ජනපති, අගමැති සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක්…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

රජය ක්‍රියාත්මක කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ එහි අවශ්‍යතාව පිළිගන්නා බවත්, 06 ශ්‍රේණියේ විෂය නිර්දේශය නව සංශෝධනයකට ලක්විය යුතු බවත් මෙහිදී පෙන්වා දුන් ගුරු වෘත්තීය සමිති නියෝජිතයෝ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී රජය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවද ප්‍රකාශ කළහ.

ජාතික අධ්‍යාපන කොමිසම, ජාතික අධ්‍යාපන ආයතනය,  අධ්‍යාපනඥයන්, නීතිඥයන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සමන්විත විධිමත් යාන්ත්‍රණයක අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කිරීමටද ඔවුන් මෙහිදී යෝජනා කළහ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  සාර්ථක කර ගැනීමට නම් ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍ය බවත්, සැකයක් හෝ අවිශ්වාසයක් සහිතව පරිවර්තනයක් සිදුකළ නොහැකි බවත් පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී රජය සමඟ එක්ව කටයුතු කරන ලෙසද ගුරු වෘත්තීය සමිති නියෝජිතයන්ට ආරාධනා කළේය.

රජය ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී ගුරු වෘත්තීය සංගම් නියෝජිතයන් දැනුවත් කළ ජනාධිපතිවරයා  පළමු ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කරන නමුත්, මොඩියුල සකස් කිරීමේදී පවතින ගැටලු, ගුරු පුහුණු කිරීමේ ප්‍රමාදය සහ තාක්ෂණික ගැටලු මඟ හරවා ගනිමින්  06 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ  ආරම්භ කිරීම 2027 වසරේදී සිදු කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ස්මාර්ට් පුවරු, රූපවාහිනි සහ පරිගණක වැනි යටිතල පහසුකම් දෙමාපියන්ගේ මුදලින් නොව රජයේ මුල්‍ය ප්‍රතිපාදන මත ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

අන්තර් පළාත් ගුරු මාරුවීම්, උසස්වීම්, වැටුප් විෂමතා සහ විදුහල්පති සේවාවේ ගැටලු පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණි.

ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමයේ සභාපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්, ලංකා ගුරුසේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම, අධ්‍යාපන සමූපකාරයේ සභාපති එම්.ජී.පී.එල්. ලාල් කුමාර,  විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු ගුරු වෘත්තීය සමිති සංගම් රැසක් නියෝජනය කරමින් නියෝජිතයෝ මීට එක්ව සිටියහ.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

බත්තරමුල්ලේ දී වාහනවලට හානි කළ තරුණයා රිමාන්ඩ්….

බත්තරමුල්ල දියත උයන සහ ඇතුල්කෝට්ටේ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් මෝටර් රථ හතරකට තියුණු ආයුධයකින් පහරදුන් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ලබන 22දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද(13) නියෝග කර තිබේ.

අදාළ සැකකරු වැලිකඩ පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

එම පුද්ගලයා රාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙක් වන බවත් ඔහු තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයකු බවත් පොලිසිය අධිකරණයට දන්වා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ වන විටත් ඔහුගේ ශරීරයේ අයිස් ‍සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තැන්පත්ව තිබූ බවට එම වාර්තාවේ සඳහන් බවද පොලිසිය අධිකරණය හමුවේ දන්වා ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔහුව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරමින් සිද්ධියට අදාළව ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.

මෙම සැකකරු මින් ඉහතදීද අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව මුදා හැර ඇති අයකු බවද සඳහන් වේ.

කොළඹ මහනගර සභා අයවැයට පක්ෂව ඡන්දය දුන් මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීනියට අධිකරණයෙන් සහනයක්….

කොළඹ මහ නගර සභා අයවැය ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ප්‍රකාශය කළේ යැයි චෝදනා කරමින් කොළඹ නාගරික මන්ත්‍රීනී සොහාරා බුහාරී මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

අදාළ මන්ත්‍රීවරිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම වාරණ නියෝගය දින 14ක් බල පැවැත්වෙන අතර මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රව්ෆ් හකිම් සහ මහ ලේකම් නිසාම් කාර්යාප්පර් යන අයට නොතිසි නිකුත් කිරීමටද නියම කර ඇත.

ඉකුත් දෙසැම්බර් 31වනදා පැවති කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීමේදී තමා ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව පැමිණිලිකාරිය කියා සිටියාය.

එදින සිය පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කෙරුණු අතර එතැන් පටන් දින හතක් තුළ දිවුරුම් පෙත්සමක් මාර්ගයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස පක්ෂයෙන් තමන්ට නියම කළ බවත් ඇය සඳහන් කළාය.

එම ලිපිය තමන්ට ලැබුණේ ජනවාරි මස 02වනදා බවත් ඇය මෙහිදී කියා සිටියාය.

ඉන් පසුව පසුගිය 09 වනදා තමන් පක්ෂ මූලස්ථානයට ගොස් සිය විරෝධතා භාරදීමට ගිය අවස්ථාවේදී ද්වේශ සහගත ලෙස එය භාර ගැනීම ප්‍රතික්ෂේප කෙරුණු බවත් ඉන් පසුව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් ලිපියක් නිකුත් කෙරුණු බවත් ඇය සිය පැමිණිල්ලෙන් කියා සිටියාය.

සාධාරණ කරුණු විමසීමකින් තොරව සිය පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය නීතියට පටහැනි බවත් එබැවින් එම තීරණය බල රහිත බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකාරිය කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පාසල් නිල ඇඳුම් සඳහා චීනයෙන් රෙදි මීටර් මිලියන 11.484ක්…..

අධ්‍යාපනයට මූලිකත්වය ලබා දෙමින්, දරුවන්ට සමානාත්මතාවයෙන් යුත් අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ කරන රාජ්‍යයන් දෙකක් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව හඳුන්වා දිය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඇය මෙම අදහස් පැවසූවේ අද(13) චීනය විසින් පාසල් නිල ඇඳුම් සදහා රෙදි නොමිලේ ලබාදීමේ වැඩසටහනට සහභාගී වෙමිනි.

මෙරට තුළ ගුණාත්මක අධ්‍යාපනයක් පවත්වා ගැනීමට චීන රජයෙන් ලැබෙන සහයෝගය විශාල ශක්තියක් වන බවත්, ඒ තුලින් රටේ සියලුම දරුවන්ට සමානාත්මතාවයකින් යුතුව අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සැලසෙන බවත් ඇය මෙහිදී අවධාරණය කළාය.

එසේම, නොකඩවා වසර කිහිපයක් පුරා පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබා දීමට චීනය ලබා දී ඇති පොරොන්දුව ඉටු කිරීම, ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින අන්‍යෝන්‍ය ගරුත්වය සහ විශ්වාසය පැහැදිලිව ම ඉස්මතු කරන කාරණාවක් බවත් මෙරට මුහුණ දෙන සෑම අසීරු අවස්ථාවකදීම චීන රජය ශ්‍රී ලංකාවට ධෛර්ය ලබා දෙන බවත් සඳහන් කළ අගමැතිවරිය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මෙම පාසල් නිල ඇඳුම් රෙදි තොගය පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් චීන රජයට ස්තූතිය පළ කළාය.

අධ්‍යාපනය මූලික කරගත් මෙම සහයෝගීත්වය, ඉදිරි කාලය තුළ ද ජාතීන් දෙක අතර මිත්‍රත්වය තවත් ශක්තිමත් කරනු ඇතැයි ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

මෙහි දී මහජන චීන සමූහාණ්ඩුව විසින් පූර්ණ ප්‍රදානයක් ලෙස රෙදි මීටර් මිලියන 11.484ක් මෙරටට ලබා දී ඇති අතර මෙම නිල ඇඳුම් රෙදි නැව් වාර 5කින් ලැබීමට නියමිතය.

මේ වන විට නැව් වාර 03ක් කොළඹ වරාය වෙත ළඟා වී ඇති අතර, එම පාසල් නිල ඇඳුම් නිල වශයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියට ප්‍රදානය කිරීම මෙරට මහජන චීන සමූහාණ්ඩුවේ චීන තානාපති චී ජෙන්හොං (HE Qi Zhcnhong) මැතිතුමා විසින් සිදු කරන ලදි.

මෙවර පාසල් නිල ඇඳුම් රෙදි ලබා ගැනීම සඳහා 4,418,404ක පමණ සිසුන් ප්‍රමාණයක් හිමිකම් ලබන අතර එළැඹෙන 19 දින සිට කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත එම රෙදි තොග බෙදා හැරීමට කටයුතු කෙරෙනු ඇත.

2026 වර්ෂයට අදාළව පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබා දීම රජයේ හා රජයේ ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට සහ දිවයින පුරා පිහිටි රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ ගිහි සිසුන්ට නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීම මෙවර ජනවාරි මස දී ආරම්භ කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ චීන සමූහාණ්ඩුවේ චීන තානාපති චී ජෙන්හොං මහතා පෙන්වා දුන්නේ විවිධ බාධක මැද වුවත් දීර්ඝ කාලයක සිට චීනය හා ශ්‍රී ලංකාව අතර නොසැලෙන සම්බන්ධතාවයක් පවතින බවත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය දියුණු කිරීම උදෙසා ඉදිරියේදීත් කළ හැකි සියලු උපකාර සිදුකරන බවත් ය.

බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර පත් කෙරේ….

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කර තිබේ.

1957 අංක 13 දරන බාලදක්ෂ පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබීය.

කනිෂ්ඨ බාලදක්ෂයෙකු ලෙස පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයීය පළමුවන හෝමාගම බාලදක්ෂ කණ්ඩායමට 1989 වර්ෂයේදී එක් වූ ඒ මහතා දිසා කොමසාරිස්වරයෙකු, බාලදක්ෂ දිසා පුහුණු කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයෙකු ලෙස මෙන්ම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාගේ නීති උපදේශක ලෙස කටයුතු කර තිබේ.

ජාතික මට්ටමේ ප්‍රධාන බාලදක්ෂ වැඩසටහන් රැසක් මෙහෙයවා ඇති ඒ මහතා ජාතික මානවක සමුළුවේ සංවිධායක කමිටු සාමාජිකයෙකු, ජාතික කබෝරියේ ජාතික සංවිධායක කමිටු සාමාජිකයෙකු ආදී තනතුරු රැසක් දරමින් මෙරට බාලදක්ෂ ව්‍යාපාරය තුළ සුවිශේෂ මෙහෙවරක් ඉටු කර ඇත.

ලාල්කාන්ත ආගමික ද්වේෂය පතුරවන බව නාමල් කියයි….

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්  පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මිහින්තලය රජමහා විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේට පසුගියදා වනචාරියා ලෙස හඳුන්වමින් අපහාස කර ඇති බවත් මෙසේ බෞද්ධ ආගමික නායකයෙකුට අපහාස කිරීම තමා තරයේ හෙළාදකින බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR) පනතෙහි “කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම්, නොකළ යුතුය”  ලෙස දක්වා ඇති අතර ලාල්කාන්ත මෙහිදී ආගමික ද්වේෂය පතුරවා ඇති බව පෙනී යන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

නීතිය සැමට සමාන නම් බෞද්ධ නායකයින් ඉලක්ක කරගෙන සිදු කරන අපහාසයන් හා ආගමික ද්වේශය පැතිරවීම ගැන මෙම පනතට අනුව ලාල්කාන්තට ගන්නා නෛතික ක්‍රියාමාර්ග මොනවාද යන්න තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද ඔහු පැවසීය.

සමාන්‍ය පුරවැසියකු හෝ විපක්ෂයේ කිසිවකු මෙසේ නීතිය කඩ කළා නම් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවත් ලාල්කාන්ත ආගමික ද්වේෂය පැතිරවීම හා මහා සංඝරත්නයට අපහාස කිරීම පිළිබඳව ආණ්ඩුව නිහඬ බවත් ඔහු පවසයි.

දේශපාලනඥයින් සහ මහා සංඝරත්නය අතර විවිධ මතිමතාන්තර තිබුණද මෙරට ඉතිහාසයේ කිසිදු දේශපාලනඥයෙකු මේ ආකාරයෙන් මහා සංඝරත්නයට අපහාස සිදුකර නොමැති බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ…..

ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් හරහා විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් අද (13) මුදල් අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි.

මෙම ගිවිසුම මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉදිරියේදී අත්සන් කළ බව  මුදල් අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ මෙහෙයුම් කමිටුව විසින්, ආනයනකරුවන් භාණ්ඩ ප්‍රකාශ කිරීමේදී සිදුකරන අඩු තක්සේරු කිරීම් (Under Valuation) හේතුවෙන් රජයට බදු අහිමිවීම් සිදුවන බව හඳුනාගෙන ඇති අතර, ඇතැම් ව්‍යාපාරිකයින් තෙවැනි පාර්ශවයන් හරහා තාවකාලික පදනමින් භාණ්ඩ ආනයනය කර බදු පැහැර හැරීමත්, එමගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු මුදල්ද නොගෙවීමත් සිදුකරන බව අනාවරණය වී ඇති බව සඳහන්ය.

මෙම ගැටලු අවම කිරීම සඳහා දෙපාර්තමේන්තු දෙකෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති අතර, ඒවා ක්‍රියාත්මක කිරීමේ මූලික පියවරක් ලෙස මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරිණි.

ගිවිසුම මගින් භාණ්ඩ ආනයනකරුවන් සහ වෙ‍ෙළඳ ප්‍රජාව විසින් රේගුවට හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කරන ප්‍රකාශන ඒකාබද්ධව විමර්ශනය කිරීම සහ විගණනය කිරීමේ හැකියාව ලැබේ.

ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය මගින් මෙහෙයුම් කමිටු පත් කර ඇති අතර, රාජ්‍ය බදු ආදායම වැඩි කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කිරීම එම කාර්යාංශයේ මූලික අරමුණ බව සඳහන් කෙරිණි.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමද එම කාර්යාංශයේ සම්බන්ධීකරණය යටතේ සිදු කෙරිණි.

වැලිගම බටවල පාතේගම ශ්‍රී ධම්මරතන දහම්පාසලේ 2026 වසරේ පළමුවන ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි…..

වැලිගම බටවල පාතේගම ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථාන අනුබද්ධිතව පවත්වාගෙන යන ශ්‍රී ධර්මරතන දහම් පාසලට 2026 වර්ෂයේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත්වන දරුවත් මහත් හරසරින් පිළිගෙන එම දරුවත් පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම හෙළ සිරිත් විරිත් ප්‍රමුඛත්වය ලබාදෙමින් සිදුකෙරුණි.එම කටයුතු වැලිගම ශ්‍රී ධර්මරතන දහම් පාසලේ ප්‍රධානාචාර්ය හා රෝහණ මහා සඟ සභාවේ උපසම්පදා කාරක සභික හබරකඩ සෝභිත හිමියන්ගේ අනුශාසනා මත එම දහම් විද්‍යාලයේ උප ප්‍රධාන විදුහල්පති සුරංග කුමාර මහතාගේ මෙහෙයවීම මත සිදුකෙරිණි.

WhatsApp Image 2026-01-12 at 05.10.13 WhatsApp Image 2026-01-12 at 05.10.14 (2) WhatsApp Image 2026-01-12 at 05.10.14 WhatsApp Image 2026-01-12 at 05.10.15 (1) WhatsApp Image 2026-01-12 at 05.10.15 WhatsApp Image 2026-01-12 at 05.10.16

කඩිනම් කැබිනට් සංශෝධනයක් සිදුකරන ලෙස ඇල්ලේ ගුණවංශ හිමිගෙන් ජනපතිට සංදේශයක්….

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙස දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ජනාධිපතිවරයා වෙත සංදේශයක් යොමුකරමින් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් යොමු කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍යවරියගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත අත්තනෝමතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් තහවුරු වන්නේ ආණ්ඩුව යටතේ ද රටත්, ජනතාවත්, බුද්ධ ශාසනයත් බරපතළ අන්තරායක තත්ත්වයකට මුහුණ දී ඇති බවය.

මේ ආකාර දුර්වල හා ජනතාව, රට පිළිබඳ තැකීමක් නොමැති ආණ්ඩුවක සෘජු හානිය සිදුවන්නේ රටට හා ජනතාවට බවද උන්වහන්සේ සංදේශය තුළින් පෙන්වා දී ඇත.

උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා භික්‍ෂුන්ගෙන්, අන්‍යාගමික පුජකයින්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ අධ්‍යාපන විශේෂඥයින්ගෙන් අදහස් ලබාගෙන නොමැති බැවින් එය විනිවිදභාවයෙන් තොර බව‍ය.

එබැවින් ප්‍රතිසංස්කරණ ගෙන ආ ක්‍රමවේදය මුල සිටම වැරදි සහගත බවත්, එහි වලංගුතාවයක් නොමැති බවත් අදාළ සංදේශයේ සඳහන් වේ.

භික්ෂුවකගේ ඓතිහාසික යුතුකම ඉටු කරමින් එකී අනතුරින් රටත්, ජනතාවත්, බුද්ධ ශාසනයත් බේරා ගැනීමට රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කඩිනමින් කටයුතු කරනු ඇති බවට අපේක්ෂා කරන බවද පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි යොමු කර ඇති සංදේශයේ වැඩිදුරටත් සදහන් කර ඇත.

කෙහෙළිය ඇතුළු සිවිදෙනෙකුට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි…..

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය අමාලි නායනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව පෙබරවාරි 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළි පෙබරවාරි මස 13 වනදා කැඳවන ලෙස නියෝග කර තිබේ.

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ සිය පෞද්ගලික කාර්යමණ්ඩලය සඳහා පිටස්තර පුද්ගලයින්ගේ නම් ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප හා දීමනා තමන්ගේ බැංකු ගිණුම්වලට බැර කරගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

මෙම විත්තිකරුවන්ට එරෙහිව මෙ වන විටත් අධි චෝදනා භාර දී ඔවුන් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.