කළු දුම නිකුත් කරන වාහනවලට නීති දැඩිවෙයි…..

අධික කළු දුම නිකුත් කරමින් මාර්ගයේ ධාවනය කරන වාහන හඳුනාගෙන ඒවාට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එවැනි වාහන පිළිබඳව මේ වනවිටත් පොලීසියට පැමිණිලි ලැබී ඇති බවය.

වායු දූෂණය ලෝක මට්ටමින් බරපතළ ගැටලුවක් බව පෙන්වා දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා, එය හේතුවෙන් වසරකට මිලියනයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන බවද අවධාරණය කළේය.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මෝටර් රථ පරීක්ෂකවරුන් සමඟ එක්ව අධික කළු දුම නිකුත් කරන වාහන හඳුනාගෙන ඒවා පරීක්ෂා කර පොලිස් භාරයට ගනිමින් නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

එමෙන්ම, එවැනි වාහනයක් මාර්ගයේ ධාවනය වන බව දැකගත් අවස්ථාවකදී, ඒ පිළිබඳව වාර්තා කිරීම සඳහා ජනතාවටද අවස්ථාව ලබා දී ඇත.

ඒ සඳහා 070 3500525 යන WhatsApp අංකය හඳුන්වා දී ඇති අතර, අදාළ වාහනයේ අංකය හෝ වීඩියෝ පටයක් යොමු කිරීමෙන් පැමිණිලි කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

එම තොරතුරු අනුව,මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරුන් විසින් අදාළ වාහන සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්…..

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් හෙට (17) ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් යථාවත් කිරීම සඳහා අවශ්‍ය කාර්යයන් මේ වනවිටත් සිදු කරමින් පවතින බැවින් මෙම තීරණය ගෙන ඇති බවය.

බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන් ?

ලෝක වෙ‍ෙළඳපොළේ බොරතෙල් බැරලයක් සඳහා වන වැඩිම මිල, එනම් අමෙරිකානු ඩොලර් 286ක් ගෙවමින් ශ්‍රී ලංකාව බොරතෙල් මිලට ගෙන ඇතැයි ‘මිඩ්ල් ඊස්ට් අයි’ වෙබ් අඩවිය අනාවරණ කරයි.

ඒ, HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩ්‍රි මහතා සිදුකළ බව කියන ප්‍රකාශයක් උපුටා දක්වමිනි.

කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ එම පුවත අසත්‍යයක් බවය.

මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමට පෙර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පැවතුණේ අමෙරිකානු ඩොලර් 70 ත් 80 ත් අතර මිලකටය.

එහෙත් පෙබරවාරි 28 වෙනිදා යුද්ධය ආරම්භ වීමෙන් පසු එම බැරලයක මිල අමෙරිකානු ඩොලර් 119 දක්වා ඉහළ ගිය අතර එය නැවතත් ඩොලර් 100 න් පහළට පැමිණ තිබේ.

ඒ අතර ලෝක වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය බොරතෙල් මිලට වඩා අතිශය ඉහළ මිලක් ගෙවමින් ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයක් සඳහා ඩොලර් 286 මිලක් ගෙවා ඇති බවට ‘මිඩ්ල් ඊස්ට් අයි’ වෙබ් අඩවිය අනාවරණ කරයි.

එහි සඳහන් වන්නේ පසුගිය අඟහරුවාදා හොංකොං හි පැවති ආයෝජන සමුළුවකදී HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩ්‍රි මහතා ඒ පිළිබඳ මෙලෙස ප්‍රකාශයක් කර ඇති බවය.

“මාව කණස්සල්ලට පත් කළේ ප්‍රධාන සිරස්තල වල පැවසෙන මිල ගණන් ‍නො‍වේ. මම අදහස් කළේ තෙල් මිල ඩොලර් 100, 110 ට වඩා වැඩියි. ප්‍රායෝගිකව ගතහොත් ඔබ දැන් මැදපෙරදිගින් තෙල් ලබා ගැනීමට උත්සහ කරනවා නම් ඔබට ඩොලර් 140, 150ක් ගෙවීමට සිදුවනු ඇති. මම ඇසූ පරිදි තෙල් බැරලයකට ඉහළම මිල ගෙවා ඇත්තේ ශ්‍රී ලංකාව. ඩොලර් 286 ක්. “

එම වාර්තාව සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අද පස්වරුවේ ප්‍රතිචාර දැක්වීය.

නිවේදනයක් නිකුත් කරමින් තෙල් සංස්ථාව පවසන්නේ බොර තෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 286 බැගින් මිලට ගත් බවට පැතිර යන පුවත සම්පූර්ණ අසත්‍යයක් බවය.

පවතින යුදමය තත්ත්වය හමුවේ වුවද තෙල් සංස්ථාව බොරතෙල් මිලදී ගනු ලබන්නේ බැරලයක් අමෙරිකානු ඩොලර් 71ත් – 113ත් අතර මිල ගණන් යටතේ බව එම සංස්ථාව සඳහන් කරයි.

මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් කිහිපදෙනෙක් ගැන අනාවරණයක්….

ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවල සැඟවී සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එම රටවල ආරක්ෂක අංශ දියත්කර ඇති විශේෂ මෙහෙයුම්වලදී ශ්‍රී ලාංකික අපරාධකරුවන් කිහිපදෙනෙකුම අත්අඩංගුවට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් ආරංචිමාර්ග පවසන්නේ එලෙස අත්අඩංගුවට ගන්නා ශ්‍රී ලාංකික අපරාධකරුවන් මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය.

මෙරට තුළ සිදුවන බහුතරයක් අපරාධ ක්‍රියාවන් ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවල සැඟවී සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් විසින් මෙහෙයනවන බවට ආරක්ෂක අංශ අනාවරණ කරගෙන තිබේ.

ඔවුන් ඉරානයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සෘජු සබඳතා පවත්වමින් මෙරටට මත්ද්‍රව්‍ය එවන බව පසුගිය කාලයේ සිදුකළ වැටලීම්වලදී හෙළිවිය.

ඒ අනුව විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන්ට විරුද්ධව රතු වරෙන්තු නිකුත් කර තිබුණ ද අදාළ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට එම රටවල බලධාරීන් පසුගිය කාලය පුරා කටයුතු කර තිබුණේ නැත.

කෙසේවෙතත් මේ වනවිට ඉරානය මැදපෙරදිග කලාපයේ රටවල් වලට ප්‍රහාර එල්ල කිරීමත් සමග එම රටවල් ඉරානයේ අපරාධකරුවන් සමග සබඳතා පවත්වන පිරිස් සොයා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව මෙරට අපරාධකරුවන් රැසක් මේවන විටත් මැදපෙරදිග රටවල් වලදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අතර බටුවත්තේ චාමර, මෝදර නිපුන, පරෙවි සුදා ඇතුළු අපරාධකරුවන් රැසක් සිටින බවට වාර්තාවුවත් ඒ බව මෙතෙක් නිලවශයෙන් තහවුරු වී නැත.

ඒ අනුව ඒ පිළිබඳව නිලවශයෙන් තමන් දැනුම්වත් කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මැදපෙරදිග රටවලින් ඉල්ලීම් කිහිපයක්ම සිදුකර තිබේ.

මෙලෙස සිදුවන අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් මේ වනවිට අපරාධකරුවන් රැසක් මැදපෙරදිගින් යුරෝපා රටවලට පලායෑමට උත්සාහ දරන බවද වාර්තා වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන රාජු නැමැත්තාව ද ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනුණු අතර ඔහු හෙට (17) දිනයේදී මෙරටට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ.

මේ අතර කරන්දෙණියේ සුද්දා සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ 30 හැවිරිදි කාන්තාවක් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණි.

ඇය සතුව තිබී රුපියල් ලක්ෂ 35ක මුදලක් හා රත්‍රං ග්‍රෑම් 99කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පැවසුවේය.

ඇයගේ සැමියාවද කරන්දෙණියේ සුද්දා විසින් ඝාතනය කර ඇති අතර අනතුරුව ඇය ඔහු සමග සමීප සබඳතාවක් පවත්වා ඇති බවද වාර්තා වේ.

අදාළ කාන්තාව කරන්දෙණිය සුද්දා සමග වීඩියෝ ඇමතුමක් ලබාගන්නා ඡායාරූපයක් ද හඳුනාගෙන ඇත.

ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇයගේ මව හා සහෝදරයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඒ. පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා මහතා විසින් සිදුකරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට…..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා පැවසුවේ, කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ටී 56 මැගසින් දෙකක්, පතොරම් 221ට වැඩි ප්‍රමාණයක් සහ ජීව අත්බෝම්බ දෙකක් සොයාගැනීමට හැකි වූ බවය.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

 

Update

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතා සතුව අවි ආයුධ ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය කැස්බෑව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව අද (16) ඔහුගේ නිවස පරීක්ෂා කෙරුණි.

එහිදී T56 උණ්ඩ 221ක්, T56 මැගසින් 2ක්, 7.2 උණ්ඩ 31ක්, 0.2 උණ්ඩ 103ක් සහ ජීව අත්බෝම්බයක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවිය.

‍අදාළ ජීව අත්බෝම්බය චෙකොස්ලෝවැකියාවේ නිෂ්පාදිත එකක් බවද අනාවරණය වී තිබේ.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් චන්දන කත්‍රිආරච්චි මහතාගේ නිවසේ තවදුරටත් සෝදිසි කිරීම් සිදුකර ඇති අතර එහිදී  ලියාපදිංචි ගිනිඅවි 4ක් ද සොයාගැනීමට හැකිවී ඇත.

ඉන් එක් ගිනිඅවියක් චන්දන කත්‍රිආරච්චි මහතාගේ නමට ලියාපදිංචි කර තිබෙන අතර අනෙක් ගිනිඅවි 3 චන්දන කත්‍රිආරච්චි මහතාගේ බිරිඳගේ නමට ලියාපදිංචි කර තිබූ බව අනාවරණය වී තිබේ.

මෙලෙස සොයාගෙන ඇත්තේ ෂොට්ගන් වර්ගයේ ගිනිඅවි 2ක් සහ 9mm වර්ගයේ ගිනිඅවි 2කි.

ඒ අනුව චන්දන කත්‍රිආරච්චි මහතා සතුව මෙතරම් ගිනිඅවි ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීමට හේතුව අනාවරණය කරගැනීම සඳහා වෙනම විමර්ශනයක් ආරම්භ කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

අලුත් අවුරුදු සමයේ CTBයට බිලියනයක ආදායමක්……

අලුත් අවුරුදු සේවා සැපයීමෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයට දින 6ක් තුළ රුපියල් බිලියනයක ආදායමක් හිමි වූ බව එහි  සභාපති සජීව නන්දන කනගරත්න මහතා පවසයි.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට පැමිණි ජනතාවට සේවා සැපයීම තුළින් එම ආදායම හිමිකර ගත් බවය.

ඒ අනුව පසුගිය 11 වනදා ඉතිහාසයේ වැඩිම අදායම ඉපයූ දිනය ලෙස වාර්තාගත වන අතර එම සංඛ්‍යාව රුපියල් මිලියන 213ක් වන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනගරත්න මහතා සඳහන් කළේය.

මේ අතර අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹ සහ ප්‍රධාන නගර වෙත පැමිණීමට අද සිට විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ කොළඹ සිට පෞද්ගලික බස් රථ යොදා ගනිමින් මගීන් ලක්ෂ 4කට අධික සංඛ්‍යාවක් අලුත් අවුරුදු සඳහා ගම්බිම් බලා ගොස් ඇති බවය.

බස් රථවල අධික ලෙස මුදල් අය කරනු ලබන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ ක්ෂණික දුරකථන අංකය වන 1955 අමතා පැමිණිලි සිදු කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ගම්බිම් බලා ගොස් සිටින ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සැපයීමට බස් රථ 4000ට වැඩි සංඛ්‍යාවක් යොදවා ඇති බවය.

ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමි බැහැදකී…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.

උන්වහන්සේ වැඩ වසන මීරිගම, මිණිඔළුව, ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරය වෙත අද (15) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා මෙලෙස මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසීය.

උන්වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය ආශිර්වාදය පළ කළහ.

පූජ්‍ය මකුලෑවේ ධම්මරතන ⁣ස්වාමීන්වහන්සේ සහ ගම්පහ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මප්‍රිය විජේසිංහ, චමින්ද ලලිත් කුමාර , මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සුමින් මහින්දලාල් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කරන්දෙණිය සුද්දාගේ සහෝදරයා ඉන්දියාවේදී අත්අඩංගුවට….

ඝාතන ඇතුළු අපරාධ සිද්ධි 15කට අධික සංඛ්‍යාවකට පොලීසියට අවශ්‍යව සිටින රාජු නමැති සැකකරු ඉන්දියාවේදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.

කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ සහෝදරයා වන ඔහු දිවයිනට රැගෙන ඒමට අද (15) රාත්‍රියේදී හෝ හෙට (16) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඉන්දියාවට යෑමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පසුගිය කාලය මුළුල්ලේ ක්‍රියාත්මක වූ ඝාතන රැල්ල සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණේ සෝබන හන්දි ජයලත් ද සිල්වා හෙවත් කරන්දෙණියේ සුද්දාට හා ඔහුගේ සහෝදරයා වන සෝබන හන්දි සනත් ද සිල්වා හෙවත් රාජු නැමැත්තාටය.

කුලී ඝාතකයන් ලෙස සිය පාතාල ගමන ඇරඹූ ඔවුන්ගෙන් ප්‍රධානියා කරන්දෙණියේ සුද්දා වූවත් ඔහු ලබාගන්නා ඝාතන කොන්ත්‍රාත්තු සියල්ල මෙහෙයවා ඇත්තේ රාජු නැමැත්තා විසිනි.

ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කර පසුව යුද හමුදා විශේෂ බලකායට එක්ව අනතුරුව සේවය අතහැර අපරාධ ක්‍රියා සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කරයි.

හිත හොඳ දොස්තර ඝාතනය, පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ ඝාතනය ඇතුළු ඝාතන සහ අපරාධ ක්‍රියා 15කට අධික සංඛ්‍යාවකට රාජු නැමැත්තා පොලිසියට අවශ්‍යව සිටින අයෙකි.

ඒ අනුව පොලීසිය ඔහුට විරුද්ධව රතු වරෙන්තුවක්  ලබාගෙන, සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ ඔහු මීට වසර කිහිපයකට පෙර ව්‍යාජ විදෙස්ගමන් බලපත්‍රයක් භාවිත කර සිය සහෝදරයාද සමගින් ඩුබායි රාජ්‍යයට පලාගොස් ඇති බවය.

එවන් පසුබිමක ඔහු මීට දින කිහිපයකට පෙර ඉන්දියාවට පැමිණ ඇති බවටත් එහි සිට යුරෝපා රටකට වීසා ලබාගෙන පලායෑමට සූදානමින් සිටින බවටත් මෙරට ආරක්ෂක අංශ වෙත රහසිගත තොරතුරක් ලැබී තිබේ.

ඒ පිළිබඳව ඉන්දීය ආරක්ෂක අංශ දැනුම්වත් කිරීමෙන් පසුව රාජු නමැත්තා ඉකුත් සඳුදා දිනයේදී අත්අඩංගුවට ගත් බව ඉන්දීය ආරක්ෂක අංශ මෙරටට නිලවශයෙන් තහවුරු කර ඇත.‍

මේ අතර කරන්දෙණියේ සුද්දාගේ ගිනිඅවි ප්‍රවාහනය කළ නුවන් ධනුෂ්ක නැමැත්තෙකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් ද සමගින්ය.

දකුණු පළාතේ පසුගිය කාලයේ සිදු වූ ඝාතන රැසක් සඳහා මොහු විසින් ගිනිඅවි ප්‍රවාහනය කර ඇති බවත්, ඒ එක් අවස්ථාවක් සඳහා සැකකරුට රුපියල් 25,000ක මුදලක් ගෙවා ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.

26 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඒ. පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා මහතා විසින් විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

පියා සමග දියනෑමට ගිය පුතුන් 4දෙනාගේ සිද්ධිය – දෙදෙනෙකුගේ සිරුරු සොයාගනී….

මහවැලි ගඟේ වෙරුගල්ආරු පාලම අසල දියනෑමට ගිය පියෙකු සහ පුතුන් සිව්දෙනා අතරින් අතුරුදන් වූ තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද (15) පස්වරුවේ සොයා ගැනුණි.

පියෙකු සහ පුතුන් සිව්දෙනෙකු ඊයේ (14) පස්වරුවේ දියේ ගිලි මෙලෙස අනතුරකට මුහුණපා තිබුණු අතර ඉන් පියා සහ එක් පුතෙකු දිවි බේරාගැනීමට සමත් වුණි.

අතුරුදන් වූ සෙසු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද පස්වරුවේ මෙලෙස සොයා ගෙන තිබේ.

දියේ ගිලි ජීවිතක්ෂයට පත්වුණේ වයස අවුරුදු 35 සහ 34 වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකි.

කොළඹ රැකියා කටයුතුවල නිරත පුතුන් සිව්දෙනා අලුත් අවුරුද්දට ගමට පැමිණීම හේතුවෙන් ඔවුන් සමඟින් පියා දිය නෑමට යාමේදී අනතුර සිදුවී තිබුණි.

දිවයිනට ආ ඉන්දුනීසියානු රුවල් නෞකාව…..

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI – 945’ රුවල් නෞකාව සුහද සංචාරයක් සඳහා අද (15) දිවයිනට පැමිණි තිබේ.

ඒ ASEAN Plus Cadet Sail (APCS) – 2026 වැඩසටහන යටතේ ඉන්දුනීසියානු නාවික හමුදාවේ ශිෂ්‍යභට නිලධාරීන් ඇතුළුව විදේශීය රටවල් විසිහයක ශිෂ්‍යභට නිලධාරීන් සමඟය.

මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකෙරිණි.

මෙලෙස දිවයිනට පැමිණි SAIL SHIP වර්ගයට අයත් ‘KRI BIMA SUCI – 945’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් SUGENG HARIYANTO කටයුතු කරනු ලබයි.

නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එම නෞකාව නිරීක්ෂණය සඳහා නාවික හමුදා පුහුණුවන නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයින් සහභාගී වීමට නියමිතව ඇත.

තවද දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන  වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිතය.