නොපැවැත් වූ උ.පෙළ විෂයන් සඳහා කාලසටහන නිකුත් කෙරේ….

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2025 අ.පො.ස (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහා වූ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් අද (10) පස්වරුවේ නිකුත් කළේය.

නොපැවැත්වූ විෂයන් 2026 ජනවාරි මස 12 වනදා සිට ජනවාරි 20 වන දින දක්වා පැවැත්වීමට මේ වනවිට කටයුතු සංවිධානය කර ඇත.

ආපදාවට ලක්වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම්, තම පාසලේ විදුහල්පතිවරයා ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කළ යුතු බවද එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව විදුහල්පතිවරුන් තම විදුහලේ ආපදාවට ලක් වූ අයදුම්කරුවන් සිටී නම් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල) දැනුවත් කළ යුතුය.

එසේම ආපදාවට ලක් වූ පෞද්ගලික අයදුම්කරුවන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම් පහත දුරකතන අංක මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් දැනුම්වත් කරන ලෙසත් එහි වැඩිදුරටත් සඳහන්.

ක්ෂණික දුරකතන අංකය – 1911

දුරකතන අංක – 0112784537, 0112786616, 0112784208

ෆැක්ස් අංක – 0112784422

විද්‍යුත් තැපෑල – gcealexam@gmail.com

සංශෝධිත විභාග කාලසටහන පහතින්

 exam

ලංකා ත්‍රිපෝෂ සමාගමෙන් ලාභාංශ මිලියන 100 ක් මහා භාණ්ඩාගාරයට….

ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශ ලෙස රුපියල් මිලියන 100ක මුදලක් අද (10) මහා භාණ්ඩාගාරය වෙත ලබා දී තිබේ.

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වෙත අදාළ වෙක්පත භාරදෙනු ලැබුවේ ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා ඇතුළු පිරිස විසිනි.

මෙම අවස්ථාවට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද එක්ව සිට ඇත

ගංවතුරට හසුවී විනාශ වුණු ආහාර ද්‍රව්‍ය ගොඩගසා ඇති අයුරු….

දිට්වා සුළි කුණාටුවත් සමග ගම්පොළ නගරයට බලපෑ ගංවතුර හේතුවෙන් ජීවිත සහ දේපොළ හානිවලට අමතරව වෙළෙඳසැල් සහ ගබඩා තුළ තිබූ ආහාර ද්‍රව්‍ය විශාල තොගයක් ද විනාශයට පත්වී තිබේ.

ඒ අනුව ගම්පොළ නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණ 2කට අයත් සහල් මිටි දහස් ගණනක් මෙලෙස විනාශවී ගොස් තිබෙන අයුරු දැකගන්නට හැකිවිය.

ඊට අමතරව පරිප්පු, සීනි, පිටි ආදිය ද ඒ අතර වෙයි.

ගම්පොළ නාවලපිටිය මාර්ගයේ, කහටපිටිය හා බෝතලාපිටිය ප්‍රදේශවල ඇති ගබඩාවල හා සුපිරි වෙළෙඳ සංකීර්ණවල මෙම ආහාර ද්‍රව්‍ය ගබඩා කර තිබී ඇත.

පෙරපාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ගැන දැනුම්දිමක්….

හදිසි ආපදා තත්ත්වය හේතු කොට ගෙන වසාදමන ලද පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවලින් නැවත ආරක්ෂිතව ආරම්භ කළ හැකි සියලු පෙරපාසල් එළැඹෙන 16 දින සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මේ බව දැනුම් දී ඇත.

NBRO මඟින් නිකුත් කරන පූර්ව අනතුරු ඇඟවීම් ගැන දැනුම්දීමක්….

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් නිකුත් කරනු ලබන නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ වනවිට රට තුළ ඇතිව තිබෙන ස්වභාවික ආපදා තත්ත්වයන් කළමනාකරණය සඳහා පවතින විද්‍යාත්මක ක්‍රමවේදයන්හි සීමාවන් පවතින අතර, මෙම ව්‍යසනය සියලුදෙනාට අභියෝගාත්මක වන බැවින් තත්ත්වය තේරුම් ගනිමින් එකිනෙකාට චෝදනා කරගැනීමකින් තොරව මේ මොහොතේ කටයුතු කරන ලෙසත් ඉතා කැපවීමෙන් කටයුතු කරන නිලධාරීන් ධෛර්යමත් කරමින් අවබෝධයෙන් සහ ඉවසීමෙන් කටයුතු කළ යුතුව ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

– උපුටාගැනීම – 

තවද මෙවැනි (නායයෑම් වැනි) ස්වාභාවික සංසිද්දීන් කළමනාකරණය සදහා පවතින විද්‍යාත්මක ක්‍රමවේදයන්හි සීමාවන් පවතින අතර මෙම ව්‍යසනය අප සියලුදෙනාහට අභියෝගාත්මක තත්ත්වයක් බැවින් අප සියලුදෙනා මෙම තත්ත්වන් තේරුම් ගනිමින් එකිනෙකාට චෝදනා කරගැනීමෙන් තොරව මේ අවස්ථාවේ ඉතා කැපවීමෙන් කාර්යයේ නියුතු නිලධාරීන් ධෛර්යමත් කරමින් අවබෝධයෙන් සහ ඉවදීමෙන් කටයුතු කළ යුතුව ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකතනයන් සහ අප ආයතනය මඟින් නායයෑම් සහිත ප්‍රදේශවල ස්ථාපිත කර ඇති ස්වංක්‍රීය වාර්ෂා මානයන්ගෙන් ලබා ගන්නා තත්කාලීන දත්ත පදනම් කරගනිමින් නායයෑම් පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කරනු ලබයි. 

මෙම පූර්ව අනතුරු ඇගවීම් ඉදිරි පැය 24ක කාලයක් සඳහා පමණක් නිකුත් කරනු ලබන අතර වර්ෂාපතනයේ වෙනස්වීම් මත පදනම්ව අදාළ අයුරින් යාවත්කාලීන කරනු ලබයි. 

තවද මෙම පූර්ව අනතුරු ඇගවීම් කලාපීය (Regional) මට්ටමින් නිකුත් කරනු ලබන අතර හදුනාගත් නායයෑම් අවදානම් ස්ථානයන්හි ජීවත්වන ජනයාගේ සහ අවදානම් බෑවුම් ආශ්‍රිතව ජීවත්වන ජනයාගේ ජීවිත ආරක්ෂා කරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සදහා ඉලක්ක කරයි. 

කලාපීය මට්ටමින් නිකුත් කරනු ලබන පූර්ව අනතුරු ඇගවීමක් සමස්ථ ප්‍රදේශයක් ආවරනය වන පරිදි නිකුත් කළද එයින් එම ප්‍රදේශ තුළ අස්ථාවර ස්ථානවල නායයෑම් සම්භාවිතාව පිළිබදව දැනුම්දීමක් සිදුකරනු ලබන අතර එමඟින් සමස්ථ ප්‍රදේශයම නායයෑමකට භාජනය වන බව අදහස් නොකරයි. 

මෙම කලාපීය පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කිරීමේ ක්‍රමවේදය ලෝකයේ අනෙකුත් රටවල් භාවිතා කරන සම්මත විද්‍යාත්මක ක්‍රමවේදවලට අනුගතව සිදුකරනු ලැබේ. 

තවද මෙවැනි (නායයෑම් වැනි) ස්වාභාවික සංසිද්දීන් කළමනාකරණය සඳහා පවතින විද්‍යාත්මක ක්‍රමවේදයන්හි සීමාවන් පවතින අතර මෙම ව්‍යසනය අප සියලුදෙනාහට අභියෝගාත්මක තත්ත්වයක් බැවින් අප සියලුදෙනා මෙම තත්ත්වන් තේරුම් ගනිමින් එකිනෙකාට චෝදනා කරගැනීමෙන් තොරව මේ අවස්ථාවේ ඉතා කැපවීමෙන් කාර්යයේ නියුතු නිලධාරීන් ධෛර්යමත් කරමින් අවබෝධයෙන් සහ ඉවසීමෙන් කටයුතු කළ යුතුව ඇත.

– උපුටා ගැනීම අවසන් – 

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්…..

බස්නාහිර සහ සබරගමුව පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කිතුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි….

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට බැඳුම්කරවල ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් කෝටි 184කට අධික මුදලක් ආයෝජනය කිරීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා ලබා සිටී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි චෝදනා, දූෂණ විරෝධී පනතේ 67(3) වගන්තිය යටතේ අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒ මහතා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (10) නියෝග කළේය.

අල්ලස් කොමිසම සඳහන් කරන්නේ දූෂණ විරෝධී පනතේ 67 (3) වගන්තිය ප්‍රකාරව, විත්තිකරුට එරෙහි අධි චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා දින සිට මාස 3ක් ඇතුළත ඔහු විසින් මෙම නඩුවට අයත් රුපියල් 1,843,267,595.65 (බිලියන 1.8)ක මුදල දඩයක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුමට බැරකළ යුතු බවය.

අදාළ කාලසීමාව තුළ කබ්රාල් මහතා විසින් එම මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත්, දූෂණ විරෝධී පනතේ 67(5) වගන්තිය යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් අල්ලස් කොමිසම පළකළ නිවේදනයේ සඳහන් වේ.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, මෙම චෝදනා පත්‍රයේ රජයට පාඩු කළ බව සඳහන් රුපියල් 1,843,267,595.65ක මුදල දඩයක් වශයෙන් අය කර ගැනීමේ කොන්දේසියට යටත්ව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි චෝදනා ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවය.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ, එසේ නම් විත්තිකාර කබ්රාල් මහතා දූෂණ විරෝධි පනතේ 67(3) වන වගන්ති ප්‍රකාරව කොන්දේසිවලට යටත්ව නිදහස් කරන ලෙසය.

ඒ අනුව හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දූෂණ විරෝධී පනතේ 67(3)  වගන්තිය යටතේ කොන්දේසියට යටත්ව නිදහස් කිරීමට නියෝග කළ විනිසුරුවරයා, මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, සහකාර අධිපතිවරුන්වන දොන් වසන්ත ආනන්ද සිල්වා, එම්.ඒ. කරුණාරත්න යන අය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය යටතේ කොන්දේසි විරහිතව නිදහස් කිරීමටත් නියම කළහ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මීට පෙරද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබුණි.

එම අධි චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගත් කොළඹ මහාධිකරණය, අදාළ අධි චෝදනා පත්‍ර ප්‍රතික්ෂේප කරමින් විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝග කර තිබුණි.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම විසින් ඉකුත් වසරේ මෙම නඩුව යළි ගොනුකරනු ලැබීය.

පළිබෝධනාශක සහ බීඩි කොළ තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට….

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට රැගෙන එන ලද පළිබෝධනාශක සහ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත වෙන්නප්පුව මා ඔය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ය.

බීඩි කොළ කිලෝ ග්‍රෑම් 626ක් අඩංගු පාර්සල් 17ක්, පළිබෝධ නාශක බවට සැක කෙරෙන පැකට් 60,000ක් අඩංගු පාර්සල් 20ක් සමඟ අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුර සඳහන් කරයි.

සැකකරු අවුරුදු 27ක කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

යෝෂිතගේ නඩුව කල්යයි…..

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබාසිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට නඩු කටයුත්තකට පෙනී සිටිමට සුදුසු මානසික තත්ත්වයක පසුවනවා දැයි හෙට (11) දින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් පරීක්ෂා කිරීමට නියමිත බව නීතිපතිවරයා අද (10) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී රජයේ නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා විසින් මෙම දැනුම් දීම සිදුකළේය.

නඩුව අද දින කැදවනු ලැබුවේ යෝජිත පිළිගැනීම් පිළිබඳව සලකා බැලීමටයි.

එහෙත් රජයේ  නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව හා සම්බන්ධිත තවත් නඩුවක් අංක 08 මහාධිකරණය හමුවේ විභාගවන බවය.

එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකාර ඩේසි ෆොරස්ට් මහත්මියට නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික මට්ටමක් නොමැති බවට ඇයගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් බවත් රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව අදාළ විත්තිකාරිය නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්ත්වයකින් පසුවනවා දැයි නිගමනය කිරීම සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් විශේෂඥ වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියෝග කළ බවත් රජයේ අධි නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා මහතා කියා සිටියේය.

එම අධිකරණ නියෝගය පරිදි විත්තිකාරියගේ අදාළ පරීක්ෂණය සඳහා හෙට දින පෙනී සිටීමට නියමිත බවත් රජයේ නීතිඥවරයා කියා සිටියේය.

අදාළ පරීක්ෂණයේ වාර්තාව ඉදිරිපත් වූ පසු විත්තිකාරිය නඩු විභාගයකට පෙනී සිටීමේ සුදුසු මානසිත තත්ත්වයකන් පසුවන වාද? යන කාරණය පිළිබඳව පැමිණිල්ල සලකා බලන බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව අදාළ පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් නඩුව කල් තබන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව යළි පෙබරවාරි මස 9 කැඳවන ලෙස නියෝග කෙරුණි.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 59කට අධික මුදලක්  බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්ල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්….

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත, පාසල්වල 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍ර විදුහල්පතිවරුන් විසින් මාර්ගගත පද්ධතියට යොමු කිරීමේ කාලය දීර්ඝ කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීමේ හැකියාව දෙසැම්බර් 05 දිනෙන් පසුව අක්‍රීය වන බව දන්වා තිබුණද පවතින ආපදා තත්ත්වය හමුවේ එම දිනය දෙසැම්බර් 12 වනදා දක්වා සංශෝධනය කර ඇති බවය.

මේ අතර 2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීම මේ වනවිට ආරම්භ කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සංසරණය වන පණිවුඩ අසත්‍ය ප්‍රචාර බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

2026 වසරේ 06 ශ්‍රේණිය සඳහා පළමු වටයෙන් පාසල් සඳහා තේරී පත්වූ සිසුන් 2026 වර්ෂයේ ජනවාරි මස පාසල්වලට ඇතුළත් කිරීමෙන් පසුව පවතින පුරප්පාඩු සඳහා මාර්ගගතව අභියාචනා අයදුම්පත්‍ර කැඳවීම් සිදුකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.