ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කරගත් මිනිස් වෙළෙඳාම ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් හෙළිදරව්වක්

නැගෙනහිර ආසියාතික රටවල ක්‍රියාත්මක වන බලහත්කාරයෙන් මිනිසුන් යොදවා පවත්වාගෙන යනු ලබන සයිබර් අපරාධ මධ්‍යස්ථානයන් සඳහා ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල පුද්ගලයින් බඳවා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල පුද්ගලයින් 50,000ක පමණ පිරිසක් බඳවා ගැනීමට උත්සහ දරමින් සිටින බවය.

මේ වන විටත් එවැනි සයිබර් අපරාධ මධ්‍යස්ථාන 5ක් ස්ථාපිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ සඳහා පුද්ගලයින් බඳවා ගැනීමට විවිධ ක්‍රමවේදයන් භාවිතා කරමින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සමාජ මාධ්‍ය ඔස්සේ සකස් කරන ලද රැකියා දැන්වීම් ප්‍රචාරණය සිදුවන බව සදහන්.

පසුගිය සති කිහිපය තුළ දී මේ ආකාරයෙන් ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු ද අදාළ වංචනික ලෙස පවත්වාගෙන යනු ලබන සයිබර් අපරාධ මධ්‍යස්ථාන වෙත යොදවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

මෙරට තුළ රැඳී සිටින පුද්ගලයින්ට අමතරව ඩුබායි හි රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයින් ද මෙසේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් සයිබර් අපරාධ මධ්‍යස්ථානවල රැකියා සඳහා යෙදවීමට කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

එමනිසා තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය සහ ලාඕසය වැනි රටවල රැකියා අවස්ථා ඇති බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන දැන්වීම් සඳහා ප්‍රතිචාර දැක්වීමේ දී විශේෂ අවධානයක් යොමුකරන ලෙස ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය….

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ මහතා අදාළ තනතුරින් ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට පසුගියදා විශේෂ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබුණි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ටෙන්ඩර් පටිපාටියට පිටින් යන ගනුදෙණුවක් ගැන හෙළිදරව්වක්……

දුම්රිය දෙපාර්තමේන්තුව සතු භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි ඇතුළු අබලි යකඩ මෙට්‍රික් ටොන් 6,000ක් පමණ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ප්‍රධාන පෙළේ යකඩ සමාගම් දෙකකට පිරිනැමීමට ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් උත්සාහ දරන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවටද පැමිණිල්ලක් සිදුකර ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහ ප්‍රසම්පාදන අංශ නිලධාරීන් විසින් මෙම උත්සාහයේ නිරත වන බවත් මේ වන විට වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු අබලි යකඩ පුද්ගලික අංශය වෙත විකිණීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පසුගිය ජූලි මාසයේදී ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් මගින් ආරම්භ කර ඇති අතර එම ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වූ සමාගම් ඉදිරිපත් කළ ලේඛණද පසුගිය මස 23 වැනි දින සිට විවෘත කර තිබුණි.

දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනුයේ චෝදනා එල්ලවන එක් සමාගමක් පසුගිය පාලන සමයේදී වංචනික හා අනීතික අන්දමින් දුම්රිය දෙපාර්තමේන්තුව සතු අබලි යකඩ රුපියල් කෝටි ගණනින් පාඩු අගයකට මිලදී ගැනීමටද උත්සාය කළ බවය.

එමෙන්ම අනෙක් සමාගමද ධාවන තත්ත්වයේ වූ මැදිරි අබලි යකඩ ලෙස කපා ඉවත් කිරීමට සම්බන්ධ වූ සමාගමක් බවටද චෝදනා එල්ල වූ බවත් ඒ සම්බන්ධව පරීක්ෂණ කටයුතු විධිමත්ම සිදු නොකිරීම හේතුවෙන් අදාළ සමාගම් දිගින් දිගටම දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙවැනි ආකාරයේ වංචනික ක්‍රියාවන් සඳහා යොමුවන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර මීට ඉහතදි අනීතිකව දුම්රිය සතු අබලි යකඩ මිලදි ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වු සමාගම් හා නිලධාරින් සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, දැනට වංචනික ලෙස අබලි යකඩ  මිලදි ගැනීමට උත්සහා කරන සමාගම් එම ප්‍රසම්පාදන කටයතුවලින් ඉවත් කර, විධිමත්ව මිල ගණන් ඉදිරිපත් කර ඇති සියළු සුදුසුකම් සපුරා ඇති ගැණුම්කරුවන් සදහා පමණක් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ද කරගත යුතු බව දුම්රිය වෘත්තිය සමිති දුම්රිය බලධාරින්ගෙන් ඉල්ලා තිබේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහිව පෙත්සමක්…..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වග උත්තර කරු ලෙස නීතිපතිවරයා නම්කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් හිමිවී තිබෙන හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් මෙම පනත් කෙටුම්පත ඉකුත් 07 වනදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළ බවය.

