‘ශ්‍රීලන්කන්’ නාමය භාවිත කරමින් සිදු කරන මුදල් වංචාවක් ගැන තොරතුරු හෙළි වෙයි…..

‘ශ්‍රීලන්කන්’ නාමය භාවිත කරමින් මුදල් වංචාවක් සිදු කරන බවට තොරතුරු අනාවරණවී ඇති බව පොලිසිය පවසයි.

එය සිදු කරනු ලබන්නේ, වට්ස්ඇප් ගිණුම් හරහා එම ආයතනයේ සේවාවක් බවට අඟවමින් දුරකථන සම්බන්ධතා ඇති කරගනිමින් ව්‍යාජ වෙබ් අඩවි ත්‍රිත්වයක් හරහා ‘SriLankan.apk’ යනුවෙන් පවතින ජංගම දුරකථන යෙදුමක් ස්ථාපනය කරවීමට සැලැස්වීම හරහාය.

මෙම යෙදවුම අනිශ්ඨ බැංකු ට්‍රෝජන් යෙදුමක් බවත් යෙදුම ස්ථාපනය කිරීම මඟින් ජංගම දුරකථන වෙත දුරස්ථ ප්‍රවේශය ලබාගැනීම සඳහා අවසර ලබාගැනීමක් බව පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ හරහා පුද්ගල සංවේදී දත්ත නිරාවණය කරගැනීමේ හැකියාව ලැබෙව බවට නිරීක්ෂණයවී තිබේ.

ඒ අනුව අනිශ්ඨ ක්‍රියාකරුවන් විසින් මුදල් ගනුදෙනුවක් සිදු කරවීමට සලස්වමින් OTP, බැංකු ගිණුම් තොරතුරු සහ සත්‍යාපන දත්ත ලබාගැනීම හරහා බැංකු යෙදුම් වෙත අනවසර ප්‍රවේශ ලබා ගනිමින් වංචනික ලෙස මුදල් වෙනත් බැංකු ගිණුම් වෙත බැර කරගැනීම සිදු කරන බව අනාවරණයවී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම ක්‍රියාවලිය සඳහා 077 45 58 361, 011 77 71 979, 074 11 42 208, 077 57 91 209 සහ 074 32 68 200 යන අංක භාවිත කරනු ලබන බවට නිරීක්ෂණවී ඇත.

ක්ෂණික මූල්‍ය වාසි ලබාගැනීමේ අරමුණින් මහජනතාව මෙවැනි වංචාවන්ට හසුවන අවස්ථා නිරන්තරව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් සිදු කරනු ලබන මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසට පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි……

නව රථ වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම මෙම වසරේ මැයි මාසයේ අග සිට සිදුකළ හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මේ බව සඳහන් කෙරුණේ එම ආයතනයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී ය.

එමෙන්ම වාහන හිමිකරුගේ නම සඳහන් කරමින් ලියාපදිංචි අංක තහඩුවක් ලබාගැනීමේ ක්‍රමවේදය ද කඩිනමින් ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා,

“ඉස්සර පළාත ගහලා තිබුණා.. දැන් ඉවත් කරලා”

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්  – ප්‍රියන්තා දිසානායක,

“යුද්ධය කාලයේ ඇතිවෙලා තිබුණු ප්‍රශ්න නිසා ඒ වාහනය කොහාට අයිති එකක්ද කියලා හඳුනගන්න Frequency ID එකකුත් එක්ක තමයි ඒක දාලා තිබුණේ. නමුත් ඒ Frequency ID එක රීඩ් කරන්න ඒ වෙනකොට පොලිසියේ රීඩස් තිබුණේ නැහැ. ඒ නිසා අයින් කරන්න තීරණය කළා. දැන් එහෙම අවශ්‍යතාවයක් නෑ කියලා තමයි කියන්නේ.”

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා,

“ඩඩ්ලි මහත්තයා මාත් එකක් තරහා වෙන එකක් නැහැ මේක කිව්වට. දැන් ඔය ඩඩ්ලි මහත්තයාගේ කාර් එක ගැන හැමෝම කතා වුණානේ. අපේ බැරිද අංක තහඩුවට ඩඩ්ලි කියලා නම ගහලම ගන්න.”

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්  – ප්‍රියන්තා දිසානායක,

“පුළුවන් සර්. අපිට ඒක කරන්න පුළුවන්. අපි ඇත්තටම ඒ ක්‍රමවේදය ලංකාවට හඳුන්වා දෙන්න සැලසුම් කරගෙන යනවා. සිස්ටම් එක අප්ඩේට් කරපු ගමන් අපි ඒ වගේ ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකකට යන්න බලාපොරොත්තු වෙනවා.”

අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිගේ කැබ් රථය හැප්පෙයි……

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය අනතුරට පත්ව තිබේ.

ඔහු ‍ඊයේ (22) රාත්‍රී කොළඹ සිට හැටන් හරහා නුවරඑලිය දක්වා ගමන් කරමින් සිටියදී කැබ් රථය කිතුල්ගල කළුකොහු තැන්න ප්‍රදේශයෙදි ලිස්සා ගොස් ප්‍රධාන මාර්ගය අභියස තිබු විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදු වී ඇත.

අනතුරින් මෝටර් රථය ධාවනය කළ රියදුරාට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාට කිසිදු අනතුරක් සිදුවී නැත.

කෙසේවෙතත් අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිතුල්ගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මේ වසරේ පළමු කාර්තුවේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන දෙක ඉක්මවයි……

මේ වසරේ පළමු කාර්තුව තුළදී විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 26.5කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය පවසයි.

ශ්‍රී ලංකා මහා බැංකුවේ දත්ත උපුටා දක්වමින් කාර්යාංශය සඳහන් කළේ, 2026 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා ඇමරිකන් ඩොලර් බිලියන 2.294ක විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බවය.

ඒ අනුව ජනවාරි මසදී ඩොලර් මිලියන 751ක් පෙබරවාරී මස ඩොලර් මිලියන 729ක් හා මාර්තු මසදී ඩොලර් මිලියන 815ක් ලැබී ඇත.

2025 වර්ෂයේ පළමු මස තුන තුළදී ලැබී ඇති විගමනික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,815කි.

විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබීමේ ප්‍රමාණය මෙලෙස ඉහළ යාමට රාජය මුල්‍ය විශ්වාසය හා විනිවිදභාවය හා  නිත්‍යානුකූල මාර්ග ක්‍රමවේද ශ්‍රමිකයන් භාවිතා කිරිමට කාර්යාංශය විසින් උනන්දු කරවිම හේතුවී ඇති බව කාර්යාංශය සඳහන් කරයි.

මේ අතර මේ වසරේ ජනවාරි සිට මාර්තු අවසානය දක්වා ශ්‍රමිකයන් 62,145 දෙ‍ෙනකු රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි….

ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ඉලක්කගත මූල්‍ය සම්බාධක (Targeted Financial Sanctions – TFS) ක්‍රියාත්මක කිරීම ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශ පවසයි.

එම සම්බාධක යටතේ, ත්‍රස්තවාදයට හෝ එයට මූල්‍ය සහය ලබාදීමට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයන් හෝ සංවිධාන වල බැංකු ගිණුම්, දේපළ හා අනෙකුත් වත්කම් සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කිරීමට හැකි වේ.

ඒ අනුව, එම වත්කම් භාවිතය, මාරු කිරීම හෝ විකිණීමද නීතිමය වශයෙන් තහනම් වේ.

මෙම ක්‍රමවේදය, 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනත යටතේ බලාත්මක කරන ලද 2012 අංක 01 දරන රෙගුලාසිය මගින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 1373 (2001) අනුව ක්‍රියාත්මක කෙරේ.

සම්බාධක නිකුත් කිරීමේ බලය විදේශ කටයුතු අමාත්‍යවරයා සතු වන අතර, එහි මෙහෙයුම් කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා “නිසි බලධාරියා” ලෙස පත් කර ඇත.

බලධාරීන් පෙන්වා දෙන්නේ, මෙම පියවර මඟින් ත්‍රස්තවාදය මුල් අවස්ථාවේදීම වැළැක්වීමට, රටේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමට හැකි වන බවයි.

එසේම මහජනතාවට තොරතුරු ලබාදීම සහ විවෘතභාවය වර්ධනය කිරීම සඳහා නිසි බලධාරී කාර්යාලය විසින් www.competentauthority.gov.lk වෙබ් අඩවියද හඳුන්වා දී තිබේ.

මෙම නවීන නීතිමය හා පරිපාලන ක්‍රමවේදය මඟින් ශ්‍රී ලංකාව තුළ සාමය, ස්ථාවරත්වය සහ ජාතික ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2026 වසරට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණය චීන සමූහාණ්ඩුවෙන්…..

2026 වසරට අදාළව රජයේ හා රජයේ අනුමත පාසල්වල සිසුන්ට සහ පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීල මාතාවන් ඇතුළු ගිහි සිසුනට අවශ්‍ය කරන සමස්ත නිල ඇඳුම් රෙදි ප්‍රමාණයම චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලබාදීම සම්පූර්ණ කළ බවට නිල වශයෙන් දැනුම් දීම සිදුකර තිබුණි.

අද (22) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස 2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව සපුරාලීම සඳහා හිමි වූ රෙදි මීටර් මිලියන 11.484ක් ලබා දී අවසන් බවට නිල වශයෙන් දැනුම් දීමේ සහතික පත්‍ර හුවමාරුව අග්‍රාමාත්‍යවරිය හා ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා අතර සිදු විය.

ඒ හරහා පාසල් නිල ඇඳුම් ප්‍රතිලාභය හිමිවූ සිසුන් ගණන මිලියන 4.4 කට අධිකය.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

“චීන සමූහාණ්ඩුව විසින් අපගේ පාසල් සිසුන්ට ලබාදුන් මෙම නිල ඇඳුම් ප්‍රදානය දෙරට අතර පවතින නොබිඳෙන සහයෝගීතාවයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. අප රජය අපේක්ෂා කරන අධ්‍යාපන පරිවර්තනයට යාමට අවශ්‍ය පහසුකම් ලබාදීම මෙන්ම, ආර්ථික හා සමාජීය වශයෙන් ඉදිරියට යාමට අවශ්‍ය සහය ද චීනය අපට නොකඩවා ලබාදෙන රටක්.

පාසල් නිල ඇඳුමක් යනු සරල දෙයක් නෙමෙයි. එය ගෞරවය සහ සමානාත්මතාවය පිළිබඳ කරුණක්. මෙම නිල ඇඳුම් බෙදාදීමේ වැඩසටහන මගින් අසමානතා අවම කරමින් දරුවන්ට විශ්වාසයෙන් යුතුව අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදෙනවා. එසේම ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන්ට සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙම ක්‍රියාවලිය කිසිදු කාල ප්‍රමාදයකින් තොරව සිදුකිරීම සඳහා දැක්වූ සහයෝගයට මා ස්තූතිය පුද කරනවා.”

එහිදී අදහස් දක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා,

“මෙම පාසල් නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන නොකඩවා අවුරුදු 4ක කාලසීමාවක් තිස්සේ සිදුකරමින් පවතින බවත්, ඊට අමතරව පාසල් සිසුන් සඳහා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය, චීන ශිෂ්‍යත්ව පිරිනැමීම වැනි විවිධ වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පරිවර්තනීය මාවතකට රැගෙන යාමට අවශ්‍ය සහය ලබාදෙමින් සිටිනවා. එය චීන සහ ශ්‍රී ලංකා ජනතාව අතර තිබෙන නොබිඳෙන මිත්‍රත්වය පෙන්වා දෙන සලකුණක්.”

දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි වූ නිවාස සඳහා වන වන්දි මුදල මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන්න – ජනපති….

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අර්ධ හානියට පත් නිවාස සඳහා රජයෙන් අනුමත කළ රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල සුවිශේෂී ගැටලුවකදී හැර සෙසු සියලු අවස්ථාවල එම ප්‍රතිලාභීන්ට මැයි මස අවසන් වීමට පෙර ගෙවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දබා දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවති දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානියට සහ පූර්ණ හානියට පත් නිවාසවල පදිංචිකරුවන් වෙත වන්දි ගෙවීමේ සහ නව නිවාස ලබාදීමේ කටයුතු සම්බන්ධයෙන් වූ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදීය.

පූර්ණ හානි වූ නිවාසවල පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවසක් ලබා දීමේ හෝ නිවසක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ක වන්දි මුදල ලබා දීමේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු වූ බව සඳහන් වේ.

මෙම වන්දි මුදල් ගෙවීම කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

තවමත් කඳවුරුවල ජීවත්වන ජනතාවට නව නිවසක් ලබා දෙන තුරු තාවකාලික නිවාසවල පදිංචි කරවීම පිළිබඳවද මෙහිදී  දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඊට සුදුසු ස්ථාන පිළිබඳ සොයා බලා එම කටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබේ.

අධිඅවදානම් කලාපවල ජීවත් වන ජනතාව වෙනත් ස්ථානවල පදිංචි කිරිම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ  අතර, නව නිවසක් මිලදී ගැනීමට හෝ ඉදිකිරීමට වන්දි ලබා නොගත් පදිංචිකරුවන් වෙනුවෙන් නිවාස සංකීර්ණ ඉදිකිරීමේ සැලසුම් පිළිබඳවද අවධානය යොමු ව ඇත.

ඩො.මි 2.5ක රජයේ මුදලක් අස්ථානගතවෙලාද ?

අමෙරිකානු ඩොලර් මිලියන 22.9ක ණය මුදලක් ගෙවීමට තිබූ රටකට, ණය පියවීමක් ලෙස මහා භාණ්ඩාගාරය විසින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් කිසියම් පරිගණක හැකර්වරයෙකුට ගොස් ඇති බව වාර්තා වී තිබේ.

අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.

එහිදි පිලිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා විසින් මෙම කරුණු සම්බන්ධයෙන් යම් ලිපියක් කතානායකවරයාට ඉදිරිපත් කර ඇති බවය.

ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකර, විමර්ශනයක් සිදුකරනවද නැද්ද යන්න කතානායකවරයා විසින් තීන්දුවක් ගනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රශ්නය – ඩො.මි 2.5ක රජයේ මුදලක් අස්ථානගතවෙලාද ? විශේෂ තොරතුරක් ලැබිලා තියෙනවා රජයේ මුදල් අස්ථානගත වීමක් සම්බන්ධයෙන්. ඒකට අනුව ශ්‍රී ලංකා රජය 2025 සැප්තැම්බර් මාසේ අග වනවිට ඩොලර් මිලියන 22.9ක ණය මුදලක් ගෙවීමට තිබූ රටකට, ණය පියවීමක් ලෙස ඩොලර් මිලියන 2.5ක ණය මුදලක් මහා භාණ්ඩාරය 2025 දෙසැම්බර් සිට 2026 ජනවාරි 31 දක්වා කාලය තුල පියවලා තියෙනවා. 

හැබැයි මේ මුදල ගිහිල්ලා තියෙන්නේ අදාළ ණයකරුට නෙමෙයි. කිසියම් පරිගණක හැකර්වරයෙකුට. එතකොට මේ සම්බන්ධයෙන් දැන් මුදල් අමාත්‍යාංශයේ විදේශ විනිමය සම්පත් දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ කමිටුවකුත් පත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් හොයන්න.මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය වගේ රටේ ආර්ථික වශයෙන් ඉතාමත් වැදගත් ආයතනයක මේ වගේ දෙයක් වුණේ කොහොමද? මේ සම්බන්ධයෙන් මුදල් යම් පාර්ශවයකට ගෙවන්න, මහා භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලැබුනද?

පිළිතුර – “මම හිතන්නේ ඔබ කතා කරන්නේ ඔය ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා, කතානායකතුමාට ඉදිරිපත් කරපු ලිපිය පදනම් කරගෙන වෙන්නට ඕනේ. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කරයි. දැනට මේ ගැන තොරතුරු අපිට වාර්තා වෙලා නැහැ. මේ ලිපිය පමණයි මේකට පදනම් වෙලා තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඉතාම ඉක්මනට මුදල් අමාත්‍යාංශය කරුණු පැහැදිලි කිරීමක් කරයි.”

ප්‍රශ්නය- මේ වෙනකොටත් මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් සහ පරිගණක ක්‍රියාකරුවෙක් සහ තවත් කෙනෙක් වැඩතහනම් කරලා තියෙනවා. මෛත්‍රී ගුණරත්න මහතා ඉල්ලලා තියෙනවා විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් හරහා මේ සම්බන්ධව විමර්ශනයක් කරන්න කියලා. ඉල්ලීමක් කරලා තියෙනවා කථානායකවරයාගෙන්. මේ ඉල්ලීමට මොකක්ද රජයේ ප්‍රතිචාරය?

පිළිතුර – “මේ පිළිබඳ කරුණු හොයලා බලලා තමයි කතානායකවරයා තීන්දුව ගන්නේ. ඉතින් කතානායකවරයා තමයි ඒකට උත්තර දෙන්න ඕනේ.
පාර්ලිමේන්තුව හැටියට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවද නැද්ද කියන එක. තවමත් තිබෙන්නේ මේ ලිපිය පමණයි මගේ අතේ. මේ පිළිබඳ වැඩි විස්තර මගේ ළඟ නැහැ.

මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා අමෙරිකාවට……

මෙරට බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට හා වන්දනාමානයට පාත්‍ර වී ඇති ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා කිහිපනමක්, අමෙරිකාවේ ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවා වන්දනාමාන කිරීම හා ප්‍රදර්ශනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ක්‍රි.පූ. 1-2 සියවස්වලට අයත් අම්පාර, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති නීලගිරි ස්ථූප කැනීමෙන් අනාවරණ කර ගත් ධාතුන් වහන්සේලා,  තායිලන්තයෙන් ප්‍රදානය කළ ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති කේශ ධාතුන් වහන්සේලා හා මහියංගන රජමහා විහාරයේ තැනපත් කර ඇති සර්වඥ ධාතුන් වහන්සේලා මෙලෙස වැඩම කරවීමට නියමිතය.

එම සර්වඥ ධාතූන් වහන්සේලා මැයි 2වැනිදා සිට මැයි 10වැනිදා දක්වා ප්‍රදර්ශනය කිරීමට හා වන්දනාමාන කිරීමට කටයුතු සංවිධානය කර තිබේ.

ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ රතනගුණ ස්වාමීන් වහන්සේ සහ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින් කරන ලද ඉල්ලීමකට අනුව, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි.

පාස්කු ප්‍රහාරයේ 8 වැනි සැමරුමට පෙර සියලු කුමන්ත්‍රණකරුවන් නීතිය හමුවට….

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ 8 වැනි සංවත්සරයට පෙර සියලුම කුමන්ත්‍රණකරුවන් නීතිය ඉදිරියට ගෙනඒමට විමර්ශන ක්‍රියාත්මක බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (22)  දැනුම් දුන්නේය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

මෙහිදී දැනට රැඳවුම් භාරයේ සිටින සැකකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාද අධිකරණ නියෝග ප්‍රකාරව අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

2018 වසරේ නොවැම්බර් 29 වනදා වව්නතිව්හි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනයවීම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පසු, 2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදුහි නිවසක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් මෙම නඩුව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ මෙලෙස කැඳවනු ලැබීය.

රැදවුම් භාරයේ සිටින මෙම නඩුවේ තුන්වැනි සැක්කාර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහේස්ත්‍රාත්වරයා විසින් කර තිබූ නියෝගයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විමර්ශනය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

“ස්වාමිනි, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කියන්නේ ඉතාම සංවිධානාත්මක මෙහෙයුමක්. 2015 වසරටත් පෙර සිටයි මේ සිද්ධි මාලාව සංවිධාන වෙන්නේ. මඩකලපුවේ ඉන්න මුස්ලිම් පිරිසකට තියා, ISIS,අල්ඛයිඩා වැනි පිරිසකටවත් මෙවැනි සංවිධානාත්මක ප්‍රහාරයක් කරන්න බැහැ අභ්‍යන්තර සහයක් නැතුව. ඒ ශක්තිය තමයි මේ තුන්වැනි සැකකරු දීලා තියෙන්නේ. 

වව්නතිව් සිද්ධිය කියන්නේ ඒ සංවිධානාත්මක මෙහෙයුමේ එක් අවස්ථාවක් විතරයි. නමුත් ඒ සිදුවීමට අදාළව විමර්ශනය සහරාන් හෂීම් කරා යාමට තිබූ ආවස්ථාව කුමන්ත්‍රණකාරීව යටගහලා තියෙනවා. වව්නතිව්හි ඝාතනය වූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ආයුධ සොයාගත්තේ සහරාන් හෂිම්ගේ ඥාතී ගෆූර් මාමාගේ නිවසේ තිබියදී. නමුත් අජන්තන් නැමැති හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ ජැකට් එකක් දාලා මේ විමර්ශනය ගෆූර් මාමා දෙසට යාම වළක්වා තිබෙනවා. 

මේ දෙවැනි සැකකරු ඔය කියන ගෆූර් මාමාව පොලිස් ස්ථානයට කැඳවලා ප්‍රකාශයක්වත් ගන්නේ නැතුව යළි යන්න ඉඩහැරලා තියෙනවා. කාගේ අනුදැනුම මතද ඒක වුණේ? සහරාන් ඇතුළු පිරිස අනාවරණය වෙන්න තිබ්බ අවස්ථාවක් තමයි දැනුවත්ව යටගහලා තියෙන්නේ” යැයි පැවසීය.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පාස්කු ප්‍රහාරයට පෙර සමයේ මෙරට තුළ සිදුවූ සිදුවීම් මාලාවක සම්බන්ධතාවයක් ඇති බවට අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

“ස්වාමිනි, වසර 10ක රාජපක්ෂ පාලනය නිමා වෙලා 2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට එනවා. පස්සේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, කීත් නොයාර්ට පහරදීම වගේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පටන්ගන්නවා. 

එහිදී අත්අඩංගුවට ගැනෙන්නේ මේ සැකකාර සුරේෂ් සලේ යටතේ සිටි යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන්. මේකත් හරියට අර මාතර දේශබන්දු තෙන්නකෝන් නඩුව වගේ. මොහුත් දේශපාලන කණ්ඩායම් රකින්න ප්‍රහාරක කණ්ඩායම් මෙහෙයවලා. 

පස්සේ 2018 වසරේ දින 52 ආණ්ඩුවට එරෙහිව දෙසැම්බර් 13 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එනවා. ඊට පස්සෙයි මාවනැල්ලේ බුදු පිළිම කැඩෙන්නේ. එය මුස්ලිම් අන්තවාදී ක්‍රියාවක් කියලා යුධ හමුදා නිලධාරීන් පැමිණිලි කරනවා. අන්තවාදී බෞද්ධ භික්ෂුවක් වන ඥානසාර හිමි සහ සහරාන් හෂීම්ව යුද්ධ හමුදා බුද්ධි අංශය නඩත්තු කළා. 

පාස්කු ප්‍රහාරයට සති කිහිපයකට පෙර ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා Indian Express පුවත්පතට කියනවා මම තමයි රටේ අනාගත ජනාධිපති කියලා. මොහු ඇමරිකානු පුරවැසියෙක් වෙලා ඉද්දියි පාස්කු ප්‍රහාරය වෙන්නේ. පසුව ලංකාවට ඇවිල්ලා ජනාධිපතිවෙලා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරට පොලිසියෙන් පරිබාහිරව සුරේෂ් සලේ කියන මේ සැකකරුව ගේනවා. 

ඔවුන්ම පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන පටන් අරගෙන ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් 70 දෙනෙකුව ස්ථාන මාරු කරනවා. ඒ මේ කුමන්ත්‍රණය ආරක්ෂා කරන්න. නමුත් අපි පාස්කු ප්‍රහාරයේ 08 වැනි සංවත්සරයක් එන්න ඉඩ තියන්නේ නැහැ. වසරක් ඇතුළට සියලුම කුමන්ත්‍රණකරුවන්ව අධිකරණය ඉදිරියට ගේනවා”.

මෙහිදී කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විවෘත අධිකරණය හමුවේ මෙලෙස පැවසීය.

“මේක ක්‍රීඩාවක් නොවෙයි. සංවේදී ප්‍රශ්නයක්. අධිකරණය හමුවේ කියන සෑම වචනයක්ම ඒ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට යොමුවීමක් වියයුතුයි. යුක්තිය ඔප්පු වෙනවානම් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වෙන්න ඕනේ. එතැනින් පහළ සියලු දේවල් හුදෙක් මතවාද. 

සත්‍යය අසත්‍ය මොකක් වුණත්, ඔප්පු කරගන්න බැරිනම් වැඩක් නැහැ. විමර්ශන නිලධාරීන් සාධාරණ සැකයෙන් ඔබ්බට කියන භාරය හිතේ තියාගෙන අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න.”

ඊට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙලෙස ප්‍රතිචාර දැක්වීය.

“ස්වාමිනි, විමර්ශන අවස්ථාවේ අපි බලන්නේ සාධාරණ සැකය. එය ඔප්පුවනවාද, නැද්ද යන්න තිබෙන්නේ අධිකරණය ඉදිරියේ. නමුත් මේ වෙද්දි මේ විමර්ශනය කරගන්න බැරි තරමින් බාධා එල්ලවෙමින් තිබෙනවා. 

මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශ ලබාදුන් සාක්ෂිකරුවන්ට දිගින් දිගටම යුද්ධ හමුදා බුද්ධි අංශයෙන් ප්‍රකාශ ඉවත්කරගන්න කියලා බලපෑම් එල්ලවෙමින් තිබෙනවා. දැනට ඔබ ඉදිරියේ ප්‍රකාශ දී තිබෙන කලීල් කියන සාක්ෂිකරුගේ නිවසට පසුගිය නඩුවාරයෙන් පස්සේ යුද්ධ හමුදා බුද්ධි නිලධාරීන් ගිහින් තර්ජනය කරලා තියෙනවා.

පස්සේ එම පුද්ගලයාගේ නිවසට අත්බෝම්බ 05ක් සහ පිස්තෝලයක් දාලා දැනට නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මාර්ගයෙන් STF හරහා එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සැලසුම් කරලා තියෙනවා. මොකද ඔහු තමයි රාජපක්ෂ යුගයේ STF අණදෙන නිලධාරියා”.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා දැඩි ස්වරයෙන් මෙසේ ප්‍රශ්න කළා.

“ඔබ කියන්නේ දැනටත් පොලිස් සේවයේ සිටින ඉහළම නිලධාරියෙක් මේ විමර්ශනවලට බලපෑම් කිරීමට සම්බන්ධයි කියලාද? “

ඊට පිළිතුරු දුන් දිලීප පීරිස් මහතා,

“ඔව් ස්වාමිනි, මම වගකීමෙන් කියන්නේ. ඔහු සම්පූර්ණයෙන්ම මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවෙක්. ඔහු TID අධ්‍යක්ෂවෙලා ඉද්දි පාස්කු ප්‍රහාරයට දවස් 7කට කලින් ජමීල් කියන්නේ අහිංසකයෙක් කියලා Report එකක් එවලා. එහෙම ජමීල් තමයි පස්සේ බෝම්බ පුපුරුවාගත්තේ.”

මෙහිදී නැවතත් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා,

“ඔය කියන නිලධාරියාට එරෙහිව සෘජු සාක්ෂි තිබෙනවාදැයි  ප්‍රශ්න කළා.

“නැහැ. ස්වාමිනි දැනට සෘජු සාක්ෂි නැහැ. නමුත් අපි විමර්ශන කරමින් යනවා” යැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පිළිතුරු දුන්නේය.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විශේෂ ඉල්ලීමක් කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම විමර්ශනයට සහය ලබාදෙන ලෙස යුද්ධ හමුදාපතිවරයාට සහ යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ, රටේ සෑම රාජ්‍ය නිලධාරියෙක්ම නීතිපතිවරාගේ බලයට යටත්වන බැවින් එය අභිබවායාමට කවරෙකු හෝ කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව නීතිපතිවරයාටම පියවරගත  හැකි බවය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පිල්ලෙයාන් සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින විමර්ශන පිළිබඳවද අදහස් දැක්වීය.

“ස්වාමිනි, 2018 – 2019 සමයේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් මඩකලපුව බන්ධනාගාරයේ සිටින සමයේ සහරාන් හෂිම්ගේ මල්ලිවන ශෙයිනිව බන්ධනාගාරය තුළදී හමුවූ බවට අසාද් මවුලානා ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ හමුවීම සඳහා හඳුන්වාදීම කර ඇත්තේ මේ සැකකාර සුරේෂ් සලේ”.

