සලඹ හඬින් ගාලු මුවදොරදී ගිනස් ලෝක වාර්තාවක්…..

ගාලුමුවදොර පිටියේදී අද (14) පැවති ‘සංගමම් 2026’ භරත නාට්‍ය උත්වසවය නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.

ශ්‍රී ලාංකේය කලා ඉතිහාසයේ නොමැකෙන රන් අකුරක් සනිටුහන් කළ මෙම වැඩසටහනට කලාකරුවන් 4,988ක් සහභාගි වී ඇත.

මෙහිදී බිඳහෙලා ඇත්තේ කලාකරුවන් 416 දෙනෙකුගේ සහභාගීත්වයෙන් තබා තිබූ වාර්තාවය.

වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාගේ සෘජු මඟපෙන්වීම සහ සංකල්පයකට අනුව මෙම උත්සවය සංවිධානය කර තිබේ.

ඉන්දියාවේ ‘සංගමම් ග්ලෝබල් ඇකඩමි’ සහ ශ්‍රී ලංකාවේ ‘සංගමම් ලියා හොලිඩේස්’ යන ආයතන ඒකාබද්ධව මෙම දැවැන්ත උත්සවය සංවිධානය කර ඇත.

පසුගියදා ඉන්දියාවේ පැවැති ‘අයලග තමිලර් මානාඩු’ (විදේශගත දමිළ වැසියන්ගේ සමුළුව) අතරතුර නියෝජ්‍ය අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන ඉන්දියාවේ සහයෝගය ලැබී තිබේ.

ඒ අනුව මෙම සුවිශේෂී වාර්තාව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවද නියෝජනය කරමින් භරත නාට්‍ය කලාකරුවන් සහභාගි වී ඇත.

එක්සත් රාජධානියේ (UK) සිට මෙරටට පැමිණි ගිනස් ලෝක වාර්තා ආයතනයේ නිල විනිශ්චයකාර රිෂි නාත් මහතා විසින් මෙම වාර්තාගත උත්සාහය සෘජුවම නිරීක්ෂණය කරන ලදී.

ඉන් අනතුරුව නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකාව ලැබූ මෙම ගිනස් වාර්තාව සනාථ කළේය.

2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්……

තුර්කියේ පැවැති ‘Miss Aura International 2026’ ලෝක රූ රැජින තරගාවලියේදී “Best in National Costume” හිමි කිරුළ දිනාගත් ශ්‍රී ලංකා වේ වෛද්‍ය දෙවීනා නවීක්ෂි මෙනවිය අද (25) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියාය.

ලෝකයේ රටවල් 40 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය මැයි 10 වන දින සිට මැයි 22 වන දින දක්වා තුර්කියේ අන්තාලියා නුවරදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ දෙවීනා නවීක්ෂි මෙනවිය ප්‍රථමයෙන් තරගාවලියේ අවසන් 20 දෙනාගේ වටය දක්වා සුදුසුකම් ලැබූ අතර, අනතුරුව ශ්‍රී ලාංකීය අනන්‍යතාව විහිදුවමින් ඉදිරිපත් කළ ජාතික ඇඳුම වෙනුවෙන් මෙලෙස විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වූවාය.

ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක වන අතර දැනට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටින්නීය.

අද (25) උදෑසන 08:25 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-650 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වූවාය.

ජාත්‍යන්තර කීර්තියක් මෙන්ම මව්බිමට අභිමානයක් ගෙන දුන් වෛද්‍ය දෙවීනා නවීක්ෂි මෙනවිය පිළිගැනීම සඳහා ඇයගේ දෙමාපියන්, නෑදෑ හිතවතුන් ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

අභිමානවත් ඉතිහාසයක ලාංකීය මුස්ලිම් ලකුණ” කෘතිය ජනගත කිරීම අද…..

“අභිමානවත් ඉතිහාසයක ලාංකීය මුස්ලිම් ලකුණ” කෘතිය ජනගත කිරීම අද (28) මහනුවර පුෂ්පදාන සමිති ශාලාවේදී සිදු කෙරිණි.

රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ධම්මික ජයසිංහ විසින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද “අභිමානවත් ඉතිහාසයක ලාංකීය මුස්ලිම් ලකුණ” ග්‍රන්ථය ජනගත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පුෂ්පදාන සමිති ශාලාවේදී පැවැත්විණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මැතිතුමාගේ විශේෂ දේශනයක් සහ පරිවර්තක ආචාර්ය ධම්මික ජයසිංහ මැතිතුමා අදහස් දැක්විය. මෙම උත්සව අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සම්බන්ධ විය.

අන්තර් ආගමික සාම පදනම, මහනුවර YMMA සහ පහන මීඩියා ඇතුළු සංවිධාන රැසක් එක්ව මෙය සංවිධානය කර තිබුණි.

Beauty of Sri Lanka ඡායාරූප ප්‍රදර්ශනය හෙට ලොස් ඇන්ජලිස් හිදී…..

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොවට ගෙන යන Beauty of Sri Lanka ඡායාරූප ප්‍රදර්ශනය හෙට (අප්‍රේල් 25) එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවරදී පැවැත්වීමට නියමිතය.

මෙම ප්‍රදර්ශනය Celebrity Centre International,Hollywood හිදී හෙට පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා පැවැත්වෙයි.

අමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය සමග ලොස් ඇන්ජලිස් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලය එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.

ලෝක මිහිකත දිනයට සමගාමීව සංවිධානය කළ ‘මිහිකත සුරකිමු’ චිත්‍ර ප්‍රදර්ශනයද මීට සමගාමීව පැවැත්වෙනු ඇත.

මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ‘අද දෙරණ’ ප්‍රවෘත්ති නාළිකාව විසින් ලබාදෙයි.

අරිජිත් සිං පසුබිම් ගායනයෙන් සමුගනී….

හින්දි සහ බෙංගාලි සංගීතයේ ප්‍රමුඛ චරිතයක් වන ජනප්‍රිය ගායක අරිජිත් සිං පසුබිම් ගායනයෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඔහු සිය තීරණය රසිකයන් වෙත දැනුම්දී ඇත.

එහි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම වසර ගණනාව පුරා රසිකයන් තමන්ට මෙතරම් ආදරයක් ලබාදීම ගැන ස්තූතිවන්ත වන බවය.

තමන් මෙතැන් සිට පසුබිම් ගායන ශිල්පියෙකු ලෙස කිසිදු නව වැඩක් භාර නොගන්නා බවත්, එය නවතා දැමූ බවත් හෙතෙම පවසා තිබේ.

අරිජිත් සිං යනු බොලිවුඩයේ වඩාත් ආකර්ෂණීයම ගීත කිහිපයක්  ඉදිරිපත් කර ඇති ගායකයෙක්ය. ආෂිකි 2 හි ‘තුම් හි හෝ’ ඔහුගේ පෙරළිකාර සාර්ථකත්වය ලෙස කැපීපෙනෙන ගායනයක්ය.

ජාතික චිත්‍රපට සම්මාන 2ක්, ෆිල්ම් ෆෙයාර් සම්මාන 8ක් ඇතුළු සම්මාන රැසකට හිමිකම් කියන ඔහු 2025 වර්ෂයේ දී පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබීය.

41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට සබීනා දිවයිනෙන් පිටව යයි…..

අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා සබීනා යූසෆ් මහත්මිය අද (21) අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියාය.

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසකගේ සහභාගීත්වයෙන් හෙට (22) දින සිට එළැඹෙන 29 වන දින දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පැවැත්වීමට නියමිතය.

සබීනා යූසෆ් මහත්මියට සුබ පැතීම සඳහා වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ, ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක, භාෂා සහ පෞරුෂත්ව පුහුණුකරු තාරක ගුරුකන්ද සහ පසුගිය 2024 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ඉෂාදි අමන්දා ඇතුළු සබීනාගේ ඥාතී මිත්‍රාදීන් විශාල පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

හොලිවුඩයේ වාර්තා අතරට එක්වූ Zootopia 2….

