විදෙස් ජාතිකයින් රැගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගයේදී අනතුරකට….

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 168 කිලෝමීටර කණුව ආසන්නයේදී විදෙස් ජාතිකයින් රැගත් සුඛෝපභෝගී වෑන් රථයක් ඉදිරියෙන් ගමන්කළ කුඩා ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

එම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

අද (15) පස්වරු 4ට පමණ මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු පැවසීය.

අනතුරින් ලොරි රථයේ කොටසක් ගැලවී අධිවේගී මාර්ගයෙන් පිටතට විසිවී ගොස් ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ගිලන් රථයකින් තුවාලකරුවන් තංගල්ල මූලික රෝහලට රැගෙන ගොස් තිබේ.

අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ…..

ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම සඳහා වූ අනුමැතිය අවලංගු කිරීම පිළිබඳව උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු වගඋත්තරකරුවන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය දීර්ඝ කර තිබේ.

අභියාචනාධිකරණය නියම කළේ පෙබරවාරි මස 24 වනදා දක්වා එම අතුරු තහනම් නියෝගය දීර්ඝ කරන බවයි.

අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස 16 වනදාට පෙර ගොනුකරන ලෙස නියම කළ විනිසුරු මඩුල්ල ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ජනවාරිම 30 වන දා ගොනුකරන ලෙසත් පාර්ෂවකරුවන්ට නියම කළේය.

ඉන් අනතුරුව පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 22 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණි.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රුවන්ත කුරේ මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම කරුණට අදාළව නිකුත් කර තිබෙන තහනම් නියෝගය මීළඟ නඩු දිනය තෙක් දීර්ඝ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ අතුරු තහනම් නියෝගය ලබන 22 වනදා දක්වා දීර්ඝ කරන ලෙස නියෝග කළේය.

මෙම පෙත්සමින් වග උත්තරකරුවන් ලෙස ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න, ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා, මහනුවර දිසා ලේකම්වරයා සහ ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා නම් කර තිබුණි.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනු කර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය පවත්වාගෙන යන ඉඩම සඳහා ලබා දී තිබෙන බලපත්‍රය අවලංගු කරන ලෙස වග උත්තරකරකාර උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ද්වේෂ සහගත ලෙස ක්‍රියා කරමින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත නිර්දේශයක් ඉදිරිපත් කර ඇති බවයි.

තමන් කිසිදු ආකාරයක කොන්දේසි උල්ලංඝනය කිරීමක් හෝ නීති විරෝධී ක්‍රියාවක නිරත වී නොමැති බවත් ඒ අනුව වග උත්තරකරුවන් විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.

පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවේ -අධ්‍යාපන ලේකම්….

ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

පළාත් බලධාරීන් විසින් මේ බව දැනුම්දී ඇතැයි ද පැවසු නාලක කළුවැව මහතා, පළාත් 6ක පාසල් හෙට දිනයේ සම්පූර්ණ වශයෙන් විවෘත වන බවද කියා සිටියේය.

හෙට දින ආරම්භ වන පළාත් වන්නේ බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද යි.

ඌව පළාතේ පාසල් 524ක්, මධ්‍යම පළාතේ 111ක් සහ වයඹ පළාතේ පාසල් 5ක් එලෙස හෙට දිනයේ විවෘත නොවෙනු ඇත.

අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි….

‘දිට්වා‘ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව මුහුණ පෑ ව්‍යසනකාරීත්වය පිළිබඳව දැඩි ලෙස ශෝකයට පත්වන බව ලෝක බැංකු සමූහය පවසයි. නිවේදනයක් නිකුත් කරමින්, මෙම ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයන් විසින් පෙන්වන ලද කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාව සහ ජීවිත බේරා ගැනීමට සහ යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයන් දියත් කිරීමට රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ගය අගය කරන බව ලෝක බැංකුව සමූහය කියා සිටී.

මේ අතර ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, මේ වන විට ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘතිවලින් අරමුදල් නැවත භාවිතා කිරීමෙන් ලබා ගත හැකි හදිසි ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 120 ක් ලබාදීමට කටයුතු කරන බව සඳහන් කරයි. එම අරමුදල් සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශවල සෞඛ්‍ය සේවා, ජලය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ සම්බන්ධතාවය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වනු ඇත.

