ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්…..

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවකයන් ගෙන්වීම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කට පමණක් සීමාකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ කුවේට් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ගෘහ සේවක අංශය නියාමනය කිරීම සඳහා නව නීති මාලාවක් හඳුන්වාදීමත් සමඟය.

මේ යටතේ ගෘහ සේවකයන් ගෙන්වීම රටවල් 10කට සීමා කර ඇති අතර, රටවල් 27ක් තහනම් කර ඇත.

සේවකයන් ගෙන්වීමට අවසර ඇති රටවල් 10

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පිලිපීනය, වියට්නාමය, නේපාලය, දකුණු අප්‍රිකාව, බෙනින්, එරිට්‍රියාව සහ ඉතියෝපියාව යන රටවල් 9 කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම අවසර ලබා දී ඇති අතර සෙනගාලය යන රටින් සේවකයන් බඳවා ගැනීම පිරිමි අයට පමණක් සීමාකර තිබේ.

මේ අතර, කෙන්යාව, උගන්ඩාව, නයිජීරියාව, මැඩගස්කරය සහ භූතානය ඇතුළු රටවල් 27කින් ගෘහ සේවකයන් ගෙන්වීම තහනම් කර ඇත.

මෙයින් ඇතැම් රටවලින් තහනම් කර ඇත්තේ කාන්තා සේවිකාවන් පමණක් වන අතර පිරිමි සේවකයන් ගෙන්වීමට අවසර ඇත.

වේගයෙන් ආ කැබ් රථය කාන්තාවකට මරු කැඳවයි……

මාවනැල්ල පොලිස් වසමේ මාකඩවර හන්දිය ප්‍රදේශයේදී මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවක් ගැටී අනතුරක් සිදුව ඇත.

අද (10) අළුයම  සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව මාවනැල්ල රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මරණකාරිය වයස අවුරුදු 69ක් වූ ගනේතැන්න, හිඟුල ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙනඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය වැඩිදුර විමර්‌ශන සිදුකරනු ලබයි.

සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි……

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් පැවැත් වූ සත්‍යග්‍රහය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කර තිබේ.

පසුගිය (08) වනදා  කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී මෙම සත්‍යග්‍රහය සංවිධානය කළේ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් විසිනි.

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්…..

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා එළඹෙන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද (10) දහවල් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා පසුව අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඒ, 2019 වසරේ රුපියල් මිලියන 16.5ක දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් දකුණු පළාතේ පොදු ස්වෙච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේ සිද්ධියක් පිළිබඳ එල්ලවී ඇති චෝදනාවක් සම්බන්ධයෙනි.

එහිදී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරා ගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදුකිරීම හා දකුණු පළාතේ දිස්ත්‍රික් තුනෙහි පළාත් සභා මන්ත්‍රීවරු 54 දෙනෙකු වෙත එම මිලදී ගන්නා ලද පුටු 16,361ක්, නිවාස කාර්යාල වෙත ප්‍රවාහනය කරවා භාරදීමට සැලැස්වීම මඟින් රජයට පාඩු කර ඇතැයි පැවසෙයි.

උදරය තුළ මත්ද්‍රව්‍ය සඟවාගෙන ගිය අධිවේගී බස් රියදුරෙකු මරුට…..

උදරය තුළ සඟවාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකු, එම මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ආමාශය තුළදීම පිපිරී විෂ වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ තංගල්ල – මාකුඹුර මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී බස් රථයක සේවය කළ, ඕකවෙල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි රියදුරෙකි.

පසුගිය 8 වැනිදා මාකුඹුරේ සිට තංගල්ල බලා ධාවනය වූ බස් රථය ගමනාන්තය වෙත ළඟා වී සුළු මොහොතකින් මෙම රියදුරා හදිසියේම දැඩි ලෙස අසනීප වී ඇත.

වහා ක්‍රියාත්මක වී ඔහුව ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් තිබේ.

ඊයේ (9) තංගල්ල රෝහලේදී පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ ආමාශය තුළ තිබී මත්ද්‍රව්‍ය අඩංගු පැකට් දෙකක් හමු වූ බවය.

ආමාශයේ තිබූ එම මත්ද්‍රව්‍ය පැකට් දෙකෙන් එකක් කැඩී, එම මත්ද්‍රව්‍ය ශරීර අභ්‍යන්තරයේදී රුධිරයට මුසු වීමෙන් සිදු වූ විෂ වීම මෙම මරණයට හේතුව බව වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

සීතාවකපුර පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙලා…..

සීතාවකපුර පොලිස් නිලධාරීන් වෙනුවෙන් 2026 මැයි මාසයට අදාළව හිමිවිය යුතු ආහාර, පාන සහ නවාතැන් දීමනා බැංකුගත කිරීමේදී ලංකා බැංකු කළමනාකාරීත්වයේ සිදු වූ අතපසුවීමක් හේතුවෙන් එම දීමනා දෙවරක් බැංකුගත වී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් සීතාවකපුර කොට්ඨාසයට අනුයුක්ත සියලුම දිස්ත්‍රික් භාර නිලධාරීන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් වෙත සීතාවකපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ලිඛිතව දැනුම්දීමක් සිදුකර ඇත.

එහි සඳහන් වන්නේ තමන්ට හිමි සාමාන්‍ය ආහාර සහ නවාතැන් දීමනාව පමණක් බැංකුවෙන් ලබාගැනීමට කටයුතු කරන ලෙසටය.

වැරදීමකින් දෙවරක් බැංකුගත වී ඇති අමතර මුදල නැවත බැංකුව විසින් අයකර ගැනීමට කටයුතු කරන බව දන්වා ඇති බැවින්, එම අමතර මුදල කිසිසේත් ගිණුමෙන් ලබානොගෙන එලෙසම තබන ලෙසට නිලධාරීන් අවධාරණය කර තිබේ.

ගෝල්ෆේස් මුහුදු තීරයේ නාන්න ගිය සිසුන් තිදෙනෙකු ගසාගෙන යයි…..

කොළඹ ගෝල්ෆේස් මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනෙකු අද (10) පස්වරුවේ රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.

රළ පහරට හසු වූ සිසුන් තිදෙනාගෙන් දෙදෙනෙකු බේරාගැනීමට සමත්ව ඇති අතර, අනෙක් සිසුවා මේ වන විට අතුරුදහන්ව ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් බේරාගත් සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව ද සඳහන් වේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ සිට පැමිණි වයස අවුරුදු 15ක පමණ පසුවන පාසල් සිසුන් පිරිසක්ය.

ඔවුන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස පැමිණ මෙලෙස මුහුදට බැස ඇති අතර, ඉන් තිදෙනෙකු මෙලෙස අනතුරට මුහුණ පා ඇත.

අතුරුදහන් වූ සිසුවා සෙවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් මේ වන විට විශේෂ සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

හෝටලයකට පැන්න චණ්ඩි – දෙදෙනෙකුට අමානුශික ලෙස පහරදෙයි……

ගාල්ල, උඩුගම කෝරළේගම ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකට පසුගියදා කඩා වැදුණු පුද්ගලයන් තිදෙනෙකු විසින් එහි සිටි දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදී පලාගොස් තිබේ.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා උඩුගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් අයෙකුගේ පාදයකට බරපතළ හානි සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු හිනිදුම ආසනයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීප ආධාරකරුවෙකු බවට සිදුකළ පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

එමෙන්ම ඔහුගේ බිරිඳ නාගොඩ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක ලෙසද සේවය කරන බව වාර්තා වේ.

අනෙක් සැකකරුවන් දෙදෙනාද මත්පැන්වලට දැඩි ලෙස ඇබ්බැහි වූවන් බවට තොරතුරු අනාවරණය වී ඇත.

සිද්ධියෙන් පසු සැකකරුවන් තිදෙනා සහ අදාළ ග්‍රාම නිලධාරිනිය මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බව වාර්තා වේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා උඩුගම සහ නාගොඩ පොලිස් ස්ථාන මගින් විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන කටයුතු එම පොලිස් ස්ථාන මගින් ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ.

බෝතල් කළ පානීය ජලයට අද සිට නව උපරිම සිල්ලර මිලක්……

දේශීයව ඇසුරුම් කළ හෝ බෝතල් කළ පානීය ජලය (PET බෝතල්) සඳහා නව උපරිම සිල්ලර මිල ගණන් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20 (5) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම අංක 96 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය (ගැසට් අංක: 2492/29) අද (10) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වේ.

මෙම නව නියෝගයට අනුව, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම, අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ ඉදිරිපත් කිරීම කිසිදු නිෂ්පාදකයෙකුට, ඇසුරුම්කරුවෙකුට, බෙදාහරින්නෙකුට හෝ වෙළෙන්දෙකුට සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

නව මිල පාලන නියෝගයත් සමඟ 2025 අප්‍රේල් 01 දිනැති අංක 2430/15 දරන ගැසට් පත්‍රයේ පළ කර තිබූ පැරණි මිල පාලන නියෝගය (අංක 93) අවලංගු වන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

නව ගැසට් නිවේදනයට අනුව උපරිම සිල්ලර මිල ගණන්

ජල බෝතලයේ ධාරිතාව  උපරිම සිල්ලර මිල
මි. ලීටර 500 සිට 999 දක්වා  රු. 80.00
ලීටර 1 සිට 1.499 දක්වා  රු. 120.00
ලීටර 1.5 සිට 1.999 දක්වා  රු. 150.00
ලීටර 2 සිට 2.499 දක්වා  රු. 180.00
ලීටර 5 සිට 6.999 දක්වා  රු. 400.00

මෙම නියෝග උල්ලංඝනය කරමින් වැඩි මිලට ජල බෝතල් අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් නිලධාරීන් විසින් දිවයින පුරා දැඩි සෝදිසි කිරීම් සහ වැටලීම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

‘එල් නිනෝ’ තත්ත්වය ගැන බය හිතෙන කතාවක්…..

ඉදිරියේදී ඇතිවිය හැකි ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික විපර්යාසය, පුරෝකථනය කර ඇති පරිදිම ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළහොත් පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා සාගර ජලය පිරිපහදු කර බෙදාහැරීමට පවා සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මධ්‍යස්ථානයේ අතිරේක ලේකම් කේ.ජී.බී. ධර්මතිලක මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙවර අපේක්ෂා කරන එල් නිනෝ තත්ත්වය පෙර නොවූ විරූ මට්ටමකින් දරුණු විය හැකි බව පෙන්වා දුන් අතිරේක ලේකම්වරයා, එහි බලපෑමෙන් මෙරට ප්‍රධාන ජල මූලාශ්‍ර පවා සිඳී යාමේ අවදානමක් පවතින බව සඳහන් කළේය.

මේ හේතුවෙන් පවතින තත්ත්වයට කල්තියා සූදානම් වීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව ඔහු අවධාරණය කළේය.

එමෙන්ම හදිසි අවස්ථාවකදී ජලය බෙදාහැරීම සඳහා ජාතික ආපදා සේවා මධ්‍යස්ථානය සතු ජල බවුසර් ප්‍රමාණය සීමිත මට්ටමක පවතින බවද වැඩිදුරටත් කියා සිටියේය.

මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ අතිරේක ලේකම් කේ.ජී.බී. ධර්මතිලක මහතා,

“අපි කවදාවත් ඇහුවේ නැති ‘එල් නිනෝ’ තත්ත්වයක්. මට දැනෙන විදියට මේකට අපට ගොඩක් සූදානම් වෙන්න වෙයි.  සාමාන්‍යයෙන් පායන කාලයට ජාතික ආපදා සේවා මධ්‍යස්ථාන හරහා මුලු ලංකාවටම අපි මාසයක් ජලය සපයනවා.

නමුත් මේ කියන එල් නිනෝ එක ආවොත් තියෙන බවුසර් මදි විශාල වශයෙන් ජලය බෙදාන්න. මෙම එල් නිනෝ තත්ත්වයෙන් ජල මූලාශ්‍ර හිඳෙන්න පුළුවන්. එවිට ජලය ලබාගන්න මූලාශ්‍ර නැති වේවි. 

මම හිතන්නේ සාගර ජලය පිරිසිදු කරලා බෙදලා දෙන තත්ත්වයක් ගැනත් අපට හිතන්නත් වෙයි” යනුවෙන් පැවසීය.

දශකයකට පසු ඇතිවන ප්‍රබලම එල් නිනෝ තත්ත්වයක බලපෑමක් ඉදිරියේ දී එල්ල වීමේ හැකියාවක් පවතින බවට එක්සත් ජාතීන්ගේ කාලගුණවිද්‍යා ඒජන්සිය මේ වනවිට අනතුරු අඟවා තිබේ.

මෙරට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවද පවසන්නේ මේ හේතුවෙන් ජූලි – අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවට නියං තත්ත්වයක් ඇති වීමේ ඉඩක් ඇති බවය.

එල් නිනෝ තත්ත්වයක් යනු පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ යාමෙන් ලොව පුරා කාලගුණ රටාවන්හි විශාල වෙනස්කම් ඇති කරන ස්වභාවික සංසිද්ධියක්ය.

මෙම එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව වැනි කලාපවලට සාමාන්‍ය වර්ෂාපතනය අඩුවී දරුණු නියං තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් පවතී.