දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි…

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 12 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

මෙම පෙත්සම් අද (08) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුගේ සමන්විත ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම් පෙබරවාරි මස 12 වනදා විභාගයට ගන්නා බවය.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම් 09ක් ඉදිරිපත් කර තිබුණි.

පියල් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර….

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබූ පියල් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අධිකරණය අද (7) අවසර ලබා දී තිබේ.

ඔහු වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ ඉදිරිපත් කළ අතර, එහිදී දින 7ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට මෙලෙස අවසර ලබා දී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන මනම්පේරී මහතා ඊයේ (6) අත්අඩංගුවට ගනු ලැබීය.

බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පෙරේදා (05) සිදුකළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගනු ලැබීය.

ප්‍රදේශවාසීන්ට හා දෙස් විදෙස් සංචාරකයන්ට දවස් දෙකක් පුරා මඩවතුර පෙව්ව නුවරඑළිය මහ නගරර සභාව….

දීර්ඝ සතියන්ත නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළියට සංචාරකයන් බහුලව පැමිණි මෙම සති අන්ත නිවාඩුවේ (06) දිනය පුරාවට නුවරඑළිය නගර සීමාවේ උදෑසන සිට පානිය ජල සැපයුමේ තද දුඹුරු පැහැයෙන් මඩ වතුර ජල නළ ඔස්සේ පාරිභෝගික ජල සැපයුම් වලට ලැබීමෙන් නුවරඑළිය ප්‍රජාව ව්‍යාපාරිකයන් හෝටල් කර්මාන්තයේ නියලි පුද්ගලයන් සහ සංචාරකයක් දැඩි අපහසුතාවයට පත්විය ,

(06) දින උදෑසන සිට මෙම තත්වය පැවැති අතර (07) වන දින උදෑසන වන විටත් පානය කිරීමට සුදුසු තත්ත්වයේ ජලය නොමැති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙති ,

මෙම තත්ත්වය පිළිබඳ නුවරඑළිය මහ නගර සභාවේ ජල කර්මාන්ත කාරක සභාවේ සභාපති නාගරික මන්ත්‍රී මහේස් රත්නසේකර මහතාගෙන් අප කළ විමසමකට ඔහු කියා (06) දිනයේ ප්‍රධාන ජල නලයක සිදුවූ දෝෂයක් පිළිසකර කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති අතර හැකි විගසින් මෙම තත්ත්වය යාවත්කාලීන කිරීමට කටයුතු කරන බවයි .

නුවරඑළිය – ආර්.එෆ්.එම්.සුහෙල්

ආණ්ඩුව අපේ පින්තූර පෙන්න පෙන්න මාධ්‍ය සාකච්ඡා කරනවිට පැය දොළහක් ඇතුළත 4 දෙනෙකුට වෙඩි තියලා ගිහින්- නාමල් රාජපක්ෂ

ආණ්ඩුව අපේ පින්තූර පෙන්න පෙන්න මාධ්‍ය සාකච්ඡා කරනවිට පැය දොළහක් ඇතුළත 4 දෙනෙකුට වෙඩි තියලා ගිහින්.නාමල් රාජපක්ෂ

ආණ්ඩුව විසින් දිගින් දිගටම සිදු කරන මඩ ගැසීම්වලට එරෙහිව නීතිමය කටයුතු කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

අද පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ ආණ්ඩුව දිගින් දිගටම සිදු කරන මඩ ගැසීම් ගැන ඉවසාගෙන සිටියත් මින් මතු එවැනි ඉවසීමක් සිදුනොකරන බවයි.
රත්තරන් අශ්වයින්ගේ කතා ,ඩුබායි මැරියට් හෝටලයේ කතා ,උගන්ඩාවේ සල්ලි කතා, රොකට් කතා ඇතුළු මඩ ගැසීම් රැසක් සිදු කළ බවත් වර්තමානයේදී කන්ටේනර් සිද්ධියක් මුල් කරගෙන මඩ ගැසීම යළි ආරම්භ කර තිබෙන බවත් මේ සියලුම කාරණා සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.

කන්ටේනර් සිද්ධියේදී මීට පෙර ජනවාරි මාසයේ වරායේ කිසිදු පරීක්ෂාවකට ලක් නොකර පිටකළ කන්ටේනර් 323 කොහේ තිබෙනවාද කියා ආණ්ඩුව දන්නේද කියාත් ඒවායේ ගෙනා බඩු භාණ්ඩ මොනවාද කියා හෙළි කිරීමට ආණ්ඩුව කටයුතු කරනවාද කියා නාමල් රාජපක්ෂ විමසා සිටියේය.

එම කන්ටේනර් සිද්ධිය මුල් කරගෙන ආණ්ඩුව නිවැරදි ආකාරයෙන් පරීක්ෂා කිරීම් සිදුනොකරන අතර විපක්ෂය ඵල්ල කරන චෝදනාවලට පිළිතුරු ලබා නොදී රාජපක්ෂවරුන්ට මඩ ගැසීමට ආණ්ඩුව කටයුතු කිරීම කණගාටුදායක බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේය.අපේ පින්තූර පෙන්න පෙන්වා මාධ්‍යහමු පවත්වන විට පැය දොලහක් ඇතුලත හතර දෙනෙකුට වෙඩ්තබා ගොස් ඇති බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

රසායනික ද්‍රව්‍ය සහිත කන්ටේනර් වරායෙන් පරීක්ෂා නොකර පිටතට යැවූ කන්ටේනර්වලට සම්බන්ධ ද කියා සාධාරණ සැකයක් මතුවන බවත් ඒ ගැන ආණ්ඩුවෙන් තමා විමසන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

අයිස් නිෂ්පාදනය සදහා නුවරඑළියේ ඉඩම ලබා දී තිබෙන්නේ කෙසේද? යන කරුණු පිළිබඳව හෙළි කරන ලෙසද නාමල් රාජපක්ෂ ඉල්ලා සිටියේය.

මේ අවස්ථාවේදී රටේ පවතින ප්‍රචණ්ඩත්වය සහ රටේ සිදුවන පාතාල වෙඩි තබාගැනීම් නතර කිරීමට ආණ්ඩුවට නොහැකි බවත් ආණ්ඩුව කරන්නේ විරුද්ධ පක්ෂයට මඩ ගැසීම බවත් එවැනි තත්ත්වයන් වහාම වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද නාමල් රාජපක්ෂ පැවසීය.
කන්ටේනර් 323 නිදහස් කිරීම සහ ඒවායේ තිබූ බඩු භාණ්ඩ පිළිබඳව රටට හෙළි කරන ලෙසට ආණ්ඩුවට තමා අභියෝග කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට….

ඇල්ල වැල්වාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථ රියදුරුගේ රුධිර සාම්පල පරීක්ෂාව සදහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම රියදුරු මත්පැන් පානය කර සිටියේ ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා රුධිර සාම්පල අද දිනයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට පියවර ගන්නා බව පොලිසිය සදහන් කළේය.

පසුගිය බ්‍රහස්පතින්දා දින රාත්‍රීයේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 වන කණුව ආසන්නයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලැබීය.

අනතුරින් බස් රථයේ රියදුරු ද මියගිය අතර ඔහු අනතුර සිදුවන අවස්ථාවේ යම් මත්ද්‍රව්‍යයක් පානය කර සිට ඇත්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා මෙසේ රුධිර පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අදාළ අනතුරින් මියගිය පුද්ගලයින්ගෙන් 12 දෙනෙකු තංගල්ල නගර සභාවේ සේවකයින් වන අතර ඔවුන්ගේ දේහයන් මේවන විට සිය නිවෙස් වෙත භාර දී ඇති බවත් අවසන් කටයුතු අද දිනයේ සිදුකිරීමට නියමිත බවත් වාර්තා වේ.

මේ අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් 11 දෙනෙකු තවදුරටත් බදුල්ල මහා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ත්‍යාග ලබා දෙන බව පවසා සංසරණය වන පණිවුඩයක් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්..

බැංකු මගින් ත්‍යාග ලබා දෙන බව පවසමින් වංචනික පණිවුඩයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බව පොලිසිය පවසයි.

පොලිසිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම පණිවුඩය වංචනික සහ ඉතා භයානක ස්කෑම් පණිවිඩයක් බවය.

එමගින් පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම මෙන්ම ජංගම දුරකථනවල මෘදුකාංග වෙනස් කිරීම පවා සිදු වන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදයට ද පැමිණිලි රැසක් ලැබී ඇති බව එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා සදහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ජංගම දුරකථන මගින් බැංකු කටයුතු සිදු කරන පුද්ගලයින් මෙවැනි ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවය.

ආන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ඇති රථවාහනවලට හෙට සිට නීතිය තදින්….

ආන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් හෙට සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඝෝෂාකාරී විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය යනාදිය පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමුකරන බවය.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේදි බස් රථයක් ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයක පිටුපස ගැටී මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටද කඩාගෙන අඩි 1000ක් පමණ පහළ ප්‍රපාතයට පෙරළී ගියේ ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේදිය.

මෙලෙස අනතුරට ලක් වුයේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් හා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු 32 දෙනෙකු රැගෙන විනෝද චාරිකාවක ගිය බස් රථයකි.

අනතුරින් 15 දෙනෙකුට දිවි අහිමි වූ අතර බස් රථයේ සිටි 17 දෙනෙකු තුවාල සිදු විය.

අනතුරට ලක්වූ පිරිස බේරා ගැනීමට ඉදිරිපත්වූ දෙනෙකුද මෙහිදී තුවාල ලබා තිබුණි.

තුවාල ලැබූ පිරිසෙන් 13 දෙනෙකු තවදුරටත් බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් අතර අනතුරට ලක්වූ පුද්ගලයින් බේරා ගැනීමට පළමුව ඉදිරිපත්වූ යුධ හමුදා විශේෂ බලකායේ නිලධාරියාද සිටී.

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා බවට සැක රසායන ද්‍රව්‍ය තොගයක් – තංගල්ලේ ඉඩමකින් හමුවෙයි….

තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකෙරන ද්‍රව්‍ය තොගයක් අද (07) පෙරවරුවේ සොයාගැණුනි.

ප්‍රදේශවාසින්ගෙන් ලැබුණ තොරතුරකට අනුව තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරින්, නටොල්පිටිය වැලිවැන්න හරස් මාවතට යාබදව පිහිටි ඉඩමක අද පෙරවරුවේ විශේෂ වැටලීමක් සිදුකර තිබුණි.

එහිදී එම ඉඩමේ තිබී සුදු පැහැති රසායන ද්‍රව්‍ය තොගයක් සොයාගැණුන අතර එම ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකරන බව පොලිස් නිලධාරින් පැවසීය.

මෙම රසායනික ද්‍රව්‍ය ඊයේ මිද්දෙනිය, තලාව ප්‍රදේශයේ ඉඩමක් පරීක්ෂා කිරීමේදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යට බෙහෙවින් සමාන බව වාර්තා වෙයි.

පුද්ගලයෙකුට මරු කැඳවූ ආරවුල….

හොරණ – කැබැල්ලගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 66ක් වන කැබැල්ලවත්ත, හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා අසල්වැසි නිවසක මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම නිවසේ පදිංචි පුද්ගලයා විසින් ආයුධයකින් පහර දී ඔහුව ඝාතනය කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 ගල්පාත – චන්දන පෙරේරා

පාසල් පැවැත්වෙන දිනවල වේලාවන් දෙකකදී ඛනිජ ප්‍රවාහන කටයුතු අත්හිටුවයි

පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකිරීම අත්හිටුවීමට පියවර ගත් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් මහත්මිය පැවසුවේ මීට සති කිහිපයකට පෙර වැලි ටිපර් රථයක පාසල් වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරින් පසු පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බවය.

ඒ අනුව එම කාලසීමාවන් තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකරනු ලබන වාහන මාර්ගයේ ඉඩඇති ස්ථානවල නවතා තැබිය යුතු බවද දීපානී වීරකෝන් මහත්මිය පැවසුවාය.

ඇය පැවසුවේ පසුගිය 04 වැනි දින සිට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා මෙම දැනුවත් කිරීම් සිදුකර ඇති බවය.