ජනාධිපති හිමිකම් පනත ගැන චන්ද්‍රිකාගේ මතය….

ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ඇතැම් මාධ්‍ය හරහා සංසරණය වෙන පුවත අසත්‍ය බව හිටපු ජනාධිපතිනියගේ මාධ්‍ය ඒකකය පවසයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු අනෙක් ජනාධිපතිවරුන් සිව්දෙනා සමග එක්වී ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව මෙලෙස අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ඇතැම් මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණි.

කෙසේවෙතත් එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර එවැනි කිසිදු නෛතික ක්‍රියාවකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධ වී නොමැති බවද සඳහන් කරයි.

ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වූ ශාන්ත මුදුන්කොටුව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.

මීගොඩ, ආටිගල පාර ප්‍රදේශයේදී අද (12) දහවල් 1:10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි

රාජ්‍ය සේවයට 62,000ක් කඩිනමින් බඳවා ගන්න කැබිනට් අනුමැතිය….

ආණ්ඩුව නූතනත්වයට ගෙන ඒම තම අපේක්ෂාව බව ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතික තරුණ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එලෙස නූතනත්වයට පත්කිරීමට දැනටමත් රාජ්‍ය සේවකයින් 62,000කට ආසන්න පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවය.

“අපේ ආණ්ඩුව රැකියා සපයන මධ්‍යස්ථානයක් නොමේ. අපේ ආණ්ඩුව රැකියා උත්පාදනය කරන මධ්‍යස්ථානයක්. එහෙත් අපේ රාජ්‍ය සේවය රැකියා උද්පාදනයකට සමත්වන ආර්ථිකයක් නිර්මාණය කිරීමට, සමාජ සංස්ථාවක් නිර්මාණය කිරීමට සමත් වන ආණ්ඩුවක් අපට අවශ්‍යයි. අද අපේ ආණ්ඩුව ගත්තොත් සුන්බුන් ගොඩක එකතුවක්. අපේ ආණ්ඩුව නූතනත්වයට ගේනවා. ඒ සඳහා දැනටමත් අපි 62,000කට ආසන්න සංඛ්‍යාවක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමතය ලබාදී තිබෙනවා.” 

“අපි බල්ක් පිටින් බඳවා ගන්නේ නෑ. ලක්ෂය, එක හමාරය බඳවා ගන්නේ නෑ. හැබැයි රාජ්‍ය සේවය පවත්වාගෙන යෑමට අවශ්‍ය රාජ්‍ය දේහය පුරා පැතිරුණු 62,000ක් හඳුනාගෙන තියෙනවා. අපි උපදෙස් දුන්නා මේ 62,000 හැකි ඉක්මනින් රාජ්‍ය සේවයට බඳවා ගන්න කියලා. හැබැයි රැකියා ප්‍රශ්නය එතැනින් විසඳෙනවා ද ? එතැනින් විසඳෙන්නේ නෑ. හැබැයි මේ ආණ්ඩුව, ආණ්ඩු ක්‍රියාවලිය හරහා රැකියා උත්පාදනය වන එළියේ ආර්ථිකයක් හදන්න ඕනේ. අපි ඒකට සැලසුම් හදලා තියෙනවා. සංචාරක කර්මාන්තයට අපි අපේක්ෂා කරනවා මිලියන 2.5ක සංචාරකයින් පැමිණේවි කියලා. අපේ අපේක්ෂාව 2030 වෙද්දි මිලියන 4ක සංචාරක කර්මාන්තයක්. ඒ කියන්නේ ලක්ෂ 40ක් එයි කියලා සැලසුම් කරා. අපේ ආර්ථිකය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 4කට ආසන්නයි. අපේ අපේක්ෂාව 2030 වෙද්දි සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 8ක් උපයන කර්මාන්තයක් බවට පත්කරන්න. සංචාරක කර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් එළියේ ගොඩනැගෙනවා. ඒ තුළින් රැකියා උත්පාදනය වෙනවා. ඒක තමා රජයේ සැලසුම.”

ජාත්‍යන්තර තොරතුරු අනුවත් ශ්‍රී ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් නැහැ – ඇමති නලින්ද…..

ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය යටතේ චන්ද්‍රිකාවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (12) කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

”ලෝකයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ආයතනයක් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය. ඉන්ටර්නැෂනල් ටෙලිකොම්නිකේෂන් යුනියන් (International Telecommunication Union) නැත්නම් අයි ටී යූ එක. මේ අයි ටී යූ එකෙන් තමයි මේ සම්බන්ධ තාක්ෂණික සහ සම්බන්ධීකරණ ක්‍රියාවලිය සිදු කරන්නේ.

එම අයි ටී යූ ආයතනය චන්ද්‍රිකාවක් ගොනුගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රධාන පියවර තුනකින් සමන්විත වන බව කියලා තියෙනවා. පළවෙනි එක තමයි සැලසුම් කර ඇති චන්ද්‍රිකා ජාලය තාක්ෂණික තොරතුරු අදාළ පරිපාලන ආයතනය විසින් අයි ටී යූ වෙත ඉදිරිපත් කිරීම. දෙවනුව මෙම ඉදිරිපත් කරන තොරතුරු විසින් අනෙකුත් සාමාජික රාජ්‍යයන් සමඟ සන්නිවේදන බාධා වළක්වා ගැනීම සඳහා සම්බන්ධීකරණය කිරීම. තුන්වෙනුව ලියාපදිංචි කිරීම සහ ජාත්‍යන්තර පිළිගැනීම් සඳහා අවසාන පැරාමිතීන් දැනුම් දීම. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තමයි සාමාන්‍යයෙන් මේ ලෝකෙම පිළිගත්ත, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයක් වන ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් මේ චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීම සඳහා පිළිගත්ත සම්මත ක්‍රමවේදය. මේ සඳහා අවම වසර තුනක් සාමාන්‍යයෙන් උපරිම වසර හතක් ගතවෙනවා. අන්න ඒ ක්‍රියාවලිය මෙම අයි ටී යූ කියන ආයතනයේ ලංකාවේ සාමාජිකත්වය දරන්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව. ඒ අනුව අපට මේ භූස්ථාපන කක්ෂවල ශ්‍රී ලංකාවට හිමි වෙලා තියෙනවා එකසිය විසි එකයි දශම පහ සහ පනහ කියන ස්ථාන දෙක. භූ කක්ෂ පනහා සහ එකසිය විසි එකයි දශම පහ තමයි ලංකාවට හිමි වෙලා තියෙන්නේ. හැබැයි මේ එකේ තිබෙන තොරතුරු අනුව මේ ස්ථාන අපිට වෙන් වෙලා තිබෙන අතරෙම මෙන්න මේ රටවලට, ඇෆ්ගනිස්ථානය, කිරිකිස්ථානය, මොල්දෝවා, නේපාලය, ටග්ගනිස්තා සහ රොමේනියා වගේ රටවලටත් අවශ්‍ය නම් බාධාවකින් තොරව මේ ස්ථානවල ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අයි ටී යූ එකේ තියෙන තොරතුරු අනුව දැනට මේ එකසිය විසි එකයි දශම පහ සහ පනහ කියන භූස්ථාන කක්ෂවල ලංකාව නමින් චන්ද්‍රිකාවක් නැහැ. ඊට පස්සේ මේ අයි ටී යූ එක හරහා අපි හොයලා බැලුවා සුප්‍රීම් සැට් වන් නමින් චන්ද්‍රිකාවක් පවත්වනවාද කියලා. එහෙම එහෙකුත් නැහැ. සුප්‍රීම් සැට් වන් එක පස්සේ කාලෙක චයිනාස් ඇට් ටුවෙල් කියලා නම් කරා කියලා වාර්තා කරලා තියෙනවා. මේ ලංකාවට අදාළ ස්ථානයේ කක්ෂස්ථානයේ චයිනා සැට්වෙල් එකත් අයි ටී යූ වෙබ් සයිට් එක අනුව සඳහන් වෙන්නේ නැහැ. මේ සුප්‍රීම් සැට් වන් නමින් හෝ චයින සැට් ටුවෙල් නමින් මේ කියන ලංකාවට අයිති කක්ෂස්ථානවල කිසිවක් වාර්තා වෙන්නේ නැති බව තමයි  අයි ටී යූ එක වාර්තා කරන්නේ.”

