතින බවටත් මන්ත්‍රීවරයා අවධානය යොමු කළේය.

මෙම කරුණ පොදු මුදල් කාරක සභාව තුළ සහ පාර්ලිමේන්තුවේදී කිහිපවරක්ම මතු කළ බවත්, උපදේශන ක්‍රියාවලියේදී ලැබුණු බහුතර මහජන අදහස් යෝජිත සීමා අඩු කිරීමට විරුද්ධ වූ බවත් ඔහු පැවසීය.

රජය පවසා තිබුණේ වැට් සීමාව අඩු කිරීම මඟින් බදු පදනම පුළුල් කර රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීම අරමුණ වූ බවයි.
කෙසේ වෙතත් විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ එම පියවර කුඩා ව්‍යාපාරවල වියදම් වැඩි කරනු ඇති බවය.

ඥානසාර හිමිගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි – අභියාචනය ඉවතට….

ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙළීමට ක්‍රියා කළේ යැයි චෝදනා ලබා වරදකරු කළ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ මාස 09ක සිරදඬුවම සහ රුපියල් 1500ක දඩය කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කර තිබේ.

එම සිරදඬුවමින් තමන් වහන්සේව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

2016 වසරේ කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් පොලිසිය විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණි.

නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2025 වසරේ ජනවාරි මස 09වනදා මාස 09ක සිර දඬුවමක් සහ රුපියල් 1500ක දඩයක් නියම කළේය.

ඉන් අනතුරුව ඥානසාර හිමියන් විසින් මෙම අභියාචනය කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කළේය.

එම අභියාචනයා විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ ආගමික සංහිදියාව උල්ලංඝනය වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බවය.

එවැනි ක්‍රියා වැළැක්වීම නීතියේ මෙන්ම අධිකරණ ක්‍රියාවලියේ වගකීමක් බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරු වරදකරු කරමින් දඬුවම් පැමිණවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි නොවන බවත් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරු වරදකරු කිරීමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය ඉවත දමන බවත් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ගම්මන්පිලගෙන් සිරිල් ගාමිණී පියතුමන්ට ප්‍රශ්න 10ක්…..

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කතෝලික සභාවේ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන්ට ප්‍රශ්න 10ක් ඉදිරිපත් කළේය.

එහිදී ඔහු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ සිරිල් ගාමිණි පියතුමන් ඒවාට පිළිතුරු දීම මග හැරියහොත් උන්වහන්සේ පවත්වන ඉදිරි ප්‍රවෘත්ති සාකච්ඡාවලදී දිගින් දිගටම ඒ ප්‍රශ්න උන්වහන්සේ වෙත යොමු කරන ලෙසය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා,

“2018 පළාත් පාලන මැතිවරණයේදී සහ ජනාධිපතිවරණයට යනවිටත් 56% ක ඡන්ද ප්‍රතිශතයක් තිබුණා – වැඩිපුරත් එක්ක තිබුණා. පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියෙක් ඉන්නවා. කාදිනල් හිමියන් 2022 නොවැම්බර් 15වැනිදා විශ්‍රාම යෑමට තිබුණා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබල පිරිසක් නීතීය හමුවට ගෙන ඒමට මම තනතුර දැරිය යුතුයැයි වතිකානුවට දැනුම්දීලා. කාදිනල් හිමි අවස්ථා 04කදී සේවා දිගු ලබාගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා කාදිනල් හිමි. එසේනම් මෙම ප්‍රහාරයේ වගකීම කාදිනල් හිමිට පවරන්නේ නැත්තේ ඇයි? 2021 ඔක්තෝබර් 13 වැනිදා සිදුකළ සාකච්ඡාවකදී. පාස්කු ප්‍රහාරයේ මහමොළකරු  සලේ කියලා සිරිල් ගාමිණී පියතුමා කියනවා එය සිදුකළේ කුමන සාක්ෂියක් මතද? පාස්කු විමර්ශන නැවැත්වීමට ආණ්ඩුවට බලකරන විපක්ෂයේ පිරිස කවුද? සුරේෂ් සලේ සිය දුරකථනයේ සහ පරිගණකයේ මුරපද රහස් පොලිසියට ලබාදිය යුතුයි කියලා ඔබතුමා ප්‍රකාශ කළාසැකකරුවෙකුට එවැනි බලකිරීමක් සිදුකිරීම නීතිවිරෝධී බව දන්නෙහිද? රහස් පොලිසිය සලේට අමානුෂික ලෙස සලකා ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් හා මානව හිමිකම් වාර්තාවෙන් තහවුරු වී තිබෙනවා. එම අමානුෂික සැලකිලි සම්බන්ධයෙන් අප හඬනගනවිට ඔබතුමා එය සාධාරණීකරනය කරමින් ප්‍රකාශ සිදුකිරීම සාධාරණද? පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනාවට ලක්වීම නිසා. ගෝඨාභය රජපක්ෂ ආණ්ඩුව ශානි ඉවත්කළ බව දැනගෙනත්. යළි ඔහු එම තනතුරේ පිහිටුවන ලෙස සිදුකළ ඉල්ලීම හරහා නැවත පරීක්ෂණ භාරදෙන්නේ චුදිතයෙකුට බව දැන සිටියාද? ශානි සහ රවීට නඩු පැවරිය යුතු බවට නිර්දේශ කර තිබියදී ඔවුන්ටම එම තනතුරු ලබාදීමට බලකිරීමෙන් සැඟවිය යුත්තක් තිබුණේද? එකිනෙකට පරස්පර ඉල්ලිම් සිදුකළ බව පිළිගන්නවාද? වරින්වර මහමොළකරු මාරුකිරීමට බලපෑ හේතු මොනවාද? අබුහින්ද් මහමොළකරු බවට වූ තොරතුරු විර්ශනවලට ලබාදුන්නාද?”

