කිසිදු දරුවෙකුට වෘත්තීය හෝ උසස් අධ්‍යාපන අයිතිය අහිමි නොවිය යුතුයි – හරිනි අමරසූරිය….

ආර්ථික අපහසුතා හේතුවෙන් රටේ කිසිදු දරුවෙකුට වෘත්තීය අධ්‍යාපනය හෝ වෙනත් කිසිදු අධ්‍යාපන අවස්ථාවක් අහිමි නොවන ආකාරයෙන් රජයේ සියලු උපාය මාර්ගික සැලසුම් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, වෘත්තීය අධ්‍යාපන අංශයට අනුබද්ධ ආයතනවල අයවැය හා උපාය මාර්ගික සැලසුම්කරණය පිළිබඳ වැඩමුළුව අමතමිනි.

ජාතික ආර්ථික සංවර්ධන සැලැස්මට අනුකූලව ප්‍රධාන ආයතනවල සංවර්ධන සැලසුම් සහ ඒවාට අනුයුක්ත සෙසු ආයතනවල සැලසුම් පෙළගැස්වීම අත්‍යවශ්‍ය කරුණක් බව ඇය පෙන්වා දෙයි.

අධ්‍යාපන ආයතන මඟින් වෘත්තීය දැනුම සහිත පුද්ගලයින් බිහි කරනවා සේම, ඔවුන් තුළ මානව දයාව, සහකම්පනය, අන්‍යයන් කෙරෙහි දක්වන කරුණාව සහ සදාචාරාත්මක වටිනාකම් වර්ධනය කිරීමට හැකි වන පරිදි ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුය.

මෙහි අරමුණ මානව දයාවෙන් පිරිපුන් වෘත්තිකයෙකු නිර්මාණය කිරීම බව ද හරිනි අමරසූරිය සඳහන් කළාය.

විශේෂයෙන්ම, ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන්ට වෘත්තීය අධ්‍යාපනයට පිවිස තම අනාගතය ජය ගැනීමට ඇති මාවත් තවදුරටත් පුළුල් කිරීම රජයේ වගකීමක් වේ.

AI විප්ලවය සහ වෘත්තීය අධ්‍යාපනයේ අනාගතය පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු විය.

කෘතිම බුද්ධිය හේතුවෙන් ලෝකයේ රැකියා වෙළඳපොළ සහ වෘත්තීය ක්ෂේත්‍රයන්හි සිදුවන වෙනස්කම් පිළිබඳව තවමත් ලෝක මට්ටමින් නිසි අවබෝධයක් ගොඩනැගී නොමැති බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා වෘත්තීය අධ්‍යාපන ධාරාව සාමාන්‍ය අධ්‍යාපන ක්‍රියාවලියට ඒකාබද්ධ කිරීම මෙකල අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

“AI තාක්ෂණය හරහා සිදුවන විප්ලවය බොහෝ විට ලාභය මුල් කරගත් එකක්. අතීත කාර්මික විප්ලවයන්හිදී අප සූරාකෑමට ලක් වූවාක් මෙන්, මෙම විප්ලවය තුළ අප අතරමං නොවීමට වගබලා ගත යුතුයි. අප හුදු දත්ත සැපයුම් මධ්‍යස්ථානයක් (Data Center) පමණක් නොවිය යුතුයි,” යනුවෙන් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

කෙසේ වෙතත්, ඉගැන්වීම් කටයුතු මාර්ගගත ක්‍රමයට සිදු කළ හැකි වුවද, දරුවන් රැකබලා ගැනීම සහ සාත්තු සේවය වැනි මානුෂීය බැඳීම් සහිත වෘත්තීන් සඳහා තාක්ෂණයෙන් එල්ල වන බලපෑම අවම බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, මෘදු කුසලතා (Soft Skills) සංවර්ධනය සහ මානවවාදී ප්‍රවේශයක වැදගත්කම පැහැදිලි කළාය.

නම්‍යශීලී අධ්‍යාපන අවස්ථා සහ ගුණාත්මකභාවය සිසුවෙකුට වෘත්තීය අධ්‍යාපනය ඔස්සේ ආචාර්ය උපාධිය දක්වා අඛණ්ඩව ගමන් කිරීමටත්, රැකියාවක නිරත වෙමින් නැවත අධ්‍යාපනයට පිවිසීමටත් හැකි නම්‍යශීලී අවස්ථා නිර්මාණය විය යුතුය.

එලෙස පද්ධතිය නම්‍යශීලී වන අතරම, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ඉහළින්ම පවත්වා ගැනීම විශ්වසනීයත්වය තහවුරු කිරීමට අත්‍යවශ්‍ය බව ද මෙහිදී සාකච්ඡා විය.

මගීන් 40 දෙනෙකුගේ ජීවිත බේරූ රියදුරු දෑත…..

අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමට ගිය බස් රථයක් අත්තිරිංගය භාවිත කරමින්  නතර කරගැනීමට එහි රියදුරු සමන් තිලකසිරි මහතා සමත්වී තිබේ.

වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් අද (01) නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය අනතුරට පත් වී ඇත.

දිට්වා සුළි කුණාටුවෙන් නායයෑමට ලක් වූ එම මාර්ගයේ අධික වංගුවක් සහිත ස්ථානයකදී මේ රථය අනතුරකට ලක්වූ බව බස් රථයේ රියදුරු සමන් තිලකසිරි මහතා කීය.

ඒ අවස්ථාව වනවිට බස් රථයේ මගීන් 40 දෙනෙකු පමණ ගමන් කර ඇති බව සඳහන් ය.

”අද උදේ බස් රථය නිල්දණ්ඩාහින්නේ ඉඳලා තෙරිපැහැ දක්වා බස් රථය ධාවනය කරවන අවස්ථාවේ එම මාර්ගයේ රාසින්ගොල්ල ප්‍රදේශයේ පළවෙන් වංගුවේදි ඩෝං ගාලා සද්දයක් ආවා. 

මම ටක්ගාලා අත්තිරිංග තද කරලා බස් රථය නතර කර ගත්තා. බස් රථයට පහළින් අඩි 50ක් පමණ ප්‍රපාතයෙන් රුපහ මාර්ගය පේනවා. බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථයේ මගීන් 40 දෙනෙකු පමණ ගමන් කරා. 

මම බස් එක නතර කරලා බැහැලා බලනකොට බස් එකේ ජොයින්ට් එක දෙකට කැඩිලා තිබුණා. බස් එකේ ඉන්න කට්ටිය බස්සවලා මම ඒ පිළිබඳව ඩිපෝවට දැනුම් දුන්නට පස්සේ ඩිපෝවෙන් ඇවිල්ලා අලුතින් ජොයින්ට් එකක් දාලා බස් එක ගත්තා. 

බස් එක ගන්නකම් මාර්ගය අවහිර වෙලා තිබුණේ. මම අවුරුදු 15ක් පමණ රියදුරෙකු වශයෙන් වලපනේ ඩිපෝවේ සේවය කරනවා. මම කෑගල්ලේ අවිස්සාවේල්ල පාරේ. මම දෙදරු පියෙක්. බස් රථය අනතුරට පත් වුණ ස්ථානය දිට්වා සුලි කුණාටුවෙන් නාය ගිය ස්ථානයක් මාර්ග තාම හරියට හදලා නෑ. එම මාර්ගයේ බස් රථ ධාවනය කරන්න හරි අමාරුයි.”

පොලිස් අණ නොතැකූ වැලි ලොරියට වෙඩි – රියදුරු පලා යයි…..

කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අද (01) අලුයම ධර්මපුරම් ප්‍රදේශයේ වේගයෙන් ධාවනය වූ ලොරි රථයක් මාර්ග බාධකයේදී නවත්වා පරීක්ෂා කිරීමට පොලීසිය උත්සාහ දරා ඇත.

