පවුල් සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක්…..

පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැන නැගී ඇති ගැටළු විසඳීම සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත් කිරීමටත් එම කමිටුව කරුණු අධ්‍යනය කර ලබා දෙන නිර්දේශ සහ නිර්ණායක මත එම ගැටළු කඩිනමින් විසඳීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසයි.

පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැන නැගී ඇති ගැටළු විසඳීමේ අරමුණින් සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ නියෝජිතයින් සමග ඊයේ (10) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

පවුල් සෞඛ්‍ය සේවා පුහුණුව වසර 03ක් දක්වා දීර්ඝ කිරීම, පවුල් සෞඛ්‍ය සේවාව ස්වාධීන සේවාවක් බවට පත් කර ගැනීම, පවුල් සෞඛ්‍ය සේවා පුහුණු පාසල් ස්ථාපිත කිරීම, අතිකාල සේවා දීමනා මෙන්ම පරිවර්තන ගමන් වියදම් දීමනා ආදී කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් මෙම සාකච්ඡාව සිදුව ඇත.

තවද එම සංගමයේ නියෝජිතයින් ඔවුන්ට බලපාන අනෙකුත් අනෙකුත් වෘත්ති ගැටලු මෙන්ම සිය සේවා කටයුතු සිදු කිරීමේදී අභියෝගයක්ව පවතින මානව හා භෞතික සම්පත් ආශ්‍රිත කරුණු රැසක් පිළිබඳවද, පවුල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ට ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා මෙන්ම එම සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ යෝජනාවන්ද වෘත්තීය සමිති නියෝජිතයින් මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සමග දීර්ඝව සාකච්ඡා කෙරුණි.

විසදුම් ලබා දිය හැකි ගැටලුවලට එම මොහොතේම නිලධාරීන් සමග සාකච්ඡා කර විසඳුම් ලබා දීමට නියෝජ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇති අතර තවත් කරුණු ගණනාවක් සම්බන්ධව කඩිනමින් විසඳුම් ලබා දීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී විමසා බැලුණි.

කෙහෙළියට එරෙහි නඩුවක් විභාගයට ගැනේ……

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවක වැඩිදුර විභාගය දෙසැම්බර් මස 09 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (11) නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු  මොහොමඞ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වශයෙන් නම්කර සිටින රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු නියෝජ්‍ය මුදල් කළමනාකරුවකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 09 වනදා දක්වා කල් තැබුණි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි සමයේ ඔහුගේ පෞද්ගලික ජංගම දුරකථනයේ බිල වන රුපියල්  240,000ක මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් රජය සමයේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ මෙම සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව  මෙම නඩුව ගොනුකර තිබුණි.

අයවැය ගැන Fitch Ratings වෙතින් නිවේදනයක්……

ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත්කළ 2026 අයවැය සම්බන්ධයෙන්  Fitch Ratings ආයතනය නිවේදනයක් නිකුත්කර තිබේ.

එම අයාතනය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා රජයේ නවතම අයවැයෙන් පෙන්නුම් කරන්නේ 2025 අයවැයෙන් ඔවුන්ගේ ඉලක්ක පසු කිරීමෙන් පසු මධ්‍ය කාලීනව රජයේ ණය/දළ දේශීය නිෂ්පාදිතය අඩු කිරීමට බලධාරීන් කැපවී සිටින බවය.

එමෙන්ම තිරසාර ශක්තිමත් ආදායම් කාර්ය සාධනය රජයේ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා උපකාරී වනු ඇති බවද Fitch Ratings ආයතනය සඳහන් කර ඇත.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දක්වා ඇති ප්‍රධාන මූල්‍ය සලකුණු සපුරාලීම අඛණ්ඩව සිදු කිරීම, ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදන වාර්තාව වැඩිදියුණු කිරීමට බලධාරීන්ට උපකාරී වනු ඇති බවද Fitch Ratings ආයතනය පවසයි.

එමෙන්ම සාර්ව ආර්ථික ස්ථාවරත්වය ද ප්‍රතිලාභදායක වනු ඇති බව Fitch Ratings ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

හුරුළුවැව දේවාලය ආසන්නයේ තිබී උණ්ඩ සොයාගැනේ…..

ගලෙන්බිඳුණුවැව, හුරුළුවැව දේවාලය ආසන්නයේ ඇති නාන තොටුපොළක් අසළ තිබී උණ්ඩ තොගයක් පොලීසිය විසින් සෙයාගෙන තිබේ.

එලෙස සොයාගෙන ඇත්තේ, T-56 උණ්ඩ 21, MPMG අවිවලට භාවිතාකරන උණ්ඩ 33කි.

මීට අමතරව 9MM පිස්තෝල වර්ගයේ ගිනිඅවි සඳහා භාවිතාකරන උණ්ඩවල හිස්කොපු 118ක් සහ දුම්බෝම්බයක්ද සොයා ගෙන ඇති බව සඳහන්ය.

අද (11) සවස 4.30ට පමණ හුරුළුවැවට දිය නෑම සඳහා පැමිණි තරුණයින් දෙදෙනකු විසින් මෙම උණ්ඩ තොගය දැක ඇති බව වාර්තා වෙයි.

එහිදී මෙම තරුණයින් දෙදෙනා 119 පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුම්වත් කර තිබුණි.

පසුව එම ස්ථානයට පැමිණි ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් අදාළ ස්ථානය පරීක්ෂා කර මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුවැව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ප්‍රාදේශීය සභා උණුසුම් කළ මංගල අයවැය……

කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ පාලන බලය හිමි ජාතික ජන බලවේගය අද (11) එහි මංගල අයවැය වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය.

2026 වසර සඳහා පළාත් පාලන ආයතනවල අයවැය ඉදිරිපත් කිරීම් මේ දිනවල සිදුවෙයි.

ජාතික ජන බලවේගයට බලය හිමි  කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ අයවැය අද සභාවට ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය.

එහිදී ජාතික ජන බලවේගයේ සභිකයින් හය දෙනා අයවැයට පක්ෂව ඡන්දය ලබාදෙද්දී විපක්ෂය නියෝජනය කරන සියලු සභිකයින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් වැඩි ඡන්ද හතරකින් අයවැය පරාජයට පත්වුණි.

මේ අතර පාලක ජාතික ජන බලවේගයට සභික ධුර 10ක් සහ විපක්ෂයට සභික ධුර 12ක් හිමි පුත්තලම – ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ද  අද පැවැත්වුණි.

එහිදී විපක්ෂයේ සභිකයින් 11 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරද්දී ජාතික ජන බලවේගය හා එක්වූ එක්සත් ජාතික පක්ෂයේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන්  ඡන්ද ප්‍රමාණය සම තත්ත්වයට පත්වුණි.

ඒ අනුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සිය තීරක ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමිවූ අතර එහිදී අයවැය සම්මත කරගැනුණි.

මේ අතර ජාතික ජන බලවේගයට බලය හිමි මීගහකිවුල  ප්‍රාදේශීය සභාවේ අයවැය ද සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් සම්මත කරගැනුණි.

ජාතික ජන බලවේගයට සභික ධුර නවයක්  සහ විපක්ෂයට සභික ධුර දහයක් හිමිව තිබුණද එක්සත් ජාතික පක්ෂයේ සභිකයා සභා රැස්වීමට සහභාගී වී සිටියේ නැත.

ඒ අනුව පක්ෂව සහ විපක්ෂව ලැබුණු ඡන්ද ප්‍රමාණය සමාන වීම හේතුවෙන් සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් අයවැය සම්මත කරගැනුණි.

මේ අතර පාලක ජාතික ජන බලවේගයට සභික ධුර 9ක් සහ විපක්ෂයට සභික ධුර 11ක් හිමි හලාවත නගර සභාවේ අයවැය වැඩි ඡන්දයකින් සම්මත වුණේ ස්වාධීන කණ්ඩායමක සභිකයෙකු අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන්ය.

ජාතික ජන බලවේගයේ සභිකයින් 9 දෙනාට අමතරව ස්වාධීන කණ්ඩායම් සභිකවරියක්ද අයවැයට පක්ෂය ඡන්දය ලබාදීමත් සමඟ එක් වැඩි ඡන්දයකින් අයවැය සම්මත කරගැනීමට ජාතික ජන බලවේගයට හැකිවුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකයා මෙහිදී  ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේය.

මේ අතර නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද වැඩි ඡන්ද 14කින් සම්මත කරගැනීමට එහි බලය හිමි ජාතික ජන බලවේගයට හැකිවුණි.

ඒ අයවැයට පක්ෂව පොදුජන එක්සත් පෙරමුණේ සභිකයින් තිදෙනෙකු,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයෙකු සහ ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කරන සභිකයෙකු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන්ය.

මේ අතර මතුගම ප්‍රාදේශිය සභාවේ ලේකම්වරියගේ ක්‍රියා කලාපයට සහ වැලිගම ප්‍රාෙද්ශීය සභාවේ සභාපති ඝාතන සිද්ධියට විරෝධය පළකරමින් එහි බලය හිමි සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක සභිකයින් අද විරෝධතාවක නිරත වුණි.

ඔවුන් චෝදනා කළේ ප්‍රදේශිය සභාවේ රාජකාරි කටයුතු සිදු කරගෙන යාම සඳහා එහි ලේකම්වරිය සභාපතිවරයාට නිසි සහයෝගයක් ලබා නොදෙන බවටය.

කෙසේවෙතත් මෙම සභිකයින් ප්‍රාදේශීය සභාව තුළට පිවිසීමට පෙර පොලීසියේ පරීක්ෂාවට ලක්කිරීමේදී විරෝධතා පුවරු අතර තිබී ප්ලාස්ටික් පිස්තෝලයක් හමුවුණි.

මේ අතර, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් පුත්තලම – නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රිවරුන් කළු පැහැති ඇඳුම්වලින් සැරසී අද එහි මාසික සභා රැස්වීමට පැමිණ සිටියේය.

වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි…..

වෛද්‍යවරුන්ගේ ගැටලුවලට අයවැයෙන් විසඳුම් ලබා නොදීම හේතුවෙන් නොවැම්බර් 17 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (11) නිවේදනය කළේය.

ඒ අද රැස්වූ එහි මධ්‍යම කාරක සභාවේදී ගනු ලැබූ තීරණයකට අනුවය.

ඒ අනුව සෞඛ්‍ය සායනවලදී රෝහල්වලට පිටතිත් ඖෂධ ගැනීම සඳහා ඖෂධ වට්ටෝරු නිකුත් නොකිරීමටද තීරණය කර තිබේ.

මේ අතර මෙවර අයවැයෙන් බලාපොරොත්තු වූ පරිදි සිය ගැටලුවලට ස්ථිර විසඳුම් නොලැබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා සියලුම විශේෂඥ වෛද්‍යවරුන් කොළඹට කැඳවා ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

ලූනු රු. 200ට – අල රු. 300ට කන්න වෙයි – කෘෂි ඇමති….

රජය මීළඟ කන්නයේ සිට ගොවීන්ගෙන් අල කිලෝවක් රුපියල් 220 ට හා ලොකු ලූනු කිලෝවක් රුපියල් 150ට මිලදී ගැනීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අද (11) පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එවිට වෙළෙඳපොළේ ලූනු කිලෝවක මිල රුපියල් 200 දක්වා සහ අල කිලෝවක මිල රුපියල් 300 දක්වා ඉහළ යනු ඇති බවය.

අල – ලූනු ගොවි ගැටලු සඳහා විසඳුම් යෝජනා කරමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

රමිත් රඹුක්වැල්ලට අධිචෝදනා භාරදෙයි – ඇපමත මුදාහැරීමට නියෝග

අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අද (11) අධිචෝදනා භාරදීම සිදුවුණි.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා භාරදීම සිදුවුණි.

ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 50,000/-ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතම මුදාහැරීමට විනිසුරුවරයා නියම කළේය.

විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියේයෙ.

2022 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2023 වසරේ නොවැම්බර් මස 14 වනදා අතර දක්වා කාලසීමාව තුළ රුපියල් 296,566, 444.76ක් වටිනා වත්කම් හා දේපොළ උපයාගෙන ඉන් රුපියල් 275,302,616.06 ක වටිනාකමකින් යුත් මුදල් හා දේපොළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන්ද කටයුතු කර ඇති මෙම විත්තිකරුට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ මෙම නඩුව ඉදිරිපත් කර තිබේ.

කැරට් 22 රන් මිල ලක්ෂ 3න් පහළට……

පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනේ සීමාවට වඩා පහළ ගොස් තිබේ.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රු 298,000ක් ලෙස දැක්වුණි.

මෙරට රන් මිල පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා දිනට සාපේක්ෂව රු 81,000කින් පහළ ගොස් ඇත.

පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා කැරට් 22 රන් පවුමක මිල රු. 379,200ක් ලෙස දැක්වුණි.

මේ අතර එදින රු. 410,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 322,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

සිරදඬුවම් නියමව සිටින මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්…..

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරු දෙදෙනා විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම අභියාචනා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (28) කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙසටය.

මෙම අභියාචනා කැඳවූ අවස්ථාවේදී සිරගතව සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.