අද (20) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අධිවේගයේ ආසනපටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමා තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් නිකුත් කර තිබේ.
අද (20) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අධිවේගයේ ආසනපටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමා තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් නිකුත් කර තිබේ.
මාර්තු 03 වෙනිදා සිට මාර්තු 18 දක්වා කාලය තුළ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 53 දෙනෙකු සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.
මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ, තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන්, විදුලි ආලෝක ධාරා ඇතුළු නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන්, බලපත්‍ර නොමැතිව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් සහ වින්ච් යන්ත්‍ර හා ට්‍රැක්ටර් භාවිතයෙන් ධීවර කටයුතු සිදු කිරීමේ චෝදනාවලට අදාළවය.
මෙම සැකකරුවන් 53 දෙනාට අමතරව ඩිංගි යාත්‍රා දහතුනක් සහ ට්‍රැක්ටර් රථ හතරක් සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
මෙම මෙහෙයුම් මන්නාරම වෙඩිතලතිව්, සවුත්බාර්, වන්කාලෙයි, පුත්තලම උඩප්පුව, උදයුර්පුති, වාකරේ කන්ඩලඩි, කළුවන්කේනී, පල්චේනයි, සවුක්කඩි, යාපනය මන්ඩතිව්, ත්‍රිකුණාමලය කින්නියා, කොකිලායි සහ ගාල්ල අකුරළ වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි සිදු කර ඇත.
එමෙන්ම නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න, ට්‍රැක්ටර් රථ සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලුප්පුකඩවායි පොලිස් විශේෂ කාර්ය බලකාය, මන්නාරම, පුත්තලම, වාලච්චේනයි, මඩකලපුව, මන්ඩතිව්, නානට්ටාන්, කින්නියා හා මුලතිව් ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත සහ ගාල්ල වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කෙරිණි.
නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි ඉන්දුනීසියානු ජාතිකයන් 76දෙනෙකු අද (20) පස්වරුවේ මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබේ .
ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලද බුද්ධි තොරතුරු මත එහි විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමක දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් සංචාරක වීසා සහ ව්‍යාපාරික වීසා පහසුකම් යටතේ මෙරටට පැමිණ ඇති අතර, ඉන් 36දෙනෙකුගේ වීසා කාලය කල් ඉකුත් වී ඇති බවද සඳහන්.
අනෙක් ඉන්දුනීසියානු ජාතිකයන් 40දෙනා, වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මෙරට තුළ රැදී සිට ඇති බවද වාර්තා වේ.
මෙම ඉන්දුනීසියානු ජාතිකයන් වයස අවුරුදු 25ත් 35 අතර පසුවන්නන් වන අතර ඔවුන් අතරින් 06දෙනෙකු කාන්තාවන් වේ.
ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතාගේ උපදෙස් මත මෙම පිරිස, වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ඇති අතර ඔවුන් කඩිනමින් මෙරටින් පිටුවහල් කිරීමට පියවර ගන්නා බවද සඳහන්.
මෙරටට පැමිණි අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුව ඇත.
අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කර තිබේ.
එමෙන්ම, මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නියෝජිත පිරිස දැනුවත් කර ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ Sergio Gor මහතා සමඟ පැමිණි නියෝජිත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.90ක් ලෙස සටහන් වී ඇති අතර, අද දහවල් වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 113.70ක් ලෙස දැක්වුණි.
කෙසේ වෙතත්, අද උදෑසන ආසියානු වෙළඳපොළ ආරම්භයේදී තෙල් මිල දැක්වුණේ, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 112.00ක් ලෙසය. එය පෙර දිනයට සාපේක්ෂව 4%ක ඉහළ යාමකි.
‘World Happiness Report – 2026’ එළිදැක්වූ නවතම වාර්තාවට අනුව ලොව සතුටින් සිටින රටවල් අතර ශ්‍රී ලංකාව දැවැන්ත ලෙස පහළට වැටී තිබේ.
අදාළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ලොව 134වැනි ස්ථානය දක්වා පහළට වැටී ඇත.
ගෝලීය යහපැවැත්ම සහ එය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳ නිර්දේශ ලබාගැනීම සඳහා සිදුකන ලොව ප්‍රමුඛතම ප්‍රකාශනයක් ලෙස ‘World Happiness Report’ සැලකයෙි.
මේ සඳහා රටවල් 140කට වැඩි ගණනක දත්ත සැලකිල්ලට අදාළ ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබයි.
මෙම දර්ශකයේ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ රටවල් 13ක් පමණක් වන අතර, ඒ අතර සිටින්නේ ඉතියෝපියාව, ටැන්සානියාව, ලෙබනනය, යේමනය සහ ඇෆ්ගනිස්තානය වැනි රටවල්ය.
මෙම දර්ශකයට අනුව ඇෆ්ගනිස්තානය ලොව අසතුටින්ම සිටිය රටය.
මෙම දර්ශකයේ ශ්‍රී ලංකාව 2025 වසරේ දී 133 වන ස්ථානයේද, 2024 වසරේ දී 128 වන ස්ථානයේ පසුවිය.
එමෙන්ම 2023 සහ 2022 දී පිළිවෙලින් 112 වන සහ 127 වන ස්ථානයේ පසුවිය.
සෑම වසරකම, ලෝක සතුට වාර්තාව මඟින් මිනිසුන් තම ජීවිත ගැන වඩාත්ම තෘප්තිමත් වන්නේ කොතැනද සහ ඔවුන් එසේ නොකරන තැන හෙළි කරයි.
ෆින්ලන්තය 2026 දී ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස පවතින අතර, අඛණ්ඩව නවවන වසරටත් ඉහළම ස්ථානය හිමිකරගෙන සිටී.
අයිස්ලන්තය (2 වන ස්ථානය), ඩෙන්මාර්කය (3 වන ස්ථානය), ස්වීඩනය (5 වන ස්ථානය) සහ නෝර්වේ (6 වන ස්ථානය) ද 2026 දී සතුටින්ම සිටින ඉහළම රටවල් 10 අතරට පැමිණ ඇත.
ලතින් අමෙරිකානු රාජ්‍යක්වන කොස්ටාරිකාව මෙම වසරේ කැපී පෙනෙන කාර්ය සාධනයක් පෙන්නුම් කරමින් 4වන ස්ථානයට පැමිණ තිබීම සුවිශේෂීය.
මේ අතර, එක්සත් ජනපදය 23 වන ස්ථානයේ ද, කැනඩාව 25 වන ස්ථානයේ ද, එක්සත් රාජධානිය 29 වන ස්ථානයේ ද සිටී.
ඊට වෙනස්ව, ලැයිස්තුවේ පහළින් 147 වන ස්ථානයේ සිටින ඇෆ්ගනිස්ථානය නැවතත් ලෝකයේ අසතුටින් සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇති අතර, මලාවි (145 වන ස්ථානය) සහ සියෙරා ලියොන් (146) යන රටවල් සියල්ලම ගැටුම්වලින් පීඩාවට පත්ව ඇත.
ශ්‍රී ලංකාවේ අසල්වැසි ඉන්දියාව 2024 දී 126 වන ස්ථානයේ සිට 2025 දී 118 වන ස්ථානය දක්වා ශ්‍රේණිගත කිරීම වැඩිදියුණු කළ අතර, මෙම වසරේ ස්ථාන දෙකක් ඉහළ ගොස් දැනට ජීවිත ඇගයීම් ලකුණු 4.536 ක් සමඟ 116 වන ස්ථානයේ සිටී.
මේ අතර, පාකිස්තානය පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන පහක් වැඩිදියුණු කර, 109 වන ස්ථානයේ සිට 104 වන ස්ථානය දක්වා ඉහළ ගිය අතර ඉන්දියාව පාකිස්තානයට පිටුපසින් 116 වන ස්ථානයේ සිටියේය.
ලෝක රන් මිල පහළ යාමට සමගාමීව මෙරට රත්‍රං මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව, අද (19) දහවල් වනවිට කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 362,500ක් දක්වා පහළ ගොස් තිබේ. එය සමස්තයක් ලෙස රුපියල් 13,000කින් අඩුවීමක් ලෙස සඳහන් වේ.
අද උදෑසන වනවිට රත්‍රං මිල රුපියල් 9,000කින් පහළ ගොස් තිබූ අතර, එම ප්‍රවණතාවය දිගටම පවත්වාගෙන යමින් දහවල් වනවිට තවත් රුපියල් 4,000කින් අඩු වී ඇත.
ඊයේ (18) දිනයේදී කැරට් 22 රන් පවුමක මිල රුපියල් 374,400ක් ලෙස සටහන් වූ අතර, එය අද වනවිට පැහැදිලි ලෙස පහළ වැටී ඇත.
මේ අතර, ඊයේ රුපියල් 407,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල ද අද වනවිට රුපියල් 394,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.
කුලියාපිටිය, මීගහකොටුව හන්දියේදී යතුරුපැදිකරුවෙකුට ආරක්ෂිත හිස්වැසුමකින් පහරදුන් බවට චෝදනා එල්ලවූ යතුරුපැදිකරු කුලියාපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කුලියාපිටිය පන්නල මාර්ගයේ සිට පැමිණෙන මෙම පුද්ගලයා, කුලියාපිටියේ සිට මාදම්පේ ප්‍රධාන මාර්ගය හරහා යතුරුපැදියෙන් ගමන් ගන්නා පුද්ගලයෙකුට අදාළ පහරදීම සිදුකර තිබුණි.
එම පහරදීම අසළ තිබූ CCTV කැමරාවක පටිගත වී තිබූ අතර, ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
කුලියාපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක, රථ වාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නලින් මහීපාල යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් විසින් මෙම විමර්ශනය පවත්වනු ලැබීය.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අප්‍රේල් මස 10 වෙනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ, මීළග පාර්ලිමේන්තු සතියට අදාළ කටයුතු සම්බන්ධයෙන් අද (19) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.
ඒ අනුව අදාළ විවාදය එදින පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.
එමෙන්ම 2019 පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අප්‍රේල් 9 වෙනනිදා පස්වරු 2.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට ද තීරණය කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ විපක්ෂය විසිනි.
ඒ අනුව මීළඟ පාර්ලිමේන්තු කටයුතු අප්‍රේල් මස 7, 9 සහ 10 යන දින තුළ පැවැත්වෙනු ඇත.
නීතියට පටහැනි ලෙස පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩතහනම් කිරීම සිද්ධිය සමථයකට පත්කර ගැනීමට හැකියාවක් තිබේ දැයි මේ මස 27 වනදා දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය අද (19) පාර්ශවකරුවන්ට නියෝග කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඡායා ශ්‍රී නම්මුණි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය වැඩතහනම් කිරීමට එරෙහිව පෙත්සම්කරු විසින් ඉදිරිපත් කළ පෙත්සම සමථයට පත්කිරීම සඳහා දෙවන වගඋත්තරකරු විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.
එම යෝජනා පදනම් කරගෙන මෙම පෙත්සම සමථයට පත් කිරීමට තිබෙන ඉඩකඩ පිළිබඳව පෙත්සම්කාර පාර්ශවයට සලකාබැලිය හැකි බවත් ඇය පැවසීය.
ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ, එම සමථ යෝජනා පිළිබඳ සලකාබලා සිය සේවා දායකයාගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසය.
ඒ අනුව මෙම පෙත්සම යළි ලබන 27 වනදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය, විනිසුරු මඩුල්ල එදින මෙම නඩු කටයුත්ත සමථයට පත් කිරීමට ඇති හැකියාව අධිකරණයට දැනුම් දෙන ලෙසත් පාර්ශවකරුවන්ට දැනුම් දුන්නේය.
ඉන් අනතුරුව මෙම නඩුකරයට අදාළ සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා අවසර දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව අදාළ සීමිත විරෝධතා අප්‍රේල් මස 20 වනදාට පෙර ගොනු කරන ලෙස අධිකරණය විසින් වගඋත්තරකාර පාර්ශවයට නියම කළේය.
මෙම පෙතසමේ වගඋත්තරකරුවන් ලෙස කථානායක ජගත් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු පාර්ලිමේන්තු උපදේශක කමිටුවේ සාමාජිකයන් නම් කර තිබේ.