ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (29) කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට ඇප ලබා දී තිබේ.
Author: Shashi Maduranga
උදය ගම්මන්පිලගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්….
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (29) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් ලබා ගන්නා ලද මාසික වැටුප පක්ෂ අරමුදලට යොමු කිරීමෙන් දේශපාලන කටයුතු සිදු කිරීම සම්බන්ධවය.
අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන මාසික දීමනාව තමන්ට අවැසි ආකාරයට වියදම් කළ නොහැකි බවය.
ඒ අනුව මාසිකව කෝටි 3කට වඩා වැඩි මුදලක් ආණ්ඩුවේ මන්ත්‍රීවරු 159 දෙනා විසින් ලබා ගනිමින් එය පක්ෂ අරමුදල වෙත බැර කර දේශපාලන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම මහජන මුදල් අවභාවිත කිරීමක් වන බවත් ඒ අනුව මේ සම්බන්ධව විමර්ශනය කරන ලෙස ඉල්ලා තමන් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කළ බවත් ඔහු පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා,
“මේ මුදල් දුරකතන බිල් ගෙවන්න, ඉන්ධන, සහ කාර්යාල නඩත්තු කරන්න යොදන මුදල් පක්ෂ අරමුදලට යවලා දේශපාලන කටයුතුවලට යොදා ගැනීම මහජන මුදල් අවභාවිතා කිරීමක්. මාසෙකට කෝටි 3කට වඩා වැඩි මුදලක් සියලුම මන්ත්‍රීවරු 159 දෙනාගෙත් ජනාධිපතිවරයා ඇතුළු 160 දෙනාගේත් මහජන මුදල් අවභාවිතා කිරීමේ දූෂණය සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා මේ 160 දෙනාටම නීතිය ක්‍රියාත්මක කරන්න කියලායි අපි අද අල්ලස් කොමිසමට ආවේ.”
මාවනැල්ලේ දී පස් කන්දකට යට වූ තිදෙනාගේම සිරුරු සොයා ගනී….
මාවනැල්ලේ දී පස් කන්දකට යට වූ තිදෙනාගේම සිරුරු සොයා ගෙන තිබේ.
මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට අද (29) පෙරවරුවේ පස් කන්දක් කඩා වැටී තිබුණි.
ඒ අනුව ඔවුන් මුදාගැනීමේ කටයුතු සිදුකළ අතර මේ වන විට ඔවුන් තිදෙනාගේම සිරුරු සොයා ගැනීමට හැකි වූ බව අප වාර්තාකරු පැවසුවේය.
වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105ක් වටලයි….
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105ක් වැටලීමට පසුගිය සති දෙක තුළ කටයුතු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
එම අධිකාරිය පැවසුවේ එලෙස වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳ සැල් සඳහා නඩු පැවරීමට ද කටයුතු කළ බවය.
සහල් සඳහා පාලන මිලක් නියම කර ඇති බැවින් එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරන්නේ නම් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද එම අධිකාරිය පැවසීය.
එම අධිකාරිය පැවසුවේ සහල් අලෙවියේදී වැඩි මිලට අලෙවි කරන තනි පුද්ගල ව්‍යාපාරයෙකු වේ නම් ඔහුට එරෙහිව නඩු පැවරීමේදි ඔහු වැරදිකරු වුවහොත් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 05 දක්වා දඩ මුදලක් හෝ මාස 05ක සිර දඬුවමක් නියම කළ හැකි බවත් නැතහොත් එම දඩ මුදල හෝ සිර දඬුවම යන දෙකම නියම කිරීමටද හැකියාවක් ඇති බවය.
එමෙන්ම පෞද්ගලික සමාගමක් වරදකරු වන්නේ නම් රුපියල් ලක්ෂ 05 සිට රුපියල් ලක්ෂ 50 දක්වා දඩයක් නියම කිරීමටත් සහල් සඟවා තැබීම සම්බන්ධයෙන් වරදකරු වුවහොත් දඩ මුදලක් හෝ සිර දඬුවම හෝ ඉහත දෙකම මෙන්ම අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරිමටද අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකි බවද එම අධිකාරිය පැවසීය.
මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ සහල් සම්බන්ධ වැටලීම් 3,000 ඉක්මවීමටද පාරිභෝගික කටයුතු අධිකාරිය සමත්ව ඇත.
එම වැටලීම්වලින් 1,000කට අධික ප්‍රමාණයකට නීතිමය කටයුතු සිදුකර ඇතැයිද එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
ජයග්‍රහණය කළ ආසියානු කුසලානය ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කරයි….
