කුෂ් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට…..

මොරගහහේන, කුඹුක ප්‍රදේශයේ දී කුෂ් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

නිවසක් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරකට අනුව අද අළුයම් කාලයේ සිදුකළ වැටලීමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික වීරසිංහ වෙත ලැබුණු තොරතුරක් මත පොලිස් පරීක්ෂක විමල් ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතත්තේ, වීර හැන්නදිගේ කුසුම්ලතා ප්‍රනාන්දු නොහොත් “කාන්ති” යන සැකකාරිය වන අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සොයාගෙන ඇත.

වැටලීම අතරතුර සැකකාර කාන්තාව තම පුතා පොලිස් පරීක්ෂකවරයෙකු බව පවසමින් පරීක්ෂාවට විරෝධය පළ කර ඇති අතර, පසුව නිලධාරිනියක විසින් සිදුකළ සෝදිසි කිරීමකදී ඇය සතුව තිබූ මත්ද්‍රව්‍ය හෙළිවී තිබේ.

පොලිස් පරීක්ෂණ අනුව මෙම නිවස ප්‍රදේශය පුරා කුෂ් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට භාවිතා කළ ආරක්ෂිත ස්ථානයක් ලෙස යොදාගෙන ඇති අතර, සැකකාරියගේ පුතා කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරන බවටද තහවුරු වී ඇත.

මෙම වැටලීම මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පො.ප. විමල්, පො.සැ. 52566 රොෂාන්, පො.කො. 35039 මධුසංක, පො.කො. 97342 දිසානායක, පො.කො. 100291 ලසිත, පො.කො. 102726 ජයසුන්දර, කා.පො.කො. 13090 කරුණාරත්න, පො.කො.රි. 94735 මධුසංක යන නිලධරයන් කණ්ඩායම සහ පො.සැ. 75056 ඉන්දික, පො.කො. 104547 කුරු කුලසූරිය, යන ආවේක්ෂණ නිලධරයන් විසින් සිදු කරන ලදී.

පාසල්වල සැමරුම් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මතක් කිරීමක්…

පාසල්වල සංවිධාන කරනු ලබන උත්සව සහ විවිධ සැමරුම් අධික ලෙස මුදල් වැයකරමින් කටයුතු කරන සිද්ධීන් වාර්තාවී ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ හේතුවෙන් දෙමාපියන් වෙත අමතර වැය බරක් දැරීමට සිදු වන බව අමාත්‍යංශය පෙන්වා දෙයි.

සැමරුම් සම්බන්ධයෙන් මීට පෙර ලබාදී ඇති උපදෙස් නොසළකා හැර ඇති බවත් මේවා ඉතාමත් චාම් අයුරින් හා අවම වියදමකින් එම වැඩසටහන් පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යංශ ලේකම්වරයා අවධාරණය කරයි.

එමෙන්ම පාසල් මූල්‍ය කළමනාකරණය පිළිබඳව නිකුත් කර ඇති 54/2023 චක්‍රලේඛය හා අනෙකුත් මූල්‍ය චක්‍රලේඛවලට අනුගතව කටයුතු කළ යුතු බව ඔහු මෙහිදී සිහිපත් සඳහන් කළේය.

NDB බැංකුවේ මූල්‍ය වංචාව ගැන රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මහබැංකුවෙන් කරුණු විමසයි….

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව NDB බැංකුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව පිළිබඳ ශ්‍රී ලංකා මහබැංකුවෙන් කරුණු විමසීමක් සිදු කර තිබේ.

ඒ, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් මස 07 වෙනිදා රැස්වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා මහ බැංකුව  නෛතික අවශ්‍යතා අනුව මාස හතරකට වරක් පාර්ලිමේන්තුවේ පෙනි සිටිය යුතුය.

ඒ අනුව  ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.

එහිදී NDB බැංකුවේ සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචාව පිළිබඳ මෙහිදී කාරක සභාවේ අවධානය යොමු වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.‍

මෙම  ගැටලුවේ බරපතළකම සහ මේ සඳහා කඩිනමින් කාරක සභාවේ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් දැනට සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා කාරක සභාවට දැනුම් දුන්නේය.

අවශ්‍ය තොරතුරු රැස් කළ පසු හැකි ඉක්මනින් මහ බැංකුව, කාරක සභාවට මේ සම්බන්ධව වාර්තා කරන බව ද ඔහු තවදුරටත් පැවසීය.

