2026 වසරට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණය චීන සමූහාණ්ඩුවෙන්…..

2026 වසරට අදාළව රජයේ හා රජයේ අනුමත පාසල්වල සිසුන්ට සහ පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීල මාතාවන් ඇතුළු ගිහි සිසුනට අවශ්‍ය කරන සමස්ත නිල ඇඳුම් රෙදි ප්‍රමාණයම චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලබාදීම සම්පූර්ණ කළ බවට නිල වශයෙන් දැනුම් දීම සිදුකර තිබුණි.

අද (22) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස 2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව සපුරාලීම සඳහා හිමි වූ රෙදි මීටර් මිලියන 11.484ක් ලබා දී අවසන් බවට නිල වශයෙන් දැනුම් දීමේ සහතික පත්‍ර හුවමාරුව අග්‍රාමාත්‍යවරිය හා ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා අතර සිදු විය.

ඒ හරහා පාසල් නිල ඇඳුම් ප්‍රතිලාභය හිමිවූ සිසුන් ගණන මිලියන 4.4 කට අධිකය.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

“චීන සමූහාණ්ඩුව විසින් අපගේ පාසල් සිසුන්ට ලබාදුන් මෙම නිල ඇඳුම් ප්‍රදානය දෙරට අතර පවතින නොබිඳෙන සහයෝගීතාවයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. අප රජය අපේක්ෂා කරන අධ්‍යාපන පරිවර්තනයට යාමට අවශ්‍ය පහසුකම් ලබාදීම මෙන්ම, ආර්ථික හා සමාජීය වශයෙන් ඉදිරියට යාමට අවශ්‍ය සහය ද චීනය අපට නොකඩවා ලබාදෙන රටක්.

පාසල් නිල ඇඳුමක් යනු සරල දෙයක් නෙමෙයි. එය ගෞරවය සහ සමානාත්මතාවය පිළිබඳ කරුණක්. මෙම නිල ඇඳුම් බෙදාදීමේ වැඩසටහන මගින් අසමානතා අවම කරමින් දරුවන්ට විශ්වාසයෙන් යුතුව අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදෙනවා. එසේම ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන්ට සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙම ක්‍රියාවලිය කිසිදු කාල ප්‍රමාදයකින් තොරව සිදුකිරීම සඳහා දැක්වූ සහයෝගයට මා ස්තූතිය පුද කරනවා.”

එහිදී අදහස් දක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා,

“මෙම පාසල් නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන නොකඩවා අවුරුදු 4ක කාලසීමාවක් තිස්සේ සිදුකරමින් පවතින බවත්, ඊට අමතරව පාසල් සිසුන් සඳහා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය, චීන ශිෂ්‍යත්ව පිරිනැමීම වැනි විවිධ වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පරිවර්තනීය මාවතකට රැගෙන යාමට අවශ්‍ය සහය ලබාදෙමින් සිටිනවා. එය චීන සහ ශ්‍රී ලංකා ජනතාව අතර තිබෙන නොබිඳෙන මිත්‍රත්වය පෙන්වා දෙන සලකුණක්.”

දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි වූ නිවාස සඳහා වන වන්දි මුදල මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන්න – ජනපති….

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අර්ධ හානියට පත් නිවාස සඳහා රජයෙන් අනුමත කළ රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල සුවිශේෂී ගැටලුවකදී හැර සෙසු සියලු අවස්ථාවල එම ප්‍රතිලාභීන්ට මැයි මස අවසන් වීමට පෙර ගෙවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දබා දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවති දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානියට සහ පූර්ණ හානියට පත් නිවාසවල පදිංචිකරුවන් වෙත වන්දි ගෙවීමේ සහ නව නිවාස ලබාදීමේ කටයුතු සම්බන්ධයෙන් වූ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදීය.

පූර්ණ හානි වූ නිවාසවල පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවසක් ලබා දීමේ හෝ නිවසක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ක වන්දි මුදල ලබා දීමේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු වූ බව සඳහන් වේ.

මෙම වන්දි මුදල් ගෙවීම කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

තවමත් කඳවුරුවල ජීවත්වන ජනතාවට නව නිවසක් ලබා දෙන තුරු තාවකාලික නිවාසවල පදිංචි කරවීම පිළිබඳවද මෙහිදී  දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඊට සුදුසු ස්ථාන පිළිබඳ සොයා බලා එම කටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබේ.

අධිඅවදානම් කලාපවල ජීවත් වන ජනතාව වෙනත් ස්ථානවල පදිංචි කිරිම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ  අතර, නව නිවසක් මිලදී ගැනීමට හෝ ඉදිකිරීමට වන්දි ලබා නොගත් පදිංචිකරුවන් වෙනුවෙන් නිවාස සංකීර්ණ ඉදිකිරීමේ සැලසුම් පිළිබඳවද අවධානය යොමු ව ඇත.

ඩො.මි 2.5ක රජයේ මුදලක් අස්ථානගතවෙලාද ?

අමෙරිකානු ඩොලර් මිලියන 22.9ක ණය මුදලක් ගෙවීමට තිබූ රටකට, ණය පියවීමක් ලෙස මහා භාණ්ඩාගාරය විසින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් කිසියම් පරිගණක හැකර්වරයෙකුට ගොස් ඇති බව වාර්තා වී තිබේ.

අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.

එහිදි පිලිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා විසින් මෙම කරුණු සම්බන්ධයෙන් යම් ලිපියක් කතානායකවරයාට ඉදිරිපත් කර ඇති බවය.

ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකර, විමර්ශනයක් සිදුකරනවද නැද්ද යන්න කතානායකවරයා විසින් තීන්දුවක් ගනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රශ්නය – ඩො.මි 2.5ක රජයේ මුදලක් අස්ථානගතවෙලාද ? විශේෂ තොරතුරක් ලැබිලා තියෙනවා රජයේ මුදල් අස්ථානගත වීමක් සම්බන්ධයෙන්. ඒකට අනුව ශ්‍රී ලංකා රජය 2025 සැප්තැම්බර් මාසේ අග වනවිට ඩොලර් මිලියන 22.9ක ණය මුදලක් ගෙවීමට තිබූ රටකට, ණය පියවීමක් ලෙස ඩොලර් මිලියන 2.5ක ණය මුදලක් මහා භාණ්ඩාරය 2025 දෙසැම්බර් සිට 2026 ජනවාරි 31 දක්වා කාලය තුල පියවලා තියෙනවා. 

හැබැයි මේ මුදල ගිහිල්ලා තියෙන්නේ අදාළ ණයකරුට නෙමෙයි. කිසියම් පරිගණක හැකර්වරයෙකුට. එතකොට මේ සම්බන්ධයෙන් දැන් මුදල් අමාත්‍යාංශයේ විදේශ විනිමය සම්පත් දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ කමිටුවකුත් පත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් හොයන්න.මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය වගේ රටේ ආර්ථික වශයෙන් ඉතාමත් වැදගත් ආයතනයක මේ වගේ දෙයක් වුණේ කොහොමද? මේ සම්බන්ධයෙන් මුදල් යම් පාර්ශවයකට ගෙවන්න, මහා භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලැබුනද?

පිළිතුර – “මම හිතන්නේ ඔබ කතා කරන්නේ ඔය ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා, කතානායකතුමාට ඉදිරිපත් කරපු ලිපිය පදනම් කරගෙන වෙන්නට ඕනේ. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කරයි. දැනට මේ ගැන තොරතුරු අපිට වාර්තා වෙලා නැහැ. මේ ලිපිය පමණයි මේකට පදනම් වෙලා තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඉතාම ඉක්මනට මුදල් අමාත්‍යාංශය කරුණු පැහැදිලි කිරීමක් කරයි.”

ප්‍රශ්නය- මේ වෙනකොටත් මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් සහ පරිගණක ක්‍රියාකරුවෙක් සහ තවත් කෙනෙක් වැඩතහනම් කරලා තියෙනවා. මෛත්‍රී ගුණරත්න මහතා ඉල්ලලා තියෙනවා විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් හරහා මේ සම්බන්ධව විමර්ශනයක් කරන්න කියලා. ඉල්ලීමක් කරලා තියෙනවා කථානායකවරයාගෙන්. මේ ඉල්ලීමට මොකක්ද රජයේ ප්‍රතිචාරය?

පිළිතුර – “මේ පිළිබඳ කරුණු හොයලා බලලා තමයි කතානායකවරයා තීන්දුව ගන්නේ. ඉතින් කතානායකවරයා තමයි ඒකට උත්තර දෙන්න ඕනේ.
පාර්ලිමේන්තුව හැටියට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවද නැද්ද කියන එක. තවමත් තිබෙන්නේ මේ ලිපිය පමණයි මගේ අතේ. මේ පිළිබඳ වැඩි විස්තර මගේ ළඟ නැහැ.

මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා අමෙරිකාවට……

මෙරට බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට හා වන්දනාමානයට පාත්‍ර වී ඇති ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා කිහිපනමක්, අමෙරිකාවේ ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවා වන්දනාමාන කිරීම හා ප්‍රදර්ශනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ක්‍රි.පූ. 1-2 සියවස්වලට අයත් අම්පාර, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති නීලගිරි ස්ථූප කැනීමෙන් අනාවරණ කර ගත් ධාතුන් වහන්සේලා,  තායිලන්තයෙන් ප්‍රදානය කළ ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති කේශ ධාතුන් වහන්සේලා හා මහියංගන රජමහා විහාරයේ තැනපත් කර ඇති සර්වඥ ධාතුන් වහන්සේලා මෙලෙස වැඩම කරවීමට නියමිතය.

එම සර්වඥ ධාතූන් වහන්සේලා මැයි 2වැනිදා සිට මැයි 10වැනිදා දක්වා ප්‍රදර්ශනය කිරීමට හා වන්දනාමාන කිරීමට කටයුතු සංවිධානය කර තිබේ.

ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ රතනගුණ ස්වාමීන් වහන්සේ සහ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින් කරන ලද ඉල්ලීමකට අනුව, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි.

පාස්කු ප්‍රහාරයේ 8 වැනි සැමරුමට පෙර සියලු කුමන්ත්‍රණකරුවන් නීතිය හමුවට….

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ 8 වැනි සංවත්සරයට පෙර සියලුම කුමන්ත්‍රණකරුවන් නීතිය ඉදිරියට ගෙනඒමට විමර්ශන ක්‍රියාත්මක බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (22)  දැනුම් දුන්නේය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

මෙහිදී දැනට රැඳවුම් භාරයේ සිටින සැකකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාද අධිකරණ නියෝග ප්‍රකාරව අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

2018 වසරේ නොවැම්බර් 29 වනදා වව්නතිව්හි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනයවීම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පසු, 2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදුහි නිවසක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් මෙම නඩුව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ මෙලෙස කැඳවනු ලැබීය.

රැදවුම් භාරයේ සිටින මෙම නඩුවේ තුන්වැනි සැක්කාර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහේස්ත්‍රාත්වරයා විසින් කර තිබූ නියෝගයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විමර්ශනය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

“ස්වාමිනි, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කියන්නේ ඉතාම සංවිධානාත්මක මෙහෙයුමක්. 2015 වසරටත් පෙර සිටයි මේ සිද්ධි මාලාව සංවිධාන වෙන්නේ. මඩකලපුවේ ඉන්න මුස්ලිම් පිරිසකට තියා, ISIS,අල්ඛයිඩා වැනි පිරිසකටවත් මෙවැනි සංවිධානාත්මක ප්‍රහාරයක් කරන්න බැහැ අභ්‍යන්තර සහයක් නැතුව. ඒ ශක්තිය තමයි මේ තුන්වැනි සැකකරු දීලා තියෙන්නේ. 

වව්නතිව් සිද්ධිය කියන්නේ ඒ සංවිධානාත්මක මෙහෙයුමේ එක් අවස්ථාවක් විතරයි. නමුත් ඒ සිදුවීමට අදාළව විමර්ශනය සහරාන් හෂීම් කරා යාමට තිබූ ආවස්ථාව කුමන්ත්‍රණකාරීව යටගහලා තියෙනවා. වව්නතිව්හි ඝාතනය වූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ආයුධ සොයාගත්තේ සහරාන් හෂිම්ගේ ඥාතී ගෆූර් මාමාගේ නිවසේ තිබියදී. නමුත් අජන්තන් නැමැති හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ ජැකට් එකක් දාලා මේ විමර්ශනය ගෆූර් මාමා දෙසට යාම වළක්වා තිබෙනවා. 

මේ දෙවැනි සැකකරු ඔය කියන ගෆූර් මාමාව පොලිස් ස්ථානයට කැඳවලා ප්‍රකාශයක්වත් ගන්නේ නැතුව යළි යන්න ඉඩහැරලා තියෙනවා. කාගේ අනුදැනුම මතද ඒක වුණේ? සහරාන් ඇතුළු පිරිස අනාවරණය වෙන්න තිබ්බ අවස්ථාවක් තමයි දැනුවත්ව යටගහලා තියෙන්නේ” යැයි පැවසීය.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පාස්කු ප්‍රහාරයට පෙර සමයේ මෙරට තුළ සිදුවූ සිදුවීම් මාලාවක සම්බන්ධතාවයක් ඇති බවට අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

“ස්වාමිනි, වසර 10ක රාජපක්ෂ පාලනය නිමා වෙලා 2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට එනවා. පස්සේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, කීත් නොයාර්ට පහරදීම වගේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පටන්ගන්නවා. 

එහිදී අත්අඩංගුවට ගැනෙන්නේ මේ සැකකාර සුරේෂ් සලේ යටතේ සිටි යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන්. මේකත් හරියට අර මාතර දේශබන්දු තෙන්නකෝන් නඩුව වගේ. මොහුත් දේශපාලන කණ්ඩායම් රකින්න ප්‍රහාරක කණ්ඩායම් මෙහෙයවලා. 

පස්සේ 2018 වසරේ දින 52 ආණ්ඩුවට එරෙහිව දෙසැම්බර් 13 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එනවා. ඊට පස්සෙයි මාවනැල්ලේ බුදු පිළිම කැඩෙන්නේ. එය මුස්ලිම් අන්තවාදී ක්‍රියාවක් කියලා යුධ හමුදා නිලධාරීන් පැමිණිලි කරනවා. අන්තවාදී බෞද්ධ භික්ෂුවක් වන ඥානසාර හිමි සහ සහරාන් හෂීම්ව යුද්ධ හමුදා බුද්ධි අංශය නඩත්තු කළා. 

පාස්කු ප්‍රහාරයට සති කිහිපයකට පෙර ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා Indian Express පුවත්පතට කියනවා මම තමයි රටේ අනාගත ජනාධිපති කියලා. මොහු ඇමරිකානු පුරවැසියෙක් වෙලා ඉද්දියි පාස්කු ප්‍රහාරය වෙන්නේ. පසුව ලංකාවට ඇවිල්ලා ජනාධිපතිවෙලා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරට පොලිසියෙන් පරිබාහිරව සුරේෂ් සලේ කියන මේ සැකකරුව ගේනවා. 

ඔවුන්ම පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන පටන් අරගෙන ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් 70 දෙනෙකුව ස්ථාන මාරු කරනවා. ඒ මේ කුමන්ත්‍රණය ආරක්ෂා කරන්න. නමුත් අපි පාස්කු ප්‍රහාරයේ 08 වැනි සංවත්සරයක් එන්න ඉඩ තියන්නේ නැහැ. වසරක් ඇතුළට සියලුම කුමන්ත්‍රණකරුවන්ව අධිකරණය ඉදිරියට ගේනවා”.

මෙහිදී කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විවෘත අධිකරණය හමුවේ මෙලෙස පැවසීය.

“මේක ක්‍රීඩාවක් නොවෙයි. සංවේදී ප්‍රශ්නයක්. අධිකරණය හමුවේ කියන සෑම වචනයක්ම ඒ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට යොමුවීමක් වියයුතුයි. යුක්තිය ඔප්පු වෙනවානම් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වෙන්න ඕනේ. එතැනින් පහළ සියලු දේවල් හුදෙක් මතවාද. 

සත්‍යය අසත්‍ය මොකක් වුණත්, ඔප්පු කරගන්න බැරිනම් වැඩක් නැහැ. විමර්ශන නිලධාරීන් සාධාරණ සැකයෙන් ඔබ්බට කියන භාරය හිතේ තියාගෙන අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න.”

ඊට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙලෙස ප්‍රතිචාර දැක්වීය.

“ස්වාමිනි, විමර්ශන අවස්ථාවේ අපි බලන්නේ සාධාරණ සැකය. එය ඔප්පුවනවාද, නැද්ද යන්න තිබෙන්නේ අධිකරණය ඉදිරියේ. නමුත් මේ වෙද්දි මේ විමර්ශනය කරගන්න බැරි තරමින් බාධා එල්ලවෙමින් තිබෙනවා. 

මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශ ලබාදුන් සාක්ෂිකරුවන්ට දිගින් දිගටම යුද්ධ හමුදා බුද්ධි අංශයෙන් ප්‍රකාශ ඉවත්කරගන්න කියලා බලපෑම් එල්ලවෙමින් තිබෙනවා. දැනට ඔබ ඉදිරියේ ප්‍රකාශ දී තිබෙන කලීල් කියන සාක්ෂිකරුගේ නිවසට පසුගිය නඩුවාරයෙන් පස්සේ යුද්ධ හමුදා බුද්ධි නිලධාරීන් ගිහින් තර්ජනය කරලා තියෙනවා.

පස්සේ එම පුද්ගලයාගේ නිවසට අත්බෝම්බ 05ක් සහ පිස්තෝලයක් දාලා දැනට නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මාර්ගයෙන් STF හරහා එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සැලසුම් කරලා තියෙනවා. මොකද ඔහු තමයි රාජපක්ෂ යුගයේ STF අණදෙන නිලධාරියා”.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා දැඩි ස්වරයෙන් මෙසේ ප්‍රශ්න කළා.

“ඔබ කියන්නේ දැනටත් පොලිස් සේවයේ සිටින ඉහළම නිලධාරියෙක් මේ විමර්ශනවලට බලපෑම් කිරීමට සම්බන්ධයි කියලාද? “

ඊට පිළිතුරු දුන් දිලීප පීරිස් මහතා,

“ඔව් ස්වාමිනි, මම වගකීමෙන් කියන්නේ. ඔහු සම්පූර්ණයෙන්ම මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවෙක්. ඔහු TID අධ්‍යක්ෂවෙලා ඉද්දි පාස්කු ප්‍රහාරයට දවස් 7කට කලින් ජමීල් කියන්නේ අහිංසකයෙක් කියලා Report එකක් එවලා. එහෙම ජමීල් තමයි පස්සේ බෝම්බ පුපුරුවාගත්තේ.”

මෙහිදී නැවතත් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා,

“ඔය කියන නිලධාරියාට එරෙහිව සෘජු සාක්ෂි තිබෙනවාදැයි  ප්‍රශ්න කළා.

“නැහැ. ස්වාමිනි දැනට සෘජු සාක්ෂි නැහැ. නමුත් අපි විමර්ශන කරමින් යනවා” යැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පිළිතුරු දුන්නේය.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විශේෂ ඉල්ලීමක් කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම විමර්ශනයට සහය ලබාදෙන ලෙස යුද්ධ හමුදාපතිවරයාට සහ යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ, රටේ සෑම රාජ්‍ය නිලධාරියෙක්ම නීතිපතිවරාගේ බලයට යටත්වන බැවින් එය අභිබවායාමට කවරෙකු හෝ කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව නීතිපතිවරයාටම පියවරගත  හැකි බවය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පිල්ලෙයාන් සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින විමර්ශන පිළිබඳවද අදහස් දැක්වීය.

“ස්වාමිනි, 2018 – 2019 සමයේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් මඩකලපුව බන්ධනාගාරයේ සිටින සමයේ සහරාන් හෂිම්ගේ මල්ලිවන ශෙයිනිව බන්ධනාගාරය තුළදී හමුවූ බවට අසාද් මවුලානා ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ හමුවීම සඳහා හඳුන්වාදීම කර ඇත්තේ මේ සැකකාර සුරේෂ් සලේ”.

එහිදී මහෙස්ත්‍රාත්වරයා අසාද් මවුලානා සම්බන්ධ ඉදිරි විමර්ශන පිළිබඳ විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා,

“ඔහු ඉන්න තැන අපි සොයාගෙන ඉන්නේ. ඔහු රැඳී සිටින්නේ ප්‍රංශයේ. ඔහු සමග අපිට සම්බන්ධකම් තියෙනවා. අපි ඔහුව ප්‍රංශ තානාපති කාර්යාලයට ගෙන්වා ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරමින් ඉන්නවා”.

අනතුරුව සැකකාර ‍රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් නීතිඥ අසිත් සිරිවර්ධන කරුණු දැක්වීය.

“ස්වාමිනි, පැමිණිල්ල කිව්වා ඝාතන කිහිපයක නම් කියලා මගේ සේවාදායකයා ප්‍රහාරක කණ්ඩායම් යැව්වා කියලා. ඔය සිද්ධි බොහෝමයක් වෙද්දි ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නොවෙයි. ඒ වගේම ඇතැම් සිද්ධි වෙද්දි ඔහු රටේත් නැහැ. ඒ වගේම මගේ සේවාදායකයාට එරෙහිව චෝදනා එල්ල කරන අසාද් මවුලානා කියන පුද්ගලයා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයට ලබාදී තිබෙන පිටු 18ක ප්‍රකාශය මම කියෙව්වා. 

එකේ ඔහු සහරාන්ව හඳුන්වා තිබෙන්නේ Hero ලෙස. ඒ වගේම දේශපාලන සරණාගතභාවය වෙනුවෙන් ඔහු අපේ රට බොහෝ පහළට දාලා තිබෙනවා. ඔහු මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් කිහිපදෙනෙක් සහ අධිකරණ පද්ධතියත් විවේචනය කරලා තියෙනවා. 

ඉතිං මම නිශ්චිතව කියන්නේ ඔහු කවදාවත් මේ නඩුවට අදාළව ප්‍රකාශයක් ලබාදෙන්න ලංකාවට එන්නේ නැහැ. ආවොත් ඔහුගේ ප්‍රකාශයේ තියෙන අනිත් කරුණුවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. 

මගේ සේවාදායකයා රඳවා තිබෙන කුටිය අසල කුටියක පුද්ගලයෙක්ට මේ වෙද්දි මීයෙක් කාලා මහාමාරිය හැදිලා තියෙනවා. ඒ වගේම ඔහු මානසිකව පසුබැහැලා ඉන්නේ. 

ඔහු වෙනුවෙන් මම ඉල්ලීම් කිහිපයක් ලිඛිතව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඔහු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීමට ඉල්ලීමක් කරනවා. ඒ පිළිබඳවත් සලකා බලන්න”.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සිය නියෝග ප්‍රකාශයට පත්කළේය.

“අධිකරණය විමර්ශනය පිළිබඳ සෑහීමකට පත්වෙනවා. තුන්වැනි සැකකරුට එරෙහිව ඉදිරිපත් වී තිබෙන ත්‍රස්තවාදීන්ට පල්ලි පෙන්වීමේ චෝදනාව ඉදිරියට පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි පවතිනවා. නමුත් අනිත් කරුණු සම්බන්ධයෙන් තවදුරත් විමර්ශන සිදුකර කරුණු තහවුරු කළ යුතුයි. 

ඔප්පු කළ නොහැකි කරුණු ඉදිරිපත් කර වැඩක් නැහැ.තුන්වැනි සැකකරු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය ප්‍රකාරව ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තුවෙනවා නම් ඒ පිළිබඳ යළි සිතා බලා එම ඉල්ලීම ඉදිරිපත් කරන්න”.

ඒ අනුව සැකකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධයෙන් වූ රැදවුම් නියෝගය තවදුරටත් ක්‍රියාත්මක බැවින් ඔහු රැඳවුම් භාරයේ තබාගෙන ඉදිරි නඩු දිනයේ යළි අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

වැඩිදුර විමර්ශන වාර්තා සඳහා නඩුව මැයි 20 වනදා යළි කැඳවීමට නියමිතය.

ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ බස් රථයක් ගසක ගැටී අනතුරක්…..

ත්‍රිකුණාමලය – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ උප්පාරු ගඟ පාලම අසලදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අද (22) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.

ත්‍රිකුණාමලයේ සිට මුතූර් දක්වා පොදු ප්‍රවාහනයේ යෙදී සිටි බස්රථයක්, ත්‍රිකුණාමලයේ සිට මුතූර් දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් තුවාල ලැබූ මගීන් 20කට ආසන්න සංඛ්‍යාවක් මුතූර් මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ගෙන් බරපතළ තුවාල ලැබූ සිව්දෙනෙකු ත්‍රිකුණාමලය මහ රෝහල ඇතුළත්කර ඇති අතර, ඉන් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

තුවාල ලැබූ මගීන් තවත් කිහිප දෙනෙකු කින්නියා සහ මුතූර් රෝහල්වල ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසීය.

අනතුර හේතුවෙන් පැය කිහිපයක් ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

හැකර්වරුන් සිදුකළ සොරකමට එරෙහිව මුදල් අමාත්‍යාංශය නීතිමය පියවර ගනී…..

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්‌කරුවන් විසින් සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර ඇති බව දැනුම් දී තිබේ.

2026 ජනවාරි මාසය තුළදී, විදේශ මුදල් ප්‍රමාණයක් ගෙවීම පිළිබඳ හඳුනාගත් තොරතුරු අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (SL-CERT) හා ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය (Computer Crime Investigation Division) වෙත දැනුවත් කිරීම කර ඇත.

ඒ ඔස්සේ කරන ලද පරීක්ෂණ වලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීම සිදු කර ඇත.

එලෙසම, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) වෙත ද මේ පිළිබඳව පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර මූලික පරීක්ෂණයක් ද සිදුකර, අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති අතර නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් වේ.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින්, අදාළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන හරහා සිදු කරන විමර්ශන සඳහා අවශ්‍ය සහය දැක්වීම සහ අවශ්‍ය තොරතුරු ලබා දීම සිදු කර ඇති බව දැනුම් දෙයි.

දැනටමත් විමර්ශන කටයුතු සිදුවන බැවින්, එම කටයුතු වලට බාධාවක් නොවන සේ, මේ පිළිබඳව යාවත්කාලීන තොරතුරු, සුදුසු ඉදිරි අවස්ථාවක දී ලබා දීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව සහ විදේශීය රාජ්‍යයන් අතර පවතින ගිවිසුම් වලට අනුගතව, අදාළ සම්බන්ධීකරණයන් සහ එකඟතාවයන් සහිතව, මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇති බව වැඩිදුරටත් දැනුම් දී ඇත.

1 (1)

පාස්කු ප්‍රහාරයට අදට වසර 7ක්…..

පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසර 7ක් ගත වී තිබේ.

ඒ නිමිත්තෙන් දිවයිනේ සෑම දේවස්ථානයකම අද (21) දිනයේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ, අද පෙරවරුවේ සෑම දෙව්මැදුරකම ප්‍රහාරයේ වින්දිතයින් සැමරීම වෙනුවෙන් මෙම සැමරීම් සිදුකිරීමට නියමිත බවය.

ඒ අනුව මළවුන්ගේ සීනුව නාදකිරීම, විනාඩි 2ක නිශ්ශබ්දතාවය, ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන දැල්වීම, යාඤා මෙහෙය සිදුකිරීම සෑම දෙව්මැදුරකම අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

මේ අතර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙය පැවැත්වීමට නියමිතය.

ඒ අනුව එම දේවස්ථානය අවට විශේෂ රථවාහන සැලස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

ඊට සමගාමීව අද උදෑසන 7.00 සිට දේව මෙහෙය අවසන් වන තෙක් දේවස්ථානය අවට මාර්ගවල අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම කටුවාපිටිය දේවස්ථානයේදී ද විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතය.

මේ අතර යැදුම් පා ගමන මීගමුව මාරිස්ටෙලා ක්‍රිඩාංගණයෙන් අද පස්වරු 4ට රදගුරු හිමිපානන් වහන්සේලා ඇතුළු ගිහි පැවිදි පූජක පිරිස සමඟ ගමන් ආරම්භ කර කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථාන පරිශ්‍රයෙන් අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට……

රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ නුවරඑළියේ දී බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් සමඟ නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රේමලාල් ජයසේකර මහතා පවුලේ ඥාතීන් සමග නුවරඑළිය ප්‍රදේශයට පැමිණ ඇති බවත්, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් නුවරඑළියේ සංචාරයක් සඳහා පැමිණි පිරිසක් සමඟ බහින්බස්වීමක් ඇතිව තිබුණි.

එහිදී ප්‍රේමලාල් ජයසේකර මහතා සිය අතැති පිස්තෝලය පෙන්වා එම පිරිසට තර්ජනය කළ බවට නුවරඑළිය පොලීසියට ලද පැමිණිල්ලක් මත නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර ප්‍රේමලාල් මහතා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් ප්‍රේමලාල් ජයසේකර මහතාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රේමලාල් ජයසේකර මහතා සතුව තිබි අත්අඩංගුවට ගත් පිස්තෝලයට ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ බලපත්‍රය 2025 වසරෙන් කල්ඉකුත් වී ඇති බවත්, සැකකරු නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සත් වසරකට පසු පාස්කු ප්‍රහාරයේ මතකයන් සිහිකරමින් කාදිනල් හිමිගෙන් යළි චෝදනා….

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සුබවාදී පිළිවෙතක් අනුගමනය කරමින් සිටියදී, ඇතැම් රාජ්‍ය නිලධාරීන් එය අකර්මණ්‍ය කිරීමට උත්සාහ දරමින් සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සත්වැනි ස්මරණය වෙනුවෙන් අද (21) පැවති වැඩසටහනට එක්වෙමිනි.

පාස්කු ප්‍රහාරය පිටුපස ඔවුන් නියෝජනය කරන දේශපාලනික බලවේග සිටියේදැයි ප්‍රශ්නයක් මතුවන බවද පැවසු කාදිනල් හිමි එසේ නොවන්නේ නම් සත්‍ය සොයා යන ගමනට මෙතරම් බාධා කරන්නේ මන්දැයි මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

මේ පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම පවා ගැඹුරින් අධ්‍යයනය කළ නොහැකි වු කරුණු කිහිපයක් පිළිබඳ එම වාර්තාවේ සඳහන් කර ඇති බව සඳහන් කළ කාදිනල් හිමි අබු හින්ද් කවුරුන්දැයි සොයා ගැනීම වැදගත් බවද පැවසීය.

සහරාන් සමඟ ගනුදෙනු කළ බවටද තොරතුරු වාර්තා වන එම පුද්ගලයා පිළිබඳ තොරතුරු සෙවීම ඉතා වැදගත් බවද සඳහන් කළ කාදිනල් හිමි කොමිෂන් සභාව විසින් අබු හින්ද්ගේ අනන්‍යතාවය පිළිබඳ විමර්ශනය කරන බවට රහස් පොලීසිය විසින් සාක්ෂි ලබාදුන් බවද සඳහන් කළේය.

එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ ජංගම දුරකථනය හා පරිගණකයේ තිබූ සියලු දත්ත මකා දැමා ඇතැයි සාක්ෂි සටහන් වී ඇති අතර, ඒ තුළින් නිලන්ත ජයවර්ධන හිතාමතාම ප්‍රහාරය පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කළේ ද එසේ නම් එවැන්නක් කළේ මන්දැයි ද කාදිනල් හිමි මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

“මේ භයානක ඝාතන පිටුපස ඇත්තේ කවුරුන්දැයි අපිට හෙළිදරව් කර දෙන්න. ශ්‍රී ලංකාව තුළ දශක ගණනාවක් තුළ සිදුවු විවිධ ඝාතනයන් අතුරුදන් කිරීම් හා මිනීමැරුම් පිටුපස තිබුණේ කුමන අරමුණක් ද ? කරේ කවුරුන්ද යන්න සොයා ගෙන සියල්ල කාලයේ වැලිතලාවෙන් වැලලී යෑමට ඉඩ හැරීම අපගේ රටතුළ මෑත කලායේ බිහි වී ඇති අති භයානක ප්‍රවණතාවයකි. 70 දශකයේ ඇරඹී මෙය නොබෝ දා දක්වා පැවති ජාතික ව්‍යවසනයකි….

මේ අති විශාල සාරධර්ම පිරහීම තුළ වින්‍යානුකූලබව, නීතියට ගරු කිරීමේ උතුම් ගුණය හා ශිෂ්ට සම්පන්න හැසිරීම් රටාව අප රටෙන් බැහැරවිය. මෙවැනි පරිසරයක ශ්‍රී ලංකාව තුළ පසුගිය දශක 4ක කාලය තුළ සිදුවු මීනිමැරුම්, අතුරුදන්වීම් හා දූෂණ පිළිබඳ අවංක සොයාබැලීමක් සිදුකිරීම දුෂ්කර වී ඇත්තේ දේශපාලන ඇඟිලි ගැසීම් හා මුසාව ක්‍රියාකාරී වීම නිසා යැයි කිව යුතුය. 

පාස්කු ප්‍රහාරයද එවැනි දුක්බර අත්දැකීමකි. එහි වින්දිතයින් විඳිනා දහදුක මේ කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට දැනෙන දෙයක් වේදැයි ප්‍රශ්නයක් මතුවෙයි.

ඇතැම් පිරිස් පාස්කු ප්‍රහාරයේ විමර්ශන අදාල නිලධාරීන් මගින් ස්වාධීනව සිදුකරන්නට ඇති ඉඩකඩ අවහිර කරන්නට වෙරදන්නේ ඇයි දැයි අපට නොවැටහේ. 2024 ඔක්තෝබර් 6 වන දින අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ දී බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින් මුණගැසුණු මොහොතේ ඔවුන්ට දුන් ප්‍රතිඥාව වුයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය කාලයේ වැලිතලාවට වැසීයාමට තමන් ඉඩ නොදෙන බවයි. අපි ඉල්ලා සිටින්නේ මේ පොරොන්දුව යථාර්තයක් කරමින්, පාස්කු ප්‍රහාරය පිළිබඳව පරිපූර්ණ විනිවිඳ පෙනෙන සත්‍ය මත පදනම් වූ පරික්ෂණයක් සිදුකර එහි සත්‍යතාවය අපට හෙළිකර දෙන ලෙසයි.”

මීට වසර 07කට පෙර අද වැනි දිනක මෙරටට හිරු උදාවූයේ ඉතිහාසයේ අඳුරුම දිනයකට අත වනමින්.

එම වසරේ පාස්කු ඉරිදාව වූ එදින ආගමික අන්තවාදය කරපින්නාගත් ත්‍රස්තවාදීන් පිරිසක් කිතුනු දේවස්ථාන 03ක්, ප්‍රධාන සංචාරක හෝටල් ඇතුළු දිවයිනේ ස්ථාන 08කදී සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 10කදී,  අහිංසක භක්තිවන්තයින් සමග 275කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වුණි.

එම ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසමක් ඇතුළු තවත් විමර්ශන ගණනාවක් සිදුවුවද ඉන් අනාවරණ වූ කරුණු සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාව සෑහීමකට පත් වූයේ නැහැ.

එබැවින් ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සියලු සත්‍ය අනාවරණය කරන ලෙස ඔවුන් තවමත් අඛණ්ඩව යුක්තිය අයැදීමේ ව්‍යාපාරවල නිරත වේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සත් වසරක් අද සපිරෙන්නේ එවන් පසුබිමකයි.

ත්‍රස්ත ප්‍රහාරයේ සත්වැනි ස්මරණය වෙනුවෙන් ප්‍රධාන වැඩසටහන අද සංවිධාන කර තිබුණේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදීය.

ඒ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, වතිකානයේ මෙරට අපෝස්තලික තානාපති අතිඋතුම් අන්ද්‍රෙයාස් ඉඕස්වෝවිච්ස් හිමිපාණන් සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මෙරට ස්ථාවර නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේගේ ප්‍රධානත්වයෙනි.

පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සහ සෙසු ආගමික නියෝජිතයන් ද අනුස්මරණ වැඩසටහනට එක්ව සිටියේය.

අඳුරු පාස්කු ඉරුදිනයේ පළමු බෝම්බය පිපිරීගිය පෙරවරු 8.45ට සිද්ධස්ථානයේ සීනුව නාද කර විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණි.

මේ අතර මීගමුව කටුවපිටිය දේවස්ථානයේදි එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දිවි අහිමි වූ බැතිමතුන් සිහි කරමින් දේව මෙහෙයක් අද උදෑසන පැවැත්වුණි.

ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස සිහිකොට පෙ.ව 8.45ට සීනුව නාද කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණේ මෙලෙසින්.

මියගිය අයගේ ස්මාරකය අසල ඉටි පහන් දල්වා පුෂ්පෝපහාර සිදුකිරීම ඥාතීන් හා පූජකතුමන්ලාගේ සහභාගිත්වයෙන් සිදුවුණි.‍

මේ අතර පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ තවත් එක් ඉලක්කයක් වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේදී ජීවිතක්ෂයට පත්වූවන් හා බලපෑමට ලක් වූවන් සිහි කරමින් විශේෂ ආත්ම ශාන්ති පූජාවක් හා දේව මෙහෙයක් අද පෙරවරුවේ පැවැත්වුණි.

එම අවස්ථාවේදි සියෝන් දේවස්ථානයට දැඩි ආරක්ෂාවක් සපයා ඇති ආකාරයක් ද දක්නට ලැබුණි.