ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවෙන් හමුවෙයි

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා.

ඒ අනුව ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තාවී ඇති බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සදහන් කළේ.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බවද ඔහු ප්‍රකාශ කළා.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවයි විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණිය වන Suchata Chuangsri විසින් දිනාගෙන තිබෙනවා.

මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා තරගකාරිනියන් 108 දෙනෙකු ඉදිරිපත් ව සිටින අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැණුනා.

මෙහිදී ඉතියෝපියාවේ හසෙට් ඩෙරෙජේ ඇඩ්මාසුට පළමු අනුශූරතාවය හිමිවූ අතර, පෝලන්තයේ මාජා ක්ලජ්ඩා දෙවන අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් වුණා.

2025 ලෝක රූ රැජින සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගවැදුනු අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා අතරට පිවිසීමට නොහැකිවීම හේතුවෙන් තරගයෙන් ඉවත්වීමට සිදු වුණා.

අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක්

අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අතර සාකච්ඡාවක් ඊයේ (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

දෙරට අතර ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් වූ සැපයුම් සහ ආයෝජන අවස්ථා හඳුනාගෙන, ඉදිරි ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් දීර්ඝ කාලීනව සාධාරණ මිලකට ලබා ගැනීමට දෙරට අතර කඩිනම් ගිවිසුමක් ඇතිකර ගැනීමද, මෙරට තෙල් පිරිපහදු කටයුතු සංවර්ධනය සහ ඒ මඟින් කලාපීය පිරිපහදු ඛනිජ තෙල් වෙළඳපොල තුළ සැලකිය යුතු පංගුවක් අත්පත් කර ගැනීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බව වැඩිදුරටත් සඳහන්.

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 4,623ක් පීඩාවට – ආපදා කලමණාකරන මධ්‍යස්ථානය

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 104ක, පුද්ගලයින් 4,623ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසනවා.

අද (31) සහ පසුගිය දෙදින තුළ බලපෑ වැසි සහ තද සුළං හේතුවෙන් සිදු වූ ආපදා හේතුවෙන් මෙම හානි සිදුවී ඇති බවයි එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (පූර්ව දැනුම්දීම්) රවී ජයරත්න සඳහන් කළේ.

මෙම අයහපත් කාලගුණයෙන් වැඩිම පීඩාවට ලක්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය වන අතර, එහි පවුල් 327ක පුද්ගලයින් 1,278ක් අද උදෑසන වනවිට පීඩාවට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

එසේම, කොළඹ දිස්ත්‍රික්කයේද ස්ථාන 32ක ගස් කඩා වැටීම්, විදුලි රැහැන් බිඳවැටීම් වැනි ආපදා සිදුව ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම දිවයින පුරා අර්ධ නිවාස හානි 1,184ක් පමණ සිදුව ඇති බවට ආපදා කලමණාකරන මධ්‍යස්ථානය වෙත තොරතුරු ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කොළඹ මාර්ග කිහිපයක ගස් කඩා වැටීම් වාර්තා වෙයි

අයහපත් කාලගුණය නිසා කොළඹ මාර්ග කිහිපයකටම ගස් කඩා වැටීම් සිදුව ඇති බව පැවසෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගවල වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ

පිරමීඩ ආයෝජන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමාගම් අධ්‍යක්ෂක රිමාන්ඩ් කිරීමට නියෝග

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබෙන නීති විරෝධී පිරමිඩ ආයෝජන ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස්, රුපියල් කෝටි 225කට අධික මුදලක් නීති විරෝධී ලෙස හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ මෙම සැකකරු පිරමීඩ ආයෝජන ව්‍යාපෘතියක් මෙහෙයවා ඇති බවයි.

ඒ අනුව, 2023 වසරේ මාස පහක කාලයක් තුළ එම සමාගමේ ගිණුම් 56 ක් හරහා රුපියල් කෝටි 220 කට වැඩි මුදලක් හුවමාරු වී ඇති බවත්, මෙම මුදල් කවර පාර්ශ්වයක් වෙත ගමන් කර තිබේද යන කාරණය පිළිබඳ විමර්ශන සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සමාගමේ අධ්‍යක්ෂවරයා වන එරංග දිල්ශාන් නමැත්තා සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින්, ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ත‍ිබෙනවා.

අල්ලස් ගත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය, කින්නියා පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් නිලධාරියෙක් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රියදුරු බලපත්‍ර නොමැතිව යතුරුපැදි පැදවූ වයස අවුරුදු 17ක ළමයෙක්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට ඔහු රුපියල් 10,000ක අල්ලසක් වශයෙන් ඉල්ලා ඇති අතර, පසුව එය අල්ලස් කොමිසමට දැනුම්දීමෙන් අනතුරුව අදාළ නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරු ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ලංකා T-10 තරග පාවා දීමේ සිදුවීමට Galle Marvels හිමිකරුට අත්හිටවූ සිර දඬුවම්

ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ තරග පාවාදීමේ චෝදනාවකට වරද පිළිගත්, ලංකා T10 ලීගයේ Galle Marvels කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දියානු ජාතික ප්‍රේම් තක්කාර්ට වසර 10කට අත්හිටවූ වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඔහුට රුපියල් මිලියන 06ක දඩයක් ද නියම කර ඇති අතර, රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමට ද මහනුවර මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඊට අමතරව, විමර්ශනවල කොටසක් ලෙස තක්කාර්ගේ ජංගම දුරකථනයෙන් දත්ත බාගත කර පරීක්ෂා කරන ලෙස ICC දූෂණ විරෝධී ඒකකය කළ ඉල්ලීමකට මහනුවර මහාධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා.

මහින්දානන්ද සහ නලින් සම්පූර්ණ නඩු තීන්දුව

2015 වසරේ ජනාධිපතිවරණය පැවැති සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් මිල දී ගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස හිටපු සභාපති සහ හිටපු වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා.

ඒ අනුව, හිටපු වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩ සහිත වසර 25 ක සිර දඬුවම් සහ හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩ සහිත වසර 20 ක සිර දඬුවම් නියම කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

ඊට අමතරව, නලින් ප්‍රනාන්දුට රුපියල් ලක්ෂ හතරක දඩයක් සහ මහින්දානන්ද අලුත්ගමගේට රුපියල් ලක්ෂ දෙකක දඩයක් ද නියම කළා.

විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී ඇති බවත් ඒ අනුව ඔවුන් වරදකරුවන් කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා සඳහන් කළ අතර ඉන් අනතුරුව දඬුවම් නියම කිරීමට පෙර විත්තිකරුවන් වෙනුවෙන් යමක් ප්‍රකාශ කිරීමට තිබේ දැයි සභාපති විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ගෙන් විමසා සිටියා.

එහිදී විත්තිකාර නලින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා කරුණු දක්වා මෙසේ කරුණු දක්වා සිටියා.

” ස්වාමීනී… දැන් නඩුවේ තීරණය ප්‍රකාශ වෙලා ඉවරයි. දැන් මොනව කිව්වත් ප්‍රයෝජනයක් නැහැ. සතොස කියන්නේ වෙළෙඳ ආයතනයක්. ඔවුන් තමන්ට ලැබෙන ඇණවුම් අනුව භාණ්ඩ ආනයනය කරනවා. මගේ සේවාදායකයා සිදු කරලා තිබෙන්නේ මේ කටයුත්තට අදාළ ණයවර ලිපි විවෘත කිරීම පමණ යි. ඔහු වැරදි ක්‍රියාවක් සිදු කළ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වෙලා නැහැ. මේකෙන් රජයේ නිලධාරීන්ට පාඩමක් ලැබෙනවා. රජයේ නිලධාරින් පුළුවන් තරම් වැඩ ප්‍රමාද කරන්න. ඉක්මනට කාර්යක්ෂමව වැඩ කරන්න ගියොත් අල්ලස් කොමිසමෙන් නඩුවක් වැටෙයි. මේක ඉතා ම කනගාටුදායක තත්ත්වයක්. මේ වගේ ක්‍රියා නිසා රාජ්‍ය නිලධාරීන්ට කාර්යක්ෂමව වැඩ කරන්න බැරි වෙනවා. මේ වරද නිසා විත්තිකරුට සමාජයෙන් විශාල අපවාදයක් එල්ල වෙනවා. ඔහුට දේශපාලනය කිරීමට තිබෙන අවස්ථාවක් නැති වෙනවා. විත්තිකරුට ව්‍යාපාරයක් තිබෙනවා. ඒ සඳහා ඔහු විශාල මුදලක් ණය වෙලා තිබෙනවා. ඔහු සිරගත වුණොත් මේ ණය ගෙවා ගන්න බැරිව ව්‍යාපාර කඩා වැටෙන්න පුළුවන්. ඔහුට පෙර වැරදි නැහැ.”

එසේ සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා විත්තිකරුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටියා.

අනතුරුව විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ ද මෙසේ කරුණු ඉදිරිපත් කළා.