එහිදී පොලිස් සංඥා නොතකා අදාළ ලොරි රථය ධාවනය කිරීම හේතුවෙන්, ලොරියේ රෝදවලට පොලීසිය විසින් වෙඩි තබා තිබේ.

වෙඩි තැබීමෙන් අනතුරුව සැකකාර රියදුරා එම ස්ථානයෙන් පලා ගොස් ඇත.

අදාළ ලොරි රථයේ බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ බව පොලීසිය සඳහන් කරයි.

පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ධර්මපුරම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

කාන්තාවන් රාත්‍රී කාලයේ සනීපාරක්ෂක සහ ආහාරපාන පිළිගන්වන සේවයේ යෙදවීමට තිබූ බාධා ඉවත් කරමින් ගැසට්ටුවක්…..

කාන්තාවන් රාත්‍රී කාලයේ සනීපාරක්ෂක සේවිකාවන් සහ ආහාරපාන පිළිගන්වන සේවිකාවන් වශයෙන් සේවයේ ‍යෙදවීමට අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කම්කරු අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් සාප්පු සහ කාර්යාලීය සේවකයින් පිලිබද පනතට සංශෝධනයක් සිදුකරමින් මෙම අවසරය ලබා දී ඇති බව වාර්තා වේ.

මෙතෙක් අවුරුදු 18ට වැඩි කාන්තාවන් කාන්තා වැසිකිලි සේවිකාවන් වශයෙන් පස්වරු 6.00න් පසුව සේවයේ යෙදවිය හැකි බවට අදාළ පනත මගින් ප්‍රකාශයට පත් කර තිබුණි.

එම පනත තවදුරටත් සංශෝධනය කරමින් කාන්තා සනීපාරක්ෂක සේවිකාවක් හෝ ආහාරපාන පිළිගන්වන සේවිකාවක් වශයෙන් අවුරුදු 18ට වැඩි කාන්තාවන් පස්වරු 6.00න් පසු පසුදා පෙරවරු 6.00ට පෙර සේවයේ යෙදවිය හැකි බව නව ගැසට් නිවේදනයේ සඳහන් වේ.

කෙසේවෙතත් එම කාලය තුළ  සේවය ලබා ගන්නා කාන්තාවන් වෙනුවෙන් සුදුසු නවාතැනක් සැපයීම, ප්‍රවාහන පහසුකම් සැපයීම, සෞඛ්‍ය ආරක්ෂාව සහ සුභ සාධනය සම්බන්ධයෙන් සේවා යෝජකයා වගකිවයුතු බව ද කම්කරු අමාත්‍යංශය දැනුම්දී තිබේ.

දේශීය වෙළෙඳපොළේ අමුඉඟුරුවල හිඟයක්….

දේශීය වෙළෙඳපොළේ අමුඉඟුරු කිලෝවක මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු ව්‍යාපාරිකයෝ පවසති.

කිලෝවක් රු. 300-500ක් වැනි මිලකට අලෙවි වූ නමුත් මේ වනවිට අමුඉගුරු කිලෝවක් රු.1500ත්-2000ත් අතර අධික මිලකට අලෙවිවන බව එම ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් අමුඉඟුරු වගාවන් විනාශ වූ නිසා මේ දිනවල දේශීය වෙළෙඳපොළේ අමුඉඟුරු හිඟයක් පවතින බව එම වෙළෙඳුන් පවසති.

පොලීසියට පහරදුන් පිරිසක් අත්අඩංගුවට…..

මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීමේ චෝදනාවකට පුද්ගලයින් සිව්දෙනෙකු මහඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ඊයේ (31) රාත්‍රියේ ගල්වලයාය අක්කර 1000 ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් ඇති අතර එහිදි පොලිස් නිලධාරීන්ට පුද්ගලයින් සිව්දෙනෙකු විසින් මෙලෙස පහරදීමක් සිදුකර ඇත.

පහර කෑමෙන් තුවාල ලැබු පොලිස් සැරයන්වරයෙකු ප්‍රතිකාර සඳහා මහඔය රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන් වේ.

අදාළ පහරදීම සිදුකළ පුද්ගලයින් සහ ඒ සඳහා යොදා ගත් මුගුරක් ද පොලීසිය භාරයට ගෙන ඇති අතර සැකකරුවන් අද (01) දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මතුගම පොලිසියේ පිස්තෝලයක් අතුරුදන්…..

මතුගම පොලිස් ස්ථානයේ පිස්තොල අවියක් සහ උණ්ඩ 10ක් අස්ථාන ගත වී ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ මතුගම පොලීසියේ උප සේවා භාරයේ තිබු පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ 10ක් සහිත පතරොම් ගැබක් මෙලෙස අස්ථාන ගත වී ඇති බවය.

පසුගිය ජනවාරි 26 වනදින සිට අදාළ අවිය සහ උණ්ඩ අස්ථාන ගත වී ඇති බවට ලේඛන පරීක්ෂාවේදී අනාවරණය වී තිබේ.

මතුගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.

ගල්පාත – චන්දන පෙරේරා

ස්ථානමාරුවීම් ලද වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී මුහුණ දෙන ගැටලු නිරාකරණයට රජය මැදිහත් වෙයි….

ස්ථානමාරුවීම් ලද වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී මතුවන ගැටලු නිරාකරණය සඳහා මැදිහත් වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දී ඇත.

එබඳු ගැටලුවලට මුහුණ දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ට සිය ගැටලු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ එරංගා ජයවර්ධන මහත්මිය (අධ්‍යක්ෂ ECl] වෙත දැනුම් දෙන මෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.

මෙරට ධීවරයින් පිරිසකට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගෙන් පහරදීමක්…..

ඉන්දිය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් මෙරට ධීවරයින්ට සිදුකරන පහරදීම් සම්බන්ධයෙන් රජයේ කඩිනම් අවධානය යොමු විය යුතු බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා පවසන්නේ ඉදිරියේදීත් මෙවැනි පහරදීම් සිදුවුවහොත් ධීවරයින්ට සිය රැකියා අත්හැර දැමීමට සිදුවනු ඇති බවය.

වෙන්නප්පුව වෙල්ලමංකරය වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා දෙකක ධීවරයින් 12 දෙනෙකුට පසුගිය 29 වන දින මෙරට මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් පහරදීමක් සිදුකර තිබේ.

ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමෙන් අනතුරුව මෙරටට පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුවු බව ධීවරයින් පවසයි.

පහර කෑමට ලක්ව බරපතළ තත්ත්වයේ සිටි ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදාවේ යාත්‍රාවක් විසින් මෙරටට රැගෙනවිත් ගාල්ල කරාපිටිය රෝහල වෙත ප්‍රථිකාර සඳහා ඇතුලත් කර තිබේ.

අනෙක් ධීවරයින් පිරිස අද (01) පෙරවරුවේ සිය යාත්‍රා මගින් වෙන්නප්පුව වෙල්ලමංකරය වරාය වෙත පැමිණ තිබුණි.

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සහතිකයක්……

තම සංගමයේ කිසිදු වෛද්‍යවරයෙකු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත නොවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා සඳහන් කළේ සිය සංගමයේ සාමාජිකයින් හෙට (02) දිනයේත් සාමාන්‍ය පරිදි සිය රාජකාරී කටයුතු සිදුකරන බවය.

ඉල්ලීම්වලට රජය විසින් යහපත් ප්‍රතිචාර ලබා නොදීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දිනයේ සිට සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තීවෘ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ හෙට දිනයේ සිට දිවයින පුරා රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය.

කෙසේවෙතත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා සඳහන් කළේ සිය සංගමයේ කිසිදු සාමාජිකයෙකු මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා එක් නොවන බවය.