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ කුසලානය ලබා දීමට සූදානම් වූ පාකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍ය මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි අතින් කුසලානය ලබා ගැනීමට තිබූ අකමැත්ත හේතුවෙනි.
“පාකිස්තානයේ අමාත්‍යවරයෙකු වන ACC සභාපතිවරයාගේ අතින් ආසියානු කුසලානය ලබා නොගැනීමට අපි තීරණය කර තිබෙනවා” යැයි ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසීය.
කුසලානය ලබා දීමේ අවස්තාවේදී “අද රාත්‍රියේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ සම්මාන ලබා නොගන්නා බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය මට දන්වා තිබෙනවා,” යැයි නිවේදකයා එහිදී පැවසීය.
උත්සවයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පැවසුවේ තමන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත් දා සිට ශූර කණ්ඩායමකට කුසලානයක් අහිමි වීම තමන් දැක නොමැති බවය.
කෙසේ වෙතත් ආසියානු කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය කණ්ඩායම කුසලානය නොමැතිව සිය ජයග්‍රහණය සමරනු ලැබීය.
ඊයේ පැවැති අවසන් තරගයේදී පාකිස්තාන කණ්ඩායමනේ හිමිවූ ලකුණු 147 ඉලක්කයට පිළිතරු ලෙස ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 150ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත්විය.
ජීව පතරොම් 458ක් හා හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට….
විවිධ වර්ගයේ ජීව පතරොම් 458ක්, ටී – 56 පතරොම් ගැබක් සමඟ සැකකරුවෙකු කොට්ටාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 75 මිලිග්‍රෑම් 400ක්, ව්‍යාජව සකස් කළ වාහන අංක තහඩු 30ක්, ආදායම් බලපත්‍ර 15ක්, රක්ෂණ සහතිකපත් 15ක් හා ජංගම දුරකථන දෙකක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක් වන අඟුලාන, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ සැකකරුවා ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.
පාසල් ළමුන්ගෙන් මත්ද්‍රව්‍යට වැඩිපුර නැඹුරුවන්නේ බස්නාහිර පළාතෙන් බවට අනාවරණයක්…
මෙරට පාසල් ළමුන්ගෙන් බහුලවම මත්ද්‍රව්‍ය සඳහා නැඹුරු වන්නේ බස්නාහිර පළාත තුළ සිටින ළමුන් බවට අනාවරණය වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.
කොළඹ දිස්ත්‍රික්කය ඉන් ප්‍රධාන තැනක් ගන්නා අතර ග්‍රෑන්ඩ්පාස්, තොටලඟ, කොම්පඤ්ඤවීදිය, අඟුලාන, කෙසෙල්වත්ත, පානදුර, දෙහිවල, ගල්කිස්ස, හික්කඩුව ඇතුළු නගර රැසක අඩු ආදායම් ලාභි පවුල් ජීවත්වන ප්‍රදේශවල ළමුන් මත්ද්‍රව්‍ය සඳහා වැඩි නැඹුරුවක් දක්වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටී.
මීට අමතරව පාසල් ළමුන්ගෙන් බහුලවම මත්ද්‍රව්‍ය වෙත නැඹුරුවන ප්‍රදේශයක් ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ද හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
එමෙන්ම ගම්පහ, කුරුණෑගල, අනුරාධපුරය, ගාල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයන්ද අවදානම් සහිත බවට හඳුනාගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කළේය.
මිතුරන්ගේ බලපෑම පාසල් ළමුන් මත්ද්‍රව්‍ය සදහා යොමුවීමට බලපාන ප්‍රධාන කරුණක් ලෙස හඳුනාගෙන තිබේ.
විශේෂයෙන් මත්ද්‍රව්‍ය ප්‍රතිපත්ති පාසල තුළ ක්‍රියාත්මක නොවීම, පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය බලාත්මක කිරීම වෙනුවෙන් විදුහල්පති, කලාප අධ්‍යාපන කාර්යාල වැනි තැන්වල ඇති අඩු උනන්දුව යන කරුණු ද පාසල් ළමුන් මත්ද්‍රව්‍යවලට යොමුවීමට හේතු වී ඇති බව හඳුනා ගෙන ඇත.
මීට අමතරව, පාරිසරික සාධක ලෙස බිඳුනු පවුල් පරිසරයන් තුළ ඇති ආතතිමය තත්ත්වයන්, දරුවන් නොසලකා හැරීම, පවුල හා ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සුලභතාවය, දිළිඳු භාවය හා ඌණ පෝෂණය ඇතුළු කරුණු ද බලපාන බවට හඳුනාගෙන තිබේ.
පාසල් ළමුන් හා තරුණයින් මත්ද්‍රව්‍යවලට යොමුවීම වැළැක්වීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ජාත්‍යන්තර ප්‍රමීතින් දේශීයකරණයට ලක්කර ධාරා 6ක් ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.
ඒ අනුව, පාසල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණය අධ්‍යාපනය හා පුහුණුව, තාරුණ්‍ය පාදක මත්ද්‍රව්‍ය නිවරණය අධ්‍යාපනය හා පුහුණුව, පවුල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණය අධ්‍යාපනය හා පුහුණුව, වැඩබිම් පාදක මත්ද්‍රව්‍ය නිවාරණය අධ්‍යාපනය හා පුහුණුව, පාරිසරික පාදක මත්ද්‍රව්‍ය අධ්‍යාපන පුහුණුව හෙවත් මත්ද්‍රව්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සහ මාධ්‍ය පාදක මත්ද්‍රව්‍ය නිවාරණ අධ්‍යාපන හා පුහුණුව යන ධාරා ඔස්සේ ඒවා ක්‍රියාත්මක වේ.
එමෙන්ම දැනට මත්ද්‍රව්‍ය භාවිතයට යොමුව ඇති දරුවන් වෙනුවෙන් අනාවරණ පරීක්ෂණ සිදුකිරීම, තක්සේරු පරීක්ෂණ සිදුකිරීම හා රෝග නිවාරණය සඳහා උපදේශනය, ප්‍රතිකාර කිරීම, පුනරුත්ථාපනය හා පසු රැකවරණ සේවා මගින් අඛණ්ඩව අධ්‍යයනයට යොමුකිරීම ඉලක්ක කර ගනිමින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සඳහන් වේ.
මේ අතර මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවු පාසල් සිසුන් ඉන් මුදවා ගැනීම සම්බන්ධයෙන් ද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ක්‍රියා කරන අතර ඒ සඳහා වූ පාසල් උපදේශක ගුරුවරු පුහුණු කර ඇත්තේ අනාවරණ පරික්ෂණයකින් අනතුරුව පියවර තුනක් ඔස්සේ ක්‍රියා කිරීමටය.
ඒ අනුව, අඩු අවදානමක් සහිත සිසුන් සඳහා උපදේශන හා මැදිහත්වීම් සිදු කිරීම පළමු පියවර ඔස්සේ සිදු කරනු ලැබේ.
දෙවන පියවර ඔස්සේ මැදි අවදානමක් සහිත සිසුන් හඳුනා ගැනීම සහ ඉහළ අවදානමක් සහිත සිසුන් හඳුනාගෙන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන් වෙත යොමු කිරීම සිදු කරයි.
අවසන් පියවර ලෙස අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ යොවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ක්‍රියාවලියට ලක්කර නැවත පාසල් අධ්‍යාපනයට හෝ ඔවුන්ගේ කැමැත්ත පරිදි වෘත්තිය අධ්‍යාපනයට යොමුකරවීමට මාර්ගය සැලසීම සිදුකරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර වසරේ ජනවාරි මස පළමුවනදා සිට අගෝස්තු 31 දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව ළමුන් 206 දෙනෙකු පොලීසිය සිය භාරයට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඉන් ළමුන් 39 දෙනෙකු පරිවාස භාරයට පත්කර ඇති බවය.
ළමුන් මත්ද්‍රව්‍යවලට යොමුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ළමුන් මත්ද්‍රව්‍යවලට යොමුවීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් පාසල් සහ ඊට අදාළ ආයතනයන්හි වැඩසටහන් 15,652ක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.
මනම්පේරිගේ පාපොච්චාරණයෙන් තවත් තොරතුරු එළියට…..
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටින සම්පත් මනම්පේරිගෙන් විමර්ශන නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර එහිදී අයිස් අමුද්‍රව්‍ය ඇතුළු කරුණු සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ වී තිබේ.
සම්පත් මනම්පේරි විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බවට පැවසෙන රසායනික ද්‍රව්‍ය මෙරටට රැගෙනවිත් දිනකට පසුව ඒවා අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික බවට තමන් දැනගත් බවය.
එතෙක් තමන් ඒ පිළිබදව කිසිවක් දැන නොසිටි බවද සැකකරු පවසා තිබේ.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ බැකෝ සමන්ගේ වට්ස්ඇප් දැනුම්දීම මත එම කන්ටේනර් දෙක මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ගිය බවය.
එහිදී බැකෝ සමන් විසින් ”අයියේ කන්ටේනර් දෙකක් තියෙනවා. ඒ දෙක නිදහස් කරගන්න ඕනා. මට ඒක කරලා දෙන්න පුළුවන් ද? යනුවෙන් සම්පත් මනම්පේරිගෙන් විමසා ඇති අතර ඊට ඔහු ”ලෙඩක් වැටෙන දෙයක්ද මල්ලී” යනුවෙන් විමසා ඇත.
එහිදී බැකෝ සමන් ”එහෙම දෙයක් නෙවෙයි අයියේ. ගල් වගයක් එන්නේ. වරායෙන් නිදහස් කරලා තියෙන්නේ. අයියට තියෙන්නේ ගිහින් ගන්න විතරයි ” යනුවෙන් සඳහන් කළ බව මනම්පේරි ප්‍රකාශ කර තිබුණි.
ඒ අනුව සම්පත් මනම්පේරි තවත් පුද්ගලයෙකු සමඟ ගොස් අදාළ කන්ටේනර් දෙක සිය භාරයට ගෙන මිද්දෙණිය ප්‍රදේශයට ගෙනැවිත් තිබු අතර, ඊට අදාළ ලියකියවිලි බැකෝ සමන් විසින් සම්පත් මන්ම්පේරිට වට්ස්ඇප් ඔස්සේ එවා තිබේ.
ඊට සම්පත් මනම්පේරිගේ සහෝදරයෙකු වන පියල් මනම්පේරි නමැත්තාගේ ද සහාය ලැබී ඇත.
කෙසේවෙතත්, කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බියට පත් සම්පත් මනම්පේරි සිය සහෝදරයා සමඟ එක්ව ඒවා වළ දැමීමට පියවර ගෙන තිබුණි.
පසුව තමන් මිද්දෙණිය ප්‍රදේශයෙන් පළා ගිය බව විමර්ශන නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා තිබේ.
ඒ අතරතුර ඔහු බැකෝ සමන් සහ දරූන් නමැත්තා හරහා හඳුනාගත් මන්නාරම ප්‍රදේශයේ කේරල ගංජා ජාවාරම්කරුවෙක් වන ටයිගර් නමැත්තාගේ සහායෙන් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පළා යෑමට ද සැලසුම්කර කර තිබූ බව හෙළිව ඇත.
මේ අතර, සම්පත් මනම්පේරි අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ පැවති සබඳතා හෙළිකර ගැනීම සඳහා ඔහුගේ ජංගම දුරකථනය සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් උත්සාහ කළත් තවමත් එය සොයා ගැනීමට හැකිව නැහැ.
ඒ සම්බන්ධයෙන් ද පොලිසිය ඔහුගෙන් ප්‍රශ්නකර තිබුණි.
”සර් මම හිටපු පොලිස්කාරයෙක්. ඒ හින්දා මම දන්නවා ජංගම දුරකථනය අහුවුණොත් මොකද වෙන්නේ කියලා. ඒ හින්දා වැල්ලවත්තේදී ඒක කෝච්චිවයට තියලා විනාශ කරලා දැම්මා” යනුවෙන් මනම්පේරි පිළිතුරු දී තිබේ.
පොලිසිය පැවසුවේ බැකෝ සමන්ට අයත් ගිනි අවි ප්‍රවාහනය කිරීම, මත්කුඩු සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීම, කේරල ගංජා ප්‍රවාහනය සහ ගනුදෙනු කිරීම හා ඝාතන ඇතුළු අපරාධ කිහිපයකට ඔහු සම්බන්ධ බවට සම්පත් මනම්පේරි පිළිගෙන ඇති බවය.
එමෙන්ම කජ්ජා හා දරු දෙදෙනා ඝාතනය කිරීම සඳහා තමන් විසින් ලබාදුන් ගිනිඅවි යොදාගෙන ඇති බවද සම්පත් මනම්පේරි විසින් පිළිගෙන ඇති බව පොලිසිය පැවසුවේය.
ඔහු හිටපු අමාත්‍යවරුන් සමග සමීප සබදතා පවත්වා ඇති බවට ද විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර ඒ පිළිබදව ද විමර්ශන ක්‍රියාත්මකය.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල සහ එම කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
අයිස්වලට වඩා දරුණු මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු….
