නික්ම යන ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි……

ශ්‍රී ලංකාවේ සිය රාජ්‍ය තාන්ත්‍රික සේවාකාලය නිමකර මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය Satyanjal Pandey මහතා අද (09) ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

මෙම සමුගැනීමේ නිල හමුවේදී, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී සබඳතා පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා සහ ආචාර්ය පාණ්ඩේ මහතා අදහස් හුවමාරු කර ගත්හ.

ආචාර්ය පාණ්ඩේ මහතා සිය ධූර කාලය තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් දැක්වූ දායකත්වය මෙහිදී ආරක්‍ෂක ලේකම්වරයාගේ ඇගයීමට ලක් වූ අතර, ඔහුගේ ඉදිරි කටයුතු සඳහා ද, ලේකම්වරයා සුබ පැතුම් පිරිනමන ලදී.

ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රවේශ පහසුකම් පිළිබඳ ජාතික විගණනයක්…..

ආබාධ සහිත පුද්ගලයන්ට සේවා සපයන රාජ්‍ය ආයතනවල ප්‍රවේශ පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ ජාතික මට්ටමේ විගණනයක් අද (09) බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයෙන් ආරම්භ කෙරිණි.

2026 අයවැය යෝජනා මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළ, අධිකරණ සහ පොලිස් ස්ථාන ඇතුළු පොදු ස්ථාන ආබාධ සහිත පුද්ගලයන්ට වඩාත් ප්‍රවේශවිය හැකි පරිදි සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

ඒ අනුව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය විසින් දිවයින පුරා ආයතනවල ප්‍රවේශ පහසුකම් සම්බන්ධ විගණනයක් සිදු කිරීමට සැලසුම් කර ඇත.

මෙම වැඩසටහනට සමගාමීව, මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනම (IFES) විසින් දිස්ත්‍රික්ක 17ක සමාජ සේවා නිලධාරීන් සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබාදී තිබේ.

එහි ප්‍රථම අදියර ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ පුහුණුව ලැබූ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෙත්සිරිපාය අදියර 1 සහ අදියර 2 ගොඩනැගිලිවල ප්‍රවේශ පහසුකම් විගණනය ආරම්භ කර ඇත.

නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය එළි දකියි…..

නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය එළි දැක්වීමට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මෙම නව ප්‍රතිපත්තිය ජුනි 01 දින සිට බලාත්මක වන බවය.

1999 වසරේදී ජාතික ඛනිජ ප්‍රතිපත්තියක් සකස් කර තිබුණු අතර එය 2023 වසරේදී සංශෝධනය කර තිබුණි.

කෙසේ නමුත් වර්තමානයේ පවතින සමාජ ආර්ථික පසුබිම වෙනුවෙන් නව ප්‍රවේශයක අවශ්‍යතාවය ඉස්මතු කරන බැවින් නව ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබුණි.

නව ජාතික ඛනිජ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පසුගිය පෙබරවාරි 09 වැනි දින ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වූ අතර ඒ අනුව නව ජාතික ඛනිජ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට ආරම්භ කෙරුණි.

ඒ අනුව මෙම නව ප්‍රතිපත්තිය සම්පාදන කර ඇති අතර මේ තුළ දේශීය ඛනිජවල ආවේනික ගුණාත්මකභාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ඛනිජ සම්පත් පිළිබඳව ශක්‍යතා අධ්‍යනය, අගය එකතු කරන ලද ඛනිජ සම්පත් හා පරිසරයේ තිරසාර කළමනාකරණය සහ ඛනිජ නිස්සාරණයට අදාළ ඉඩම් හිමිකම් ගැටලු යන කරුණු මෙම මෙහිදී කෙටුම්පත් කිරීමේදී සැලකිල්ලට ගෙන ඇත.

මෙම ප්‍රතිපත්තියේ මූලික අරමුණ වන්නේ මෙරට ඛනිජ ක්ෂේත්‍රය ශක්තිමත් කරන ප්‍රතිපත්තිමය මූලධර්ම පුළුල් ලෙස හඳුනා ගැනීම වේ.

