කාන්තාවන් සිව්දෙනෙකුගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ…..

මත්ද්‍රව්‍ය ජාවාරම මඟින් නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් යොදවා මිලදී ගත් රුපියල් මිලියන ගණනක් වටිනා නිවාස සහ ඉඩම් රැසක් තහනම් කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීතිවිරෝධී වත්කම් කොට්ඨාසය පියවර ගෙන ඇත.

පානදුර, මහවිල ප්‍රදේශයේ පුද්ගලයෙකු සහ ඔහුගේ ඥාතීන් පිරිසක් විසින් සිදුකරන ලද මෙම ජාවාරම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙම පියවර ගෙන තිබේ.

මෙම සිද්ධියට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකළ නිලධාරීන් විසින් සැකකාරියන් සිව්දෙනෙකු හඳුනාගෙන තිබේ.

පසුගිය මාර්තු මස 13වෙනදා සහ පසුගිය අප්‍රේල් මස 02 වෙනිදා යන දිනවලදී සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

වෙනත් මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් දැනටමත් බන්ධනාගාරගතව සිටි ඔවුන්ගේම ඥාතීන් වන තවත් සැකකාරියන් දෙදෙනෙකු මෙම නඩුවට අදාළව බන්ධනාගාරය මඟින් ඉදිරිපත් කිරීමෙන් පසු  එළැඹෙන 13වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 28 සහ 53 යන වයස්වල පසුවන මහවිල, මාදුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියන් වේ.

විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව, සැකකරුවන් විසින් මත්ද්‍රව්‍ය මුදලින් උපයාගත් පහත සඳහන් දේපළ විකිණීම හෝ පැවරීම වැළැක්වීමේ නියෝග නිකුත් කර ඇත’

මහවිල, පානදුර ප්‍ර දේශයේ ඉදි කරමින් පවතින නිවසක් සහ ඊට අයත් ඉඩම.

පානදුර, කුරුස හන්දිය ප්‍රදේශයේ පර්චස් 10.75ක වටිනා ඉඩම.

මාදුපිටිය, පානදුර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින තවත් නිවසක්.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම දේපළ සම්බන්ධයෙන් කිසිදු ගනුදෙනුවක් සිදුකළ නොහැකි පරිදි ක්‍රියා විරහිත කර ඇත.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය මඟින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට…..

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් දෙදෙනා කෙසෙල්වත්ත පොලීසිය මගින් ඊයේ (5) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එහිදී අදාළ සැකකරුවන් එළැඹෙන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත්වරයා අධිකරණය නියම කර තිබේ.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ පිහිටි සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් යන සැකකරුවන් දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මෙහිදී කෙසෙල්වත්ත පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් බාරයේ සිටි කපිල චන්ද්‍රසේන මහතාව නාඳුනන බවත්, රුපියල් 15000 බැගින් මුදල් ලබාගෙන ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වී ඇති බව සඳහන් කළේය.

ඇප තැබීම සඳහා පැමිණි මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සැකසහිත තත්ත්වයක් ඇතිවීම හේතුවෙන්, අධිකරණ කාර්ය මණ්ඩලය කළ පැමිණිල්ලකට අනුව මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

සැකකරුවන්ට නිශ්චිත රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නැති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා, ඇප තැබීම සඳහා මොවුන් ග්‍රාම නිලධාරි සහතික ලබා ගැනීම පිළිබඳ විමර්ශන සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියම කළේය.

ලාෆ්ස් ගෑස් මිල රුපියල් 545කින් ඉහළට……

අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 6,245ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 220කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 2,500කි.

තමිල්නාඩුව භාරගන්න යන විජේට චන්ද්‍රිකාගෙන් සුබ පැතුම්…..

තමිල්නාඩුවේ මහ ඇමති ධුරට සුදුසුකම් ලැබූ සී. ජෝශප් විජේ නොහොත් ‘තලපති විජේට’ ශ්‍රී ලංකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සුබ පැතුම් එක්කර තිබේ.

ජෝශප් විජේ මහතා වෙත අද (6) සුබ පැතුම් ලිපියක් යොමුකරමින් ඇය සඳහන් කර ඇත්තේ, මෙවර මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් ඔහු අත්පත් කරගෙන ඇති බවය.

තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය මෙහිදී සිහිපත්කර ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, නව පාලනය යටතේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පවසා තිබේ.

තවද තලපති විජේගේ ඉදිරි කටයුතු සඳහා ශක්තිය සහ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන බවත් සිය සුබ පැතුම් පණිවුඩයෙන් හිටපු ජනපතිනිය පවසා ඇත.

වියට්නාම ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්……

වියට්නාම ජනාධිපති ටූ ලැම් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු යොදා තිබේ.

මේ දිනවල ඉන්දියාවේ රාජ්‍ය සංචාරක නිතරව සිටින වියට්නාම ජනාධිපතිවරයා එම සංචාරය අවසන් කර හෙට (7) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

සිය දෙදින සංචාරය අවසන් කර ටූ ලැම් ජනාධිපතිවරයා අනිද්දා (8) දිවයිනේ පිටත් යන අතර, එම කාල සීමාව තුළ කොළඹ නගරය ආශ්‍රිතව මෙම විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකය.

නඩු තීන්දු ගැන ජනපති කළ ප්‍රකාශයට ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විමර්ශනයක් ඉල්ලයි…..

මැයි දින රැලියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධිකරණයේ තීන්දු සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසට ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඉල්ලීමක් සිදු කරයි.

ජනාධිපතිවරයා විසින් අධිකරණය හමුවෙහි තවමත් පවතින නඩු කටයුත්තක ඉදිරියට ලබාදීමට නියමිත තීන්දුවක් පිළිබඳව අගතිගාමී ප්‍රකාශයක් සිදු කළ බව එම සංවිධානය පෙන්වා දෙයි.

අනුර කුමාර දිසානායක මහතා විසින් අධිකරණය හමුවෙහි තවමත් පවතින නඩු කටයුත්තක ඉදිරියේදී ලබාදීමට නියමිත තීන්දුවක් පිළිබඳව සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් රට තුළ ඉමහත් ආන්දෝලනයක් නිර්මාණයවී ඇත.

මෙම ප්‍රකාශය හුදෙක් අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව සිදු කරන ලද සාමාන්‍ය ප්‍රකාශයක් නොව දින වකවානු ඉදිරිපත් කරමින් කරන ලද ප්‍රකාශයක් බව පැහැදිලිව පෙනී යන බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය අවධාරණය කරයි.

වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියෙක් හදිසියේම මියයයි……

වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් ලබමින් සිටි රැඳවියෙකු හදිසියේ රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

රැඳවියා බන්ධනාගාරයෙන් පලාගොස් ඇති අතර නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා ඔහු යළි රැගෙන විත් ඇති බව පැවසේ.

රැඳවියාගේ පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ බන්ධනාගාර නිලධාරින් ඔහුට අමානුෂික ලෙස පහරදී ඇති බවය.

මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව සිර දඬුවම් ලබා වැලිකඩ බන්ධනාගාරයේ සිටි සිරකරුවෙකු එහි නිලධාරින් ඊයේ (03) පස්වරුවේ බන්ධනාගාර අභ්‍යන්තර එළිමහන් ක්‍රීඩාංගණය වෙත රැගෙන ගොස් තිබුණේ එය සුද්දපවිත්‍ර කර ගැනීම සඳහාය.

ඒ අතරතුර සිරකරු එක්වරම පලාගොස් තිබේ.

පලාගිය සිරකරු වහාම ලුහුබැඳ ගිය බන්ධනාගාර නිලධාරින් බොරැල්ල ප්‍රදේශයේදී ඔහු අල්ලාගෙන ඇත්තේ මහත් පරිශ්‍රමයක් දැරීමෙන් පසුවය.

එහිදී රැඳවියා හා නිලධාරීන් අතර පොරබැදීමක් සිදුවූ බව වාර්තා වේ.

සිරකරු යළි බන්ධනාගාරයට රැගෙන විත් සුළු වේලාවකට පසු නැවතත් යම් සිදුවීමක් සිදුව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

ඊට හේතුව තවමත් අනාවරණ නොවන අතර එම සිදුවීමෙන් පසු දැඩිලෙස රෝගාතුර වූ බව කියන සිරකරු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බව සඳහන් වේ.

රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සැකකරු එහිදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පමණ වන ආර්.ඕෂධ සංජීව නැමැති පුද්ගලයෙකි.

මොහු මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 110ක පමණ ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීමේ සිදුවීමකට දඩයක් නියම වූ අයෙක් වන අතර රුපියල් 5,000ක එම දඩය ගෙවීමට නොහැකි වීම මත මාස තුනක සිරදඬුවම් නියම වූ අයෙක් බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර බොරැල්ල පොලීසියේ විශේෂ විමර්ශන කණ්ඩායම් දෙකක් මගින් විමර්ශන ක්‍රියාත්මකය.

මේ අතර ජීවිතක්ෂයට පත් රැඳවියාගේ ඥාතින් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා බොරැල්ල පොලීසියට අද (04) කැඳවා තිබුණි.

ඉකුත් අප්‍රේල් 27 වෙනිදා ද මැගසින් බන්ධනාගාරය තුළදී බන්ධනාගාර නියාමකවරයෙක් සමග ඇති වූ පොරබැදීමකින් රැඳවියෙක් මියයාමේ සිදුවීමක් වාර්තා විය.

මෙම මරණය වාර්තා වන්නේ පෙර සිදුවීමේ විමර්ශන ද ක්‍රියාත්මක වෙමින් ඇති පසුබිමකය.

‘දිනන දකුණ’ සංවිධානයෙන් මුදල් ලේකම්ට ප්‍රශ්න 5ක් ඇතුළත් ලිපියක්……

මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් ‘දිනන දකුණ සංවිධානය ප්‍රශ්න 5ක් ඇතුළත් ලිපියක් යොමුකර තිබේ.

අදාළ ප්‍රශ්න සඳහා ලේකම්වරයාගෙන් සෘජු සහ සාක්ෂි සහිත පිළිතුරු බලාපොරොත්තු වන බව එම ලිපියේ සඳහන් වේ.

ඒ තුළින් අදාළ ප්‍රශ්නවලට සෘජු හා සාක්ෂි සහිත පිළිතුරු ලබාදෙන ලෙස ඔවුන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබුණි.

අදාළ ප්‍රශ්න,

1.ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගත් නිශ්චිත දිනය කවදාද?

2.ඔබ එම ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත්කරගනු ලැබුවේ නම්, එය සිදුකළ නිශ්චිත දිනය කවදාද?

3.ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරීමෙන් පසු ඔබ නැවත ශ්‍රී ලංකා පුරවැසිභාවය (එකී නීතිමය ප්‍රතිපාදන යටතේ) ලබාගත් දිනය කවදාද?

4.ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන අවස්ථාව වනවිට ඔබ නිල වශයෙන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත්කරගෙන තිබුණේද? නොඑසේ නම් එය ඉවත්කරගැනීම සඳහා අයදුම්පතක් පමණක් ඉදිරිපත් කර තිබුණේද?

5. දැනට සමාජය තුළ සංසරණය වෙමින් පවතින 2010.02.03 දැනැති C19090060828 අංකය ඔබගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයට අදාළ අංකයක්ද නැතහොත් එය සමාජය නොමග යැවීම සඳහා සංසරණය වන තොරතුරක්ද?

අග්‍රමාත්‍ය හරිනි සහ මාලදිවයින් ජනාධිපති අතර හමුවක්……

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මෙරට ඉහළ පෙළේ නායකයින් සමඟ සුහද හමු කිහිපයක් පවත්වා තිබේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් හමුවී සාකච්ඡා පවත්වා ඇත.

ජනාධිපති මුයිසුගේ නායකත්වයෙන් යුත් මාලදිවයින් දූත පිරිස ඊයේ (03) මෙරටට පැමිණි අතර ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පිළිගනු ලැබුවේ, අගමැති අමරසූරිය විසිනි.

මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය අද (04) උදෑසන කොළඹදී පැවැත්විණි.

එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් හතක් අත්සන් කරන ලද අතර, එය බහුවිධ අංශ හරහා ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වූ පොදු කැපවීම පිළිබිඹු කරන බව සඳන්ය.

සංචාරක, අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩා, තරුණ සංවර්ධනය, ලේඛනාගාරය සහ ආරක්ෂක යන ක්ෂේත්‍රවල සහයෝගීතාව මෙම ගිවිසුම් මගින් ආවරණය කෙරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙකුට පත්වීමේ ලිපි…..

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙක් ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍යවරයා අතින් අද (04) සිය පත්වීම් ලිපි ලබාගත්තහ.

සිදත් වෙත්තමුනි,  තුශිර රදැල්ල, ප්‍රකාශ් රාෆ්ටර්, සහ අවන්ති කොළඹගේ යන අය ක්‍රීඩා අමාත්‍යවරයා අතින් සිය පත්වීම් ලිපි මෙලෙස  ගන්නා ලදී.

ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉකුත්දා ඉල්ලා අස්වූ අතර ඒ සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගත්තේය.