“ස්වාමීනි,.. මේ භාණ්ඩ ආනයනය කිරීම හරහා මගේ සේවාදායකයාට කිසිදු ප්‍රතිලාභයක් ලැබිලා නැහැ. ඒ පිළිබඳව ඔහුට නිසි වැටහීමකුත් නෑ. දඬුවම් නියම කිරීමේදී මාගේ සේවාදායකයා යම් ප්‍රතිලාභයක් ලබා තිබෙනවාද කියා සලකා බැලිය යුතු යි. ඒ කාරණය සැලකිල්ලට භාජනය කරන්න කියලා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. විත්තිකරු හැට එක්වන වියේ පසුවන පුද්ගලයෙක්. ඔහුට පෙර වැරදි කිසිවක් නැහැ. 2015 වසරේ මෙම විමර්ශනය ආරම්භ වුණත් තීන්දුව ප්‍රකාශ වන්නේ 2025 වසරේ. ඒ නිසා දඬුවම් නියම කිරීමේදී එම කරුණත් සැලකිල්ලට ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා,” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා අනතුරුව සිය සේවාදායකයාට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ අනුත්තරා ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ සඳහන් කළා.

“ස්වාමීනි …මෙම විත්තිකරුවන් වරදක් සිදු කර තිබුණත් ඔවුන් පෞද්ගලිකව ප්‍රතිලාභ ගෙන නොමැති බව ඔවුන්ගේ නීතිඥවරු ප්‍රකාශ කළා. ඒ වගේ ම ඔවුන් අල්ලස් කොමිසම ගැනත් වැරදි අදහසක් සමාජගත කරන්න උත්සහ කළා. ඔවුන් ප්‍රකාශ කළා කාර්යක්ෂමව වැඩ කරන නිලධාරීන්ට නඩු වැටෙන බවට. මා සඳහන් කරන්න කැමති යි මේ නඩුවේ විත්තිකරුවන්ට චෝදනා එල්ල කළේ, ඔවුන් අල්ලස් පනත යටතේ දූෂණය නමැති වරද සිදුකර රජයට පාඩුවක් සිදු කිරීම නිසයි. මේ විත්තිකරුවන් දෙදෙනාම රජයේ සේවකයින්. ඔවුන් මෙම ක්‍රියාව හරහා රජයට පාඩුවක් සිදුවන බව දැන දැනම තමයි මේ නීතිවිරෝධී ක්‍රියාව සිදු කර තිබෙන්නේ. පළමු විත්තිකරු සතොස ආයතනයේ සභාපති වගේ ම පසුව කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් පත්වුණා. දෙවන විත්තිකරු හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා. ඔහු තමාට අදාළ නොවන ක්‍රියාවක් තමයි කරලා තිබෙන්නේ. ඔවුන් එක්ව තමන්ට අදාළ නොවන ක්‍රියාවක් බලය අයුතු ලෙස යොදවමින් ක්‍රියාවේ යොදවා තිබෙන බව සාක්ෂිවලින් පැහැදිලි වෙනවා. මේ වරද හරහා ඔවුන් රුපියල් මිලියන 53 කට වැඩි මුදලක් රජයට පාඩු කර තිබෙනවා. මේ මුදල් කාගෙද? මේවා මහජනතාවගේ මුදල්. දඬුවම් නියම කිරීමේදී ඔබතුමන්ලාට අභිමතයක් තිබෙනවා. ඒ අභිමතය ක්‍රියාත්මක කිරීමේදී මා සඳහන් කරන කරුණු ගැන සැලකිලිමත් වන ලෙස මා ඉල්ලා සිටිනවා. වරද සිදු කළ අවස්ථාවේදී පළමු වන විත්තිකරු රාජ්‍ය සමාගමක සභාපතිවරයෙක්. දෙවන විත්තිකරු කැබිනට් අමාත්‍යවරයෙක්. ඔවුන්ට විශාල බලයක් පැවරී තිබෙනවා. මහජන මුදල් මහජනතාවගේ සුභසාධනය වෙනුවෙන් වගකීමකින් යුතුව යොදා ගැනීමේ බලයක් ඔවුන් වෙත පැවරී තිබෙනවා. ඔවුන් තමන් වෙත පැවරී ඇති වගකීම පසෙක ලා මහජන සුභසාධනය සඳහා යෙදවිය යුතු මුදල් වෙනත් ක්‍රියාවක යෙදවීම හරහා වරදක් සිදු කර තිබෙනවා. මෙවැනි ක්‍රියා නිසා රජයට විශාල පාඩුවක් සිදු වී රට බංකොලොත් වීමටත් හේතු වුණා. කැමති වුණත් අකමැති වුණත් අපි ඒක පිළිගත යුතු යි. විත්තිකරුවන් සිදුකළ ක්‍රියාව නිසා වින්දිතයින් බවට පත්වූණේ එක් පුද්ගලයෙක් නෙවෙයි. මුළු සමාජය ම වින්දිතයින් බවට පත් වී තිබෙනවා. මෙවැනි බලය අවභාවිත කළ පුද්ගලයින්ට නීතියෙන් ලබාදිය හැකි දැඩි දඬුවම් ලබාදිය යුතු යැයි මා ඉල්ලා සිටිනවා. මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන් සිදුකරන පුද්ගලයින්ට බියක් දැනෙන ආකාරයේ දඬුවමක් නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ඒ වගේ ම දූෂණයට එරෙහිව ක්‍රියාකරන පුද්ගලයින්ට අභිප්‍රේරණයක් ඇති වන ආකාරයේ දඬුවමක් ලබාදෙන ලෙසත් මා ඉල්ලා සිටිනවා. ඒ වගේම බලය වැරදි ලෙස ක්‍රියාවේ යෙදවීමට අපේක්ෂා කරන පුද්ගලයින්ටත් පණිවිඩයක් ලබාදිය හැකි ආකාරයේ තීන්දුවක් ලබාදෙන මෙන් මා ඉල්ලා සිටිනවා. සාමාන්‍ය ජනතාව අතර මතයක් තිබෙනවා තෝරු මෝරු සියල්ල නීතියෙන් බේරී යනවා හාල්මැස්සෝ විතරයි නීතියට අහුවෙන්නේ කියලා. ඒ නිසා ලොකු පොඩි සැමට නීතිය එක ආකාරයෙන් ක්‍රියාත්මක වන බව තහවුරු කළ හැකි නඩු තීන්දුවක් ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා,” යනුවෙන් සඳහන් කළ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය විත්තිකරුට නීතියෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මහේෂ් වීරමන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් “රාජ්‍ය අයවැය තුළින් මහජන සුභසාධනය සඳහා වෙන්කළ මුදල් ප්‍රතිපාදන මෙම විත්තිකරුවන් මෙම වැරදි ක්‍රියාව සිදුකිරීම සඳහා යොදාගෙන තිබෙන බව පැහැදිලි වෙනවා. විත්තිකරුවන්ගේ ක්‍රියාව නිසා රටට විශාල ඩොලර් ප්‍රමාණයක් අහිමි වෙලා තිබෙනවා. විත්තිකරුවන් පුද්ගලිකව ලාභයක් නොලැබුව ද ඔවුන් කළ ක්‍රියාව නිසා මහජන මුදල් අපතේ යාමක් සිදු වී තිබෙනවා. මෙවැනි තත්ත්වයන් නිසා රටේ දේශීය හා විදේශීය ණය ගෙවීමට නොහැකි වී ආර්ථික පරිහානියක් ඇති වීමට ද හේතු වුණා. එම නිසා මෙවැනි නීති විරෝධී ක්‍රියාවල නිරත පුද්ගලයින් අධෛර්යමත් වන ආකාරයේ තීන්දුවක් ලබා දිය යුතු බව අධිකරණයේ මතය යි. ඒ වගේ ම වැරදි උපදෙස් මත රාජ්‍ය නිලධාරින් ක්‍රියාත්මක නොවිය යුතු බව අවධාරණය කරන තීන්දුවක් ලබා දිය යුතු යි,” යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

