ශ්‍රී ලංකා රග්බි – කාගේ අතටද මේ ක්‍රීඩාව ගිහින් තියෙන්නේ?

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව අද වන විට බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් පවතින බව ක්‍රීඩා ලෝලීන්ට රහසක් නොවේ. රටේ රග්බි ක්‍රීඩාව සංවර්ධනය කිරීම වෙනුවට, සංගමයේ ඇතැම් තීරණ පෞද්ගලික වාසි සහ සමාජශාලා බලය වටා ගමන් කරන බවට දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

සංගමයේ සභාපති ලෙස කටයුතු කරන පවිත්‍ර ප්‍රනාන්දු මහතා විසින් ගනු ලබන ඇතැම් තීරණ ක්‍රීඩාවේ සමස්ත සංවර්ධනයට වඩා, සමාජ කණ්ඩායම් කිහිපයකට පමණක් වාසිදායක වන බවට ක්‍රීඩා ලෝකයේ බොහෝ දෙනා අදහස් පළ කරති.

විනිසුරුවන්ගේ කටයුතු, තරඟ සංවිධානය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද බරපතල ප්‍රශ්න මතුවී තිබේ. රටේ ගම් මට්ටමේ සිට පළාත් මට්ටම දක්වා රග්බි ක්‍රීඩාව සංවර්ධනය කිරීම වෙනුවට, ජාත්‍යන්තරයේ පෞද්ගලික බලය හා තනතුරු සඳහා වැඩි අවධානය යොමු කර ඇති බවටද විවේචන පවතී.

විශේෂයෙන් කාන්තා රග්බි ක්‍රීඩාව සහ බී කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සංවර්ධනය අද වන විට සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව බොහෝ දෙනා පෙන්වා දෙති. එය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අනාගතයට බරපතල අනතුරකි.

මේ අතර, මේ සතියේ පැවැත්වීමට නියමිත අන්තර් ක්‍රීඩා සමාජීය සත් සාමාජික රග්බි තරඟාවලිය සම්බන්ධයෙන්ද විවිධ සැක සහ ප්‍රශ්න මතුව තිබේ.

විදේශීය ක්‍රීඩකයන් ගෙන්වා ක්‍රීඩා කිරීම රග්බි ඉතිහාසයේ අලුත් දෙයක් නොවුවද, එය සාධාරණ හා පැහැදිලි ක්‍රමවේදයකට අනුව සිදුවිය යුතුය. නමුත් මෙම තරඟාවලියේදී අනෙකුත් කණ්ඩායම්වලට එම අවස්ථාව නොලැබී, එක් කණ්ඩායමකට පමණක් විදේශීය ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩා කිරීමට අවසර ලබාදීම පිළිබඳව බරපතල ප්‍රශ්න මතුවී ඇත.

එමෙන්ම එක්සත් අරාබි එමීර රාජ්‍යයෙන් පැමිණෙන UUDS කණ්ඩායම මෙම තරඟාවලියට සහභාගී වීම සහ ඔවුන් සමඟ විදේශීය ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ක්‍රීඩා කිරීම පිළිබඳවද ක්‍රීඩා ලෝලීන් අතර දැඩි සැකයන් පවතී.

අනිත් සියලු කණ්ඩායම්වලට විදේශීය ක්‍රීඩකයන් ඇතුළත් කිරීමට නොහැකි බව පවසන අතර, එක් කණ්ඩායමකට පමණක් එම අවස්ථාව ලබා දීමේ සාධාරණත්වය කුමක්ද?

ශ්‍රී ලංකා අන්තර් ක්‍රීඩා සමාජීය තරඟාවලියට විදේශීය කණ්ඩායමක් සහභාගී වීම සඳහා නීතිමය සහ පාලනමය පදනම කුමක්ද?

මෙවැනි තීරණ හේතුවෙන් අද වන විට ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව තව තවත් පසුබැසෙමින් පවතින බව බොහෝ දෙනා පවසති.

ගරු ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය මේ සම්බන්ධයෙන් කඩිනමින් යොමු විය යුතු කාලය මේයයි.

