වයෝවෘධ කාන්තාවක්ව දූෂණය කර මරා දාලා…..

වයෝවෘධ කාන්තාවක් දූෂණය කර මුහුණට මිරිස් කුඩු ගසා ගෙල මිරිකා ඇයව ඝාතනය කර ඇති සංවේදී පුවතක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

එලෙස ඝාතනය කර ඇත්තේ, මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු  71 කාන්තාවකි.

මීට වසර දෙකකට පෙර එම කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර, ඝාතනය වූ වයෝවෘධ කාන්තාව තනිව නිවසේ සිට ඇත.

යාබද නිවසක සිටි කාන්තාවක් ඊයේ (24) නිවසට පැමිණ බැලීමේ දී මිරිස් කුඩු මුහුණේ ගෑවී මියගිය කාන්තාව බිම වැටී සිටිනු දැක පොලීසියට දැනුම් දී තිබේ.

මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්ද්‍රාණි රත්නායක මහත්මිය ස්ථානීය පරීක්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා  ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කරන ලෙස පොලීසියට දැනුම් දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මිනුවන්ගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ජලාශ 15ක වාන් දොරටු විවෘතයි…..

‍පවතින අධික වර්ෂාපතනයත් සමග කුඩා සහ විශාල ප්‍රමාණයේ ජලාශ 15ක් පමණ වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, රාජාංගණය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර ඉන් තත්ත්පරයට ඝන අඩි 5087ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හරින බවය.

රාජාංගණය, සියඹලන්ගමුව, දැදුරුඔය ජලාශය, බතලගොඩ, හත්වටුනාඔය, යෝධ වැව ආදී ජලාශ ඇතුළු වැව් කිහිපයක් ද වාන් දමන බව සඳහන්ය.

පවතින වර්ෂාපතනය හේතුවෙන් ඉදිරියේදී එම ජලාශවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බැවින් ඒ අශ්‍රිත ප්‍රදේශවල ජනතාව සැළකිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට සිදුවු අකරතැබ්බය…..

නාරාහේන්පිට තිඹිරිගස්යාය මාර්ගයේ දී බ්‍රිතාන්‍ය ජාතික සබ්‍රිනා කැමරන් නම් කාන්තාවගේ මුදල් පසුම්බිය අස්ථානගත වී තිබේ.

පසුව එම මුදල් පසුම්බිය තිඹිරිගස්යාය මාර්ගයේ වැටී තිබියදී අගමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත කාන්තා පොලිස් පරීක්ෂක යමුනා ධම්මිකා කුමාරි එදිරිසිංහ සහ කාන්තා පොලිස් කොස්තාපල් සමන්මී යන නිලධාරීනියන් විසින් සොයා ගෙන තිබුණි.

පසුව එම මුදල් පසුම්බියේ හිමිකාරිණිය වූ විදෙස් කතව අගමැති ආරක්ෂක කොට්ඨාසයට කැඳවා එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුමිත්‍ර ද සිල්වා මහතා එම මුදල් පසුම්බිය ලබාදී ඇත.

එහි ලංකාාවේ මුදල් රුපියල් 6,000ක් හා මෙරට මුදලින් රු ලක්ෂ 6ක පමණ වටින යුරෝ, අමෙරිකානු ඩොලර්, ස්ටර්ලිං පවුම් ආදි විදෙස් මුදල් තිබී තිබේ.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් දුන් සේවා දිගුවක් ඇමති අවලංගු කරයි…..

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන ඇති තීරණය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට නියෝග කර තිබේ.

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ එච්.පී. නිරෝෂන් මහත්මාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට බලශක්ති අමාත්‍යාංශ ලේකම් උදයංග හේමපාල මහතා විසින් පසුගියදා 15 වෙනිදා කටයුතු කරමින් ඒ මහතා වෙත ලිපියක් නිකුත් කර තිබුණි.

පසුගිය ඔක්තෝබර් 15 වැනිදා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල මහතා විසින් ලිපියක් යොමු කරමින් එච්.පී නිරෝෂන් මහතා වෙත දන්වා ඇත්තේ, විදුලිබල අංශ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ඒ මහතාගේ ධුර කාලය එළැඹෙන වසරේ ජුනි 26 වෙනිදා දක්වා දීර්ඝ කළ බවය.

ඒ සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් අනුමැතිය ලබා දී ඇති බවත් ලේකම්වරයා සිය ලිපිය මඟින් අධ්‍යක්ෂ ජනරාල් නිරෝෂන් මහතා වෙත දන්වා යවා තිබුණි.

කෙසේ වෙතත් මෙම ලිපිය සම්බන්ධව පසුගිය 22 වැනිදා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් ලිපියක් යොමු කරමින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්වීම අවලංගු කරන ලෙසය.

අදාළ ලිපිය මඟින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, තමන් විසින් අදාළ පත් වීම සඳහා කිසිදු ලෙසකින් අනුමතියක්ද ලබා දී නොමැති බවය.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම අවලංගු කරන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දන්වා තිබේ.

අදාළ ලිපිය මඟින් අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ ද එවැනි දීර්ඝ කිරීමක් සඳහා අනුමතිය ඉල්ලා සිටීමද වැරදි නිරූපණයක් ඇති කරන්නක් වන බවය.

මේ හේතුවෙන් පසුගිය 15 වැනිදා නිකුත් කර ඇති එම ලිපිය ඇතුළුව අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්කර ගන්නා ලෙසද බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ලේකම්වරයාට සිය ලිපියක් මඟින් දන්වා යවමින් නියෝග කර ඇත.

කළු ගඟේ ජල මට්ටම ඉහළට – ප්‍රදේශ කිහිපයක ජනතාවට අවධානයෙන් සිටින ලෙස දන්වයි….

පවතින අධික වර්ෂාපතනයන් හමුවේ දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ගාල්ල, මාතර, කළුතර‍‍, කොළඹ, නුවර, සහ නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයන් වෙත අධික වර්ෂාපතනයක් ලැබුණු බවය.

එමෙන්ම කැලණි, අත්තනගලු, ගිං, බෙන්තර ආශ්‍රිතවද මිලිමීටර් 50කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවත් මෙම වර්ෂාපතනය හමුවේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ කළු ඟග ආශ්‍රිතව බවත් ඒ අනුව එහි ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, මිල්ලකන්ද, ඇල්ලගාව, ප්‍රදේශයන් හී ජල මට්ටම් වැඩි වීමක් නිරීක්ෂණය වී ඇති නමුත් පවතින වර්ෂාපතනයන් අනුව එය ගංවතුර තත්ත්වයක් දක්වා පැමිණේ යැයි අපේක්ෂා නොකරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේ නමුත් ඉදිරියේදී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණ හොත් ගංවතුර තත්ත්වයන් ඇති වීමේ හැකියාව පවතින බැවින් කළු ගඟ ආශ්‍රිත පදිංචිකරුවන් මේ සම්බන්ධව අවධානයෙන් සිටිය යුතු බවත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීම්කද සිදුකර තිබේ.

මේ අතර කැලණි ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ජනතාවද විශේෂ සැලකිල්ලෙන් සිටිය යුතු බවත් ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයන් අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකිද යන්න ජනතාව දැනුවත් කරන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

රජරට රැජින දුම්රියේ ගින්නක්…

අනුරාධපුරය සිට බෙල්ලඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ගින්නක් හටගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න දුම්රියේ එන්ජිමේ හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බවය.

අනතුරව දුම්රිය යළි අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් එම දුම්රියට වෙනත් එන්ජිමක් සවි කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

අද උදෑසන 5ට අනුරාධපුරයෙන් පිටත් වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රියේ මෙම ගින්න හටගෙන තිබුණි.

මේ හේතුවෙන් එම දුම්රිය පැය 2කට අධික කාලයක් පිටත් වීම ප්‍රමාද වූ අතර පෙරවරු 7.30 පමණ යළි බෙලිඅත්ත බලා ධාවන වීමට ගමන් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

මිනුවන්ගොඩින් ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙක් මාට්ටු….

මිනුවන්ගොඩ පොලිස් වසමේ අඹගහවත්ත ප්‍රදේශයේදී ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (24 ) සවස ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී ටී – 56 ජීව පතරොම් 8ක් හා පුහුණු පතරොම් 15ක් සොයාගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 53ක් වන අඹගහවත්ත, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උලළේදී ශ්‍රී ලංකාට පදක්කම් රැසක් – චමෝද්ට රන් පදක්කමක්…

බහරේන් හිදී පැවැත්වෙන තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේදී අද පැවැති මලල ක්‍රීඩා ඉසව් කිහිපයකින් ශ්‍රී ලංකාවට පදක්කම් කිහිපයක් දිනා ගැනීමට සමත්වූහ.

චමෝද් යෝධසිංහට රන් පදක්කමක්

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට චමෝද් යෝධසිංහ සමත් වුණි.

ඒ මිනිත්තු 10.30කින් තරගය අවසන් කරමිනි.

චතුර දුලාංජනගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

බහරේනයේ පැවැති 3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේදී පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ඒ චතුර දුලාංජන විසින් මීටර් 62.51 ක දුරක් වාර්තා කරමිනි.

ශානුක කොස්තාගෙන් ලෝකඩ පදක්කමක්

බහරේනයේ පැවති 2025 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වෙන් තත්පර 47.72 ක කාලයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ ශානුක කොස්තා ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

මාලිම්බඩ උතුර මහා විද්‍යාලයට වසර 85 ක් පිරීම නිමිත්තෙන් විවිධ වැඩසටහන් රැසක්……

මාලිම්බඩ උතුර මහා විද්‍යාලයට වසර 85 ක් පිරීම නිමිත්තෙන් විවිධ වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිත බව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකමි විජය පද්මකුමාර මහතා පවසයි .

ප්‍රදේශයේ පාසල් අතර ඉතාමත් කීර්තියක් උසුල මෙම පාසල තුළින් වෛද්‍යවරුන්,ඉංජිනේරුවරුන්, ගුරුවරුන් ආදී ක්ෂේත්‍රවල මෙන්ම රටට වැඩදායක විශාල පිරිසක් බිහිකිරීමට මෙම පාසල හේතු වී තිබේ.
එවැනි විශිෂ්ට වූ විද්‍යාලය ආරම්භ කර වසර අසූ පහක් (85 ) සපිරීම නිමිත්තෙන් ආගමික වැඩසටහන් ඇතුළු විවිධ වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතය.
එම වැඩසටහනට සමගාමීව 25 දින පෙරවරු 8:00 ට විද්‍යාලය අසලින් පා ගමනක්ද පැවැත්වීමට නියමිතය.
මෙම අභිමානවත් උත්සවයේ කටයුතු විද්‍යාලයේ විදුහල්පතිනි යු.එන් කරුණාවීර මහත්මියගේ උපදෙස් මත විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සහ විද්‍යාලයේ දෙමව්පියන් සහ දූ දරුවන් හා ප්‍රදේශවාසීන් විසින් වැඩසටහන් මාලාව සංවිධානය කරනු ලබන බව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය වැඩිදුරටත් පැවසූහ.

තරංග ගුණරත්න – වැලිගම

 

IMG-20251025-WA0004 IMG-20251025-WA0005 IMG-20251025-WA0003 IMG-20251025-WA0002 IMG-20251025-WA0006

වැලිගම සභාපති ආරක්ෂාව ඉල්ලූ ලිපියට ඉදිරි පියවර ගන්නැයි පොලිස්පති දැනුම්දීලා…

තමාට ආරක්ෂාව සලසන ලෙස වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පොලිස්පතිවරයා වෙත පසුගිය සැප්තැම්බර් 6 වනදා ලිපියක් යොමුකර තිබූ බව පොලිස් මූලස්ථානය පවසයි.

එම ලිපියට අදාළව ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්පතිවරයා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පසුගිය සැප්තැම්බර් 12 වනදා යොමුකර තිබූ බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලිපිය, මාතර – හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති අතර පසුව මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මගින් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට හා මිදිගම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දී තිබේ.

පොලිසිය සඳහන් කළේ අනතුරුව පොලිස් නිලධාරීන් ඒ පිළිබඳව සොයාබලා ලසන්ත වික්‍රමසේකරට ආරක්ෂිතව සිටින ලෙස දැනුම් දුන් බවය.

මේ අතර වැලිගම සභාපතිවරයාට වෙඩි තැබූ වෙඩික්කරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වෙමින් පවතින බව ද පොලිසිය පවසයි.

වෙඩික්කරු බොහෝදුරට ආරක්ෂක අංශයකින් පලාගිය පුද්ගලයෙක් බවට සැකකරන බව පොලීසිය පැවසුවේය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්න වික්‍රමසේකර මහතාව පසුගිය බදාදා ප්‍රාදේශීය සභාව තුළදී වෙඩිතබා ඝාතනය කරනු ලැබීය.

මේ වන විට සභාපතිවරයාගේ දේහය මිදිගම පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැම්පත් කර ඇත.

මේ අතර ඝාතනයට අදාළ පරීක්ෂණ පොලිස්පතිවරයාගේ උපදෙස් මත දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකය.

පොලිස් කණ්ඩායම් 4ක් ඒ අනුව යොදවා ඇති අතර ඉන් දෙකක් සීසීටීවී කැමරා පරීක්ෂා කිරීම සඳහා යොදවා ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසුවේය.