වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගෙන් කථානායකට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්….

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහාය.

මෙහිදී චමින්ද කුලරත්න මහතා වෙනුවෙන් මාධ්‍යයට අදහස් දක්වමින් නීතිඥ මිතුන් ඩයස් මහතා පවසා සිටියේ, මෙය රජයට එරෙහිව සිදුකරනු ලබන පැමිණිල්ලක් නොවන අතර, මේ වනවිට වැඩතහනමට ලක්ව සිටින තම සේවාදායකයා සමඟ පෞද්ගලික අමනාපයක් හේතුකොට ගෙන මෙම පැමිණිල්ල සිදුකරන බවය.

එමෙන්ම කථානායකවරයාගේ දුෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පැමිණිල්ල මඟින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ බවද නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.

චමල්ගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝගයක්…..

2013 වසරේදී සිදුවූයේ පැවසෙන ප්‍රශ්නගත එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (02) නියෝග කළේය.

ඒ අදාළ නඩුවේ තුන්වන සැකකරු ලෙස ශමින්ද්‍ර රාජපක්ෂ නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දීමත් සමඟය.

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී එයාර්බස් සමාගම සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගම අතර සිදුවූ අයථා මුදල් ගනුදෙනුවකදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වී තිබුණි.

අනතුරුව ඔවුන් සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරුණි.

මෙවැනි පසුබිමක අදාළ නඩුවේ තෙවන සැකකරු ලෙස හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කටයුතු කළේය.

එහිදි සැකකරු අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

එසේම දැනට විදේශගතව සිටින සැකකරු අත්අඩංගුවට ගැවීම සඳහා රතු වරෙන්තුවක් ලබාගැනීමට කටයතු කරන ලෙසද කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.

UNPය Smart වෙයි….

එක්සත් ජාතික පක්ෂය තම සංවිධාන ශක්තිය තාක්ෂණය සමඟ එක්කර ගනිමින්, නව ඩිජිටල් යුගයකට පා තබන විශේෂ ඩිජිටල් දියත් කිරීමක් 2026 පෙබරවාරි 04 වෙනි දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව පුරා සියලුම මැතිවරණ කොට්ඨාශ ආවරණය වන පරිදි ඩිජිටල් පාලක සම්බන්ධීකාරකවරුන් (Digital Ward Coordinators) පත් කිරීම නිල වශයෙන් ආරම්භ කරනු ලබන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

එම අවස්ථාව වෙනුවෙන් මූලිකව පාලක සම්බන්ධීකරණ නිලධාරීන් 1,000 දෙනෙකු මෙදින පත්කිරීම සිදු කරනු ලබයි.

එමඟින් පක්ෂ සංවිධාන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ ජනතාවට සමීපවීමට අපේක්ෂා කරන අතර, ඊට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ නව UNP ජංගම යෙදුම (UNP App) ඉදිරියේදී නිල වශයෙන් හඳුන්වා දෙනු ඇත.

මෙම යෙදුම මඟින් පක්ෂ සාමාජිකයන්ට, සංවිධායකයන්ට සහ ජනතාවට තොරතුරු හුවමාරු, දැනුවත් කිරීම සහ සම්බන්ධතා වර්ධනය කිරීම සඳහා නව ඩිජිටල් වේදිකාවක් සපයනු ඇත.

මෙම ඩිජිටල් දියත් කිරීමේ තවත් වැදගත් අංගයක් ලෙස, සිරිකොත පක්ෂ මූලස්ථානයේ Starlink අධිවේගී අන්තර්ජාල පහසුකම නිල වශයෙන් ආරම්භ කිරීමද සිදුකෙරේ.

සිරකරුවන් 49කට ජනපති සමාව…..

පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබේ.

ඒ, ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුවය.

ඒ අනුව බන්ධනාගාරගතව දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට සති 01ක සමාවක් ප්‍රදානය කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම රුපියල් 75,000ට අඩු දඩ මුදල් නොගෙවීම හේතුවෙන්  බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය ද අහෝසි කරනු ඇත.

සජබ බේරුවල පක්ෂ ක්‍රියාකාරී හමුවේ උණුසුම් තත්ත්වයක්….

සමගි ජන බලවේගය බේරුවල ආසනයේ පක්ෂ ක්‍රියාකාරී හමුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක මෙම ක්‍රියාකාරී හමුව පවත්වා තිබුණි.

එහිදී බේරුවල ආසනයේ සමගි ජන බලවේගය සම සංවිධායක ඉෆ්තිකාර් ජමිල් මහතා සභාව අමතමින් සිටියදී ඊට උරණ වූ සමගි ජන බලවේගය ක්‍රියාකාරිකයින්   ඔහුට විරෝධය පළකර ඇත.

එහිදී උණුසුම් වචන හුවමාරුවක් සිදුවීම නිසා පක්ෂ ක්‍රියාකාරී හමුව උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබුණි.

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය සමඟ සන්ධානගතව පිහිටුවාගත් බේරුවල නගර සභාවේ පාලන බලය සම්බන්ධයෙන් බේරුවල ආසන සංවිධායකවරයා වගකිවයුතු බව එම ක්‍රියාකාරී හමුවට පැමිණි පක්ෂයේ ක්‍රියාකාරීන් පවසා තිබේ.

මේ අතර, එම සන්ධානය සඳහා ඔවුන්ගේ විරෝධයද මෙහිදී එල්ල කර තිබේ.

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයට ඇමති චන්ද්‍රසේකර්ගේ විරෝධය…..

අසත්‍ය චෝදනා එල්ල කරමින් මෙරට ධීවරයින් පිරිසකට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයට දැඩි විරෝධය පළ කරන බව ධීවර අමාත්‍ය රාමලින්ගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.

අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද(02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ මෙම පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලය ද දැනුවත් කර ඇති බවය.

වෙන්නප්පුව, වෙල්ලමන්කරය වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා දෙකක සිටි ධීවරයින් 12 දෙනෙකුට පසුගිය 29 වනදින මෙරට මුහුදු සීමාවේදී ඉන්දිය වෙරළාරක්ෂක නිලධාරීන් පහරදීමක් සිදුකර තිබුණි.

ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමෙන් අනතුරුව මෙරටට පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇති බව ධීවරයින් පැවසීය.

මේ වන විට පහර කෑමට ලක්වු ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදාවේ යාත්‍රාවක් මඟින් ගොඩබිම වෙත රැගෙනවිත් ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර පහරකෑමට ලක්වු තවත් ධීවරයින් 06දෙනෙකු රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ නෞකාවක් පිටත්ව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් රජය විසින් විනිවිඳ පරීක්ෂණයක් සිදුකළ යුතු බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

“යාත්‍රා තුනකට පහර දීලා තියනවා..දෙකකට පහර දීලා තියෙන්නේ ලංකාවේ මුහුදු තීරයේදී..ලංකාවේ බෝඩරේ ඉඳන් අපේ මුහුදු සීමාව ඇතුළට ඇවිල්ලා තමා ගහලා තියෙන්නේ. එහෙම පහර දෙනෙකල් අපේ බලධාරීන් මොනවද කළේ කියලා අපි මුලින්ම අහන්න ඕනේ. ඒ ගැන විදිමත් පරීක්ෂණයක් කරන්න ඕනේ. පහර දීලා තියෙන්නේ අමානුෂික විදිහට. ඒ ගැන හොයා බලන්න කියලා අපි අපේ ඇමතිවරු දෙන්නට කියනවා. නාවික හමුදාවෙනුත් අපි ඉල්ලා සිටිනවා මේ ගැන විදිමත් පරීක්ෂණයක් කරන්න කියලා. අපේ ධීවරයින්ට පහර දීලා යනකල් මොනවද කළේ කියලා අපි නාවික හමුදාවෙනුත් අහනවා.”

කෙසේවෙතත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළදී මෙලෙස ධීවරයින් පිරිසකට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් පහරදීමේ සිද්ධියට අදාළව මෙරට ධීවරයින්ගේ ආරක්ෂාව සැපයීම පැහැරහැර ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ‘අද දෙරණ’ නාවික හමුදාවෙන් විමසීමක් සිදුකළ අතර එහිදි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසුවේ, මෙරට මුහුදු සීමාවට එක්වර ආවේක්ෂණය කිරීම ප්‍රායෝගික නොවන බවය.

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවගන්න – සජිත් ප්‍රේමදාස….

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් සිදු කරයි.

එම නිලධාරින් මෙරට ගුරු හිඟය පියවීමට වසර 5 -10 කාලයක් පුරා කටයුතු කළ බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයාගේ කැබිනට් අනුමැතිය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ කලාප කාර්යාලවල ලිඛිත නිර්දේශ තුළ 22,000කට ආසන්න සංවර්ධන නිලධාරී ගුරුවරුන් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කළ බව ද ඔහු අවධාරණය කළේය.

විවිධ අවස්ථාවල මොවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගන්නවායැයි පැවසුව ද  මේ වනවිට ඉන් 5,000ක් පමණ ඉවත්ව ඇති බවත් මේ වනවිට 17,000ක් පමණ ගුරු හිඟය මගහරවා ගැනීමට විශිෂ්ට සේවාවක් ඉටු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

වත්මන් රජය විපක්ෂයේ සිටින විට මේ සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බඳවා ගන්නවායැයි පොරොන්දුවී ඇත.

සමථකරණ යෝජනාවක් අනුව මොවුන් අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස 2.2 ශ්‍රේණියට බඳවා ගෙන පශ්චාත් උපාධිය සමත් වීම හරහා ගුරුවරුන් ලෙස ස්ථිරවීමට හැකියාව පවතියි.

මෙවැනි තීන්දුවක් තිබියදී පවා සංවර්ධන නිලධාරින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගැනීමට නොහැකි බවට රජයේ ඇමතිවරුන් ප්‍රකාශ කරන බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

කෙසේවෙතත් මැතිවරණ සමයේ ආණ්ඩුවේ නියෝජිතයින් මෙවැනි කතා නොකියා දැන් ගුරු සංවර්ධන නිලධාරීන් රවටා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක්…..

අපොස සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයේ ප්‍රවේශපත්‍ර භාගත කරගැනීම සහ සංශෝධනය කරගැනීම සම්බන්ධයෙන් විභාග කොමසාරි ජනරාල් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පෞද්ගලික අපේක්ෂකයින් තම ප්‍රවේශපත්‍රවල සංශෝධනයක් තිබේ නම් වෙබ් අඩවියට පිවිස තම ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර සංශෝධනය කරගත යුතුය.

සංශෝධනය සිදුකිරීම 2026.02.10 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් කෙරේ.

සංශෝධන දිනය නැවත දීර්ඝ කරනු නොලැබෙන බවද විභාග කොමසාරි ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය දැනුම්දී තිබේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි මස 17 වන දින සිට 26 වන දින දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,545කදී පැවැත්වේ.

මෙවර විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර මේ වනවිට අදාළ පාසල් අයත් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ලබාදී ඇති අතර, සියලුම විදුහල්පතිවරුන් තම පාසලට අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය / සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රවේශපත්‍ර භාරගත යුතුය.

පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් මඟින් යොමු කරනු ඇත.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍රවල යම් සංශෝධනයක් ඇත්නම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තවේ www.doenets.lk වෙබ් අඩවියෙන් විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය  උපයෝගී කරගෙන ගිණුමට ප්‍රවේශ වී අදාළ සංශෝධනය සිදුකළ යුතුය.

වැඩි විස්තර පහතින්,

ක්ෂණික ඇමතුම් අංකය – 1911
දුරකථන අංකය – 0112784208, 0112784537
ෆැක්ස් අංකය – 0112784422
විද්‍යුත් තැපෑල – gceolexamsl@gmail.com

උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික විභාගයට දින නියම වෙයි…..

2025 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය ලබන හත්වැනිදා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම විභාගය පෙබරවාරි මස 11 වැනිදා දක්වා මධ්‍යස්ථාන 74ක පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙහිදී පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට ද තැපැල් මගින් යොමු කර තිබේ.

ප්‍රවේශ පත්‍ර නොලැබුණු අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ අද (02) සිට ප්‍රවේශ පත්‍ර බාගත කර ගැනීමේ හැකියාව පවතියි.

වෙනස්කම් රැසක් සමඟ ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නම් කරයි…..

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇත.

එංගලන්තය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එක් නොවූ  කුසල් ජනිත් පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් මෙම සංචිතයට එක් කර තිබීමත් විශේෂත්වයකි.

එමෙන්ම ධනංජය ද සිල්වා කණ්ඩායමෙන් ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

දසුන් ශානක, පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ සහ එෂාන් මාලිංග මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් වෙති.