හොලිවුඩයේ මෙතෙක් බිහි වූ විශාලතම සජීවිකරණ චිත්‍රපටය Zootopia 2 හෙවත්  (Zootropolis 2) පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Zootropolis 2 හොලිවුඩයේ මෙතෙක් වැඩිම ආදායමක් උපයාගත් සජීවිකරණ චිත්‍රපටය බවට පත්ව ඇති අතර, එය ගෝලීය වශයෙන් Box Officeහි ඩොලර් බිලියන 1.7ක්  උපයා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Zootropolis 2  ගෝලීය Box Office ඉතිහාසයේ නවවන වඩාත්ම සාර්ථක චිත්‍රපටය බවද සඳහන් වෙයි.

Zootropolis 2 හොලිවුඩ් වාර්තා බිඳ දැමූ චිත්‍රපටය වුවද, සමස්තයක් වශයෙන් වැඩිම ආදායමක් උපයාගත් සජීවිකරණ චිත්‍රපටය වන්නේ පසුගිය වසරේ ඩොලර් බිලියන 2.2 උපයාගත් චීනයේ Ne Zha 2 චිත්‍රපටයයි.

ඉන්දීය සුපිරි නළු සතිෂ් ෂා අභාවප්‍රාප්ත වෙයි…..

කෘතහස්ත බොලිවුඩ් නළු සතිෂ් ෂා මියගොස් තිබේ.

මුම්බායිහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇති අතර මිය යන විට 74 හැවිරිදි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සතිෂ් ෂා දිගු කාලයක පටන් වකුගඩු රෝගයකින් පීඩා විදිමින් සිට ඇත.

දශක පහකට ආසන්න සිය රංගන දිවිය තුළ ඔහු ජානේ භි දෝ යාරෝ, මේ හූ නා සහ ඕම් ශාන්ති ඕම් වැනි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය 250කට වැඩි සංඛ්‍යාවකට දායක වී තිබේ.

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල දිවි ගමනට සමුදෙයි….

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල මහතා අද (23) උදෑසන 5.45ට පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දීය.

මියයන විට ඒ මහතා 56 වන වියේ පසුවු අතර, ඔහු දෙදරු පියෙකි.

නලීන් ප්‍රදීප් උඩවෙල මහතා, වේදිකාව, සිනමාව මෙන්ම ටෙලිනාට්‍ය තුළින් ද සිය රංගන හැකියාවන් ලාංකීය ප්‍රේක්ෂකයාට උරුමකර දුන් දක්ෂ කලාකරුවෙකි.

ලංකාවෙි බුද්ධිමය දේපළ පනත බලාත්මක කිරීමට අදාල සාකච්ඡාවක්…

ගීත ක්ෂේත්‍රයට අදාලව සංගීත කර්තෘවරුන්ගේ සහ ගීත රචකයන්ගේ සාමූහික සංගම් සම්මේලනය (CISAC) සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) ජාත්‍යන්තර බුද්ධිමය දේපළ සම්මුතියට අනුව ලංකාවෙි බුද්ධිමය දේපළ පනත බලාත්මක කිරීමට අදාල සාකච්ඡාවක් අද (11) දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ගීත ක්ෂේත්‍රයට අදාළ බුද්ධිමය දේපළ නීතිය යථාවත් කිරීමට සහ ඊට අදාල තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව කඩිනමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී මූලිකව සාකච්ඡාවට ගනු ලැබීය. ඒ අනුව මීට අදාලව විශේෂඥ කමිටුවක් පත්කොට මාස තුනක් ඇතුලත අදාල නිර්දේශ ලබා ගැනීමට මෙහිදී තීරණය විය.

මේ සඳහා ශ්‍රී ලංකාවේ සංගීත නිර්මාතෘවරුන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) වෙනුවෙන් එහි සභාපති ගීත රචක නිලාර් එන් කාසිම්, ගීත රචක සුනිල් ආර් ගමගේ, ගීත රචක රවී සිරිවර්ධන, සංගීතවේදී නවරත්න ගමගේ, සංගීතවේදී දර්ශන රුවන් දිසානායක, සංගීතවේදී රංග දසනායක, සංගීතවෙිදී නදීක ජයවර්ධන සහ ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වූහ.