යෝජිත පනත් කෙටුම්පතේ 01 සිට 04 දක්වා වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වීමක් සිදුවන බවත් මෙම පෙත්සමෙන් පෙන්වා දී ඇත.

ඊට අමතරව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති එකකින් හෝ කිහිපයකින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ස්වෛරීභාවය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් සිදුවන බවත් පෙත්සමෙන් තවත් චෝදනාවක් එල්ල කර තිබේ.

සමස්තයක් වශයෙන් ගත් කළ යෝජිත පනත් කෙටුම්පතේ වගන්තිවලින් සමස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික හරයන් උල්ලංඝනය වීමක් සිදුවන බව පෙත්සම්කරු චෝදනා කර සිටී.

යෝජිත පනත් කෙටුම්පත හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 1, 3, 4 සහ 12(1) ව්‍යවස්ථාවන්හි සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය වන බව ඔහු චෝදනා කළේය.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට නිගමනයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

මාස 8ක් තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂය ඉක්මවයි….

වසරේ මේ දක්වා කාලය තුළ විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් පිරිස එක්ලක්ෂ විසිදහස ඉක්වා තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම වසරේ පළමු දින සිට අද (11) දිනය දක්වා කාලය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුම් තුළින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඒ අනුව හොරොයින් සම්බන්ධයෙන් පුද්ගලයින්  39,627ක්,  අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 47,615ක් සහ ගංජා මත්ද්‍රව්‍ය සම්බන්ධව පුද්ගලයින් 42,620ක් දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම එම මෙහෙයුම් මගින් සමස්තයක් ලෙස මේ දක්වා හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 934.55ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1402.976ක ප්‍රමාණයක්ද සහ ගංජා මත්ද්‍රව්‍ය කිලෝ 11620.068ක ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවය.

තවද මහාමාර්ගයේ රථවාහන වැරදි සම්බන්ධව මෙම මෙහෙයුම් දියත් කර ඇති අතර ඒ අනුව බීමත් රියදුරන් 118 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

එමෙන්ම අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය ඇතුලු වෙනත් වැරදි සම්බන්ධව පුද්ගලයින් 3,595 දෙනෙක් සඳහාද නීතිමය පියවර ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ රට තුළ ඇති මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහාත් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාකලාපය මර්දනය කිරීම සඳහා මෙන්ම රට තුළ සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වයෙන් ඉදිරියටද අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවය.

රැකියා විරහිත උපාධිධාරීන් පැලවත්ත ජවිපෙ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවක් අද පෙරවරුවේ පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි.

එහිදී විරෝධතාකරුවන් පැය භාගයක පමණ කාලයක් එම ස්ථානයේ විරොධතාවයේ නිරත වීමෙන් අනතුරුව පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට විරෝධතා පාගමනින් පැමිණියේය.

එහිදී එම පක්ෂ කාර්යාලය ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අයුරුද දක්නට ලැබුණි.

මෙහිදී විරෝධතාවට එක්වූ විරෝධතාකරුවන් පෙන්වා දෙනුයේ පවතින ආණ්ඩුව බලයට පත්වීමට පෙර ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ලබා දුන් පොරාන්දු මේ වන විට කඩ කර ඇති බවය.

දැනට රැකියා විරහිත උපාධිධාරීන් 35,000කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා සිටින බවත් රජය විසින් එම රැකියා විරහිත උපාධිධාරීන්ට ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා රැකියා ලබා දෙන බව මින් පෙර පැවසූ පොරොන්දු මේ වන විඩ කඩ කර ඇති බවත් විරෝධතාකරුවන් මෙහිදී චෝදනා කළේය.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරය දයා ලංකාපුරට…..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමේ දේශකයෙකු ලෙස ක්‍රියා කළ දයා ලංකාපුර මහතා පත් කර තිබේ.

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 12 (1) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ නිර්දේශය පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

සෞඛ්‍ය ඇමති සමග එළැඹි එකඟතා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර ඇතැයි GMOA වෙතින් චෝදනා….

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ සිදුව ඇති අක්‍රමිකතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග එළැඹි එකඟතාවන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පසුගිය මාස කිහිපය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශ තුළ ස්ථාන මාරු ලැයිස්තු සකස් කිරීම, ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කිරීම, රෝහල්වල පුරප්පාඩු සැපිරීම යන කරුණු නිවැරදිව සිදු නොවූ බවත් ඒ තුළින් උද්ගත වූ තත්ත්වයන් හමුවේ සිය සංගමය වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සලකා බැලීමට ද සිදුවූ බවය.