අයිස් හෙවත් මෙතැම්ෆෙටමීන් මත්ද්‍රව්‍යට වඩා දරුණු ගණයේ මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
පසුගියදා වැලිගම ප්‍රදේශයේ නවාතැන්පලකදී සොයාගත් මත්ද්‍රව්‍ය සාම්පල පරීක්ෂාවෙන් මේ බව තහවුරු වී ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
වැලිගම පොලීසියට ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී පසුගියදා මත්ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක් වටලා විදෙස් ජාතික තරුණයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
එම ස්ථානයේදී තිබී මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය සහ උපකරණ සොයා ගනු ලැබු අතර එහි සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මූලික පරීකෂණවලට අනුව අනාවරණය වී ඇත්තේ එම ස්ථානයේ තිබී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍යවලට වඩා භායානක නව මත්ද්‍රව්‍යක් බවය.
ඊට අදාළ වාර්තාව ඉදිරි දින කිහිපය තුල නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර තංගල්ල ප්‍රදේශයේ ලොරි රථ 03ක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අනුව මෝටර් රථයක් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය භාරයට ගෙන තිබේ.
අදාළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සිදුකළ සැකකරුවන් ගමන් ගත් මෝටර් රථයක් මෙලෙස මාතර ප්‍රදේශයෙන් සොයා ගෙන ඇති බව වාර්තා වේ.
තංගල්ල ප්‍රදේශයේ තිබී පසුගියදා කිලෝ 700කට අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් අතර එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
එළැඹෙන අයවැයෙන් නව බදු හඳුන්වා නොදීම රජයේ අපේක්ෂාවයි – ජනපති….
මෙරට බිඳ වැටුණු ආර්ථිකය ගොඩනඟමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම, දූෂණ වංචාවලින් තොර පාලනයක් ඇති කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම වැනි ජනතාව අපේක්ෂා කළ නව පරිවර්තනයන් වෙනුවෙන් ඉකුත් වසර තුළ රජය සැලකිය වැඩ කොටසක් ඉටු කර තිබෙන බව නාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
එමෙන්ම ජනාධිපතිවරයා පැවසුවේ රට තුළ ගොඩනැඟෙන ආර්ථිකයෙහි, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම රජයේ අපේක්ෂාව බවත් එළැඹෙන අයවැය ලේඛනයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා දීමට අපේක්ෂා නොකරන බවත්, පනවා ඇති ඇතැම් බදු ප්‍රතිශත අඩු කිරීමටද ඉදිරියේදී අවධානය යොමු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවකට අද (28) පස්වරුවේ ටෝකියෝ හි Reiyukai ශාලාවේදී එක් වෙමිනි.
එමෙන්ම ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට ඔහු පැවසුවේ ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවට නොබියව පැමිණ ආයෝජනය කර, රට දිනවීමේ ගමනේ කොටස්කරුවන් බවට පත්වන ලෙසටය.
ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් සපයා දීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය වසර තුළ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි සමබරතාව ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙන බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
තවදුරටත් ආර්ථිකයේ සහ වෙළෙඳපොළ තුළ ජාතික සීමාවන් නොමැති ලෝකයක, රටකට තනිව ඉදිරියට යා නොහැකි අතර යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා තුළ ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ඉහළට ඔසවා තැබීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එසේම රට ඉදිරියට ගෙන යාමට නම් ජාතික සමගිය නිර්මාණය කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට තුළ කිසිඳු ජාතිවාදී ගැටුමක් උත්සන්න නොවූ වසරක් ලෙස පසුගිය වසර ලංකා ඉතිහාසයට එක්වන බවද කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ජීවත්වන සහ රටින් පිට සිටින කිසිඳු ශ්‍රී ලාංකිකයෙක් පෞද්ගලික වරප්‍රසාද හෝ වරදාන අපේක්ෂාවෙන් වත්මන් රජය බලයට පත් කර ගැනීමට කටයුතු නොකළ බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම සියලුදෙනා අපේක්ෂා කළ පරිවර්තනය වෙනුවෙන් අද රජය කැපවී කටයුතු කරන බවත්, රජයේ වසරක ගමන් මගෙහි සාර්ථකත්වය මැනිය යුත්තේ ඒ මත පදනම්ව බවත් ප්‍රකාශ කළේය.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ස්වේච්ඡා සංවිධානවල එකමුතුවෙන් සංවිධානය කර තිබු මෙම හමුවට ජපානයේ වෙසෙන මහා සංඝරත්නය, ආගමික පූජකවරු මෙන්ම වෘත්තීයවේදීහු, විශ්වවිද්‍යාල සිසුහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