මෙම සිදුවීමට සම්බන්ධ  බැංකුවේ ආයතනික පාලනයේ සැලකිය යුතු අඩුපාඩු, ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ දෙපාර්තමේන්තු මගින් සිදුකළ යුතු අධීක්ෂණයේ අඩුපාඩු සහ  තොරතුරු වාර්තා කිරීමේ ප්‍රමාදයන් පිළිබඳව කාරක සභාවට නිරීක්ෂණය වූ අතර ඒ පිළිබඳව කාරක සභාවේ දැඩි අවධානය යොමු විය.

එවැනි අඩුපාඩු පිළිගත නොහැකි බව කාරක සභාව අවධාරණය කළ අතර එම තත්ත්වයන් වහාම නිවැරදි කිරීමට පියවර ගත යුතු බවට උපදෙස් ලබාදීම සිදුවිය.

මෙම කාරණය සමීපව නිරීක්ෂණය කිරීම අඛණ්ඩව සිදුකරන බවත්, පූර්ණ වගවීම, විනිවිදභාවය සහ මූල්‍ය පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සහ සහතික කිරීම සඳහා අධීක්ෂණ කටයුතු සිදුකරන බවත් කාරක සභාව විසින් අවධාරණය කරන ලදී…

අලුත් අවුරුදු සමයේ විශේෂ දුම්රිය කිහිපයක්….

එළඹෙන අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් එක් කර තිබේ.

අප්‍රේල් මස 11 වනදා සිට 19 වනදා දක්වා කොළඹ සිට පිට පළාත් බලා යන මගීන් සඳහා දුම්රියධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

1

දුම්රියවල වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන්ට වැඩවරදී…..

දුම්රිය තුළ සහ දුම්රිය ආපන ශාලාවල වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ මිල දර්ශක නොමැතිව වෙළෙඳාම් කිරීම වැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැඩි නීතිමය පියවර ගනිමින් සිටින බව එම අධිකාරිය පවසයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරමින් දිවයින පුරා අඛණ්ඩ වැටලීම් සහ විමර්ශන සිදු කරන ලෙස සියලුම දිස්ත්‍රික් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

පසුගියදා මීනගයා රාත්‍රී දුම්රිය තුළ පිහිටි ආපන ශාලාවක් හදිසි වැටලීමකට ලක් කර ඇති අතර, එහිදී පානීය ජල බෝතල් නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව වාර්තා වේ.

එමෙන්ම අද (09) දිනයේ මරදාන දුම්රිය ස්ථානය තුළ පිහිටි ආපන ශාලාවක්ද නිලධාරීන්ගේ වැටලීමකට ලක්ව තිබේ.

පාරිභෝගිකයන්ට අසාධාරණයක් සිදු කරමින් වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ මිල දර්ශක නොමැතිව වෙළෙඳාම් කරන වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙම මෙහෙයුම් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අධිකාරිය සඳහන් කරයි.

එවැනි අසාධාරණයකට ලක්වන පාරිභෝගිකයන් වහාම දැනුවත් කරන ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලීමක් කර ඇත.

බාල ගල්අඟුරු ආනයනයෙන් රුපියල් බිලියන 100ක පාඩුවක් – ඩී.වී.චානක…..

බාල ගල්අඟුරු ආනයනය හේතුවෙන් රුපියල් බිලියන 100ක පමණ පාඩුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා අණාවරණය කළේය.

ඔහු පවසන්නේ නෙරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදි කිරීමෙන් පසු මෙවැනි විශාල පාඩුවක් සිදු වූ පළමු අවස්ථාව මෙය බවය.

හෙට දිනයේ විවාදයට ගැනීමට නියමිත බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී ඩී.වී. චානක මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙකු ගුටිබැට හුවමාරුවක – තුවාල ලැබූ අයෙකු රෝහල් ගතකෙරේ….

කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක්, ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග යාම හේතුවෙන් එක් මන්ත්‍රීවරයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී රම්සි ටෝනි බවත්, පහරදී ඇත්තේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු වන උපාලි වැලිවත්ත බවත් වාර්තා වේ.

පහරදුන් මන්ත්‍රීවරයා කොළඹ නගරයේ වෙළඳසැල් පරීක්ෂාවක්, විනය විරෝධී ලෙස සිදුකළ බවට නාගරික මන්ත්‍රී රම්සි ටෝනි මහතා අද (9) සභාවාරයේදී විවේචනාත්මක අදහස් ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් එම අවස්ථාවේ වැලිවත්ත මන්ත්‍රීවරයා සභාගර්භයේ නොසිට ඇති අතර, පසුව ඔහු එය දැනගැනීමෙන් අනතුරුව මෙම බහින්බස්වීම ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ.

මෙම ගැටුමෙන් රම්සි ටෝනි මන්ත්‍රීවරයාගේ නාසයට බරපතළ හානි සිදුව ඇති අතර, ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, පහරදීමට සම්බන්ධ මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.

මේ දක්වා ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය හැකිවී නොමැත.

O/L විභාගයේ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්……

2025(2026) අධ්‍යයන වර්ෂයට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ 2026 අප්‍රේල් 22 වනදා සිට මැයි 04 දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, අපේක්ෂකයින් 162,587 දෙනෙකු සඳහා දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1,198කදී මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වේ.

41 – සංගීතය (අපරදිග) විෂයයේ ශ්‍රවණ පරීක්ෂණය 2026 අප්‍රේල් 26 දින එම විෂය ප්‍රායෝගික පරීක්ෂණ මධ්‍යස්ථානවලදී පැවැත්වීමට නියමිතය.

40 – සංගීතය (පෙරදිග)
42 – සංගීතය (කර්ණාටක)
45 – නර්තනය (හරත)
51 – නාට්‍ය හා රංග කලාව (දෙමළ)
41 – සංගීතය (අපරදිග)
44 – නර්තනය (දේශීය)
50 – නාට්‍ය හා රංග කලාව (සිංහල)
52 – නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි)

ඉහත විෂයයන්හි අවසාන ප්‍රතිඵල නියම කිරීම සඳහා ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ දෙකම අනිවාර්ය වන බැවින්, එම කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයන්ට අදාළ විෂයේ ප්‍රතිඵල ලබා නොදෙන බවද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සහ කාලසටහන් විදුහල්පතිවරුන් වෙත යවා ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ට ඒවා තම ලිපිනයට තැපැල් කර යවා ඇති අතර හෙට (10) සිට නිල වෙබ් අඩවිය www.doenets.lk හරහාද ප්‍රවේශ පත්‍ර බාගත කරගත හැකි බව සඳහන් වේ.

ප්‍රවේශ පත්‍රවල දෝෂ හෝ සංශෝධන අවශ්‍යතා ඇති නම් වහාම විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දීමටද අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටී.

රට රැකියා පෙන්වා කෝටි ගණන් මුදල් ගැරූ මහරගම කත කොටුවෙයි…..

ඇල්බේනියාවේ හා කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහරගම ප්‍රදේශයේ Global Educare Consultancy නමින් ශිෂ්‍ය වීසා ලබාදෙන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන යමින් විදේශ රැකියා ලබාදීමට මෙම කාන්තාව මුදල් අයකර ඇති අතර, කාර්යාංශයට ලද පැමිණිලි අනුව ඇය දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් රවටා වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල්
කෝටියකට අධික වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් ලබාගැනීමකින් තොරව වංචනික අයුරින් පවත්වාගෙන ගිය මෙම ආයතනය කාර්යාංශ විමර්ශන නිළධාරීන් විසින් වැටලීම් කර ඇති0 අතර, එහි තිබී රැකියා ගිවිසුම් ඇතුළු ලේඛන රැසක්ද නිළධාරීන් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට(09) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව සඳහන් වෙයි.

මේ අතර, මීරිගම ප්‍රදේශයේ ASPA නමින් වංචනික ආයතනයක් පවත්වාගෙන යමින් ජපානයේ රැකියා ලබාදීම සඳහා මුදල් අයකරන බවට කාර්යාංශයට ලද පැමිණිලි 3ක් අනුව විමර්ශන නිළධාරීන් විසින් වැටලීමක් සිදුකර තිබේ.

එහිදී  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරියෙකු උපාය දූතයෙකු වශයෙන් යොදවා මෙම ජාවාරම්කරුවන් කොටු කරගැනීමට විමර්ශන නිළධාරීන් සමත්වූ අතර, එහි ප්‍රථිඵලයක් ලෙස පළමු සැකකරු ලෙස මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හා දෙවන සැකකරු වශයෙන් ජාඇල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අප්‍රේල් (07) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර, පළමු සැකකාරිය අප්‍රේල් මස (21) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත්,දෙවන සැකකරු ඇප මත
මුදාහැරීමටත් නියෝග කර තිබේ.

පළාත් රැසකට හෙට උණුසුම ඉහළට….

හෙට (09) දිනයේ දී පළාත් රැසකට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට සඳහා වලංගු වන පරිදි නිකුත් කළ නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු, උතුරු – මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවය.

එබැවින් එම ප්‍රදේශවල වැසියන්ට විමසිලිමත් වන්නැයි දැනුම් දී තිබේ.