සංචාරක හා විදේශ රැකියා ක්ෂේත්‍රයෙන් 2025දී ඩොලර් බිලියන 11ක ආදායමක්…

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් 2025 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක් ඉපැයීමට හැකි වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විදෙස් ප්‍රේෂණ හරහා ඩොලර් බිලියන 07කට අධික ආදායමක් හා සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 3යි දශම 2ක ආදායමක් උපයා ඇති බවය.

අද (05) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විජිත හේරත් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වු බලපෑම සැලකිල්ලට ගනිමින් විදෙස් රටවලින්, විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ඇතුළු පාර්ශ්ව මගින් මේ වන විට පරිත්‍යාග ලෙස රුපියල් බිලියන 85කට ආසන්න මුදලක් ලැබී ඇති බව ද විජිත හේරත් අමාත්‍යවරයා එහිදි කියා සිටියේය.

මත්ද්‍රව්‍ය වැරදිවලට පොලිස් නිලධාරීන් 500කට පමණ විනය පියවර….

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500ක පමණ පිරිසකට එරෙහිව විනය පියවර ගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ඔහු පවසන්නේ මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් රැසක් සේවයෙන් ඉවත් කිරීමට ද පියවර ගෙන ඇති බවය.

අනුරාධපුර, ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති අධුනික පොලිස් නිළධාරීන් විසිරයාමේ උත්සවයට එක්වෙමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මේ බව කියා සිටියේය.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ පාතාලය, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා රජය වැඩපිලිවෙල රැසක් ක්‍රියාත්මක කර ඇති බවය.

හම්බන්තොට මයුරපුර මහවැලි කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්…..

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහවැලි ගොවීන්ට නිසි අයුරින් ජලය නොලැබෙන පසුබිමක දේශපාලනඥයින්ගේ උවමනාවන් මත DC 7 ඇළ මාර්ගයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කණුවක් භාවිත කර වෙනත් ගොවීන් පිරිසකට ජලය ලබාදීමකට කරයුතු කරන බවට පවසමින් මහවැලි ගොවීන් විරෝධතාවක් සිදුකර තිබේ.

ඔවුන් පවස්නේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කණුවක් භාවිත කරමින් නීති විරෝධී ලෙස හම්බන්තොට කෑලියපුර ප්‍රදේශයේ DC 7 ඇලෙන්, හම්බන්තොට ස්වර්ණමාලි වැව ප්‍රදේශයේ මහවැලි නොවන ගොවින් පිරිසකට ජලය ලබාදීමට යම් කිසි පිරිසක් උත්සාහ දරණ බවය.

පසුගිය 03වනදා පිරිසක් විසින් ජලය ගෙනයාම සඳහා අදාළ කානුවක පිලිසකර කර තිබේ.

එම ස්ථානයට ගිය මහවැලි ගොවින් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නකරන විටදී ඔවුන් පවසා ඇත්තේ වැසි ජලය ගෙනයාම වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරය ඇතිව අදාළ කානුවේ පවිත්‍රතා කටයුතු කරණ බවය.

මෙවන් පසුබිමක පසුගිය 04 වනදා වනවිට එම කානුව  DC 7 ඇළ මාර්ගය දක්වා දික්කොට අදාළ ඇලට කොන්ක්‍රීට් බෝක්කුවක්ද දමා ඇළ මාර්ගය ද හරස් කර තිබු බව ගොවින් පවසයි.

ඒ අනුව අද (05) පෙරවරුවේ අදාළ සිදුවීම සඳහන් කරමින් සිය විරෝධතාවය දන්වා මහවැලි ගොවීන් විසින් හම්බන්තොට මයුරපුර මහවැලි කොට්ඨාශයේ, කළමනාකරණ කාර්යාලයේ කොට්ඨාශ කළමනාකරුට ලිපියක් ලබා දීමට පැමිණ තිබේ.

නමුත් අදාළ නිලධාරියා ගොවීන්ගේ ගැටලුවට නිසි පිලිතුරක් ලබාදීමට නොපැමිණීම හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබුණි.

පසුව පොලීසිය පැමිණ අදාළ කොට්ඨාශ කළමනාකරු සමඟ ගොවින්ට සාකච්ඡාවක් ලබාදීමට කටයුතු කලත් කොට්ඨාශ කළමනාකරු ගොවීන්ගේ ගැටලුවට නිසි පිළිතුරක් ලබාදීමට සමත්ව නැත.

එම අවස්ථාවේ දී එම ස්ථානයට පැමිණ සිටි අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ හා හම්බන්තොට මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු එම ගැටලුවට මැදිහත්වීමත් සමඟ ගොවින් සහ ඔවුන් අතර දැඩි නොසන්සුන්තාවයක් ඇතිව තිබේ.

ගොවින් පවසන්නේ ගොවින් හා නිලධාරීන්ගේ ගැටලුවලට මේ ආකාරයෙන් දේශපාලඥයින්ගේ අනිසි මැදිහත්වීමක් තමන් බලාපොරොත්තු නොවන බවය.