එමෙන්ම මෙම මූලධර්ම භූමියේ ක්‍රියාත්මක කළ හැකි සැලසුම් සමග සම්බන්ධ කිරීම මගින් ක්‍රියාත්මක කිරීමේදී ක්‍රියාවලියට මග පෙන්වන උපායමාර්ග හඳුන්වා දී ඇති අතර මෙම ප්‍රතිපත්ති රාමුව අදාළ ආයතන විසින් තම තමන්ගේ ක්ෂේත්‍රයන් හී සවිස්තරාත්මක ක්‍රියාකාරි සැලසුම් සකස් කිරීම සඳහා පදනමක් ලෙස භාවිත කිරීමත් සිදුවනු ඇත.

මෙම නව ප්‍රතිපත්තිය තුළින් ප්‍රතිපත්තිමය ඉලක්ක කිහිපයක් අපේක්ෂා කර ඇති අතර ඒ අනුව නිරන්තරයෙන් යාවාත්කාලීන වන ජාතික ඛනිජ සම්පත් ලේඛනයක් සකස් කිරීම, ඛනිජ සම්පත් තිරසාර ලෙස භාවිත කිරීම සහතික කිරීම, ජාතියට ප්‍රශස්ත ප්‍රතිලාභ ලැබෙන පරිදි අගය එකතු කළ ඛනිජ අපනයන සහ ඛනිජ පදනම් වූ නිෂ්පාදන සංවර්ධනය කිරීම, ආර්ථික සංවර්ධනය සඳහා ඛනිජ සම්පත් තිරසාර භාවිතය සහ පරිසර සංරක්ෂණය අතර සමතුලිතතාවය තහවුරු කිරීම, පර්යේෂණ හා සංවර්ධණ හා සංවර්ධන කටයුතු දිරිමත් කිරීම, ඛනිජ ක්ෂේත්‍රයේ යහපාලන මූලධර්මයන්ට අනුගත වීම සහ ආයෝජන හිතකාමී නියාමන රාමුවක් සැපයීම මගින් ඛනිජ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, ඛනිජ කර්මාන්තයට අදාළ ඉඩම් ආශ්‍රිත ගැටලු විසඳීම සඳහා පහසුකම් සැලසීම යන කරුණු වෙනුවෙන් අවධානය යොමුව ඇත.

එමෙන්ම මෙම ප්‍රතිපත්තියේ සඳහන් උපායමාර්ග, ප්‍රතිපත්තියේ මූලධර්ම ක්‍රියාත්මක කිරීම සඳහා පදනම ලෙස ක්‍රියා කරන බවත් ඒවා අදාළ පනත් මගින් ක්‍රියාත්මක කිරීමටද නියමිත අතර එම ක්‍රියාමාර්ග බලගැන්වීම සඳහා නියාමන ආයතන වෙත බලය පැවරීමද සිදු කෙරේ.

අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ මට්ටම මත මහජනතාව ඇතුළු පාර්ශ්වකරුවන්ට විශේෂයෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයට සෘජු බලපෑම් ඇතිවිය හැකි බවය.

එබැවින් අදාළ නියාමන ආයතන විසින් ඒකාබද්ධව පිළිගත හැකි රාමුවක් සකස් කිරීමෙන් අනතුරුව සවිස්තරාත්මක ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ග වැඩසටහන් සැලසුම් සහ අනෙකුත් නියාමන ලේඛන අවසන් කිරීම සඳහා පාර්ශ්වකරුවන් සමග උපදේශන ක්‍රියාවලියක් පැවැත්විය යුතු බවත් සඳහන් කර ඇත.

තවද ඛනිජ ක්ෂේත්‍රයට අදාළ විෂයභාර අමාත්‍යාංශය, ඛනිජ ප්‍රතිපත්තිය අධීක්ෂණය හා ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන භූමිකාව ඉටුකරන නමුත් ඛනිජ ඛනිජ ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන කිහිපයක් විවිධ අමාත්‍යාංශ යටතේ පවතින බැවින් අධීක්ණ මණ්ඩලය අදාළ අමාත්‍යාංශ නියෝජිතයින්ගෙන් සමන්විත විය යුතු බවත් මෙහි සඳහන් වේ.

ජුනි මාසයේ ගෙවුණු දින 7ට සංචාරකයින් 27,043ක් මෙරටට ඇවිත්……

ජුනි මාසයේ මුල් දින 7 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 27,043ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 11,216ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 42%ක් වේ.

එමෙන්ම, චීනයෙන් 1,496ක්, එක්සත් රාජධානියෙන් 1,938ක්  සහ ඔස්ට්‍රේලියාවෙන් 1,562ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

තවද, 2026 ජනවාරි 01 සිට ජුනි 07 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,049,065ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අතරින් ඉන්දියාවෙන් 261,476ක්, රුසියාවෙන් 76,332ක් සහ එක්සත් රාජධානියෙන් 100,031ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව ඇමති කියයි…..

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉතා කෙටි කාලයක් තුළදී අහෝසි කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (09) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් බවය.

ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ ත්‍රස්තවාදය අහෝසි කිරීම සඳහා කටයුතු කරන බව අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා පැවසුවේ රජයට පැහැදිලි මහජන බලයක් ලැබී ඇති බවත් මර්දන, නීති, අනපනත් යොදා ආණ්ඩු කිරීමට අවශ්‍ය නොවන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය

“මෙතන මන්ත්‍රීවරු කතාවුණා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන. අපි අනිවාර්යයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා. මේ වෙනකොට අධිකරණ ඇමතිතුමා කිව්වා වගේම මේ පනත අහෝසි කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතාමත් කෙටි කාලයක් තුළ මේ පනත අහෝසි කරනවා. අපි මේ මර්දන, නීති, අණපනත් දාගෙන ආණ්ඩු කරන්න සූදානම් නෑ. අපිට තියෙනවා හොඳ මහජන බලයක්”

RMV හි වංචා සෙවූ කෝපා වාර්තාව නීතිපතිට පැවරීමට අනුමැතිය…..

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ වංචා සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සකස් කළ විමර්ශන වාර්තාව, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීමට පාර්ලිමේන්තුවේ ඒකමතික අනුමැතිය අද (09) හිමි විය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කාරක සභා වාර්තාවක්, මෙලෙස සෘජුවම නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගත් ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ..

දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභා වාරය තුළ 2025 මාර්තු 10 සහ 21 යන දිනවල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කැඳවා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දීර්ඝ විමර්ශනයක් සිදුකර තිබුණි.

එහිදී අනාවරණය වූ කරුණු ඇතුළත් කර සකස් කරන ලද වාර්තාව, 2025 ජූලි 25 දින ප්‍රකාශන මාලා අංක 243 යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 119(4) හි විධිවිධාන ප්‍රකාරව, අදාළ වංචා පිළිබඳ වාර්තාව මුදල් අමාත්‍යවරයාගේ සහ විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

ඉන් අනතුරුව එම අමාත්‍යවරුන් ලබා දුන් පිළිතුරු පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු අතර, 2026 මාර්තු 04 දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් එම කරුණු යළිත් සලකා බලනු ලැබීය.

එහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ සිදුව ඇති මූල්‍යමය අක්‍රමිකතාවල බරපතළකම සැලකිල්ලට ගනිමින්, වංචාකරුවන්ට එරෙහිව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව කාරක සභාව අවධාරණය කර ඇත.

ඒ අනුව මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට කෝපා කමිටුව ඒකමතිකව තීරණය කර තිබුණි.