පැය 24 පුරා පාස්පෝට් නිකුත් කිරීමේ සේවාව හෙටින් අවසන්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් මහජනතාව සඳහා ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවයේ පැය 24 පුරා සිදුකිරීමේ සේවාව හෙට (30) දිනයෙන් අවසන් කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 2025 ජුනි මස 02 වන සඳුදා සිට බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක්දින ගමන් බලපත් නිකුත් කිරීමේ සේවාව සඳහා අයදුම්පත්‍ර භාරගැනීමේ කටයුතු පෙරවරු 7.00 සිට පස්වරු 2.00 දක්වා පමණක් සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එක්දින සේවාව යටතේ කලින් දිනයක් වෙන් කරගනු ලැබූ, එදිනට නියමිත අයදුම්කරුවන් සඳහා මෙන්ම හදිසි හෝ ප්‍රමුඛ අවශ්‍යතා ඇති අයදුම්කරුවන්ට ද ඉහත කාලසීමාව තුළ තම අයදුම්පත් එක්දින සේවාව යටතේ භාරදිය හැකියි.

ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍ය සේවය යටතේ අයදුම්පත් භාරගැනීම ද පෙරවරු 7.00 සිට පස්වරු 2.00 දක්වා සිදු කෙරෙනවා.

ප්‍රාදේශීය කාර්යාලවල පෙර පරිදිම පෙරවරු 7.00 සිට පස්වරු 2.00 දක්වා සාමාන්‍ය හා එක්දින අයදුම්පත් භාරගැනීම සිදු කරන බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

news images