කෙසේ වෙතත් මේ වන තුරු සෞඛ්‍ය අමාත්‍යවරයා දුන් වාචික පොරොන්දු ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ක්‍රියාත්මක නොවීම සිය සංගමයයේ දැඩි අප්‍රසාදයට හේතු වී ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එමෙන්ම මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාට ලිඛිතව දැන්වීමට පියවර ගත් බවත් තාවකාලිකව අත්හිටුවා ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන් පිළිබඳව සිය සංගමයේ විධායක සභාවේ අවදානයට යොමු වූ බවත් පෙන්වා දෙන එම සංගමය පැවසුවේ තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාන මාරු මණ්ඩලය මැදිහත් වීමෙන් ස්ථාන මාරු නියෝග පාරදෘශ්‍යව ක්‍රියාත්මක නොකරන්නේ නම් හෝ සෞඛ්‍ය පද්ධතිය අකර්මණ්‍ය කිරීමට තැත් කරන්නේ නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ පිළිබඳව දැඩි තීන්දු තීරණ ගැනීමට දෙවරක් නොසිතන බවය.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යහපත් ප්‍රතිචාර සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ක්‍රියාවට නැංවීමට සැලසුම් සහගත ලෙස ප්‍රමාද කරමින් කටයුතු කරන්නේ නම් එම නිලධාරීන්ට විරුද්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු සියලු පාර්ශ්ව වෙත පැමිණිලි කිරීමටද සිය සංගමය කටයුතු කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක්….

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (11) පෙරවරුවේ පැවැත්විණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර පිළිබඳව වෙන් වෙන්ව මෙහිදී නිලධාරීන් සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා රජය සතු ඉඩම්වල පවතින ව්‍යාකූලතා කඩිනමින් නිරවුල් කර ගනිමින් දත්ත පද්ධතියක් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශයන්ට ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර  පුළුල් ලෙස ආර්ථිකයට දායක කර ගැනීමේ ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කරන සහ ග්‍රාමීය ජනතාව ආර්ථිකයට ඒකාබද්ධ කරන රජයේ ප්‍රධාන වැඩපිළිවෙළ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම දේශීය කිරි නිෂ්පාදනය හා සත්ව ගොවිපොළ යන ක්ෂේත්‍ර කර්මාන්ත ලෙස සංවර්ධනය කිරීම සඳහා මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසද ජනාධිපතිවරයා විසින් මෙහිදී නිලධාරීන්ට දැනුම් දී ඇත.

ව්‍යාපෘති සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, අදාළ ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාව වෙත ගලා යන්නේද යන්න විමසා බලා ඒ සදහා අවශ්‍ය යාන්ත්‍රණය බල ගැන්විය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරු සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ලංකාවෙි බුද්ධිමය දේපළ පනත බලාත්මක කිරීමට අදාල සාකච්ඡාවක්…

ගීත ක්ෂේත්‍රයට අදාලව සංගීත කර්තෘවරුන්ගේ සහ ගීත රචකයන්ගේ සාමූහික සංගම් සම්මේලනය (CISAC) සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) ජාත්‍යන්තර බුද්ධිමය දේපළ සම්මුතියට අනුව ලංකාවෙි බුද්ධිමය දේපළ පනත බලාත්මක කිරීමට අදාල සාකච්ඡාවක් අද (11) දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ගීත ක්ෂේත්‍රයට අදාළ බුද්ධිමය දේපළ නීතිය යථාවත් කිරීමට සහ ඊට අදාල තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව කඩිනමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී මූලිකව සාකච්ඡාවට ගනු ලැබීය. ඒ අනුව මීට අදාලව විශේෂඥ කමිටුවක් පත්කොට මාස තුනක් ඇතුලත අදාල නිර්දේශ ලබා ගැනීමට මෙහිදී තීරණය විය.

මේ සඳහා ශ්‍රී ලංකාවේ සංගීත නිර්මාතෘවරුන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) වෙනුවෙන් එහි සභාපති ගීත රචක නිලාර් එන් කාසිම්, ගීත රචක සුනිල් ආර් ගමගේ, ගීත රචක රවී සිරිවර්ධන, සංගීතවේදී නවරත්න ගමගේ, සංගීතවේදී දර්ශන රුවන් දිසානායක, සංගීතවේදී රංග දසනායක, සංගීතවෙිදී නදීක ජයවර්ධන සහ ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වූහ.