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරියගේ නමට අනුමැතිය…..

මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

ඒ, කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) රැස්වූ අවස්ථාවේදී ය.

ඇල්ලේ සිරි නරඹන්න නව දුම්රියක්…..

කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කිරීමට නව දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ දේශීය සහ විදෙස් සංචාරකයින්ගේ දැඩි ඉල්ලුමක් පවතින බැවින් එයට සරිලන ලෙස සති අන්තයේ මෙම නව දුම්රිය යෙදවූ බවය.

ඒ අනුව Ella Weekend Express නමින් නව දුම්රියක් එළැඹෙන 16 වැනිදා සිට සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 5.30ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් සහ 17 වැනිදා සිට සෑම ඉදිරිදා දිනකම බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ හිටපු ප්‍රාස මන්ත්‍රී මරුට……

අද (12) දහවල් මීගොඩ, ආටිගල මාවතේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී වෙඩි වැදීමකින් බරපතළ තුවාල ලබා සිටි හිටපු ප්‍රාස මන්ත්‍රීවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.

බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර සිටිය දී ඒ මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

ඔහු 46 හැවිරිදි වටරැක, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩිතැබීමට හේතුව හා යොදාගත් ගිනිඅවිය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ශාන්ත මුදුන්කොටුව මහතා ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් පොලීසියට මීට පෙර පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර සිට ඇතැයි ද අනාවරණය වී තිබේ.

මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

නියෝජ්‍ය ආරක්ෂක ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට භාර දෙයි…..

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට අද භාර දී තිබේ.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන කාලසීමාවේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා නැගෙනහිර පළාත් ආඥාපති ලෙස කටයුතු කළ බවත් ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකරන විමර්ශනවලට අදාළව ඔහු සිය අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවය.

ඒ අනුව ඔහුට විරුද්ධව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවද ඔහු පැවසීය.

රාජිතට වරෙන්තු නිකුත් වෙයි……

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවෙකු වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) වරෙන්තු නිකුත් කළේය.

සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදීම මගහරිමින් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

අදාළ නඩුව අද (12) මෝසමක් මාර්ගයෙන් කැඳවමින් අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2012 වසරේ මැයි මස 19 වනදා  “සී වූ ප්‍රයිවට් ලිමිටඩ්” නමැති කොරියානු සමාගමක් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව කිරින්ද ධීවර වරායේ පිරී තිබෙන වැලි ඉවත්කර ඒවා පිරිසිදු කර දේශීය වෙළඳපොළට මුදා හැරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අනුමැතිය ලබාදී තිබෙන බව සඳහන් කළාය.

මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් වෙත එම යෝජනාව ඉදිරිපත් කර ඊට අදාළ පාරිසරික වාර්තා ඇතුළු වාර්තාවන් කැඳවා අධ්‍යයනය කිරීමකින් අනතුරුව එවැනි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අනුමැතිය ලබාදීම සාමාන්‍ය පිළිවෙත වුවත් මෙම ව්‍යාපෘතිය සඳහා සැකකාර හිටපු අමාත්‍යවරයා සම්මත ක්‍රමවේදයෙන් බැහැරව ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගෙන් වාර්තාවක් පමණක් කැඳවා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇති බවත් සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පැවසුවාය.

එම ව්‍යාපෘතිය පැවරීමෙන් පසුව වැලි ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් කිසිවක් අදාළ කොරියානු සමාගම සතුව නොතිබූ අතර ඉන් අනතුරුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාව සතුව තිබූ “වැලිගොව්වා” නෞකාව ඇතුළු පහසුකම් එම සමාගම වෙත ලබාදීමට සිදුවූ බවත් ඇය කියා සිටියාය.

මේ හේතුවෙන් ධීවර වරාය නීතිගත සංස්ථාවට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක් සිදුවී ඇති බවද ඇය අධිකරණය හමුවේ සඳහන් කළාය.

මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙනී සිටින ලෙස අවස්ථා කිහිපයකදී දැනුම්දීම් කර තිබුණත් සැකකාර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසම හමුවේ පෙනී නොසිටි බව ඇය පැවසුවාය.

සැකකාර රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න ජනමාධ්‍යවලට විවිධ ප්‍රකාශ නිකුත් කරමින් විමර්ශන කටයුතුවලට බාධා සිදු කරන බවත් සැකකාර හිටපු අමාත්‍යවරයා විමර්ශන මගහරිමින් සිටින බවත් ඇය පෙන්වා දුන්නාය.

මෙම සැකකරු තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එම ඉල්ලීම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවත් ඇය සඳහන් කළාය.

ඉන් අනතුරුව එම නියෝගයට එරෙහිව සැකකාර රාජිත සේනාරත්න කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ අතර ඊට අදාළව නොතිසි පවා මේ දක්වා ලැබී නොමැති බවද ඇය සඳහන් කළාය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරිනිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් මහාධිකරණය මගින් අතුරු නියෝගයක් නිකුත් කර තිබේදැයි විමසුවේය.

ඊට පිළිතුරු දුන් සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය එවැනි අතුරු නියෝගයක් නිකුත් කර නොමැති බව සඳහන් කළාය.

මෙම සැකකරු සිටින බවට සැකකරණ ස්ථාන පහක් පරීක්ෂාවට ලක් කළ බව සඳහන් කළ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය එහෙත් ඔහු සොයා ගැනීමට නොහැකිවූ බවත් සැකකරුට එරෙහිව ඉදිරිපත් වී තිබෙන වරද සංඤය වරදක් වුවත් මොහු විමර්ශන මගහරිමින් විමර්ශනවලට බාධා කිරීම යන කරුණ සැලකිල්ලට ගෙන ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම සැකකරු ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පතක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඉන් අනතුරුව ඔහු එම නියෝගයට එරෙහිව මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම ප්‍රතිශෝධන පෙත්සම යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්ද අධිකරණ විසින් නිකුත් කර නැත.

එම තත්ත්වය යටතේ තමන්ට එරෙහිව විමර්ශනයක් සිදුවන බව දනිමින් මෙම සැකකරු විමර්ශන මග හරිමින් සිටින ආකාරය අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණුවලින් පෙනී යන බවත් මහෙස්ත්‍රාත්වරයා පැවසුවේය.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 63(1)අ වගන්තිය ප්‍රකාරව  විමර්ශනවලට අවශ්‍ය කරන අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන බවත් මහෙස්ත්‍රාත්වරයා සිය නියෝගයේ සඳහන් කර සිටියේය.

ඔබට බලය දෙන්න තමා අපි පුටුවේ අසුන් ගත්තේ – ජනපතිගෙන් තරුණයින්ට ආරාධනාවක්…..

වගකීම් සහගත තරුණ නායකත්වයක් බිහිකළ යුතු බවත් කිසිසේත්ම පවුල් පරම්පරාවන්, ඥාතීන් බලය ආරක්ෂා කරගන්නා තරුණ නායකයින් බිහිවිය යුතු නැතැයි ද ජනාධිපතිවරයා පවසයි.

දේශපාලන අතකොළුවක් බවට පත්නොවී රටේ අනාගතය භාරගැනීමට සිටින නියමවරුන් බවට පත්කිරීම තරුණ සමුළුව මේ දක්වා පැමිණි ගමන්මගේ සනිටුහන්ව ඇතැයි ද ජාතික තරුණ සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේය.

“ඉතින් කලබලවීම පුදුමයක් නොවේ. සැබවින්ම අප අද මේ ඉටුකරනු ලබන්නේ තරුණයාට හිමිතැන සහ ඇයට හෝ ඔහුට අනාගතය කවරාකාරයෙන් නිර්මාණය විය යුතුද ? කවර වගකීම් දැරිය යුතුද යන වගකීම් සහගත තරුණ නායකත්වයන් බිහිකළ යුතුයි. කිසිසේත්ම පවුල් පරම්පරාවන්, ඥාතීන් දිගු කාලයක් බලය ආරක්ෂා කරගැනීම සඳහා වු කාර්යක කොටස්කරුවන් ලෙස නොවේ.”

රට භාරගැනීම සඳහා සුදානම් විය යුතු වන්නේ තම පාලනයෙන් පසුව රට භාරගැනීමට අවංකභාවය, හැකියාව සහ නිපුණතාවය ඇති තරුණයින් පිරිසක් බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

“අද අපි ජනාධිපතිධුර හොබනවා. අමාත්‍ය ධුර හොබවනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. හැබැයි අපි පුටුවේ වාඩිවෙද්දිම අපට අදහසක් තියෙනවා ඒකෙන් බැහැලා යන දිනයක් ගැන හිතේ තියාගෙන තමා පුටුවේ වාඩිවෙන්නේ. අපි පුටුවේ චිරාත් කාලයක් වැජඹීමේ අරමුණක් අපිට නෑ. අපි ඉතාම පැහැදිලි සද් වුවමනාවක් තියෙනවා. මේ රට ඉතාම විනාශකාරී කණ්ඩායමක් අතේ තිබුණා. ඒ කණ්ඩායම අතින් දේශපාලන බලය අපේ අතට හුවමාරු කරගෙන තියෙනවා. ඒ බලය නුදුරු කාලයේදී ඔබට භාරදීමේ අපේක්ෂාවෙන් තමා අපි මේ පුටුවේ අසුන්ගෙන තියෙන්නේ. අපි කිසිසේත්ම මේ පුටුවේ මල්ටිබෝන්ඩ් වගේ ඇලවිලා ඉන්නේ නෑ. අපි සුදානම් කළ යුත්තේ රට භාරගැනීමට හැකියාව, නිපුණතාවය, අවංකභාවය, හෘදසාක්ෂිය තියෙන නව තරුණ පරම්පරාවක් නිර්මාණය කළ යුතුයි. අපෙන් පසුව මේ රට භාරගැනීමට අවශ්‍ය පරම්පරාව අපි හැදිය යුතුයි.”

නව දැනුම සොයා යා හැකි දැනුමේ ඇති වෙන නව පිම්මට වේගයෙන් අනුගත වන නව තරුණ පරපුරක් නිර්මාණය කළ යුතුව ඇති අතර, ඔවුන්ට රටේ අනාගතය භාරදිය යුතුයි යන තිර අධිෂ්ඨානය පවතින බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

පොදු සමාජය පිළිබඳ සහකම්පනයක් ඇති තරුණයන් මේ මොහොතේ අවශ්‍ය බව ද පැවසු ජනාධිපතිවරයා, රට ඉදිරියට ගෙන යෑම සඳහා මෙය අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව ඇති අතර, ඒ වෙනුවෙන් මෙම තරුණ ව්‍යාපාරයට වැඩි වගකීමක් ඇති බව ද කියා සිටියේය.

යුක්තිගරුක මිනිසෙක් බවට තරුණයින් පත්විය යුතු බවත්, යුක්තිය වෙනුවෙන් හඬ නැගීමට පෙර තරුණයින් යුක්තිගරුක තරුණයෙක් බවට පත්විය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

රාජ්‍ය භාරදීමට සුදුසුකම් ඇති නව තරුණ ව්‍යාපාරයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා සුදුස්සන් වන ලෙසත් ජාතික තරුණ සමුළුව අමතමින් පැමිණ සිටි තරුණයින්ට ජනාධිපතිවරයා ආරාධනා කර සිටියේය.