හිටපු ඇමති සරණට එරෙහි නඩු 04ක තීන්දුව අප්‍රේල් මස 30 වනදා…..

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ එම ආයතනයට කුලී පදනම මත වාහන මිලදී ගැනීමේදී රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩු හතරක තීන්දුව අප්‍රේල් මස 30 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළේය.

මෙම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී නඩූවේ පාර්ශවකරුවන් විසින් වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් විය.

ඉන් අනතුරුව මෙම නඩු හතරේ තීන්දුව අප්‍රේල් මස 30 වනදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරුවරයා නියෝග කළේය.

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි  චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩු ගොනු කර තිබුණි.

තානාපති කාර්යාල හා විදෙස් ජාතිකයින්ගේ ආරක්ෂාවට අඛණ්ඩ වැඩපිළිවෙලක්….

ශ්‍රී ලංකාවේ පිහිටි තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාලවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

එම ආරක්ෂක වැඩපිළිවෙළ නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

ගෝලීය වශයෙන් උද්ගත වී ඇති අර්බුධකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙරට ආරක්ෂාව හා සාමය පවත්වාගෙන යාමට බාධා විය හැකි සිදුවීම් වැළැක්වීමේ අරමුණින් පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත මෙම උපදෙස් නිකුත් කර ඇත.

ඒ අනුව, තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල, එම නිල නිවාස හා අදාළ අනෙකුත් ස්ථානවල ආරක්ෂාව තරකරමින් විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී තිබේ.

එමෙන්ම, මෙරට සංචාරයේ නියුතු හා රැඳී සිටින විදෙස් ජාතිකයින්ගේ ජීවිත හා දේපළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාද පැය 24ම ආවරණය වන පරිදි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබාදී ඇත.

ඔවුන් රැඳී සිටින වාසස්ථාන, ව්‍යාපාරික ස්ථාන, සංචාරක ගමනාන්ත, නේවාසික ගොඩනැගිලි සහ ආගමික මධ්‍යස්ථානවල ආරක්ෂාව ද මේ යටතේ තහවුරු කෙරේ.

අවශ්‍යතාවය මත මෙම ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සහාය ලබාගැනීමටද උපදෙස් ලබාදී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

රිමාන්ඩ් කළ අයෙකුට ඇප ලබා ගන්න සහාය දීමට අල්ලස් ගත් අයෙකුත් රිමාන්ඩ්….

නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින සැකකරුවකුට ඇප ලබාදීමට අවශ්‍ය ආධාර කිරීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින්ගෙන් රුපියල් ලක්ෂ 50 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව අදාළ සැකකරු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා අද (03) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් නොමැති බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

2021 වසරේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පුද්ගලයෙකුට ඇප ලබා ගැනීම සඳහා ආධාර උපකාර කිරීමට බව සඳහන් කරමින් එම අදාළ සැකකරුගේ පවුලේ සාමාජිකයින්ගෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ජපන් රැකියා දෙන බව පවසා වංචනිකව පවත්වාගෙන ගිය රැකියා ඒජන්සියක් වටලයි….

ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යමින් ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, හෝටල් ක්ෂේත්‍රයේ හා රියදුරු රැකියා සඳහා පුද්ගලයින් යොමුකිරීමට කටයුතු කළ කුරුණෑගල, මහව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වංචනික විදේශ රැකියා ආයතනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් වටලා තිබේ.

ජපානයේ රැකියාවක් ලබාදීම සඳහා මෙම ආයතනයේ හිමිකරු විසින් රු.750,000.00 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශයට ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය මෙහෙයවන ලදී. විමර්ශන නිලධාරීන් විසින් උපායදූතයෙකු යොදා ගනිමින් මේ රැකියා ජාවාරම පිළිබඳව කරුණු සොයාබැලූ අතර, එහිදී ජපන් භාෂාව පුහුණු කරන මුවාවෙන් මෙම ආයතනය පවත්වාගෙන යන බවත්, සුදුසුකම් නොමැති පුද්ගලයින්ට විශ්ව විද්‍යාල උපාධි සහතික හා අනෙකුත් අවශ්‍ය සහතික කූට ලෙස සකස් කරන බවත් අනාවරණය විය.

ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් විසින් කුරුණෑගල, මහව, දළදාගම හන්දියේ පවත්වාගෙන ගිය අදාළ ස්ථානය වැටලීම් කර එය පවත්වාගෙන ගිය අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ස්ථානය පරික්ෂා කිරීමේදී එහි තිබී ජපානයේ රැකියා ලබාදෙන බවට වූ ගිවිසුම්, මුදල් ලබාදීමේ කුවිතාන්සි, ප්‍රචාරක පත්‍රිකා, ජංගම දුරකථන හා ලැප්ටොප් පරිගණක නිලධාරීන් භාරයට ගෙන ඇත.

ලැප්ටොප් පරිගණකය පරික්ෂා කිරීමේදී විවිධ පුද්ගලයින්ගේ නම්වලට ව්‍යාජ ලෙස සකස් කරන ලද ලංකාවේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලවල සහතික, ප්‍රසිද්ධ ඉදිකිරීම් ආයතනවල සේවා සහතිකවලට සමානව සකස් කරන ලද ව්‍යාජ සේවා සහතිකවල ආකෘති හමුවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර යුවළ මහව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීම හේතුවෙන් දැඩි ඇප කොන්දේසි මත නිදහස් කරන ලද අතර, එම යුවළට අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක්ද පනවා ඇත.

මෙම වැටලීම මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ අධික්ෂණය යටතේ, කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.බී.ආරියසිංහ, පොලිස් පරීක්ෂක ටී.බී. ද අල්විස්, නීති ක්‍රියාත්මක කිරිමේ නිළධාරී ශ්‍රිනිකා කරුණාරත්න යන නිලධාරීන් සහභාගී විය.

විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹෙයි…..

“රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන ” විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” අද ( 01) සිට ආරම්භ වීමට නියමිතය.

අදින් ඇරඹෙන සතිය “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ” ලෙස ප්‍රකාශයට පත්කිරීමට විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීම සඳහා වන “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව තීරණය කරන ලද අතර, මීට අදාළ අංක 07 / 2026 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මේ වන විට නිකුත් කර ඇත.

මෙහිදී, විෂ මත්ද්‍රව්‍ය අලෙවිය පාලනය කර මර්දනය කිරීමත් විෂ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් ඉන් මුදා ගෙන පුනරුත්ථාපනයට යොමු කිරීමත් යන මූලික අරමුණු දෙක ඉටු කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ජනතා දැනුවත් භාවය හා දියුණු සමාජ කතිකාවතක් ඇති කිරීම වෙනුවෙන් මෙම සතිය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, මෙම සතිය තුළ රාජ්‍ය ආයතන, පාසල් හා බිම් මට්ටමින් පුළුල් දැනුවත් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය අතර රජයේ අමාත්‍යාංශ ඇතුළු සියලු අනුබද්ධ ආයතනයන්හි නිලධාරීන්ගේ දායකත්වයෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

පාසල් ගුරුවරු හා සිසු දරුවන් මෙන්ම පොදු මහජනතාව දැනුවත් කිරීම සඳහා විවිධාංගීකරණය කරන ලද නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර එමෙන්ම, පොදු ප්‍රවාහනයේ නියුතු බස් රථ, ත්‍රිරෝද රථ හා පාසැල් ප්‍රවාහන රථ මූලික කර ගෙන විවිධ ප්‍රචාරක ක්‍රියාකාරකම් සිදු කිරීමට ද නියමිතය.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටු දැකීම වෙනුවෙන් අදාළ රාජ්‍ය ආයතන ඔස්සේ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ඇතුළු සෙසු මැදිහත්වීම් නොපිරිහෙළා ක්‍රියාත්මක කරන අතරම, මෙම ජාතික මෙහෙයුම සාර්ථක කරගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් වන පුළුල් සමාජ දැනුවත්භාවයක් ඇති කිරීමට මෙම සියලු වැඩසටහන් තුළින් අපේක්ෂා කෙරේ.

අවලංගු වූ ශ්‍රීලංකන් ගුවන් ගමන් ගැන දැනුම්දීමක්….

මැදපෙරදිග කලාපයේ පවතින ගුවන් සීමාවන් අඛණ්ඩව වසා තැබීම හේතුවෙන් සියලු අද (01) දිනට අදාළ ගුවන් ගමන් අවලංගු කළ බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි.

ඒ අනුව UL231 කොළඹ – ඩුබායි, UL232 ඩුබායි – කොළඹ, UL225 කොළඹ – ඩුබායි, UL226 ඩුබායි – කොළඹ, UL217 කොළඹ – දෝහා, UL218 දෝහා – කොළඹ, UL253 කොළඹ – දම්මාම්, UL254 දම්මාම් – කොළඹ, UL265 කොළඹ – රියාද්, UL266 රියාද් – කොළඹ, UL229 කොළඹ – කුවේට් සහ UL230 කුවේට් – කොළඹ යන ගුවන් ගමන් අවලංගු කර තිබේ.

මේ අතර මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ මෙරටින් පිටත් වන සහ මෙරටට පැමිණෙන ගුවන් ගමන් 54 අවලංගු කර තිබේ.

ඒ අනුව මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් 28ක් අවලංගු කර ඇත.

මෙරටින් පිටත්ව යාමට සැලැසුම් කර තිබූ ගමන් වාර 26ක් අවලංගු කිරීමට කටයුතු කළ බව ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නැහැ – එරට ශ්‍රී ලංකා තානාපති….

මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වයෙන් ඊශ්‍රායලයේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

මාර්තු මස දෙවෙනිදා දක්වා ඊශ්‍රායලය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

“ඊයේ උදෑසන තමයි ඉරානයේ තෝරගත්ත ස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළේ. ඒ අනුව උදෑසන 8.30ට වික්ටෝරියන් ගුවන්තොටුපළ වසා දැමුවා. ආගමන හා විගමන කටයුතු සඳහා. සියලුම මගීන් ගුවන්තොටුපළෙන් ඉවත් වුණා. ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිත සිටි බොහෝ දෙනෙකුට නැවත ඊශ්‍රායලයේ තමන්ගේ වාසස්ථාන වෙත පැමිණීමට සිදුවුණා. ඒ වගේම කොළඹ සිට ඊශ්‍රායලය වෙත පැමිණීමට බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙක් සිටිනවා.  ගුවන් ගමන් නැවත ආරම්භ කරන තෙක් ඔවුන්ට ශ්‍රී ලංකාවේ රැඳිසිටීමට සිදුවෙනවා. 

ඊශ්‍රායලයේ දින තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මාර්තු මාසේ දෙවැනිදා හවස වෙනකම්. ඒ කාලය තුළ පාසල් ඇතුළු පොදු ස්ථාන විවෘත කිරීමක් සිදු කරන්නේ නැහැ. සාමාන්‍ය අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වෙනවා. ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට කිසිදු අනතුරක් සිදුව නැහැ. මේ තත්ත්වය තවත් දිනක් හෝ දෙකක් පවතින්න පුළුවන්. අද උදෑසන මේ කලාපයට අවසන් මිසයිල ප්‍රහාරය එල්ල වුණේ. ඉරානයේ පවතින තත්ත්වයත් එක්ක මිසයිල ප්‍රහාර අඩු වෙන්න ඉඩ තියෙනවා.”

අඛණ්ඩව ඉන්ධන බෙදාහරින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි…..

අඛණ්ඩව ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, හෙට (02) දිනයේදීත් සුපුරුදු පරිදි ඉන්ධන බෙදාහැරීම සිදු කරන බවය.

අද (01) නිවාඩු දිනයක් වූවත් සේවකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉන්ධන බෙදාහැරීමට කටයුතු කළ බව ද සභාපතිවරයා කීය.

ඒ අනුව අද පස්වරු 5.00 වනවිට ඩීසල් ලීටර් 1,332,311ක් ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර් 2,019,600ක් ද බෙදා හැර ඇති බව ඩී.ජේ රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම නිවාසවල ඉන්ධන තොග රැස්කර තබාගැනීම නීතිවිරෝධී ක්‍රියාවක් බව හෙතෙම පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලීසියෙන් ඉල්ලා ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සිදු වූ දා දෙමටගොඩ නිවසින් අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ සම්බන්ධයෙන් දුන් නියෝගය….

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සිදු වූ අවස්ථාවේ බෝම්බ ප්‍රහාරයක් සිදු වූ දෙමටගොඩ මහවිල ගාඩ්න්ස්හි නිවසේ පදිංචිව සිටි දෙවන සැකකාර ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන අයගේ නිවසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ මැණික් ඇතුළු දේපළ ඔහුගේ සහෝදරයා වන ඉෆ්ලාල් අහමඩ් යන අයට සතියක් ඇතුළත මුදා හරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

පූර්වගාමී මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය සිදුකර ඇත්තේ විරෝධතා ගොනු කිරීමට සාධාරණ කාලයක් ලබාදීමෙන් අනතුරුව බව කී මහෙස්ත්‍රාත්වරයා එසේ නොකරන්නේ නම් අධිකරණයට අගෞරව කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නෛතික පියවර ගන්නා බවද කීවේය.

පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයකට බෝම්බ ප්‍රහාරයක් සිදුකරමින් මියගිය ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ්, දෙමටගොඩ නිවසේ පිපිරී ගිය බෝම්බයෙන් මියගිය ඉන්ෂාෆ් අහමඩ් දෙදෙනගේ සොහොයුරු සහ දෙමටගොඩ නිවසේ පිපුරුණු බෝම්බයෙන් මියගිය ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ වන ජිෆ්රි ෆාතිමා යන අයගේ මස්සිනා වන ඉෆ්ලාල් අහමඩ් යන අය එම භාණ්ඩ තමන්ට අයත් බවත් එම භාණ්ඩ මුදා හරින ලෙසත් නීතිඥවරයෙකු මාර්ගයෙන් සිදු කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් නියෝගය සිදු කරමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.

පූර්වගාමී මහෙස්ත්‍රාත්වරයෙක් සිදුකළ නියෝගයක් සම්බන්ධයෙන් තවත් විනිසුරුවරියක් වාර්තාවක් කැඳවන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් සිදු කර ඇතත් එම නියෝගයත් නොසලකා හැර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව  කී මහෙස්ත්‍රාත්වරයා සතියක් තුළ එකී භාණ්ඩ මුදා හරින ලෙසට නියෝග කර සිටියේය.

“මෙම නියෝගය සිදු කිරිමට පෙර පූර්වගාමී මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විරෝධතා දැක්වීමට සාධාරණ කාලයක් ලබා දී තිබෙනවා. එහිදී කිසිදු කරුණක් දක්වා නැහැ. පූර්වාගාමී මහෙස්ත්‍රාත්වරයා සිදුකර ඇති නියෝගය සම්බන්ධයෙන් ඉන් පසුව මෙම අධිකරණයේ කටයුතු කළ පූර්වාගාමී මහෙස්ත්‍රාත්වරයා හමුවේ එම භාණ්ඩවලට අයිතිවාසිකම් කියමින් එමත්, එම පාර්ශවය සිදුකළ ඉල්ලීමක් සලකා බලා වාර්තාවක් කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග නිකුත් කර තිබියදී එම නියෝග නොසලකා හැර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව අදින් සතියක් තුළ මෙම භාණ්ඩ ඉල්ලීම්කාර පාර්ශවයට මුදා හැරීමට කටයුතු කළ යුතුයි. අධීකරණ නියෝග පැහැර හැරීම, මග හැරීම මත අධිකරණයට අපහාසයක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව පියවර ගන්නවා” යැයි සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.

එම භාණ්ඩ මේ වනවිට මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වමින් ඒ සඳහා සාධාරණ කාලයක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදි මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම භාණ්ඩ සතියක් තුළ මුදා හැරිය යුතු බවය. මෙය බරපතළ අනතුරුදායක් තත්තවයක්. අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම අපරාධ නීතිය යටතේ බරපතළ වරදක්, යැයි කී මහෙස්ත්‍රාත්වරයා අධිකරණ නියෝග ප්‍රකාරව කටයුතු නොකළහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට සිදු වන බවද අවධාරණය කර තිබේ.

එසේම අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකර නිතිපතිවරයාගේ උපදෙස් පැතීම වැරදි ක්‍රිායවක් යැයිද අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරයා නීතිපති උපදෙස් සඳහා නඩුව ලබන ජුනි මස 17 කැඳවන ලෙස නියෝග කළේය.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් කොළඹ ෂැංග්‍රිලා හෝටලයට සිදු කරමින් මියගිය තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නොහොත් මොහොමඩ් අබු උබෙයිදා නොහොත්  මොහොමඩ් සහරාන්  ඔහුගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර මෙහි ඇතැම් සැකකරුවන්ට අධි චෝදනා ගොනු කර ඇති අතර ඇතැම් සැකකරුවන් නිදහස් කර ඇත.

ඒ. එච්. එම්. රිෆාස් සහ මොහොමඩ් නිලාම් යන අය ඇප මත මුදා හැර ඇති අතර නඩුව විවෘතව කැඳවූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

රටම කතාවෙන සුරේෂ් සලේව අත්අඩංගුවට ගත් හැටි……

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව ඔහුව පැය 72ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කළේය.

2019 වසරේ අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදිනයේ සහරාන් හෂීම් ප්‍රමුඛ ම්ලේච්ඡ අන්තවාදීන් කණ්ඩායමක් දිවයිනේ ස්ථාන 08කදී සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර 10කදී පුද්ගලයින් 273ක් ජීවිතක්ෂයට පත්විය.

අනතුරුව අදාළ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන ඇරඹි අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් සහ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ඔස්සේද විමර්ශන සිදු කෙරුණි.

එකී සියලු විමර්ශනවලින් අනාවරණය වූ කරුණු මත ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ කණ්ඩායම් සමග සෘජුව සම්බන්ධතා පවත්වා තිබූ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

ඊට අදාළ නඩුව මේ වනවිට දිනපතා විභාග කෙරෙමින් පවතී.

මෙවැනි පසුබිමක පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක් ඇතැයි දිගින් දිගටම ඇතැම් පාර්ශ්ව චෝදනා කළේය.

ඒ අතරවාරයේ හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ තවුහිද් ජමාත් සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති හමුවකදී රාජපක්ෂවරුන් යළි බලයට ගෙනඒම සඳහා රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇතිකිරීමට යෝජනා වූ බවට බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ වාර්තාමය වැඩසටහනකින් චෝදනා එල්ල කෙරුණි.

ඒ කලක් පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ මේ වනවිට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතන අසාද් මව්ලානා සිදුකළ ප්‍රකාශයකින්ය.

ඒ අනුව පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ රහසිගත විමර්ශනයක් පිළිබඳ පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර වාර්තා මගින් කරුණු දක්වා තිබුණි.

එවැනි පසුබිමක හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ මහතාව අද පෙ.ව. 8.10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට පත්විය.

සලේ මහතා පෑලියගොඩ පිහිටි පෞද්ගලික ආයතනයක සේවය සඳහා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

අනතුරුව ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එමෙන්ම ඔහු භාවිත කරන පරිගණක, ඔහුගේ නිවස, බැංකු ගිණුම් හා ඊමේල් පණිවිඩ පරීක්ෂා කිරීමට නියමිත බවය වාර්තා වේ.

සුරේෂ් සලේ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් තොරතුරු දැන සිට, ඒ පිළිබඳව අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කර නොමැතිද යන්න පිළිබඳව විමර්ශකයින්ගේ අවධානය යොමු වී ඇති බවද සඳහන්ය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් ප්‍රබල චරිත කිහිපයක් සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.