මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් මෝටර් රථ දෙකක් පොලිස් භාරයට…..

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මෝටර් රථ දෙකක් ගණේමුල්ල ප්‍රදේශයේ දී අද (13) පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

ඒ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක දීය.

ගණේමුල්ල ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ග්‍රෑම් 300ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 09 ග්‍රෑම් 946ක් සමග ඊයේ (12) අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම මෝටර් රථ පොලීසිය විසින් සොයා ගෙන ඇත.

අදාළ මෝටර් රථ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගෙන ඇති බව දැනට සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට වත්කම් ප්‍රකාශයක් භාර දෙයි…

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (10) සිය වත්කම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.

දින 14 තුළ සිය වත්කම් ප්‍රකාශය ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී තිබුණි.

එම දින 14ක කාලය අදින් අවසන් විය.

ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම වත්කම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් භාරදී ඇති බව අල්ලස් කොමිසම කියයි.

කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්…

පිළියන්දල පොලිස් වසමේ කරදියාන කසළ අංගණයේ අද (10) පස්වරුවේ හටගත් හදිසි ගිනි ගැනීම හේතුවෙන් ප්‍රදේශය පුරා අධික දුමාරයක් පැතිර යමින් පවතින බව පොලිසීය පවසයි.

මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා මොරටුව ගිනි නිවීමේ ඒකකය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය සහ පිළියන්දල පොලිසිය එක්ව කටයුතු කරමින් සිටී.

මින් පිටවන දුමාරය විෂ සහිත වීමට ඉඩ ඇති බැවින් එම කසළ අංගණයට ආසන්න අතුරු මාර්ග භාවිත කරන මහජනතාව එම ප්‍රදේශය මගහැර ගමන් කිරීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලිසිය දැනුම්දෙයි.

තවද එම ප්‍රදේශය ආශ්‍රිතව වාසය කරන මහජනතාව එම දුම ආග්‍රාහණය වීමෙන් සිදුවන සංකූලතා වළක්වා ගැනීම සඳහා මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙසද සඳහන් කරයි.

හෝමාගම සාදයේදී සරසවි සිසුවා මියගියේ හෘදයාබාධයකින්…..

හෝමාගම ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර මියගිය, සරසවි සිසුවාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රී මෙම සාදය පවත්වා තිබූ අතර එහිදී බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ගැටුමක්ද හට ගෙන තිබුණි.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට එම විශ්වවිද්‍යාලයේම සිසුන් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්…..

උත්සව සමය තුළ ජනතාවට සුරක්ෂිත සහ සාමකාමී වටපිටාවක් නිර්මාණය කිරීමේ අරමුණින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත.

ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් මෙම විශේෂ ආරක්‍ෂක යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ.

මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ මඟින් අලුත් අවුරුදු සමයේ දිවයින පුරා පැවැත්වෙන විවිධ උත්සව, සංගීත සංදර්ශන සහ ආගමික වැඩසටහන්වලදී ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අධීක්ෂණය කරනු ලබන බවද නිවේදනයේ සඳහන්.

එමෙන්ම මේ සඳහා, කොළඹ පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇති අතර, එය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක සම්බන්ධීකරණයෙන් යුතුව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වේ.

මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය සමග පහත සඳහන් දුරකථන අංක සහ විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ විය හැක.

දුරකථන අංක
011-2013051/011-2027148
011-2027149/011-2430912

විද්‍යුත් තැපැල් ලිපිනය
igp.opsroom@police.gov.lk

සියලුම ආරක්ෂක ආයතන අතර සමීප සහයෝගීතාව වර්ධනය කිරීම, තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම සහ ඕනෑම හදිසි හෝ ආරක්ෂක තත්ත්වයකදී ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම මධ්‍යස්ථානය හරහා පහසුකම් සපයනු ලැබේ.

මෙම නිවේදනය මගින් ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය තුළ සියලු ජනතාව වෙත සාමකාමී සහ සුරක්ෂිත පරිසරයක් සහතික කිරීම සඳහා ආරක්‍ෂක අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත උපරිම සහයෝගය ලබා දෙන ලෙසය.

ලැබ් එකේ අවුල කලින්ම දැනසිටි බව ගල්අඟුරු සාමාන්‍යාධිකාරීවරයා පිළිගෙන….

ට්‍රයිඩන්ට් සමාගමේ ගල්අඟුරු තොග මෙරටට පැමිණි මුල් අවධියේ සිටම, එම සාම්පල පරික්ෂා කළ පැටවුම් වරායේ පරීක්ෂණාගාරයට නිසි ප්‍රතීතනතාවයක් නොතිබුණු බව ලංකා ගල්අඟුරු සමාගම දැන සිටියේ යැයි එම සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා කෝප් කමිටුව හමුවේ පිළි ගෙන තිබේ.

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා එම කමිටුව හමුවේ පෙනී නොසිටි අතර ඔහු කෝප් කමිටුවට සහභාගී වීම සිතාමතා මඟහැර ඇති බවට ද එහිදී චෝදනා එල්ල විය.

එමෙන්ම රැස්වීම අතරතුර කෝප් කමිටු සභාපතිවරයා පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට විපක්ෂයෙන් දැඩි චෝදනා එල්ල විය.

ලැබ් එකේ අවුල කලින්ම දැනසිටි බව ගල්අඟුරු සාමාන්‍යාධිකාරීවරයා පිළිගෙන….

ට්‍රයිඩන්ට් සමාගමේ ගල්අඟුරු තොග මෙරටට පැමිණි මුල් අවධියේ සිටම, එම සාම්පල පරික්ෂා කළ පැටවුම් වරායේ පරීක්ෂණාගාරයට නිසි ප්‍රතීතනතාවයක් නොතිබුණු බව ලංකා ගල්අඟුරු සමාගම දැන සිටියේ යැයි එම සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා කෝප් කමිටුව හමුවේ පිළි ගෙන තිබේ.

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා එම කමිටුව හමුවේ පෙනී නොසිටි අතර ඔහු කෝප් කමිටුවට සහභාගී වීම සිතාමතා මඟහැර ඇති බවට ද එහිදී චෝදනා එල්ල විය.

එමෙන්ම රැස්වීම අතරතුර කෝප් කමිටු සභාපතිවරයා පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට විපක්ෂයෙන් දැඩි චෝදනා එල්ල විය.

CCD හිටපු අධ්‍යක්ෂ සහ නිලධාරීන් 4ක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් CID අධ්‍යක්ෂකට අතුරු තහනම් නියෝගයක්….

පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මධුෂ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු වන ජනක් නන්දන ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කළ එම නිලධාරීන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මාකඳුරේ මධුෂ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදුකරන අතර ඊට අදාළව තමන්ව කොයි මොහොතක හෝ අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවය.

වගඋත්තරකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ මෙහෙයවීම යටතේ මෙම විමර්ශනය සිදුකරන බවත් ඒ තුළින් තමන්ට දැඩි අගතියක් සිදුවිය හැකි බවත් පෙත්සම්කරුවන් සඳහන් කරයි.

ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විසින් මෙම නියෝග නිකුත් කළ අතර එම නඩුකරය යළි මැයි මස 15 වනදා කැඳවීමටද නියම කෙරුණි.

ඊට අමතරව වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක් – අමාත්‍ය ආනන්ද විජේපාල….

2019 වසරේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන අතර 2017 සිට සිදුකරන ලද කුමන්ත්‍රණයක් බවට මේ වනවිට සිදු කරන ලද විමර්ශන ඔස්සේ අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසයි.

අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක්

“පාස්කු ඉරුදින ප්‍රහාරය හුදකලා සිදුවීමක් නොවන බවත් ඒ 2017 සිට සැලසුම් සහගතව දියත් කරන ලද කුමන්ත්‍රණයක් බවත් මේ වෙනකොට විමර්ශන ආශ්‍රයෙන් හෙළිවෙලා තියෙනවා. මේක කුමන්ත්‍රණයක් මීට 2017 සිට සැලසුම් කරලා. ක්‍රමක්ක්‍රමයෙන් ක්‍රියාත්මක කරලා මේ සිද්ධිය දක්වා ගෙනාපු කුමන්ත්‍රණයක් හැටියට තමා දැනට විමර්ශනවලින් අනාවරණය වෙන්නේ.

2018.11.30 දින වව්නතිව් පොලිස් නිලධාරීන්ගේ ඝාතනය. 2017.12. 22, 23  දින මාවනැල්ල බුදු පිළිමවලට එල්ල වූ ප්‍රහාරය 2019.01.16 දින වනාතවිල්ලුව ප්‍රහසිගත කඳවුරක තිබී සොයාගන්නා ලද ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සමග සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීම. 2019.03.10 දින මාවනැල්ල ප්‍රදේශයේ තස්ලීම් නැමැති පුද්ගලයාට වෙඩිතැබීම. 2019.04.16 දින මඩකලපුව කාත්තන්කුඩි පාලමුන ප්‍රදේශයේ යතුරු පැදියක් පුපුරුවා හැරීම 2019.04.21 දින පාස්කු ඉරිදා ප්‍රහාරය. මේ එක ම කණ්ඩායමක එකිනෙකා හා දාමගත වූ සිදුවීම් සිදුවීම් මාලාවක් බව මේක කරනකොට සහ විමර්ශන අංශයෙන් පැහැදිලි වෙනවා.”

සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් හේතුව

පාස්කු ප්‍රහාරයට අදාළ කුමන්ත්‍රණය සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකපිට සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

“පාස්තු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් කුමන්ත්‍රණය සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අනුව මේ වෙනකොට තුවාන්  සුරේෂ් සලේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. හැබැයි මීට පෙරාතුව මොහු පාස්කු ඉරුදින ප්‍රහාරයේ නඩු විභායේ ශාක්ෂි ලැයිතුවේ පළමු ශාක්ෂිකරු විදිහට නම් කරලා තියෙනවා.  2024.10.11 කරන ලද පැමිණිල්ලකට අනුව මේ වනකොට අදාළ සැකකරු අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් මේ වනවිට අභියාචනාධිකරණයේ නුඩු දෙකක් ගොනු කරලා තියෙනවා.  යුදහමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කර ඇති විශ්‍රාමික මෙජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ යන අය පාස්කු ප්‍රහාරයට පෙරාතුව ඉස්ලාම් අන්තවාදීන්ගේ සාහසික ක්‍රියා පිළිබඳව දැන සිටිමින් ඒවා වැළැක්වීමට හා හෙළිදරව්වීම ඕනෑකමින් වළක්වා ඇති බවත් පාස්කු ප්‍රහාරය සිදුවීමට අවකාශය සලසා ඇති බවටත් පාස්කු ප්‍රහාරයෙන් පසු මෙහෙයවූ පුද්ගලයින් පාර්ශව කණ්ඩායම් හෙළිදරව්වීම වැළැක්වීමට සෘජුව හා  වක‍්‍රකාරව  කටයුතු කර ඇති බවටත් ඒ අනුව පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණය හා ආධාර අනුබලදීමට කටයුතු කර ඇති බැවින් එවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකමට සම්බන්ධ වූ හෝ ප්‍රවේදීතාවක් දක්වන්නේ යැයි සාධාරණ යුක්ති සහගතව සැකකරුනු ලැබීමට අදාළව කරුණු වාර්තාවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ඇරගෙන තියෙනවා.”

පිල්ලෙයාන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පූර්ව දැනුවත් භාවයකින් ඉදලා

ශිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව දැනුවත්භාවයකින් සිටි බවටද කරුණු හෙළිවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

” හිටපු අමාත්‍යවරයෙකු වන ශිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ඉරිදා ප්‍රහාය පිළිබඳව පුර්ව දැනුවත් භාවයකින් හිටපු බවට මේ වෙනකොට කරුණ අනාවරණය වෙලා තියෙනවා. ඒ විමර්ශනත් නිවැරදිව සිදුවෙනවා.” 

සහරාන්ට ඉහළින් සිට ඔහුව මෙහෙයවූ පුද්ගලයෙක් සහ කණ්ඩායමක් සිටින බවට සාක්ෂි

“පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතක කණ්ඩායමේ නායක ලෙසින් කටයුතුකළ සහරාන් හෂිම්ට ඉහළින් සිට ඔහුව මෙහෙය වූ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සිටින බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒක මේ වෙනකොට ශාක්ෂිවලින් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ඒ පිළිබඳ විමර්ශනට කරනවා. ඒ සම්බන්ධයෙන් හෙළිවී ඇති කරණු මේ අවස්ථාවේදී හෙළිකරන් හැකියාවක් නැහැ.”   

තිරසාර ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය හරිනි කියයි….

වත්මන් ආණ්ඩුවේ අරමුණ දරුවන්ට, කාන්තාවන්ට, වැඩිහිටියන්ට සහ ආබාධිත පුද්ගලයින්ට පහසුවෙන් සහ ගෞරවාන්විතව සේවා ලබාගත හැකි තිරසාර ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමට නවීකරණය කිරීම ආරම්භක උත්සවයකට එක්වෙමිනි.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය සහ රජයේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 2,162කට අධික මුදලක් ආයෝජනය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්,කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවාහන හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය අද (09) අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය‍.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය හරහා දෛනිකව දුම්රිය සේවාව භාවිත කරන ලක්ෂ සංඛ්‍යාත මගී ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැලසීමට අපේක්ෂිතය.

“දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” ඉදිරි මාස 15 ඇතුළත වැඩ අවසන් කිරීමට නියමිතය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ප්‍රධාන අංග කිහිපයකි.

ඒ අතර සාම්ප්‍රදායික ක්‍රමවේද වෙනුවට නවීන ස්වයංක්‍රීය ටිකට්පත් නිකුත් කිරීමේ පද්ධති හඳුන්වාදීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සහ වැඩිහිටියන්ට බාධාවකින් තොරව ගමන් කළ හැකි වන පරිදි නවීන විදුලි සෝපාන (Lifts) සහ ගුවන් පාලම් පද්ධති ඉදිකිරීම, මගී ආරක්ෂාව තහවුරු කෙරෙන නව ගොඩනැගිලි සංකීර්ණ සහ උසස් ප්‍රමිතියෙන් යුත් සනීපාරක්ෂක පහසුකම් ස්ථාපිත කිරීම සිදු කෙරේ.

මෙම ව්‍යාපෘතිය නිමාවීමත් සමඟ කොළඹ කොටුව දුම්රිය ස්ථානය මගී කේන්ද්‍රීය, කාර්යක්ෂම සහ නවීන තාක්ෂණයෙන් සන්නද්ධ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇත.