පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා කරන්න එපා – සිරිල් ගාමිණි පියතුමා…..

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට බාධා කිරීමට උත්සහ නොකරන ලෙස සිරිල් ගාමිණි පියතුමන් ඉල්ලීමක් සිදු කළේය.

අද (26) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

“මේක මිනිස් ජීවිත 300ක් අහිමි කරපු මිලේච්ඡ ප්‍රහාරයක්. බහුතරයක් පාස්කු ඉරිදා දිව්‍ය පූජාවට සහභාගී වෙන්න ගිය අය. මිය ගිය අය අතර හැම ආගමකටම, හැම ජාතියකටම අයිති අයත් ඉන්නවා. මේක සමූළ ඝාතනයක්. 

මේක පිටුපස තියෙන සත්‍ය හොයාගැනීම කියන්නේ, මේ රටේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා කියලා ඕනෑ කෙනෙකුට අවබෝධ වෙන දෙයක්. එහෙම නොවුණොත්, සිද්ධ වෙන්නේ නීතියට සමහරු බය නැහැ කියන එක. යම් අපරාධයක් කරලා සැඟවී ඉන්න පුළුවන් කියන එක. ඒ නිසා අපරාධ කිරීමට බිය නොවීම කියන එක ඔප්පු වෙනවා. මේක අපිට පිළිගන්න බෑ. 

මේ විදිහේ ප්‍රකාශ කරන සහ අත්අඩංගුවට ගැනීමට විවිධ අර්ථකථන දෙන අය දිහා බැලුවාම තේරෙනවා. ඒගොල්ලන්ගේ පිටුපස තියෙන න්‍යාය පත්‍රය මොකක්ද කියලා. ඒ නිසා මේක දේශපාලනීකරණය කිරීමට අවශ්‍ය නැහැ. මේක සී.අයි.ඩී එක කරන ස්වාධීන විමර්ශනයක්.  ඒ විමර්ශන ස්වාධීනව කරන්න ඉඩ දෙන එක තමයි හොඳ.
එහෙම නැතිව මේ විමර්ශන කඩාකප්පල් කරන උත්සහ අපි දකින්නේ මේ ප්‍රහාරයෙන් ඝාතනයට පත්වුණ සහ ආබාධිත වුණ වින්දිතයින්ට සිදු කරන අසාධාරණයක් ලෙසයි. ඒ නිසා අපි හැමදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ, මේ විමර්ශනවලට බාධා කරන්න එපා. මේ විමර්ශන ඉදිරියට යන්න ඕනේ. ඒ විමර්ශනවලින්  යම් ප්‍රතිඵලයක් එයි කියලා අපි විශ්වාස කරනවා. 

මේකෙන් බොහෝ දෙනෙක් කතා කරන දේශපාලන කුමන්ත්‍රණයක් තිබුණා ද නැද්ද කියලා සහ එහෙම තිබුණා නම් කවුද ඒක කළේ.? මේ ප්‍රහාරය සිද්ධ කළේ ඇයි කියන දේවල් අපි අනිවාර්යයෙන්ම හොයාගන්න ඕනේ. ඒකට කවුරු හරි බාධා කරනවා නම්  අපි  දකින්නේ ඒක වින්දිතයන්ට එරෙහිව කරන මහා අපරාධයක් හැටියට. ඒ නිසා කරුණාකරලා මේ විමර්ශන ඉදිරියට අරන් යන්න ඉඩදීලා ඉවසීමෙන් බලාගෙන ඉන්න කියලා.”

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කල් තැබීමේ විවාදයක්……

මාර්තු මස අටවෙනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කල් තැබීමේ විවාදයක් ලබන 05වෙනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව එදින පෙරවරු 11.30 සිට පස්වරු 05.00 දක්වා එය පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පසුගිය 18 වෙනිදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

පාර්ලිමේන්තුව ලබන තුන්වෙනිදා සිට හයවෙනිදා දක්වා රැස්වීමට ද එහිදී තීරණය කර තිබේ.

මාර්තු මස තුන්වෙනිදා පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙරවරු 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙරවරු 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

අනතුරුව පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා අංක 2467/67 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද විදේශ විනිමය පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිතය.

පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව විපක්ෂය විසින් ගෙනෙනු ලබන කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.

2026 මාර්තු 4 වැනි බදාදා පෙරවරු 9.30 – 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙරවරු 10.00 – 10.30 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහාත් පෙරවරු 10.30 – 11.00කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

ඉන් අනතුරුව  11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා  කාලය වෙන් කර ඇත්තේ, ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට අදාළ විවාදය සඳහාය.

එමෙන්ම පස්වරු 5.00 –  5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

2026 මාර්තු 5 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 – 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර  10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

පෙරවරු 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහාත්  11.30 සිට පස්වරු 5.00 දක්වා මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කල් තැබීමේ විවාදයක් පැවැත්වීමටත් තීරණය  කර බව සඳහන්ය.

2026 මාර්තු 6 වැනි සිකුරාදා පෙරවරු 9.30 –  10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති බවත් 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

පෙරවරු 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙන අතර 11.30 සිට පස්වරු 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට කාලය වෙන්කිරීමට මෙහිදී තීරණය කළ බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට අලුතින් වචන 11ක්….

ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට යොදාගන්නා ඇතැම් ව්‍යවහාරික වදන් හේතුවෙන් ඔවුන් සමාජය ඉදිරියේ දැඩි අපහසුතාවලට මුහුණ දෙයි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් ඔවුන් හැඳින්වීම සඳහා පාරිභාෂිත වචන මාලාවක් හඳුන්වාදීමට තීරණය කර තිබේ.

ඒ, එම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ සභාව හා මහලේකම් කාර්යාලය විසින් පත් කරනු ලැබූ අනු කමිටුවක් විසිනි.

පසුගිය 23 වනදා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධාන්තවයෙන් රැස්වූ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ සභාවේදී සුදුසු පාරිභාෂිත වචන 100ක පමණ ප්‍රමාණයක් යෝජනා කර ඇත.

මේ අතරින් ප්‍රධාන පාරිභාෂිත යෙදුම් 11ක් හඳුනාගෙන ඇති අතර සෙසු යෙදුම් සඳහා මහජනතාවගේ අදහස් ලබාගැනීමට සති දෙකක කාලයක් ලබාදී තිබේ.

මින් ඉදිරියට ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව තොරතුරු සන්නිවේදනය කිරීමේදී මහ සභාව මගින් අනුමත යෙදුම් 11ක් යොදාගන්නා ලෙසට අමාත්‍යංශය ඉල්ලා සිටියි.

ඒ අනුව ආබාධ සහිත තැනැත්තා,  ශ්‍රවණාබාධ සහිත තැනැත්තා, දෘශ්‍යාබාධ සහිත තැනැත්තා, චලනාබාධ සහිත තැනැත්තා, බුද්ධිමය වර්ධන ඌනතා සහිත තැනැත්තා, මනෝ සමාජීය ආබාධ සහිත තැනැත්තා, කථනාබාධ සහිත තැනැත්තා, බහු ආබාධ සහිත තැනැත්තා, ආබාධ සහිත කාන්තාවන්, ආබාධ සහිත ළමුන්
සහ මිහිමිත් තැනැත්තා යන පාරිභාෂිත වචන මාලාව භාවිත කළ හැකිය

ජනපති හෙට අනුරාධපුරයට….

අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට එම ඉඩම්වල පරම අයිතිය ප්‍රදානය කෙරෙන ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) ප.ව 2.00ට අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත් වේ.

1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ අවසර පත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට තම ඉඩමෙහි පරම අයිතිය නොමැති වීමෙන් අදාළ භූමිය මානව අවශ්‍යතා හා සංවර්ධන අවශ්‍යතාවන්ට යොදවා ගැනීමේදීත්, එම භූමිය ආර්ථික ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමේදීත් විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇත.

ඒ අනුව, මේ වන විටිත් ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති අවසර පත්‍ර හා දීමනාපත්‍ර වල කොන්දේසි ඉවත් කර එම දීමනාපත්‍ර සඳහා 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනතේ 2 වගන්තියට අනුකූලව නිදහස් ප්‍රදාන පත්‍රයක් ලබා දීමට කටයුතු කරනු ලැබේ. මෙම වැඩසටහන යටතේ ස්වකීය කැමැත්තෙන් රජයට භාරදෙන අවසර පත්‍ර හා දීමනාපත්‍ර සඳහා ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍රය ලබා දීම සිදු කෙරේ.

හෙට (27) දිනයේදි අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර 500ක් ප්‍රතිලාභීන් වෙත බෙදා දීමට නියමිත අතර ඉදිරියේදී මෙම වැඩසටහන දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් වැඩසටහන ක්‍රියාත්මකය.

හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට එරෙහි නඩුවක් කල් යයි….

හිටපු අමාත්‍ය චන්ද්‍රාණී බණ්ඩාර මහත්මියට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මාර්තු මස 05 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී, විත්තිකාරියට එරෙහිව ගොනුකර ඇති අධි චෝදනා සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා මූලික විරෝධතා ඉදිරිපත් කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, අදාල නඩුව මාර්තු මස 05 වන දින යළි කැඳවීමට නියම කළේය.

2019 ජනවාරි 14 වැනිදා සිට ජනවාරි 31 වැනිදා දක්වා කාලය අතරතුර, නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නම් පුද්ගලයෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීමත්, සිය හිතවතුන් කිහිපදෙනෙකු නීත්‍යානූකූල නොවන ආකාරයෙන් විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට බලපෑම් කිරීමත් මඟින් “දූෂණය” නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනුකර ඇත.

ආපදා සහන නිලධාරීන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක….

ආපදා සහන කටයුතුවල යෙදී සිටින රාජ්‍ය සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගම් කිහිපයක් හෙට (27) සිට එම කටයුතුවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව, සමස්ත ලංකා ආපදා සහන සේවා වෘත්තීය සංගමය, තාක්ෂණික නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය සහ ග්‍රාම නිලධාරි වෘත්තීය සංගම් එක්ව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයකින් මේ බව සඳහන් කර ඇත.

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ විස්තීර්ණ ආපදා ව්‍යවසනයෙන් දින 93ක් ඉක්ම ගොස් ඇති අතර, එම කාලය පුරා ආපදා සහන සේවා නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් දිවා රෑ නොබලා අඛණ්ඩව සේවය කරමින්, රජය හා පීඩාවට පත් ජනතාව අතර ප්‍රමුඛ සම්බන්ධීකාරකවරුන් ලෙස කටයුතු කර ඇති බව සංගම් පෙන්වා දෙයි.

එමෙන්ම, ආපදා කටයුතුවලට අදාළ වන්දි හා ප්‍රතිපූර්ණ ගෙවීම් සඳහා ඇස්තමේන්තු සකස් කිරීමේදී තාක්ෂණික නිලධාරීන් ක්ෂේත්‍ර මට්ටමින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.

තමන් ඉටුකර ඇති මෙම දැඩි සේවාවට සාපේක්ෂව පවතින ගැටලු සම්බන්ධයෙන් රජය ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් ඒකාබද්ධ වෘත්තිය ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කළ බව සංගම් වැඩිදුරටත් අවධාරණය කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ යෝජනාවක් චාවකච්චේරි නගර සභාවේදී සම්මත වෙයි….

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසටත් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ කෙටුම් පත හකුළා ගන්නා ලෙසටත් වන යෝජනාවක් චාවකච්චේරි නගර සභාවේදී අද (26) සම්මත කරගෙන තිබේ.

ඒ, එහි සභාපති වී. ශ්‍රීප්‍රකාශ් මහතාගේ ප්‍රධානත්වයෙන්  රැස්වූ අවස්ථාවේදීය.

අදාළ යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් උපසභාපතිවරයා ප්‍රකාශ කළේ, මෙම පනත ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ මූලික මිනිස් අයිතිවාසිකම් හකුළා දමන බවය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කෘෘරත්වයට මුහුණ දුන් ප්‍රජාවක් ලෙස මෙම පනත අහෝසි කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කෘෘරත්වයට මුහුණ දුන් ප්‍රජාවක් ලෙස මෙම පනත අහෝසි කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

න්‍යාය පත්‍රයට ඇතුළත් නොකළ යෝජනාවක් සභාවට ඉදිරිපත් කළ නොහැකි බව පවසමින්, ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සිය විරෝධය පළ කළහ.

කෙසේවෙතත් එම බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා හැර සෙසු නියෝජිතයන් අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළහ.

ඒ අනුව අදාළ යෝජනාව අද (26) චාවකච්චේරි නගර සභාවේදී සම්මත කරගන්නා ලදී.

ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලිය කඩිනම් කරන්න – ජනාධිපති ලේකම්…..

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය හිදී පැවැත්වුණි.

ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලියේදී වගකීම් දරන ආයතන අතර ඒකාබද්ධතාවය අත්‍යවශ්‍ය බව මෙහිදී ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන් බව සඳහන් වේ.

එක් එක් ආයතනවලට වෙන වෙනම කාර්යභාර සහ සැලසුම් පැවතියද, ඒවා සම්බන්ධීකරණය කර එක් යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක වීම තුළින් ආපදා කළමනාකරණ හා සහන කටයුතු වඩාත් කාර්යක්ෂම හා සාර්ථකව ඉටු කළ හැකි බව ඔහු අවධාරණය කළේය.

නිවැරදි තොරතුරු හුවමාරු කර ගැනීම සහ විශ්වාසනීය දත්ත පදනම් කරගනිමින් තීරණ ගැනීම තුළින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම කඩිනම් කළ හැකි බවද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ආපදාවට ලක්වූ හා අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම සඳහා සුදුසු ඉඩම් හඳුනාගෙන, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් සිදු කරන පරීක්ෂණ හා නිර්දේශ අනුව කඩිනමින් නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් අවසන් කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය විය.

ආපදාවට පත් ජනතාවට ගෙවනු ලබන වන්දි මුදල් හා වෙනත් දීමනා කඩිනමින් ගෙවා අවසන් කරන ලෙසත්, දීමනා නොලැබූ ජනතාවගේ අභියාචනා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් ජනාධිපති ලේකම්වරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොත්තා, නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් කුමුදුලාල් බෝගහවත්ත, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නාමල් ලියනගේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණානායක සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) සම්පත් කොටුවේගොඩ යන මහත්වරු ඇතුළු රජයේ ආයතන නියෝජිතයින් එක්ව සිටියහ.

ලංවිම වෘත්තීය සමිති වැඩවර්ජනය නීතිවිරෝධී බව VRS සේවක එකමුතුව කියයි…..

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් විසින් දියත් කරන සංකේත වැඩවර්ජනය දැඩි ලෙස හෙළා දකින බව ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය තෝරාගත් සේවක එකමුතුව (VRS) පවසයි.

බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නීතිවිරෝධී බවය.

වෘත්තීය සමිති නායකත්වයෙන් එල්ල වූ තර්ජන මධ්‍යයේ වූව ද සේවකයින්ගෙන් සියයට 25කටත් වඩා අඩු පිරිසක් පමණක් මීට සහභාගීවීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය අසාර්ථක වූ බව ඔවුන් සඳහන් කරයි.

දැනට ක්‍රියාත්මක වන ලංවිම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ හෝ රජයට විරුද්ධ දේශපාලන න්‍යාය පත්‍රයන්ට සහායදීමේ අරමුණින් කරන කිසිදු ක්‍රියාවකට සහභාගී නොවන ලෙසට සිය සාමාජිකයින්ට උපදෙස් දුන් බව ඔවුන් අවධාරණය කරයි.

ලංවිම ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය තෝරාගත් සේවක එකමුතුවේ සේවකයින් කිසිවෙකු මෙම සංකේත වැඩවර්ජනයට සහභාගී නොවූ බවත්, ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කිරීමේ අරමුණින් අනාගතයේදී සිදු කරන එවැනි කිසිදු ක්‍රියාවකට ඔවුන් සහභාගී නොවන බවත් ඔවුන් දැනුම්දෙයි.

මේ අතර මෙම සමිතිවල තර්ජනයට බිය නොවන ලෙසට ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය තෝරාගත් සේවක එකමුතුව විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.

රටේ යහපත උදෙසා “නියමිත දිනය” ගැසට් කිරීම මගින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ අවසන් අදියර කඩිනම් කරන ලෙස ද ඔවුන් බලශක්ති අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියෙහි දැක්වෙයි.

යම් හෙයකින් අදාළ දිනය ගැසට් කිරීම ප්‍රමාද වූවහොත් අනුමත වැටුප් රහිත නිවාඩු ලබාගැනීම අවසර දෙන ලෙස ඔවුන් අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

ඉන්දියාවේදී ඇල්ලූ පොඩි ලැසී හෙට දිවයිනට?

ඉන්දියාවේදී අත්අඩංගුවට පත් වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම, ඝාතන සිද්ධි රැසකට පොලීසියට අවශ්‍යව සිටින ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” හෙට (27) අලුයම මෙරටට රැගෙන ඒමට නියමිතයි.

අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසුව අතුරුදන්ව සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී 2024 වසරේදී ඇප ලබාගෙන ඉන්දියාවට පලාගොස් තිබුණි.

ඇප හිමිවීමෙන් අනතුරුව ඔහු අධිකරණ භූමියෙන් පිටව ගියේ නීතීඥවරයෙකුගේම මෝටර් රථයකින්ය.

අනතුරුව ඔහු ඉන්දියාවේ, මුම්බායිහීදී 2025 වසරේ ජනාවාරි මාසයේදී අත්අඩංගුවට ගැනුණි.

ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ඉන්දියාවට ගොස් ඇති අතර ඔහු හෙට (27) අලුයම දිවයිනට රැගෙන ඒමට නියමිත බව වෙයි.