අනතුරුදායක ලෙස රිය පැදවූ තරුණයා අත්අඩංගුවට…..

කටුනායක, හීනටියන ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරතුර අන්තරාදායක අ‍යුරින් ‍රිය පැදවූ තරුණයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු උත්සවයේ පාපැදි තරඟයක් ඉදිරියෙන් ගමන් කර ඇති මෙම  කාර් රථය තරඟය නැරඹීම සඳහා මාර්ගය දෙපස රැස්ව සිටි මහජනතාවට හා ඔවුන්ගේ දේපළවලට හානි සිදුවිය හැකි පරිදි අන්තරාදායක අයුරින් ධාවනය වන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

වීඩියෝව සම්බන්ධයෙන් කටුනායක පොලිස් ස්ථානය විසින් සිදු කරන ලද විමර්ශනවලින් පසුව අදාළ තරුණයා සහ කාර් රථය මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මැයි 04වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කටුනායක පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විර්මශන සිදු කරයි.

ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපතිට සහ මුදල් ලේකම්වරයාට චෝදනාවක්….

මහා භාණ්ඩාගාරය විසින් විදේශ ණයක් පියවීම සඳහා ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත්වීම හරහා සිදු වූ වංචාවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම ජනාධිපතිවරයා ද වගකිව යුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සිය සංවිධානය විසින් අදාළ සිදුවීම පිළිබද තොරතුරු හෙළි නොකළේ නම් ආණ්ඩුව එය තවදුරටත් වසන් කරමින් සිටින බවය.

මහ භාණ්ඩාගාරය විසින් විදේශ ණයක් පියවීම සඳහා ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අදාළ පාර්ශවය වෙත ලැබී නොමැති බවත් එම මුදල් පරිගණක හැකර්වරයෙකු හෝ තෙවන පාර්ශවයක් අතට පත්ව ඇති බවත් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් ඊයේ (22) අනාවරණ කළේය.

“මේ හොරකම සිද්ධ වුණාට පස්සේ පළවෙනියෙන්ම භාණ්ඩාගාර ලේකම්වරයා වගකියන්න ඕනේ. ඒ වගේම ජනාධිපතිතුමාත් මේකට සමානව වගකියන්න ඕනේ. එතුමාට මේ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියපේරුම මහතා ඔස්ට්‍රේලියාවේ අවුරුදු ගාණක් වැඩ කරලා තියෙනවා. එතකොට එතුමත් මේකට සම්බන්ධ ද  කියලා යම් කිසිම සැකයක් මතු වෙනවා. ඒ සැකය මතුවෙනකොට ඒ පුද්ගලයා ලේකම් හැටියට තියාගෙන විමර්ශනයක් කරන්න පුළුවන් ද? මොකක්ද මේකේ තියෙන සාධාරණය. මම ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට කියනවා පළවෙනියෙන් ඔබතුමාත් අයින් වෙන්න ඕනේ. ලේකම්වවත් අයින් කරන්න ඕනේ. අයින් කරන්නේ නැතිව මේ විමර්ශනය කරන්න බැහැ. මුදල් අමාත්‍යංශයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා මේ ගැන හොයන්න. ඔස්ට්‍රේලියාවට මුදල් ගියා කියන එක ඒ අය පිළිඅරන් තියෙනවා. එතොකට මෙවැනි සිද්ධි ගැන නිකරුණේ අමතක කරලා දාන්න ඉඩ දෙන්න බෑ. 

මේ රජය මේ රටේ ජනතාව රවට්ටලා තියෙන්නේ. සිද්ධිය වෙලා දැනට මාස තුනක් විතර වෙනවා. අපේ සංවිධානය විසින් මේක හෙළිදරව් කරනකම් මේක එළියට ආවේ නැහැ. මේගොල්ලොන්ට මේක කිසිසේත්ම මහජනතාව ඉදිරියට ගෙනියන්න නෑ. ඒ අවශ්‍යතාව තිබුණේ නැහැ. මේක හංගලා සම්පූර්ණයෙන්ම අමතක කරලා වළ දාන්න තමයි මේ ආණ්ඩුව ලෑස්ති වෙලා හිටියේ. බලන්න මේ ආණ්ඩුව රටේ ජනතාවගේ ඇස්වහලා ක්‍රියාකරන්න හදන ආකාරය ගැන. නිලධාරින් පැහැදිලිවම නොසැලකිලිව කටයුතු කරලා තියෙනවා කියන එක අපි පැහැදිලි කරන්න ඕනේ.”

අදාළ කාරණාව පිළිබඳව පාර්ලිමේන්තුව හරහා විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ෆ්‍රී ලෝයර්ස් සංවිධානය කතානායකවරයා වෙත ලිඛිතව ලිපියක් යොමුකරමින් දැනුම්දීමක් ද සිදුකර ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, සයිබර් හැකර්වරුන් සිදුකළ අදාළ සොරකම සම්බන්ධයෙන් නීතිය බලාත්මක කරන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර මූලික පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඊට සම්බන්ධ වූ නිලධාරීන් කිහිපදෙනෙකුට  විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය.

ඉන්දියාවේදී කොටුවී මෙරටට රැගෙන ආ ‘දිනුෂ’ රිමාන්ඩ්…..

ඉන්දියාවේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි ‘දිනුෂ චතුරංග’ නමැත්තා මැයි 5 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (23) නියම කළේය.

රැඳවුම් භාරයේ පසුවූ අදාළ සැකකරු කෙසෙල්වත්ත පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුන්නේය.

එහිදී පොලීසිය අධිකරණයේ ඉල්ලා සිටියේ, මෙම සැකකරුට අදාළ රැඳවුම් නියෝග අවසන් වී ඇති බවත් ඒ අනුව ඔහු රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසය.

ඒ අනුව සැකකරු මැයි මස 05 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

ණය වාරික ගෙවීමේදී ඇතිවූ සිද්ධිය විමර්ශනයට ඔස්ට්‍රේලියාවේ සහායත්……

ශ්‍රී ලංකා රජය ඔස්ට්‍රේලියාවට ගෙවිය යුතු ණය මුදල් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය ගැන, තමන් දැනුම්වත් බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා පවසා තිබේ.

ඒ අනුව දෙරටේම නිලධාරීන් එක්ව අදාළ ගැටලුව විමර්ශනය කරමින් සිටින බව ඔහු පවසා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මේ බව පවසා තිබේ.

කෙසේ නමුත් අදාළ නිවේදනයෙන් ඔවුන් ශ්‍රී ලංකාවට දැනුම්දී ඇත්තේ, මෙම විමර්ශනය මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවට ණය තිරසාරභාවයට පැමිණීමට සිය රට තවදුරටත් සහාය වන බවය.

මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්‌කරුවන් විසින් සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් මේ වනවිට මත‍භේදාත්මක තත්ත්වයක් ඇතිව තිබේ.

අදාල සිද්ධියේ දී ශ්‍රී ලංකාව විසින් සිදුකළ ඩොලර් මිලියන 2.5ක ණය ගෙවීමක්, සයිබර් හැකර්‌වරුන් අතට පත්ව ඇති බවට මේ වනවිට තොරුතුරු වාර්තා වේ.

සරම්ප රෝගීන් දෙදෙනෙක් කොළඹින් හමුවෙයි – අනිවාර්යයෙන් එන්නත් ලබාගන්නැයි උපදෙස්……

මෙරට වසර කිහිපයක් තුරන්කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවා තිබෙන බව වෛද්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ රෝගය වැළදුණු ළමුන් දෙදෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් බවය.

එබැවින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් දරුවන්ට හැකි ඉක්මනින් එම එන්නත් විධිමත්ව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය සහමුලින්ම තුරන් කළ රටක් බවට ලෝක සෞඛය සංවිධානය නිවේදනය කළේ ඉකුත් 2019 වසරේදීය.

