අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට……

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 39ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 5ක් සමග සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අද (21) අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි කොළඹ දිසා අපරාධ කොට්ඨාසය ආසන්නයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

වාහන අධිභාරය පැනවීමට පෙරදින LC 4,000ක් විවෘත කළ පුවත සාවද්‍ය බව රජය කියයි……

ආනයනික වාහන සඳහා පනවා ඇති රේගු ආනයන බදු මත 50%ක නව අධිභාරයක් පැනවීමට පෙරදින එනම් මැයි 15 වැනිදා ණයවර ලිපි 4000ක් විවෘත කර ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් සාවද්‍ය බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එහෙත් ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු එනම් මැයි 18වැනිදා ණයවර ලිපි 9429ක් විවෘත කර ඇති බවයි ඔහු පැවසීය.

ආනයනික වාහන සඳහා පනවා ඇති රේගු ආනයන බදු මත 50%ක නව අධිභාරයක් පැනවීමට මුදල් අමාත්‍යංශය පසුගියදා පියවර ගත්තේය.

ඒ මැයි 16වැනිදා සිට මාස 03 කාලයක් සඳහා බලපැවැත්වෙන ලෙසින්ය.

කෙසේ වෙතත් 2026 මැයි 15 හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කළ වාහන සඳහා 50%ක මෙම නව අධිභාරය බලපාන්නේ නොමැත.

ඒ අනුව 30%ක් පැවති රේගු ආනයන බද්දට 50%ක නව අධිභාරය එක්වෙයි.

ඒ අනුව 15%ක ප්‍රතිශතයකින් වාහන මිල ඉහළ යයි.

කෙසේ වෙතත් මෙම බදු සංශෝධනයට පෙර ඇතැම් වාහන ආනයනකරුවන් ණයවර ලිපි 4000ක් පමණ විවෘත කර ඇති අතර එය රුපියල අවප්‍රමාණය වීම කෙරෙහි දැඩිව බලපා ඇති බව හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා චෝදනා කළේය.

අදාළ තොරතුරු සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයද  රජයෙන් ඉල්ලා සිටී.

නමුත් මුදල් අමාත්‍යාංශය පවසන්නේ ගැසට්ටුව නිකුත් කිරීමට පෙර එනම් මැයි 15 වැනිදා වාහන ආනයනය සඳහා ණයවර ලිපි 1782ක් විවෘත කර ඇති බවය.

එමෙන්ම මැයි මස 18 වැනිදා ණයවර ලිපි 9429ක් විවෘත කර ඇති බව මුදග් අමාත්‍යාංශය පවසයි.

සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නැයි විපක්ෂය ජනපතිගෙන් ඉල්ලයි……

රටේ ආර්ථික තත්ත්වය තවදුරටත් උග්‍ර වීමට පෙර කඩිනම් ජාතික විසඳුම් සකස් කිරීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබේ.

සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා ඇත.

රුපියල වේගවත්ව අවප්‍රමාණය වීම, ජීවන වියදම ඉහළ යාම සහ ආර්ථික අවිනිශ්චිතතාව වැඩිවීම යන කරුනු  පක්ෂ දේශපාලනයකින් තොරව අවදානයට ලක්කළ යුතු ගැටලු බව ඔහු වැඩිදුරටත් මෙහි සඳහන් කර තිබේ.

ලංකාවට එන මාලදිවයින් ජාතිකයින්ට ‘ETA’ අනිවාර්ය කරයි…..

සංචාරක අරමුණු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම මාලදිවයින් ජාතිකයින්ට එළැඹෙන මැයි 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව වීසා බලපත්‍ර රෙගුලාසියක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව මාලදිවයින් වැසියන් ශ්‍රී ලංකාව බලා පැමිණීමට පෙර ‘eta.gov.lk’යන වෙබ් අඩවිය හරහා විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ලබා ගැනීම අනිවාර්ය වේ.

මාලදිවයිනේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා සිටියේය.

