නීතිවිරෝධීව උපයා ගත් මිලියන 62කට අධික වටිනා දේපළ ක්‍රියා විරහිත කරයි….

නීතිවිරෝධි ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 62 කට අධික වටිනා දේපළ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියා විරහිත කිරීමට කටයුතු කර තිබේ.

ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර වත්කම් උපයාගෙන ඇති බවට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඇත.

එහිදී අදාළ පුද්ගලයා විසින් ඔහුගේ බිරිඳගේ නමින් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති බවට සැක කරන රුපියල් කෝටි 03 කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කැබලි 03 ක්, ඒ තුළ ඉදිකර තිබූ නවීන මාදිලියේ තනි මහල් නිවසක් සහ ඇහැළියගොඩ රත්නපුර මාර්ගයට යාබද දෙමහල් ගොඩනැඟිල්ලක් සහිත පචර් 06 ක ඉඩමක් 2025.11.12 දින මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ක්‍රියා විරහිතකිරීමේ නියෝගයක් නිකුත් කර තිබේ.

එම දේපළ සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහාධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු 2026.02.18 දින දක්වා ක්‍රියා විරහිත කිරීමේ නියෝගය දීර්ඝ කර ඇති බව පොලීසිය දැනුම් දී ඇත.

මෙම විමර්ශනයට අදාළව ඉහත සැකකරු 2025.11.12 දින සහ සැකකාරිය 2025.11.21 දින නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇති බව සඳහන් වේ.

සිදු කරන ලද විමර්ශනයේදී මෙම සැකකරු හා සැකකාරිය විසින් මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් ජාවාරම තුළින් උපයා ගන්නා ලද මුදල් යොදවා ඔවුන්ගේ දියණියගේ ස්වාමි පුරුෂයාගේ නමින් මිළදී ගෙන තිබූ රුපියල් මිලියන 20 කට අධික වටිනාකමකින් යුත් නවීන පන්නයේ දෙමහල් නිවසක් සහිත පර්චස් 11.6 ක ඉඩමක් හා රුපියල් මිලියන 12 ක් වටිනා කාර් රථයක් සඳහා අද (21)  දින සිට මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව දින 07 ක කාල සීමාවක් ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.

නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

හොලිවුඩයේ වාර්තා අතරට එක්වූ Zootopia 2….

හොලිවුඩයේ මෙතෙක් බිහි වූ විශාලතම සජීවිකරණ චිත්‍රපටය Zootopia 2 හෙවත්  (Zootropolis 2) පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Zootropolis 2 හොලිවුඩයේ මෙතෙක් වැඩිම ආදායමක් උපයාගත් සජීවිකරණ චිත්‍රපටය බවට පත්ව ඇති අතර, එය ගෝලීය වශයෙන් Box Officeහි ඩොලර් බිලියන 1.7ක්  උපයා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Zootropolis 2  ගෝලීය Box Office ඉතිහාසයේ නවවන වඩාත්ම සාර්ථක චිත්‍රපටය බවද සඳහන් වෙයි.

Zootropolis 2 හොලිවුඩ් වාර්තා බිඳ දැමූ චිත්‍රපටය වුවද, සමස්තයක් වශයෙන් වැඩිම ආදායමක් උපයාගත් සජීවිකරණ චිත්‍රපටය වන්නේ පසුගිය වසරේ ඩොලර් බිලියන 2.2 උපයාගත් චීනයේ Ne Zha 2 චිත්‍රපටයයි.

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර සියල්ල යළි යථා තත්ත්වයට….

අලුත්වැඩියා කටයුතු හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබු නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර සියල්ල යළි යථා තත්ත්වයට පත් කර තිබේ.

ලක්විජය බලාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව ජනන යන්ත්‍ර තුනම මේ වන විට ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කර ඇති බවය.

ඒ අනුව මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් මෙලෙස පද්ධතියට එක්කර ඇති බව ද සඳහන් වේ.

පසුගිය නොවැම්බර් 03වන දින සාමාන්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලක්විජය ගල්අගුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කර තිබු අතර දෙසැම්බර් මස 20වන දින තවත් ජනන යන්ත්‍රයක් හදිසියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අක්‍රීය විය.

එම ජනන යන්ත්‍ර දෙකම මේ වන විට අලුත්වැඩියා කටයුතු කිරීමෙන් අනතුරුව සක්‍රීය තත්ත්වයෙන් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

වතු සේවක වැටුප ගැන කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්….

වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා 2026 අයවැය යෝජනා අනුව ලබාදීමට නියමිත සහන ක්‍රමවේදයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

වතු කම්කරුවන්ට ඔවුන්ගේ සේවයට සරිලන සාධාරණ දෛනික වේතනයක් ලබාදීමේ අරමුණින්, වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,550 දක්වා ඉහළ නැංවීමටත්, පැමිණීමේ දෛනික දිරි දීමනාවක් ලෙස රුපියල් 200ක් ගෙවීමටත් 2026 අයවැය ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබුණි.

එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන අයවැය මඟින් වෙන් කර ඇති බව රජය පවසයි.

ඒ අනුව, 2026 ජනවාරි 01 දින සිට මාස හයක් සඳහා අදාළ දිරි දීමනාව වැවිලි සමාගම් හරහා ගෙවීමටත්, ඉන් අනතුරුව එය සෘජුවම වතු කම්කරුවන්ගේ පෞද්ගලික බැංකු ගිණුම් වෙත බැර කිරීමටත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් සැලසුම් කර ඇත.

මෙම ක්‍රමවේදය අනුව වතු කම්කරුවන් වෙත දිරි දීමනාව ගෙවීම සඳහා කම්කරු අමාත්‍යවරයා සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා එක්ව ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

තුසිත හල්ඔළුවට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට…..

නාරාහේන්පිට ප්‍රදේශයේ දී ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා හා තවත් දෙදෙනෙකු ගමන් ගත් ජීප් රථයට වෙඩි තැබූ බවට පවසන සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුව ගෙන ඇත.

ඊයේ (19) රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලඟ ප්‍රදේශයේදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 450 ක් සොයාගෙන ඇති අතර ඔහු ගමන් කරමින් සිටි යතුරු පැදිය ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් බවද අනාවරනය වී ඇත.

සැකකරු වයස අවුරුදු 30 ක් වන උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ 2025.01.18 වනදා ද කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ රාත්‍රී සමාජ ශාලාවක හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි බවත් එය ව්‍යථ වීමෙන් පසු වෙඩි තැබීමට රැගෙන ආ ගිනි අවිය යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් රැගෙන ගිය බවත්ය.

යතුරු පැදිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී හෙළි ඇත්තේ එහි ලියාපදිංචි අංකය වෙනත් යතුරු පැදියක අංකයක් බවය.

සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සමඟ සමීප සම්බන්ධතා පවත්වන බවට අනාවරනය වී තිබේ.

චම්පිකට එරෙහි නඩුවක් ලබන මස දක්වා කල් යයි….

2016 වසරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (20) නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී නඩුවේ සාක්ෂිකරුවන් අධිකරණය පෙනී නොසිටි බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

ඒ අනුව වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 12 වනදා තෙක් කල් තිබුණි.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා සිදුවූ රිය අනතුරක් වසන් කිරීම, සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු වන දිනුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට සංකේතාත්මක වැඩ වර්ජනයක….

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය විසින් හෙට (21) දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති සංකේත වැඩ වර්ජනය එලෙසම ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසයි.

එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස රාජකාරි ආවරණය කරනු ලබන පුද්ගලයාගේ විනය විරොධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම සංකේතාත්මක වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සමග අද (20) දහවල් සාකච්ඡාවක් පැවැත්වූ නමුත් ඔහුගේ විමර්ශන කටයුතු සිදුකරන කාලය තුළ එම තනතුරුවලින් තාවකාලිකව ඉවත් කිරීමේ බලයක් ඔවුන් සතුව නොමැති බවත් ඒ සම්බන්ධව සෞඛ්‍ය ලේකම්වරයා සමග සාකච්ඡා කළ යුතු බව දැන්වූ බවද ඒ මහතා මෙහිදී පැවසීය.

කෙසේ නමුත් එම නිලධාරියාගේ විනය විරෝධි ක්‍රියාකාරකම් හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබියදී අමාත්‍යාංශයේ හැසිරීම ප්‍රශ්න සහගත බව පෙන්වා දෙන එම සංගමය පැවසුවේ මේ සඳහා විසඳුම් ලබා නොදීම හේතුවෙන් මෙම වැඩ වර්ජන ක්‍රියාවලිය එලෙසම පවත්වාගෙන යාම සඳහා අද දින තීරණය කළ බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා,

“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා අවසන් එකඟතාවක් ලබා දුන්නේ නැහැ එම පුද්ගලයා රෝහලින් ඉවත් කිරීම සඳහා. ඒ සඳහා සෞඛ්‍ය ලේකම්වරයා සමග සාකච්ඡා කළ යුතුයි කියන කාරණාව තමයි ඔහු ප්‍රකාශ කළේ. අපි මේ වෙනකොට සංගමය විදිහට වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවන්නේ නැහැ. මොකද අපිට මේ ගැටලුව විසඳාගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත්වීම නොකරන හින්දා. ඒ නිසා අපි වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් කරනවාය කියන තීරණයේ තමයි ඉන්නේ. ඒ අනුව හෙට උදෑසන 8.00 සිට අනිද්දා උදෑසන 8.00 දක්වා කාලයකට විකිරණ පරීක්ෂණ සේවා, CT පරීක්ෂණ,  MRI පරීක්ෂණ, angiogram පරීක්ෂණ, Mammogram පරීක්ෂණ, විකිරණ භාවිතාවෙන් සිදුවන සියලුම සැත්කම් අඩපණ වීමට නියමිතව තිබෙනවා. වර්ජනය පැවැත්වෙන කාල සීමාව තුළ පිළිකා රෝහල්, මාතෘ හා ළමා රෝහල් අපි වර්ජනයට සම්බන්ධ කරගන්නේ නැහැ. මෙම ගැටලුව විසඳීමට සෞඛ්‍ය ඇමතිවරයා, සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ලේකම්වරයා මැදිහත් වෙන්නේ නැතිනම් අපිට මේ වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කිරීමට සිදුවෙනවා. ඒ සම්බන්ධව අපි අද රාත්‍රියේ පැවැත්වෙන විධායක කමිටුවේදී සාකච්ඡා කරනවා. ඊට කලින් අපි හදිසි විධායක කමිටුවක් රැස් කරලා තියෙනවා මෙම ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න.”

රන් මිල ඉහළට යයි……

ලෝක වෙළෙඳපොළ තුළ රත්‍රං සහ රිදී මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ලොව ප්‍රධාන වෙළෙඳපොළ තුළ රත්රන් මිල අමෙරිකානු ඩොලර් 4,729ක් ඉක්මවා ගොස් තිබූ අතර රිදී අවුන්සයක මිලද ඩොලර් 95.86 අගයක සටහන්ව තිබුණි.

ගෙවුණු කාලය තුළ අවස්ථා කිහිපයකදීම ලෝක වෙළෙඳපොළ තුළ රන් සහ රිදී මිල වේගයෙන් ඉහළ යනු නිරීක්ෂණය වුණි.

මේ වනවිට නැවතත් රන් සහ රිදී මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එවන් පසුබිමක මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ.

කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග අනුව, මෙරට රත්‍රං මිල අද උදෑසන 8ට සාපේක්ෂව රුපියල් 2,000කින් ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද පස්වරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 342,200ක් ලෙස දැක්වුණි.

මේ අතර ඊයේ දිනයේ දී රු. 368,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 370,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

වෙඩික්කරුවෙක් සොයාගැනීමට පොලීසිය මහජන සහාය පතයි….

වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවෙකු හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.

පසුගිය 09 වනදා දෙහිවල හෝටලක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුගේ Al තාක්ෂණය ඔස්සේ සකස් කර ඡායාරූපයක් පොලීසිය විසින් යොමු කර තිබේ.

විමර්ශනයේදී සාක්ෂිකරුවන් ලබාදුන් විස්තර අනුව එම Al ඡායාරූප නිර්මාණය කර ඇත.

ඝාතනය සිදුකර ඇත්තේ පසුගිය 09 වනදා දෙහිවල පොලිස් වසමේ දීය.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

ඡායාරූපයේ දැක්වෙන සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ස්ථානාධිපති, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය – 071-8596408

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලකගේ දේහය භූමදානය කිරීමට තීරණය කරයි…..

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය භූමදානය කිරීමට තීරණය කර තිබේ.

ඔහුගේ නැගණිය මාධ්‍යට ප්‍රකාශ කළේ දේශපාලනික වශයෙන් පැවැති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් තමාගේ සොහොයුරා සිදුකළ පැමිණිල්ලක් හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (21) දිනයේදී සිදුකිරීමට සැලසුම් කර තිබුණි.