මාර්තු ගෙවුණු දින 18ට සංචාරකයින් 109,410ක් මෙරටට ඇවිත්….

මාර්තු මාසයේ මුල් දින 18 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 109,410ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 27,613ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 25%ක් වේ.

එමෙන්ම, රුසියාවෙන් 9,562ක්, ජර්මනියෙන් 8,258ක්, එක්සත් රාජධානියෙන් 10,111ක්, චීනයෙන් 9,100ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 6,114ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

තවද, 2026 ජනවාරි 01 සිට මාර්තු 18 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 666,065ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අතරින් ඉන්දියාවෙන් 127,353ක්, රුසියාවෙන් 59,795ක් සහ එක්සත් රාජධානියෙන් 70,439ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.

යාල වනෝද්‍යානයේ වනජීවි මුරපොළක් ආසන්නයේ වෙඩිතැබීමක්…

යාල වනෝද්‍යානයට අයත් කිරින්ද, හීන්වල වනජීවි මුරපොළ ආසන්නයේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

අද (21) පෙරවරුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

වෙඩි ශබ්දය පිළිබඳ වාර්තා වීමත් සමග හීන්වල වනජීවි මුරපොළේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබූ අතර, එහිදී මෝටර් රථයක නැගී පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

සතුන් දඩයම් කිරීම සඳහා මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

පලාගිය මෝටර් රථය සහ සැකකරුවන් සොයා කිරින්ද පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අවට පොලිස් ස්ථාන දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව සඳහන්ය.

ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්….

බස් රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව තවමත් නිසි පරිදි සකසා නැතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඔහු පවසනුයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අදාළ ප්‍රවාහන බලධාරීන් විසින් මේ සම්බන්ධව නිසි පියවර නොගැනීම තුළ බස් රථ ධාවනයද අඩාල විය හැකි බවය.

ඇතැම් ප්‍රදේශවල ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීම සිදු කෙරුනද තවත් ප්‍රදේශවල ඩිපෝ මගින් ඉන්ධන ලබා ගැනීමට යාමේදී එම ඩිපෝ තුළ ඉන්ධන නොමැති බවට දන්වා ඇති බවත් පැවසූ ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනුයේ මේ හේතුවෙන් බස් රථ හිමියන් බරපතළ ගැටලු රැසකට මුහුණ පා ඇති බවය.

මෙම තත්ත්වයන් තුළ එළැඹෙන සඳුදා දින බස් ධාවනය සැලකිය යුතු මට්ටමකින් අඩාල විය හැකි බවත් පෙන්වා දෙන ඒ මහතා සඳහන් කරනුයේ අදාළ බලධාරීන් මැදිහත්ව මෙම තත්ත්වයට කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බවය.

මේ පිළිබඳව අදහස් දැක්වූ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා,

“තාමත් බස් රථවලට අවශ්‍ය ඉන්ධන කෝටාව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හදලා නෑ. දුර ගමන් බස් රථ 1700කට විතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව හරහා හදලා දීලා තිබෙනවා. පළාත් සභාවලට ඒ දත්තයන් අරන් තියෙනවායි කියලා කියනවා. මේවා තාමත් සිද්ධ වෙලා නෑ. ලංගම ඩිපෝවලින් ඉන්ධන ලබා දෙනවා ඇතැම් ප්‍රදේශවල නමුත් අනිත් ප්‍රදේශවල ඩිපෝවට ගියාම ඉන්ධන නෑ. මේක බරපතළ ප්‍රශ්නයක්. සඳුදා වෙනකොට අපිට බස් ධාවනය කරන්න හැකියාවක් නැහැ. බොහෝ දුරට බස් රථ සේවාව 50% දක්වා අඩාළ වේවි. ගිය සතියේ අපේ බස්රථවල ඉන්ධන තිබුණා. දැන් මේ වෙනකොට ඒ ඉන්ධන ඉවරයි. QR එක ගත්තාම බස් රථවලට තිබෙන්නේ ලීටර් 60යි. අධිකාරිවලින් දැනුම්දීලා තිබෙනවා ඩිපෝවලට ගිහිල්ලා තෙල් ගහන්න කියලා. දවල්කාලේ ඩිපෝවලට තෙල් ගහන්න ගියොත් බස් රථ දුවන්න වෙන්නේ නැහැ. මේක තාමත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට, ප්‍රවාහන බලධාරීන්ට දින කිහිපයක් වෙලා මේක විසඳගන්න තවම හැකියාවක් ලැබිලා නැහැ.”

ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි….

නෙළුව, මාදුගැට ප්‍රදේශයේ, ගිං ගඟෙහි පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ පිටදෙනිය, බටුවංගල ප්‍රදේශයේ  පදිංචි අවිවාහක පුද්ගලයෙකි.

ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ නෙළුව පොලීසියේ නිලධාරින් පිරිසක් විසින් මෙම මළ සිරුර ගොඩගෙන ඇති බව සඳහන්ය.

මරණකරු ගතියෙන් යුතු පුද්ගලයෙකු වන බව මූලික විමර්ශනවලදී අනාවරණවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

කථිකාචාර්යවරියගේ ඝාතනයේ සුලමුල QR එකෙන් හෙළි වෙයි….

යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකගේ ඝාතකයින් ඉන්ධන QR කේතය හරහා සොයාගැනීමට පොලීසිය සමත්වී තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 54 හැවිරිදි තිලීපන් දයාලිනි නමැති අයෙකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමියන් යැයි පැවසෙන19 හැවිරිදි කාන්තාවක් සහ 21 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් දෙදෙනා දික්කසාදවීම සඳහා අයදුම් කර සිටි අය බවට ද සඳහන් ය.

මෙවන් පසුබිමක කථිකාචාර්යවරිය වන සිය මව සහ නැගණියව ඇයගේ සැමියා විසින් පැහැරගෙන ගොස් ඇති බවට මියගිය කාන්තාවගේ පුත්‍රයා යාපනය පොලීසියට පැමිණිලි කර තිබුණි.

මේ සම්බන්ධයෙන් විමර්ශනය සිදු කිරීම සඳහා යාපනයේ පොලීස් නිලධාරින් මරණකාරිය ජීවත් වූ නිවසට ගොස් ඇති අතර එහි වහළ සෙවිලි කළ උළු ඉවත් කර කඹයක් ආධාරයෙන් නිවසෙන් පිටත්ව ඇති ආකාරය සහ කපන ලද හිස කෙස් පොලීසිය විසින් සොයාගෙන ඇත.

ඒ අනුව සිදු කරන ලද විමර්ශනවලදී ඔවුන් විසින් පරන්තන් ඒ.ටී.එම් යන්ත්‍රණයෙන් මුදල් ලබාගෙන ඇති බවට අනාවරණ විය.

ඉන් අනතුරුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඇති ඉන්ධන පිරවුම්හලකින් QR කේතය භාවිත කරමින් ඉන්ධන ලබාගෙන ඇති බවට ද පොලීසිය විසින් තොරතුරු හෙළි කර ගෙන ඇත.

එවන් පසුබිමක එම ඉන්ධන පිරවුම්හලේ ඇති සී.සී.ටී.වී කැමරා දර්ශන උපයෝගී කරන පොලිස් නිලධාරින් විසින් සිදු කළ විමර්ශනවලට අනුව ඊයේ (20) ත්‍රිකුණාමල ප්‍රදේශයේදී 19 හැවිරිදි බිරිඳ සහ 21 හැවිරිදි සැමියාව පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

අනතුරුව ඔවුන් යාපනය පොලිස් ස්ථානයට රැගෙනවිත් ප්‍රශ්න කර ඇති අතර තමන් විසින් කථිකාචාර්යවරියගේ ගෙල මිරිකා ඝාතනය කළ බවට ඇයගේ බෑනා පාපොච්චාරණය කර ඇත.

ඉන් අනතුරුව මළ සිරුර යාපනය – තනංකිලප්පු, අරුගුවෙලි ප්‍රදේශයේ ඇති වගුරුබිමක දැමූ බවට ද සැකකාර බෑනා පොලීසියට පවසා තිබේ.

ඒ අනුව සිදු කළ මෙහෙයුමකින් අදාළ මළ සිරුර සොයාගෙන ඇති අතර ඒ වනවිටත් එය විකෘති වී තිබූ බවට තොරතුරු වාර්තා වේ.

මේ වනවිට අදාළ මළ සිරුර යාපනය ශීක්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන යාපනය පොලීසිය විසින් ක්‍රියාත්මක කෙරේ.

QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට….

QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව අද (21) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව මෝටර් රථය සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට 25 දක්වා ඉහළ යනු ඇත.

ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට ලීටර් 20 දක්වා ඉහළ දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

වෑන් රථ සඳහා මීට පෙර සතියකට ලීටර් 40ක් ලබා දුන්න ද එම ප්‍රමාණය ලීටර් 50 දක්වා ඉහළ දැමීමට පියවරගෙන තිබේ.

යතුරුපැදි සඳහා ලබා දුන් ලීටර් 5ක ඉන්ධන කෝටාව ලීටර් 8 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

බස් රථ සඳහා ලබා දුන් ලීටර් 60ක ඉන්ධන ප්‍රමාණය ලීටර් 100 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඉඩම් වාහනය සඳහා මීට පෙර ලබා දුන් ලීටර් 25ක ඉන්ධන ප්‍රමාණය නව සංශෝධනයට අනුව ඉහළ දමා ඇත්තේ ලීටර් 40 දක්වාය.

කෙසේවෙතත් ලොරි රථ සඳහා ලබා දුන් ලීටර් 200ක ප්‍රමාණය සහ විශේෂ කාර්ය වාහනය සඳහා ලබා දුන් ලීටර් 40ක ප්‍රමාණය සංශෝධනය නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් නිවේදනය කරයි

සියලු ඉන්ධන ගාස්තු නැවතත් ඉහළට….

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් යළිත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් වේ.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 443ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් 455කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398ක් ලෙස දැක්වෙයි.

ලංකා භූමිතෙල් මිල රුපියල් 60කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 255ක් වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

‘ආමි උපුල්’ ඝාතන සිද්ධියේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට….

ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වූ ‘ආමි උපුල්’ රාගම බටුවත්ත ප්‍රදේශයේ දී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළිකරගැනීමට පොලීසියට හැකිව තිබේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් ඉකුත් වසරේ ජූලි 3වනදා මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශය සිදුකළ විර්මශනයේදී ඉකුත් 17වනදා මෙම වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම අපරාධය සම්බන්ධව වැඩිදුරටත් සිදුකල විමර්ශනයේදී ඉහත වෙඩික්කරුට ප්‍රවාහන පහසුකම් ලබා දෙමින් ආධාර අනුබල දුන් සැකකරුවෙකු මාදම්පේ ප්‍රදේශයේදී පෙරේදා (18) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු වයස අවුරුදු 29ක් වන මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

එම සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්නකිරීමේදී ඉකුත් මාර්තු 7වනදා ජාඇල ප්‍රදේශයේ නිවසකට වෙඩිතැබීමේ සිද්ධියට ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වී ඇත.

ඒ අනුව ඔහුගේ නිවසේ සඟවා තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක්, එම පතරොම් 14ක් හා ව්‍යාජ අංක තහඩු යොදන ලද යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ‘ආමි උපුල්’ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු ඊයේ (19) වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 35ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් වසරේ ජූලි 14වනදා මාදම්පේ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට කඩුවකින් පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ අපරාධයක සැකකරුවන් බවටද අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, රාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ….

හෙට සහ අනිද්දා දිනවලත් බෙදුම්කරුවන්ට ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

එම සංස්ථාව කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ හෙට සහ අනිද්දා දිනවල පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.

සෙනසුරාදා දිනයේ ඛනිජතෙල් නීතිගත සංස්ථාව වසා තැබෙන බවට මේ වන විට පුවතක් සංසරණය වන අතර එයට පාදක වී ඇත්තේ සාමාන්‍ය ක්‍රමවේදයට අනුව සෑම මසකම එක් සෙනසුරාදා දිනයක් ඛනිජතෙල් නීතිගත සංස්ථාව වසා තැබීම වන බව ද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් පවතින මෙම තත්ත්වය විශේෂ අවශ්‍යතාවයක් වීම සහ මෙම සෙනසුරාදා රාත්‍රියේ දී QR කේතය නැවත සැකසීම සිදුවන බැවින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව විවෘතව පවතින බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

එමෙන්ම මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කර සිටියේ යම් අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඉරිදා දිනයේ වුවද තෙල් බෙදා දීමේ කට‍යුතු සිදු කළ හැකි අතර එහි කිසිදු ගැටලුවක් නොමැති බවය.

මේ අතර තොග පර්යන්ත සමාගම ද සෙනසුරාදා දිනයේ තෙල් බෙදා හැරීමේ කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ හේතුවෙන් පාරිභෝගිකයින්ට අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවත් හෙට සහ අනිද්දා දිනවල පිරවුම්හල් වසා තැබීම සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් හෝ තීරණක් ගෙන නොමැති බවත් කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්….

එළැඹෙන උත්සව සමයේ දී භාණ්ඩ වර්ග 100ක් සඳහා සතොසින් වට්ටම් ලබාදී ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අද (20) පෙරවරුවේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා පැවසුවේ, වෙළෙඳපොළේ පවතින පාලන මිලටත් වඩා අඩුවෙන් ලංකා සතොසින් සහල් මිලදීගැනීමට හැකි බවය.

සතොසින් වට්ටම් ලැබෙන ආහාර ද්‍රව්‍ය කිහිපයක කිලෝවක මිල ගණන්

සුදු නාඩු – රු. 217
සුදු කැකුළු – රු. 203
පාන් පිටි – රු.  254
හාල්මැස්සෝ – රු. 1,050
පරිප්පු – රු. 264
බී ලූනු – රු. 150 – 160 අතර

මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේ, සෑම භාණ්ඩයකටම සීමාවක් තිබෙන බවය. ඒ අනුව මෙම සහනය පාරිභෝගිකයන්ට මිස ව්‍යාපාරිකයින්ට නොලැබෙන බවයි.

මේ අතර සතොසින් රු. 2500කට වැඩියෙන් භාණ්ඩ මිලදීගන්නා පුද්ගලයන්ට ත්‍යාග ලබාදීමේ ක්‍රමවේදයක්ද හඳුන්වා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

“රු. 2500කට වැඩියෙන් භාණ්ඩ මිලදීගන්න සෑම කෙනෙක්ටම කූපන් පතක් ලැබෙනවා ලොතරැයි දිනුම් ඇඳීමකට. 

එනිසා සතොසට ආවොත් කාර් එකෙන් නැත්නම් බයිසිකලෙන් යන්න පුළුවන්. රු. 2500කට වැඩියෙන් භාණ්ඩ ගන්න, වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න” යැයි පැවසීය.