අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවෙකු සැඟවී සිටි නිවසක හිමිකරු අත්අඩංගුවට…..

අකුරේගොඩදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මොනරාගල ප්‍රදේශයේ සැඟවී සිටි බව කියන වෙඩික්කරුට නවාතැන් ලබා දුන් නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.

අද (26) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

මොනරාගල පොලිසිය විසින් මැදගම, නන්නපුරාව, දිවියාපොල ප්‍රදේශයේ පිහිටි නිවසකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මොනරාගලදී ඊයේ අත්අඩංගුවට ගත් වෙඩික්කරු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කටයුතු කර තිබේ.

ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ඝාතනයට ලක්වූ නීතීඥවරයා සැකකරුගේ නඩු දෙකක් සඳහා පෙනී සිට ඇති බවයි. එබැවින්, අකුරේගොඩට පැමිණි අවස්ථාවේදී සැකකරු අනෙක් වෙඩික්කරුට “බුද්ධික මගේ නඩු දෙකට පෙනී හිටපු නිසා මාව අඳුරනවා” යනුවෙන් පවසා ඇති බවද වාර්තා වේ.

අනතුරුව, වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පසෙක නවතා, නීතීඥවරයා ආසන්නයට පැමිණීමෙන් පසුව වෙඩි තබා ඝාතනය කළ බවද සැකකරු පවසා ඇති බව සඳහන්ය.

තවද, බූස්ස බන්ධනාගාරයෙ හි හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරීම සඳහා “කරන්දෙණියේ සුද්දා” නමැති පුද්ගලයෙකුගේ උපදෙස් මත තමන් වෙඩි තැබූ බවද සැකකරු ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ “ලලා” නමැති තවත් වෙඩික්කරුවෙකු සමඟ ගිය බවත්, ධම්මික මහතාට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කළේ තමන් බවත් ඔහු පවසා ඇත.

එමෙන්ම, දකුණු පළාතේ සිදු වූ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන්ද තමන් සම්බන්ධ වූ බවට සැකකරු හෙළිකර ඇතැයි වාර්තා වේ.

මේ අතර, ප්‍රහාරයට පෙර පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක් වෙත සැකකරු පැමිණෙන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන පෙළක්ද ලැබී ඇත. එම දර්ශනවල දැක්වෙන්නේ, මීට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් “ජානක” නමැති පුද්ගලයා විසින් සැකකරු අදාළ ස්ථානයට රැගෙන එන අයුරුය.

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්…..

2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඉංජිනේරු තාක්ෂණවේදය විෂයයේ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ 2026 මාර්තු 06 දින සිට 2026 මාර්තු 15 දින දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු සලසා ඇති බවයි.

තවද, විෂය අංක 52 – නර්තනය (දේශීය), විෂය අංක 53 – නර්තනය (භාරත), විෂය අංක 54 – සංගීතය (පෙරදිග) සහ විෂය අංක 55 – සංගීතය (කර්ණාටක) යන විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ 2026 මාර්තු 09 දින සිට 2026 මාර්තු 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මීට අමතරව, විෂය අංක 56 – සංගීතය (බටහිර), විෂය අංක 57 – නාට්‍ය හා රංග කලාව (සිංහල), විෂය අංක 58 – නාට්‍ය හා රංග කලාව (දෙමළ) සහ විෂය අංක 59 – නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි) යන විෂයයන් සඳහාද ප්‍රායෝගික පරීක්ෂණ 2026 මාර්තු 09 දින සිට 2026 මාර්තු 16 දින දක්වා පැවැත්වෙන බව සඳහන් වේ.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අයදුම්පතෙහි සඳහන් ලිපිනයට තැපැල් මඟින් යැවීමට කටයුතු කරනු ඇත.

එසේම, ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07කට පෙර සිට දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://onlineexams.gov.lk/onlineapps මඟින්ද ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

දිට්වා නිසා තෙමසක් මුළුල්ලේ කූඩාරම්වලට කොටුවූ ගමක්….

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ආපදාවට හෙට දිනය වනවිට මාස තුනක් සපිරෙන නමුත්, එහි බලපෑමට ලක්වූ බොහෝ පිරිසක් අදටත් දැඩි පීඩාවකට මුහුණ දෙමින් සිටිති.

මෙම පුවත ආපදාවෙන් නිවාස අහිමිව, තෙමසක් මුළුල්ලේම තාවකාලික කූඩාරම්වල ජීවත්වන පවුල් කිහිපයක් පිළිබඳවයි.

දිට්වා සුළි කුණාටුව සමඟ ඇතිවූ නායයෑම් හා ගංවතුර හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රේන්දපොළ, ගහ්ගල ප්‍රදේශවලට දැඩි හානි සිදුවිය. එහිදී හග්ගල වතුයාය ප්‍රදේශයේ පවුල් 23ක් අවතැන් විය.

අවතැන් වූ මෙම පවුල්වල සාමාජිකයන් තාවකාලික කූඩාරම්වල රැඳවීමට නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත්, ආපදාවට මාස තුනක් සපිරෙන මෙම අවස්ථාවේදීත්, එම පවුල්වලට තවමත් ස්ථිර නවාතැන් පහසුකම් හිමි වී නොමැති අතර, ඔවුන්ට තාවකාලික කූඩාරම්වලම දිවි ගෙවීමට සිදුව ඇත.

නුවරඑළියේ වරින්වර වෙනස්වන ශීතල කාලගුණ තත්ත්වයන් මධ්‍යයේ, ජීවත්වීමට අවශ්‍ය අවම පහසුකම් පවා නොමැතිව ඔවුන් පීඩා විඳිමින් සිටින බව සඳහන් වේ.

දවස පුරා වතු කම්කරු සේවයේ නිරත වන මෙම ජනතාවට බීමට පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් සපයා නොමැති අතර, එම අවශ්‍යතා සපුරාලීමට සැතපුම් ගණනක් පයින් ගමන් කිරීමට සිදුව ඇති බවත් ඔවුන් පවසති.

මේ වනවිට ජීවිතය සඳහා දැඩි අරගලයක නිරත මෙම පවුල් රජයෙන් ඉල්ලා සිටින්නේ, ස්ථිර නිවාස ඉදිකර දෙන තෙක් තමන් මෙම කූඩාරම්වලින් ඉවත් කර සුදුසු ස්ථානයක පදිංචි කරවීමට කාරුණික වන ලෙසයි.

පසුගිය වසරේ ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම ගැන හෙළිදරව්වක්….

පසුගිය 2025 වසරේ පොලීසිය සහ හමුදාව එක්ව සිදුකරන ලද වැටලීම් මගින් ආරක්ෂක අංශ භාරයට ගනු ලැබූ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 110ය ඉක්මවන බව  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා පවසයි.

ඔහු පැවසුවේ 2025 වර්ෂයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ආයතන සඳහා වෙන්කර ඇති මුදල වූයේද රුපියල් බිලියන 147ක් වන බවය.

මෙම මත් ජාවාරම් හේතුවෙන් මෙරටට විශාල මුදලක් අහිමි වන බවත් පැවසූ ඒ මහතා මේ හේතුවෙන් මෙරට තරුණ ජීවිත රැසක්ද අකාලයේ රටට අහිමි වන බවද පෙන්වා දුන්නේය.

දඹුල්ලේදී පැවැති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් රවී සෙනෙවිරත්න මහතා පැවසුවේ මත්ද්‍රව්‍ය හේතුවෙන් මෙරට තරුණ හීවිත රැසක් අහිමිවීමේ අවධානමක් සහ විශාල මුදල් ප්‍රමාණයක්ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් අහිමි කරන බවත්ය.

මත්ද්‍රව්‍ය තුළින් මෙරටට විශාල මුදලක් ජවාරම්කරුවන් විසින් අහිමි කරන බවත් පැවසූ ඒ මහතා මත්ද්‍රව්‍ය තුළින් ලබන්නා වූ ආදායම් රටේ සංවර්ධනයට හෝ රටේ ඉදිරි ගමනට දායක නොවන බවද සඳහන් කළේය.

ඒ අනුව රට වෙලා ගත් මෙම බිහිසුණු මත්ද්‍රව්‍ය අනතුරින් සමාජය මෙන්ම දරුවන්ද සුරක්ෂිත කිරීමටද සියලු පාර්ශ්වයන් හී වගකීම බවද පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා,

“අප රට වෙලා ගත් බිහිසුණු අනතුරක් තියෙනවා. ඒ තමයි මත්ද්‍රව්‍ය. 2025 පොලීසිය, හමුදාව අරන් තියෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය, එහි මූල්‍ය වටිනාකම රුපියල් බිලියන 110කට අධිකයි. මම ඒ ගමන්ම ඔබට සඳහන් කරන්නම් 2025 වර්ෂයේ මමත් සේවය කරන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ආයතනවලට අයවැයෙන් වෙන්කරලා තිබෙන මුදල රුපියල් බිලියන 147ක්. ඉතිං ඔබට තේරෙනවා ඇති ඒ හා සමාන මුදලක් මේ මත්ද්‍රව්‍යවලින් අපේ රටට අහිමි වෙනවා. මේ බිලියන 110 මේ රට, මේ රටේ ජනතාව විනාශ කරන්න යොදවනවා මිසක් මේ රටේ සංවර්ධනයට, රටේ ඉදිරි ගමනට දායකවෙන එකක් නෙමෙයි.  ඒ නිසා ඔබේ දරුවා මේ මත්ද්‍රව්‍ය රකුසාගෙන් බේරගන්න”

ජීවිත තර්ජන මැද වෙඩි කෑ ඩිලයිට්….

මාතර – දෙවුන්දරදී අද (21) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම සිදුව ඇත්තේ අදාළ පුද්ගලයාට තිබෙන ජීවිත තර්ජන මැද බවට මේ වන විට අනාවරණය වී තිබේ.

අද පස්වරු 1ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර එම වෙඩි ප්‍රහාරයෙන් 55 හැවිරිදි සිරිල් හෙන්දවිතාරණ නොහොත් “ඩිලයිට්” නමින් හැඳින්වෙන මාළු ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්විය.

පොලීසිය පැවසුවේ මෙම වෙඩි තැබීම මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින් සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බවය.

ඔහුට අයත් හෝටලයකට 2023 වසරේදීද වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහිදී ඔහුට කිසිදු හානියක් සිදුව නොමැත.

එවැනි වාතාවරණයක් මත ඔහු විසින් වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා වූ ජාතික අධිකාරියට සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිස් සංචාරක අත්පොතක්ද තබා ඇති බව පොලීසිය සඳහන් කළේය.

පොලීසිය විසින් අදාළ පුද්ගලයාට ආරක්ෂිතව සිටින ලෙස දැනුම් දුන්නද ඔහු ඒ පිළිබඳව වැඩි තැකීමක් නොකර ප්‍රදේශයේ විවිධ ස්ථාන වෙත ගමන් කර තිබේ.

අද දිනයේද ඔහු ගන්දර සිට දෙවුන්දර දක්වා ගමන් කිරීමේදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම සම්බන්ධව චෝදනා පවතින බවද පොලීසිය සඳහන් කළේය.

පොලීසිය පැවසුවේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සහෝදරයාද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව පොලීසියට අවශව සිටින අයෙකු බවය.

මෙම පුද්ගලයාව ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ මෝටර් රථයකින් වන අතර ඔවුන් මොහු ඝාතනය කර පළා ගොස් තිබුණි.

ඒ අනුව පොලිස් කණ්ඩායම් 6ක් අනියුක්ත කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක්ද ආරම්භ කරනු ලැබීය.

එවැනි වාතාවරණයක් තුළ ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි බව පැවසෙන මෝටර් රථයය මාතර අමලගොඩ ප්‍රදේශයේදී දමා ගොස් තිබියදී පොලීසිය අද පස්වරුවේ සොයාගනු ලැබීය.

අද ඝාතනයට ලක්වූ සිරිල් හෙන්දවිතාරණ හෙවත් “ඩිලයිට්” නැමැත්තා විසින් මින් වසර 20කට පමණ පෙර ඇල්ලකන්ද ආරණ්‍ය සේනාසනය පිහිටි කැලෑබද ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ දෙවුන්දර තමිල් නැමැත්තාගේ සමීපතමයෙකු වන ජුංගයියා ලාල් නම් අයෙකු ඝාතනය කර තිබුණි.

එම ඝාතනයත් සමග දෙවුන්දර තමිල් නැමැත්තා විසින් ඩිලයිට් නැමැත්තාගේ පාර්ශ්වයේ පිරිසක් ඉලක්ක කරමින් ඔවුන් ගමන් ගත් වෑන් රථයකට වෙඩි තබා ඇති අතර ඉන් පුද්ගලයින් 05 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්විය.

කෙසේ නමුත් එම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් 5 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ට අදාළ චෝදනා සම්බන්ධව මරණීය දණ්ඩනයද හිමිව තිබූණද ඔවුන් සිදුකල අභියාචනයයේදී ඔවුන් නිදහස් වී තිබුණි.

මෙවැනි වාතාවරණයක් තුළ ඩිලයිට් නැමැත්තා දෙහිගෙදර බාලේ නම් සංවිධානාත්මක අපරාධකරු සමගද සමීප සබඳතාවයක් පවත්වාගෙන ඇතැයිද විමර්ශණවලදී අනාවරණය වී තිබේ.

නමුත් පසුකාලීනව දෙහිගෙදර බාලේ මල්ලි විසින් සිදුකරන හෙරොයින් ජාවාරමෙන්  ප්‍රමාණයක් ඩිලයිට් නැමැත්තා විසින් සොරකම් කර ඇති බවටද චෝදනා එල්ල වී ඇති බවත් අනාවරණය වී ඇත.

එමෙන්ම මෙම පුද්ගලයා විසින් දෙහිගෙදර බාලේ මල්ලිගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වන උනාකූරුවේ ශාන්ත නම් පුද්ගලයා සමගද සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ අනුව දෙපාර්ශ්වයේ තොරතුරු දෙපාර්ශ්වයටම ලබා දීම මත මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලීසිය මේ වන විට සැක පළ කර තිබේ.

මේ අතර ගන්දර ප්‍රදේශයේදී මෙම ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාට අමතරව තවත් පුද්ගලයින් 16 දෙනෙකුට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.

ඒ ඔවුන්ට එල්ල වී ඇති ජීවිත තර්ජන හේතුවෙන් ලද පැමිණිලි අනුවය.

ඒ අනුව අදාළ පුද්ගලයින් වෙත පොලීසිය විසින් සිය ආරක්ෂාව ලබා දී ඇති බවද වාර්තා වේ.

අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට – තද වැසි ක්‍රමයෙන් අඩුවෙයි….

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව හෙට (23) දිනයේ කාලගුණ තත්ත්වය ගැන අද (22) ප.ව. 2ට නිවේදනයක් නිකුත්කරමින් මේ බව පැවසීය.

කෙසේ නමුත් හෙට දිනයේත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ.

එමෙන්ම කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකිය.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට ප.ව. 2න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

මේ අතර මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට….

ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් අද (22) දින දිවයිනට පැමිණ තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ, එමඟින් ගෘහස්ත ගෑස් සිලින්ඩර 300,000 නිකුත් කිරීමට නියමිත බවය.

එමෙන්ම ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් සහ 3700ක් රැගත් නෞකා දෙකක් ලබන 24 සහ 28 යන දිනයන්හිදී මෙරටට ළඟාවීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් අදත් (22) දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟයක් පැවති බවට තොරතුරු වාර්තා විය.

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවට පාරිභෝගිකයින්ගෙන් තොරතුරු ලැබුණු අතර ඇතැම් ස්ථානවල ගෑස් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබිණි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය ක‍ළේ අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග පවත්වා ගැනීම සඳහා නව ඇණවුම් සිදුකර ඇති අතර පෙබරවාරි මාසය අවසන්වීමට පෙර ගෑස් නෞකා තුනක් පැමිණීමට නියමිතව ඇති බවය.

මාර්තු මස 12 වැනිදා සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි ප්‍රමාණයක් වෙළඳවෙළෙපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගියදා කියාසිටියේය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන වෙළෙදුන් පවසන්නේ ගෑස් පැමිණෙන නිශ්චිත දිනයක් සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගම තමන්ව දැනුවත් කර නොමැති බවය.

අරණායක තවත් බිහිසුණු අවදානමක් – කාපට් මාර්ගය දෙකට කැඩෙයි….

ඊයේ (21) ඇති වූ වැසි තත්ත්වය සමඟ දිට්වා සුළි කුණාටුවෙන් නායයෑමට ලක්වූ අරණායක ප්‍රදේශය යළි නාය අවදානමක් මතුව තිබේ.

ඒ අනුව අරණායක අම්බලකන්ද, දෝතල්ඔය, ගංතුන යන ප්‍රදේශවලට අවදානම් තත්ත්වයක් මතුව ඇත.