කෙසේ වුවද මෙම පද්ධතිය හරහා ලියාපදිංචිවන මාලදිවයින් ජාතිකයින්ට දින 90ක සංචාරක වීසා අවසරයක් සම්පූර්ණයෙන්ම නොමිලේ හිමිවන බවද එම නිවේදනයේ දැක්වේ.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සුරේෂ් සලේ බව පැහැදිලියි – දිලීප පීරිස්…..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මැතිවරණයක් ඉලක්ක කරගෙන සුරේෂ් සලේගේ මෙහෙයවීමෙන් සිදුකර ඇති බවත්, ප්‍රහාරයේ මහ මොළකරු ඔහු යන්න පැහැදිලි වන බවත් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (20) ප්‍රකාශ කළේය.

මෙහිදී සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැන්වූයේ, සිය සේවාදායකයා මහෙස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත්, ඒ සඳහා ඉඩ ලබාදෙන ලෙසත්ය.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ, එලෙස ප්‍රකාශයක් ලබාදීම විමර්ශන අඩාළ කිරීමේ උත්සාහයක් බවය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන නොමඟ යැවීමක් සම්බන්ධයෙන් වන චෝදනාවට අදාළ මෙම නඩුව කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ අද යළි කැඳවනු ලැබීය.

මේ සඳහා දැනට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණය වෙත රැගෙන ආවේය.

විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහත අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ,

“ස්වාමීනි…. අද දින පිටු 14 ක දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ වාර්තාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් වෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාවට ප්‍රකාශයක් සිදුකළ අසාත් මවුලානා නමැත්තාගෙන් ප්‍රංශයේදී ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ප්‍රංශයට ගිහින් එහි ශ්‍රී ලංකා තානාපතිවරයාගේ නිල නිවසේදී තමයි මේ ප්‍රකාශය සටහන් කර ගත්තේ. ඔහු එම ප්‍රකාශය තුළින් පාස්කු ප්‍රහාරය ගැන දීර්ඝ විස්තරයක් කර තිබෙනවා. ඔහුගේ ප්‍රකාශයට අනුව තුවාන් සුරේෂ් සලේ මේ ප්‍රහාරයේ මහමොලකරු වශයෙන් කටයුතු කර තිබෙන බව පැහැදිලි වෙනවා. දේශපාලන අවශ්‍යතාවයක් ඉටුකිරීම සඳහායි එය කර තිබෙන්නේ.” යනුවෙනි.

වැඩිදුරටත් කරුණු දක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ,

” ස්වාමීනි… අලියාර් හංදියේ ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සහරාන් හෂීම්ගේ කල්ලියේ සාමාජිකයෙක් වන සෙයිනි මවුලවී බන්ධනාගාරගත වෙනවා. මේ සෙයිනි මවුලවී කියන පුද්ගලයා සහ පිල්ලයාන් සිටින්නේ එකම සිරකුටියේ. සෙයිනි මවුලවී පිල්ලයාන්ට ප්‍රකාශ කරනවා අපේ කණ්ඩායමේ ඉන්නවා මැරෙන්න සූදානම් පිරිසක් කියලා. මේ තොරතුර සැකකාර සුරේෂ් සලේට ආරංචි වෙනවා. ඔහු මේ මැරෙන්න කැමති කට්ටියගෙන් වැඩක් ගන්න කටයුතු කරනවා. ඒ අනුව තමයි සෙයිනි, සලේ සහ පිල්ලයාන් සම්බන්ධ වන්නේ. පාස්කු ප්‍රහාරයෙන් මියගිය  සහරාන් හෂීම් ඇතුළු ස්වංඝාතක ප්‍රහාරයකින් හයදෙනෙකු පුත්තලමේදී සුරේෂ් සලේ හමුවී සාකච්ඡා කරලා තිබෙනවා. පාස්කු ප්‍රහාරය  සිදුවූ අවස්ථාවේදී සැකකාර සුරේෂ් සලේ අසාද් මවුලානාට ඇමතුමක් ලබා දෙනවා. ඇමතුමක් දීලා කියනවා ටාජ් සමුද්‍රා ඒක ළඟට ගිහිල්ලා එහි සිටින පුද්ගලයෙක්ව ගන්නා ලෙසට. ඔහුගේ දුරකථනය භාරයට ගන්න කියලත් කියනවා. ඒ පුද්ගලයා තමයි දෙහිවලදී බෝම්බයක් පුරවා ගත් ජමිල් නමැත්තා. මේ ජමීල් නමැති බෝම්බකරු අහිංසක පුද්ගලයෙකු බවට වරුණ ජයසුන්දර විසින් සඳහන් කර තිබෙනවා. ඒ නිසා අපි වරුණ ජයසුන්දර නමැති නිලධාරියා සම්බන්ධයෙනුත් විමර්ශනය කරනවා” යනුවෙනි.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා

“මේ ප්‍රහාරයෙන් පසුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අය මඩකලපුව බන්ධනාගාරයට ගිහින් පිල්ලයාන් හමුවෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සතියකින් එළියට ගන්නා බවට ඔවුන් පිල්ලයාන්ට දැනුම් දෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවා. ඉන් පසුව යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබූ සුරේෂ් සලේව සමස්ථ  රාජ්‍ය බුද්ධි සේවයේම ප්‍රධානියා වශයෙන් පත්කරනවා. එසේ කරන්නේ බුද්ධි තොරතුරු වෙනත් අංශ වෙත ගමන් කිරීම වැළැක්වීමටයි. සෙයිනි මවුලවී රක්ෂිත බන්ධනාගාර ගත වුණාම ඔහුට ඇප ගන්න රුපියල් දෙලක්ෂ පනස්දාසක මුදලක් වැය කරනවා. ඒ මුදල ගෙවලා තිබෙන්නේ යුද හමුදා බුද්ධි අංශයෙන්. ස්වයං ඝාතකයින් ආරක්ෂා කරගන්න අපේ මහජන මුදල් වැය කර තිබෙනවා. එසේ කරලා තිබෙන්නේ මාස හයකින් එළඹෙන ඡන්දය තෙක් මෙම අන්තවාදී ක්‍රියා සම්බන්ධ තොරතුරු හෙළිදරව් වීම වැළැක්වීමටයි. පිල්ලයාන්ගේ කල්ලිය සහ යුද හමුදා බුද්ධි අංශය එකට කටයුතු කර තිබෙනවා. එසේ කටයුතු කර තිබෙන්නේ රටේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නෙමෙයි. දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමට හා ඝාතන සිදු කරන්නයි එසේ කටයුතු කරලා තිබෙන්නේ. අසාද් මවුලානාගේ ප්‍රකාශයෙන් හෙළිදරව් වෙලා තිබෙනවා පිල්ලයන්ගේ කල්ලිය සහ යුද හමුදා බුද්ධි අංශය එක්ව සිදුකළ අපරාධ ගැන. මාධ්‍යවේදීන් වන ප්‍රගිත් එක්නැලිගොඩ පැහැරගෙන යාම කීත් නොයාර්ට පහර දීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, උපාලි තෙන්නකෝන්ට පහර දීම වැනි කටයුතු වලට මෙම කල්ලි සම්බන්ධ වී තිබෙනවා. පිල්ලයාන්ගේ කල්ලියේ දෙදහකට අධික පිරිසකට යුද හමුදා බුද්ධි අංශයෙන් වැටුප් ගෙවා තිබෙනවා. ඒ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නෙවෙයි. දේශපාලන කොන්ත්‍රාත් කරන්නයි මේ වගේ දේවල් කරලා තියෙන්නේ. මෙවැනි ක්‍රියා වැළැක්වීමට කටයුතු කරන්න කියලා මම යුද හමුදාපතිවරයාට ලිඛිතව දැනුම් දීලා තිබෙනවා. මෙවැනි ක්‍රියා දිගටම සිදුවුණොත් යුද හමුදාපතිවරයාවත් සැකකරුවෙක් හැටියට අධිකරණයට ගේන්න වෙනවා තොරතුරු වසන් කිරීම සම්බන්ධව. පාස්කු ප්‍රහාරයෙන් පසුව අසාත් මවුලානාගේ පවුලේ අයව අහුන්ගල්ලේ හෝටලයකට ගෙන්වාගෙන තිබෙනවා. සුරේෂ් සලේ  විසින් තමයි එය කර තිබෙන්නේ. තානාපති කාර්යාලයේ රැකියාවක් ලබා දෙන බවටත් ඔහුට සඳහන් කර තිබෙනවා. මේ හෝටලේ ලොග් පොත් වල සටහන් සියල්ල අපි ලබාගෙන තිබෙනවා. ” යනුවෙන් පවසා ඇත.

වැඩිදුරටත් කරුණු දක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා

” ස්වාමීනි… රැඳවුම් භාරයේ පසුවන සැකකාර සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම තරයේ විරුද්ධ වෙනවා. ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වෙලා තිබෙනවා. මේක ඔහුට වේදිකාවක් කරගන්න ඉඩ දෙන්න බෑ. මේ දවස් වල පුද්ගලයින් අබිරහස් ආකාරයට මිය යනවා. ඒ නිසා මේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පූර්වගාමී මහෙස්ත්‍රාත්වරයා විසින් කළ නියෝගය ඉවත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. සැකකාර සුරේෂ් සලේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ එකසිය විසිහත් වන වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයාට ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා තිබෙනවා. මේක මේ විමර්ශනය අඩාල කරන්න කරනු ලබන උත්සාහයක්. සංවිධානාත්මක කල්ලියකට අවශ්‍ය වෙලා තිබෙනවා මේ විමර්ශනය අඩාළ කරන්න. මේ විමර්ශනය නවත්වන්නයි බලාගෙන ඉන්නේ. “ යනුවෙන් පවසා ඇත.

වැඩිදුරටත් කරුණු දැක්වූ  අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා

“කිසිදු සැකයක් නෑ. සුරේෂ් සලේ  තමයි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ග්‍රහයා. ඔහු වටේ තමයි අනෙකුත් ග්‍රහයින් කැරකිලා තියෙන්නේ. සුරේෂ් සලේ මේ ක්‍රියාව කළේ කා වෙනුවෙන්ද? ඒ ගැනත් අපි පරීක්ෂණය කරනවා. පරීක්ෂණ කරලා ඊට වගකිව යුතු ප්‍රධාන පුද්ගලයින් නීතිය ඉදිරියට ගේන්න අපි කටයුතු කරනවා. පාස්කු ප්‍රහාරයට පෙර මේ ප්‍රහාරය එක්කෝ උතුරු පළාතේ හමුදා කණ්ඩායමක් කේන්ද්‍ර කරගෙන කරන්න සූදානම් කරලා තිබුණා. ඒ වගේම දකුණේ සමූල ඝාතනයක් සිදු කරන්නත් සැලසුම් කරලා තිබුණා. පසුව මොවුන් ඒ සැලසුම් දෙකම අතහැරලා තමයි පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කිරීමට අවශ්‍ය කටයුතු කළේ. මාස හයකින් එළැඹීමට නියමිත ඡන්දයක් ඉලක්ක කරගෙන සැකකාර සුරේෂ් සලේගේ මෙහෙයවීමෙන් තමයි මෙම ක්‍රියාව සිදුවෙලා තිබෙන්නේ.” යනුවෙන් සඳහන් කර තිබේ.

ඉන් අනතුරුව සැකකාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු දැක්වීමක් සිදුකර ඇත,

” පැමිණිල්ල දිගින් දිගටම සඳහන් කළා ප්‍රංශයට ගොස් අසාත් මවුලානා නමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව. නමුත් මේ ප්‍රකාශයේ අන්තර්ගත  කරුණු සාක්ෂි වශයෙන් පිළිගන්න බැහැ. සාක්ෂි වශයෙන් පිළිගන්න නම් ඒවා අධිකරණය හමුවේ හරස් ප්‍රශ්න අසා අභියෝගයට ලක්විය යුතුයි. ඔහු මේ ප්‍රකාශය සිදු කළේ චැනල් ෆෝ නාලිකාවට. චැනල් ෆෝ නාලිකාව ගැන බ්‍රිතාන්‍යයෙන් ඇහුවොත් දැනගන්න පුළුවන්. එය කිසිදු විශ්වාසනීයත්වයකින් තොර නාලිකාවක් හැටියටයි ප්‍රකට වෙලා තිබෙන්නේ. මේ නඩුවේ සාක්ෂිකරුවන් කීපදෙනෙකු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයාට ලබා දුන් ප්‍රකාශවල පිටපත් විත්තිය විසින් ලබා ගැනීම සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා චෝදනා කලා. ඉතින් මේ ප්‍රකාශවල පිටපත් සීඅයිඩි යට ගන්න පුළුවන්නම් අපට ගන්න බැරි ඇයි? ඒ වගේම අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා චෝදනා කළා මේ සැකකරුවන්ගේ නීතිඥ ප්‍රවේශය අධීක්ෂණය නොවන බවට. ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් මම කණගාටු වෙනවා. මොකද මේක නීතිඥවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක්. නීතිපතිවරයා විසින් මේ වගේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීම නීතිඥවරුන්ගේ පරම අයිතිය නැති කිරීමක් හැටියටයි සඳහන් කරන්න වෙන්නේ. මගේ සේවාදායකයාව නොමරා මරණ තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. මගේ සේවාදායකයා පසුගිය වතාවේ මහෙස්ත්‍රාත්වරයාට ප්‍රකාශයක් ලබා දෙන්න අවසර ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදී පූර්වගාමී මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබුණා සිතා බලා පිළිතුරක් ලබා දෙන ලෙසට. ඒ අනුව මගේ සේවාදායකයා අද මට උපදෙස් ලබා දීලා තිබෙනවා ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවට අධිකරණයට දැනුම් දෙන ලෙසට. එම ප්‍රකාශය අද දිනම වාර්තා කිරීම ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිනවා” 

ඉන් අනතුර අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු අදාළ බෝම්බ ප්‍රහාරයෙන් අගතියට පත් වූවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රැඳවුම් නියෝග මත රඳවාගන සිටින මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සුදුසු නොවන බව සිය මතය බව ප්‍රකාශ කර තිබේ.

සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා රැඳවුම් භාරයේ පසුවන සැකකාර සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසට පැමිණිල්ල විසින් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ජූලි මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කර ඇත.

එමෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අවසර ලබාදෙන ලෙස සුරේෂ් සලේ මහතා කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදින ප්‍රකාශයට පත්වන බවත් මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

එතෙක් සැකකරු රැඳවුම් නියෝග මත තබාගෙන මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.

කපිලට ඇප දුන් ව්‍යාජ ඇපකරුවන් ඇතුළු හතරකට ඇප…..

අබිරහස් ලෙස මියගිය කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා ඉදිරිපත් වූ ව්‍යාජ ඇපකරුවන් බව කියන සැකකරුවන් දෙදෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන් බව කියන තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ව්‍යාජ ඇපකරුවන් බව කියන මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉර්ෂාඩ් සහ ඔවුන්ට ආධාර අනුබල දුන් බව කියමින් අත්අඩංගුවට ගත් ආරියතිස්ස ද සිල්වා සහ අරවින්ද ද සිල්වා මහතාගේ කාර්යාලයේ සේවය කරන පෙරුමාල් ගනේෂ් යන සැකකරුවන් මෙසේ ඇප මත මුදා හරින ලෙස නියම කෙරුණි.

ඒ අනුව එක් එක් සැකකරුව රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඇපකරුවන්ගේ පදිංචිය තහවුරු කිරීම සඳහා ග්‍රාම නිලධාරී සහතික ඉදිරිපත් කළ යුතු බවටත් නියම කර තිබේ.

ඊට අමතරව ඇපකරුවන් විසින් අදාළ ඇප මුදල ගෙවිය හැකි බව තහවුරු කරන වත්කම් පිළිබඳ වාර්තා දිවුරුම් ප්‍රකාශ මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතු බවටත් මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කර ඇත.

මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී, කෙසෙල්වත්ත පොලීසියේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් මේ ආකාරයට ඇප තැබීම සඳහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගෙන් මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා ග්‍රාම නිලධාරී සහතික 17 ක් ලබාගෙන තිබෙන බව සඳහන් කර තිබේ.

මීට අදාළව ග්‍රාම නිලධාරියාගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව කී පොලීසිය අදාළ ග්‍රාම නිලධාරීවරයාගේ දුරකථන ඇමතුම් පිළිබඳව විස්තර වාර්තා ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව පවසා ඇත.

මෙම සැකකරුවන් මේ ආකාරයට වෙනත් නඩු සඳහාද ඇප තබා තිබේද, අධිකරණය මගහැර තිබේද? වරෙන්තු වී තිබේද? යන කාරණා පිළිබඳව අදාළ වාර්තා ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලීසිය පවසයි.

මියගිය කපිල චන්ද්‍රසේන නමැති සැකකරුට ඇප තැබීම සඳහා මෙම සැකකරුවන්  උත්සාහ කර ඇති බව මෙන්ම ඊට ආධාර අනුබල දීමක්ද සිදුකර ඇති බවට සෘජු සාක්ෂි අනාවරණය වී ඇති බවත් විමර්ශන කටයුතු ද අවසන් වී නොමැති හෙයින් මොවුන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙහිදී ව්‍යාජ ඇපකරුවන් බව පැවසුණු පුද්ගලයින් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයින් කිසිදු අවස්ථාවක බැඳුම්කරයක් සඳහා අත්සන් කර නොමැති බව සඳහන් කර ඇත.

ඇපකරුවකු වීමට නම් බැඳුම්කරයකට අත්සන් තැබීම අනිවාර්ය බව පෙන්වා දුන් නීතිඥවරයා තම සේවා දායකයින් එවැනි බැඳුම්කරයකට අත්සන් තබා නොමැති බැවින්  ඔවුන් ඇපකරුවන් වශයෙන් සැලකිය නොහැකි බවත් පැවසුවා.

තම සේවාදායකයින් අපරාධයක් සිදුකළ බවට කිසිදු සාක්ෂියක් පොලිසිය විසින් මේ දක්වා ඉදිරිපත් කර නැති හෙයින් ඔවුන් ඇප මත මුදා හරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම නඩුවේ තවත් සැකකරුවකු වන පෙරුමාල් ගනේෂ් නමැත්තා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්තිදස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවා දායකයා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා ළඟ වසර 22ක් පමණ සේවය කරන බවය.

ඔහු කපිල චන්ද්‍රසේන නමැත්තාව හඳුනන බවත් ඔහුට මුදල් ඇපය තැන්පත් කිරීම සඳහා අධිකරණයට පැමිණි බවත් පවසා ඇත.

ඔහු විසින් නීති විරෝධී ක්‍රියාවක් සිදුකළ බවට කිසිදු සාක්ෂියක් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන්නට නොමැති බැවින් ඔහුව ඇප මත මුදාහරින ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අනතුරුව මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.

පරීක්ෂණ කඩිනමින් අවසන් කරන ලෙස පොලීසියට දැනුම්දුන් මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි ජුනි මස 25 වන දා කැඳවන ලෙස නියම කර තිබුණි.

රුපියලේ කඩාවැටීම කෙටි කාලයක් සඳහා පමණයි – ජනපතිගෙන් ප්‍රකාශයක්……

මැදපෙරදිග යුදමය තත්ත්වය මෙරට තුළ ඩොලර් අර්බුදයක් ඇතිවීමට හේතුවී ඇති බවත්, එම තත්ත්වය පාලනය කරගැනීමට ගතයුතු උපදෙස් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ අද (20) පැවති  මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී රුපියලේ කඩාවැටීම ගැන තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, මෙම තත්ත්වය තවත් කෙටි කාලයක් පවතිනු ඇති බවය. ඒ හේතුවෙන් ඊට සියලු දෙනා ශක්තිමත්ව මුහුණදෙන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ නමුත් මෙම අර්බුදයෙන් විනාශකාරී ආර්ථික තත්ත්වයක් මෙරට තුළ යළි ඇතිවීමට කිසිසේත්ම ඉඩක් නොමැති බවට ජනාධිපතිවරයා මෙහිදී සහතිකය විය.

එමෙන්ම මෙම අවස්ථාවේ මෙරට ආර්ථිකයේ කලමනාකරණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහන හා බැඳී පවතින බැවින්, ඔවුන්ගේ නිර්දේශවලට යටත්ව කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“මැදපෙරදිග යුධ තත්ත්වය නිසා ලෝකයේ දියුණු යැයි සම්මත රටවල්, අඩු ආර්ථික හැකියාවන් තියෙන රටවල් යන සෑම රටක්ම භේදයකින් තොරව ආර්ථික අභියෝගයන්ට මුහුණදී තිබෙනවා.

කෙසේ නමුත් ශක්තිමත් ආර්ථික කලමනාකරණයක ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ව්‍යසනයකට මුහුණ දෙන්න පුළුවන් රුපියල් ප්‍රමාණයක් අපේ භාණ්ඩාගාරය සතුව පවතිනවා.

වර්තමානයේ අපි මුහුණ දී තිබෙනවා ඩොලරය පිළිබඳ අර්බුදයකට. විශේෂයෙන් අනෙක් මුදල් ඒකකවලට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වෙලා. එය අපේ රුපියලට බලපෑමක් ඇති කරලා.

අපේ ප්‍රධාන ඩොලර් ආදායම් මාර්ගයක් සංචාරක කර්මාන්තය. පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙවර 29%කින් සංචාරකයන් පැමිණීම අඩුවෙලා. එය අපේ ඩොලරයට බලපෑමක් ඇති කරනවා. 

ලෝකයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය නිසා අපේ අපනයනවල අඩුවක් ඇති වී තිබෙනවා. ඒ නිසා අපනයන හරහා ලැබෙන ඩොලර්වල හිඟතාවක් මතුවෙලා.

ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් එවන මුදල්වල පසුබැසීමත්, ඩොලර් මිල ඉහළ යාම නිසා ඉන්ධන ගෙන්වීම සඳහා මාසික පිරිවැය වැඩිවීමත් බලපා තිබෙනවා. 

ඒ නිසා අපේ රුපියලට තෙරපුමත් ඩොලරයට ඉල්ලුමක් ඇතිව තිබෙනවා. මේ අර්බුදයට මුහුණ දීම සඳහා ක්‍රියාමාර්ග රැසක් නියමිතව තිබෙනවා. 

කෙටි කාලයක් අපිට මේ ඩොලරය සඳහා තියෙන තෙරපුම පාලනය කරගත යුතුයි. ඒ සඳහා අපි ඉන්ධන පාවිච්චිය සීමා කළ යුතුයි. 

ආනයන භාණ්ඩ පරිහරණය පිළිබඳ මෙන්ම ආනයන වියදම අඩු කිරීම පිළිබඳ අවධානය යොමුකළ යුතුයි. ඒ නිසා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, රටින් එළියට ගලායන ඩොලර් ප්‍රමාණය අඩු කිරීමට තනි තනිව මැදිහත්වන ලෙස” යනුවෙන් පැවසීය.

බාලවයස්කාර සිසුවෙකු පැදවූ කැබ් රථයක ගැටී 14 හැවිරිදි දැරියකට පාදයක් අහිමි වෙයි…..

මොනරාගල – සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ සිරිගල, කිරිමණ්ඩල හන්දිය අසලදී සිදුවූ දරුණු රිය අනතුරකින් 14 හැවිරිදි පාසල් දැරියකගේ පාදයක් ඉවත් කිරීමට සිදුව ඇති අතර ඇය මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

මොනරාගල දෙස සිට ඔබ්බේගොඩ දෙසට ධාවනය වූ කැබ් රථයක් සහ ඔබ්බේගොඩ දෙස සිට මොනරාගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය සහ ඇයගේ පියා මොනරාගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා දැරිය කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.

මොනරාගල, මඩුල්ල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් දැරියක් සහ 47 හැවිරදි ඇයගේ පියා මෙලෙස තුවාල ලබා තිබුණි.

අනතුර හේතුවෙන් දැරියගේ එක් පාදයක් ශල්‍යකර්මයකින් ඉවත් කර ඇති අතර ඇය ඉතා බරපතළ තත්ත්වයේ පසුවන බව අතර පියා මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්,  කැබ්රථය පැද වූ 17 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවා ඇප මත මුදාහැර තිබේ.

ඔහු මොනරාගල, මදුරුකැටිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

මොනරාගල පොලිස් සඳහන් කර ඇත්තේ කැබ් රථය පැදවූ බාලවයස්කාර සිසුවා සතුව බරවාහන පැදවීම සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් තිබී නොමැති බවය.

ඔහු සතුව තිබී ඇත්තේ සැහැල්ලු වාහන පුහුණුවන්නන් සඳහා මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන රිය පුහුණු බලපත්‍රයක් පමණි.

එම බලපත්‍රයෙන් කිසිදු අයුරකින් බර වාහන ධාවනය කිරීමට නීතිමය අවසරයක් නොමැති බව පොලීසිය පවසයි.

කැබ් රථයේ රියදුරු අධික වේගයෙන්, නොසැලකිලිමත් ලෙස සහ අපරීක්ෂාකාරී අයුරින් රිය ධාවනය කිරීම අනතුරට හේතුව බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

අනතුරෙන් පසු අත්අඩංගුවට ගත් සැකකාර සිසුවා මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහු බාලවයස්කාරයෙකු වීම සැලකිල්ලට ගෙන රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මොනරාගල පොලිස් රථ වාහන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විශේෂ විමර්ශන සිදුකරයි.

‘වනාතේ බොක්කා’ සහ ‘මැදවච්චියේ අක්කාගේ’ දේපොළවලට තහනමක්……

ධනුෂ්ක පුෂ්පකුමාර නොහොත් ‘වනාතේ බොක්කා’ සහ ෆාතිමා රෙජිනා හෙවත් ‘මැදවච්චියේ අක්කා’ නමැති අඹුසැමි යුවළගේ දේපොළ සඳහා තහනමක් පනවා තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද මුදල් මගින් මෙම වත්කම් මිලදීගත් බවට අනාවරණය වූ සැකයක් මත මෙම තහනම පනවා ඇත.

ඒ අනුව අතුරුගිරිය ශාන්තාලෝකගම පිහිටි රුපියල් කෝටි 04කට ආසන්න වටිනාකමෙන් යුත් නිවසක් දින 07ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.

නිවසේ හිමිකරුවන් වූ ධනුෂ්ක පුෂ්පකුමාර නොහොත් ‘වනාතේ බොක්කා’ සහ ෆාතිමා රෙජිනා හෙවත් ‘මැදවච්චියේ අක්කා’ නමැති අඹුසැමි යුවළ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් හෙට (20) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ග්‍රාමීය මාර්ග, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලු විසඳීමට ඉදිරි අයවැයෙන් අවධානය…..

ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලුව විසඳීමට ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (20) පෙරවරුවේ මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

මඩකළපුව දිස්ත්‍රික්කයේ පානීය ජල, වාරි සහ කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ජල සම්පාදන ව්‍යාපෘති පිළිබඳ මහජන නියෝජිතයන් සහ ජනතාව එක්ව සාකච්ඡා කර වාර්තාවක් ලබා දෙන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ප්‍රදේශයට එවන බවද සඳහන් කර ඇත.

ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක වන තෙක් ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට කඩිනම් තාවකාලික පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී තිබේ.

එමෙන්ම ජල සම්පාදන මණ්ඩලය විසින් මෙතෙක් සැලසුම් කර ඇති සියලු ව්‍යාපෘතිවලට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මේ අතර දිස්ත්‍රික්කයේ මාර්ග සහ පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර සැලසුම් කර ඇති සියලු මාර්ගවල ඉදිකිරීම් මේ වසරේදීම ආරම්භ කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දී ඇත.

දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු, වනජීවි කලාපයන්ට අයත් වගා බිම් සම්බන්ධ මතුව ඇති ගැටලු සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර මයිලත්තමඩු- මාදවනෙයි තෘණ භූමියට අදාළ කිරි ගොවීන්ගේ දීර්ඝ කාලීන ඉල්ලීම පිළිබඳවද අවධානය යොමු කර තිබේ.

නැගෙනහිර පළාතේ ධීවර කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් වන වාලච්චේන වරාය පූර්ණ ලෙස සංවර්ධනයට ගෙන ඇති පියවර සහ ඒ සඳහා ප්‍රදීපාගාරයක අවශ්‍යතාවය පිළිබඳවද  මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.

එමෙන්ම දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා වූ පෙර සූදානම සහ අලි මිනිස් ගැටුම අවම කර ගැනීමට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය සහ මතුව ඇති ගැටලු පිළිබඳවත් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිවල ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක් කර තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ වගා බිම් සඳහා වන්දි ගෙවීමේ වැඩසටහනේ ප්‍රගතිය, නිවාස හානි සඳහා වන්දි ගෙවීම් සහ නව නිවාස ඉදිකිරීමේ වැඩසහනේ ප්‍රගතියද විමසූ ජනාධිපතිවරයා එම කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දී ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ප්‍රජාශක්ති වැඩසටහන ක්‍රියාත්මක වන අන්දම සහ එහි ප්‍රගතිය මෙන්ම මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.