කෙසේවෙතත්, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ 2023 වර්ෂයෙන් පසුව ඇතැම් ප්‍රදේශවලින් සරම්ප වසංගත තත්ත්වයන් වාර්තාවූ බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසුවේ රෝගය වැළඳී ඉන් සුවයක් ලැබුණද එහි සංකූලතා හේතුවෙන් වසර ගණනාවකට පසුව මරණය පවා ඇතිවී අවධානමක්ද පවතින බවය.

“2025 අවුරුද්දේ ජනවාරි මාසේ ඉදලා එක රෝගියෙක්වත් ලංකාවෙන් වාර්තා වුණේ නෑ. නමුත් අවාසනාවකට වගේ රෝගීන් දෙදෙනෙක් වාර්තා වෙලා තියෙනවා කොළඹ දිස්ත්‍රිකයෙන්. මේ වාර්තා වු ළමුන් දෙදෙනා‍ගේ රෝගී තත්ත්වය නැවතත් වසංගතයක් දක්වා වාර්තා නොවී පැවතීමට අපි සියලුම උත්සහයන් ගන්න ඕනේ. එක ළමයෙකුගේ නියැදි අපි යැව්වා ඉන්දියාවේ රසායනාගාර වෙත. එයින් තහවුරු වුණා ඒ වෛරසය පිටරටින් පැමිණ වෛරසයක් බව. “

 “මෑතකදී සොයාගෙන තියෙනවා සරම්ප රෝගය වැළඳුනාට පස්සේ ඒ වැළඳුන කෙනාට, ප්‍රතිශක්ති මතකය අමතක වෙනවා කියලා.  සරම්ප රෝගය වැළඳුනාට පස්සේ එම කෙනාට, අනික් රෝග වලට මුහුණ දීමටත් ඇති හැකියාවත් නැති වෙලා යනවා කියලා. එ් වගේම තව තත්ත්වයක් තියෙනවා SSPE මාරන්තික තත්ත්වයක්, සරම්ප රෝගය සුව වෙලා ගිහිල්ලා වසර ගණනාවකට පස්සේ වුණත් වෙන්න පුළුවන්.   ඒ නිසා සරම්ප රෝගය සුව වුණා කියලා කිසිම කෙනෙකුට, විශේෂයෙන් ළමයෙකුට. දෙමාපියන්ට සැනසිල්ලේ ඉන්න වෙන්නේ නෑ. මොකද කොයි මොහොතේ දී හෝ, වසර ගණනාවක පසුව එක සෙමින් සෙමින් මරණය ඇති කරණ මාරාන්තික තත්ත්වයක්.”

‘ශ්‍රීලන්කන්’ නාමය භාවිත කරමින් සිදු කරන මුදල් වංචාවක් ගැන තොරතුරු හෙළි වෙයි…..

‘ශ්‍රීලන්කන්’ නාමය භාවිත කරමින් මුදල් වංචාවක් සිදු කරන බවට තොරතුරු අනාවරණවී ඇති බව පොලිසිය පවසයි.

එය සිදු කරනු ලබන්නේ, වට්ස්ඇප් ගිණුම් හරහා එම ආයතනයේ සේවාවක් බවට අඟවමින් දුරකථන සම්බන්ධතා ඇති කරගනිමින් ව්‍යාජ වෙබ් අඩවි ත්‍රිත්වයක් හරහා ‘SriLankan.apk’ යනුවෙන් පවතින ජංගම දුරකථන යෙදුමක් ස්ථාපනය කරවීමට සැලැස්වීම හරහාය.

මෙම යෙදවුම අනිශ්ඨ බැංකු ට්‍රෝජන් යෙදුමක් බවත් යෙදුම ස්ථාපනය කිරීම මඟින් ජංගම දුරකථන වෙත දුරස්ථ ප්‍රවේශය ලබාගැනීම සඳහා අවසර ලබාගැනීමක් බව පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ හරහා පුද්ගල සංවේදී දත්ත නිරාවණය කරගැනීමේ හැකියාව ලැබෙව බවට නිරීක්ෂණයවී තිබේ.

ඒ අනුව අනිශ්ඨ ක්‍රියාකරුවන් විසින් මුදල් ගනුදෙනුවක් සිදු කරවීමට සලස්වමින් OTP, බැංකු ගිණුම් තොරතුරු සහ සත්‍යාපන දත්ත ලබාගැනීම හරහා බැංකු යෙදුම් වෙත අනවසර ප්‍රවේශ ලබා ගනිමින් වංචනික ලෙස මුදල් වෙනත් බැංකු ගිණුම් වෙත බැර කරගැනීම සිදු කරන බව අනාවරණයවී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම ක්‍රියාවලිය සඳහා 077 45 58 361, 011 77 71 979, 074 11 42 208, 077 57 91 209 සහ 074 32 68 200 යන අංක භාවිත කරනු ලබන බවට නිරීක්ෂණවී ඇත.

ක්ෂණික මූල්‍ය වාසි ලබාගැනීමේ අරමුණින් මහජනතාව මෙවැනි වංචාවන්ට හසුවන අවස්ථා නිරන්තරව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් සිදු කරනු ලබන මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසට පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි……

නව රථ වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම මෙම වසරේ මැයි මාසයේ අග සිට සිදුකළ හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මේ බව සඳහන් කෙරුණේ එම ආයතනයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී ය.

එමෙන්ම වාහන හිමිකරුගේ නම සඳහන් කරමින් ලියාපදිංචි අංක තහඩුවක් ලබාගැනීමේ ක්‍රමවේදය ද කඩිනමින් ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා,

“ඉස්සර පළාත ගහලා තිබුණා.. දැන් ඉවත් කරලා”

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්  – ප්‍රියන්තා දිසානායක,

“යුද්ධය කාලයේ ඇතිවෙලා තිබුණු ප්‍රශ්න නිසා ඒ වාහනය කොහාට අයිති එකක්ද කියලා හඳුනගන්න Frequency ID එකකුත් එක්ක තමයි ඒක දාලා තිබුණේ. නමුත් ඒ Frequency ID එක රීඩ් කරන්න ඒ වෙනකොට පොලිසියේ රීඩස් තිබුණේ නැහැ. ඒ නිසා අයින් කරන්න තීරණය කළා. දැන් එහෙම අවශ්‍යතාවයක් නෑ කියලා තමයි කියන්නේ.”

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා,

“ඩඩ්ලි මහත්තයා මාත් එකක් තරහා වෙන එකක් නැහැ මේක කිව්වට. දැන් ඔය ඩඩ්ලි මහත්තයාගේ කාර් එක ගැන හැමෝම කතා වුණානේ. අපේ බැරිද අංක තහඩුවට ඩඩ්ලි කියලා නම ගහලම ගන්න.”

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්  – ප්‍රියන්තා දිසානායක,

“පුළුවන් සර්. අපිට ඒක කරන්න පුළුවන්. අපි ඇත්තටම ඒ ක්‍රමවේදය ලංකාවට හඳුන්වා දෙන්න සැලසුම් කරගෙන යනවා. සිස්ටම් එක අප්ඩේට් කරපු ගමන් අපි ඒ වගේ ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකකට යන්න බලාපොරොත්තු වෙනවා.”

මේ වසරේ පළමු කාර්තුවේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන දෙක ඉක්මවයි……

මේ වසරේ පළමු කාර්තුව තුළදී විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 26.5කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය පවසයි.

ශ්‍රී ලංකා මහා බැංකුවේ දත්ත උපුටා දක්වමින් කාර්යාංශය සඳහන් කළේ, 2026 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා ඇමරිකන් ඩොලර් බිලියන 2.294ක විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බවය.

ඒ අනුව ජනවාරි මසදී ඩොලර් මිලියන 751ක් පෙබරවාරී මස ඩොලර් මිලියන 729ක් හා මාර්තු මසදී ඩොලර් මිලියන 815ක් ලැබී ඇත.

2025 වර්ෂයේ පළමු මස තුන තුළදී ලැබී ඇති විගමනික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,815කි.

විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබීමේ ප්‍රමාණය මෙලෙස ඉහළ යාමට රාජය මුල්‍ය විශ්වාසය හා විනිවිදභාවය හා  නිත්‍යානුකූල මාර්ග ක්‍රමවේද ශ්‍රමිකයන් භාවිතා කිරිමට කාර්යාංශය විසින් උනන්දු කරවිම හේතුවී ඇති බව කාර්යාංශය සඳහන් කරයි.

මේ අතර මේ වසරේ ජනවාරි සිට මාර්තු අවසානය දක්වා ශ්‍රමිකයන් 62,145 දෙ‍ෙනකු රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි….

ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ඉලක්කගත මූල්‍ය සම්බාධක (Targeted Financial Sanctions – TFS) ක්‍රියාත්මක කිරීම ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශ පවසයි.

එම සම්බාධක යටතේ, ත්‍රස්තවාදයට හෝ එයට මූල්‍ය සහය ලබාදීමට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයන් හෝ සංවිධාන වල බැංකු ගිණුම්, දේපළ හා අනෙකුත් වත්කම් සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කිරීමට හැකි වේ.

ඒ අනුව, එම වත්කම් භාවිතය, මාරු කිරීම හෝ විකිණීමද නීතිමය වශයෙන් තහනම් වේ.

මෙම ක්‍රමවේදය, 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනත යටතේ බලාත්මක කරන ලද 2012 අංක 01 දරන රෙගුලාසිය මගින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 1373 (2001) අනුව ක්‍රියාත්මක කෙරේ.

සම්බාධක නිකුත් කිරීමේ බලය විදේශ කටයුතු අමාත්‍යවරයා සතු වන අතර, එහි මෙහෙයුම් කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා “නිසි බලධාරියා” ලෙස පත් කර ඇත.

බලධාරීන් පෙන්වා දෙන්නේ, මෙම පියවර මඟින් ත්‍රස්තවාදය මුල් අවස්ථාවේදීම වැළැක්වීමට, රටේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමට හැකි වන බවයි.

එසේම මහජනතාවට තොරතුරු ලබාදීම සහ විවෘතභාවය වර්ධනය කිරීම සඳහා නිසි බලධාරී කාර්යාලය විසින් www.competentauthority.gov.lk වෙබ් අඩවියද හඳුන්වා දී තිබේ.

මෙම නවීන නීතිමය හා පරිපාලන ක්‍රමවේදය මඟින් ශ්‍රී ලංකාව තුළ සාමය, ස්ථාවරත්වය සහ ජාතික ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඔත්තේ රියදුරුට ඉරට්ටේ දවසේ තෙල් දෙන්න බෑ කියපු පොම්පකරුට කනේ පහරක්…..

කැස්බෑව – බණ්ඩාරගම මාර්ගයේ ඉන්ධන හලකට පැමිණි මෝටර් රථයකට ඉන්ධන ලබා නොදුන්නැයි උරණවී එහි පොම්පකරුට අදාළ මෝටර්රථයේ රියදුරු කම්මුලට පහරදීමක් සම්බන්ධයෙන් කැස්බෑව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව කැස්බෑව පොලීසිය පවසයි.

අද (22) දින ක්‍රියාත්මක වන ලියාපදිංචි අංක තහඩුවේ ඉරට්ටේ සංඛ්‍යාවට ප්‍රතිවිරුද්ධ ඔත්තේ සංඛ්‍යාව හිමි එම වාහනයට ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පහර දීම සිදුකළ බව එම පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය සඳහන් කරයි.

මෝටර් රථයේ වම්පස අසුනේ සිටින කාන්තාව පෙන්වා ඇය තෙල් සංස්ථාවේ නිලධාරිනියක් බව පවසා රියදුරු විසින් ඉන්ධන ලබා ගැනීමට පැමිණ එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුකළ බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලීසිය පවසයි.

පැමිණිල්ලේ සඳහන් මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව හරහා විමර්ශන සිදුකර පහරදීමට සම්බන්ධයෙන් සැකකාර රියදුරු අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලීසිය ඉදිරි පරීක්ෂණ පවත්වනු ලබයි.