ඒ අනුව, “රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2025 මාර්තු 10 සහ 21 දිනයන්හි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිළිබඳ සිදු කරන ලද විමර්ශන සම්බන්ධයෙන් කරුණු ඇතුළත්, 2025 ජූලි 25 දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ප්‍රකාශන මාලා අංක 243 දරන වාර්තාව නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය කටයුතු සඳහා යොමු කළ යුතුය” යන යෝජනාව අද පාර්ලිමේන්තු සභාවේ දී ස්ථිර කරමින් ඊට නිල අනුමැතිය ලබා දෙන ලදී.

ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩු කරයි…..

ලංකා සතොස ආයතන විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල ගණන් අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (10) දිනයේ සිට මෙම නව මිල ගණන් ක්‍රියාත්මක වන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම අඩුවන මිල ගණන් අතරට ලොකු ලූනු, සුදු සීනි, පරිප්පු, කවුපි, කඩල, මුං ඇට, රට කජු, තිරිඟු පිටි, රතු කැකුළු සහල්, රතු නාඩු සහල්, සම්බා සහල්, සුදු නාඩු සහල්, පොන්නි සම්බා ඇතුළු ඇතුළු භාණ්ඩ වර්ග 18ක් පවතින බවද අමාත්‍යාංශය පැවසීය.

අමාත්‍යාංශය පැවසුවේ මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් උද්ගතව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදය හමහුවේ මෙරට ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් රජයේ මැදිහත්වීම මත මෙම භාණ්ඩවල මිල අඩු කිරීමට තීරණය කළ බවය.

රැඳවුම් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක්….

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

අදාළ ලිපිය මගින් ඇය ඉල්ලා ඇත්තේ සුරේෂ් සලේ මහතාට එරෙහිව ක්‍රියාත්මක වන රැඳවුම් නියෝගය වහාම අවලංගු කරන ලෙසය.

එමෙන්ම සුරේෂ් සලේ මහතා රඳවා තබා ගැනීමට අදාළ මහේස්ත්‍රාත් අධිකරණ කටයුතු පසුගිය මැයි 20 වැනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ බවත් එම නඩු කටයුතු අතරතුර අධිකරණ නියෝග පරිදි සකස් කරන ලද අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව ලැබුණු බවත් එම අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිගමන මගින් තම ස්වාමිපුරුෂයා විසින් රැඳවුම් භාරයේ සිටියදී විඳි ශාරිරිත හා මානසික පීඩාවන් සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රකාශ කළ කරුණු සනාථ වී ඇති බවත් ඇය ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

විදෙස් ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට අනුගාමිකයින් ඇතුළු 10ක් අත්අඩංගුවට….

විදෙස්ගත සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ අනුගාමිකයින් 8ක් ඇතුළු සැකකරුවන් 10ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

අද (09) දින අලුයම ගල්කිස්ස, දෙහිවල සහ අඟුලාන ප්‍රදේශ ආවරණය වන පරිදි ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරුවන් සතුව ජීව අත්බෝම්බයක්, අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20-56ත් අතර පසුවන අඟුලාන, මොරටුව හා රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් දෙහිවල ප්‍රදේශයේ සිදුවූ තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ අපරාධ ඇතුලු විවිධ අපරාධවලට සම්බන්ධ බබවට දැනට සිදු කෙරෙන විමර්ශනයේදී අනාවරණය වි ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරති.

අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ….

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ “2026 අංක 02 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්  නිකුත් කර තිබේ.

මෙම නව රීති පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන දිනයේ සිට බලපැවැත්වෙන අතර, මීට පෙර ක්‍රියාත්මක වූ 2024 සහ 2026 රීති සංශෝධනය කරමින් නව විධිවිධාන හඳුන්වා දී ඇත.

නව  රීති අනුව චක්‍ර භාණ්ඩ හා සේවා අපනයනකරුවන්ට විදේශ මුදලින් ගෙවීම් කිරීම සම්බන්ධයෙන් ද  විධිවිධාන හඳුන්වා දී ඇති අතර, එම ආදායම්වලින් අවසරලත් ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ඉතිරි මුදල ද එළැඹෙන මාසයේ 10 වැනි දිනට පෙර රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කර තිබේ.