මාතර කපුගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්….

මාතර කපුගම ප්‍රදේශයේ අද (03) උදෑසන 6.35ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී 56 ගිනි අවියක් භාවිත කරමින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

වෙඩි වැදීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර වෙඩි වැදීමෙන් ඔහුගේ පාදයකට සුළු තුවාල සිදුව තිබේ

තුවාලකරු බස් රථ හිමිකරුවෙක් සහ බහුදින ධීවර යාත්‍රා හිමි ව්‍යාපාරිකයෙක් බවද පොලීසිය පැවසීය.

පසුගිය මාර්තු 21 දින දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ අසල සිදුවූ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ පසිඳු තාරක සහ යොමේස් නදීෂාන් දෙදෙනාගේ පවුලේ පුද්ගලයින් සහ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අතර ඇති හිතවත්කම හේතුවෙන් සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සිටින ෂෙහාන් සත්සර නොහොත් දෙහිබාල මල්ලීගේ මෙහෙයවීමෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීසිය සැකපළ කරයි.

වෙඩි තැබීම සිදුව ඇති ස්ථානයේ තිබී ටී 56 උණ්ඩ 03ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ගන්දර පොලීසිය මගින් සිදුකරති.

විදෙස් සංචාරකයින්ට හෙට සිට කටුනායකින්ම රියදුරු බලපත්……

සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින්ට මෙරටදී ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම සඳහා අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් හෙට (03) දින සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරීශ්‍රයෙහි ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ මෙතෙක් එම කටයුතු සිදුකරන ලද්දේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වුවත් සංචාරකයින්ගේ පහසුව පිණිස හෙට දින සිට මෙම කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පරීශ්‍රයේ ආරම්භ කරන බවය.

මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින් බොහෝ විට කටුනායක ගුවන් තොටුපොළ හෝ ඊට ආසන්න ස්ථානවලින් වාහන කුලී පදනම මත ලබා ගෙන ඔවුන්ම රියදුරන් සේ කටයුතු කරමින් සිය සංචාරවල නිරත බවන බවත් මේ සඳහා යතුරු පැදි සහ ත්‍රීරෝද රථ මෙන්ම සැහැල්ලු වාහන ද යොදාගන්නා බව පෙනී ගොස් ඇතැයි ද කොමසාරිස්වරයා පැවසීය.

කෙසේ වෙතත් නව ක්‍රමවේද යටතේ විදේශිකයින්ට සැහැල්ලු වාහන හා යතුරුපැදි පමණක් බලපත්‍ර නිකුත් කරන බව පැවසූ ඒ මහතා බර වාහන හෝ ත්‍රී රෝද රථ සඳහා රියදුරු බලපත් නිකුත් නොකරන බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

ගලෙන්බිඳුනුවැව නගරයේ හතරමං හන්දියේ කොක්කු කරදර….

ගලෙන්බිඳුනුවැව නගරයේ හතරමං හන්දියේ නිකවැව මාර්ගයේ පිහිටා තිබෙන විශාල කොහොඹ ගසෙහි කොක්කු කූඩු සදා බිත්තර සහ පැටවුන් සමග වාසය කිරීම හේතුවෙන් ඒ අවට කොක්කු වසුරු විශාල වශයෙන් පවතින බව පෙන්වා දෙන මහජනතාව පවසා සිටින්නේ ඒ අවට තිබෙන ව්‍යාපාරික ස්ථාන සහ හෝටල් වෙළඳාම් කිරීමට නොහැකි තරම් තත්වයකට පත්ව ඇති බව පෙන්වා දෙයි.

නගරයට පැමිණෙන ජනතාවගේ ශරීරවලට පවා කොක්කුන්ගේ වසූරු වැටීම හේතුවෙන් ඉදිරියේදී යම් අසාධ්‍ය තත්ත්වයක් ඇතිවීමටද ඉඩ ඇති බව පෙන්වා දෙන නගරයට පැමිණෙන ජනතාව පවසන්නේ මෙම වසුරුේතුවෙන්. නගරය විශාල දුර්ගන්ධයක් හමන බවයි.

කොකුන් වාසය කරන ස්ථානය වෙළඳසැල් හා ඒ අවට ඉදිකිරීම් කොක්කුංගේ වසුරු වලින් වැසී යමින් පවතින බව එහි ගිය අපට දක්නට ලැබුණු අතර වහලවල් සහ මාර්ගය වතුර වලින්සු. දු පාටින් වෙනම දැක ගන්නටහැකි හැකි වූ අතර මෙම ස්ථානය භාවිතාා කරමින් ජනතාව තම ගම්බිම්වලට යාමට බස් රථවලට ගොඩවීම සඳහා භාවිතා කරන ස්ථානයක් බව මහජනතාව පවසා සිටි අතර කොක්කු වාසය කිරීම හේතුවෙන් වෙනද ව්‍යාපාරිකයන් සහ මහජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති ආකාරය කැමරා කාචයේ සටහන් විය.

ගලෙන්බිඳුනුවැව නගරයට පැමිණෙන ජනතාව අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ , කොක්කුන්ගේ ජීවිතවලට හා නගරයේ පිහිටා තිබෙන විශාල කොහොඹ ගසට හානියක් නොවන පරිදි කොක්කු
ව්‍යාපාරයකින් සහ. මහජනතාව අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කොක්කුංගේ ජීවිතවලටට හෝ නගර මධ්‍ය පිහිටා තිබෙන විශාල කොහොම ගසට කිසිදු හානියක් සිදු නොවන පරිදි දැනට කොක්කුන් වාසය කරන වාසස්ථානය වෙනස් කිරීමට අවශ්‍ය කරන කටයුතු සලසා අපවිත්‍ර වන නගරය කුක්කුංගෙන් මුදාගෙන නැවතත් ජනතාවට ලබා දෙන ලෙසයි

ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය

වසර 38කට පසු අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාව මහනුවර ත්‍රිත්ව විදුහලට…..

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල අද (02) සමත්විය.

ඒ අවසන් මහා තරගයේදී කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 23 -21ක් ලෙස තියුණු ජයක් ලබමින්ය.

ත්‍රිත්ව විදුහල උත්සාහක දිණුම් 3ක්, එක් ප්‍රවර්ථනයක්, දඬුවම් පහරක් හා ඩ්‍රොප් ගෝලයක් වාර්තා කරමින් ලකුණු රැස්කළේය.

එමෙන්ම තියුණු සටනක් දුන් වෙස්ලි විදුහලද උත්සාහක දිණුම් 3ක් හා ප්‍රවර්ථන 3ක් සාර්ථක කරගැනීමට සමත් විය.

ත්‍රිත්ව විදුහල මෙලෙස අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියක ශූරතාව දිනාගත්තේ වසර 38කට පසුව වීම විශේෂත්වයක්ය.

මෙවර ඔවුන් අපරාජිතවම මෙම ජයග්‍රහණය අත්කර ගැනීමද සුවිශේෂය.

අවසන් මහා තරගය පල්ලෙකැලේ ත්‍රිත්ව විදුහල් රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ගල්කිස්ස ඝාතනයේ සැකකරුවන් ප්‍රදේශයෙන් පළායයි…..

ගල්කිස්ස පොලිස් වසමේ අරලිය නිවාස ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට අදාළ සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙක් හඳුනාගෙන ඇති අතර ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලිසිය සඳහන් කළේය.

මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඊයේ (01) සවස් කාලයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා බරපතළ තුවාල සහිතව ලුනාව රෝහලට ඇතුලත් කර තිබුණි.

ගල්කිස්ස පොලීසිය සඳහන් කළේ, තුවාලකරුවන්ගෙන් එක් පුද්ගලයෙකු ලුනාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුලත් කෙරුණු බවත් ය.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් වන අතර එහිදී මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි වැඩිමහල් සොහොයුරා ය.

එම පහරදීමෙන් තුවාල ලැබූ පහලොස් හැවිරිදි පාසල් සිසුවාද මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.

පාසලක එකම පන්තියේ ඉගෙනුම ලබන මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් පිළිබඳ විමසීම සඳහා පාසල් සිසුවා සිය වැඩිමහල් සොහොයුරාද සමඟින් අදාළ නිවසට ගිය අවස්ථාවේදී ඇති වූ ගැටුමකින් මෙම ඝාතනය සිදුව ඇති බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ පහසුකම එළැඹෙන වසරේ සිට…..

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්  (TRCSL) දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ( Number Portability -NP) සේවාව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව එම කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ  සේවාව ක්‍රියාත්මක කිරීම පිණිස පියවර කිහිපයක් ගෙන ඇති බවය.

ඒ අනුව පළමුව කොමිෂන් සභාව විසින් දුරකථන ක්‍රියාකරු සමාගම්  සමඟ සාකච්ඡා පවත්වා දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා සැලැස්මක් සකස් කර තිබේ.

2021  වසරේ දී මහජන උපදේශන පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කරන ලද අතර, අදාළ සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් මේ සඳහා ලබා ගෙන ඇත.

පසුව විදුලි සංදේශ ක්‍රියාකරුවන් සමඟ සාකච්ඡා කර සුදුසු තාක්ෂණික ආකෘතිය තීරණය කරන ලද අතර  දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ  සේවාව ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනය කිරීම පිණිස සියලුම ස්ථාවර සහ ජංගම දුරකථන ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වයෙන් ලංකා  නම්බර් පෝර්ටබිලිටි සර්විසස් (ගැරන්ටි‍) ලිමිටඩ් නමින් සමාගමක් ස්ථාපනය කර තිබේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්  දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ  සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලපත්‍රය  ඒ අනුව මෙම සමාගම වෙත ප්‍රදානය කර ඇත.

දුරකතන ක්‍රියාකරු සමාගම් සමඟ සම්බන්ධීකරණයෙන් සකස් කරන ලද දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ  රීති සහ මාර්ගෝපදේශ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී තිබේ.

දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ක්‍රමය ස්ථාපනය කිරීම සහ දුරකතන ක්‍රියාකරු සමාගම්වල ජාල වැඩිදියුණු කිරීම අවසන් වූ පසු දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

ඉන් අනතුරුව,  දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව සැපයීම ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම සේවාව ක්‍රියාත්මක කිරීමේ කටයුතු සූදානම් වූ පසු, ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව  විසින් ඒ් සම්බන්ධයෙන්  මහජනතාව දැනුවත් කරන බවද එම කොමිෂන් සභාව පවසයි.

නීතිය සියලු දෙනාටම එක සමාන විය යුතුයි – අධිකරණ ඇමති……

හජනතාවට සේවාවන් ලබා ගැනීමට පවතින රජය යටතේ තවදුරටත් ඇමතිවරුන් මන්ත්‍රීවරුන් පසුපස යා යුතු නොමැති බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

Know Your Neethi ( ඔබේ නීතිය හඳුනා ගන්න) තේමාව යටතේ මහජනතාවට නීති ආධාර ලබාදීමේ සහ නීතිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන දින වැඩසටහනට අද (02) පෙරවරුවේ අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මහජනතාවට යුක්තියට ප්‍රවේශවීමට ඇති අවස්ථා ලබාදීම සඳහා ඔවුන්ට සාමාන්‍ය නීතිය සම්බන්ධයෙන් වු දැනුම අවබෝධය ලබා දිය යුතුයි. මුලික නීතිය සම්බන්ධයෙන් අවබෝධය නොමැතිවීම හේතුවෙන් තමන්ට පවතින ප්‍රශ්න ගෙන යා යුත්තේ කුමන ස්ථානයට යන්න දැනුම ඔවුන්ට නැහැ. මේ තත්ත්වය අවම කිරීම සඳහා දැනුවත් කිරීමේ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අතිශයින් වැදගත් වෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් නීතිය සම්බන්ධව සාමාන්‍ය ජනතාවට අවබෝධය ලබාදීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් රට පුරා ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. 

ආර්ථික අපහසුතාවයන්, භාෂා පිළිබඳව වු ගැටළු යුක්තියට ප්‍රවේශවීමට ඇති ප්‍රධාන බාධකයි. ඒවා නැති කළ යුතුයි. ඇතැම් අවස්ථාවල අපේ රටේ පොලීසියට, අධිකරණයට ජනතාවගෙන් අප්‍රසාදයට පත්වීමට නීතිය පිළිබඳව සාමාන්‍ය ජනතාවට නිසි අවබෝධය නොමැතිවීමත් හේතුවෙනවා. මහජනතාවට සේවය ලබාදීම අපේ මුලික වගකීමක් බවට රාජ්‍ය  සේවකයින් අවබෝධ කරගත යුතුයි. මේ වැඩසටහනේ මුලික අරමුණ වන්නේ නීතිය සම්බන්ධයෙන් වු අවබෝධය ජනතාවට ලබාදීමයි. රාජ්‍ය සේවකයින් වන අපගේ කාර්භාරය ජනතාවට සේවය කිරීම බව අවබෝධ කර ගත යුතුයි. 

ජනතාවට සේවා ලබා ගන්න අපේ රජය යටතේ තවදුරටත් ඇමතිවරුන් මන්ත්‍රිවරුන් පසුපස යන්න අවශ්‍ය වන්නේ නැහැ. මෙවැනි වැඩසටහන් අමාත්‍යාංශයට පමණක් තනිව කරන්න බැහැ. ඒ වෙනුවෙන් මහජනතාවගේ සහ රාජ්‍ය සේවකයින්ගේ සහාය අවශ්‍යයි. ජනතාවට පවතින ගැටලු විසඳීම වෙනුවෙන් රාජ්‍ය සේවකයින් දේශපාලන නියෝජිතයින් එක්ව මෙවැනි වැඩසටහන් මාස තුනකට වරක්වත් සංවිධානය කළ යුතුයි. නව අගවිනිසුරුවරයා රාජකාරී ආරම්භ කරමින් අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම කඩිනමින් සිදුකළ යුතු බව සඳහන් කළා. අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයෙන් තොරව තවදුරටත් ඉදිරියට යන්න බැහැ. එය සිදු කළ යුතුමයි. නීතිය සියලු දෙනාටම එක සමාන විය යුතුයි. සාමාන්‍ය ජනතාවට පමණක් නොව ඇතැම් රාජ්‍ය සේවකයින්ට පවා මුලික නීතිය පිළිබඳව වු දැනුම නොමැති විම විශාල ගැටළුවක් බවට පත්ව තිබෙනවා. 

මහජනතාවට තමන්ට කැමැති ආහාරයක්  තමන් ප්‍රිය කරන කඩයකින් ලබාගැනීමේ හැකියාව පැවතිය ද තමන්ට කැමැති උසාවියකට නඩුවක් යොමු කිරීමට හැකියාවක් නැහැ. ක්ලීන් ශ්‍රී ලංකා තුළින් පරිසරය පමණක් නොව මිනිසුන්ගේ හදවත ද පිරිසිදු කිරීම කළ යුතුයි බව අමාත්‍යවරයා සඳහන් කළේය.,

අම්බලන්තොට,හුංගම වෙඩි තැබීමක්.පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වෙයි…..

අම්බලන්තොට  හුංගම, පිංගම ප්‍රදේශයේ අද (02) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ කුඹුරක ආරවුලක් මත අදාළ වෙඩි තැබීම සිදුව ඇති බවය.

බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැදුණු පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරුව වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ගිනි අවිය සමග හුංගම පොලිසියට භාර වී ඇත.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බෝට්ටුවක් පෙරලී මසුන් සමග මුහුදට ගහගෙන ගිහින්……

වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයෙන් මුහුදු ගිය එක්දින ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.

ධීවරයින් තිදෙනෙකු රැගත් ”නෙත්දුල පුතා” නමැති අදාළ ධීවර යාත්‍රාව අද (02) අලුයම මුහුදු ගොස් ඇති අතර මසුන් අල්ලා නැවත ගොඩබිමට එමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි අප වාර්තාකරු පැවසීය.

අනතුරින් ධීවරයින් තිදෙනා දිවි ගලවාගෙන ඇති අතර ඔවුන් පොතුපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.

තවත් ධීවර යාත්‍රාවකින් ඔවුන් තිදෙනා මුදාගෙන වස්කඩුව වෙරළ තීරයට ගෙනැවිත් තිබුණි.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත චීන ජාතිකයෙකු අත්අඩංගුවට…..

මෙරට සිටින චීන ජාතිකයන්ට රාත්‍රී සමාජ ශාලාවල හා කැසිනෝ ශාලාවල අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන ප්‍රධාන පෙළේ ජාවරම්කරු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

බම්බලපිටියේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයා දිගු කලක සිට මෙරට නීතිවිරෝධීව රැඳී සිටින චීන ජාතිකයෙකු බව පොලීසිය පැවසීය.

චීන ජාතිකයන්ට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ කොළඹ දකණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් අනුව සිදුකළ විමර්ෂනයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීමට හැකිව තිබේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා විටත් ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50කට අධික ප්‍රමාණයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

මාලදිවයින් ජාතිකයෙකුගෙන් හා ලාංකිකයෙකුගෙන් තමා  මත්ද්‍රව්‍ය ලබාගන්නා බවත්, ඒවා රාත්‍රී සමාජශාලාවලට හා කැසිනෝ ශාලාවලට පැමිණෙන චීන ජාතිකයන්ට අලෙවිකරන බවත් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබේ.

2019 වසරේ දී මෙරටට පැමිණ ඇති මෙම චීන ජාතිකයා මේ දක්වා මෙරට තුළ රැඳී සිට ඇත්තේ ද නීතිවිරෝධීවය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රඳවා තබා ප්‍රශ්න කිරීමට නියමිතය.