එහිදී මහෙස්ත්‍රාත්වරයා අසාද් මවුලානා සම්බන්ධ ඉදිරි විමර්ශන පිළිබඳ විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා,

“ඔහු ඉන්න තැන අපි සොයාගෙන ඉන්නේ. ඔහු රැඳී සිටින්නේ ප්‍රංශයේ. ඔහු සමග අපිට සම්බන්ධකම් තියෙනවා. අපි ඔහුව ප්‍රංශ තානාපති කාර්යාලයට ගෙන්වා ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරමින් ඉන්නවා”.

අනතුරුව සැකකාර ‍රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් නීතිඥ අසිත් සිරිවර්ධන කරුණු දැක්වීය.

“ස්වාමිනි, පැමිණිල්ල කිව්වා ඝාතන කිහිපයක නම් කියලා මගේ සේවාදායකයා ප්‍රහාරක කණ්ඩායම් යැව්වා කියලා. ඔය සිද්ධි බොහෝමයක් වෙද්දි ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නොවෙයි. ඒ වගේම ඇතැම් සිද්ධි වෙද්දි ඔහු රටේත් නැහැ. ඒ වගේම මගේ සේවාදායකයාට එරෙහිව චෝදනා එල්ල කරන අසාද් මවුලානා කියන පුද්ගලයා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයට ලබාදී තිබෙන පිටු 18ක ප්‍රකාශය මම කියෙව්වා. 

එකේ ඔහු සහරාන්ව හඳුන්වා තිබෙන්නේ Hero ලෙස. ඒ වගේම දේශපාලන සරණාගතභාවය වෙනුවෙන් ඔහු අපේ රට බොහෝ පහළට දාලා තිබෙනවා. ඔහු මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් කිහිපදෙනෙක් සහ අධිකරණ පද්ධතියත් විවේචනය කරලා තියෙනවා. 

ඉතිං මම නිශ්චිතව කියන්නේ ඔහු කවදාවත් මේ නඩුවට අදාළව ප්‍රකාශයක් ලබාදෙන්න ලංකාවට එන්නේ නැහැ. ආවොත් ඔහුගේ ප්‍රකාශයේ තියෙන අනිත් කරුණුවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. 

මගේ සේවාදායකයා රඳවා තිබෙන කුටිය අසල කුටියක පුද්ගලයෙක්ට මේ වෙද්දි මීයෙක් කාලා මහාමාරිය හැදිලා තියෙනවා. ඒ වගේම ඔහු මානසිකව පසුබැහැලා ඉන්නේ. 

ඔහු වෙනුවෙන් මම ඉල්ලීම් කිහිපයක් ලිඛිතව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඔහු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීමට ඉල්ලීමක් කරනවා. ඒ පිළිබඳවත් සලකා බලන්න”.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සිය නියෝග ප්‍රකාශයට පත්කළේය.

“අධිකරණය විමර්ශනය පිළිබඳ සෑහීමකට පත්වෙනවා. තුන්වැනි සැකකරුට එරෙහිව ඉදිරිපත් වී තිබෙන ත්‍රස්තවාදීන්ට පල්ලි පෙන්වීමේ චෝදනාව ඉදිරියට පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි පවතිනවා. නමුත් අනිත් කරුණු සම්බන්ධයෙන් තවදුරත් විමර්ශන සිදුකර කරුණු තහවුරු කළ යුතුයි. 

ඔප්පු කළ නොහැකි කරුණු ඉදිරිපත් කර වැඩක් නැහැ.තුන්වැනි සැකකරු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය ප්‍රකාරව ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තුවෙනවා නම් ඒ පිළිබඳ යළි සිතා බලා එම ඉල්ලීම ඉදිරිපත් කරන්න”.

ඒ අනුව සැකකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධයෙන් වූ රැදවුම් නියෝගය තවදුරටත් ක්‍රියාත්මක බැවින් ඔහු රැඳවුම් භාරයේ තබාගෙන ඉදිරි නඩු දිනයේ යළි අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

වැඩිදුර විමර්ශන වාර්තා සඳහා නඩුව මැයි 20 වනදා යළි කැඳවීමට නියමිතය.