අරණායක නගරයේ සිට දෝතල්ඔය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ කාපට් අතුරණය, අම්බලකන්ද ප්‍රදේශයේ දී ඊයේ දිනයේ දී දෙකට මැදින් ඉතා භයානක ලෙස පුපුරා ගිලා බැසීමකට ලක්ව ඇති අයුරු අද දෙරණ කැමරාවේ මෙලෙස සටහන් වුණි.

ජනතාව පවසන්නේ, පසුගිය දිනවල නාය යෑමට ලක්වුණු මෙම ස්ථානයෙහි පැවති ප්‍රධාන ඇළ මාර්ගයේ බෝක්කුව නිසි ලෙස පිළිසකර නොකිරීම හේතුවෙන් ප්‍රධාන මාර්ගය ඔස්සේ ජලය ගලා ගෙන ගොස් මෙම තත්ත්වය ඇතිව තිබෙන බවය.

මේ හේතුවෙන් දෝතල්ඔය ගම්මානයට වාහනවලින් පිවිසීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති අතර, විකල්ප මාර්ගයක්වන පුවක්වත්ත මාර්ගය ද පස්කඳු කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබේ.

කෙසේවෙතත් අරණායක ප්‍රදේශයේ දිට්වා සුළි කුණාව හේතුවෙන් සිදුවු බිහිසුණු නායයෑමෙන් ජීවිත 13ක් අහිමි වූ අතර, නිවාස 100කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම හානි වී අධි අවදානම් තත්ත්වයට තවත් නිවාස 500ක් පමණ පත්ව තිබුණි.

2026 ලොව වඩාත්ම දැරියහැකි විශ්‍රාමික ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ…..

2026 වසර සඳහා වන ‘International Living’ වාර්ෂික ගෝලීය විශ්‍රාම දර්ශකයට (Annual Global Retirement Index) අනුව, විදේශිකයන් සඳහා විශ්‍රාමික දිවිය ගතකිරීමට ලොව වඩාත්ම දැරියහැකි (Most Affordable) ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තේරී පත්වී ඇත.

ජීවන වියදම, සෞඛ්‍ය පහසුකම්, දේශගුණය සහ පදිංචිය සඳහා ඇති විකල්ප යන නිර්ණායක පදනම් කර ගනිමින් ‘International Living’ සඟරාව විසින් 35 වැනි වරටත් නිකුත් කරන ලද මෙම දර්ශකයට අනුව ග්‍රීසිය ලොව හොඳම විශ්‍රාමික ගමනාන්තය ලෙස ප්‍රථම ස්ථානය දිනාගෙන තිබේ.

ග්‍රීසිය සමස්ත දර්ශකයේ පෙරමුණ ගත්තද, අවම වියදමකින් උසස් ජීවන රටාවක් ගත කළ හැකි රටවල් අතර ප්‍රමුඛයා බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි.

පුත්තලමේ ත්‍රීරෝද රථ රියදුරා ඝාතනය කර රථය පැහැරගෙන….

කුලී ගමනක් යන මුවාවෙන් කැඳවා ගෙන ගොස් රියදුරු ඝාතනය කර ත්‍රීරෝද රථයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පුත්තලම පොලීසිය ආරම්භ කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම – තිල්අඩිය, අල්කාසිම් ගම්මානයේ  පදිංචිව සිටි 72 හැවිරිදි පස්දරු පියෙක් බව පොලීසිය සඳහන් කරයි.

පසුගිය 21 වෙනිදා රාත්‍රීයේ මිය ගිය පුද්ගලයාගේ  නිවසට පැමිණ ඇති අයෙකු කුලී ගමනක් යාම සඳහායැයි පවසා ඔහුව කැදවා ගෙන ගොස් ඇත.

22 වෙනිදා අළුයම පුත්තලම – අඩපනාවිල්ලුව ප්‍රාදේශයේ කාණුවක තිබී මිය ගොස් ඇති අයෙකුගේ සිරුරක් ප්‍රදේශවාසියෙකු විසින් දැක ඒ බව පොලීසියට දැනුම්දීමට කටයුතු කර තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ පෙර දින කුලී ගමනක් යාම සඳහා ගිය ත්‍රීරෝද රථයේ හිමිකරු බවට ඔහුගේ ඥාතීන් හඳුනාගෙන ඇත.

සොරාගන්නා ලද බව කියන ත්‍රීරෝද රථය මේ දක්වා හමුවී නොමැති අතර ඝාතනයට ලක්වු අයගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පුත්තලම පොලීසිය විසින් ක්‍රියාත්මකවේ.