විවාහක රූ රැජිණ තරගාවලියේදී කිරුළ ගැලවූ සිද්ධියේ තීන්දුවට දින නියම කෙරේ…..

2021 වසරේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට තුවාල සිදු කරමින්, ඇයගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ තීන්දුව ඔක්තෝබර් 17 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

මෙම නඩුවේ සැකකාරියන් ලෙස හිටපු විවාහක රූ රැජින ලෙස කිරුළ දිනාගත් කැරොලයින් ජූරි සහ විලාසිතා නිර්මාණ ශිල්පිනී චූලා පත්මේන්ද්‍ර යන අය නම් කර තිබේ.

එම නඩුවේ සාක්ෂි විභාගය අද (22) අවසන් වීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් එහි තීන්දුව ඔක්තෝම්බර් මස 17 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.

2021 වසරේ නෙළුම් පොකුණ රඟහලේ පැවති  ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් මහා තරගයේදී ජයග්‍රාහිකාව ලෙස කිරුළු පැළඳි පුෂ්පිකා ද සිල්වා මහත්මිය වෙත පැමිණි මෙම සැකකාරියන් දෙදෙනා ඇයට පහර දී ඇයගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඉවත් කළ බවට කුරුඳුවත්ත පොලිසියට ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව මෙම නඩුව ගොනුකර තිබුණි.

සාර්ථක වෘත්තිකයෙකු වීම යනු මුදල් ඉපයීම පමණක් නොවෙයි – අගවිනිසුරු…..

පුද්ගලයෙකුට වෘත්තිකයෙකු වීම දුෂ්කර කටයුත්තක් බවත්, “සාර්ථක වෘත්තිකයෙකු” වීම යනු මුදල් සම්භාරයක් උපයා ගැනීම පමණක් නොවන බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (22) පැවැති නව නීතිඥවරුන් දිවුරුම් දීමේ නිල උත්සවය අමතමිනි.

නීති ක්ෂේත්‍රයට අලුතින් එක්වූ නවක සාමාජිකයින් වෙත අධිකරණයේ උණුසුම් සුබ පැතුම් පිරිනමමින් අගවිනිසුරුවරයා පෙන්වා දුන්නේ, වෘත්තිය තුළින් ලබාගන්නා දැනුම සහ සේවාදායකයින් වෙනුවෙන් ලබාදෙන ගුණාත්මක සේවය වෘත්තීය සාර්ථකත්වය මනින ප්‍රධාන නිර්ණායක වන බවයි.

අද දින දිවුරුම් දුන් සියලුම නීතිඥවරුන් අධිකරණයේ නිලධාරීන් වශයෙන් පිළිගැනෙන බවත්, ඔවුන් ඉදිරිපත් කරන කරුණු මත විශ්වාසය තබා අධිකරණය කටයුතු කරන බවත් අගවිනිසුරුවරයා සිහිපත් කළේය.

හොඳ නිපුණතාවයක් සහ කීර්තියක් සහිත පුද්ගලයන් පමණක් නීතිඥවරුන් වශයෙන් බඳවා ගත යුතු බවට පනතේ පවා පැහැදිලිව සඳහන්ව ඇති බව හෙතෙම අවධාරණය කළේය.

නීතිඥවරයෙකු ලෙස තමන්ගේ ප්‍රමිතිය උසස් මට්ටමක පවත්වාගෙන යාමට සැමට වගකීමක් ඇති බවත්, අද දින දිවුරුම් දුන් පිරිස දිගුකාලීනව මෙම උතුම් වෘත්තියේ ප්‍රමිතීන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් අගවිනිසුරුවරයා සඳහන් කළේය.

වෘත්තීය මෙන්ම වෘත්තීය නොවන බාහිර ජීවිතයේදී ද අවංකභාවය පවත්වා ගැනීම ඉතා වැදගත් බවත්, වෘත්තියේ ගරුත්වය රැඳී පවතින්නේ ඔවුන් හැසිරෙන ආකාරය මත බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

නිල්වලා ලවණ බාධකයෙන් වගා පාඩුවූ ගොවීන්ට වන්දි…..

නිල්වලා ගඟ ආශ්‍රිතව අවිධිමත්ව ඉදිවූ ලවණ බාධකය හේතුවෙන් ඇතිවූ ගං වතුර තත්ත්වය හමුවේ වගා කිරීමට නොහැකි වූ ගොවීන් වෙනුවෙන් වන්දි ලබාදීම අද (22) සිදුකෙරුණි.

එහිදී තිහගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් පීඩාවට පත් ප්‍රතිලාභී ගොවීන් 781 දෙනෙකුට චෙක්පත් බෙදාදීම මිදෙල්ලවල පුරාණ මහ විහාරයේදී සිදු කර තිබේ.

මෙම ගොවි ජනතාව වෙනුවෙන් 2026 වසරේ අයවැය මඟින් වෙන් කරන ලද රුපියල් මිලියන 1200කි.

අදාළ ලවණ බාධකය හේතුවෙන් 2019 වසරේ යල කන්නයේ සිට 2022 වසරේ යල කන්නය දක්වා කන්න 7ක් පුරා මෙම ගොවීන්ට සිය වගා කටයුතු කරගැනීමට නොහැකි විය.

මෙම අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතා ප්‍රකාශ කළේ, ලවණ බාධකයේ දෝෂ නිවැරදි කිරීම සඳහා රුපියල් මිලියන 1000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවය.

ඉදිරි අවුරුදු 50ක් තුළ නැවත මෙවැනි ගැටලුවක් මතුවීමට ඉඩ නොදී අනාගත පරම්පරාව නිල්වලා ගඟේ ජලයෙන් යට නොවෙන්න විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතුය.

ඒ හේතුවෙන් හයිඩ්‍රෝලික් විශේෂඥ ඇතුළු දේශීය හා අමෙරිකානු ඉංජිනේරුවන්ගෙන් සමන්විත ලංකාවේ ප්‍රධානම ආයතනයක් වන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයට අධ්‍යයන කටයුතු භාරදී ඇති බව මන්ත්‍රීවරයා කියාසිටියේය.

ඉදිරි වර්ෂාපතන තත්ත්වයන් සහ ගඟේ ජල ගැලීම් ගණනය කරමින් ඔවුන්ගේ අවසන් නිර්දේශ ඉදිරි කාලයේදී ලැබුණු සැනින් ස්ථිර පිළියම් යොදවන බව ද මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ධූර කාලය අවසන් කරන SAARC මහලේකම්වරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි…….

සිය ධූර කාලය අවසන් කරන දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) මහලේකම් Golam Sarwar මහතා අද (22) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

මෙම හමුවේදී කලාපීය සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සහ සාර්ක් සංවිධානයේ අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා මහලේකම්වරයා විසින් සිදු කරනු ලැබූ සේවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැසසුමට ලක් කළ බව සඳහන් වේ.

හෙට (23) දින කොළඹදී පැවැත්වීමට නියමිත “ළමුන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳ අමාත්‍ය සමුළුව” සම්බන්ධයෙන්  මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර දකුණු ආසියාතික කලාපය තුළ දරුවන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා කලාපීය මට්ටමෙන් ක්‍රියාමාර්ගවලට යොමු වීමේ වැදගත්කම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර තිබේ.

සාර්ක් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සහ සාර්ක් රාමුව යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන කලාපීය වැඩසටහන් පිළිබඳව මහලේකම්වරයා අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළ අතර විශේෂයෙන්ම, සාමාජික රටවල් අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම, ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සහ ළමා පෝෂණය නංවාලීම සඳහා සාර්ක් සංවිධානය ගෙන යන ප්‍රයත්න පිළිබඳව ද අවධානය යොමු කර ඇත.

කලාපීය සම්බන්ධතා සහ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සාර්ක් සංවිධානය සහ අනෙකුත් කලාපීය සංවිධාන අතර සමීප සබඳතා ගොඩනැගීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දී තිබේ.

සාර්ක් සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර පවතින  දිගුකාලීන හවුල්කාරිත්වය යළි තහවුරු කළ අග්‍රාමාත්‍යවරිය, කලාපීය සාමය සහ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සාර්ක් සංවිධානය ගෙන යන ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහාය ලබාදෙන බව ද ප්‍රකාශ කර ඇත.

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරයා ජනපති හමු වෙයි….

මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ආචාර්ය පෝල් කපූර් මහතා අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

 ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර 77 වසරක ද්විපාර්ශ්වික සබඳතා මෙහිදී සිහිපත් කෙරුණු අතර, දෙරටේ සබඳතා වෙළෙඳ, ආරක්ෂක, ආයෝජන, සංචාරක සහ අන්‍යෝන්‍ය ජන සම්බන්ධතා වැනි ක්ෂේත්‍ර ඔස්සේ විශිෂ්ට බහුවිධ සහයෝගීතාවක් දක්වා වර්ධනය වී ඇති බවද සඳහන් කෙරිණි.

 එම ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ මෙහිදී සතුට පළ කළ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා එම සහයෝගීතාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට කැපවන බවද සඳහන් කළේය.

 මැදපෙරදිග පවතින තත්ත්වය මේ වන විට සාධනීය දිශාවකට ගමන් කරමින් තිබීමද මෙහිදී අවධානයට ලක් වූ අතර,  ජූනි 19 වනදා එළැඹි සාම ගිවිසුම කලාපය තිරසර සාමය කරා ගෙන යනු ඇති බවටද දෙපාර්ශ්වයේම විශ්වාසය පළ කෙරිණි.

 එම අවස්ථාවේදී ශ්‍රී ලංකාව අනුගමනය කළ මානුෂීය  ප්‍රතිපත්තිය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ආපදාවට පත් නෞකා දෙක සඳහා නෛතික පදනම මත මානුෂීය සහන සැලසීමට කටයුතු කළ බවද සඳහන් කළේය. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ගත් පියවර මෙහිදී ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයාගේ ඇගයීමට ලක් විය.

 එමෙන්ම කලාපයේ සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව උපරිම සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

 ශ්‍රී ලංකාවේ අපනයන පංගුවෙන් තනි රටක් ලෙස විශාල පංගුවක් ඇමරිකාව විසින් දරනු ලබන අතර දෙරට අතර පවතින එම වෙළෙඳ සහයෝගීතාව දෙරටටම ප්‍රතිලාභ සැලසෙන අයුරින් වර්ධනය කර ගැනීම සහ මෙරටට පනවන ලද තීරුබදු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.

 ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයකට හිමිකම් කියන රටක්, ඇමරිකාව වැනි විශාල ආර්ථිකයකට හිමිකම් කියන රටක් සමග සැසඳිය නොහැකි බවත්, දෙරටේ වෙළෙඳ පරතරය පියවීම අපහසු කාර්යයක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර වූ වෙළෙඳ ගිවිසුමේ කටයුතු හැකි ඉක්මණින් අවසන් කර ගැනීම පිළිබඳවද දෙපාර්ශ්වයෙහිම අවධානය යොමු කෙරිණි.

 කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති Jayne Howell, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික වැඩසටහන් කළමනාකරු Matthew Ridgeway, ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානි Shailaja Kim යන මහත්ම මහත්මීහු ඇතුළු නියෝජිත කණ්ඩායම මෙම අවස්ථාවට එක්ව සිටියහ.