මේ අතර ලෝක බැංකු සමූහයේ පෞද්ගලික අංශ හස්තය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) රැකියා උත්පාදනය කිරීම සහ ආර්ථික ප්‍රකෘතිමත් වීම සඳහා කෘෂිකර්මාන්තය, නිෂ්පාදන සහ සැපයුම් වැනි ප්‍රධාන අංශවල උපදේශන සහාය සහ උපායමාර්ගික ආයෝජන ලබා දීමෙන් පෞද්ගලික අංශය ශක්තිමත් කිරීම දිගටම කරගෙන යන බව වැඩිදුරටත් සඳහන් කර සිටී.

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි….

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) පෙරවරුවේ පවත්වා තිබුණි.

ජාතික ආපදා කළමනාකරණ ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීම සහ 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සංශෝධනය කිරීමට අදාළ පත්‍රිකාව සභාගත කිරීමද මෙහිදී සිදුව තිබේ.

බහු-පාර්ශ්වික ප්‍රවේශයක් තුළින් වතු ප්‍රදේශවල නාය යෑම් අවදානම අවම කිරීම සඳහා NBRO විසින් අදාළ පාර්ශ්වකරුවන්, වතු හිමියන් සහ පළාත් පාලන ආයතන අතර සම්බන්ධීකරණයෙන් ජලාපවහන පද්ධතිය ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය ඇතුළු ක්‍රියාකාරිත්වයන් සඳහා නිර්දේශ ලබාදීම සහ සහතික කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත.

එමෙන්ම, මධ්‍යම අධිසංවේදී කලාප (Central Fragile Area) කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමට අදාළව තාක්ෂණික කණ්ඩායම් පිහිටුවීම සහ අදාළ සියලු ආයතනවල තොරතුරු ඒකාබද්ධ කරගත් සැලැස්මක් සකස් කිරීමටත්, එම දත්තවලට සියලු ආයතනවලට ප්‍රවේශ විය හැකි ආකාරයේ ඒකාබද්ධ ඩිජිටල් වේදිකාවක් සකස් කිරීම පිළිබඳවත් එහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

විනිවිදභාවය තහවුරු කරමින් ලැබෙන සියලුම විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණයට අදාළව විදේශ සහනාධාර සම්බන්ධීකරණය සඳහා වන කමිටුව ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය ලබාදීම සහ ඊට අදාළ බලතල පැවරීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව වසර 07කට පසුව පසුගිය අගෝස්තු 07 වන දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර,  හදිසි ආපදා තත්ත්වය සමඟ නොවැම්බර් 27 වන දා රාත්‍රියේ නැවත රැස්ව තිබුනි.

දිට්වා සුළි කුණාටුවෙන් පසු ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම  වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනිමින් ආයතනික මඟපෙන්වීම වෙනුවෙන් එය අද මෙලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් ව ඇත.

දිවයින පුරා පුද්ගලයන් මිලියන 2.2ක් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක්ව සිටින අතර පූර්ණ නිවාස හානි 6,164ක් සහ අර්ධ නිවාස හානි 112,110ක් සිදුව තිබේ.

ඒ අනුව සුරක්ෂිත මධ්‍යස්ථාන 796ක, පුද්ගලයන් 72,911ක්  (2025.12.14)  රැඳී සිටින බව ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කර තිබේ.

එම ජනතාවට සහන සැලසීම, යළි පදිංචි කිරීම සහ ජීවනෝපාය මාර්ග  යළි ගොඩනඟමින් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මධ්‍යම කඳුකරය රැක ගැනීම සඳහා ස්ථීර විසඳුමක් සෙවීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට අවදානම් කලාපයේ පවතින නිවාස 15,000ක් හඳුනාගෙන තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, 2026 වසර අවසන් වන විට එම ජනතාව වෙනුවෙන් ඉදිවන නිවාස 8,000ක කටයුතු සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

ගංවතුරට හසු වූ නිවාස පවිත්‍ර කර ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 25,000ක දීමනාව ලබා දීමේදී මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර එම ගැටලු විසඳා ගනිමින් මෙම සතිය තුළ අදාළ මුදල් ගෙවා අවසන් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දත්ත රැස් කිරීමේදී සහ යාවත්කාලීන කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව  විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර එම කටයුතු සඳහා විධිමත් ක්‍රියාවලියක අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු විය. ඒ වෙනුවෙන් නීති සම්පාදනයේ අවශ්‍යතාව මෙන්ම, ප්‍රායෝගික වැඩපිළිවෙළක් තුළින් ඉදිරි වසර 03 තුළදී එම ගැටලුව සඳහා විසඳුම් සෙවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

2016 වසරේ සිදු වූ ගංවතුර හේතුවෙන් හානි පූර්ණය සඳහා රුපියල් බිලියන 7.51ක් ජනතාවට ලබා දුන් නමුත්, ප්‍රතිරක්ෂණ ප්‍රතිසාධනය සිදුව ඇත්තේ රුපියල් බිලියන 1.42ක් බැවින්, එහිදී රජයට රුපියල් බිලියන 5.79ක  පාඩුවක් සිදුව ඇති බව මුදල් අමාත්‍යාංශය  හදුනාගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙහිදි අනාවරණය කළේය.

එම රක්ෂණ ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යන්නේ නම් එය රජයට වාසි සහගත සහ ප්‍රතිලාභීන්ගේ ආරක්ෂාව උපරිමයෙන් සැලසෙන පරිදි වන රක්ෂණ ක්‍රමයක් විය යුතු බවත්, එය නැවතත් ආරම්භ කරන්නේ නම් විශේෂඥ උපදෙස් ලබාගෙන එහි අත්‍යවශ්‍ය සංශෝධන සිදු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු පවරයි…

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව යළි නඩු පවරා තිබේ.

ඒ, ස්විට්සර්ලන්තයේ අන්තර්ජාතික ක්‍රීඩා බේරුම්කරන අධිකරණයේදීය.

සිය කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර කොන්ත්‍රාත්තුව අවසන් කිරීම හේතුවෙන් තමන්ට සිදුවූ අපහාසය සහ මුල්‍යමය පාඩුව වෙනුවෙන් වන්දි ඉල්ලා මීට පෙර ද ඔහු එම අධිකරණයේ නඩුවක් ගොනුකළේය.

එම නඩුව හරහා හතුරුසිංහ සිය ආදායම් අහිමි වීම, සාධාරණ අවස්ථාව අහිමි වීම සහ කීර්ති නාමයට හානි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 5ක වන්දියක් ඉල්ලා සිටියේය.

ආපදා මෙහෙයුමක් අතරතුර යුද හමුදා භටපිරිසක් සොයා ගත් රන් භාණ්ඩ….

ආපදා මෙහෙයුම් අතරතුර යුද හමුදා භටපිරිස් සුන්බුන් අතරින් සොයාගත් මුදල් සහ රන් භාණ්ඩ හිමිකරුට භාරදී තිබේ.

හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව ආපදා සහන රාජකාරියේ නිරත යුද හමුදා භටපිරිස් තවදුරටත් සිදුකරන සෝදිසි මෙහෙයුම් අතරතුර රුපියල් 300,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොයාගැනීමට සමත්ව ඇත.

නායයෑම හේතුවෙන්  සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවසේ සුන්බුන් අතර තිබූ එම භාණ්ඩ සහ මුදල් ඊයේ (14) දින අදාළ හිමිකරු වෙත ආරක්ෂාකාරීව යුද හමුදා භටපිරිස් විසින් භාරදී තිබේ.

ධම්මික රණතුංගට ඇප – හිටපු ඇමති අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බවත් අධිකරණයට දන්වයි…..

‍අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සිද්ධිය සැකකරුවකු වශයෙන් හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්…..

2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.4ක ධන වර්ධන වේගයක් වාර්තා කර ඇති බව 2025 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වර්ධනයට හේතු වූ කාරණා සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

“ආර්ථිකයේ සාමාන්‍ය මිල මටට්ම 2025 තෙවන කාර්තුවේ මුල පටන් ඉහළ යාම ආරම්භවීමත්, බොහෝදුරට ස්ථාවරව පැවති ශ්‍රී ලංකා රුපියලේ බාහිර අගය ප්‍රධාන මුදල් වර්ග කිහිපයක් සම්බන්ධයෙන් අඩුවීමත් ව්‍යවසායකයින්ට සහ අපනයනකරුවන්ට සානුබල සැපයිනි. මේ අතර, 2025 තෙවන කාර්තුව තුළ ආනයන සහ අපනයන, පෙර වසරේ තුන්වන කාර්තුවට සාපේක්ෂව අඛණ්ඩව ඉහළ මට්ටම්වල පැවතුණි. වඩාත් වැදගත් දෙය නම්, බොහෝ දුරට සංස්ථාපිත සහ පෞද්ගලික අංශය හරහා පුළුල් වූ දේශීය ණය සැපයුම, ශ්‍රී ලංකා ආර්ථිකයේ වාර්තා වූ 5.4ක වර්ධනයට උපකාරී වීමයි. 2025 තෙවන කාර්තුවේ දී මූල්‍ය ක්‍රියාකාරකම්වල වාර්තා වූ කැපීපෙනෙන වර්ධනය මගින් මෙය තවදුරටත් පිළිබිඹු වේ. මීට අමතරව, සංචාරක පැමිණීම් වැඩිවීම, ආයෝජන භාණ්ඩ සැපයුම වැඩිවීම සහ අතරමැදි භාණ්ඩ ආනයන පිරිවැය අඩුවීම සිදුවිය. එම නිසා නිමවුම් කර්මාන්ත ආර්ථික කටයුතු කිහිපයක, ඉදිකිරීම් කර්මාන්තය සහ නවාතැන් හා ආහාර පාන සැපයීම, භාණ්ඩ හා මගී ප්‍රවාහන සේවා ඇතුළත් බොහෝ සේවා ආර්ථික කටයුතුවල වාර්තා වූ වර්ධනයට මූලික විය.“

මේ අනුව 2025 තෙවන කාර්තුවේ දී ආර්ථිකයේ ප්‍රධාන අංශ පහත පරිදි වර්ධනයන් අත්පත් කර ගැනීමට සමත්ව ඇත.

කෘෂිකාර්මික – 3.6%

කර්මාන්ත – 8.1%

සේවා – 3.5%

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්කය ඉක්මවා යයි…..

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්ක ඉක්මවා රුපියල් බිලියන 50ක අතිරේක බදු ආදායමක් උපයා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ, නාස්තිය අවම කිරීම මඟින් බදු ගෙවන්නා තුළ විශ්වාසය වර්ධනය කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආදායම් ඉලක්ක ඉක්මවා යෑමට හේතුවක් වූ බවය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එක්වන නව සහකාර කොමසාරිස්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා අද (15) එම මූලස්ථානයේ පැවති උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, බදු ආදායම රටේ සංවර්ධනය වෙනුවෙන් යොදා නොගැනීමේ අත්දැකීම් ඇති ජනතාවක් ඉන් මුදා ගැනීම පහසු කාර්යයක් නොවන බවය.

එම ආදර්ශය ආණ්ඩුව බදු ගෙවන ජනතාව වෙත ලබාදෙමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යාවරයා දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රටේ බදු ආදායම ඉහළ යෑම දුෂණ අවම වීමට හේතුවක් බවද කියා සිටියේය.

මීට පෙර එම ප්‍රතිශතය 10%ක මට්ටමට පත්වූ තිබූ බවත්, මේ වසර අවසන් වනවිට එය 16%ක මට්ටමට ළඟා කරගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා නව බඳවා ගැනීම් සේම ඊට කාන්තා ශ්‍රම දායකත්වය ද ඇතුළත් වීම අත්‍යවශ්‍ය කරුණක් බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, කාන්තා ප්‍රතිශතය පුරුෂ ප්‍රතිශතයට ඉහළ අගයක් ගත්තද කාන්තාවගේ දායකත්වය ශ්‍රම බළකායෙන් 30%ක පහළ ප්‍රතිශතයක් පවතින බවද පැවසීය.

මේ අතර මෙම අවස්ථාවට එක්වෙමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසා සිටියේ 2025 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ ආදායම් ඉලක්කය රු බි 2,195ක් වූ අතර, මේ වනවිට එම ඉලක්කය ඉක්මවා යෑමට ඔවුන් සමත්ව ඇති බවත්ය.

මෑත ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතිරේකව රු බිලියන 50ක ආදායමක් ලබාගෙන ඇතැයි ද පැවසු ඒ මහතා, රජයේ අපේක්ෂාව වන්නේ කිසිසේත්ම බදු ප්‍රතිශතය ඉහළ නැංවීම නොව බදු පදනම පුළුල් කිරීම බව ද පැවසීය.

මේ සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් අදාළ නීතිරීති සම්පාදනය කරමින් අවශ්‍ය පහසුකම් සැපයීමට සුදානම් බවද පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, බදු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයින්ට එම මුදල් එකවර ගෙවන්නේ නම් අදාළ පොලී මුදල අහෝසි වන ආකාරයේ නීතිරීති සකස් කරමින් පවතින බවද මෙහිදී සඳහන් කළේය.

මෙහිදී දේශීය ආදායම් සහකාර කොමසාරිස්වරු 100කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණි.