බාලවයස්කාර සිසුවෙකු පැදවූ කැබ් රථයක ගැටී 14 හැවිරිදි දැරියකට පාදයක් අහිමි වෙයි…..

මොනරාගල – සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ සිරිගල, කිරිමණ්ඩල හන්දිය අසලදී සිදුවූ දරුණු රිය අනතුරකින් 14 හැවිරිදි පාසල් දැරියකගේ පාදයක් ඉවත් කිරීමට සිදුව ඇති අතර ඇය මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

මොනරාගල දෙස සිට ඔබ්බේගොඩ දෙසට ධාවනය වූ කැබ් රථයක් සහ ඔබ්බේගොඩ දෙස සිට මොනරාගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය සහ ඇයගේ පියා මොනරාගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා දැරිය කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.

මොනරාගල, මඩුල්ල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් දැරියක් සහ 47 හැවිරදි ඇයගේ පියා මෙලෙස තුවාල ලබා තිබුණි.

අනතුර හේතුවෙන් දැරියගේ එක් පාදයක් ශල්‍යකර්මයකින් ඉවත් කර ඇති අතර ඇය ඉතා බරපතළ තත්ත්වයේ පසුවන බව අතර පියා මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්,  කැබ්රථය පැද වූ 17 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවා ඇප මත මුදාහැර තිබේ.

ඔහු මොනරාගල, මදුරුකැටිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

මොනරාගල පොලිස් සඳහන් කර ඇත්තේ කැබ් රථය පැදවූ බාලවයස්කාර සිසුවා සතුව බරවාහන පැදවීම සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් තිබී නොමැති බවය.

ඔහු සතුව තිබී ඇත්තේ සැහැල්ලු වාහන පුහුණුවන්නන් සඳහා මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන රිය පුහුණු බලපත්‍රයක් පමණි.

එම බලපත්‍රයෙන් කිසිදු අයුරකින් බර වාහන ධාවනය කිරීමට නීතිමය අවසරයක් නොමැති බව පොලීසිය පවසයි.

කැබ් රථයේ රියදුරු අධික වේගයෙන්, නොසැලකිලිමත් ලෙස සහ අපරීක්ෂාකාරී අයුරින් රිය ධාවනය කිරීම අනතුරට හේතුව බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

අනතුරෙන් පසු අත්අඩංගුවට ගත් සැකකාර සිසුවා මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහු බාලවයස්කාරයෙකු වීම සැලකිල්ලට ගෙන රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මොනරාගල පොලිස් රථ වාහන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විශේෂ විමර්ශන සිදුකරයි.

‘වනාතේ බොක්කා’ සහ ‘මැදවච්චියේ අක්කාගේ’ දේපොළවලට තහනමක්……

ධනුෂ්ක පුෂ්පකුමාර නොහොත් ‘වනාතේ බොක්කා’ සහ ෆාතිමා රෙජිනා හෙවත් ‘මැදවච්චියේ අක්කා’ නමැති අඹුසැමි යුවළගේ දේපොළ සඳහා තහනමක් පනවා තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද මුදල් මගින් මෙම වත්කම් මිලදීගත් බවට අනාවරණය වූ සැකයක් මත මෙම තහනම පනවා ඇත.

ඒ අනුව අතුරුගිරිය ශාන්තාලෝකගම පිහිටි රුපියල් කෝටි 04කට ආසන්න වටිනාකමෙන් යුත් නිවසක් දින 07ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.

නිවසේ හිමිකරුවන් වූ ධනුෂ්ක පුෂ්පකුමාර නොහොත් ‘වනාතේ බොක්කා’ සහ ෆාතිමා රෙජිනා හෙවත් ‘මැදවච්චියේ අක්කා’ නමැති අඹුසැමි යුවළ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් හෙට (20) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ග්‍රාමීය මාර්ග, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලු විසඳීමට ඉදිරි අයවැයෙන් අවධානය…..

ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලුව විසඳීමට ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (20) පෙරවරුවේ මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

මඩකළපුව දිස්ත්‍රික්කයේ පානීය ජල, වාරි සහ කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ජල සම්පාදන ව්‍යාපෘති පිළිබඳ මහජන නියෝජිතයන් සහ ජනතාව එක්ව සාකච්ඡා කර වාර්තාවක් ලබා දෙන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ප්‍රදේශයට එවන බවද සඳහන් කර ඇත.

ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක වන තෙක් ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට කඩිනම් තාවකාලික පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී තිබේ.

එමෙන්ම ජල සම්පාදන මණ්ඩලය විසින් මෙතෙක් සැලසුම් කර ඇති සියලු ව්‍යාපෘතිවලට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මේ අතර දිස්ත්‍රික්කයේ මාර්ග සහ පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර සැලසුම් කර ඇති සියලු මාර්ගවල ඉදිකිරීම් මේ වසරේදීම ආරම්භ කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දී ඇත.

දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු, වනජීවි කලාපයන්ට අයත් වගා බිම් සම්බන්ධ මතුව ඇති ගැටලු සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර මයිලත්තමඩු- මාදවනෙයි තෘණ භූමියට අදාළ කිරි ගොවීන්ගේ දීර්ඝ කාලීන ඉල්ලීම පිළිබඳවද අවධානය යොමු කර තිබේ.

නැගෙනහිර පළාතේ ධීවර කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් වන වාලච්චේන වරාය පූර්ණ ලෙස සංවර්ධනයට ගෙන ඇති පියවර සහ ඒ සඳහා ප්‍රදීපාගාරයක අවශ්‍යතාවය පිළිබඳවද  මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.

එමෙන්ම දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා වූ පෙර සූදානම සහ අලි මිනිස් ගැටුම අවම කර ගැනීමට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය සහ මතුව ඇති ගැටලු පිළිබඳවත් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිවල ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක් කර තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ වගා බිම් සඳහා වන්දි ගෙවීමේ වැඩසටහනේ ප්‍රගතිය, නිවාස හානි සඳහා වන්දි ගෙවීම් සහ නව නිවාස ඉදිකිරීමේ වැඩසහනේ ප්‍රගතියද විමසූ ජනාධිපතිවරයා එම කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දී ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ප්‍රජාශක්ති වැඩසටහන ක්‍රියාත්මක වන අන්දම සහ එහි ප්‍රගතිය මෙන්ම මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

පාස්කු ප්‍රහාරය ගැන එල්ලවන චෝදනාවලට නාමල්ගෙන් උත්තර…..

2018/2019 කාලසීමාවේ බන්ධනාගාරගතව සිටි TMVP නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ හමුවීමට තමන් ගිය බවත්, එය කිසිසේත් රහසක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධිකරණයට අද (20) කරුණු ඉදිරිපත් වූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතාගේ නමද සඳහන්ව තිබීමට ප්‍රතිචාර ලෙස සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම කරුණු අනාවරණය කර තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා අදාළ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ, පාස්කු ප්‍රහාරයෙන් පසු මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අය මඩකලපුව බන්ධනාගාරයට ගොස් පිල්ලයාන් හමුව ඇති බවය.

ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා තැබූ ‘X’ සටහන,

“2018/19 කාලසීමාවේදී TMVP පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් බන්ධනාගාරගතව සිටි සමයේ මා ඔහුව බැලීමට ගිය බව රහසක් නොවේ. ඇත්ත වශයෙන්ම, මාගේ එම පැමිණීම් පිළිබඳ බන්ධනාගාර වාර්තා අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලබාගත හැකිව පවතී. එම වකවානුව වන විට, ඔහු 2015 ජනාධිපතිවරණයට මෙන්ම 2018 පළාත් පාලන මැතිවරණයටද තරඟ කරමින් අපගේ සන්ධානයේ පාර්ශවකරුවකුව සිටියේය.

දැනගන්නට ලැබී ඇති පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ප්‍රංශය දක්වාම ගමන් කොට ඇත. පැහැදිලිවම මෙමඟින් රජයේ ප්‍රමුඛතාවයන් පිළිබඳව බරපතල ගැටළු මතු කරවයි. 

නිලධාරීන් මෙතරම් විශාල දුරක් ගමන් කළේ මා පිල්ලෙයාන් හමුවීමට ගිය බව තහවුරු කර ගැනීමට පමණක් නම්, එය පැහැදිලිවම මහජන මුදල් නාස්ති කිරීමකි. මා දන්නා තරමින්, මේ වන විට පිල්ලෙයාන්ව රැඳවුම් භාරයේ තබාගෙන සිටින්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් නොවේ. එසේ නම්, රජය මේ ආකාරයේ මාධ්‍ය සංදර්ශන පවත්වමින් සැබවින්ම ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නේ කා හටද?

ජාතික ජන බලවේගය (NPP) විසින්ද විවිධ අවස්ථාවලදී පාස්කු ප්‍රහාරය පිළිබඳව විවිධ කතාන්දර සමාජගත කර ඇත. රජය දැන් මෙම ඛේදවාචකය දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කර ගැනීම සඳහා යොදා ගැනීමට උත්සාහ කරන්නේ නම්, තවමත් සැබෑ පිළිතුරු සහ සාධාරණය අපේක්ෂාවෙන් සිටින වින්දිතයින්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට කරනු ලබන දැඩි අසාධාරණයක් ලෙස එය සැලකිය හැක.

ඕනෑම සාධාරණ පරීක්ෂණයකට මුහුණ දීමට අප සැමවිටම සූදානම්ව සිටින අතර, පවතින ඕනෑම සැකයක් විවෘතව සහ විනිවිදභාවයකින් යුතුව නිරාකරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපගේ උපරිම සහයෝගය ලබා දෙන්නෙමු. 

රජය විසින් කළ යුතුව ඇත්තේ , දේශපාලන නාට්‍ය සහ මාධ්‍ය සිරස්තල කෙරෙහි අවධානය යොමු කරනු වෙනුවට, අප රටේ ජනතාව වෙනුවෙන් අර්ථවත් ප්‍රතිඵල අත්කර දීම සඳහා සිය අවධානය යොමු කිරීමයි”.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මහින්ද,බැසිල් සහ නාමල් පිල්ලෙයාන් හමුවී ගෝඨාභය බලයට පත් වී සතියක් තුළ ඇප ගන්නා බවට දැනුම් දී ඇතැයි අනාවරණයක්…..

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මඩකලපුව බන්ධනාගාරයේ සිටි හිටපු රාජ්‍ය ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් හමු වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද (20) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය කළේ ය.

ඔහු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී සතියක් තුළ පිල්ලයාන්ට ඇප ලබා ගැනීමට කටයුතු කරන බව, ඔවුන් එහිදී දැනුම් දී ඇති බවයි.

පිල්ලයාන්ගේ හිටපු පෞද්ගලික ලේකම් අසාද් මවුලානාගෙන් ලබාගත් ප්‍රකාශ මත නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම කරුණු අනාවරණය කළේ ය.

ඔහු කියා සිටියේ ප්‍රංශයේ වෙසන අසාද් මවුලානාගෙන් ප්‍රංශ තානාපති කාර්යාලයේදී විමර්ශන නිලධාරීන් මෙම ප්‍රකාශ සටහන් කරගත් බවයි.

newsfirst.lk

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරුවෙකු සොයන්න පොලීසිය මහජන සහාය පතයි…..

අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

පසුගිය පෙබරවාරි මස 16වනදා සිදුකළ මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සඳහා වෙඩික්කරුවන් ගමන් ගන්නා ලද මෝටර් රථයේ රියැදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙලෙස සහාය ඉල්ලා තිබේ.

මෙම සැකකරුගේ විස්තර පහතපරිදි වේ.

නම – කළුආරච්චි ලියනගේ නිලුක්ෂ වීරසිංහ
ලිපිනය – වීරසිංහ මල්ශාලාව, පරගොඩ, ඉමදුව
ජා.හැ.අංකය -199714103549

සැකකරුගේ ඡායාරූපය –

මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අධ්‍යක්ෂ / බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ කොට්ඨාසය – 071- 859 2279
ස්ථානාධිපති / බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ කොට්ඨාසය – 071- 859 6065

චාමරට එරෙහි තවත් නඩුවක විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරයි…..

අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ගොනුකර තිබූ තවත් දුෂණ චෝදනා නඩුකරයක් සම්බන්ධයෙන් පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය.

අදාළ නඩුකරය අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කර තිබුණි.

ලබන 23 වනදා සිට එළැඹෙන 06 වනදා දක්වා කාල සීමාව තුළ චීනයේ සංචාරයක නිරත වීම සඳහා තමන්ට පනවා තිබෙන විදේශ ගමන් තහනම ලිහිල් කරන ලෙස සැකකාර චාමර සම්පත් දසනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ කාල සීමාව තුළ සැකකරුට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස නියෝග කර ඇත.

චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන තවත් නඩුවක් ඊයේ (18) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ද එම නඩුකරයට අදාළව ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට නියෝග කර තිබුණි.

රණවිරුවන් හැමදාමත් අපේ හදවත්තුළ අනුස්මරණීයයි – ජනපති……

රණවිරුවන් විසින් මාතෘභූමිය නිදහස් කර ගැනීමේ සටනේදී ඔවුන්ගේ අරමුණ සහ ප්‍රාර්ථනාව වූයේ මාතෘභූමිය සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කර ගැනීම වන බවත් එම ප්‍රාර්ථනය ඉටු කිරීමට රජය කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (19) බත්තරමුල්ලේදී පැවැති 17 වැනි ජාතික රණවිරු සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ මෙරට දෙකෝටියක් ජනතාවගේ කඳුළු පිසදැමීම උදෙසා රණවිරුවන් විශිෂ්ට කාර්යක් කළ බවත් එම කාර්ය වෙනුවෙන් ඔවුන් සියලු දෙනාට තම උත්තමාචාරයද පුද කරන බවත්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

අපි සියලු දෙනා එක් වී සිටින්නේ මෑත ඉතිහාසයේ මව්බිම නිදහස් කර ගැනීම සඳහා උර දුන් අපේ  විරුවන්ට උත්තමාචාරය සහ ගෞරවය පුද කිරීමටයි.

රට වෙනුවෙන් තම ජීවිත පූජා කළ විරුවන් මේ රණවිරු ස්මාරකය ඉදිරිපිටදී සිහිපත් කිරීම සහ ඔවුන් විසින් ප්‍රාර්ථනා කරන ලද අරමුණු ඉටු කිරීම වෙනුවෙන් යුද්ධය අවසන් වී වසර 17ක් වන අද දින අප මේ සමුළුව පවත්වනවා. 

නිදහස් රටක අභිමානය වෙනුවෙන් ජීවිත සහ ලේ කදුළුවලින් මිල ගෙවූ සියලුම විරුවන් මේ මොහොතේ උත්තමාචාරය පෙරදැරිව සිහිපත් කරනවා. තමන් වෙනුවෙන් නොව අන් අය සහ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරමින් ඔවුන් ඉටු කළ මෙහෙවරට දේශයේ ප්‍රණාමය සහ ගෞරවය පුද කරනවා. 

විශේෂයෙන්ම, මෙවැනි වීරෝදාර විරුවන් මේ මව්බිමට දායාද කළ දෙමාපියන්ට, අපේ ගෞරවයත්, උත්තමාචාරයත් පුද කළ යුතුයි. මේ සැමරුමට ඔබ විවිධාකාරයෙන් සහභාගී වන්නට ඇති. මෙම රණවිරු ස්මාරකය මත ඇති දහස් ගණනක් නම් අතර ඔබ සොයන්නට ඇත්තේ ඔබට අහිමි වූ ඔබේ පියා විය හැකියි. එසේ නොමැති නම් ඔබේ සැමියා, පෙම්වතා, ඥාතියා, සහෝදරයා විය හැකියි. එසේත් නැතිනම් ඔබේ හොඳම මිතුරා හෝ ළඟම හිතවතා විය හැකියි. ඔවුන් සිය ජීවිතය කැප කළේ ඔබේ, මගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් වගේම තවත් විශාල අරමුණු පෙරදැරි කරගෙනයි. 

ජීවිතය පරිත්‍යාග කළා හා සමාන ලෙසම තමන්ගේ ශරීර කොටස් පරිත්‍යාග කළ සොහොයුරන් සැමදා අපගේ හදවතේ වීරත්වයෙන් වැජඹෙන බව මම කියන්න කැමතියි. ඔබ කරන ලද උත්තුංග පරිත්‍යාගයේ සහ කැපකිරීම්වල ප්‍රතිඵල අද අපි රටක් ලෙස අත්විඳිමින් සිටිනවා.

ඔබගේ පරිත්‍යාගය, කැපකිරීම නොතිබෙන්නට අපි තවමත් සැලකිය යුතු ප්‍රමාණයකින් බියජනක රාජ්‍යයක ජීවත් වෙනවා. ඔබ මේ මාතෘභූමිය නිදහස් කර ගැනීමේ සටනේදී විශාලතම කාර්යභාරය ඉටු කරන ලද පිරිස ලෙස ඉතිහාසයට එක් වන බව අපිට විශ්වාසයයි. හැබැයි, ඒ පරිත්‍යාගය  තුළ තවත් අරමුණු බොහෝ ප්‍රමාණයක් ගැබ් වී තිබුණා. ඒ අරමුණු නම් සාමකාමී රටක්. යුද්ධය සහ ගැටුම් සහිත රටක් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රධානම කණ්ඩායම වන්නේ ඔබයි. ඔබ දන්නවා යුද්ධය මොන තරම් විනාශකාරීද, බිහිසුණුද කියලා. ඒ නිසා මේ මාතෘභූමිය තුළ යුද්ධය ප්‍රතික්ෂේප කර සාමකාමීත්වය නිර්මාණය කිරීම වෙනුවෙන් විශාලතම අඬහැරය සහ විශාලතම ප්‍රාර්ථනාව තිබෙන්නේ ඔබ තුළ කියා මම විශ්වාස කරනවා. 

ඒ වගේම සංවර්ධිත රටක් අවශ්‍යයි.මේ මාතෘ භූමිය නිදහස් කර ගැනීමේ සටනේදී මාතෘභූමිය නිදහස් කර ගැනීම හා සමාන ලෙසම අපේ රට සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ අරමුණ ඔබට තිබුණා. ඒ වගේම, සර්ව සාධාරණත්වය පිරි, නීතිය අගයන රටක්. ලෝකය දිනන රටක් ඔවුන්ගේ මරණාසන්න ප්‍රාර්ථනාවක්. ඔවුන් ජිවිතය පූජා කළේ එම ප්‍රාර්ථනාවන් සහිතව.ඔවුන් ප්‍රාර්ථනා කළ අනාගතය නිර්මාණය කිරීමේ වගකීම අපි භාරගන්නා බව මම මේ රණවිරු ස්මාරකය ඉදිරිපිට ශපථ කර ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ ප්‍රාර්ථනා කිසිසේත්ම පාවා නොදෙන බවට මම ශපථ කරනවා.

සෑම විජයග්‍රහණයක්ම සමරන මොහොතක අප සිහිපත් කළ යුතු දෙයක් තිබෙනවා. ගේ දොරකඩට වී තම පියා එනතුරු බලා සිටින දූ දරුවන් තවමත් සිටිනවා. ඔවුන්ට කිසිදාක තම පියාගේ සෙනෙහස ලබා ගැනීමට වරමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම, තම සැමියා අහිමි වූ බිරින්දෑවරුන්ගේ වේදනාව ඇගේ මුළු ජීවිත කාලය පුරාම රැව් පිළිරැව් දෙනවා. නැවත ඇයට ඇගේ ස්වාමියා ලැබෙන්නේ නැහැ. එය අපි දන්නවා. ඒ වගේම අහිමි වූ දරුවාගේ මතකය සමග අනෙක් දරුවන් දෙස බලා සිටින මව්වරුන්, පියවරුන් සිටිනවා. එම මව්වරුන්ට, පියවරුන්ට තම දරුවා නැවත ලැබෙන්නේ නැති බව අපි දන්නවා. මේ සියලු දෙනා එක්ව රණවිරු ස්මාරකය මත ඔහු සොයනවා. තම හදවතේ ගැඹුරු තැන තමන්ගේ ස්වාමියා, දරුවා, සොහොයුරා, තැන්පත් වී ඇති බව සැබෑවක්. එහෙත්, මේ රණවිරු ස්මාරකය ඉදිරිපිට තිබෙන නම සොයාගෙන පපුවට අත තබාගෙන සුසුම් හෙළනවා. මෙම සංවේදීතාවට පිළිතුරක් ලබා දීමට අපිට පුළුවන්ද? අහිමි වූ වීර සෙබළ සෙබළියන් සැමරීමට අපිට කළ හැකි වන්නේ ඔවුන් විසින් කරන ලද වටිනා කැපකිරීමට ආචාරය පුද කිරීම පමණක්ද? මේ කැපකිරීම් ස්මරණය කිරීමෙන් පමණක් සෑහීමකට පත්විය හැකිද? මේ කැපකිරීම්වලට උත්තමාචාරය පුද කිරීම පමණක් ප්‍රමාණවත්ද, ඔවුන් විසින් ප්‍රාර්ථනා කරන ලද රාජ්‍යය ගොඩනැගීමේ වගකීම ජිවත් වී සිටින අපිට පැවරී තිබෙනවා. 

සෑම උවදුරකදීම සහ සෑම තර්ජනයකදීම ඔවුන් දේශයේ ආරක්ෂාව වෙනුවෙන් පෙරට ආවා. සතුරු උවදුරකදී වේවා, ස්වභාවික ව්‍යසනයකදී වේවා, ඔවුන් ඔවුන්ගේ ජිවිත පරිත්‍යාගයේ අද්විතීය මෙහෙවර ඉටු කර තිබෙනවා. යුද්ධයේදී රට ගලවා ගැනීමේදී වගේම ව්‍යසනයකදී ජීවිත ගලවා ගැනීමටත් ඔවුන් කැපකිරීම් කළ බව අපි දන්නවා. ඒ නිසා ඔවුන් සැමදා අපේ හදවත් තුළ අනුස්මරණීයයි කියන සහතිකය අපි ලබා දෙනවා. 

පසුගිය වසරේ මා සඳහන් කළ පරිදි අපි සන්ධිස්ථානයක සිටගෙන සිටිනවා. නොදැනුවත්කමට වඩා දැනුම සොයාගත යුතුයි. අසමගියට වඩා එකමුතුකම ගොඩනැගිය යුතුයි. එකතැන පල්වීමට වඩා ප්‍රගතිය වෙත ගමන් කළ යුතුයි. මා එදා කියූ පරිදිම අපිට මේ සන්ධිස්ථානයේ මාවත් දෙකක් තිබෙනවා. එක මාවතක් වන්නේ විනාශකාරිත්වයේ පැරණි ගෝත්‍රිකවාදී එකිනෙකා අතර වෛරය, ක්‍රෝධය වපුරන මාවත. අනෙක් මාවත වන්නේ මේ රට සමගිය, සංවර්ධනය, සමෘද්ධිය කරා ගෙන යමින් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන මාවත. මා හිතනවා අසීරුතම මොහොතේ හෝ අප තෝරාගන්නේ දෙවනුව මා සඳහන් කළ මාවතයි. ඒ මාවතේ නොබියව අධිෂ්ඨානශිලීව ගමන් කිරීමට මා ඔබ ඉදිරියේ ශපථ වෙනවා.

මේ පරිවර්තනය වෙනුවෙන් ඉතිහාසයේ පළමුවරට ජනතාවට වග කියන, ජනතාවගේ ජනරජයක් බිහි වී තිබෙනවා. ඒ ජනරජය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනතාවගේ. ස්ථීර වශයෙන් මතු පරම්පරාව වෙනුවෙන්. අද අපි ගමන් කරමින් සිටින්නේ මානවවාදී ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම කරා යන ගමනයි. ඒ ගමන අධිෂ්ඨානයෙන් පිරුණු ඔරොත්තු දීමේ ගිනි දැල් මත ගොඩනැගුණු ගමනක් බව සිහිපත් කළ යුතුයි. ඒ ගමන අසාමාන්‍ය දුෂ්කරතා සහ කම්කටොළු මත වැටී ඇති බව සිහිපත් කළ යුතුයි. එහෙත් මේ දුෂ්කර ගමනේ අවසාන අරමුණ මේ රට දීප්තිමත් ආදර්ශමත් රටක් බවට පත් කිරිම බව සිහිපත් කළ යුතුයි. මේ රණවිරුවන්ගේ ප්‍රාර්ථනාවද එයයි. එම ප්‍රාර්ථනාව ඉටු කිරීමේ වගකීම අපිට තිබෙනවා. 

අද අපි ඉදිරියට ගෙන යන්නේ අප අතර ඇති මනුෂ්‍යත්වය නොබෙදිය හැකි ආත්මයයි. අපි ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වැඩිදියුණු කරමින් සිටිනවා. අපේ රට නීතීය, අධිකරණයේ ස්වාධීනත්වය අගයන රටක් බවට පරිවර්තනය කර තිබෙනවා. මේ රට බේරා ගැනීම වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කළ සියලු දෙනාගේ ප්‍රාර්ථනාව අපේ දෙවුර මත තබාගෙන ආදර්ශවත් රටක් ගොඩනැගීමේ අධිෂ්ඨානශීලි ගමනක අප නිරත වෙමින් සිටිනවා. 

යුද්ධයට ලෝකය කැබිලිවලට පුපුරුවා හැරිය හැකියි. එහෙත් සාමයට කළ හැක්කේ ලෝකය එකතු කිරීමයි. මළ සිරුරු ගොඩවල් මත මිනිස් සමාජයක් නිර්මාණය කරන්න බැහැ. ලේ ගංගා මැද සාමයේ දේවාල නිර්මාණය කරන්න බැහැ. පිපිරෙන බෝම්බ සහ වෙඩි උණ්ඩ මත මතු පරපුරට සැනසිලිදායක රටක්, ලෝකයක් ඉතිරි වන්නේ නැහැ. යුද්ධය ඛේදවාචකයක්. ඒ නිසා අපි යුද්ධයේ කතාව ඉතිහාසයට පවරා සාමයේ තිරසාර වන්දනාව වර්තමානයට එකතු කරගෙන තිබෙනවා. 

අපේ රටේ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ තමන්ගේ යුතුකම ඉටු කළා. ඔවුන් යුද්ධ කළේ බෙදුම්වාදයට එරෙහිව. මේ මාතෘභූමිය සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියලු දෙනාට ඕනෑම තැනක ජීවත් විය හැකි අයිතිය තහවුරු වී තිබෙන මාතෘභූමියක්. එම මාතෘභූමිය බෙදා වෙන් කිරීමට එරෙහිව ඔබ සටන් කළා. ඔවුන් යුද්ධ කළේ ජාතියකට විරුද්ධව නොවෙයි. යුද්ධයේ බිහිසුණු ප්‍රතිවිපාක සියලු ජාතීන්ට අත්විඳීමට සිදු වුණා. එකම රටක තරුණයන් මේ යුද්ධය නිසා අහිමි වුණා. 

අවස්ථාවාදී බලලෝභී දේශපාලකයන්ගේ අන්තවාදී කැත පන්නයේ න්‍යාය පත්‍රය නිසා එකම රටක මිනිස්සු දෙකට බෙදුණා. 

දේශපාලන අශිෂ්ටත්වය මනුෂ්‍යත්වයේ පාපන්දුවක් බවට පත් වුණා. අදත් සමහරු යුද්ධය හොඳද නරකද කියා තර්ක කරනවා. මා යුද්ධය හොඳද, නරකද කියා විනිශ්චයක් දෙන්න සුදානම් නැහැ. හැබැයි මම නැවත කිසිදිනෙක යුද්ධයක් ඇති නොවන බවට වගබලා ගන්නවා. මා ඉදිරිපිට සිටින විරුවන්ගේ ප්‍රාර්ථනාවද එයයි. මා සහ මගේ රජය පෙනී සිටින්නේ යුද්ධය හොඳද, නරකද කියා වගවිභාග කිරීමට නොවෙයි. මා සහ මාගේ රජය පෙනී සිටින්නේ නැවත යුද්ධයක් ඇති නොවන ලෙස වගබලා ගැනීමටයි. රණවිරුවන්ගේ සහ මේ රටේ සියලු දේශප්‍රේමි ජනතාවගේ ප්‍රාර්ථනය එය කියා මම විශ්වාස කරනවා. 

ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සෑම පුරවැසියෙකුටම සමාන වරප්‍රසාද සහිතව ජීවත් වීමේ නිදහස සහතික විය යුතුයි. මිනිස් අයිතිවාසිකම්, මිනිස් වගකීම්, වරප්‍රසාද සියල්ලන්ටම එකයි යන හැඟීම සමස්ත ජීවිතවලට ඇතුළත් විය යුතුයි. අපේ සාමජය පුරුදු වී තිබුණා එක්කෝ මහා බල අධිකාරින් ඉදිරිපිට දණගහගෙන ජීවත් වීමට. එසේ නැතිනම් බියට පත් වී ජීවත් වීමට.ඇතැම් කණ්ඩායමකට නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ජීවත් වීමට පුරුදු නැහැ. ඔවුන් කැමති ගැටුම්, අපහාස, අවලාදවලට. එහෙත් අපි කැප වී සිටිනවා ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස් රාජ්‍යයක් වෙනුවෙන්.

හැකියාව, දක්ෂතාව සහ කුසලතාව ඇති සියලු දෙනාට ඉදිරියට ආ හැකි රටක් නිර්මාණය කළ යුතුයි. විශේෂ වරප්‍රසාදවලින් වැජඹුණු සමහරුන්ට එය වේදනාවට කාරණයක් විය හැකියි. තමන් විශේෂයි කියා සිතමින් අනෙකා පීඩාවට පත් කළ අය තවදුරටත් විශේෂ නොවීම නිසා කලබල විය හැකියි. ඉතිහාසයේ කිසිදා නොවූ ලෙස තරාතිරම නොබලා නීතිය හඹා ඒම ගැන ඔවුන් වියරු වැටිය හැකියි. එහෙත් අපි සර්ව සාධාරණත්වය උදෙසා කොන්දේසි විරහිතව කැප වී සිටිනවා. ජනතා අභිලාෂයන් තිරසාරව ඉටු කරනවා.මේ මියගිය විරුවන්ගේ ප්‍රාර්ථනාවද එයයි.

අපි මේ සැමරුම සිදු කරන මාසය ආගමික වශයෙන් සුවිශේෂී මාසයක්. ලෝකයට කරුණාව, මෛත්‍රියේ සහ සාමයේ පණිවිඩය ලබා දුන් බුදුන්වහන්සේගේ තෙමඟුල අපි මේ මාසයේ සමරනවා. බුදු දහම පදනම් වන්නේ අවිහිංසාව, දයාව සහ සියලු සත්වයන් කෙරෙහි පවතින අප්‍රමාණ මෛත්‍රිය මතයි. අපේ රට චිරාත් කාලයක් මුළුල්ලේ මේ උදාර ධර්මය මත පිහිටා කටයුතු කරනවා. එහෙත් තමන්ගේ බලය සහ වුවමනා වෙනුවෙන් වෛරය, ක්‍රෝධය වපුරන ඉතා සුළුතර පිරිසක් සිටින බව අපි දන්නවා. 

ශ්‍රී ලංකාව සතු බහුවිධ සංස්කෘතික චිත්‍රයක් තිබෙනවා. වසර දහස් ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව විවිධ ජනවාර්ගික, සංස්කෘතික, ආගමික සහ භාෂා කණ්ඩායම් සඳහා අපූරු නවාතැනක් වී තිබෙනවා. පශ්චාත් යුද සමයක ශ්‍රී ලංකාව එහි වේදනාකාරී අත්දැකීම්වලින් එතෙර වීමට උත්සාහ ගනිමින් සිටිනවා. යුද්ධය ඉතාමත් වේදනාකාරී අත්දැකීමක්. එම වේදනාව අපේ මතු පරපුරට උරුම නොකිරීම සඳහා අපි කටයුතු කරමින් සිටිනවා. තිරසාර සාමය සහ සහජීවනය සඳහා පාලම් ගොඩනගමින් සිටිනවා. විවිධත්වය පිළිගැනීම සහ වෙනස්කර නොසැලකීම මගින් තිරසාර සාමය සහ සහජීවනය සඳහා ඒ පාලම් දායකත්වයක් සපයනවා. 

ලෝකප්‍රකට ශ්‍රී පාදස්ථානයේ සියලු ආගමික බැතිමතුන් වන්දනා කරනවා. පොළොන්නරුව යුනෙස්කෝ ලෝක උරුම නගරයේ බෞද්ධ ආරාම තුළ හින්දු සිද්ධස්ථාන තිබෙනවා. කතරගම දේවාලය බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් බැතිමතුන්ගේ පූජනීය ස්ථානයක් වෙනවා. උතුරේ යාපනයෙන් ආරම්භ වී දකුණේ කතරගමින් ආරම්භ වන පුජනීය පාද යාත්‍රාවකට සියලු බැතිමතුන් එකතු වෙනවා. කිරි වෙහෙර වඳින්න යන බැතිමතුන් දේවාලයටත් යනවා. ස්වභාවික ව්‍යසනයක් හමුවේ ජාතිකත්වය වෙනුවට මනුෂ්‍යත්වය උතුරා යනවා. නැති බැරි මොහොතක කිසිදු භේදයකින් තොරව මිනිස්සු උපකාර කරනවා. 

මෙතරම්  සුන්දර මිනිස් සමාජයකට මොනතරම් විශිෂ්ට රටක් ගොඩනැගිය හැකිද? අප විසින් අත්විඳින ලද විනාශයන් ඉතිහාසයට සීමා කළ යුතු යුගය උදා වී තිබෙනවා. අපි දශක ගණනාවක් පුරා ආර්ථික යුද්ධයක ගිලී සිටිනවා. අපි ඒ යුද්ධය ජය ගත යුතුයි. අපි දශක ගණනාවක සිට විරැකියාවේ යුද්ධයක ගිලී සිටිනවා. අපි ඒ යුද්ධය ජයගත යුතුයි. තරුණ පරපුර නිදහස් නිවහල් රටක් ප්‍රාර්ථනා කරනවා. අපි එය ජයගත යුතුයි. 

අපේ රටේ දරු පරපුරට විශිෂ්ට රටක් හිමි කර දීමේ යුද්ධයක අපි ගිලී සිටිනවා. කිසිවක් නොදන්නා දරුවන්ට, දෙමාපියන්ගේ සෙනෙහස, රැකවරණය නොලැබුණු කළ රටක් සිය අනාගතය දිනන්නේ කසේද? අපි ඒ යුද්ධය ජයගත යුතුයි. සෑම පුරවැසියෙකුටම සමාන ලෙස සාධාරණත්වයෙන් සලකන හැම දෙනාගේම මාතෘ භූමිය ලෙස සලකන රටක් බිහි කිරීමේ යුද්ධය අපි ජයගත යුතුයි. 

දශක ගණනාවක යුද්ධය නිමා කරමින් මේ රටේ දෙකෝටියක් ජනතාවගේ කදුළු පිස දැමූ සියලු දෙනාට අපගේ උත්තමාචාරය පිරිනමනවා. එහිදී රණවිරුවන් ඉටු කළ මෙහෙය විශිෂ්ටයි. ඔබගේ එම උත්තුංග කාර්යය වෙනුවෙන් ඔබට නැවත නැවතත් අපේ ගෞරවය පුද කරනවා. 

තවදුරටත් යුද්ධයක වචනයක් නෑසෙන සාමයේ පිරුණු, නිවහල් රටක පෙරට යාමට මම ඔබට ආරාධනා කරනවා. ඒ වගේම ජාතිවාදයේ ගෝරනාඩුව, ආගමික අන්තවාදයේ ගෝරනාඩුව සහ කුඩා කැළඹිලි සහගත කණ්ඩායම්වල ගෝරනාඩුව අපි අවසන් කළ යුතුයි. මේ රට කිසිසේතම යළි කවර හෝ ජාතිවාදී, අන්තවාදී කණ්ඩායමක ගොදුරක් බවට පත්වීමට ඉඩ නොදිය යුතුයි. ඒ වෙනුවෙන් එක් වන ලෙස මම සියලු දෙනාට ආරාධනා කරනවා.”

ඇමති නලින්ද 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි….

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79වන ලෝක සෞඛ්‍ය සමුළුව ඊයේ (18) ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේ දී ආරම්භ විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය සමුළුවේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙවර සමුළුව නියෝජනය කරනු ලබයි.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (19)79වන ලෝක සෞඛ්‍ය සමුළුව අමතනු ලැබීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr.Tedros Adhanom Ghebreyesus මහතා ලෝක සෞඛ්‍ය සමුළුව නිල වශයෙන් විවෘත කළ අතර සමාජික රටවල් 194ක සෞඛ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටී.

මෙවර සමුළුවේ තේමාව “One world for Health” යන්නයි.

මෙම තේමාව යටතේ ගෝලීය සෞඛ්‍ය අභියෝග, වසංගත සඳහා සුදානම සහ විශ්ව සෞඛ්‍ය ආවරණය පිළිබඳව සාකච්ඡා, වැඩමුළු, සැසි, දේශන ගණනාවක්ම පැවැත්වේ.

කපිලට ඇප තැබූ අයගෙන් සාක්ෂි නොකැඳවූයේ ඇයි? – මහේස්ත්‍රාත් පොලීසියෙන් විමසයි…..

සැකකටයුතු ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබූ පුද්ගලයන් දෙදෙනාගෙන් පොලිසිය තවමත් සාක්ෂි කැඳවා නොමැති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (19) හෙළිවුණි.

ඒ සම්බන්ධයෙන් පොලිසියෙන් දැඩි ස්වරයෙන් මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ තවමත් ඔවුන්ගෙන් ප්‍රකාශ හෝ සටහන් කරගෙන නොමැතිනම් විමර්ශන සිදුකරන්නේ කෙසේ ද යන්නයි.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම අද තෙවැනි දිනටත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුකෙරුණි.

විමර්ශන නිලධාරින් අද සඳහන් කළේ මරණය සිදුවූ නිවසට රථ ගාල් දෙකකින් ඇතුළුවීමට හැකියාව ඇති අතර එම නිසා අවට තිබූ සී.සී. ටී.වී දර්ශන ද පරීක්ෂා කළ නමුත් 2026 වසරේ මැයි මස 05 වනදා සහ 07 වන දා අතර කිසිඳු බාහිර පුද්ගලයකු එම නිවසට ඇතුළු වී නැතැයි තොරතුරු අනාවරණ වූ බවය.

මෙම නිවසේ මෙන්ම මරණකරු පදිංචිව සිටි නිවසේද  සී.සී.ටී.වී. දත්ත ගබඩාවී නැතැයි විමර්ශනවලදී හෙළි වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුනි.

ඒ අනුව එම සීසීටීවී කැමරාවල ඩී.වී.ආර් යන්ත්‍ර මෙන්ම මරණය සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් හඳුනානොගත් ඖෂධ වර්ග රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවීම සඳහා විමර්ශන නිලධාරින් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

එම ස්ථානයේ නාඳුනන ඖෂධ පෙති වර්ග දෙකක් තිබූ බවත් පොලිසිය අනාවරණ කළේය.

මේවන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙන කපිල චන්ද්‍රෙස්න මහතාගේ ඇපකරුවන් සම්බන්ධයෙන් ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේය.

”මෙම සාක්ෂි විභාගයේදී මරණකරුට ඇප තැබූ පුද්ගලයින් දෙදෙනෙකු ගැන තොරතුරු අනාවරණ වුණා. ඒ අය සාක්ෂියට කැඳවන්නේ නැද්ද? ”

ඊට පිළිතුරු දෙමින් පොලිසිය සඳහන් කළේ ” ස්වාමීනි ඒ අයගෙන් තවම ප්‍රකාශ සටහන් කරගන්න බැරි වුණා.” යනුවෙන්ය.

එහිදී මහේස්ත්‍රාත්වරයා දැඩි ස්වරයෙන් “ප්‍රකාශ සටහන් කරගන්න බැරිවුණා කියලා සාක්ෂි කැඳවන්නේ නැතුව ඉන්න පුළුවන්ද? ඒ අයවනේ කලින් සාක්ෂියට කැදවන්න ඕන.  ප්‍රකාශ සටහන් කර ගත්තේ නැත්නම් විමර්ශනය කරන්නේ කොහොමද?”  යනුවෙන් ප්‍රශ්න කළේය.

ඒ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියා සඳහන්කෙළේ ” ස්වාමීනි… මේ ඇපකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කරලා තියෙන්නේ” යනුවෙන්ය.

ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා ” රිමාන්ඩ් බාරයට පත් කරලා තියෙන්නෙ ඒ ඇපකාරයෝ දෙන්න නෙවෙයිනේ. රිමාන්ඩ් භාරයට පත් කරලා තියෙනවනම් ප්‍රකාශයක් ගන්න තවත් ලේසියිනේ. මගෙන් නියෝගයක් අරගෙන ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්” යනුවෙන් ප්‍රකාශ කළේය.

විමර්ශන සඳහා පොලීසිය ඉල්ලා සිටි නියෝග සියල්ල නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි කැඳවන ලෙස නියම කළේය.

ඒ අනුව අද පළමුව සාක්ෂි දුන්නේ කොළඹ පුද්ගලික රෝහලේ හෙද නිලධාරියෙකු වන කෝසල රත්නජීව මහතායි.

”සිද්ධිය වූ දින පෙරවරු 7.45ට පමණ පළමු දුරකථන ඇමතුම ආවා. අපි අදාළ නිවසට ගිලන් රථයෙන් ගියා. පසුව ඒ නිවසේ සිටි ලෝයර් කෙනෙක් අපිව උඩ තට්ටුවට එක්ක ගියා. කාමරයේ ලයිට් ඕෆ් කරලා තිබුණා. ඇඳ උඩ ඇඳුම් බෑග් එකක් තබා තිබුණා. පුද්ගලයෙකු බිම් දිගා වෙලා වගේ හිටියා. බෙල්ලේ රෙදි පටියක් ගැටගහලා තිබුණා. මුහුණ පුටුවක් උඩ තිබුණා. වෛද්‍යවරිය ඒ පුද්ගලයා පරීක්ෂා කළා. ඔහු මියගොස් ඇතැයි තහවුරු කළා. මියගිය පුද්ගලයා කපිල චන්ද්‍රසේන කියලා දැනගත්තා. රෝහල් පාලනාධිකාරියෙන් ලද උපදෙස් අනුව මම කොල්ලුපිටිය පොලිසියට දුරකථනයෙන් දැනුම් දුන්නා ” යනුවෙන් සඳහන් කළේය.

එම අවස්ථාවේදී පොලීසිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ඔහු අදාළ ස්ථානයේ නිරීක්ෂණය කළේ මොනවාද යන්නයි.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු, ” මරණය සිදුවූ ස්ථානයේ ඇඳ මත  බෑග් එකක් තිබ්බා. බෙහෙත් වර්ගයක් තිබුණා. ඒවා රුධිර සීනි මට්ටම පාලනය කරන බෙහෙත් පෙති බව අපිට පෙනී ගියා.” යනුවෙන් පැවසීය.

ඉන් පසු සාක්ෂි ලබාදුන්නේ අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සේවය කළේ රාජේන්ද්‍ර කුමාර් සිවකුමාර්.

“මැයි 07 වනදා හවස 3.30 ට විතර කපිල මහත්තයා අපේ ගෙදර ආවා. එයා රාත්‍රී කෑම ගත්තේ නෑ. රාත්‍රීයේ කපිල මහත්තයා අරවින්ද සර් එක්ක කතා කරමින් ඉන්නවා දැක්කා. රාත්‍රී 12. 10 විතර මම නිදාගන්න ලෑස්ති වුණා. අන්තිමට මම තේ එකක් හදලා දුන්නා. ඒ වෙනකොට වෙලාව රාත්‍රී 12.00 ත් 12.05 ත් අතර ඇති. මම රාත්‍රි 12.15 ට විතර මම නිදාගන්න ගියා. රාත්‍රී 1.30 ට පමණ වොෂ් රූම් යන්න මම ඇහැරුණා. පැන්ට්‍රි කාමරය පැත්තේ ලයිට් දාලා තියෙනවා දැක්කා. මම ජනේලෙන් එබිලා බැලුවා. ඒ වෙලාවේ මම දැක්කා කපිල මහත්තයා සුදුපාට බෝතලයක් අතේ තියාගෙන ෆිල්ටර් එක ළග හිටියා. මම සර්ගෙන් ඇහුවා මොනවද ඕන කියලා. වතුර ගන්න ආවා කියලා කිව්වා. මම කිව්වා කාමරයේ වතුර තියලා තියෙනවා කියලා. පස්සේ උඩට ගියා. මම නිදාගන්න ගියා”  යනුවෙන් සාක්ෂිකරු ප්‍රකාශ කළේය.

පසුව සාක්ෂි ලබාදුන්නේ අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සීසීටීවී කැමරා සවි කළ ආයතනයේ ඉංජිනේරුවකු වන ක්‍රිෂාන්ත කමලසිරි මහතායි.

”අරවින්ද ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව ඔහූගේ නිවසේ කැමරා පහක් සවිකලා. 2022 වසරේ වගේ තමයි ඒවා සවිකළේ. ඒ අවස්ථාවේදී එම නිවසේ සිටි ප්‍රසන්න නමැත්තාට පෙන්නුවා රෙකෝඩ් වෙනවා කියලා. දත්ත මාසයක් පමණ තියාගන්න විදියටයි තිබුණේ. අවුරුද්දකට විතර පස්සේ කතා කරලා කිව්වා එලාම් එකක් වදිනවා බලන්න කියලා. පරීක්ෂා කළාම ඒකේ හාඩ් “ඩිස්ක් එක”  ඩැමේජ් වෙලා කියලා දැනගත්තා. පසුව මාරු කළා. මේවා සර්විස් කිරීම ගැන ඇග්‍රීමන්ට් එකක් තිබුණේ නැහැ. මේ කැමරාවල දත්ත ගබඩා නොවෙන්නේ ඇයි කියලා මට කියන්න බෑ. මම පරීක්ෂා කරලා නෑ” යනුවෙන් සඳහන් කළා. අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 22 වනදා දක්වා කල් තැබුණි.