පැති බැම්මට යටවූ තිදෙනා මරුට….

හංගම, පැලැස්ස ප්‍රදේශයේ පැති බැම්මක් කඩාවැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඊට යටවී ඇති බව වාර්තා වෙයි.වැඩබිමක පැති බැම්ම ඉදිකරමින් සිටි කම්කරුවන් තිදෙනෙක් මෙලෙස යටවී ඇති බව අහංගම පොලීසිය පවසයි.බැම්මට යටවී සිටි තිදෙනා ගොන්නගහේන රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලීසිය පවසයි…

විදුලිසැරවැදී අයෙක් මරුට….

සීදූව තැම්පල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් පුද්ගලයකු මියගොස් තිබේ.

ප්‍රදේශයේ විදුලි රැහැන් පද්ධතියකින් විදුලි සැර වැදී ඇද වැටීමෙන් මියගොස් ඇති එම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර සීදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර ගල්නෑව නගරයේ බස්නැවතුම්පළක රැදී සිටියදී හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ගල්නෑව රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය

එම පුද්ගලයාගේ ද අනන්‍යතාවද තහවුරු වී නොමැති අතර මළ සිරුර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

ශ්‍රී ලංකාව – ප්‍රංශය අතර වරාය හා ගුවන් සේවා ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනයට සාකච්ඡා…..

ශ්‍රී ලංකාවේ ප්‍රංශ රජයේ තානාපති Remi Lambert මහතා සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා හමුවක් සිදුව තිබේ.

එම හමුවේදී කලාපීය සම්බන්ධතා ශක්තිමත් කිරීම, ගුවන් සේවා යටිතල පහසුකම් සංවර්ධනය, වරාය සංවර්ධන ව්‍යාපෘති සහ ආයෝජන ආකර්ශණය වැනි කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මකව අදහස් හුවමාරු කරගත් බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් මහතා අදහස් දක්වමින්, ඉන්දියන් සාගර කලාපයේ මූලික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රංශයට විශේෂ වැදගත්කමක් දරන බව සඳහන් කළ අතර, ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට ප්‍රංශය සූදානම් බවද අවධාරණය කළේය.

ඒ අනුව, අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ගුවන් හා නාවික ක්ෂේත්‍ර දෙකම සඳහා උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් බව පෙන්වා දුන් අතර, ප්‍රංශය සමඟ සහයෝගීතාව වර්ධනය කර ගැනීමට රජයේ කැමැත්තද ප්‍රකාශ කළේය.

මෙහිදී, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ බලපෑම පිළිබඳව කණගාටුව පළ කළ ප්‍රංශ තානාපතිවරයා, යුරෝපා සංගමය සමඟ එක්ව මානුෂීය සහය ලබාදීමට ප්‍රංශ රජය දායක වූ බව සඳහන් කළේය.

තවද, ප්‍රංශ සංවර්ධන ඒජන්සිය (AFD) හරහා ඉදිරියේදී ආපදා ප්‍රතිපාදන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා උපරිම සහාය ලබාදීමට සලකා බලන බවද පැවසීය. අමාත්‍යවරුන් දෙදෙනා ප්‍රංශ රජයට කෘතවේදීත්වය පළ කළහ.

සාකච්ඡාවේදී සංචාරක ව්‍යාපාරය පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර, වාර්ෂිකව ලක්ෂයකට අධික ප්‍රංශ සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, සුළි කුණාටුවෙන් පසුද සංචාරක උපදෙස් ධනාත්මකව පවත්වා ගැනීමට ප්‍රංශ රජය කටයුතු කර ඇති බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය.

තවද, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් ගමනාගමනය ඉහළ දැමීමේ අවශ්‍යතාව පෙන්වා දුන් තානාපතිවරයා, ඒ සඳහා සංඥා පද්ධති, රේඩාර්, ගුවන් පාලන කළමනාකරණ තාක්ෂණයන් සම්බන්ධයෙන් ප්‍රංශ සමාගම් සතුව පවතින පළපුරුද්ද හරහා සහාය ලබාදිය හැකි බව සඳහන් කළේය.

දැනටමත් රේඩාර් සහ ඊ-ගේට් පහසුකම් සපයා ඇති බවද ඔහු පැවසීය.

