නීතිවිරෝධි ලෙස විදේශ මුදල් තොගයක් රැගෙන ආ පුද්ගලයෙක් අත්අඩංගුවට…..

නීතිවිරෝධි අයුරින් විදේශ මුදල් තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (02) පෙරවරුවේ ඉන්දියාවේ බැංගලෝර්  නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ – 1183 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ වූ නවකතා පොත් අතර සහ සිය සිරුරෙහි යූරෝ 48,900ක්, අමෙරිකානු ඩොලර් 14,000ක් සහ ඉන්දියානු රුපියල් 26,650ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

එහි වටිනාකම ශ්‍රී ලංකානු රුපියල් දෙකෝටි විසි හතර ලක්ෂ අනූ දහස් හත්සිය හතලිස් අටක් වන බව  වාර්තාකරු සඳහන් කළේය.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු  මොහු අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

ඉන්දියාවෙන් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට සූදානම් වූ ගංජා කිලෝ 194ක් කොටු…..

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට සූදානම් කර තිබූ ගංජා කිලෝග්‍රෑම් 194ක් තමිල්නාඩුවේ රාමනාදපුරම් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ලද බුද්ධි තොරතුරක් මත ඊ.සී.ආර් වෙරළ පාරේ සිදු කළ වාහන පරීක්ෂාවකදී මිටි 97ක අසුරා තිබූ මෙම ගංජා ප්‍රමාණය සොයාගෙන ඇත.

මෙය ප්‍රවාහනය කළ මෝටර් රථය සහ 40 හැවිදිරි රියදුරුව ද පොලිසිය සිය භාරයට ගෙන ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර නීතිමය කටයුතු සඳහා රාමනාදපුරම් මත්ද්‍රව්‍ය බුද්ධි කාර්යාංශයට භාරදී තිබේ.

මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සෙසු පුද්ගලයින් සොයා වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

T20 ලෝක කුසලානයෙන් කමින්ස් හා ස්මිත් ඉවතට….

එළැඹෙන විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩාකරන ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් වන පැට් කමින්ස් හා ස්ටීවන් ස්මිත් ඉවත්කර තිබේ.

කමින්ස්ගේ පිටේ ආබාධ තත්ත්වය සැලකිල්ලට ගෙන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව කමින්ස් වෙනුවට ඔස්ට්‍රේලියානු අවසන් 15 දෙනා අතරට බෙන් ද්වාර්ෂුයිස් ආදේශ කර ඇත.

එමෙන්ම නිමාවූ බිග් බෑෂ් ලීග් තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ප්‍රබල ක්‍රීඩක ස්ටීවන් ස්මිත්ට ද කණ්ඩායමේ ස්ථානයක්  හිමිව නොමැත.

එම තරගාවලියේ තරග 6කට පමණක් ක්‍රීඩාකළ ස්මිත් ශතකයක් හා අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 299ක් රැස්කිරීමට සමත් විය.

එහිදී ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 167.97ක් වුවද ඔහු නම්කර නොමැතිවීම සුවිශේෂීය.

මීට අමතරව මැතිව් ෂෝර්ට් ද කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවට මැට් රෙන්ෂෝ ආදේශ කර ඇත.

T20 ලෝක කුසලානයට නම්කළ ඔස්ට්‍රේලියානු සංචිතය

මිචෙල් මාෂ් (නායක), සේවියර් බාට්ලට්, කූපර් කොනොලි, ටිම් ඩේවිඩ්, බෙන් ඩ්වාර්ෂුයිස්, කැමරන් ග්‍රීන්, නේතන් එලිස්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, මැට් කුහ්නමන්, ග්ලෙන් මැක්ස්වෙල්, මැට් රෙන්ෂෝ, මාකස් ස්ටොයිනිස්, ඇඩම් සැම්පා

කමිඳු මෙන්ඩිස් විස්සයි20 ලෝක කුසලාන සංචිතයට?

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයෙන් ධනංජය ද සිල්වා ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවට කමිඳු මෙන්ඩිස් සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඉදිරියේ දී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සංචිත නම් කිරීම සඳහා ලබාදුන් කාලය අදින් අවසන් වීමට නියමිතව ඇත.

එවන් පසුබිමක විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මේ වනවිට කණ්ඩායම් කිහිපයක් සංචිත නම් කර අවසන්ය.

කණ්ඩායම් 20ක් එක් කුසලානයක් වෙනුවෙන් උරෙන් උර ගැටෙන 2026 ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි 7වැනිදා ආරම්භ වෙයි.

එහි අවසන් මහා තරගය මාර්තු 8 වැනිදා පැවැත්වීමට නියමිතය.

10වැනි ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වේ.

තරගාවලිය සඳහා කණ්ඩායම් 20ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර කාණ්ඩ 4ක් ඔස්සේ ඔවුන් තරගබිමට පිවිසිමට නියමිතය.

ඉන්දියාවේ ක්‍රීඩාංගණ 5කඳි සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ 3කදී 2026 ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සැලසුම්කර තිබේ.

ශ්‍රී ලංකාව මෙවර තරග බිමට පිවිසෙන්නේ B කාණ්ඩයෙනි.

ජාතික බොක්සිං ශූරතාවලියේ ඇතිවූ සිද්ධිය ගැන කරුණු පැහැදිලි කිරීමක්….

2026 ජාතික බොක්සිං ශූරතාවලියේ ඉකුත් 29වනදා පැවැති තරගයක ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදකාරී තත්ත්වය ගැන ජාතික බොක්සිං සංගමය කරුණු පැහැදිලි කර තිබේ.

ඉහත තරගයේ ප්‍රතිඵලයෙන් තමන්ට අසාධාරණයක් වූ බව පවසමින්, එම ප්‍රතිඵලයට එරෙහිව එදින පිරිසක් විරෝධය දැක්වීම හේතුවෙන් මෙම අර්බුදකාරී තත්ත්වය ඇතිව තිබුණි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා බොක්සිං සංගමයෙන් ප්‍රකාශ කර සිටියේ, අදාළ 114වැනි තරගයේ දී විනිසුරුවන් පස් දෙනෙකු කටයුතු කළ බවත්, ඔවුන්ගේ ලකුණු ලබාදීමේ ක්‍රමවේදය මත අදාළ තරගයෙන් ලකුණු 4-1ක බෙදුණු තීරණයක් ලබාදුන් බවත්ය.

එම තීරණය ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩාවේ නීත්‍යානුකූල සහ සම්මත ක්‍රමවේද මත, විවිධ වූ තාක්ෂණික ඇගයීම් පදනම් කරගනිමින් ලබාදුන් තීරණයක් බව අදාළ නිවේදනයේ දැක්වේ.

ජාතික ශූරතාවලියේදී තරග 150කට අධික සංඛ්‍යාවක් පැවැත්වූ බවත්, ඉන් පැමිණිල්ලක් යොමුවූයේ මෙම 114වන තරගයට බවද මෙහි සඳහන්.

කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා බොක්සිං සංගමය විසින් ආර්.සී. ඉන්ද්‍රසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ස්වාධීන විමර්ශන මණ්ඩලයක් කර ඇත.

එහි සෙසු සාමාජිකයන් ලෙස ඩබ්. එම්. ආර්. වෑකඩපොල (ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරී), ටී.එස්. වීරසේන ( තරු 3 තරග තීරක සහ විනිසුරු) යන අය කටයුතු කරයි.

ඒ අනුව ජාත්‍යන්තර බොක්සිං තාක්ෂණික සහ තරග නීති මත පදනම්ව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට අදාළ නිලධාරීන්ට අවසර ලබාදී තිබේ.

ඔවුන් විසින් ලබාදෙන අවසාන විමර්ශන වාර්තාව සහ නිර්දේශ එළැඹෙන 4 වනදා හෝ ඊට බොක්සිං සංගමයේ සභාපතිවරයා වෙත භාරදීමට නියමිතය.

ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්….

සංචාරක එංගලන්ත කණ්ඩායම හමුවේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 6ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (1) සිදුවිය.

ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව තරගාවලි පරාජය භාරගත්තේය.

ශ්‍රී ලංකාව ලැබූ මෙම පරාජය සැලකෙන්නේ ඔවුන් එංගලන්තය හමුවේ අඛණ්ඩව ලැබූ 10වන විස්සයි20 තරග පරාජය ලෙසය.

ශ්‍රී ලංකාව වසර 12කින් එනම්, 2014 වසරේ සිට මේ දක්වා එංගලන්තයට එරෙහිව පැවති කිසිදු විස්සයි20 තරගයක් ජයගෙන නොමැත.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ලකුණු 190ක ඉලක්කයක් හිමිවිය.

කෙසේ නමුත් ඔවුන් පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 17කදී ලකුණු 168ක ඉලක්කයක් ලබාදීමට තරග තීරකවරයා කටයුතු කළේය.

ඒ අනුව කඩුලු 4ක් දැවී තිබියදී අවසන් පන්දුවාරයේදී (16.4) පසුකර යෑමට එංගලන්තයට හැකිවිය.

එංගලන්තය වෙනුවෙන් ටොම් බෙන්ටන් පන්දු 33කින් ලකුණු 54ක් රැස්කළ අතර, නායක හැරී බෘෘක් පන්දු 12කින් ලකුණු 36ක් රැස්කළහ.

පෙර තරගයේ දී සාර්ථක පන්දු යැවීමක නිරත වූ මතීෂ අද තරගයේ දී කඩුලු 2ක් දවාගැනීමට සමත්වුවද, ඒ වෙනුවෙන් ඔහු පන්දුවාර 4 තුළදී ලකුණු 47ක් ලබාදුන්නේය.

ශ්‍රී ලංකාවට ඉන්දියානු අයවැයෙන් ‌බිලියන 4ක ආධාර…..

ඉන්දිය රජය විසින් ශ්‍රී ලංකාවට ඉන්දියානු රුපියල් බිලියන 04ක ප්‍රදාන සහ ණය ආධාර වෙන් කර තිබේ.

එය 2026/27 මූල්‍ය වර්ෂයට අදාළ අයවැයට ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

අදාළ වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් අද (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

ලබන 03 වෙනිදා ශිරන්තිට FCIDයෙන් කැඳවීමක් – නාමල් CIDයට…..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 03 වන දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ලබන 03 වන දින පෙරවරු 9.30ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස අදාළ දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.

ශිරන්ති රාජපක්ෂ මහත්මියට පසුගිය 27 වන දින ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම් දී  තිබුණි.

ඇය සිය නීතීඥයෙකු මාර්ගයෙන් පොලීසියට දැනුම් දී තිබුණේ එදිනට තමාට පැමිණීමට නොහැකි අතර ඒ සඳහා සති 02ක කාලයක් ලබාදෙන ලෙසය.

කෙසේ වෙතත් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බැවින් පෙබරවාරි මස 03 වනදින යළි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියට දැනුම් දී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ද ලබන 03 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

මීට පෙර ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද ඔහු දිවයිනේ රැඳීනොසිටීම හේතුවෙන් ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීමට අනුව මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.

ග්‍රෙගරි වැවේ තිබී බිළිඳියකගේ මළ සිරුරක් සොයාගැනේ…..

නුවරඑළියේ ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් අද (01) දින සොයා ගත් බව නුවරඑලිය පොලිසියේ නිළධාරියෙකු පවසයි.

ග්‍රෙගරි වැවේ බෝට්ටු කාර්ය මණ්ඩලය සහ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් පොලිසියට ලබා දුන් තොරතුරු අනුව මෙම සිරුර සොයාගෙන ඇත.

නුවරඑළිය පොලිසිය සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා එක්ව එම සිරුර ගොඩ ගෙන ඇති බව වාර්තාකරු සඳහන් කරයි.

ජලාශයේ තිබි සොයාගත් අලුත උපන් බිලිදියගේ පෙකණි වැලේ කොටසක් තවමත් පවතින බව පොලිසිය පැවසීය.

ගොඩගත් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට භාර දීමට පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

නුවරඑළිය සංචාරකයන්ට නවමු ආකර්ශනීය අත්දැකීමක් ලබා දෙමින් “නේච රාවණා ලෝ ග්‍රැවිටි සයිකලින්” අවම ගුරුත්වාකර්ෂණ ශරීර සුවතා පාපැදි සවාරි වැඩසටහන ඇරඹෙයි…..

දේශිය හා විදේශීය සංචාරක ආකර්ෂණය අතින් ඉහළම ස්ථානයක පැවතෙන සංචාරක තෝතැන්නක් වන නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් නවතම ව්‍යායාම් හා මානසික සුවතා වැඩසටහනක් වශයෙන්  අවම ගුරුත්වාකර්ෂණයකින් යුතු පාපැදි සවාරියක් ” රාවණා ලෝ ග්‍රැවිටි සයික්ලින් ” වැඩසටහන  නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර  සහ මධ්‍යම පළාත් සංචාරක සේවා අධ්‍යක්ෂිකා සඳමාලී හේවගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය ,

මෙම වැඩසටහන  නුවරඑළිය වික්ටෝරියා උද්‍යාන ශ්‍රවණාගාරයේ ආරම්භ වූ අතර මෙම වැඩසටහන සඳහා රාවණා ගුවන් අභ්‍යාස ආයතනය සම්පත් දායකත්වය ලබා දී තිබිණ ,

මෙම වැඩසටහන ඔස්සේ නුවරඑළිය නගරයේ සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට පාපැදියේ ගමන් කරමින් පාරිසරික සුන්දරත්වය විදීමට මෙන්ම භූ විශමතායන් පිළිබදව අවබෝධය ලබමින් සිදුකරන භාවනාමය න්‍යායාත්මක වැඩසතමක් වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මෙම වැඩසටහන පිළිබඳව හඳුන්වා දෙමින් වැඩසටහනේ  නිර්මාතෘ කපිතාන් හර්ශ ජී. කෝරලේආරච්චි මහතා පැවසීය ,

තවද මෙම විශේෂ ක්‍රියාකාරකම් මාලාව පිළිබඳව දෙස් විදෙස් සංචාරකයන්ට පුහුණු වැඩසටහන් පැවැත්වීමටද ඉදිරියේදී කටයුතු කරන බවත් නුවරඑළිය මහ නගර සභාව සංචාරක හෝටල් සංගමය සහ රාවණා ගුවන් අභ්‍යාස පුහුණු ආයතනය එක්ව මෙම වැඩසටහන ඉදිරියේදී සංවිධානාත්මව සිදුකිරීමට නියමිතත බවද ඔහු වැඩිදුරටත් පැවසීය ,

මෙම වැඩසටහන සදහා නුවරඑළිය හෝටල් සංගමය , පරිසර වේදීන් සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමය ඇතුලු විශාල පිරිසක් සහභාගි වී සිටියහ .

නුවරඑළිය – ආර්.එෆ්.එම්.සුහෙල්