රග්බි ක්‍රීඩාව පුද්ගලයන්ගේ හෝ කණ්ඩායම් කිහිපයකගේ අයිතියක් නොවේ.

එය රටේ සියලු ක්‍රීඩකයින්ගේ, ක්‍රීඩා සමාජයන්ගේ සහ ක්‍රීඩා ලෝලීන්ගේ ක්‍රීඩාවකි.

එබැවින්, ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පාරදෘශ්‍යතාව, සාධාරණත්වය සහ ක්‍රීඩාවේ සැබෑ සංවර්ධනය සඳහා නිසි පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

එමෙන්ම මෙම තරඟාවලිය සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජ කිහිපයක් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවටද තොරතුරු වාර්තා වෙමින් පවතී.

SLR-–-Tournament-Committee-Meeting-Minutes-5-March-2026-2

පාස්කු මහමොළකරුවන් රටට හෙළි කරන්න ගම්මන්පිල දින දෙයි….

ආණ්ඩුව හෙළි නොකරන පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවා කවුරුන්ද යන්න පිළිබඳව මාර්තු මස 31 වනදා රටට හෙළිකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගමන්පිල මහතා පවසයි.

අද (16) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වසර එකහාමාරක පමණ කාලයක් පුරා පර්යේෂණයක් සිදු කර ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයායාම’ නමින් පර්යේෂණ ග්‍රන්ථයක් සකස් කළ බවත් එය එළැඹෙන මාර්තු මස 31 වනදා සවස 3.30ට සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී එළි දැක්වීමට බලාපොරොත්තු වන බවත්  උදය ගමන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගමන්පිල මහතා,

”පාස්කු ප්‍රහාරය වසර 7ක් සිට විකුණුවා.. ආණ්ඩු හැදුවා ආණ්ඩු පෙරලුවා කිසිම පදනමක් නැතුව රණවිරුවන්ට හිංසා පීඩා කරන්න පාස්කු ප්‍රහාරය යොදා ගත්තා.. දැන් මේ ප්‍රෝඩාවට තිත තියන්න කාලය ඇවිත්” 

අලුත් අවුරුදු ඒකාබද්ධ නැකැත් සීට්ටුවකට අවසන් එකඟතාවය….

ඒකාබද්ධ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්කිරීමට දෙපාර්ශවයේම එකඟතාවය හිමි වූ බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා පවසයි.

අද (16) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඈපා පංචාංග ලිත් කතෘ ඉන්දික ඈපා සෙනවිරත්න, තිරසර පංචාංග ලිත් කතෘ චමත් කොතලාවල සහ විකල්ප නැකත් කණ්ඩායමේ සාමාජිකයින් තමා සමඟ පැවති සාකච්ඡාවේ දී මෙම අවසන් එකඟතාවයට පැමිණි බවය.

ඒ අනුව හෙට (17) දිනයේ නැකැත් සීට්ටුව මුද්‍රණය කර, රාජ්‍ය නැකැත් සීට්ටුව ලෙස ජනතාවට එය ලබාදෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 2024 වසරේදී ‘රාජ්‍ය නැකැත් කමිටුව’ විසුරුවා හැරි අතර මේ දක්වා රජය නැවතත් නැකැත් කමිටුවක් පත්කර නැහැ.

මෙවර අවුරුදු නැකැත් ප්‍රකාශයට පත් කෙරුණේ පෝය කමිටුවේ සාමාජිකයන් විසින් බවත්, රාජ්‍ය නැකැත් කමිටුවක් පත්කිරීමට රජය වහා කටයුතු කළ යුතු බවත් පවසමින් ජ්‍යොතිර්වේදීන් පිරිසක් ඉකුත් අඟහරුවාදා රජයට සිය අප්‍රසාදය පළ කළේය.

එය ක්‍රියාත්මක නොවූ පසුබිමක සර්වජන බලය ඉකුත් සෙනසුරාදා පොරොන්දු වූ පරිදි සියලුදෙනාට එකඟවිය හැකි නැකත් සීට්ටුවක් සකස් කිරීමට මුල්පියවර තැබීය.

ඒ විද්වත් ජ්‍යොතිර්වේදීන් 17දෙනෙකු සම්බන්ධ කරගනිමිනි.

ගොවීන්ට ඉන්ධන ලබාදීම ගැන විශේෂ තීරණයක්….

ගොවීන්ට QR කෝටාවට පරිබාහිරව ඉන්ධන ලබාදීමට තීරණය කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

එහි කොමසාරිස් ධම්මික රණතුංග මහතා සඳහන් කළේ, මේ සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව සිය එකඟත්වය පළ කර ඇති බවය.

ඒ අනුව 2025/26 මහකන්නයේ අස්වනු නෙළන ගොවීන් සඳහා අක්කරයකට ලීටර් 15ක ඉන්ධන ප්‍රමාණයක් ලබාදීමට නියමිතය.

එමෙන්ම යළ කන්නයේ වගා කිරීමට සීසෑමේ කටයුතු සිදු කරන ගොවීන් සඳහා අක්කරයකට ලීටර් 20ක ඉන්ධන ලබාදෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

ගොවීන්ට අවශ්‍ය වන ඉන්ධන ප්‍රමාණය ඇතුළත් ලැයිස්තුව අද (16) දිනයේ සිටම ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත යොමු කර තිබේ.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඇති දත්ත පදනම් කරගනිමින් මෙය සකස් කර ඇත.

එම ලේඛනය අදාළ ගොවීන් පදිංචි ප්‍රදේශයේ ඇති ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ධම්මික රණතුංග මහතා පැවසීය.

ඉන්ධන බෙදාහැරීමේදී ඇතිවිය හැකි ගැලුකාරි තත්ත්වයන් පාලනය කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරවුම්හල් වෙත අනුයුක්ත කිරීමට ද සැලැසුම් කර ඇත.

ගොවීන් සඳහා ලබා දෙන ඉන්ධන බූලිවලට ලබාදීමට කටයුතු කර ඇති බවත් ඊට අදාළ නෛතික පසුබිම සකස් කර ඇති බවත් කොමසාරිස්වරයා කීය.

මේ අතර පොහොර සහනාධාරය ද මාර්තු මස පළමුවෙනිදා සිට ලබාදීමට කටයුතු කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ධම්මික රණතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

බලශක්ති පරිභෝජනය අඩු කරන්නැයි කර්මාන්ත නියෝජ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්….

පවතින අර්බුදය හමුවේ ජනතාව විසින් අරපිරිමැස්මෙන් යුතුව ඉන්ධන පරිභෝජනය කරන්නේ නම් QR ක්‍රමයක් අවශ්‍ය නොවන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

අද (16) පැවති ජන හමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම ගැටලුව මෙරටට පමණක් නොව ලොව පුරා බලපා ඇති ගැටලුවක් බවය.

එබැවින් හැකි පමණින් බලශක්ති පරිභෝජනය අඩු කරන්නැයි නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

“මේ වෙලාව, අපේ රටට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම අපහසු තත්ත්වයක්. මීට කලින් තිබුණේ මේ රට බංකොළොත් වෙච්ච හින්දා අපිට බලශක්තිය අහිමි වෙච්ච තත්ත්වයක්. දැන් තියෙන්නේ අපි කොච්චර ශක්තිමත් වුණත් ලෝකයෙන් තෙල් ලබාගැනීමේ අර්බුදයකට පත්වෙලා තියෙනවා. ඒ නිසා අපි අරපිරිමැස්මෙන් කටයුතු කරන්න ඕනේ. මේ ව්‍යාපෘතිය වඩා වැදගත් වෙන්නෙත් ඒකයි. අපි කොහොමද අරපිරිමැස්ස සහිත සමාජයක් බවට ගොඩනැගෙන්නේ. මේ අර්බුදයට, අනාගතයට මුහුණ දෙන්නත් අපිට හොඳ තත්ත්වයක් තියෙනවා. පුළුවන් නම් විදුලි පරිභෝජනය අඩු කරගන්න, ගමන් බිමන් අඩුකර ගන්න පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්න පුළුවන් තරම්. අපිට පුළුවන් අපෙනුත් දායකත්වයක් දෙන්න. ගිය මාසේ අපි තෙල් ලීටර් 40ක් පාවිච්චි කළා නම් මේ මාසේ අපි ඒක 30ක් කරගන්න මොකක්ද කරන්න ඕනේ.  ආණ්ඩුවෙන් QR දාන්න ඕනේ නෑ. ජනතාව තෙරුම් ගන්න ඕනේ  QR කියන්නේ තාක්ෂණයක්. ජනතාව ස්වයං පරිභෝජනය අඩුකරා නම් QR අවශ්‍ය වන්නෙත් නෑ. තාක්ෂණය නෙමෙයි වැදගත්. QR ක්‍රමයට දෙන්නත් පුළුවන්, සලාකා ක්‍රමයට දෙන්නත් පුළුවන්, කූපන් ක්‍රමයට දෙන්නත් පුළුවන්. තාක්ෂණය අනුව වඩාත්ම ගැලපෙන එක QR ඒක.  දැන් අපට සිදු වෙනවා තියෙන ඉන්ධන ප්‍රමාණය අත්‍යාවශ්‍ය කාරණාවලට ලැබෙමින් අත්‍යාවශ්‍ය නොවන කාරනා වලදී අඩුකර ගන්න. ඒක ජනතාවගේ අතේ තමයි තියෙන්නේ. 

මොන වැඩපිළිවෙල ගෙනාවත් ජනතාව වෙනස් වෙන්නේ නැතුව අපේ රටේ තෙල් පරිභෝජනය අඩු කරගන්න බෑ. ගිය මාසේ අපේ තෙල් පරිභෝජනයෙන් 20%ක් අපි සමාජයක් විදියට  ඉතුරුකර ගන්න ඕනේ. ඒක තමා අරමුණ වෙන්නේ. එහෙම නැතුව ආණ්ඩුවෙන් ගේන තාක්ෂණයවත් ආණ්ඩුවෙන් ගෙන ප්‍රතිපත්තියවත් නෙමෙයි.  අපි ඒක භාර ගන්න ඕනේ සමාජයක් විදියට.  අපි ගොඩනගපු මහජන ආණ්ඩුව අපි ගොඩනගපු ආර්ථිකය ඉස්සසරහට එන ආර්ථිකයට මේ අවස්ථාවේ අපිටත් මොකක්ද දෙන්න පුළුවන් දායකත්වය. බලශත්කි පරිභෝජනය තාවකාලිකව අවම කර ගන්න ඕනේ. මාස දෙකෙත් එහාට මොකක් වෙයිද දන්නේ නෑ.  

එහෙම ලෝකේ කාලෙන් කාලෙට අර්බුද එනවා. අපේ රටේ හේතුවක් හින්දා නෙමෙයි මේක එළියෙන් ආපු අභියෝගයක්. නමුත් සමාජයක් විදියට මුහුණ දුන්නොත්  මාස දෙක තුනක් ඇතුලත අපිට හිටපු තත්ත්වයට එන්න පුළුවන්. අපි ඒ කැප කිරීම කරන්න සූදානම් නැතිනම් අර්බුදය අපිට කලින් එනවා. ඒ තත්ත්වයට මුහුණ දෙන්න අපිට අවශ්‍යතාවයක් නෑ. අත්‍යාවශ්‍ය දේවල් තියෙනවා . සෞඛ්‍ය, ආරක්ෂක අංශ, පොදු ප්‍රවාහනය , නිෂ්පාදන කර්මාන්ත මේවා අඛන්ඩව දුවන්න ඕනේ. අපි පුරවැසියන් විදියට අපි දෛනිකව පරිභෝජවය අපි අඩු කරගන්න ඕනේ.”

හම්බන්තොට වනඅලි කළමනාකරණ කලාපය සම්බන්ධ රෙගුලාසි මාලාවක්….

හම්බන්තොට වනඅලි කළමනාකරණ කලාපය සම්බන්ධ රෙගුලාසි මාලාවක් ඇතුළත් ගැසට් පත්‍රයක් සකස් කර ඇතැයි නීතිපතිවරයා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

හම්බන්තොට වනඅලි කළමනාකරණ කලාපය පවත්වාගෙන යාමට අදාළ රෙගුලාසි මාලාවක් ගැසට් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය සහ අදාළ ප්‍රදේශවාසීන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙම දැනුම්දීම සිදුකළාය.

මෙම පෙත්සම අද අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

හම්බන්තොට වනඅලි කළමනාකරණ කලාපය තුළ සිදුකළ හැකි සහ සිදුකළ නොහැකි කරුණු ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම ඉකුත් නොවැම්බර් මස කැදවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දැනුම් දී තිබුණි.

ඒ අනුව අදාළ නඩුකරය අද කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ මීට අදාළ ගැසට් නිවේදනය සකස් කර ඇති බවත් එහි පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන බවය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම රෙගුලාසි පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ රෙගුලාසි මාලාව ගැන අධ්‍යයනය කර නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම්කාර පාර්ශ්වයට අවසර දුන් අතර පෙත්සම යළි සැප්තැම්බර් මස 14 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

ඉන්ධන QR පද්ධතියේ පවතින ගැටලු නිරාකරණය සහ නව ලියාපදිංචි කිරීම් ගැන විශේෂ දැනුම්දීමක්

ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (National Fuel Pass) සම්බන්ධයෙන් පවතින තාක්ෂණික ගැටලු මේ වන විට සාර්ථකව නිරාකරණය කරමින් පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය දැනුම් දෙයි.

ඒ අනුව, හෙට (17) පෙරවරුව වන විට පවතින සියලු බාධාවන් ඉවත් කර පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

විශේෂයෙන්ම 2023 වසරේ අගෝස්තු මාසයෙන් අනතුරුව මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා නීත්‍යානුකූලව හිමිකාරීත්වය පවරා ගන්නා ලද වාහන වෙනුවෙන් නව QR කේතයක් ලබාගත යුතු වේ.

මෙම නව ලියාපදිංචි කිරීම් සඳහා අවශ්‍ය වන පද්ධති යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදුකෙරෙමින් පවතින බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

යම් QR කේතයකට අදාළ දුරකථන අංකයක හිමිකාරීත්වය මාරු වී ඇත්නම් හෝ අදාළ දුරකථන සබඳතාව විසන්ධි වී ඇත්නම්, එවැනි පාර්ශ්වයන් පිළිබඳ තොරතුරු අදාළ ජංගම දුරකථන සේවා සපයන සමාගම් වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව එම සමාගම් විසින් ලබාදෙන යාවත්කාලීන දත්ත මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා පද්ධතියට ඇතුළත් කිරීමේ කටයුතු ද මේ වන විට ක්‍රියාත්මක වේ.

මේ අතර, ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමේදී අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන ව්‍යාජ සබැඳි (Links) වෙත ප්‍රවේශ වී තම පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 

දත්ත අවභාවිතය වළක්වා ගැනීම සඳහා සැමවිටම රජයේ නිල පද්ධතිය පමණක් භාවිත කරන ලෙසත්, පවතින ගැටලු සඳහා 1919 ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙසත් වැඩිදුරටත් දැනුම් දෙනු ලැබේ.

ඉන්ධන පෝලිම්වල ඉන්න ජනතාවට පොලීසියෙන් දැනුම්දීමක්…

ඉන්ධන ලබාගැනීමට පෝලිමට පිටින් පැමිණෙන කිසිවෙකුටත් අවස්ථාවක් නොමැති බව, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, සමහර රියදුරන් පෝලිමට පිටින් ඉන්ධන ලබාගැනීමට යෑමේදී කලබලකාරී තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බවය.

එමනිසා පෝලිමෙන් පිට එන කිසිවෙකුටත් ඉන්ධන ලබානොදෙන ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ පොලීසිය දැනුවත් කර ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා කියා සිටියේය.

සමහර යතුරුපැදිකරුවන් පදිකවේදිකාවේ සිටීම හේතුවෙන් පදිකයින් දැඩි අසීරුතාවයට පත්ව ඇති අතර, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය යොදවා ඇති බවය.

සියලුම රියදුරන් ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මෙහිදී වැඩිදුරටත් පැවසීය.

නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි කර අත්හිටවූ සිරදඬුවමකුත් නියම කරයි….

නීතිඥවරුන්ගේ වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කැකිරාව ප්‍රදේශයේ සේවයේ නියුතු නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කර තිබේ.

එම චෝදනාවලට අදාළව නිකුත් කරනු ලැබූ නියෝගයක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ද වරදකරු කෙරුණු එම තැනැත්තියට වසරක සිරදඬුවම් නියම කොට එම සිරදඬුවම වසර පහකට අත්හිටුවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි.

ඊට අමතරව රුපියල් 2,5000 ක දඩයක්ද නියම කළ විනිසුරු මඩුල්ල එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව මාස හයක සිරදඬුවම් නියම කරන බවත් නඩු තීන්දුවේ සඳහන් වේ.

වග උත්තරකාරිය අදාළ චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

2023 වසරේ ජූලි මස 27 වන දා කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ  විභාග වූ නඩු ගොනුවක පිටු දෙකක් ගලවා සපා කා හානි සිදුකිරීම තුළින් නීතිඥ ආචාර ධර්ම වලට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් එම තැනැත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබුණි.

එම චෝදනා විභාග කිරීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම විභාගය අවසන් වනතුරු වග උත්තරකාරියට නීතිඥ වෘත්තියේ නිරතවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

එසේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එය උල්ලංඝනය කරමින් වගඋත්තරකාරිය යළි නීතිඥ වෘත්තියේ නිරත වී ඇති බවට ඉදිරිපත් වූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ඇයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක්ද නීතිපතිවරයා විසින් ගොනු කර ඇත.

මෙම චෝදනා පත්‍ර දෙකටම මුල් අවස්ථාවේදී තමන් නිවැරදිකාරිය බව වග උත්තරකාරිය විසින් ප්‍රකාශ කර තිබුණත් පසුව එම චෝදනාවලට තමන් වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දී තිබුණි.

ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු සඳහන් කළේ මෙම වගඋත්තරකාරිය සිදුකර තිබෙන ක්‍රියාව නීතිඥවරුන්ගේ ආචාර ධර්ම පද්ධතිය බරපතළ අයුරින් උල්ලංඝනය වී ඇති බවය.

ඒ අනුව ඇයගේ නම නීතිඥ නාමාවලියෙන් ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්ට නියෝග කළ ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීරණය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ කැකිරාව දිසා විනිසුරුවරයාට දැනුම් දෙන ලෙසත් නියම කර තිබේ.

ඉන් අනතුරුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට ද වරදකරු කෙරුණු එම තැනැත්තියට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඇඟිලි සලකනු ලබාදීම සඳහා එම තැනැත්තිය පොලිස් අපරාධ හා ඇඟිලි සැලකුණු කොට්ටාසය හමුවේ පෙනී සිටිය යුතු බවටත් වැඩ දුරටත් නියෝග කර තිබේ.

බේරුවල මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ධීවර බෝට්ටුවේ කිලෝ 250කට අධික කොකේන්….

බේරුවල මුහුදු ප්‍රදේශීයේදී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ තිබි කිලෝග්‍රෑම් 250කට අධික කොකේන් ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් බිලියනයකට අධික බවට තොරතුරු වාර්තා වෙයි.

එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගන්නා ලදී.

නාවික හමුදා භාරයට ගත් අදාළ ධීවර යාත්‍රාව අද (16) පස්වරුවේ දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ බව නාවික හමුදාව සඳහන් කරයි.