කෙසේ වෙතත් ගොවින් ඒ සඳහා දැඩි  විරෝධය දක්වමින් අදාල නිලධාරීන්ට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගන්නා බව පවසමින් එම ස්ථානයෙන් පිටව ගිය බව  වාර්තාකරු පවසයි.

සැකකරුවෙකු යැයි සිතා තමාට පහර දුන් බවට තරුණයෙකුගෙන් පොලීසියට චෝදනා….

සැකකරුවකුගේ රුව තමාගේ රුව සමඟ පටලවාගනිමින් බොරැල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් තමාට පහරදුන් බවට දැරණියගල ප්‍රදේශයේ පුද්ගලයෙක් චෝදනා කර තිබේ.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ දැරණියගල ප්‍රදේශයේ කුඩා අවන්හලක් පවත්වාගෙන අයෙකි.

දෙසැම්බර් 30 වැනිදා රාත්‍රීයේ කොහුවල බෝධියාවත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුවූ අතර ඉන් 16 හැවිරිදි දැරියකට තුවාල සිදු විය.

එම සිද්ධියට අදාළව පොලිසියට අවශ්‍ය කරන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතමින් අතින් අඳින ලද සැකකරුවෙකුගේ සිතුවමක්ද මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණි.

මෙවන් පසුබිමක දැරණියගල ප්‍රදේශයේ කුඩා අවන්හලක් පවත්වාගෙන යන ළහිරු මධුසංඛ නැමැත්තා ඉකුත් ජනවාරි පළමුවැනිදා කොළඹට පැමිණ තිබුණේ සිය ව්‍යාපාරයට අවශ්‍ය බඩුබාහිරාදිය රැගෙන යාම සඳහාය.

ඔහු එදින රාත්‍රීයේ බේස්ලයින් මාවතේ පිහිටි සිය බිරිඳගේ නිවසේ රැඳී සිට ඇති අතර ඊට පසුදින උදෑසන කාලයේ එම නිවසට පොලිස් නිලධාරීන් පැමිණ තිබුණි.

අනතුරුව ස්ව කැමැත්තෙන් ප්‍රකාශයක් ලබාදීමට බොරැල්ල පොලිසිය වෙත ගිය තමන්ට අදාළ සැකකරුගේ සිතුවම පෙන්වා පොලිස් නිලධාරීන් පහරදුන් බවට තරුණයා චෝදනා කර ඇත.

දින 2කට ආසන්න කාලයක් බොරැල්ල පොලිසියේ රඳවා සිටි ළහිරුව ඉන් නිදහස් කර ඇත්තේ ඉකුත් 3 වැනිදා පස්වරුවේදීය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අද දෙරණ බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් සිදු කළේය.

එහිදී ස්ථානාධිපතිවරයා පැවසුවේ සැකපිට අත්අඩංගුවට ගත් අදාළ තරුණයාගේ තොරතුරු පරීක්ෂා කර පොලිස් ඇප මත මුදාහැරීමට පියවර ගත් බවය.

කෙසේවෙතත් ඔහුට පහරදුන් බවට පොලිසියට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි….

මාවතගම ප්‍රදේශයේ දී කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරමින් තුවාල සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

මෙම අපරාධය සම්බන්ධයෙන් පිලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර ඉහත අපරාධය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බවට කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

පසුගිය 10 වනදා මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මාවතගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.

සැකකරුගේ විස්තර

නම :- අබේසිංහ දොන් මංගල පුෂ්පකුමාර අබේසිංහ
ලිපිනය :- වැද්දාගල උතුර, වැද්දාගල, කලවාන
ජා.හැ.අංකය :- 810532394V

මෙම සැකකරුට රන්තපුර හා කලවාන මහෙස්ත්‍රාත් අධිකරණ මඟින් වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන් වේ.

සැකකරුගේ ඡායාරූප පහතින් දැක්වේ.

සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකතන අංක,

ස්ථානාධිපති, පොලිස් ස්ථානය මාවතගම – 0718 591 258
පොලිස් ස්ථානය, මාවතගම – 0372 299 222

ජනපති අමාත්‍යාංශ ලේකම්වරු සමඟ විශේෂ සාකච්ඡාවක….

පවත්නා මූල්‍ය සීමාවන් තුළ පිහිටා ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ජනතා සුබසිද්ධිය උදෙසා යෙදවීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ප්‍රාග්ධනය වියදම් ලෙස කොපමණ මුදල් වෙන් කළද ප්‍රශස්ත මට්ටමින් ඒවා වැය කර අවශ්‍ය භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීමට මෙතෙක් පැවති රාජ්‍ය යාන්ත්‍රණය අසමත් වීම හේතුවෙන් මෙරට ජනතාවට සංවර්ධන අවස්ථා බොහොමයක් මඟහැරී ගිය බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ඇතැම් අවස්ථාවල අයවැය සකස් කිරීමේදී ‘වියදම් නොවී ඉතිරි වන මුදල්’ පුරෝකථනය කරන තත්ත්වයක් රටේ තිබූ බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා අද කිසිදු ප්‍රමාදයකින් තොරව අවශ්‍ය මුදල් නියමිත පරිදි ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර තිබෙන බවද සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරු සමග අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන  විස්තීර්ණ ණය පහසුකම තුළ පවතින සීමාවන් අනුව වැය කළ හැකි වන්නේ ජාතික නිෂ්පාදනයෙන් 13%ක් වැනි ප්‍රමාණයක් බවත්, එයින් අවම 4%ක්වත් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ යුතු බවත්ය.

ඒ අනුව අමාත්‍යාංශ වෙත මුදල් වෙන් කර ඇත්තේ ‘රටේ අත්‍යවශ්‍යතාවලට ප්‍රමුඛතාව’ යන පදනමින් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රටේ ප්‍රධානම ආයෝජකයා රජය බව සඳහන් කළ ජනාධිපතිවරයා ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1400ක් වෙන් කර තිබෙන බවත්, ඊට අමතරව දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රුපියල් බිලියන 500ක අතිරේක මුදලක් වෙන් කර තිබෙන බවත් පෙන්වා දුන්නේය.

අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මූලික වගකීම වන්නේ වෙන් කර ඇති ප්‍රතිපාදන නිසි ලෙස කළමනාකරණය කරමින් අපේක්ෂිත භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීම බවත්, යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම යනු ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභය අහිමි වීමක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

2026 වසරට අදාළව අමාත්‍යාංශ මට්ටමින් සැලසුම් කර ඇති ව්‍යාපෘති සහ ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ මෙහිදී වෙන් වෙන්ව කරුණු ඉදිරිපත් කෙරිණි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද, අමාත්‍යාංශ ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ASP සහ කාන්තා පොලිස් සැරයන්වරියක් අල්ලස් දැලේ….

නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ කාන්තා පොලිස් සැරයන්වරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොමිෂන් සභාවට ලද තොරතුරක් මත සිදුකරනු ලැබු විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

වෙල්ලාවේලි පොලීසියට අනුයුක්තව රාජකාරි කරන ලද අවිවාහක පොලිස් කොස්තාපල්වරයෙකුට නිවසේ සිට රාජකාරී පැමිණීමට මඩකලපුව කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ අවසරය ලබාගැනීම සඳහා වු නිර්දේශ ලබාදීමට අදාළ කටයුතු සිදුකරදීමට අවස්ථා කිහිපයකදී ජංගම දුරකථනයක් ඇතුළු ද්‍රව්‍ය රු 72,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරනු ලබන සහකාර පොලිස් අධිකාරීවරයෙකු අද (05) උදේ 10.50ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර ඉහත විමර්ශනයට අදාළව අවස්ථා කිහිපයක දී ජංගම දුරකථනයක් ඇතුළු ද්‍රව්‍ය අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරනු ලබන කාන්තා පොලිස් සැරයන්වරියෙකු අද සවස 3ට පමණ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය තුළ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් නුවරඑළිය හා කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ජොන්ස්ටන් සහ බාල පුත්‍රයා රිමාන්ඩ්….

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද (05) අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයා ජනවාරි 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ, සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළවය.

මෙම චෝදනාවට අදාළව හිටපු අමාත්‍යවරයාගේ තවත් පුත්‍රයකු සහ සතොස හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකුද මේ වනවිට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයේ ලොරි රථයක් ඔහුට අයත් බව කියන එතනෝල් සමාගමක රාජකාරි සඳහා යොදවා තිබීමෙන් රජයට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් පාඩු කළේයැයි වූ චෝදනාවට හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට උපදෙස් දී තිබුණි.

ඒ අනුව ඉකුත් දෙසැම්බර් 30 වැනිදා කුරුණෑගලදී අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු සහ මෙම සිදුවීමට අදාළව කූඨ ලේඛන සැකසීමේ චෝදනාවට ඊයේ (04) අත්අඩංගුවටගත් සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල නැමැත්තාද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

මෙවන් පසුබිමක ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ අද පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙත දැනුම් දී තිබු අතර එසේ නොපැමිණියහොත් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් ලබාගන්නා බවද පොලීසිය හිටපු අමාත්‍යවරයාට දැනුම් දී තිබුණි.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ පුත්‍රයකු වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු අද පෙරවරු 8.40ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.

එහිදී ප්‍රකාශ ලබාගැනීමෙන් පසු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුත්‍රයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන අනතුරුව අද පස්වරුවේ වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

උසස් පෙළ විභාගය ජනවාරි 12 ඇරඹේ – උපකාරක පන්ති හෙට මැදියම් රැයෙන් තහනම්…

2025 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම හෙට (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා බෙදාහැරීම විභාග ප්‍රශ්නපත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් හෝ  අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම මෙලෙස තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

යම් අයෙකු හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා කටයුතු කරන්නේ නම් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවකු වන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

2025 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයයන් 2026 ජනවාරි මස 12 දින සිට 20 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 2362 ක දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කෙරේ….

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ අද (05) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස 06ක කාලයක් සදහා එම සමාගමේ කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කර ඇති බවය.