මෙම හමුවේදී ශ්‍රීලංකන් ගුවන් සේවය සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිළිබඳවද අදහස් හුවමාරු වූ අතර, ප්‍රංශයේ Airbus සමාගම මඟින් මත්තල කලාපයේ ආයෝජන ව්‍යාපෘතියක් සලකාබැලිය හැකි බව තානාපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම, කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය පිළිබඳවද අවධානය යොමු වූ අතර, දැනට ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් සකස් කරමින් පවතින ශක්‍යතා හා තාක්ෂණික වාර්තා ලැබුණු පසු සුදුසු ආයෝජන ආකෘතිය තීරණය කිරීමට කටයුතු කරන බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේය.

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක්…..

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (22) පැවති තරගයෙන් ලකුණු 19ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 272ක ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තයට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 252ක් පමණි.

එංගලන්ත ඉනිම ඔසවා තැබූ බෙන් ඩකට් (62) හා ජෝ රූට් (61) රැස්කළ අර්ධ ශතක රැස්කළහ.

අවසන් පන්දුවාර කිහිපයේ දී එංගලන්තයට බලාපොරොත්තුවක් රැගෙන ආ ජෙමී ඔවර්ටන් පන්දු 17කින් ලකුණු 34ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩර්සේ (2/39), දුනිත් වෙල්ලාලගේ (2/41) හා ප්‍රමෝද් මධුෂාන් (3/39) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.

එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ එක්දින තරග සංචාරකට එක්ව ඇත්තේ වසර 7කට පමණ පසුවය.

අවසන්වරට ඔවුන් 2018 වසරේ දී මෙරට සංචාරයක නිරත වූ අතර, එහිදී තරග 5කින් යුත් තරගාවලිය තරග 3-1ක් ලෙස ජයගැනීමට ඔවුන් සමත් විය.

ආපදාවට ලක් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් තුනක් සඳහා මාතර හරිස්චන්ද්‍ර මිල්ස් සමාගම මගීන් ලක්ෂ තිහකට ආසන්න පරිගණක යන්ත්‍ර ඇතුළු වටිනා පාසල් උපකරණ පරිත්‍යාග කෙරේ.

පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ පාසල් යළි නඟා සිටුවීම සඳහා එම පාසල් සඳහා අවශ්‍ය පාසල් අභ්‍යාස පොත් ,පාසල් උපකරණ, සුහුරු පන්ති කාමර, ලැප්ටොප් පරිගණක යන්ත්‍ර, ප්‍රථමාධාර කට්ටල, ඇතුළු ලක්ෂ තිහකට ආසන්න දව්‍ය සහ උපකරණ ලබාදීම බදුල්ල දිඹුලන විද්‍යාලයේදී සිදු කරන ලදී.
එම අවස්ථාවට බදුල්ල දිඹුලන විද්‍යාලයේ විදුහල්පති මහින්ද බණ්ඩාර හේරත් මහතා බදුල්ල පන්වැව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඩි.එමි අජන්ත සිසිර කුමාර බදුල්ල විහාරගොඩ විද්‍යාලයේ විදුහල්පති ගයාන් හර්ෂ කුමාර ඇතුළු ගුරුභවතුන් සහ දරු දැරියන් සහ මාතර හරිස්චන්ද්‍ර මිල්ස්(පොදු) සමාගමේ කළමනාකර අධ්‍යක්ෂක සේනක සමරසිංහ ප්‍රධාන මුල්‍ය නිලධාරි තුෂාර ගජනායක මානව සමිපත් ප්‍රධානි රන්ජන කොඩිතුවක්කු මිළදි ගැනිමි කළමනාකරු චන්දන කොඩිකාර අභ්‍යන්තර සේවා කළමනාකරු කුසල නිරංජන බාලගේ මහත්වරුන් එක්ව සිටියහ.

බැංකුවලින් ඒ.ටී.එම් කාඩ් භාවිතා කරමින් මුදල් ලබා ගන්නා පුද්ගලයින් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු කළුතර දකුණ පොලිසිය මගින් අත්අඩංගුවට…..

කළුතර නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ බැංකු වලින් atm යන්ත්‍ර වලින් මුදල් ලබා ගැනීමට අපහසුතා ඇති පුද්ගලයින් රවටා ඔවුන්ගේ ගිණුම්වල ඇති මුදල් වංචා කළ පුද්ගලයෙකු කළුතර දකුණ පොලිසියේ නොවිසිදුණු අපරාධ ඒකකයේ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි කැබිලිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි කලක් යුද හමුදාවේ සේවය කළ පුද්ගලයෙකි.

කළුතර දකුණ පොලිසියේ නොවිසිඳුණු අපරාධ ඒකකයට ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලිස් නිලධාරීන් එම මුදල් වංචා සිදුවූ යැයි පවසන ඒ.ටී.එම් යන්ත්‍රවල cctv කැමරා පරීක්ෂා කිරීමෙන් අනතුරුව විශාල පරිශ්‍රමයක් යොදා මෙම පුද්ගලයා කවුරුන්ද පිළිබඳව හඳුනාගෙන ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා දහවල් සහ රාත්‍රී කාලයේ atm යන්ත්‍ර අසල රැඳී සිට වයස්ගත පුද්ගලයින් සහ ඒ.ටී.එම් යන්ත්‍ර වලින් මුදල් ලබා ගැනීමට අපහසුතා ඇති පුද්ගලයින්ට එම මුදල් ලබා ගැනීමට සහය දක්වන අයුරින් එම ස්ථානයේ රැඳී සිට එම පුද්ගලයින්ගේ බැංකු කාඩ් පත් ඔහු සතුව ඇති ක්‍රියා විරහිත කොට ඇති බැංකු කාඩ් සමග මාරුකොට ,පසුව ඔහු එම පුද්ගලයින්ට පවසා ඇත්තේ මෙම බැංකු කාඩ් පත ක්‍රියා විරහිත කර ඇති බවත් ඔහුට බැංකුවට ගොස් එම කාඩ් පත ක්‍රියා ක්‍රියාත්මක කොට දෙන ලෙස පවසා එම පුද්ගලයාව බැංකුව වෙත යවා ,එම පුද්ගලයා සතු මාරු කරන ලද බැංකු කාඩ් පතින් ඔහු විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇත.

කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශය වාදිදුව සහ බණ්ඩාරගම යන පොලිස් වසම් වල මෙම වංචාව සිදු කර ඇතිති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර මෙම පුද්ගලයා සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලද මෙම වංචාව සිදුකිරීම සම්බන්ධයෙන් මේ වන විටත් විශාල වශයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව කළුතර දකුණ පොලිසිය ප්‍රකාශ කරයි.

අත්අඩංගුවට පත් සැකකරු අද දින කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට සබීනා දිවයිනෙන් පිටව යයි…..

අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා සබීනා යූසෆ් මහත්මිය අද (21) අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියාය.

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසකගේ සහභාගීත්වයෙන් හෙට (22) දින සිට එළැඹෙන 29 වන දින දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පැවැත්වීමට නියමිතය.

සබීනා යූසෆ් මහත්මියට සුබ පැතීම සඳහා වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ, ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක, භාෂා සහ පෞරුෂත්ව පුහුණුකරු තාරක ගුරුකන්ද සහ පසුගිය 2024 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ඉෂාදි අමන්දා ඇතුළු සබීනාගේ ඥාතී මිත්‍රාදීන් විශාල පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ඉතිහාසය වෙනස්කළ ලෝක රන් මිල…..

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 4,800 සීමාව ඉක්මවා ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ, රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,843ක් ලෙස සටහන් ව ඇති බවය.

එමෙන්ම ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් ඇත.

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි නිකුත්කළ නවතම දත්ත අනුව අද උදෑසන රත්‍රං මිලේ සමස්ත වැඩිවීම රුපියල් 10,000ක් බව සඳහන්ය.

ඒ අනුව අද දිනයේ “කැරට් 22” රන් පවුමක් මිල රු. 351,500ක් ලෙස දැක්වුණි.

මේ අතර ඊයේ දිනයේ දී රු. 370,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 380,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය දැක්වීම IMF යළිත් තහවුරු කරයි….

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා තම අඛණ්ඩ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යළි තහවුරු කර තිබේ.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර පැවැති හමුවකදීය.

මෙම හමුව ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙන 2026 ලෝක ආර්ථික සමුළුවට සමගාමීව පැවත්විය.

මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද එක්ව සිටියේය.

T20 ලෝක කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ සංචාරය නිල වශයෙන් ඇරඹේ…..

2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කරමින්,  කරනු ලබන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදව තිබේ.

අද සිට 24 දක්වා දින හතරක් දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකදී මෙය ප්‍රදර්ශනය කෙරෙන අතර, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා– එංගලන්ත එක්දින තරගය අතරතුරදී ක්‍රීඩා ලෝලීන්ට මෙම රන් කුසලානය සමීපව දැකබලා ගැනීමට අවස්ථාව හිමි වේ.

ඉන් අනතුරුව, මහනුවර, දඹුල්ල සහ යාපනය යන නගර කරා ද කුසලානය රැගෙන යාමට සැලසුම් කර ඇති අතර, එම ප්‍රදේශවල වෙසෙන ක්‍රීඩා ලෝලීන්ටද ලෝක කුසලානය සමඟ සමරු ඡායාරූප ලබා ගැනීමට සහ එය දැකබලා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

ලෝක කුසලාන තරගාවලියක් මෙරට පැවැත්වීමට පෙර ඒ සඳහා උද්‍යෝගය සහ ප්‍රේක්ෂක අවධානය ඉහළ නැංවීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ.

ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම-සත්කාරකත්වයෙන් පෙබරවාරි 07 වන දා සිට මාර්තු 08 වන දා දක්වා පැවැත්වීමට නියමිතය.

2012 වසරේ පවත් වන ලද පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන දැවැන්තම තරගාවලිය වන්නේ මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාල සටහන එළිදැක්වීම ඉකුත් 2025 වසරේ නොවැම්බර් 25 වන දා ඉන්දියාවේදී සිදු කෙරුණු අතර, එහිදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ලෙස, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණය තෝරා ගන්නා ලදී.

ඒ අනුව, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තරග 8ක්ද, කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ තරග 5ක්ද, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාගංණයේ තරග 7ක්ද වශයෙන් පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලිය සඳහා රටවල් 20ක් සහභාගි වීමට නියමිතය. මෙම තරගාවලියේ තරග 20ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අතර, එහිදී පාකිස්තානු කණ්ඩායම සහභාගි වන සියලුම තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇත.

එසේම, අවසන් පූර්ව සහ අවසන් මහා තරග සඳහා සහභාගි වීමට පාකිස්තානු කණ්ඩායම වරම් ලදහොත් එම තරග දෙකේ සත්කාරකත්වයද ශ්‍රී ලංකාව විසින් දරනු ලැබීමද විශේෂත්වයකි. එසේ වුවහොත් අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එවිට ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 22 දක්වා ඉහළ යනු ඇත.

සත්කාරක රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හැරුණු කොට එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තානය යන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් මෙවර තරගාවලිය නියෝජනය කරන අතර,
ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉතාලිය, නෙදර්ලන්තය, නැමීබියාව, නේපාලය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයද මෙවර තරගාවලියට දායකත්වය දක්වන සෙසු රටවල් වේ.

2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, රටේ ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට, ක්‍රීඩා සංවර්ධනයට, ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරණයට සහ සමාජය  පිළිබඳ ඵලදායී වටිනාකමක් ලබා දීමට හැකි වන විශිෂ්ට අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

වි‌ශේෂයෙන්, විදේශීය සංචාරකයින් ඇතුළු කණ්ඩායම්, මාධ්‍ය කණ්ඩායම් සහ දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් විශාල විදේශ විනිමය ආදායමක් රටට හිමිවනු ඇත. එසේම හෝටල් සහ ආහාර-පාන ව්‍යාපාර, ප්‍රවාහන සේවා, තාක්ෂණික සහ වැඩබලන සේවා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කෙටි සහ දිගු කාලීන රැකියා අවස්ථා උදා වනු ඇති බව අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකය හඳුනා ගැනීමත් සමඟ එමඟින් නව ආයෝජන අවස්ථා හිමි වීම මෙන්ම ශ්‍රී ලංකාව වසරේ සෑම මාසයකදීම ක්‍රීඩා සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස හඳුනා ගැනීමත්, ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ප්‍රචලිත වීම වැනි දිගුකාලීන ප්‍රතිලාභ මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය ලබා දීම මගින් හිමි වනු ඇත.