දක්ෂිණ අධිවේගයේ වාහන 5ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්….

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර කිලෝමිටර් 31 ප්‍රදේශයේදී වාහන 5ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පැවසීය.

මාතර දෙසට ගමන් කරමින් තිබූ බස් රථ දෙකක් සහ මෝටර් රථ තුනක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් පොලීසිය සඳහන් කළේ මෙම අනතුර හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද ඇති වී ඇති බවය.

රටම එකට ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය විවෘත කෙරේ…..

”රටම එකට” ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානය අද (26) විවෘත කෙරුණි.

කොළඹ 07, විජේරාම මාවතේ ස්ථාපිත කෙරුණු මෙම කාර්යාලය විවෘත කෙරුණේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ , සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ද එක්වුණි.

මෙම අවස්ථාවට එක්වෙමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පසුගිය සමයේ ජනතාවගෙන් ලැබුණු තොරතුරු 6,396 අතරින් , 3,113ක් සාර්ථක ප්‍රතිඵලදායී තොරතුරු බවය.

ඒ අනුව ඉදිරියටත් මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු 1818 අංකය ඔස්සේ ලබාදිය හැකි බවත්, සාර්ථක තොරතුරු ලබාදෙන අයට වටිනා ත්‍යාග ලබාදෙන බවත් පොලිස්පතිවරයා ජනතාවට දැනුම්දෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකුට මෙරටින් පලායෑම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූට ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අද (26) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාළවය.

සැකකරු වයස අවුරුදු 41ක් වන පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා වශයෙන් සේවය කරන ලද කාලය තුළ මෙම අපරාධය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අපරාධ, රථවාහන, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන දිසාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා විමර්ශනයක ප්‍රථිපලයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි

සියයට 15 ඉක්මවූ බස් ගාස්තු වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා – ගැමුණු……

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය එළඹෙන ජුලි මස පළමු වන දින සිට සිදුකරන ලෙස පුද්ගලික බස් සංගම් විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඊයේ (24) දිනයේ දී එම ඉල්ලීම ලිඛිතව සිදුකළ බව ඒ මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ඉදිරි දින පහ තුළ ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමග සාකච්ඡා කිරීමට ද අපේක්ෂා කරන බවය.

“අපි බලාපොරොත්තු වෙනදා 15% ත් 20%ත් අතර පරාසයක වැඩිවීමක්. පහුගිය දින කිහිපයම අපි පාඩුවට දිව්වේ. ඩොලර් එක සහ අනිත් පිරිවැය සියල්ල වැඩි වෙලා තියෙනවා. බස්  කාර්මාන්තය බරපතළ අර්බුදයක තියෙන්නේ. මාසයක් අපි ධාවනය කළේ අමාරුවෙන්. ඉදිරියේ මාස 6ක් තුල ඩීසල් මිල අඩු වුනත් අපි බස් ගාස්තු අඩු කරන්නේ නෑ කියලා තීරණය කළා. “

“බස් ගාස්තු අවස්ථා 300 ගානක් තියෙනවා ඒ සියල්ල්ම වැඩි වෙනවා. සංශෝධනයක් නෙමෙයි වැඩි වෙනවා. අපේ බලාපොරොත්තුව අවම ගාස්තුව රුපියල් 35ක් 40ක් වත් වෙයි කියලා.”

2027 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ…..

2027 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා අදාළ චක්‍රලේඛය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව මෙම ඇතුළත් කිරීමේ ක්‍රියාවලියට අදාළ අංක 25/2026 චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

භෞත චිකිත්සකවරියගේ මරණය – සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර…..

භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබේ.

ඒ අනුව ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ ඝාතනයට සහයෝගය ලබා දුන් බව කියන කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිඳ සහ දරුවා වැල්ලවත්තේ සිට යාපනේ දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් කරමින් සිටියදී වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් යාපනේ කයිතඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

ඉන් අනතුරුව සැකකාර අඹුසැමි යුවළ නුවරඑළිය පොලිසිය වෙත ඊයේ (24) දින භාර දෙනු ලැබූහ.

මේ අතර මෙම සිද්ධියට සහයෝගය දැක්වූ බව කියන කුණඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරු නුවරඑලිය පොලිසියේ නිළධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඊට අනුබල දුන් ආරක්ෂක අංශ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නුවරඑළිය පොලිසියෙන් කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

විරෝධතාවක් අතරතුර කොටුවේ උණුසුම් තත්ත්වයක්……

‘ජන අරගල ව්‍යාපාරය’ විසින් අද (25) පස්වරුවේ කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවයක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

විරෝධතාකරුවන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පාගමනින් ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමග පොලිසිය ඊට බාධා කිරීම හේතුවෙන් මෙම නොසන්සුන්තා ඇති විය.

එහිදී ඔවුන් පොලිස් අණ නොතකා ඉදිරියටම ගමන් කිරීමට උත්සාහ කිරීම නිසා, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවීමටද පියවර ගෙන තිබුණි.

ශ්‍රී ලංකාවේ සියලුම ඉඩම් ජාලගත කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්….

ශ්‍රී ලංකාවේ සියලුම ඉඩම් ජාලගත කිරීමේ වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, රටේ ඉඩම් තොරතුරු ඩිජිටල් පද්ධතියක් යටතට ගෙන ඒම පිළිබඳ අවධානය යොමු කෙරිණි.

මෙතෙක් ක්‍රියාත්මක වූ ඉඩම් ඔප්පු ලබා ගැනීම, පත්ඉරු ලබා ගැනීම සහ රජයේ ඉඩම් ආයෝජකයින් වෙත හඳුන්වාදීම වැනි කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා මෙම ඉඩම් ජාලගත කිරීම වැදගත් පියවරක් වන බව මෙහිදී සඳහන් විය.

දැනට පවතින රජයේ දත්ත පද්ධති සමඟ නව ඉඩම් ජාලගත කිරීමේ පද්ධතිය ඒකාබද්ධ කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

රජය සතු ඉඩම් හැකි ඉක්මනින් ආයෝජන අවස්ථා සඳහා යොමු කර ජනතාවට ප්‍රතිලාභ ලබාදීම සඳහා කටයුතු කළ යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ඉඩම් සිතියම්ගත කිරීමේ තොරතුරු නව දත්ත පද්ධතියට ඇතුළත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

මෙම වසර තුළ ව්‍යාපෘතිය අවසන් කර එහි ප්‍රතිලාභ ජනතාව වෙත ලබාදීමට හැකි වන පරිදි කටයුතු කරන ලෙස අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු අතිරේක ලේකම්වරුන් කිහිපදෙනෙකු සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා ජූලි 03 දක්වා රිමාන්ඩ්….

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා ජුලි 3 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ ඔවුන් අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක්කටා’ මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝගමත රඳවා සිටියේය.

ඒ අතරතුරදී 2023 වසරේ මාර්තු මාසයේදී එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, වත්මන් හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ අරුණ වරුණහැන්දිගේ ඩුබායි රාජ්‍යවෙත ගොස් ඇති බව අල්ලස් කොමිසම පැවසීය.

එකම ගුවන් යානයක ඔවුන් ඩුබායි රාජ්‍යවෙත ගොස්  එහිදී හරක් කටාගේ බිරිඳවන මධුෂිකා මධුවන්ති හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මිදිගම රුවන් නැමැත්තා හමුවී ඇති බවද  කොමිසම සඳහන් කළේය.

එහිදී හරක් කටා පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම, රැඳවුම් නියෝග ඉවත්කිරීම, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමුකිරීම හා විමර්ශන කටයුතුවලින් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරදෙන බව පවසා රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී අනාවරණවී තිබෙනවා.

අනතුරුව එය රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් පළමුව ලබාගෙන ඇති අතර,තවත් රුපියල් කෝටි 2ක මුදලක් පසුව ලබාගෙන ඇති බව ද විමර්ශනවලදී අනාවරණ වූ බව අල්ලස් කොමිසම සඳහන් කළේය.

ආදළ මුදල උණ්ඩියල් ක්‍රමය හරහා මෙරටට ගෙන්වා ගෙන ඇති බවත් වාර්තාවී තිබේ.

රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ හා අරුණ වරුණහැන්දිගේ යළි එකම ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බව ද විමර්ශනවලදී අනාවරණ වී තිබුණි.

ඒ අනුව සැකකරුවන් තිදෙනා අද පෙරවරුවේ අල්ලස් කොමිසම මගින් සැකකරුවන්ගේ නිවෙස් වලදී අත්අඩංගුවට ගැනුණි.

පැය අටකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔවුන් අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ සහකාර නීති අධ්‍යක්ෂ අනූෂා සම්බන්දප්පෙරුම මහත්මිය කියා සිටියේ අල්ලස් කොමිසමට ලද නිර්නාමික පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කළ බවය.

2023 වර්ෂයේ නදුන් චින්තක නොහොත් හරක්කටා රැඳවුම් භාරයේ සිටියදී මෙම සැකකාර චරිත අබේසිංහ විසින් හරක්කටාගේ සමීපතමයෙකු වූ නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැත්තාට දුරකථන ඇමතුමක් ලබාදී රැඳවුම් භාරයේ සිටියදී හරක්කටා ඝාතනයට ලක්විය හැකි බවත්, ඔහුව බුස්ස බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයකට මාරු කළ හැකි බව සහ වෙනත් සහන ලබාදිය හැකි බව පවසා ඇති බව සහකාර නීති අධ්‍යක්ෂවරිය අධිකරණයට කියා සිටියේය.

එබැවින් ඒ සම්බන්ධයෙන් හරක්කටාගේ බිරිඳ සමඟ ඩීල් එක දමන ලෙස සැකකාර චරිත අබේසිංහ හර්බි නැමැත්තාට පවසා ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියේය.

අනතුරුව චරිත අබේසිංහ, නීතිඥ රඛිත රාජපක්ෂ සහ අරුණ ශ්‍රී චතුරංග යන මෙම සැකකරුවන් තිදෙනා 2023 මාර්තු 25 දින ඩුබායි රාජ්‍ය බලා ගොස් හර්බි නැමැත්තාගේ නිවසේදී හරක්කටාගේ බිරිඳගෙන් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව සහකාර නීති අධ්‍යක්ෂවරිය සඳහන් කළේය.

එහිදී පළමුව ලක්ෂ 5000ක් ඉල්ලා, පසුව එය ලක්ෂ 2000 දක්වා අඩුකර ඉන් ලක්ෂ 1200ක් අත්තිකාරම් මුදල ලෙස ලබාගෙන ඇති බව ඇය සඳහන් කළේය.

කෙසේ වෙතත් අල්ලස් මුදල ලබාගැනීමෙන් පසු පොරොන්දු ඉටු නොකිරීම නිසා හරක් කටාගේ බිරිඳ වන මදුෂානි නැමැත්තිය යළි සිය මුදල් ඉල්ලා ඇති බවත්, එවිට චරිත අබේසිංහ විසින් මෑතකදී ඝාතනයට ලක්වූ මිදිගම ලසන්ත නැමැත්තා හරහා ලක්ෂ 200ක මුදලක් ආපසු හරක් කටාගේ බිරිඳට යවා ඇති බව විමර්ශනයෙන් අනාවරණය වූ බවද සහකාර නීති අධ්‍යක්ෂවරිය පැවසීය.

ඇය වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් හරක්කටාගේ බිරිඳ වන මදුෂානි නැමැත්තිය පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර නදුන් චින්තක හෙවත් හරක් කටා විමර්ශන නිලධාරින්ට ප්‍රකාශයක්ද ලබා දී ඇති බවය.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව දූෂණ විරෝධි පනතේ 149 වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක් ඉදිරිපත් කර ඇති බැවින් සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි සහකාර නීති අධ්‍යක්ෂවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව සැකකරුවන්ට ඇප ලබාගැනීම වෙනුවෙන් නීතිඥවරුන් සුවිශේෂි කරුණු ඉදිරිපත් කළේය.

එහිදී සැකකාර රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කියා සිටියේ සිය සේවාදායකයාට ස්ලීප් ඇප්නියා නම් රෝගී තත්ත්වය ඇති බවත් රක්ෂිත බන්ධනාගාරගත කළහොත් ඔහුට ජීවිත අවධානමක් ඇතිවිය හැකි බැවින් එය සුවිශේෂි කරුණක් ලෙස සලකා ඇප ලබාදෙන ලෙසය.

එසේම චරිත් අබේසිංහ වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා සිය සේවාදායකයාට බරපතළ හෘද රෝගී තත්ත්වයක් පවතින බැවින් රක්ෂිත බන්ධනාගාරගත කිරීම හරහා ඔහුගේ ජීවිතයටද අවදානමක් ඇතිවිය හැකි බැවින් එය සුවිශේෂි කරුණක් ලෙස සලකා ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු සුවිශේෂි කරුණු නොවන බව දක්වමින් ඔවුන්ට මෙම අවස්ථාවේ ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව සැකකරුවන් තිදෙනා එළඹෙන ජුලි මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

රට තුළ පොහොර අතිරික්තයක් – ජාතික පොහොර ලේකම් කාර්යාලය……

මෙවර යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණයට වඩා වැඩි තොගයක් මේ වනවිට රට තුළ පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, රට තුළ පොහොර හිඟයක් නොමැති බවත් ඉදිරි කාලය සඳහා තවත් පොහොර තොග ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවත්ය.

මෙවර යල කන්නය සඳහා යුරියා පොහොර මෙට්‍රික් ටොන් 125,000ක අවශ්‍යතාවක් ඇස්තමේන්තු කර තිබූ අතර, මේ වනවිට ඉන් මෙට්‍රික් ටොන් 120,000ක් ගොවීන් වෙත බෙදාහැර ඇති බවද ඔහු පැවසීය.

කන්නය ආරම්භ වනවිට රට තුළ යුරියා මෙට්‍රික් ටොන් 101,000ක් පැවති අතර, පසුව තවත් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කර තිබේ.   ඒ අනුව මෙවර කන්නය සඳහා රට තුළ පැවති සමස්ත යුරියා තොගය මෙට්‍රික් ටොන් 152,000ක් බව සඳහන්ය.

ඉන් මෙට්‍රික් ටොන් 120,000ක් බෙදාහැර ඇති අතර, තවත් මෙට්‍රික් ටොන් 32,000ක පමණ ප්‍රමාණයක් සමාගම් සතුව පවතින බවද ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කරයි.

එමෙන්ම ඉදිරි සතියේදී තවත් යුරියා මෙට්‍රික් ටොන් 17,000ක් මෙරටට ලැබීමට නියමිතව ඇත.

TSP පොහොර සඳහා මෙවර කන්නයට අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 19,300ක් වන අතර, මේ වනවිට මෙට්‍රික් ටොන් 16,000ක් පමණ බෙදාහැර ඇති බව සඳහන් වේ.

යල කන්නය ආරම්භ වනවිට TSP පොහොර මෙට්‍රික් ටොන් 34,000ක් රට තුළ පැවති අතර තවත් මෙට්‍රික් ටොන් 1,900ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇත.

MOP පොහොර සඳහා අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 42,000ක් වන අතර, මේ වනවිට රජය සහ සමාගම් මගින් මෙට්‍රික් ටොන් 32,000ක් බෙදාහැර තිබේ. කන්නය ආරම්භයේදී MOP පොහොර මෙට්‍රික් ටොන් 39,000ක් සමාගම් සතුව පැවති බවද නිලධාරියා සඳහන් කළේය.

පසුගිය මාස තුනක කාලය තුළ MOP පොහොර මෙට්‍රික් ටොන් 10,000ක් පමණ ආනයනය කර ඇති බවද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.